අලි මිනිස් ගැටුම් අවම කිරීමට පියවර ගන්නවා - ඇමැති ෆොන්සේකා


ක.ග කරුණාරත්න
 
අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික වනෝද්‍යාන තුල දැනට සිදු කෙරෙන නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් හා පරිසර විනාශයන් මැඩලීම සඳහා නොපමාව පියවර ගන්නා බව තිරසර සංවර්ධන හා වනජීවී ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (03) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.
 
අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඇමතිවරයා ඒ බව පැවසීය.
 
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය සහ සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුල සිදු කෙරෙන වැලි ගොඩ දැමීම්, වන විනාශයන්, කුඹුරු අස්වැද්දීම් ඇතුලු නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා ඒ පිළිබඳව සොයා බලා ඒවා වැළැක්වීමට පියවර ගන්නා බවද කීය.
 
පොලොන්නරුව මහ නගර සභාව සහ පොලොන්නරුව ප්‍රාදේශීය සභාව මඟින් දිනපතා කැලිකසල බැහැර කරන ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි එම ස්ථානය සහ කුණු කන අලි පිළිබඳව නිරීක්ෂණය කළ ඇමතිවරයා එම කැලිකසල සමඟ මිශ්‍රවී පොලිතින් ආහාරයට ගැනීමෙන් අලි මරණයට පත්වීම වැලැක්වීම සඳහා එම ස්ථානයට බැහැර කරනු ලබන කැලිකසල සමඟ ඇති පොලිතින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද අදාල අංශවලට උපදෙස් දුන්නේය.
 
වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර, පොලොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.එම්.ජේ වික්‍රමසිංහ යන මහත්වරු  ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.