අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ ලක්ෂ හතරක කොස් කඳන් අල්ලයි


(මොහොමඩ් ආසික්)

අනවසරයෙන් ප්‍රවාහනය කරමින්  තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා කොස් කඳන් ප්‍රමාණයක්  සමඟ සැකකරුවකුද  කටුගස්තොට පොලිසියේ  නිළධාරින් විසින් අද (8) වනදා උදේ අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් අනුව කටුගස්තොට නවයාලතැන්න ප්‍රදේශයේදී  බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ මෙම කොස් කඳන් තොගය සමඟ ලොරි රථයේ රියදුරුද  පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙලෙස  පොලිස් භාරයට ගත් කොස් කඳන්වල   සැබෑ වටිනාකම සම්බන්ධයෙන්  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇස්තමේන්තුවක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කරන  අතර සාමාන්‍යයෙන් මෙම  කඳන්වල වටිනාකම රුපියල් ලක්ෂ හතරක් පමණ වනු ඇති බව පොලීසිය විශ්වාස කරයි..මෙම  කන් ඳසමඟ අත් අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්.උවින්දසිරි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ උප පොලිස් පරීක්ෂක මහින්ද යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.