(තිලකරත්න දිසානායක)
දෙදිනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් ජලයෙන් යටවී පවතී.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගලා බසින අත්තනගලු ඔය, දී ඇලි ඔය සහ ඌරුවල් ඔය ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම නිසා මෙලෙස මාර්ග ජලයෙන් යටවී ඇත.
අද (7) පස්වරු 2 වන විට අත්තනගලු ඔය, දූනමලේ ජල මාපකයේ ජල මට්ටම මීටර් 4 දශම 41 දක්වා ඉහළ ගොස් තිබූ බවත් මෙම ජල මට්ටම මීටර් 5 දශම 05 දක්වා ඉහළ මට්ටමකට පැමිණිය හොත් ගම්පහ දිස්ත්‍රික්කයට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු ටී.ඩී. විජේසූරිය මහතා පැවසීය.
මේ අතර කැලණි ගඟේ ජල මට්ටම ද පස්වරු 2 වන විට හංවැල්ල පාලම අසලින් ජල මාපකයෙහි මීටර් 6 දශම 5 ක මට්ටමක පැවති බවත් එය මීටර් 7 දක්වා ඉහළ ගිය හොත් කැලණි ගඟ පිටාර ගලා ගංවතුර තත්ත්වයක් ඇති ඔහු සඳහන් කළේය.