(මතුගම බන්දු තඹවිට)
අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඉන්ධන මිල ඉහල දැමීමට, ගොවියාට අවශ්‍ය පොහොර ලබානොදීම පිළිබඳව ,ජීවන වියදම ඉහල යාම පිළිබඳව රජයට විරෝධය දැක්වීම සඳහා අද අගලවත්ත නගරයේදී මිනී පෙට්ටියක් රැගෙන පැමිණ විරෝධතාවයක නියැලුණහ.
එක්සත් ජාතික පක්ෂයට අයත් අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසේන කඹුරාවල ,උප සභාපති රෝහණ ගලබඩ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ස්වාධීන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද මෙම විරෝධතාවයට එක්වී සිටියහ.
අගලවත්ත නගරයේ බස් රථ නැවතුම් පොලේ සිට ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිටට මිනී පෙට්ටිය කර තබාගත් මන්ත්‍රීවරුන් සමග අවමංගල්‍ය පෙරහරක් ලෙසට පැමිණ එම ස්ථානයේ මිනී පෙට්ටිය තබා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතවිය.
මෙම විරෝධතාවයෙන් අනතුරුව අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මාසික සභාව පැවැත්වූ අතර එම සභාවට උප සභාපති රෝහණ ගලබඩ මහතා කොට කලිසමකින් සැරසී උදැල්ලක් රැගෙන විරෝධතා පුවරුවක් දක්වමින් සභාවට පැමිණියහ.