ජ්‍යෙෂ්ඨයින් යැයි කියන පිරිස් බොහෝමයක් දවල් මිගෙල් රෑ ඩැනියෙල්


(නිමල කොඩිතුවක්කු)
අද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හෝ ප්‍රබලයන් යැයි කියා ගන්නා ඇතැමුන් අනුගමනය කරමින් සිටින්නේ  ඩැනියෙල් දවල් මිගෙල් ප‍්‍රතිපත්තියක් යැයි ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු  රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.
 
පාක්ෂිකයන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන්ගේ ප‍්‍රමුඛතම වගකීමක් බව ඔවුන් සිහිතබා ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.
 
එම නිවේදනයේ මෙසේද සදහන් වේ.
 
   ‘‘අද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කරන්නේ ගමේ අහිංසක පාක්ෂිකයන්ගේ කරමතින් පැමිණ ලබාගත් බලය නිසා බව අමුතුවෙන් සිහිපත් කල යුතු නැහැ. එම අහිංසක පාක්ෂිකයන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන්ගේ ප‍්‍රමුඛ වගකීමයි.
 
එහෙත් අද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ හෝ ප‍්‍රබලයන් යැයි කියා ගන්නා ඇතැමුන් අනුගමනය කරමින් සිටින්නේ ? ඩැනියෙල් දවල් මිගෙල් ප‍්‍රතිපත්තියක්.
 
පක්ෂයේ මහා මුරදේවතාවන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයන් හොර රහසේ රාජපක්ෂලා සමග ඇතිකර ගන්නා දේශපාලන ඞීල් පිළිකුලෙන් හෙලා දැකිය යුතු වෙනවා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සුවදුක් බැලීමට එජාපයේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියෙක් සහ  හිටපු මහලේකම් වරයෙක් හොර රහසේ ගොස් ඇති බවට වන ප‍්‍රවෘත්තිය අද ප‍්‍රසිද්ධ රහසක්.
 
” පුළුවන් උනොත් අපි ඇවිල්ලා උබලා රකිනවා එහෙම නැත්නම් උබලා ඇවිල්ලා අපිව රැකපන්”  කියන ප‍්‍රතිපත්තිය අනුගමනය කරන මෙම දේශපාලඥයන් සමස්ත පාක්ෂිකයන්ගේ සමාව ගත යුතුව තිබේ’’ යැයිද එහි දැක්වේ.