කාබන් බද්දට එරෙහිව යතුරුපැදි සංගමයෙන් විරෝධය


(නිමල කොඩිතුවක්කු)
 
 
ඩීසල් සහ පෙට්‍රල් වාහන වලින් ජනවාරි 1 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් අයකිරීමට රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පල කරන බව සමස්ත ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමය පවසයි.

මෙම කාබන් බද්ද අය කිරීම පිළිබඳව ශ‍්‍රී ලංකාවේ වාහන ප්‍රමාණය 58% හා මිලියන 4.2 ක වූ යතුරුපැදිකරුවන්ට දැඩි අසාධාරණයක් වන බවද එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා සඳහන් කරයි.

අන්ත දූෂිත හා ප‍්‍රායෝගික නොවන අමුලික බොරුවක් වන දුම් සහතිකය ඉවත් කර ගන්නවා වෙනුවට මෙවැනි බදු අය කිරීම සම්බන්ධයෙන් තම සංගමය දැඩි විරෝධය පල කරන බවද ඔහු පවසයි.

දවසේ එදාවේල ගැට ගසා ගන්නා යතුරුපැදිකරුවන් හා ත‍්‍රීරෝද රථ වැනි අනෙකුත් වාහන සඳහා මෙලෙස අධික බදු ප‍්‍රකාශයට පත් කිරීම පදනම් විරහිත හා සදාචාර විරෝධී ප‍්‍රතිපත්ති තීරණයක් බවත් අමරසිංහ මහතා පෙන්වා දෙයි.

මෙම අධික බද්ද හේතුවෙන් සාමාන්‍ය සි.සි. 150 ක යතුරුපැදි හිමිකරුවෙකුට වසරක් සඳහා රු. 225 කට අධික කාබන් බද්දක් ගෙවීමට සිදු වනු ඇත.

මෙම අසාධාරණ බදු අයකිරිම වහාම ක‍්‍රියාත්මක වන පරිදි හකුලා නොගතහොත් ඉදිරියේ දි දැඩි විරෝධතාවයක් ක‍්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.