අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ දිවුරුම් දී සැප්තැම්බර් 23 වැනිදාට වසරක් පිරෙයි. සැප්තැම්බර් 21 දාට ජනාධිපතිවරණය ජයගෙන වසරක් පිරෙයි. මීට පෙර සිටි බොහෝ ජනාධිපතිවරුන් තමන්ගේ පදවි ප්‍රාප්තිය මහ ඉහළින් සමරනු දැක ගත හැකි විය. එහෙත් අනුර ජනාධිපති ධුරයට ආවේ ඒවා විවේචනය කරමිනි. මේ නිසා මෙවර පළමු පදවි ප්‍රාප්ති සැමරුමක් අපට දැක ගත නොහැකි වනු ඇත. මේ නිසා තවත් ආදර්ශයක් මේ සතියේදී ජනාධිපති අනුර දෙන්නේ යැයි අපි විශ්වාස කරමු.
ගෙවුණු වසරේ ශේෂ පත්‍ර හැදීම මේ වනවිට සිදුවනු ඇත. ආණ්ඩුව පැත්තෙන් තමන්ට වාසිවන ලෙස ලෙජරය බැලන්ස් කරනු ඇත. විපක්ෂය තමන්ට වාසි ලෙස ලෙජරය බැලන්ස් කරනු ඇත. ඒ වෙනුවෙන් පුවත්පත්වල, වෙබ්වල, සමාජ මාධ්‍යවල බොහෝ දේ ලියැවෙනු ඇත. ඒවා ඉදිරි සතිය පිණිසය.
අනුරගේ ජයග්‍රහණයෙන් පසුව අල්ලස හෝ දූෂණය මැඩීමේ උත්සාහය පැහැදිලිව දැක ගත හැකි විය. එය පසුගිය වසරේ ඉදිරියෙන්ම තැබිය හැකි කටයුත්තයි. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට ජනාධිපතිවරණයේ දී කියැවුණු අතර එය වෙනස් වෙමින් පවතී. එසේම මත්ද්‍රව්‍ය ජාවාරමට හා පාතාලයට එරෙහිව දියත් කළ මෙහෙයුම් දීර්ඝ කාලීන සුබ ප්‍රතිඵල ගෙන දෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. එහෙත් පුද්ගල ඝාතන සුලබ බව අප අමතක කළ යුතු නැත. නීතියේ නැවීම දැක ගත හැකි වූයේ නැත. අනුර ජනාධිපති බවට පත්වී වසරක් අවසානයේ අපට මේ කරුණු ගැන සෑහීමකට පත්විය හැකිය. එහෙත් ශේෂ පත්‍රයක් හදා %අපේ රජා ‘පොරක්’ යැයි කියන්නට ජනතාව ඉක්මන් නොවිය යුතුය.
ආර්ථික අර්බුදයට වැටී ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ආකාරයෙන් කටයුතු කරන රටකට ආර්ථිකය ස්ථාවර යැයි උදම් ඇනීමට තව බොහෝ කාලයක් තිබේ. එසේම නීතිය නැවීම දීර්ඝ කාලීනව සිදු නොවන්නේ යැයි තහවුරු කර ගැනීමට ද කාලයක් යනු ඇත. ඩිජිටල් ආර්ථිකයක ප්‍රතිඵල ලබාගැනීමටද කාලයක් සිටිය යුතුය. වසර 77 ක් තිස්සේ තුරන් කරන දිළිඳු බව තුරන් කිරීම ද අවුරුද්දකින් කළ නොහැකි බව අපි සියලු දෙනා දනිමු. මේ නිසා අවුරුද්දක් අවසානයේ ශේෂ පත්‍ර හදන ආණ්ඩුවේ හොරණෑවලට මෙන්ම විපක්ෂ කණ්ඩායම්වල හොරණෑවලට ද මතක් කරන්නේ එයට තව කාලයක් ගතවන බවයි. අනුර හොඳටම කළා ද යන්න යම් තරමකට තීරණය කළ හැක්කේ තවත් වසර දෙකකිනි. ඒ අනුව මේ අවුරුද්දේ පමණක් නොව ලබන අවුරුද්දේ ද ශේෂ පත්‍ර හැදීම බොරු වැඩකි. බොරු වෙනුවෙන් කාලය ගත නොකිරීම ආණ්ඩුවේත් විපක්ෂ කණ්ඩායම්වලත් වගකීමකි. එය ඔවුන් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමකි.
ධම්මික ප්‍රේමරත්න