සමාජ මාධ්‍ය මඩ සහ දේශපාලන උපහාස


මේ වනවිට ආණ්ඩුවට එල්ල වන චෝදනාවක් වන්නේ ආපදා තත්ත්වය සමනය කිරීමට පැනවූ හදිසි නීතිය උපයෝගී කරගෙන ජනපති සහ ඇමැති මණ්ඩලය හාස්‍යයට ලක් කරන සමාජ මාධ්‍යකරුවන් මර්දනය කිරීමට රජය උත්සාහ කරන බවය. අද පමණක් නොව අතීත දේශපාලනය තුළද පාලකයා හාස්‍යයට ලක්වූ බව අතීත දේශපාලනය අපට උගන්වයි. 

දේශපාලකයන්ට නම් පටබැඳීම, මඩ ගැසීම අද පමණක් සිදුවන්නක් නොවේ. නිදහසෙන් පසු දෙවැනි අගමැතිවරයා වූ ඩඩ්ලි සේනානායකගේ සිට සර් ජෝන් කොතලාවලට අගමැති බණ්ඩාරනායකටත බණ්ඩාරනායක මැතිනියට, ජේ.ආර්.ට, ප්‍රේමදාසට හා චන්ද්‍රිකාටද නම් පට බැඳුණි. ඇතැමුන් මේවාට එරෙහිව යම් පියවර ගත්තද බොහෝ නායකයන් සිනාසී නිහඬ වුණා මිස ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. 

බණ්ඩාරනායක අගමැතිවරයාට ඇතැමුන් කීවේ සෙවල බණ්ඩා කියාය. බණ්ඩාරනායකට සමකාලීන සගයන් කවුරුත් කීවේ බණ්ඩා කියාය. ඒකට බණ්ඩාරනායකද කැමති විය.  බණ්ඩාරනායක විපක්ෂයේදී රිදී සීනුව ලෙස මිණි ගෙඩි හොල්ලමින් කළ පොරොන්දු බලයට පැමිණි පසු ඉටු කළේ නැත. මේ නිසා බොහෝ දෙනා කීවේ සෙවල බණ්ඩා කියාය. කොන්දක් නැති බණ්ඩාරනායක යන්න එහි තේරුමය. තමාට සෙවල බණ්ඩා කියන බව බණ්ඩාරනායක අගමැතිවරයා ද දැන සිටියේය. අගමැති බණ්ඩාරනායක සහභාගී වූ උත්සවයකදී ද ප්‍රකට හිමිනමක චෝදනා කර සිටියේ බණ්ඩාරනායක අගමැතිතුමාට කෙළින් තීන්දුවක් ගැනීමට නොහැක්කේ ඇට නැති කොන්ද පණ නැති නිසා බවය. 

එම රැස්වීමේදී සුපුරුදු සිනාව මුවග රඳවා ගත් අගමැතිවරයා පිළිතුරු කතාව කළේ සභාවම සිනා සාගරයක ගිල්වමිනි. 

මට ගොඩක් දෙනා චෝදනා කරනවා මට පණ නෑ කියලා. කෙළින් තීන්දු ගන්නේ නෑ කියලා. මට සෙවල බණ්ඩා කියනවා. මම බොහෝම ගරු කරන හාමුදුරු නමකුත් දැන් මෙතැනදී කිව්ව මගේ කොන්දේ ඇට නැතෙයි කියලා. අවසර හාමුදුරුවන් වහන්සේ ඒක වැරදි කතාවක්. මට ඇට තියෙනවා. අල්ලල බැලුවට මගේ කිසිම අකමැත්තක් නෑ. අගමැති කීවේ සභාවම විනෝදයට පත් කරවමිනි. 

අද සමාජ මාධ්‍යයෙන් ඇමැතිවරුන් හාස්‍යයට ලක්වුවද 1956 බණ්ඩාරනායක රජයේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැතිවරයාව හාස්‍යයට ලක්වූයේ රජයේ ගුවන් විදුලියෙනි. බණ්ඩාරනායක රජයේ ප්‍රවෘත්ති ඇමැති වූයේ මරික්කාර් නමැති මුස්ලිම් ජාතික දේශපාලනඥයෙකි. එකල ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩසටහනක් වූයේ නිවේදක විජයදාස ඉදිරිපත් කළ ‘‘විහිළු තහළු’’ වැඩ සටහනය. එම විහිළු තහළු වැඩ සටහනට දේශපාලනඥයන් ඇතුළු රටේ ප්‍රභූවරුන්ගේ හඬ අනුකරණයක්ද ඇතුළත් විය. කොතලාවල, මලලසේකර, කොල්වින් ආර්. ද සිල්වා වැනි විශේෂිත පුද්ගලයන්ගේ කටහඬ අනුකරණය කරමින් විජයදාස මහතා අසන්නන් ප්‍රමෝදයට පත් කළේය. 

ඊළඟට ඔහු අනුකරණය කළේ ප්‍රවෘත්ති ඇමැති මරික්කාර් සහ අගමැති බණ්ඩාරනායකගේ කටහඬය. ප්‍රවෘත්ති ඇමැති මරික්කාර් මේ ගැන අතිශය කෝපයට පත්ව අගමැති බණ්ඩාරණායකට පැමිණිලි කළේ තමාට අපහාස කළ බවය. 

මට වගේම ඔබතුමාටත් අපහාස කළා... මගෙත් ඔබතුමාගෙත් කටහඬ අනුකරණය කරල අපහාස කළා... ඇමැතිවරයා කියද්දී අගමැති බණ්ඩාරනායක මහ හඬින් සිනාසුණේය.

“ඕවා ගණන් ගන්න එපා” එංගලන්තේ බීබීසී එක ක්වින්වත් (රැජින) අනුකරණය කරල අසන්නන් හිනස්වනවා. අගමැති කීවේය. මෙම නිවේදකයා අස්කර දමන්නැයි ඇමැතිවරයා කොතරම් ඇවටිලි කළත් අගමැතිගේ පිළිතුර වූයේ එහෙනම් ඒ පටිය මෙතැනම ගෙනැවිත් වාදනය කර පෙන්වන්න. සංස්ථාවෙන් තැටිය ගෙන්වා අගමැතිවරයාට වාදනය කර පෙන්වූ අතර තමාගේම කටහඬ ඇසූ අගමැති මහත් විනෝදනයට පත්විය. රියල් වොයිස් බණ්ඩාරනායකගේ නියම කටහඬ අගමැතිවරයා කීවේ සිනා සෙමිනි. 

එම සිද්ධියේදී ඇමැතිවරයා පරාජයට පත්විය. රටවැසියන්ට දේශපාලකයන්ගේ කටහඬ අනුකරණයට අයිතියක් ඇති බව අගමැති බණ්ඩාරනායකගේ මතය වූ අතර ඔහු නිතරම ඒ සඳහා උදාහරණ දැක්වූයේ බ්‍රිතාන්‍යයේ හෝ බිබීසී ගුවන් විදුලිය එරට මහ රැජිනවත් මෙලෙසම අනුකරණය කර අසන්නන් විනෝදයට පත්කරන බවය. අගමැති බණ්ඩාරනායක වැනි පරිණත දේශපාලකයන් තමා උපහාසයට ලක් වෙද්දී සිනහවෙන්ම එම උපහාසය දරා ගත්තා මිස එයට එරෙහිව උසාවි යාම හෝ වෙනත් දණ්ඩය හස්තයක් ක්‍රියාවට යෙදුවේ නැත. 

දේශපාලනය මෙන්ම ජනතාව සමඟ ගැටෙන ඕනෑම ඉහළ තනතුරකදී පරිණතභාවය අවශ්‍ය වෙයි. 

1970-77 ආණ්ඩු සමයේද පාලක පක්ෂය ජනතාව අතර බෙහෙවින්ම විවේචනයට ලක් වූ සමයක් විය. එකල මුදල් අැමැතිවරයාට උපහාසයක් එල්ල වූයේ සිනමා පටයකිනි. 

දෑ කැත්තෙන් බෙල්ල කපන යටියන්තොට මාටින් කාරයා

දෑකැත්ත සහ මිටිය වාමාංශික පක්ෂවල ලාංඡනය ය. 1970-77 සමඟි පෙරමුණු රජයේ ප්‍රධාන පක්ෂයක් වූයේ ලංකා සමසමාජ පක්ෂය ය. සමසමාජ පක්ෂයද දෑකැත්ත සහ මිටිය පෙරටු කරගත් පක්ෂයක් විය. එම රජයේ මුදල් ඇමැතිවරයා ලෙස 1970 සිට 1976 දක්වාම කටයුතු කළේ යටියන්තොට මන්ත්‍රීවරයා වූ ලංකා සමසමාජ පක්ෂයේ නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා හෙවත් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. 

මුදල් ඇමැතිවරයා වශයෙන් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති එම රජයේ අගමැතිනිය වූ ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටවත් නතර කළ නොහැකි විය. එම ආර්ථික ප්‍රතිපත්තිය වූයේ අතිවිශාල ලෙස මෙරට සිදු කළ පාරිභෝගික භාණ්ඩ ආනයනය සීමා කර එම ද්‍රව්‍ය මෙරට දීම නිෂ්පාදනය කර ගැනීමේ කටයුත්තය. අගමැතිනියද ඒ සඳහා හැකි උපරිම උදව්ව මුදල් අමැතිවරයාට ලබා දුන්නාය. ක්‍රමයෙන් දේශීය ආර්ථිකයක් මෙරට ගොඩනැගෙමින් පැවතුණි. එහෙත් පාරිභෝගික භාණ්ඩ හිඟ නිසා ජනතාවට අතිශය දුෂ්කරතා ඇතිවිය. ආහාර පෝලිම් ඇතිවිය. මේ නිසා බොහෝ දෙනා සිටියේ ඇන්.ඇම්. සමඟ කේන්තියෙනි.  එලෙසම 1975 වනවිට ඇන්.ඇම්ලා සහ මැතිනිය අතර දේශපාලන එදිරිවාදිකම්ද බොහෝ සෙයින් මතුවී තිබුණි. 

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ ලෙනින් මොරායස් ‘සූරයා සූරයාම’යි චිත්‍රපටය නිපදවා තිරගත කරන්නේ මේ අතරය. දෑකැත්තෙන් බෙල්ල කපන යටියන්තොට මාටින් කාරයා ඉන්නේ මෙම චිත්‍රපටයේය. 

මාටින් අප්පු නමැති දුප්පත් ගැමියකු පොහොසතකු වී මාටින් මහත්තයා නමින් මුල අමතක කර හැසිරෙන හැටි චිත්‍රපටයේ කතා සාරයය. ගාමිණී පොන්සේකා සහ ජෝ අබේවික්‍රම ප්‍රධාන නළු දෙපොළය. එහෙත් එම චිත්‍රපටයේ ඇතැම් දෙබස් කාලයේ තාලයට අනුව මුදල් ඇමති යටියන්තොට මන්ත්‍රී මාටින් පෙරේරාට හොඳින්ම ගැළපෙන්නේය. 

සාදුකින් පෙළෙන කාලේ මාටින් නෙවෙයි දැන් මිනිහා දැන් මුදල් එකතු කරන මාටින්. 

රට පුරාම කවුරුත් දන්නවා මිනිහා දැන් දෑ කැත්තෙන් බෙල්ල කපන බව. 

කවුද ඔය මාටින් කියන්නේ. 

මේ යටියන්තොට පැත්තේ හාදයෙක්.

මෙම චිත්‍රපටය ගැන එකල ඇතැම් පුවත්පත්වල පළවූයේ චිත්‍රපටයේ නිෂ්පාදකයා යූඇන්පීකාරයකු බවය. ජී. ද ඇන්. කුලරත්නගේ ප්‍රධානත්වයෙන් යුතු චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයෙන්ද ඇන්.ඇම් පෙරේරාට හිතාමතාම වදින දෙබස්වලින් යුතු චිත්‍රපටය අනුමත වූයේ කෙසේ දැයි එකල ජනමාධ්‍ය ප්‍රශ්න කර තිබිණි. රටේම ජනතාව අතර විවේචනයට ලක්වූ ඇන්.ඇම්ගේ ඇතැම් ප්‍රතිපත්ති මෙම චිත්‍රපටයේ දෙබස් මගින්ද ජනතාවට විනෝදයක් සපයන්නට ඇත. එහෙත් චිත්‍රපටයට තහනමක් වැටුණේ නැත. 

ඩඩ්ලි සේනානායක මහතා අගමැතිව සිටි සමයේ වාමාංශික පුවත්පත්, අගමැතිවරයා ආමන්ත්‍රණය කළේ ‘පචබාහු’ වශයෙනි. බණ්ඩාරනායකට සෙවල බණ්ඩා කී ලෙසම ඔහුගේ භාර්යාව වූ සිරිමාවෝ මැතිනියට සමහරුන් ආමන්ත්‍රණය කළේ ‘බිංදුමතී’ වශයෙනි. එම රජයේ ගනුදෙනු අනුසාරයෙන් එම නම ප්‍රවර්ධනය කළේ එජාප හිතවාදීන්ය. ප්‍රේමදාසගේ කුප්‍රකට නම වූයේ  කානුකටාය. ජේ.ආර්. ටොම් පචයා විය. තමාට ටොම් පචයා ලෙස අමතන බව 1977 නොවැම්බර 28 වැනිදා ජාතික රාජ්‍ය සභාවේදී ජේ.ආර්. ප්‍රකාශ කළේ මේ ආකාරයටය.

‘‘චිං චිං නෝනා ගියා - ටොම් පචයා ආවා’’ යනුවෙන් සඳහන්  පෝස්ටරයක් මම ළඟදී දැක්කා. පචයා කියන්නේ අසත්‍ය දේ ප්‍රකාශ කරන මිනිහාටයි. එය මට කියන ලද්දකැයි මා සිතනවා. නමුත් චිං චිං නෝනා යනුවෙන් සඳහන් කර තිබෙන්නේ බණ්ඩාරනායක මැතිනිය ගැනයි. අනුර බණ්ඩාරනායක මහතා කියන හැටියට මෙම පෝස්ටරය ගසා තිබෙන්නේ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක හා ෆවුසි විසින්. මා ඔහුගේ හතුරා නිසා මට ටොම් පචයා කීවාට කමක් නෑ. ඒත් තම නායිකාවට පහත්ම ආමන්ත්‍රණයකින් ඇමතීම ඉතාම අකාරුණික ක්‍රියාවක්.’’ එදා අගමැති හැටියට ජේ.ආර්. කීවේය.

සමාජ මාධ්‍ය පැමිණි පසු දේශපාලන නායකයන්ට තම නිවසේ නිදන කාමරයේ හෝ මුළුතැන්ගෙයි සිටම උපහාසයට ලක්කිරීමට ජනතාවට අවකාශ ලැබී තිබේ. එකක් දෙකක් නොව දස දහස් ගණනින් සංසරණය වන උපහාස පෝස්ට් පසුපස රහස් පොලිසිය යෙදවීම නිෂ්පල ක්‍රියාවකි. මේ නිසා මෙරට පමණක් නොව ලෝකය පුරාම රාජ්‍ය නායකයන්ට හා දේශපාලන ප්‍රභූවරුන්ට ජනතාවගේ උපහාසයට ලක්වීමට සිදුව ඇත. විපක්ෂයේ සිටියදී පැවැති පාලනවල ප්‍රධානීන්ට එරෙහිව උපහාස රැල්ලක් ඇති කළේ ජාතික ජනබලවේග දේශපාලන ක්‍රියාකාරීන්මය. සජිත් ප්‍රේමදාසට පුතාණෝ ලෙසද රනිල් වික්‍රමසිංහට සීයා ලෙසද රාජපක්ෂ පාර්ශ්වයට බයියන් ලෙසද මෙලෙස නම් පටබැඳුණි. එයට පිළිතුරු ලෙස අනුර දිසානායක උපහාසයට ලක් කෙරුණේ කයියනායක ලෙසය. මේ සියලු නම් පට බැඳීම්වලටම ඒ ඒ දේශපාලකයන්ගේ කුමන හෝ දේශපාලන භාවිතයක් හේතුවිය.

විපක්ෂයේදී පාලකයන්ට උපහාසයට ලක්කරන බොහෝ දේශපාලන පක්ෂ තමන් බලයට පැමිණි පසු එවැනි හාස්‍යයමය විවේචනවලට කැමති නැත. මෙරට ඉතිහාසය පුරාම එවැනි අත්දැකීම් බහුලය. එදා පෝස්ටර් තහනම් කළ හැකි වුවද අද සමාජ මාධ්‍ය තහනම් කිරීම ජාත්‍යන්තර ප්‍රශ්නයකි. උපහාසයට හාස්‍යයෙන්ම පිළිතුරු දීම හැර වෙනත් විකල්පයක් වර්තමාන තාක්ෂණික ලෝකයේ පෙනෙන්නට නැත.

ප්‍රේමකීර්ති රණතුංග