සන්ධානයේ නායකත්වය ජනාධිපතිතුමාට දෙන්න ඕනෑ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නිමල් පියතිස්ස

  • මේ තීන්දුව ගන්න කලින් ගැඹුරු අධ්‍යයනයක් කළ යුතුව තිබුණා. එහෙම නොකර මේ වගේ තීරණයක් ගත්ත නිසා තමයි මේ ප්‍රශ්නය මතු වුණේ. 

රටේ කාලීන දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නිමල් පියතිස්ස මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- ජාතික ආරක්ෂාව සහතික කරනවා කියපු ආණ්ඩුව රටේ ජනතාවට නිදහසේ ගෙදර ඉන්න බැරි තත්ත්වයක් ඇති කරලා. රටට මේ මොකද වුණේ?


පිළිතුර:- ඇත්තටම මම හිතනවා ජාතික ආරක්ෂාව ගත්තොත් 2019 න් පස්සේ පෙර තිබිච්ච තත්ත්වයන් වෙනස් වුණා වගේම පසුකාලීනව ඇතිවෙච්ච කොවිඩ් වසංගතයත් එක්ක යම් යම් අර්බුද ගණනාවක් නිර්මාණය වුණා. ඒ වසංගතයත් සමග නිර්මාණය වෙච්ච බොහෝ ප්‍රශ්නවලට කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි මුහුණ දෙන්න වෙනවා. හැබැයි අපට තියෙන ගැටලුව තමයි ඒ ආකාරයෙන් අපි ප්‍රශ්නවලට මුහුණ දෙනවා වගේම තව පැත්තකින් නොසැලකිල්ල නිසා... අපි ආපස්සට කල්පනා කරලා බැලුවොත් ගත්තු තීන්දු තීරණවලින් ප්‍රශ්න මතුකරගෙන තියෙනවා. ඒ ඇති කරගත්ත සමහර කාරණා ඇතුළෙත් මේ ප්‍රශ්නකාරී වාතාවරණය හමුවේත් කුමන අවාසනාවන්ත තත්ත්වයක් තුළ වුණත් මුදල් උපයා ගැනීම පමණක් ප්‍රධාන කරගන්න ජාවාරම්කාර මාෆියාවට ඉඩක් ලැබී තිබීම අපට දකින්න තියෙන දෙයක්.


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ ‘ගෑස් ලීක්වීම’ ගැනයි?


පිළිතුර:- මම මේ එතැනට තමයි ආවේ. ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නය මතුවුණේ. මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. නොගැළපෙන සංයුතීන් වැඩි වශයෙන් සිලින්ඩරවලට ඇතුළු කිරීම නිසා ඒ පීඩනය දරාගත නොහැකි වීම නිසා ගෑස් ලීක් වෙනවා කියලා. ජනතාව බියෙන් ඉන්නේ. හැබැයි අපි විශ්වාස කරනවා කඩිනමින් මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙයි කියලා.


ප්‍රශ්නය:- කවුද මේවායේ වගකීම බාර ගන්නේ. කොම්පැණිවලට ඕනෑ ඕනෑ විදියට වැඩ කරන්න පුළුවන්ද? රටේ නීතියක් නැද්ද? රටේ ආණ්ඩුවක් නැද්ද?


පිළිතුර:- ප්‍රධාන වශයෙන් මේකට වගකියන්න ඕනැ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් පාරිභෝගික සේවා අධිකාරියත්. ඒ වගේම ඊට නායකත්වය ලබා දෙන ඉහළ පරිපාලන නිලධාරීන් වගේම දේශපාලන අධිකාරිය මේකට අනිවාර්යයෙන්ම වගකියන්න ඕනෑ. මොකද මීට වඩා නියාමනය කිරීමක් පසු විපරම් කිරීමක් තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් මේ ගතවෙච්ච කාලය තුළ කොම්පැණිවලට ඕනෑ විදියට එක එක ජාවාරම්කාරයන්ට ඕනෑ විදියට කටයුතු කරලා මේ වගේ විනාශකාරී දේවල්වලට පසුබිමක් හදනවා නම් ඊට ඉහළ දේශපාලන අධිකාරියෙන්වත් ඉහළ පරිපාලන නිලධාරින්ගෙන්වත් රටට වැඩක් වෙලා නෑ. ඒ නිසා මේ දිහා අපට සරලව බලන්න බෑ. ඒ නිසා ඉහළ දේශපාලන අධිකාරියෙන් ඉහළ පරිපාලන නිලධාරීන් තම වගකීම ඉටු නොකිරීම තුළ ඔවුන් වගඋත්තරකරුවන් වන එක නවත්වන්න බෑ.


ප්‍රශ්නය:-  ඔබල ඉන්නේ ආණ්ඩුවේ. අපට වෙලා තියෙන්නේ ඔබලාගේ දුක් අ​ඳෝනා අහගෙන ඉන්න?


පිළිතුර:- විශේෂයෙන්ම මේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. බලවේග ගණනාවක් එකට එකතු වෙලා නිර්මාණය වෙච්ච ආණ්ඩුවක්. හැබැයි සමහර නායකයෝ කල්පනා කරන්නේ බලයට එන්න මේ බලවේග හා බලවේගවල නායකයන් ඕනෑ වුණාට ඊට පස්සේ අවශ්‍ය නෑ කියලයි.


ප්‍රශ්නය:-  ඔබට එහෙම දෙයක් දැනෙනවද?


පිළිතුර:- ඇත්ත වශයෙන්ම ඔව්. පහුගිය කාලේ මතුවෙච්ච බොහෝ ප්‍රශ්නවලට බලපාපු ප්‍රධාන කාරණය තමයි බලය ලබා ගැනීම සඳහා එකට එකතු වෙච්ච නායකයන් සමග එකට එකතු වෙලා ජාතික තලයේ තීන්දු තීරණ නොගැනීම. සාමුහිකව තීන්දු තීරණ ගත යුතුව තිබුණා වුණත් පහුගිය කාලයේ ගත්ත හුඟාක් තීරණ තනි තීරණ. ඒ නිසා සමහර තීරණ රිවස් කරගන්න වුණා. තවත් ඒවා පාරාවළල්ලක් වුණා. අපි මේ ආණ්ඩුවේ අභ්‍යන්තරයෙ හිටියා වුණත් අපි විශේෂයෙන්ම හැට නව ලක්ෂයේ ජනතාවගේ බලාපොරොත්තු සඵල කරන්න නුගේගොඩ මහින්ද සුළඟ ආරම්භ කළ මොහොතේ සිට 2018 පළාත් පාලන මැතිවරණය, 2019 ජනාධිපතිවරණය, 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදීත් තුනෙන් දෙකක දැවැන්ත ජනතා බලයක් ගොඩනගන්න එකට එකතු වෙලා වැඩ කළා වගේම මේ ආණ්ඩුව නිර්මාණය වුණාට පස්සෙත් රටේ අනාගතය ගැන හිතලා තීන්දු තීරණ ගැනීමේදී වගේම ඇතිවන ප්‍රශ්නවලට විසඳුම් සොයද්දිත් තනි තනිව තීන්දු තීරණ ගන්නේ නැතිව සාමුහිකව මුහුණ දුන්නා නම් මේ ගැටලු සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කරගන්න තිබුණා. එසේ නොවීමත් බලවේගවල නායකයන් නොසලකා හැරීමත් තනි තීන්දු තීරණ ගැනීමත් නිසා තමයි ඔබ ඔය කියපු ප්‍රශ්නයට අපට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අපි නියෝජනය කරන්නේ හැටනව ලක්ෂයේ ජනවරමයි. අපට ප්‍රමුඛ ඒ ජනවරමයි. ඒ ප්‍රමුඛතාවයට යටත්ව තමයි ඒ තීන්දු තීරණ ගත යුත්තේ.


ප්‍රශ්නය:- නමුත් වෙන්නේ නෑ?


පිළිතුර:- ඔව්. අපට පේනවා සමහර කාරණාවලදී ඒ සාමුහික බව දකින්න නෑ කියලා. ඒවා නිවැරැදි කර ගැනීම සඳහා අපට යම් විවේචනයක් ගේන්න වෙලා තියෙනවා.


ප්‍රශ්නය:- බලවේගවල නායකයන් නොසලකා හාරින්නේ කවුද? ඔබට ඒකට නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන්ද?


පිළිතුර:- විශේෂයෙන්ම අපි දන්නවා මේ මොහොත වන විට තියෙන වාතාවරණය තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් තියලා තමයි මේ රටේ ජනතාව විශේෂයෙන්ම තරුණ ප්‍රජාව ගොවියා, රාජ්‍ය නිලධාරීන් මේ දැවැන්ත ජයග්‍රහණය නිර්මාණය කළේ. ඒ සියලු ජයග්‍රහණවලින් පස්සේ අපට දැනුණ ඉතිහාසයේ ප්‍රධාන වශයෙන් ජනාධිපතිතුමා දේශපාලන වශයෙන් මේ බලවේග සමග ළඟ ළඟ සාකච්ඡා වගේම දේශපාලන වශයෙන් නායකත්වය ලබා​ දෙමින් කටයුතු කරනවා වෙනුවට එතුමා ජනාධිපතිවරයා කියන ධුරයෙ පමණක් සිටිමින් මේ ​දේශපාලන ක්‍රියාවලියට නායකත්වය ලබා නොදීම තමයි මේ ඇතිවෙලා තියෙන බොහෝ ප්‍රශ්නවලට හේතුවෙලා තියෙන්නේ.


ප්‍රශ්නය:- ජනාධිපතිවරයාට දේශපාලන නායකත්වයට එන්න නොදී ‘බ්ලොක්’ කරන්නේ කවුද? ඔබට ඒ ගැන අවබෝධයක් ඇති?


පිළිතුර:- ඔව්. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයක් හදලා මැතිවරණ ගණනාවකට ඉදිරිපත් වුණා. අපි ලබාගත්ත ජයග්‍රහණ තියෙනවා. දැන් මේ දිනපු සන්ධානයේ නායකත්වය සෘජුව නියෝජනය කරන්නේ ජනාධිපතිතුමා නොවෙයි. දැන් මෙතැන ගත්තොත් බල ව්‍යාපෘති ගණනාවක් එකම සංදර්භයක් තුළ තිබෙන කොට අපට තියෙන ප්‍රධාන ගැටලුව තමයි කවුද නිශ්චිතව වග කියන්නේ. මේ බලවේගත් සමග කවුද නිශ්චිතව කතා කරන්නේ කියන එක අපැහැදිලියි. ජාතික තලයේ ක්‍රියාමාර්ග ගන්නකොට බල ව්‍යාපෘතියේම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 ඉඳලා 2015 වෙනකම් එම ක්‍රියාන්විතය ඉතාම සාර්ථකව කරලා පෙන්වපු නායකයෙක්. ඒ ආදර්ශයම අරගෙන අපට පුළුවන්කම තියෙනවා 2020 න් පස්සේ මේ නිර්මාණය වෙච්ච ආණ්ඩුවේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්තා නම් අපට මෙයට වඩා වෙනස් අත්දැකීමක් ලැබෙන්න තිබුණා. නමුත් අවාසනාවන්තම තත්ත්වය තමයි මේ දේශපාලන ප්‍රවාහයේ නායකත්වය කුමන හෝ තත්ත්වයක් යටතේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට නොලැබීමේ පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක තමයි මේ ප්‍රශ්නවලට බලපාලා තියෙන ප්‍රධානම හේතුව.


ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි තබා තිබූ විශ්වාසය වේගයෙන් ගිලිහී යමින් තිබෙනවා.


පිළිතුර:- ඇත්ත වශයෙන්ම එතුමා පිළිබඳව මේ රටේ දේශපාලන වශයෙන් ක්‍රියාකාරී නොවුණ තරුණ ප්‍රජාව තුළත් එතුමා ගැන දැඩි විශ්වාසයක් ගොඩනැගිලා තිබුණා. රාජ්‍ය නිලධාරීන් තුළත් සමස්ත ජනතාව තුළත් විශාල වශයෙන් බලාපොරොත්තු උද්දීපනය වෙලා තිබුණා. හැබැයි මීට පෙර මම පැහැදිලි කරපු කාරණා එක්ක සසඳ‌ා බලන විට දැන් ඇත්තටම, පසුගිය කාලයේ ගත්ත ඇතැම් තීන්දු තීරණ එක්ක ඒ විශ්වාසය මේ වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයකින් ඔබ කියපු ආකාරයට බිඳවැටිලා තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් බලපාපු කාරණය තමයි යහපාලන ආණ්ඩුව විසින් සම්මත කරගන්න වෙර දරපු ඒ වෙනකොට ඒකාබද්ධ විපක්ෂය හැටියට විරුද්ධ වෙච්ච ඇතැම් අණපනත් හා ගිවිසුම් අපේ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා.


ප්‍රශ්නය:- උද‌ාහරණයක් කිව්වොත්?


පිළිතුර:- විශේෂයෙන්ම කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය අපට උද‌ාහරණයක් හැටියට දක්වන්න පුළුවන්. කේ.ඩී.යූ. පනත පෙන්වන්න පුළුවන්. ගොවි ප්‍රශ්නය ගන්නත් පුළුවන්. ගුරු ප්‍රශ්නය ඔඩුදුවපු හැටි පෙන්වන්න පුළුවන්. මේ හරහා වෙච්ච දේ තමයි රට පුරාම විපක්ෂය විසින් බිහිකළ යුතු සටන් බිම් අපේ අතපසුවීම් හා වැරැදි තීන්දු තීරණ නිසා අප විසින් රට පුරාම බිහිකර ගත්තා. ඒ නිසා ඒ තිබුණ දැවැන්ත විශ්වාසය අද මේ මොහොත වන විට විශාල වශයෙන් බිඳවැටිලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාගේ වගකීම තමයි ඒ විශ්වාසය නැවත ගොඩනගා ගැනීම. ඒ සඳහා ඉදිරි කාලය අපට ප්‍රමාණවත් වෙනවා. ඒ වෙනුවෙන් ගතවෙච්ච කාලය පිළිබඳව රජය විදියටත් ජනාධිපතිතුමා විදියටත් ස්වයං විවේචනයක් හා සමාලෝචනයක් කරගත යුතුයි. වෙච්ච අඩුපාඩු නිහතමානීව දැකලා මෙතැනින් එහාට ඒ ගමන නිවැරැදි දිශාවට හරවා ගත්තොත් බිඳවැටිච්ච ඒ විශ්වාසය අපට නැවත ගොඩනගාගන්න පුළුවන්.


ප්‍රශ්නය:- කාබනික පොහොර ව්‍යාපෘතියට එරෙහිව ඔබත් ගොවියන් සමග එකතු වෙලා සටන් කළා. ඇමැති මහින්දානන්ද කිව්වා ‘පොහොර සමාගම් මාෆියාවක්’ තියෙනවා කියලා. ඔබත් ඒ මාෆියාවේ ඉත්තෙක්ද?


පිළිතුර:- ඇත්තටම මේ ගොවි ජනතාවගේ ප්‍රශ්නය හොඳටම තේරෙන්නත් ගොවියො අතර ඉන්න ගොවියෙකුටමයි. ​අපේ රටේ කෘෂිකර්මාන්තය ගත්තොත් හේන් ගොවිතැන වී ගොවිතැන, තේ වගාව වගේම උඩරට එළවළු භෝග වගාවන් තමයි තියෙන්නේ. ඒ වගේම අපි දීර්ඝ කාලයක් රසායනික පොහොර සමග සම්බන්ධ වෙච්ච නිෂ්පාදන ක්‍රියාවලියක් සමග තමයි ඉන්නේ. මේ ක්‍රියාන්විතය තුළ පහුගිය කාලයේ මේ ගත්ත ක්ෂණික තීන්දුව ගොවි ජනතාවට රටට අනාගත ආහාර සුරක්ෂිතතාවයට ඉතා බරපතළ ලෙස බලපාන කාරණයක්. ඒ නිසා ගොවි බිමක් නියෝජනය කරන ගොවි ජනතාව නියෝජනය කරන ගොවියෙක් වෙච්ච මම... අදටත් අපේ පවුල් ජීවත්වෙන්නේ ගොවිතැනින්. 


නුවරඑළිය දිස්ත්‍රික්කයේ හද්ද‌ා පිටිසර ගම්මානයකින් බිහිවෙච්ච කෙනෙක් විදියට හා ප්‍රායෝගිකව ලබා ඇති අත්දැකීම්වලට අනුවත් ඒ වගේම මම මධ්‍යම පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම ඇමැති වෙලා හිටියා. ඒ අනුවත් මේ ගත්ත ක්ෂණික තීරණය මේ මහ පොළොවත් එක්ක සමපාත වෙන්නේ නෑ. මේ තීන්දුව ගන්න කලින් ගැඹුරු අධ්‍යයනයක් කළ යුතුව තිබුණා. එහෙම නොකර මේ වගේ තීරණයක් ගත්ත නිසා තමයි මේ ප්‍රශ්නය මතු වුණේ. විශාල ආහාර හිඟයක් ඇතිවෙන්න තිබුණා. ගොවියා කබලෙන් ලිපට වැටුණා. මේ සම්බන්ධ ප්‍රායෝගික අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට මම, ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අහිංසක ගොවියන්ගේ මනාපයෙන් පාර්ලිමේන්තු ආපු මම මේ ඇතිවෙච්ච කම්පනයත් එක්ක කුඹුරේ, ඉඩමේ වගාවේ ඉන්න ඕනෑ ගොවි ජනතාව නගරයට ඇවිත් උද්ඝෝෂණය කරන තැනට ආවා. ගොවි ජනයා එසේ දුෂ්කර තත්ත්වයට පත්වෙච්ච මොහොතක, ජාතික ගොවි ව්‍යාපාරයෙ සභාපතිවරයා හැටියටත් ගොවියකු හැටියටත් මට නිහඬව ඉන්න සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ නිසයි මමත් සටන් බිමට ආවේ. එහෙම නැතිව පොහොර සමාගම් මාෆියාවේ ඉත්තෙක් නොවෙයි.

 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්