
විපක්ෂයම එකමුතු කළ ඓතිහාසික හමුව
කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලය ඉකුත් බ්‍රහස්පතින්දා කාර්ය බහුල දිනයක් වූයේ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් එකතු වූ ඓතිහාසික දිනක් බවට පත් වූ නිසා ය. විපක්ෂනායක සජිත් ඉකුත් සතියේ මෙරට සියලුම දේශපාලන පක්ෂ නායකයන්ට දුරකථනයෙන් අමතා ඇරියුම් කළේ ආණ්ඩුවට එරෙහි පොදු ප්රශ්නවල දී එකට එකතු වී කටයුතු කිරීම සඳහාය. ඒ සඳහා පළමු සාකච්ඡා වටය ලෙස මෙම රැස්වීම කැඳවා තිබිණි.
එජාප නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, ශානක්‍යයන් රාසමානික්කම්, පාඨලී චම්පික රණවක, රවි කරුණානායක, දයාසිරි ජයසේකර, ශ්රීලනිපය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, තිස්ස අත්තනායක, මනෝ ගනේෂන් ඇතුළු මෙරට සියලුම දේශපාලන පක්ෂ නායකයෝ විපක්ෂනායක කාර්යාලයේ හමුවට පැමිණියහ.
සජිත්, රනිල්, දිනේෂ්, නාමල් මුලසුනේ පෙරටුකරගෙන සියලු පක්ෂ නායකයන් රැස්වීම් මේසය වටා වාඩිවෙද්දී මන්ත්‍රීවරයකුට කියවුණේ ‘‘අනුර දිසානායක ඇරෙන්න හැමෝම මෙතන ඉන්නවා’’ කියාය. එය ඇසුණු කාගේත් මුහුණ සිනාවෙන් පිරී ගියේය. එහි පැමිණි සිටි සියලු නායකයන්ගේ මුහුණු ප්‍රබෝධමත්ව තිබුණේ විපක්ෂයේ සියලුම නායකයන් එකට මුණ ගැසී මෙවැනි රැස්වීමක් පැවැත් වූ පළමු අවස්ථාව නිසා ය.
විපක්ෂනායක සජිත් මෙම හමුව කැඳවීමේ අරමුණ පැහැදිලි කළේය.
‘‘අපේ රටේ ප්රජාතන්ත්රවාදය ලොකු අර්බුදයකට පත්වෙමින් තිබෙන වෙලාවක අපි මේ රැස්වුණේ. අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට අපි පුළුල් අරගලයක් කළ යුතුයි.’’ සජිත් කීවේය.
‘‘අධිකරණ බලය කියන්නේ ජනතාව සතු බලයක්. ඒක තමයි ව්‍යවස්ථාවෙන් ලබාදීල තිබෙන්නේ. ඒ අධිකරණ බලය වෙනස් කිරීමට ලක් කරනව නම් ඒක ජනමත විචාරණයක් තියල මහජනතාව විසින්ම අනුමත කරන්න ඕනෑ.’’ ජනමත විචාරණයකින් තොරව මෙවැනි සංශෝධනයක් ගේන්න බෑ.... තමන්ගෙම නඩුව තමන්ට විභාග කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළ කාරණාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම විභාග කරන්න බෑ. එජාප නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ එසේ පැවසුවේ මේ සම්බන්ධව විදේශීය නඩු තීන්දු ගණනාවක් ද ගෙන හැර පාමිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමට රජය ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා විපක්ෂයේ සියළු පක්ෂ ඒකාබද්ධ පියවරකට යා යුතු බව සියළු පක්ෂ නායකයන්ගේ තීරණය විය. ඒ සඳහා නීති වෘත්තිකයන් සහ සිවිල් සමාජයද හවුල් කර ගැනීමට ද තීරණය කෙරිණි. එම විරෝධතාව ඉදිරියට ගෙනයාම සඳහා සියළු දේශපාලන පක්ෂවලින් සමන්විත කමිටුවක් පත් කිරීමට ද සභාව එකඟතාව පළ කළේය. මෙම සංශෝධනය ගෙන ඒමට ආණ්ඩුව ගොඩනගන තර්කයක්ද පක්ෂ නායකයන්ගේ විරෝධයට ලක්විය.
ගොඩ ගැසී ඇති නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමේ සංශෝධනය ගෙන එන බවට රජය පවසන අතර විපක්ෂය කියන්නේ එය බොරුවක් බවත් නඩු ඉක්මන් කිරීමට කළ යුත්තේ මාස හයක් තිස්සේ පුරප්පාඩු වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කිරීම බවත් ය.
ගොඩගැසී ඇති නඩු විභාග විසඳීමට විපක්ෂය බාධා නොකරන බව එහිදී කියවුණු අතර එම කටයුත්ත සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කර නඩු විභාග කරන ක්‍රමයක් සකස් කරන්නැයි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බවද විපක්ෂය කීවේය. විපක්ෂ නායකයන් තවදුරටත් කියා සිටියේ එක් පුද්ගලයකු කේන්ද්‍ර කරගත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම පවතින ව්‍යවස්ථාවටද පටහැනි බවය. අන් දේශපාලන මතිමතාන්තර පැත්තකින් තබා මෙම ආකාරයට පමණක් එකමුතුව වැඩ කිරීම ද සියලු පක්ෂ නායකයෝ එකඟතාව පළ කළහ.
‘‘විපක්ෂනායක කාර්යාලය හැම දෙනාවම විවෘත තැනක්. අපි සමගි ජනබලවේගය ලෙස මේ වෙනකොට පියවර කීපයක් ගෙන තිබෙනවා. අපි එකතු වෙලා වැඩ කරමු. මේ කාර්යාලය ඔබ හැම දෙනාටම විවෘත තැනක්. විපක්ෂනායක සජිත් කියා සිටියේය. පැය දෙකකට ආසන්න වේලාවක් රැස්වීම පැවැත්වුණු අතර පිරිස විසිර ගියේ ආණ්ඩුවට එරෙහි පොදු වෙඩිමුරයක් පත්තු කරන අදහසිනි.
මාලිමා රැස්වීම්වලදී ජනපති කී දේ
විපක්ෂය එසේ යම්තරමකට එකමුතු වෙද්දී ජනාධිපති අනුර දිසානායක ද මේ දිනවල ජාතික ජනබලවේගය ශක්තිමත් කරමින් ආසනයෙන් ආසනයට යමින් සිටියි. ඉකුත් කාලයේ ගල්අඟුරු බාල බවට නැගුණු මතවාදය සහ ඉන්ධන අර්බුදයත් සමග ජනාධිපතිවරයා තීන්දු කළේ තමාට ඡන්දය ලබාදුන් මාලිමා සාමාජිකයන් හමුවී ඔවුන්ගේ ප්‍රශ්න සහ යෝජනා සාකච්ඡා කිරීමටය. ප්‍රසිද්ධ මහජන රැස්වීම් ලෙස නොව ඒ ඒ ආසනයේ ජාතික ජනබලවේග සාමාජිකයකුගේ නිවසක පෞද්ගලික මට්ටමින් මෙම සාකච්ඡා පැවැත්වෙයි.
ආණ්ඩුව පිහිටවා ගෙවී ගිය වසර දෙකක කාලය තුළ මාලිමා සාමාජිකයාට ඇති වූ ප්‍රශ්න මෙම සාකච්ඡාවලදී විමසා බැලෙයි. තම පක්ෂ සාමාජිකයන් මුණ ගැසුණු ජනාධිපතිවරයා ඔවුන්ගේ ප්‍රශ්නවලට සාවධානව සවන් දුන්නේය. ඉන් බොහෝ දෙනාට තිබුණේ රජයේ නිලධාරීන් නිසා මතු වූ ප්රශ්නය. තවත් සමහරුන් ආණ්ඩුකරණය නිසා ඔවුන්ගේම ගැටලු හදාගෙන තිබුණි. සිදුවන්නේ කුමක්දැයි තවත් සමහරුට අවබෝධයක් නොතිබුණේ විපක්ෂය මතු කරන ප්‍රශ්නවලට ඔවුන් හසුවී තිබූ නිසාය. ජනාධිපතිවරයා එවැනි අයට කීවේ මෙවැනි කතාවකි.
අපි කරන වැඩවලට අවබෝධයෙන් සහයෝගය දෙන්න. අපි පක්ෂ දේශපාලනය කරන කොට වගේ නෙවෙයි ආණ්ඩුවක් වුණාම කටයුතු කළ යුතු නීති මාලාවක් තිබෙනවා. එතැන ඉන්නෙ රාජ්‍ය නිලධාරීන්. ඔබට ඔවුන් වැඩ කරන රටාව ප්රශ්නකාරී ඇති. ඒත් අපි ඒකට පුරුදු වෙන්න ඕනෑ. ඇමැතිවරුන්ට පවා අධික කාර්ය බහුලත්වය හේතුවෙන් නිතර දුරකථන ඇමතුම්වලට පිළිතුරු දෙන්නබෑ. නිතර හමුවෙන්න බෑ. අපි තමුන්නාන්සෙලාට පොරොන්දු වූ වැඩ කොටස කරමින් ඉන්නවා. ජාතික ධනය කොල්ල කෑ අයට දඬුවම් දීමේ කටයුතු අධිකරණ නීති මගින් කෙරෙමින් පවතිනවා. අපි පොරොන්දු වූ දේ මේ වසර පහක කාලය තුළ ඉටු කරනවා. ජනාධිපතිවරයා කියා සිටියේය.
ප්‍රාදේශීය සභාවල බලය ලබාගත්තත් ඇතැම් සභාවලින් තමන් බලාපොරොත්තු වූ කාර්ය සිදු නොවන බවටද මැසිවිලි නැගිණි. එහිදී ජනාධිපති අනුර කියා සිටියේ සමහර ප්‍රාදේශීය සභාවලට මාර්ග තැනීම වැනි කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නොමැති බවය. ‘‘“අපි එම සභාවලට යන්ත්‍ර සූත්‍ර ගෙනත් දෙනවා. අපි හිතපු තරම් වේගයෙන් ඇතැම් සංවර්ධන කටයුතු පටන් ගන්න බැරි වුණා. ඒත් ලබන වසරේ ප්‍රාදේශීය සභා ශක්තිමත් කරනවා. එතකොට ඔබේ වැඩ ටික කෙරෙයි.” ජනාධිපතිවරයා කීවේය. තමන් කෙරෙහි තැබූ විශ්වාසය දිගටම රැකගන්නා ලෙසත් මෙම රැස්වීම් වලදී ජනාධිපතිවරයා කියා සිටියේය.
“වසම් සභා” ඇරඹෙයි
මාලිමාව ශක්තිමත් කිරීම පිණිස ‘‘වසම් සභා’’ නමින් සමිති මාලාවක් මේ දිනවල ආරම්භ කරමින් පවතී. එම වසම් සභා මැතිවරණ සමයේ පැවතුණේ ශ්රාම සේවා වසම් තුන හතරකට එකක් ලෙස ය. ඒවා කොට්ඨාස සභා ලෙස හැඳින්විණි. එහෙත් එම සභා ප්‍රමාණවත් නොවීම නිසා ‘‘වසම් සභා’’ නමින් සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම එක් සභාව මගින් ආරම්භ කෙරෙයි. ඉදිරි මාස දෙක තුළ මෙම සභා ආරම්භ කර අවසන් කිරීමට නියමිතය.ගම් මට්ටමේ සංවර්ධන කටයුතු ගැන යෝජනා කර ක්‍රියාත්මක කිරීම පැවරෙන්නේ මෙම සමිතිවලටය. පක්ෂයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජන සහභාගීත්වය ලබා ගැනීම මෙහි අරමුණය.
ලබන වසරේ අයවැය යෝජනා සකස් කිරීම අරමුණු කරගෙන ජනාධිපතිවරයා පවත්වන සාකච්ඡා මාලාව යටතේ තවත් අමාත්‍යංශ කිහිපයක් සමග ඉකුත් සතියේ ද සාකච්ඡා පැවැත්විණ. අලුතෙන් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියා මාර්ග ගන්නා ලෙසද අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට විශාල හානියක් සිදුවන බැවින් එය වැළැක්වීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඔලුවිල් වෙරළ සංචාරක කර්මාන්තය අතින් රටට වැදගත්ම වෙරළ තීරයක් නිසා එම වෙරළ තීරයේ ඛාදනය වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
සජබයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සති කිහිපයකට පසු ඉකුත් අඟහරුවාදා පැවැත්විණි. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු සභිකයෝ එම රැස්වීමට සහභාගී වූහ. වෙනදා වෙනත් දේශපාලන කරුණු කතා වුවද එදින විශේෂත්වය වූයේ පක්ෂය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ගැන පමණක් සාකච්ඡා කිරීමය.
‘‘ආණ්ඩුවට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා සැප්තැම්බර් මාසයට. ඒ වෙනකොට අපේ පක්ෂ ව්‍යාපාරය බිම් මට්ටමින් ආයෙ නගා සිටුවන ආකාරය ගැනයි අපි බලන්න ඕනෑ.’’ පක්ෂනායක සජිත් ප්‍රේමදාස කීවේය
ජාතික සංවිධායක තිස්ස අත්තනායක පක්ෂය බිම් මට්ටමෙන් නගා සිටුවීම සඳහා සැලසුමක් සකස් කර තිබිණි. ඔහු එය කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. මූලික කරුණු දෙකක් මත සකස්කර තිබූ එම සැලැස්මේ පළමු අංගය වූයේ සැප්තැම්බර් විසිහය හා විසිහත යන දෙදින සාමාජිකයන් දස ලක්ෂයක් බඳවා ගැනීමේ යෝජනාවකි. සාමාජිකයන් දැනුවත් කිරීම අනෙක් යෝජනාවය. මේ යටතේ ගම් මට්ටමේ ඡන්ද පොළ නියෝජිතයන් දොළොස්දාහ යොදාගෙන මෙම දෙදින තුළ ගමේ ගෙවල් සීයකට ගොස් නව සාමාජිකයන් බඳවාගැනීම හා පක්ෂය ප්‍රවර්ධනයට කටයුතු යොදා ඇත. තිස්ස එම වැඩසටහන ගැන මූලික දැනුවත් කිරීමක් කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කළ අතර කෘත්‍යාධිකාරිය එම සැලැසුම අනුමත කළේ ය.
‘‘ඒ වගේම පක්ෂයේ දැනට තියෙන අනුබද්ධ සංවිධාන විසි දෙකම ජාතික සංවිධායකතුමා යටතට පත් කරනවා. ඔහු ඒ වගකීම් භාර ගෙන කරන්න ඕනෑ.’’ පක්ෂ නායක සජිත් කියා සිටියේය. ගොවි නීතිඥ ඇතුළු සංවිධාන ජාලයට මෙසේ ජාතික සංවිධායක තිස්ස යටතට පැවරීමේ මූලික අරමුණ වන්නේ වාර්ෂික සැලැස්මක් එම සංවිධාන සියල්ලටම සකසා ක්‍රියාත්මක කිරීමය.
ඒ.අයි. අපි තාක්ෂණය හා සමාජ මාධ්‍ය හරහා පක්ෂය අලුත් පරපුර දිනා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් ද පත් කෙරිණි. මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ සහ කොළොන්නාව මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ මූලිකත්වයෙන් මෙම කමිටුව පත් කෙරිණි. පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීම ගැනත් කෘත්‍යාධිකාරිය දැනුවත් කිරීමට පක්ෂ නායක සජිත් කටයුතු කළේය.
මේ වෙනකොට රටේ ප්‍රශ්න කීපයක් උද්ගතවෙලා තියෙනවා. ලොකුම ප්‍රශ්නෙ තමයි අධිකරණයේ ස්වධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය රැකගැනීම. මේ වගේ පොදු කරුණුවල දී එකට වැඩ කරන හැටි ගැන සාකච්ඡා කිරීමටයි සියලු පක්ෂවල නායකයන්ට ආරාධනා කළේ. ඒ රැස්වීමට දැනටමත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා සහභාගි වෙන බව දන්වල තියෙනවා. හිටපු ජනාධිපතිවරුන්ට, අනිත් පක්ෂ නායකයන්ට මේ සඳහා ඇරියුම් කරල තියෙන්නේ’’ සජිත් කීවේය.
අපි අවුරුදු දෙකක්ම බලාහිටියනෙ මේ ආණ්ඩුව වැඩ කරන හැටි. මුළු රටම ලොකු පීඩනයකට අහුවෙලා තිනේනෙ. එක පැත්තකින් ජනතාවට තියෙන පීඩනය පිට කරන්නේ අපටත් දෝෂාරෝපණය කරගෙන. අරගලය වෙලාවෙත් ගෝඨා ගෝ හෝම් කියන මූලිකම සටන් පාඨය ගෙනිච්චෙත් අපි. අපියි මුලදිම පෙළපාළි ගියේ. ඒත් ඒ සටන් පාඨය අත්පත් කර ගත්තෙ වෙනත් කණ්ඩායමක්. ඒ නිසා මේ වෙලාවෙ එහෙම නොවෙන්න ජනතාවගේ පීඩනය පිට කරන්න අවශ්‍ය නායකත්වය අපි සපයන්න ඕන. මේ වෙලාවෙ ගොවියොත් දිගින් දිගටම උද්ඝෝෂණය කරනවා. මේ අය ගොඩක් තැන්වල උද්ඝෝෂණය කරන්නෙ ස්වේච්ඡාවෙන්. අපි මැදිහත් වෙන තැනුත් තියෙනවා. ඒත් ස්වේච්ඡාවෙන්ම උද්ඝෝෂණය කරන අය හිතනවා වෙන නායකත්වයක් නොලැබෙන නිසා අපි හරි කරන්න ඕනෑ කියලා. ඒ නිසා හැකි සෑම තැනම ජනතා උද්ඝෝෂණවලට නායකත්වය දෙන්න......’’ විපක්ෂ නායක සජිත් තවදුරටත් කියා සිටියේය.
“ඇත්තටම අපි නායකත්වය දෙන්න ඕනෑ. දැන් සැප්තැම්බර් මාසෙ දින දෙකක් ක්‍රියාත්මක කරන වැඩසටහනට ආසන සංවිධායකයෝ කවුරුවත් අතපසු කරන්න වත් මග හරින්නවත් එපා..... මේක තමයි අපේ පළමුවැනි පියවර. ජනතාව බලාපොරොත්තු වෙනවා සජබ සංවිධායකවරු ගමට ඇවිත් ඔවුනට කතා කරයි කියලා. අනික් පැත්තෙන් අපේ නොවන අනික් පක්ෂවල සාමාජිකයන්ටත් අපේ පත්‍රිකාවක් දීලා. අපේ වැඩසටහන හඳුන්වලා දීලා ඔවුන් අපට එකතු කරගන්න කටයුතු කරන්න. ඒ දවස් දෙක වෙන වැඩක් දා ගන්න එපා. එදා දවසෙ ආසනේ ඇතුළෙ ඉන්නම ඕනෑ.....’’ ජාතික සංවිධායක තිස්ස අත්තනායක කියා සිටියේය.
මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ආසන සංවිධායක ධුරවලට පුරප්පාඩු පත්කිරීම් හා විනය පරීක්ෂණ වාර්තා කිහිපයක් ඉදිරිපත් කළේය. එම වාර්තා සම්මත විය.
අපි අගෝස්තු මාසයේ දවස් දෙකක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද පොළ මට්ටමින් රැස්වීම් හයසීයක් තියනවා. සාමාජික ප්‍රවර්ධනය තමයි එම වැඩසටහනේ අරමුණ.....’’ මහලේකම් රංජිත් කියා සිටියේය.
සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවද ඉකුත් බදාදා රැස්විය. එහිදී ද වැඩිපුරම සාකච්ඡා වුණේ ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් දිගු කිරීමට රජය ගන්න උත්සාහය පිළිබඳවය. කළමනාකරණ කමිටුව හමුවේ සජිත් කියා සිටියේ, ආණ්ඩුව ඡන්දයට පෙර ලබා නොදුන් පොරොන්දුවක් වන මෙයින් බලාපොරොත්තු වන්නේ යම් ආකාරයක අල්ලසක් බවය. ‘‘එයාලාගෙ වාසියටයි මේ අධිකරණයේ වෙනස්කම කරන්න හදන්නේ. අපි දැඩි බලපෑමක් කරල මේ තීන්දුව නවත්වන්න ඕනෑ...’’ විපක්ෂ නායක සජිත් කියා සිටියේය. ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන් හා පක්ෂ සංවිධාන ක්‍රියාකාරීව මැදිහත් විය යුතු බවද සජිත් කියා සිටියේය.
කමිටුවලට නොයන විපක්ෂ මන්ත්‍රීවරු කවුද?
විපක්ෂයේ ප්‍රධානතම සටන් පාඨය වී ඇත්තේ ආණ්ඩුව අධිකරණයට ඇඟිලි ගැසීම යන කරුණය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂය පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී ඉල්ලා සිටියද, රජය එයට එකඟ වූයේ නැත. විපක්ෂ නායක සජිත් ඉකුත් අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයන් විපක්ෂ නායක කාර්යාලයට කැඳවූයේ මේ ගැන වැඩිදුරටත් කරුණු කාරණා සාකච්ඡා කරන අදහසිනි.
රෝහිණී විජේරත්න, ගයන්ත කරුණාතිලක, රෝහණ බණ්ඩාර ඇතුළු සජබෙ මන්ත්‍රීවරුද, රවි කරුණානායක, දයාසිරි ජයසේකර, සෙල්වම් අඩෙක්කලනාදන්, රාමනාදන් අර්ජුනා, අනුරාධ ජයරත්න, හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරු එම රැස්වීමට එක් වූහ.
අපි මොකද කරන්නේ? පාර්ලිමේන්තුව තමයි රටේ නීති පනවන්නේ. අධිකරණයට අදාළ කරුණු ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලුවම ඒ අවස්ථාව රජයෙන් ලැබෙන්නෙ නෑ....’’ විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේය.
මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම අදහස වූයේ මෙවැනි විවාදයක් ලබා නොදීම ප්රජාතන්ත්රවාදී පාලන මූලධර්මයන්ට බලපාන කරුණක් බවය.
මට තියෙනව කියන්න පොඩි ප්‍රශ්නයක් ගැන. පාර්ලිමේන්තුවේ කාරක සභාවලට පත් කරල ඉන්න සමහර මන්ත්‍රීවරු එම රැස්වීම්වලට නොඑන බවට පැමිණිලි ලැබී තියෙනවා. නම දාල තියෙද්දිත් නොයන එක වැරදියි. තරහ වෙන්න එපා මම මෙහෙම කීවට.... යන්න බැරි අය ඉන්නවනම් කරුණාකර ඒ අය අයින්වෙලා අලුත් එයට එම අවස්ථාව දෙන්න..... නම නොදැම්මටත් දෝෂාරෝපණ එනවා. නම දැම්මට යන්නෙ නෑ. මේක වැරදියි. යන්න ඒ කමිටුවලට.’’ විපක්ෂ නායක සජිත් කීවේය.
ඒ වගේම තවත් ප්‍රශ්නයක් මතුකරල තියෙනවා ආණ්ඩුවෙන්. කෝප් කමිටුවේ උප කමිටු පත්කරල තියෙනවනේ.... මේ වගේ සභාපති ධුර දීල තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ අයට විතරයි. ඉතිහාසයේ වෙන කිසිම දවසක එහෙම වෙලා නෑ. ඒ ඉන්න අයත් අලුත් අය. අපි පාර්ලිමේන්තුවේ අවුරුදු විසි පහක් විතර පරණ මන්ත්‍රීවරු. අලුතින්ම ආ මන්ත්‍රීවරු සභාපති පුටුවෙ ඉඳල විධායක නියෝග නිකුත් කරනකොට අපිට ඉන්නත් බෑ ඉස්සරහ වාඩිවෙලා....’’ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවේය.
විපක්ෂ නායක සජිත් කීවේ, ‘‘ඒ කතාව ඇත්ත. මටත් දැන් කතා කරන්න සීමා පනවල.....’’ කියාය.
මම එක කමිටුවකට ගියා. ඒකෙ සභාපති ආණ්ඩු පක්ෂයේ කෙනෙක්. අපි යෝජනා කරන කිසිම දෙයක් එයා ගණන් ගන්නෙ නෑ. වයඹ පළාත් පරිසර අධිකාරිය ගැන මම ප්‍රශ්නයක් නැගුවම මෙයාල සත පහකට ගණන් ගත්තෙ නෑ. එහෙම කියල මට කතා කරන්න දුන්නෙම නෑ. මම කෑගහල නැගිටල ආවා. මේ ගැනත් අපි කතා කරල තීන්දුවක් ගන්න ඕනෑ....’’ දයාසිරි කීවේය.
සියලු පක්ෂ නායකයන් විපක්ෂනායක කාර්යාලයට කැඳවා බ්‍රහස්පතින්දා පවත්වන රැස්වීම ගැන කී සජිත්, පොදු අරමුණක් වෙනුවෙන් සියලු දෙනාම එකතු විය යුතු බව කීවේය.
අපි විපක්ෂය හැටියට පොදු කාරණාවල දී එකට වැඩ කරගෙන යමු’’ විපක්ෂ නායක සජිත් කියා සිටියේය.
නාමල් කලින්ම ගියේ ඇයි ?
නාමල් රාජපක්ෂ ද මෙයට පෙර විපක්ෂ නායක සජිත්ගෙන් ඉල්ලීමක් කර ලිපියක් යවා තිබුණේ පොදු ප්‍රශ්න ගැන කතා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයන් කැඳවන ලෙසය. එහෙත් ඒ සඳහා ඔහුට කඩිනම් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත. සජිත් ඉකුත් සතියේ නාමල්ට කතා කර පොදු රැස්වීමක් ගැන පවසා එයට එන්නැයි ආරාධනා කර සිටි අවස්ථාවේ නාමල් තමාගේ ලිපිය ගැන ද විමසුවේය.
‘‘ඔව්.... හැමෝම කැඳෙව්වා. පොදු එකඟතාවකට එමු. ඒත් රැස්වීම තියෙන්නෙ විපක්ෂ නායක කාර්යාලයේ’’ සජිත් පැවසීය.
‘‘හරි මම එන්නම්’’ නාමල් එදා ඇරියුම බාර ගනිමින් කීවේය. ඒ අනුව 23 වැනිදා රැස්වීමට නාමල් ද එක්විය. එහි දී නාමල් ප්‍රකාශ කළේ, ඉහළ අධිකරණවලට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමේ උත්සාහය පරිපාලනමය ක්‍රියාවක් නොව, දේශපාලනික උවමනාවක් බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් එහි දී කියා සිටියේ, මේ කරන්න හදන්නේ ආණ්ඩුවේ වුවමනාවට අධිකරණය හැසිරවීම බවය. ටික වේලාවක් එම සභාවේ සිටි නාමල් නැගිට හිටපු ජනපති රනිල්ට සහ විපක්ෂ නායක සජිත්ට යමක් රහසින් මුමුණා එතැනින් පිටත්ව ගියේය.
නාමල්ට රැස්වීමෙන් පිටත දී මාධ්‍යය ද හමුවිය. ‘‘මොකද කලින්ම පිටත් වුණේ.... කලින්ම පැන්නා නේද?’’ ජනමාධ්‍යවේදීහු විමසූහ.
අනේ නෑ.... අද සවස ලක්ෂ්මන් කදිරගාමර් සෙන්ටර් එකේ විද්වතුන්ගෙ සමුළුවක් තියෙනවා. ඒක පක්ෂයෙන් සංවිධානය කරපු එකක්. මගෙ කතාව අන්තිමට දාගෙනයි මෙතනට ආවේ.....’’ නාමල් සිනාසෙමින් කීවේය.
“අන්න ඊයේ රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා කිව්වා, අපි බලය ගත්තම නාමල්ට නිකන්ම විපක්ෂ නායක වෙන්න පුළුවන් කියල’’ මාධ්‍යවේදියෙක් විමසුවේය.
‘‘ඔව් එතුමාට කියන්න බෑනෙ මම ජනාධිපති වෙනව කියල. එහෙම කීවනම් එතුමාගෙ තනතුරත් නැති වෙනවා....’’ නාමල් එසේ කියා කදිරගාමර් මධ්‍යස්ථානයට පිටත්ව ගියේය.
නාමල් හදිසියේ ඉන්දියාවට
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉකුත් අඟහරුවාදා හදිසියේම ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඔහුගේ සමීපතමයන් හැරුණු විට අන් කිසිවකුත් මෙම ගමන ගැන දැන සිටියේ නැත. පළමුව එරට විපක්ෂ දේශපාලකයන් පිරිසක් ද අනතුරුව ආණ්ඩු පක්ෂ දේශපාලකයන් පිරිසක්ද හමුවූ නාමල් සාකච්ඡා පැවැත්වීය. ඔහු ගැන දන්නා එම ගමන සංවිධානය කළ පිරිස රාත්‍රී භෝජනයට නිර්මාංශ ආහාර වේලක් සූදානම් කර තිබිණ. ඔහු පසු දිනම ලංකාවට පැමිණියේය.
විපක්ෂය එක මේසයකට
ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ කාරණයක් පසුගිය බ්‍රහස්පතින්දා සිදුවිය. ඒ, විපක්ෂයේ සියලුම නායකයන් එකම මේසයක වාඩි වීමයි! විපක්ෂ මන්ත්‍රීන්ගේ අදහස වූයේ මේ අරුම පුදුම එකමුතුව පිටුපස සිටි පූර්ණ අනුග්‍රාහකයා අනුර කුමාරගේ ආණ්ඩුව බවයි. ”නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා විපක්ෂයේ එකමුතුවක් බිහි කිරීම” එම හමුවේ තේමාව විය. දෙමළ සහ මුස්ලිම් පක්ෂ නායකයෝද ඊට ඉතා උද්යෝගයෙන් එක්වූහ.
එහිදී ගජේන්ද්‍රකුමාර පොන්නම්බලම් කීවේ මේ කාරණය ජනතාව අතරට ගෙන යා යුතු බවයි. පාර්ලිමේන්තුව ඇතුළේ මෙන්ම පිටතදීද ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරයක් ගොඩනැගීමට පක්ෂ නායකයෝ එහිදී කතිකා කරගත්හ. අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේ, මේ වන විට ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව ඒකරාශී වී තිබෙන බවයි. මීට අමතරව ඉදිරි සඳුදා සංඝයා වහන්සේලාගේ විශාල සමුළුවක්ද, බදාදා නීතිඥ සමුළුවක්ද කැඳවා ඇති බව ඔහු පැවසීය. මේ කාරණයේදී සියලු දෙනා එකඟත්වයෙන් කටයුතු කරන ආකාරය ගැන තීරණයකට එළඹිය යුතු බව කී හිටපු ජනාධිපතිවරයා, රටේ පවතින නඩු ලක්ෂ 11 විසඳීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් බාරදෙන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූයේ, අධිකරණයේ ස්වාධීනත්වය මොට කිරීමට දැරූ හැම උත්සාහයක්ම අවසන් වූයේ ආණ්ඩු පෙරළියකින් බවයි. ”අනුරගේ ආඥාදායක ඒකාධිපති ආණ්ඩුව අධිකරණයට අත තබා තිබෙනවා. ප්රගතිශීලී ජනතාව ලෙස එම උත්සාහය පරාජයට පත්කර, අධිකරණයට අත තැබීම අත පුච්චා ගැනීමක් බවට පරිවර්තනය කරනවා. තමන්ගේ පක්ෂවල අදහස කුමක් වුවත් ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීමේ පොදු අරමුණ වෙනුවෙන් පක්ෂ, පාට භේද නොතකා ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කිරීමට කැපවෙමු,” යැයි විපක්ෂ නායකවරයා යෝජනා කළේය.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසූයේ, පුද්ගලයන් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමෙන් තමන්ගේ ආණ්ඩු පවා පරාජයට පත් වූ බවත් ජනතාව එම ක්‍රමය ප්‍රතික්ෂේප කළ බවත්ය. ”ඉන්න අයගේ කාලය දිගු කළා කියා නඩු ඇසෙන කාලය දිගු වන්නේ නැහැ. ප්‍රායෝගික නැති කාරණා හේතු කරගෙන ආණ්ඩුව වාසි ගන්න උත්සාහ කරනවා නම් එය වැරදියි,” යැයි නාමල් කීය. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලී චම්පික රණවක කීවේ ආණ්ඩුව දේශපාලන බලය පාවිච්චි කර අධිකරණය පාලනය කිරීමට උත්සාහ කරන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස විනිසුරුවරුන්ටත් යම් යම් තර්ජන එල්ල වී තිබෙන්නේ යැයි පෙනෙන බව ඔහු පෙන්වා දුන්නේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කීවේ, ”අපට විපක්ෂ නායක කාර්යාලයට යන්නැයි දැනුම් දී තිබෙන්නේ ආණ්ඩුව විසින්මයි. නැතිනම් විපක්ෂ නායක සමඟ එකතු වී සාකච්ඡා පවත්වන්න උවමනාවක් මතුවී තිබුණේ නැහැ. ආණ්ඩුව විසින් දැන් මේ රටේ අධිකරණය සිරගත කරලා තියෙන්නේ,” යනුවෙනි.
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සර්වජන බලය නායක දිලිත් ජයවීර, හිටපු අමාත්‍ය ටිරාන් අලස්, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්, ජාතික කම්කරු සංගමයේ නායක පලනි දිගම්බරන් සහ කබීර් හෂීම් ප්රමුඛ නායකයෝ රැසක් මේ හමුවට සහභාගී වූහ.
එකතු කළේ කවුද?
විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් සහභාගී වූ මෙම හමුවට රනිල්ද පැමිණි හෙයින්, එහි මාධ්‍ය මෙහෙයවීමේ කටයුතු භාර කෙරුණේ හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනික් චින්තක කරුණාරත්නට සහ රනිල්ගේ ජනපති සමයේ හිටපු මාධ්‍ය අධ්යක්ෂ ශානුක කරුණාරත්නටය.
විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් එකතු විය යුතු බවට මහා සංඝරත්නයද කිහිප වරක්ම ඉල්ලීම් කර තිබිණි.
”සර්, මේ ඔක්කොම එකතු කළේ කවුද? මහනායක හාමුදුරුවෝ ද? එහෙම නැත්නම් අනුර කුමාර දිසානායක ද?” යැයි වජිර අබේවර්ධන විමසූයේ යටි අරුතක්ද මතු කරමිනි.
රනිල් ඊට සිනාසුණා මිස කිසිවක් කීවේ නැත. ටික වෙලාවක නිහැඬියාවකින් පසු රනිල් කීවේ, අනුර නිසා හරි විපක්ෂයේ නායකයන් එක තැනකට පැමිණීම සතුටු විය හැකි කාරණයක් බවයි.
”අනුර කරපු වැඬේ නිසා ලෝයර්ස්ලා සියලු දෙනාගෙන්ම එකතු වෙන්න කියලා ප්‍රෙෂර් එකක් ආවා. දේශපාලන පක්ෂවල ලෝයර්ස්ලා පවා එකතු වෙලා තියෙනවා. හිතුවේ නැති විදියට විපක්ෂය එකතු වෙලා. ආණ්ඩුව තව පැත්තකින් සංඝයා වහන්සේලා තරහ කරගෙන. විපක්ෂ බලවේගය තව දියුණු වෙනවා මිස වැටෙන්නේ නැහැ. සජිත් කැඳවූ රැස්වීමට අනෙක් අයත් ආවේ ඒ කාරණයේ තිබිච්ච වැදගත්කම නිසයි,” රනිල් පැවසීය.
”මේ එකතුවීම ආරම්භයක් විතරයි. විපක්ෂය එකතු වෙනකොට අනෙක් කණ්ඩායම්ද එකතු වෙනවා. වෘත්තීය සමිති එකතු වෙමින් තිබෙනවා. මුලින් කරුණු කාරණා නොතේරුණු අයටත් දැන් කාරණා වැටහෙමින් තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ වේදිකාවෙන් තමයි ඔය පණිවිඩය ගියේ,” යැයි මාන්නප්පෙරුම පැවසීය. එහිදී රනිල් පැවසූයේ, ”දෙවැනි අවුරුද්ද අවසන් වෙන්න කලින් ලොකු වෙනසක් දැක ගන්න පුළුවන් වේවි,” යනුවෙනි.
”අච්චර අමාරු රටක් බාර අරගෙන අවුරුදු දෙකක් අපට පහසුවෙන් දුවන්න පුළුවන් වුණා. දැන් මේ අය පහසු රටක් බාර අරගෙන හතර ගාතෙ දාගෙන අදිනවා,” යැයි රත්නප්‍රිය කීවේ, ආණ්ඩුවට ගහපු පදයක් මෙන්ම බෙරේ පළුවකුත් නැතිවන බවයි.
මේ අතර, හරින් ප්‍රනාන්දු සංවිධානය කරන ලද ”රීඩ් විත් රනිල්” (Read with Ranil) වැඩසටහන සමාජ මාධ්‍යයේ මෙන්ම සාමාන්‍ය සමාජයේද, විශේෂයෙන්ම තරුණ පරපුර අතර ලොකු අවධානයකට ලක්විය. එම වැඩසටහන කොළඹින් පිට නගර මට්ටමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
විනිසුරු විශ්‍රාම වයස
විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමටද ඒකාබද්ධ විපක්ෂය පසුගියදා තීරණය කළේය.
”ආණ්ඩුව මේ වැඩපිළිවෙළ කරන්නේ හැංගි හොරා. කිසිම විනිවිදභාවයක් නැහැ. ඒ සම්බන්ධයෙන් නීතිඥ සංගමය අධිකරණ ඇමතිවරයාට ලිපියක් යවා තියෙනවා. මේ ගැන ඉදිරියේදී තානාපති කාර්යාල දැනුවත් කළ යුතුයි. ජිනීවා නගරයේදී සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් කවුන්සලය රැස්වන අතර, ශ්‍රී ලංකාවේ අධිකරණය දේශපාලනීකරණය කිරීම තුළින් ත්‍රිවිධ හමුදාවටද එහිදී ලොකු අවදානමක් ඇති වෙනවා,” යැයි මහාචාර්ය ජී.එල්. පීරිස් පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මහාචාර්ය ජී.එල්. පීරිස් යටතේ ඒකාබද්ධ විපක්ෂය මේ වන විටත් විශාල වැඩ කොටසක් ආරම්භ කර ඇති අතර, අනෙක් පැත්තෙන් නීතිඥයෝද ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරමින් සිටිති. එමෙන්ම සියලු පක්ෂ බිම් මට්ටමට බැස දේශපාලන වැඩසටහන් ආරම්භ කර තිබේ. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයේ රැස්වීමේදී කතා කර විසිර යනවාට වඩා, සැලසුමක් ඇතිව අංගසම්පූර්ණ වැඩපිළිවෙළක් සඳහා එකඟත්වයකට එළඹීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
රාජ දූත

