හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීමෙන් පසු නව දේශපාලන වර්ධන කිහිපයක් ඇති විය. විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් අතර ආණ්ඩුවට එරෙහිව සන්ධානයක් පිහිටුවීම සඳහා ඉදිරියට ඇදෙමින් තිබෙන සාකච්ඡා ඒ වර්ධනවල කේන්ද්‍රීය ප්‍රකාශනය යි. ඓතිහාසික රනිල් විරුද්ධවාදීහු, ජාතිකවාදීහු, සුළු ජන දේශපාලන නායකයෝ ඒ ගොඩේ සිටිති. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටීම හා ඔහුගේ ආරක්ෂකයා වීම ඔවුන්ට එකතුවීම සඳහා ඇති මහා පොදු සාධකය ලෙස පෙනුණත් එම කණ්ඩායම් අතර පවතින දේශපාලන පසමිතුරුතා හා සංකීර්ණතා ජයගැනීම ඔවුන් හමුවේ ඇති මූලික අභියෝගය යි. මේ සියලු තත්ත්ව සම්බන්ධයෙන් නිර්මාල් රංජිත් දේවසිරි සමග කළ සාකච්ඡාවක සටහන මෙසේ ය.
ලංකා ඉතිහාසයේ මුල් වරට හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වීම හා එහි දේශපාලන ඇඟවුම්
දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව පියවර ගත් සම්ප්‍රදායක් තිබිණි. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් ආකාරය අපට මතක ය. එහෙත් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ඊට හාත්පසින් ම වෙනස් ය. මේ සිද්ධියට අමතරව බටලන්ද වධකාගාරය සම්බන්ධ සිද්ධිය හා මහ බැංකු බැඳුම්කර සිද්ධිය වැනි ඒවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවට ආණ්ඩුවට විවේචනයක් ද එල්ල වේ. එබැවින් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් හැටියට අර්ථකථනය කළ නොහැකි ය. රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විවේචන එල්ල කරන පිරිස් නිතරම පවසන්නේ ආණ්ඩුව දුර්වල බවත් දූෂණ චෝදනාවලට ලක් වූ අය අත්අඩංගුවට ගත නොහැකි බවත් ය.
මේ අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රකාශ වෙන වැදගත් යථාර්ථයක් නම් දේශපාලනයේ ඉහළම තලය නියෝජනය කරන අයට වුවත් මුක්තියකින් හැසිරීමට ඉඩක් නැති බව ය. මා සිතන හැටියට එය ඉතා වැදගත් ය. මෙරට ප්‍රභූ තන්ත්‍රය පසුගිය කාලයේ හැසිරුණේ තමන්ට ඕනෑම දෙයක් කළ හැකි යැයි සිතමිනි. රනිල් වික්‍රමසිංහගේ වුව හැසිරීමෙන් හා කතාබහෙන් හැඟෙන්නේ ඔවුන් නීතියට ඉහළින් සිටින පිරිසක් බවය. මේ සිද්ධියෙන් මූලික වශයෙන් අභියෝගයට ලක් වූයේ එයයි. මෙයින් ප්‍රභූ දේශපාලන තන්ත්‍රය දේශපාලනික වශයෙන් තිගැස්මකට ලක්ව තිබේ. ඉකුත් 26 වැනි දින කොළඹට විශාල පිරිසක් ගෙන්වාගැනීමට විපක්ෂයේ පිරිස් උත්සාහ ගැනීම ඒ දේශපාලන තිගැස්ම පෙන්වන එක් තැනක් ලෙස සැලකිය හැකි ය. එහෙත් ඔවුන්ට විශාල පිරිසක් ගෙන්වාගැනීමට හැකියාව ලැබුණේ නැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් මහජනයා අතර විශාල විරෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. මෙතැන එකතු වී තිබෙන්නේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය යි.
නීතිය ඉදිරියේ සියල්ලන් සමාන කොට සැලකීම හා ආණ්ඩුකරණය පරීක්ෂාවට බඳුන් වීම
ලංකාවේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීම පහසු දෙයක් නොවේ. එහෙත් එය සිද්ධ විය යුතු ය. වත්මන් ආණ්ඩුවේ පැවැත්ම තීරණය වන්නේත් නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීමෙන් පමණි. එසේම ආණ්ඩුවට සීමාව ඉක්මවා කටයුතු කිරීමට ද නොහැකි ය. රනිල් වික්‍රමසිංහ දිගටම අත්අඩංගුවේ තබා ගන්නා ලෙස ඇතැම් වාමාංශික කණ්ඩායම් වලින් ආණ්ඩුවට බලපෑම් ද එල්ල විණි. එසේ වුවත් ආණ්ඩුවට එය කළ හැක්කක් නොවේ. මේ ආණ්ඩුව තරම් මහජන පරීක්ෂාවට ලක්වන ආණ්ඩුවක් ඉතිහාසයේ මෙතෙක් බිහි වී නැත. මෙහි දී ආණ්ඩුවේ ස්වභාවය සැලකිල්ලට ගැනීම ද වැදගත් ය. ආණ්ඩුවට ස්ථාවර ජන පදනමක් නොමැත. ජනතා විමුක්ති පෙරමුණ පමණක් ගත් විට එම පක්ෂයට තිබුණේ සියයට 3 ක් තරම් සුළු ඡන්ද ප්‍රතිශතයකි. ඇතැම් විට එම ප්‍රමාණය ඊටත් වඩා අඩු වීමට පිළිවන. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ඡන්දය දුන්නේ එවක පැවති අරගලය හා ඒ ආශ්‍රිතව වර්ධනය වූ තත්ත්ව නිසා වෙනස් වූ පිරිසකි. ඒ පිරිස අතර ජනප්‍රියත්වය තබා ගැනීම පහසු නැත. එබැවින් මහජනයාගේ සංවේදීතා සමග වැඩ කිරීමට ආණ්ඩුවට සිදු වේ.
ලංකාවේ ඡන්දදායක හැසිරීම අනුව දේශපාලනය ප්‍රධාන කඳවුරු දෙකකට බෙදේ. පසුගිය ජනාධිපතිවරණයේදී කඳවුරු තුනකට බෙදුණු නිසා එය අනුර කුමාරට වාසි සහගත විය. ඔවුන් දැන් බලයේ සිටින නිසා මීළඟ මැතිවරණයේ දී එක් ඡන්දදායක ආකර්ෂණයක් බවට පත් වේ. අනිත් කඳවුර ඒකාබද්ධ කිරීමට සිදු වෙනු ඇත. එය දුෂ්කර කාර්යයක් වන්නේ එහි නායකයන් කිහිප දෙනෙකු සිටින හෙයිනි. දැනට පෙනෙන විදියට තරගකාරී නායකත්ව කේන්ද්‍ර තුනක් තිබේ. නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ චම්පික රණවක යනු ඒවා ය. 2029 වෙනවිට රනිල් වික්‍රමසිංහ සක්‍රීය දේශපාලනයේ සිටිතියි සිතිය නොහැකි ය. ඉහත සඳහන් කළ නායකත්ව කේන්ද්‍ර තුන අතර තියුණු තරගයක් උද්ගත වෙනු ඇත.
නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීමේ දී ඒ ඡන්දදායකයෝ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන ද අවධානයෙන් බලා සිටිති. ජනාධිපතිවරයා ඔහුගේ මව බැලීමට හෙලිකොප්ටරයකින් ගිය බවට වන කතාව සහ ජනාධිපති ලේකම්වරයාගේ බිරිඳ සම්බන්ධ සිද්ධියට අදාළව මතුවී ඇති කතාබහ ඒ අවධානයේ කොටසක් ලෙස සැලකිය හැකි ය. ඒවා අතිශය සාමාන්‍ය සිද්ධි වුවත් ඡන්දදායකයෝ ඒවා කෙරෙහි ද බලා සිටිති. වෙනකක් තබා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගේ ශරීර ප්‍රමාණ වෙනස් වී ඇත් ද යන්න සම්බන්ධයෙන් පවා ඡායාරූප පළකරමින් මත ඉදිරිපත් කරන තැනට ඒ අවධානය පුළුල් වී තිබේ. අමාත්‍යවරයෙකු ඉස්තරම් වර්ගයේ කමිසයක් පැලඳ සිටීම ගැනත් සමහරු සමාජ මාධ්‍යවල කතා කරති. මෙපරිදි ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය හා එහි සාමාජිකයන් ගැන නිතර කෙරෙන පරීක්ෂාවක් තිබේ. එය නරක තත්වයක් නොවන බව මගේ අදහස යි. අනෙක් අතට වත්මන් ආණ්ඩුව යනු යම් ආකාරයක අත්හදා බැලීමකි. එය නරක දෙයක් නොවේ. මන්ද දේශපාලනයේ විශාල වෙනසක් සිදුව ඇති හෙයිනි. මෙය පාලනතන්ත්‍රයේ වෙනසකට වඩා වැඩි එකකි. දේශපාලනයේ පංතිමය වෙනසක් සිදු ව තිබේ. සාම්ප්‍රදායික ප්‍රභූතන්ත්‍රය සතුව පැවති දේශපාලන බලය දැන් තිබෙන්නේ එයින් බැහැර පන්තියක් අතේ ය.
විපක්ෂයේ පෑහීම හා දෘෂ්ටිවාදීමය පරස්පරතා
අභ්‍යන්තර වශයෙන් මෙය ගැළපෙන සන්ධානයක් නොවේ. ඒ විවිධ ප්‍රතිවිරෝධී බලවේග මේ එකතුවෙහි සිටින නිසා ය. දෘෂ්ටිවාදීමය නැඹුරුතා කෙරෙහි අවධානය යොමු කළ හොත් අන්ත සිංහල ජාතිකවාදීහු සිටිති. සුළු ජන දේශපාලන නායකයෝත් සිටිති. සෘජුව නොවුණත් විමල් වීරවංශත් මේ එකතුවෙහි සිටියි. විමල් වීරවංශ කණ්ඩායමේ දේශපාලන ගැරහුමට පාත්‍ර වූ නිමල්කා ප්‍රනාන්දු වැනි සිවිල් සමාජ ක්‍රියාකාරීහු ද සිටිති. මෙපරිදි මේ එකතුවෙහි දෘෂ්ටිවාදීමය ඒකත්වයක් නැත. දේශපාලන පක්ෂ වශයෙන් ගත්විට මේ එකතුව ඇතුළත සිටින එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරත් පරස්පරතා ඇත. මෙහි ඇති වැදගත්ම ප්‍රශ්නය නායකත්වය පිළිබඳ කාරණය යි. සන්ධාන බිහි කරන්නේ මැතිවරණ ජයග්‍රහණ කිරීමට ය. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම හා මර්දනයට විරුද්ධවීම වෙනුවෙන් සන්ධාන බිහි කරන බව ප්‍රසිද්ධියේ කීව ද යථාර්ථය ඊට වෙනස් ය. මීළඟ මැතිවරණය ඉලක්ක කරගෙන සන්ධානයක් ගොඩ නගන්නේ නම් එය ඡන්දය පැවැත්වෙන තෙක් පැවතිය යුතු ය.
ලංකාවේ ඡන්දදායක හැසිරීම අනුව දේශපාලනය ප්‍රධාන කඳවුරු දෙකකට බෙදේ. පසුගිය ජනාධිපතිවරණයේදී කඳවුරු තුනකට බෙදුණු නිසා එය අනුර කුමාරට වාසි සහගත විය. ඔවුන් දැන් බලයේ සිටින නිසා මීළඟ මැතිවරණයේ දී එක් ඡන්දදායක ආකර්ෂණයක් බවට පත් වේ. අනිත් කඳවුර ඒකාබද්ධ කිරීමට සිදු වෙනු ඇත. එය දුෂ්කර කාර්යයක් වන්නේ එහි නායකයන් කිහිප දෙනෙකු සිටින හෙයිනි. දැනට පෙනෙන විදියට තරගකාරී නායකත්ව කේන්ද්‍ර තුනක් තිබේ. නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ චම්පික රණවක යනු ඒවා ය. 2029 වෙනවිට රනිල් වික්‍රමසිංහ සක්‍රීය දේශපාලනයේ සිටිතියි සිතිය නොහැකි ය. ඉහත සඳහන් කළ නායකත්ව කේන්ද්‍ර තුන අතර තියුණු තරගයක් උද්ගත වෙනු ඇත. මේ සියල්ල සැලකීමේ දී සෑම අර්ථයෙන්ම ගත් විට රනිල් වික්‍රමසිංහ වටා ගොඩනැගී ඇති මේ එකතුව පරස්පර වේ.
පසුගිය කාලයේ දේශපාලනය කරකැවුණේ දේශප්‍රේමය සහ රාජපක්ෂ විරෝධය වටා ය. දේශප්‍රේමී කඳවුරේ ප්‍රධාන හතුරා වූයේ රනිල් වික්‍රමසිංහ ය. මේ වෙනවිට මේ කඳවුරු දෙකම එකතු වී ඇත. මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඇති ඉඩ අඩු ය. බොහෝ විට ඔහු නිල නිවසින් ඉවත් කෙරෙනු ඇත. විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුව හොත් ඒවාට විරුද්ධ වීම පහසු නැත. ආණ්ඩුවට තවදුරටත් හොරුන් අල්ලන ක්‍රීඩාවෙහි නිරත වීමට පිළිවන. රනිල් වික්‍රමසිංහ සම්බන්ධ සිද්ධියේ දී පවා ඇතැම් රූපවාහිනී මාධ්‍ය හුවා දක්වන ආකාරයේ මර්දනයක් දකින්නට ලැබෙන්නේ නැත. වංචා දූෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රභූ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොදු ජනතාව අතර අසහනයක් නිර්මාණය වී ඇති බවක් දැනට පෙනෙන්නට නැත. ආණ්ඩුව ගැන ජනතාව අතර විශාල ප්‍රසාදයක් තිබෙන බව එයින් හැඟෙන්නේ නැත. එමෙන්ම විපක්ෂ කණ්ඩායම්වලට පාවිච්චි කළ හැකි ආකාරයේ ආණ්ඩුව ගැන විශාල ජනතා අප්‍රසාදයක් ද නැත.
ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සහ ප්‍රභූ-නිර් ප්‍රභූ දේශපාලන පසමිතුරුතා අලුත් අවධියකට ගමන් කිරීම
ජාතික ජන බලවේගය මැතිවරණවලදී ලබා දුන් පොරොන්දු අතර පසුගිය කාලයේ වංචා දූෂණවල නිරත වූ අය නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබාදීම ප්‍රධාන එකකි. එය ක්‍රියාත්මක කිරීමේ දී සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන ස්ථරය හා ආණ්ඩුව අතර ගැටුම් ඇති වෙන බවත් ප්‍රකාශ වේ. එහෙත් එම ගැටුම් කුමන මට්ටමකට උත්සන්න වේදැයි නිශ්චිතව කිව නොහැකි ය. මගේ තේරුම්ගැනීමේ හැටියට විශාල ගැටුමක් ඇති වෙතැයි සිතිය නොහැකි ය. විපක්ෂයේ සන්ධානයට මහජනයා බල මුළු ගැන්වීමේ හැකියාවක් ඇති බවක් නොපෙනේ. එය දේශපාලන ප්‍රභූන් අතර ගොඩ නැගෙන සන්ධානයක් පමණක් බව මගේ අදහස යි. එසේම එය ආණ්ඩුවට වාසි සහගත ය. හොරුන් එකට එකතු වීම යන අර්ථයෙන් ආණ්ඩුවට එය ප්‍රචාරණාත්මක වාසියකි. මෙය පසුගිය කාලයේ ඇති වූ කතිකාවකි. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 225 ම එපා යන සටන් පාඨය එහි එක් අවස්ථාවකි. ප්‍රතික්ෂේප කළ යුතු යැයි කී එම පිරිස නැවත එකතු වීමට උත්සාහ දැරීම ආණ්ඩුවට ප්‍රචාරණාත්මක වශයෙන් වාසි ය.
එකතු වීමට පදනමක් නිර්මාණය වී ඇතැයි කී සජිත්ගේ ප්‍රකාශය හා සජබ - යූඇන්පී එකතුවක අනාගතය
මා ඉහත දී සඳහන් කළ පරිදි එවැනි සන්ධානයක් ගොඩනැගුණ ද අඛණ්ඩව ඉදිරියට යෑමට හැකියාවක් නැත. රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස දේශපාලනික වශයෙන් එකට එකතු වුව ද නාමල් රාජපක්ෂ සමග ඇති ප්‍රශ්නය විසඳා ගන්නේ කෙසේ ද යන ගැටලුව මග හැර යෑමට ඔවුන්ට නුපුළුවන. විපක්ෂ කඳවුරු දෙකක් නිර්මාණය වුවහොත් ආණ්ඩුවට ඉදිරි මැතිවරණවල දී විශාල අභියෝගයක් එල්ල වන්නේ නැත. මේ සන්දර්භයේ ගොඩ නැගෙන විපක්ෂ සන්ධානයට ඉදිරියේ දී දේශපාලනික වශයෙන් වාසිසහගත තත්ත්වයක් උදා වෙන්නේ නැත. දේශපාලන පසමිතුරු පාර්ශ්වයන් සමග සන්ධානගත වුවද තීරණාත්මක අවස්ථාවක දී ඛණ්ඩනයකට යෑමට සිදු වන බව ඔවුහු නොදනිති. එවැනි ඛණ්ඩනයකින් ආණ්ඩුවට විශාල වාසියක් අත් වේ. එසේත් නැතිනම් විපක්ෂ සන්ධානයේ මතු වී සිටින නායකයන් තුන්දෙනා ගෙන් දෙදෙනෙකු කැමැත්තෙන් නායකත්ව සටනින් ඉවත් විය යුතු ය. අවස්ථාව ඇත්තේ එක් අයෙකුට බැවිනි. දැනට තිබෙන තත්ත්වය අනුව මේ සන්ධානයෙන් පොදු අපේක්ෂකයෙකු බිහි කර ගැනීමත් පහසු නැත.
සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන තන්ත්‍රය පරාජය විය. ප්‍රධාන පක්ෂ දෙක විශාල කාලයක් ක්‍රියාකාරී වී පරීක්ෂාවට ලක් වී ප්‍රතික්ෂේප විය. අලුත් දේශපාලන බලවේගයක් නිර්මාණය විය යුතු ය. එය ඉදිරි මැතිවරණවල දී ජාතික ජන බලවේගයට මුහුණ දීමට හැකි එකක් ද විය යුතු ය. සන්ධානගත වීමට සාකච්ඡා කරන විපක්ෂ කණ්ඩායම් පැරණි ප්‍රභූ දේශපාලනයේ නියෝජනයන් වීම මෙහි ඇති ප්‍රශ්නය යි. එය ආණ්ඩුවට වාසි සහගත ය.
සාකච්ඡා සටහන
උපුල් වික්‍රමසිංහ