
වසර ගණනාවක් තිස්සේ විවිධ ආණ්ඩු මගින් ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහ කළ විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ජාතික ජනබලවේග රජය සමත් විය. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වෙයි. විදුලිබල මණ්ඩලයට පැවරී තිබූ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා සමාගම් හතරක් අලුතෙන් පිහිටුවෙයි. ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු, උත්පාදන සමාගම, බෙදාහැරීමේ සමාගම සහ තවත් නම් නොකළ සමාගමක් මේ යටතේ පිහිටුවන අතර විදුලිබල මණ්ඩලය සතු වත්කම් හා බැරකම්, විදුලිය නිෂ්පාදනය හා බෙදාහැරීම මෙම සමාගම් හතරට පැවරේ.
මෙම තීන්දුවත් සමගම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් එල්ල වූ පළමුවැනි බලවත් අභියෝගය එල්ල වී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලිනි. මෙතෙක් කාලයක් වෙනත් ජනාධිපතිවරුන්ගේ නම සමග විරෝධතා බැනර් ප්‍රදර්ශනය ජවිපෙ ක්‍රමයම අනුව යමින් මේ වන විට ‘අනුර විදුලිය වික්කා’ යන බැනරය යටතේ විශාල ප්‍රමාණයේ විරෝධතාවක් ඉකුත් සතියේ දැකගත හැකි විය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වීමත් සමගම ඔහුගේම පැරණි සටන්පාඨ මේ වන විට ඔහුට එරෙහිව එල්ල වෙමින් තිබේ. විදුලිය ප්‍රශ්නයේදී රජය සහ ජනාධිපතිවරයා තවමත් ශක්තිමත්ව සිටින අතර පසු බසින්නේ ඔහුද වෘත්තීය සමිතිද යන්න ඉදිරි සතිය වන විට දැකගත හැකිවනු ඇත.
හා පුරා කියා ලංකාවේ ජනතාව කෘත්‍රිමව මවන ලද එළියක් රාත්‍රී කාලයේදී දැකගත්තේ 1882 වර්ෂයේදී කොළඹට ආ එස්.එස්. හීලියෝස් නෞකාවෙනි. එම නෞකාව එකල සොයාගෙන තිබූ ඩීසල් භාවිතා කර කාමරයක් එළිය කර තිබූ අතර මෙම අරුමය දකින්නට ලාංකික ජනතාව කරත්තවලින් පාගමනින් වැල නොකැඩී කොළඹ වරායට පැමිණි බව පැරණි වාර්තාවල සඳහන් වේ. ලංකාවේ පළමු කෘත්‍රිම විදුලිඑළිය වූයේ එම නෞකාව එළිය කිරීමය.
හිරු සහ සඳුගේ ස්වභාවික එළියට අමතරව කෘත්‍රිමව එළියක් මෙරටදී මීළඟට දැල්වූ අවස්ථාව වූයේ ඉන් වසර පහකට පසු 1895 දී බවුස්ටඩ් සමාගමේ ප්‍රධානියා වූ ඉංග්‍රීසි ජාතික සෙඩ්රික් බවුස්ටඩ් මහතා එකල කොළඹ නගරයේ ප්‍රධානම හෝටලය වූ බ්‍රිස්ටල් හෝටලය ඩීසල් යොදා කැරකැවූ ටර්බයිනයකින් එළිය කිරීමය. එම ටර්බයිනය දිගටම එහි සිට ක්‍රියාත්මක කළ අතර කුඩා විදුලි බලාගාරයක් ඒ ආශ්‍රිතව ස්ථාපිත කෙරිණි. මෙම බලාගාරය මෙරට පළමු විදුලි බලාගාරයයි. ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙඳසැල්, රජයේ ගොඩනැගිලි සහ වීදි කිහිපයක් එම බලාගාරයෙන් එළිය කෙරුණි. යටත් විජිත ආණ්ඩුව මෙරට විදුලියට අදාළ පළමු පනත වූ අංක 5 දරන විදුලි ආඥා පානත සම්මත කරමින් එම විදුලි බලාගාරය ක්‍රියාත්මක කළේය. බවුස්ටඩ් බ්‍රදර්ස් සමාගම මෙරට විදුලිය සැපයීමට මෙන්ම වීදි පහන් සඳහා ද ට්‍රෑම් රථ ධාවනය ආරම්භ කිරීමට ද මුල් වූ සමාගමය. සුදු ජාතිකයන්ගේ සංගමයක් වූ ‘එක්සත් වැවිලිකරුවෝ’ සංගමය 1899 දී කොළඹ විදුලි ට්‍රෑම් රථ මාර්ග ස්ථාපිත කළ අතර ඒ සඳහා බලය ලබාගැනීමට ගෑස්පහ හංදියේ ගෑස් බලයෙන් දුවන විදුලිය බලාගාරයක් ආරම්භ විය. එම බලාගාරයෙන් රජයේ කාර්යාලද ධනවතුන්ගේ නිවාසද එළිය කෙරිණි. වර්ෂ 1905 වන විට එම විදුලි සැපයුම් ගාලුමුවදොර සහ කොල්ලුපිටිය දක්වාම ව්‍යාප්ත කෙරිණි.
1905 දී කොළඹ ගෑස් සමාගම මහනුවර නගරය එළිය කිරීම සඳහා එහිද ගෑස් බලයෙන් ක්‍රියාත්මක වන බලාගාරයක් ස්ථාපිත කළේය. යටත් විජිත රජය එම කටයුතු පහසු කිරීම සඳහා අංක 5 දරන විදුලි ආඥා පනත සංශෝධනය කරමින් 1906 දී අංක 36 දරන විදුලි ආඥා පනත සම්මත කළේය.
වර්ෂ 1918 දී ලංකාවේ ඉංජිනේරු සංගමයට වාර්තාවක් ඉදිරිපත් කළ ඉංජිනේරුවකු වන ඩී.ජේ. විමල සුරේන්ද්‍ර කඳුකරයේ දියඇලි හා ජල මූලාශ්‍ර ආශ්‍රයෙන් ජල විදුලිය නිපදවිය හැකි බවට යෝජනා කළේය. ඔහුගේ යෝජනාව සලකා බැලීම සඳහා රජයේ වැඩ දෙපාර්තමේන්තුව කටයුතු කළේය. විමල සුරේන්ද්‍ර මහතා කඳුකරයේ ඇවිදිමින් ඒ සඳහා සුදුසු තැන් සොයා බැලුවේය. බවුස්ටඩ් සහෝදරයෝ සමාගම යටතේ පවත්වාගෙන ගිය විදුලි බලාගාර රජයට පවරා ගනිමින් විදුලිය සැපයුම විධිමත්ව පවත්වාගෙන යාමට රජයේ විදුලි ආයතන දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1927 වර්ෂයේදීය.
1935 අංක 38 දරන ආඥා පනත යටතේ විදුලිබල මණ්ඩලය නමැති ආයතනයක් පිහිටුවුවද එයට රාජකාරි කිරීමට හැකි වූයේ වසර දෙකකටත් අඩු කාලයකි. 1937 දී විදුලිබල මණ්ඩලය විසුරුවා හැර යළිත් පැරණි ආයතනය වූ රජයේ විදුලි ආයතන දෙපාර්තමේන්තුව පිහිටුවන ලදි. 1924 දී වැඩ ආරම්භ කළ ලක්ෂපාන බලාගාරය 1950 දී විවෘත කිරීමට හැකි විය. එමගින් රටේ ප්‍රධාන නගරවලට විදුලිබලය ලබා දුන්නේය. එතෙක් ක්‍රියාත්මක වූ රජයේ විදුලි ආයතන දෙපාර්තමේන්තුව විසුරුවා හරිමින් ලංකා විදුලිබල මණ්ඩලය පිහිටුවන ලද්දේ 1969 නොවැම්බර් 1 වැනිදාය. ඒ සඳහා නීතිමය පදනම හිමිවූයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කළ 1969 අංක 17 දරන පාර්ලිමේන්තු පනත මගිනි. රට තුළ විදුලිය උත්පාදනය සැපයුම සහ බෙදාහැරීම සංවර්ධනය කිරීම විදුලිබල මණ්ඩලයේ විෂය පථයට අයත් විය.
ජාතික ජනබලවේග රජය මගින් අහෝසි කර නව ආයතන හතරක් පිහිටුවන්නේ එසේ පිහිටුවන ලද විදුලිබල මණ්ඩලය වෙනුවටය.
1969 නොවැම්බරයේ ආරම්භ කළ විදුලිබල මණ්ඩලයට 1970 සැප්තැම්බර් වන විටම රාජ්‍ය ආයතන මගින් ‘පොලු තැබීම’ ආරම්භ වී තිබුණි. එම මාසය වන විට රජයේ දෙපාර්තමේන්තුවලට විදුලිය සපයන ලද ගාස්තු ලෙස රුපියල් දෙකෝටි විසිලක්ෂයක් සහ පළාත් පාලන ආයතන මගින් රුපියල් අසූලක්ෂයකුත් විදුලි බල මණ්ඩලයට අයවිය යුතුව තිබිණ. හිඟ මුදල් වහා නොගෙවුවහොත් විදුලිබල සැපයුම කපා දමන්නට සිදුවන බවට එම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමට ද විදුලිබල මණ්ඩලයට සිදුවිය.
විදුලිබල මණ්ඩලයේ ප්‍රධානියකු එකල පුවත්පත්වලට පවසා තිබුණේ රුපියල් කෝටි තුනක් පමණ වූ මෙම මුදල් නොමැතිව විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යා නොහැකි බවය. මණ්ඩලය පවත්වාගෙන යාමට මහජන බැංකුවෙන් විශාල ණය මුදලක් ගෙන තිබූ අතර එහි පොලිය සියයට හත හමාරක් විය. එය එකල හැටියට විශාල මුදලක් සහ පොලියකි. විදුලිබල මණ්ඩලයේ ආරම්භයේදීම සිදුවූයේත් බැංකුවට ණය වීමටය. එදා සිටම රාජ්‍ය ආයතන විදුලිය ගත්තේ ණයටය. බොහෝ ආණ්ඩු වසර කිහිපයකට සැරයක් මෙම ණය මුදලින් කොටසක් ගෙවා දැමුවද එය රජයේ පොතකින් තවත් පොතකට මිස ප්‍රායෝගිකව නොවේ.
රටේ අනාගත විදුලිබල පරිභෝජනය ගැන සලකා බලා විදුලිබල මණ්ඩලය 1920 දී දස අවුරුදු විදුලිබල සැලැස්මක් පිළියෙල කළේය. ඒ අනුව නව ලක්ෂපාන බලාගාරය 1973 දීද උකුවෙල ජල විදුලි බලාගාරය 1974 දී ද ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරිණ. එහෙත් ඒ කිසිම බලාගාරයක් නියමිත කාලයට ක්‍රියාත්මක කෙරුණේ නැත. එම සැලැස්ම ගැන බලාපොරොත්තුවෙන් සිටි නිසා මණ්ඩලය තාප විදුලිය පිළිබඳ උනන්දු වූයේ ද නැත. අවසානයේ සිදුවූයේ මහවැලි මහ ජලාශ ඉදිකර අවසන් වන තුරුම වසරකට නිශ්චිත කාලයක් විදුලිය කපා හැරීමටය.

සෑම රජයක් යටතේම විදුලිබල මණ්ඩලය පාඩු ලැබුවේය. ලාබ ලැබුවේ නම් ඒ පැරණි අලාභ සඟවා අදාළ වසර පමණක් ගණනය කිරීමෙනි. පාඩුවට ප්‍රධාන හේතුවක් වූයේ විදුලි ඒකකයක් නිපදවීමට වැයවන මුදල පාරිභෝගිකයන්ගෙන් අයකර නොගැනීමය. සේවක අතිරික්තයක් සිටිනසේ තමාගේ හිතවත් ඡන්ද දායකයන් මණ්ඩලයේ සේවකයන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩු කටයුතු කිරීම ඊළඟ හේතුය. ලංකා විදුලි දෙපාර්තමේන්තුව විදුලිබල මණ්ඩලය වූවා සේම විදුලිබල මණ්ඩලය අහෝසි වී පිහිට වූ සමාගම් හතර අනාගත ලංකාවට එළිය සපයනු ඇත.
මෙරට විදුලි බලය නිපදවීම විදේශීය සමාගම් අතට පත්කිරීමේ උත්සාහයන් කිහිපයක්ම ආණ්ඩු කිහිපයක් මගින් සිදුවුවද විදුලි සේවකයන්ගේ විරෝධය නිසා එම වෑයම් අසාර්ථක විය. ඒ සඳහා රජය කියා සිටියේ තවදුරටත් විදුලි බලාගාර ඉදිකිරීම සඳහා රජයට මුදල් නොමැති බවය. ජාත්‍යන්තර ණය ඒ සඳහා නොලැබෙන බවද රජය කීවේය.
1995 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විදේශීය සමාගම් කිහිපයක් සමග බලාගාර ඇති කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් පවා අත්සන් කළ ද එම උත්සාහය ද අසාර්ථක විය. නව විදුලි බලාගාර ඉදිකිරීම පෞද්ගලික ආයෝජකයන්ට ලබාදීමටත් විදුලිබල මණ්ඩලයේ වත්කම්වලින් කොටසක් කොටස් වෙළෙඳපොළේ විකිණීමටත් චන්ද්‍රිකා කුමාරතුංග රජය බලාපොරොත්තු විය. වැඩිවන විදුලිබල ඉල්ලුමට රජයට කළ හැකි එකම විසඳුම පෞද්ගලික ආයෝජකයන්ට විදුලි නිෂ්පාදනයට අවසර දී ඔවුන්ගෙන් විදුලිය මිලදී ගැනීම බව රජය කියා සිටියේය. විදේශීය ආයෝජකයන් නොපැමිණියත් එකල මුදල් අමාත්‍යාංශයේ ලේකම් වූ ඒ.එස්. ජයවර්ධන වැනි දේශීය ආයෝජකයන් ඇඹිලිපිටියේ ‘ඒස් පවර්’ බලාගාරය වැනි බලාගාර ඉදිකිරීමට පෙළඹුණේ ඉන් පසුවය.
විදුලිය බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ජාතික වුවමනාවකි. මණ්ඩලය පොදු ජනතාවගේ මුදලින් යැපෙන රාජ්‍ය ආයතනයක් මිස එහි සේවය කරන සේවකයන්ගේ බූදලයක් නොවේ. සෑම රාජ්‍ය ආයතනයක්ම ක්‍රියාත්මක වන්නේ මහජනතාවගෙන් රජයට ලැබෙන බදු මුදලෙනි. බොහෝ රාජ්‍ය ආයතනවලින් අසරණ දුප්පත් පොදු ජනතාවට සේවයක් සැලසෙන්නේ නැත. ජනතාවගේ මුදලින් යැපෙන රාජ්‍ය ආයතනවල සේවකයන් ප්‍රියමනාප මුහුණින් යුතුව ජනතාවට සේවය කළ යුතු වුවත් බොහෝ ආයතනවලින් ජනතාවට ලැබෙන්නේ ගැරහුම් මිස ප්‍රියමනාප සේවයක් නොවේ. විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා දුම්රිය සේවය හා රාජ්‍ය බැංකුවල ඇතැම් සේවකයන් ඉතිහාසය පුරාම හැසිරුණේ එම ආයතන ඔවුන්ගේ පරම අයිතියට යටත්ව ඇති බූදලයක් ලෙස සලකමිනි. මේ සියල්ල ප්‍රතිව්‍යුහගත විය යුතුමය. කාර්යක්ෂම සේවයක් සඳහා දැනට ඇති සෘජු රජයේ පාලනයෙන් මිදුණු මනා කළමනාකාරීත්වයක් යටතට පත් විය යුතුය. ජාත්‍යන්තර ණය දෙන ආයතන නිතරම පවසන පරිදි මෙම ආයතන රජයෙන් නඩත්තුවීම නවතා තමන් විසින්ම මුදල් උපයාගෙන නඩත්තු වන මට්ටමකට පත්විය යුතුය. ඒ සඳහා රජය ගෙන ඇති පියවරට ජනතා සහාය ලැබිය යුතුය.
එහෙත් ප්‍රතිව්‍යුහගතකරණය යනුවෙන් හැඳින්විය යුත්තේ තමන්ගේ හිතවතකුට එම ආයතන ලබාදීම හෝ විදේශික සමාගමකට පැවරීම හෝ නොවේ. කාර්යක්ෂම කළමනාකාරීත්වයක් ඇති ව්‍යවසායකයන් අතට එම ආයතන පත්කිරීමය. එජාප සහ ශ්‍රීලනිප ආණ්ඩු දශක ගණනාවක් තිස්සේම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක වූයේ එහි වෘත්තීය සමිතිවල විරෝධය නිසාය. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ඒ අතරින් මුල් තැනක සිටියේය. එහෙත් දැන් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ මූලික වූ රජයකි. එවැනි අවස්ථාවක වෘත්තීය සමිති විරෝධතා ගැන මනා දැනුමක් රජයට ඇතැයි අපට සැලකීමට සිදුවේ. ආණ්ඩුවක් කරගෙන යාමේදී බලවත් රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිතිවල අදහස් නොතකා කටයුතු කිරීම අසීරු බව වීදි අරගලකරුවකු වන ජනාධිපතිවරයා හොඳින්ම දන්නා බවත් එලෙසම රාජ්‍ය දේපොළ යනු තමන්ගේ පෞද්ගලික බූදලයක් නොවන බව වෘත්තීය සමිතිත් හොඳින් තේරුම් ගෙන ඇති බවත් අපි සිතමු.
1977 බලයට ආ ජයවර්ධන රජය විපක්ෂ වෘත්තීය සමිති මර්දනය කරමින් ජාතික සේවක සංගමය යටතේ තමන්ගේම වෘත්තීය සමිති බලවත් ලෙස පවත්වාගෙන ගියෝය. එම තත්ත්වය වෙනස් වූයේ 1987 – 89 ජවිපෙ කැරැල්ලෙන් පසුවය. ජවිපෙ කැරැල්ලත් සමග ගෙන ආ ඉන්දීය විරෝධය සහ දේශප්‍රේමී මතවාදයත් සමග බොහෝ රාජ්‍ය ආයතනවල ජවිපෙ වෘත්තීය සමිති බලවත් වන්නට පටන් ගත්තේය. ලංගම, රජයේ රෝහල් හා විදුලිබල මණ්ඩලය ඒ අතරින් ප්‍රධානය. කැරැල්ල මර්දනය කිරීමෙන් පසු යළි නැගිටගත් ජවිපෙ යටතේ දෙදහස වසර වන විට ජවිපෙ වටා වෘත්තීය සමිති ජාලයක් බැඳී තිබුණේය.
එතැන් සිට රාජ්‍ය යාන්ත්‍රණයට බලපෑම් කරන ජවිපෙ ප්‍රධානම අවිය බවට පත්වූයේ වෘත්තීය සමිති ව්‍යාපාරයයි.
විදුලිබල මණ්ඩලය වැනි රජයට ඉතාම වටිනා රාජ්‍ය ආයතනයක රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කරන්නට වන තරමට ජවිපෙ වෘත්තීය සමිති ශක්තිමත්ව තිබිණ. ආණ්ඩු ගණනාවක්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහ කළ ද එය සිදුකළ නොහැකි වූයේ මේ නිසාය. 2023 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ විදුලිබල ඇමැති කංචන විජේසේකර මණ්ඩලය හතරට කඩන පනත ගෙන ආවද එය සම්පූර්ණයෙන්ම ඉටුකර ගන්නට රජයට නොහැකි වූයේ ජවිපෙ වෘත්තීය සමිතිවල විරෝධය නිසාය. අද ජවිපෙටම එම ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවීම දෛවයේ සරදමකි.
මෙරට රජය සතුව ඇති සීමිත ජාතික ආදායම නිසා විසිදහස ඉක්මවන සේවකයන් සංඛ්‍යාවක් සිටින විදුලිබල මණ්ඩලය වැනි ආයතනයක් නඩත්තු කිරීම ඉතා අසීරුය. ගල්අඟුරු වැනි ඉතා ඉහළ මිලක් වැයවන අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් විදුලිය නිපදවීම ලංකාව වැනි දුප්පත් රටකට අසීරු කර්තව්‍යයකි. ඒ නිසා විදේශීය හෝ පෞද්ගලික අංශයේ හෝ ධනවත් සමාගම් හවුල් කරගෙන සම්පූර්ණයෙන්ම රජය සතු දේපොළක් ලෙස මෙරට විදුලියට අදාළ ආයතන නඩත්තු කිරීම හා පවත්වා ගෙන යාම රජයේ අපේක්ෂාවය. මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා මහජනතාව අඳුරේ නොතබන විසඳුමකට රජය හා සේවකයන් යොමු වනු ඇතැයි ජනතාවගේ බලාපොරොත්තුව ය.
ප්‍රේමකීර්ති රණතුංග