එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්ටර් ටුර්ක් 2025.09.08 දින මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිය අමතමින් ශ්‍රී ලංකාවට අදාළව ඉදිරිපත් කළ තම වාර්තාවේ අඩංගු වූ කරුණු ප්‍රතිරාවය කරනු ලැබීය. ම්ලේච්ඡ සටන් උපක්‍රම යොදාගත් බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීම මගින් ප්‍රාණ ඇපයට ගොදුරු වී සිටි අහිංසක සිවිල් ජනතාව ලක්‍ෂ 3ක් බේරාගැනීම සහ උතුරේ සහ දකුණේ සමස්ත ජනතාවට සාමයේ අරුණලු උදාකළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහි බරපතළ යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ අසාධාරණ ක්‍රියාවලිය ඔහු විසින් තවදුරටත් උත්ප්‍රාසයට නගනු ලැබීය. ඊට අමතරව ඔවුන්ගේ ම 11/01 යෝජනාව මගින් ඇගැයීමට ලක් කළ යුද්ධයේ අඳුර නිමකර ඇරුණලු උදාකළ ආරක්ෂක හමුදා නිලධාරීන්ට ඊනියා වගවීම යටතේ දඬුවම් කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවූ බවට ශ්‍රී ලංකාවේ රජයට දෝෂාරෝපණය කිරීම ද ඔහුගේ කතාවේ මූලික උවමනාවක් වූ බව පැහැදිලි විය.
![]() |
නමුත් ඊශ්‍රායලය විසින් ඉතා කෙටි කාලයක් තුළ සිදුකළ බරපතළ යුද අපරාධ පිළිබඳව ඔහු විසින් පළමුවෙන්ම සිහින් කෙඳිරියක් නැගීම හාස්‍ය ජනක රංගනයක් බව ඉතා පැහැදිලි ය. කෙසේ වෙතත්“නොකියා බැරි නිසා”ඔහු ඒ පිළිබඳව සඳහන් කළ ද ඊශ්‍රායලය විසින් සිදු කරමින් පවතින යුද අපරාධවලට එරෙහිව තීරණාත්මක පියවර ඔහු විසින් යෝජනා කළේ නැත. ඒ වෙනුවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මීට පෙර ගනු ලැබූ තීරණ වලට අවනත නොවීම පිළිබඳව ඔහු විසින් මැසිවිලි නඟනු ලැබූ අතර, ඊශ්‍රායලයට එරෙහිව පියවර ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳව සෙසු රටවලට චෝදනා එල්ල කරනු ලැබීය. ශ්‍රී ලංකාවට එරෙහිව වෙනස් ආකාරයකට ක්‍රියා කිරීම පිළිබඳව ලැජ්ජාව වසාගැනීම සඳහා සිදුකළ එම රංගනය සැබෑ ලෙසම ලෑජ්ජා සහගත බව දෙමළ ඩයස්පෝරාව හැර සෙසු ලෝක ප්‍රජාවට වටහාගැනීම අපහසු නැත. පසුගිය කෙටි කාලය තුළ ඊශ්‍රායල් හමුදා විසින් සිවිල් ඉලක්කවලට පහරදීම නිසා ඝාතනයට ලක්වූ සිවිල් වැසියන් ප්‍රමාණය 60,000ක් වූ අතර, ඒ අතුරින් 20,000ක් දරුවන් ය. ඒ පිළිබඳව අවම වශයෙන් හෝ සටහනක් තැබීමට අසමත්වීම පිළිබඳව වෝල්ටර් ටුර්ක් ලා ලෝක ප්‍රජාවට උත්තර බැඳිය යුතුය.
කෙසේ වෙතත් වෝල්ටර් ටුර්ක් ට ප්‍රති උත්තර බඳිමින් තම ඉදිරිපත් කිරීම සිදු කළ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් මතුපිට වචන අර්ථයෙන් තම පෞරුෂය රැක ගැනීමට සමත් විය. ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයට අදාළ විමර්ශනයට බාහිර අතපෙවීම් ප්‍රතික්ෂේප කරන බවය. එම ස්ථාවරය මෙතෙක් ශ්‍රී ලංකාවේ රජය විසින් මූලික ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා ලද තත්ත්වයකි. විජිත හේරත් අමාත්‍යවරයාගේ කතාව සකස් කරනු ලබන නිලධාරීන් ට ඒ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ඇත. ඊට හේතුව පසුගිය රජය විසින් 46/1, 51/1 සහ 57/1 යන ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවලට එකඟ නොවීම හෙවත් ඒවා ප්‍රතික්ෂේප කිරීම ය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා වලට එරෙහිව එල්ල කෙරෙන යුද අපරාධ චෝදනා අදාලව සාක්ෂි සහ වැඩිදුරටත් චෝදනා ගොනුකිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවනු ලැබුවේ 46/1 යෝජනාව මගිනි.
ශ්‍රී ලංකාවේ රජය ඒ ආකාරයට මීට පෙර ද ජාත්‍යන්තර යාන්ත්‍රණය හෙවත් බාහිර අතපෙවීම් ප්‍රතික්ෂේප කිරීම හෙවත් පිළිනොගෙන සිටීම සිදුකර ඇත. ඒ අනුව විජිත හේරත් අමාත්‍යවරයාගේ ප්‍රතික්ෂේප කිරීම වචන අර්ථයෙන් ගෞරවනීය වුවත්, එය නව තත්ත්වයක් නොවේ. එතුමා ද මීට පෙර ගෝඨාභය රාජපක්ෂ රජය විසින් සිදුකළ ආකාරයටම ජාත්‍යන්තර ක්‍රියාවලියට එකඟ නොවන බව ප්‍රකාශ කළ ද ඊට විරුද්ධව හේතු සහිතව ප්‍රකාශයක් සිදු නොකළ අතර, ඒ නිසාම ඒ මත පදනම්ව ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද සඳහන් නොකිරීමට ද පරිස්සම් විය. එනම් මූලික වශයෙන් ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල කළ චෝදනාවලට පිළිතුරු බැඳීමේ අයිතිය ඉල්ලාසිටීමට සහ මානව හිමිකම් කවුන්සිලය විසින් පත්කළ යුද අපරාධ විමර්ශන යාන්ත්‍රණය එක්සත් ජාතීන් ගේ ප්‍රඥප්තියට පටහැණි බවට මූලික විරෝධයක් ප්‍රකාශ කිරීමට වර්තමාන විදේශ අමාත්‍යවරයා ද කටයුතු කළේ නැත.
ජිනීවා හි 60 වන සමුළුව හරහා ආරම්භ වන ක්‍රියාවලිය මගින් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසාන සැතපුම පසු කිරීමට අදාළ මූලික පූර්ව කොන්දේසිය වන ආරක්ෂක හමුදා දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ උවමනාව මෙන්ම 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වන බවට කිසිදු සැකයක් නැත.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජාත්‍යන්තර යාන්ත්‍රණය වෙනුවට එකඟවන දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් තාක්ෂණික සහය ලබා ගන්නා බව ය. මීට පෙර 2015 දී විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් යුද අපරාධ චෝදනා සහිත මානව හිමිකම් කොමසාරිස් වාර්තාව සහ ඊට දඬුවම් කිරීම සඳහා යොජනා අඩංගු 30/1 යෝජනාව ස්තූති පූර්වකව පිළිගනු ලැබීය. එහෙත් ඔහු විසින් එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් ගෙන් තාක්ෂණික සහය ලබා ගන්නා බවක් සඳහන් නොකිරීමට පරිස්සම් විය. එම එකඟතාව වඩා භයානක වන්නේ අමාත්‍යවරයා විසින් සම්මත කිරීමට පොරොන්දු වූ නීතිමය රාමු 3ක් අතුරින් සත්‍ය සෙවීමේ කොමිසම පනත යටතේ ජාත්‍යන්තර උපදේශකයින් සහ නිරීක්ෂකයින් පත් කිරීමට ප්‍රතිපාදන සලසාතිබීම නිසාය. ඒ අනුව දැනටමත් ගැසට් කර ඇති අදාළ පනත යම් සංශෝධන සහිතව නැවත ගැසට් කිරීම මගින් හෝ තිබෙන ආකාරයට සම්මත කළහොත් ඉන්පසුව ප්‍රථම වතාවට රටේ නීතියට අනුව ජාත්‍යන්තර උපදේශකයින් විසින් මෙහෙවන වගවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වනු ඇත.
කෙසේ වෙතත් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් වෙනුවට ඊනියා වගවීම හෙවත් රණවිරුවන්ට දඬුවම් කිරීම සඳහා යොදා ගන්නා දේශීය යාන්ත්‍රණය විදේශීය යාන්ත්‍රණයට වඩා බලවත්ව ක්‍රියාත්මක කළ ද ඊනියා බාහිර හෙවත් විදේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවන බවට කිසිවකු විසින් සහතිකයක් ලබා දී නැත. ඒ අනුව දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙෙරන අතර, විදේශීය යාන්ත්‍රණය මගින් බලපෑම් කිරීම සහ බියගැන්වීම දිගින් දිගටම සිදුවන බව ඉතා පැහැදිලිය. එය සමාන කළ හැක්කේ “ඔබ වෙඩි තියන්න එපා, මම රණවිරුවන්ට වෙඩි තියන්නම්, පිස්තෝලය මට දෙන්න” වැනි ඉල්ලීමකට ය. ඒ අනුව එක් පිස්තෝලයක් විජිත හේරත් අමාත්‍යවරයා අතට ලබා දී අනෙක් පිස්තෝලය වෝල්ටර් ටුර්ක් විසින් එතුමා ගේ හිසට එල්ල කර දැන් වෙඩි තබනු යනුවෙන් බලපෑම් එල්ල කරන බවට කිසිදු සැකයක් නැත.
තවදුරටත් එම ක්‍රියාවලිය සමාන කළ හැක්කේ අපරාධකරුවකු විසින් අසරණ කාන්තාවක් බලහත්කාරයෙන් දූෂණය කිරීමට උත්සාහ කරන අවස්ථාවක “අනේ මට තුවාල කරන්න එපා මම කැමති වෙන්නම්” වැනි ප්‍රකාශයක් මගින් දූෂණය වීමට එකඟ වීම වැනි ක්‍රියාවකට ය. අවසානයේදී ආණ්ඩුව ගොදුරු වීමට නියමිත පාවාදීම අනුව නීතිමය රාමු 4ක් සම්මත කිරීමට සහ ඒ අතරින් එක නීතියකට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සිදුවන බව ඉතා පැහැදිලි ය. ඊට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඊනියා බදු සහන මගින් දියත් කෙරෙන කේවල් කිරීමේ ක්‍රියාවලියට ගොදුරුවීම මගින් ගිවිසුමට අදාළ අමුණුම් “බී” ලේඛනයට එකඟතාව ලබා දීමට ද සිදුවිය හැක. එසේ වුවහොත් ඇමරිකානු ආරක්ෂක හමුදාවලට සහ ඒවාට සේවා සපයන සමාගම්වලට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක කඳවුරු බැඳීමේ බලය සහ හැකියාව ලැබෙනු ඇත.
විජිත හේරත් අමාත්‍යවරයා විසින් සම්මත කිරීමට එකඟ වී ඇති නීතිමය රාමු 3ක් අතුරින් දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ සංශෝධන පනත සකස් කිරීමේ වගකීම අමාත්‍ය මණ්ඩලය විසින් භාර දෙනු ලැබුවේ පුද්ගලික නීතිඥ මහත්මයෙකුට ය. ඊට රාජ්‍ය නිලධාරීන් සහ නීති කෙටුම්පත් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වූවා ද යන්න සහ මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියක් තිබුණා ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් මහජනයා දන්නේ නැත. එම පනත් කෙටුම්පත මේ වන විට අධිකරණ අමාත්‍යවරයාට භාරදී ඇති අතර, සමහර විට මානව හිමිකම් සැසිය පැවැත්වෙන අතර එම පනත් කෙටුම්පත ගැසට් කිරීමේ ඉඩකඩ බැහැර කළ නොහැක. කෙසේ වෙතත් නව පනතක් සකස් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ දී අදාළ නීතිය පදනම් වන සංකල්පීය රාමුව සහ ඊට දායක වන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ද තොරතුරු ලබා දිය යුතුය.
නමුත් ත්‍රස්ත විරෝධී පනත සකස් කළ ආකාරයට ම අභිචෝදක කාර්යාල පනත සකස් කිරීමේ වගකීම පවරා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමෙකුට ය. සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ පනත මේ වන විට ගැසට් කර තිබේ. ඒ අනුව දැන් ඉතිරි වී ඇත්තේ එම්.ඒ. සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම පමණි. ඉන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වා උතුරු සහ නැගෙනහිර පළාත්වල මහ ඇමැතිවරයාට යටත් වන ආණ්ඩුකාරවරයෙකු පත් කළ විට අදාළ ක්‍රියාවලිය සම්පූර්ණ වේ.
එවිට දැනටමත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් සකස් කර ඇති පළාත් ප්‍රඥප්ති එකින් එක සභාගත කරන විට ආණ්ඩුකාරවරයා ඒ සියල්ල අනුමත කරන තත්ත්වයක් යටතේ සහ ජනාධිපතිවරයා නිහඬව සිටින තත්ත්වයක් යටතේ සියලුම ප්‍රඥප්ති සම්මත කිරීමට ගතවනු ඇත්තේ ඉතා කෙටි කාලයකි. අදාළ ප්‍රඥප්ති සම්මත කිරීමෙන් පසුව විශේෂයෙන්ම “මහජන ආරක්ෂක”නාමයෙන් එන පොලිස් ප්‍රඥප්තිය සහ“කෘෂිකාර්මික සංවර්ධන”නාමයෙන් සහ එන ඉඩම් ප්‍රඥප්තිය සම්මත කළ පසු ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පළාත් ආණ්ඩු සහ මාධ්‍යම ආණ්ඩු සමග ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැක. එම ගැටුම් යොදා ගනිමින් ජාත්‍යන්තර මැදිහත්වීමට ඉඩකඩ විවර වන බවට කිසිදු සැකයක් නැත. සත්‍ය සෙවීමේ හා ප්‍රතිසන්ධාන කොමිසම පනත යටතේ ගැටුම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වන වගකීම ද අයත් වන බැවින් මෙම පනත මගින් රට තුළට කැඳවන ජාත්‍යන්තර උපදේශකයින්ට සහ නිරීක්ෂකයින්ට ඉතිහාසයේ ප්‍රථම වතාවට රට තුළ සිටිමින් මැදිහත් වීමට නීතිමය අවකාශය නිර්මාණය වනු ඇත. ඒ මගින් ආරම්භ වන ස්වයංපාලන ක්‍රියාවලිය නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමේ දී සිදුකළ ආකාරයට ජාත්‍යන්තර අධිකරණය මගින් තවදුරටත් තහවුරු කිරීමේ හැකියාව බැහැර කළ නොහැක.
ඒ අනුව මෙවර ජිනීවා හි 60 වන සමුළුව හරහා ආරම්භ වන ක්‍රියාවලිය මගින් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසාන සැතපුම පසු කිරීමට අදාළ මූලික පූර්ව කොන්දේසිය වන ආරක්ෂක හමුදා දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ උවමනාව මෙන්ම 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වන බවට කිසිදු සැකයක් නැත. එවිට මෙතෙක් ජනාධිපතිවරුන් 8 දෙනෙකුන් යටතේ නොකළ පාවාදීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට වර්තමාන ජනාධිපතිවරයා යටතේ අවකාශය සැලසෙනු ඇත. නමුත් ඒ සඳහා ආණ්ඩුවට යම් ගෞරවයක් සහ බලයක් අවශ්‍ය වේ. දැනටමත් විජිත හේරත් ආමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර යාන්ත්‍රණ ප්‍රතික්ෂේප කිරීම මගින් යම් පිරිස් අතර ආරක්ෂාකාරී මනසක් ගොඩනැගීමට ආණ්ඩුව සමත් වී ඇත.
ඒ ආකාරයටම මහ කොමසාරිස් වාර්තාව මගින් මෙතෙක් ඉදිරිපත් නොවූ කොන්දේසියක් එනම් රෝම ප්‍රඥප්ති අත්සන් කිරීම මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බලයට ශ්‍රී ලංකාව යටත් කිරීම සඳහා වූ යෝජනාව මගින් වෝල්ටර් ටූක් ලා ශ්‍රී ලංකාවේ රජයට තවදුරටත් මහජන ගෞරවය ඉහළ දමා ගැනීමට අවස්ථාව නිර්මාණය කර ඇත. ඒ එම කොන්දේසියට යටත් නොවන බව එනම් රෝම ප්‍රඥප්තිය අත්සන් නොකරන බව ප්‍රකාශ කිරීම මගිනි. එවිට සෙසු බරපතළ පාවාදීමේ කොන්දේසි ඉටු කිරීම සඳහා අවශ්‍ය වන මහජන විශ්වාසය දිනා ගැනීමට සහ මහජන අපවාදයෙන් කෙටි කාලයකට බේරී සිටීමට අවස්ථාව ලැබෙනු ඇත. වෝල්ටර් ටූක් ලා දැනටමත් පිහිටුවා ඇති ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශන ක්‍රියාවලිය මගින් විවිධ රටවල දී ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැකි බැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ දී දීර්ඝකාලීන ක්‍රියාවලියක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් නැත. ඒ අනුව රෝම ප්‍රඥප්තිය අත්සන් කිරීම සඳහා වන බලකිරීම ඉහත සඳහන් කළ ආකාරයට මහජන රැවටීම සඳහා ඉඩ ලබාදීම මුල්කරගත් මානසික යුද උපක්‍රමයක් බව ඉතා පැහැදිලිය.
එසේ වුවත් යම් නිශ්චිත ආරක්ෂක හමුදා ප්‍රධානියකුට එරෙහිව හෝ විශේෂිත ක්‍රියාවකට අදාළව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමේ උවමනාවක් ඇති අවස්ථාවක ඒ සඳහා එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. ඒ අනුව දැන් අවශ්‍ය වන්නේ තව දින කිහිපයකින් ඉදිරිපත් කිරීමට නියමිත 60/1 යෝජනාව ශ්‍රී ලංකාවේ එකඟතාව සහිත ඉදිරිපත් කළ ඊට සම අනුග්‍රහය ලබාගැනීම හෝ අදාළ යෝජනාව ස්තුති පූර්වකව පිළිගන්නා තත්ත්වයක් නිර්මාණය කිරීමය. එනම් ඉහත සඳහන් කළ ආකාරයට ගෞරවයෙන් යුතුව සිය දිවි නසාගැනීම සඳහා තොණ්ඩුව ආණ්ඩුව විසින්ම ගෙළට දමා ගැනීම සඳහා ආණ්ඩුව පෙලඹවීමය. දැනට දක්නට ලැබෙන පින්තූරය අනුව වෝල්ටර් ටූක් ලා එම අභියෝගය ජය ගන්නා බවට සැකයක් නැත.