වත්කම් හෙළි කළ පමණින් දූෂණ නවතී ද?


දකුණු ආසියාවේ රටවල් කිහිපයකට තරුණ ප්‍රජාව ප්‍රචණ්ඩ වීඳි අරගල මඟින් ආණ්ඩු පෙරළීමට ඉකුත් කාලයේ කටයුතු කළහ. ශ්‍රී ලංකාව ද ඒ අතරින් එක් රටකි. මෑතක උදාහරණය නේපාලයේ ආණ්ඩු පෙරළියයි. ශ්‍රී ලංකාවේත් නේපාලයේත් අන් රටවලත් බොහෝ දෙනාගේ කෝපය එල්ල වූයේ තමන් දුක් විඳිමින් සිටිය දී දේශපාලකයන් සැප පහසු ජීවිත ගත කරන බවය. තමන් දුක් විඳින විට දේශපාලකයන් ධනවත් වන බව ඔවුහු කියති. ඒ නිසා වීදි අරගල මඟින් ආණ්ඩු පෙරැළීමට තරුණ පිරිස් කටයුතු කළහ. 

දේශපාලකයන්ගේ වත්කම් පිළිබඳව මේ දිනවල මෙරට කතා බහක් ඇති වී තිබෙන්නේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ගණනාවකගේ වත්කම් පිළිබඳව හෙළිදරව් වී ඇති තොරතුරු නිසාය. ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වීමේ එක් හේතුවක් ලෙස කියැවුණේ රාජ්‍ය වත්කම් දේශපාලකයන් විසින් කොල්ලකනු ලැබීමය. ඔවුන් අනිසි ලෙස ධනවත් වූ බවත් ඇතැමුන් කොල්ල කෑ ධනය පෞද්ගලික වත්කම් ලෙස විදේශ රටවල සඟවා ඇති බවත් මෙරට වීඳි අරගලය සමයේ කියැවුණු ප්‍රබල මතයක් බවට පත්විය. ඉන් අනතුරුව කෙටි කලක් තුළ පැවැති පාලනය පෙරළා දමා ජාතික ජන බලවේගයට රාජ්‍ය බලය හිමි විය. මේ දිනවල උදාවී ඇත්තේ ජාතික ජනබලවේග ඇමැතිවරුන්ගේ වත්කම් ජනතා පරීක්ෂණයට ලක්වන අවස්ථාවය. 

නිර්ධන පංතියක් ලෙස හැඳින්වෙන්නේ ධනයක් නැති සමාජ පංතියකි. එම සමාජ පංතිය ධනයෙන් විනිර්මුක්තය. සෝවියට් සමාජවාදී සංගමයේ දී එරට කොමියුනිස්ට් හා සෙසු වාමාංශික පක්ෂ සෑදුණේ මහා ඉඩම් හිමි ධනවතුන්ගේ වතුවල බැල මෙහෙවර කළ කම්කරු පංතියෙනි. ශ්‍රී ලංකාවේදීද වාමාංශික මතවාද මෙරට පැතිර වූ සමසමාජ කොමියුනිස්ට් පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතූළු අටෝ රාශියක් වාමාංශික පක්ෂ පෙනී සිටියේ මෙරට නිර්ධන හෙවත් ධනයක් නැති ජනතාවගේ පක්ෂ හැටියටය. ජවිපේ නායක රෝහණ විජේවීර තම පක්ෂය හැඳින්වූයේ ලාංකික නිර්ධන පංතියේ නියාමක පක්ෂය හැටියටය. 1988 මැයි මස 26 වැනිදා ජවිපේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් රෝහණ විජේවීරගේ අත්සනින් යුතුව රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව නිකුත් කළ පිටු 24කින් යුතු මධ්‍යම කාරක සභා ලියැවිල්ලේ සඳහන්ව ඇත්තේ මේ ආකාරයටය. 

ජයවර්ධන-තොණ්ඩමන් නීති විරෝධී හවුල් ආණ්ඩුව ලාංකීය නිර්ධන පංතියේ නියාමක පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ මීට වසර පහකට උඩ දී නීති විරෝධී කර මර්දනය කිරීමට පටන් ගත්තේද සාපරාධී කුමන්ත්‍රණයකිනි. 

විජේවීර ඉතා පැහැදිලිව තමන්ගේ පක්ෂය නිර්ධන පංතියේ පක්ෂයක් බව කියන්නේ එලෙසය. 

විජේවීරගේ පක්ෂය ඉතිහාසය පුරාම පෙනී සිටියේ නිර්ධනීන්ගේ පක්ෂයක් හැටියටය. එම නිර්ධනීන් නිරතුරුවම පෙනී සිටියේ මෙරට ධනය ඇති පංතියේ සතුරු බලවේගයක් හැටියටය. එජාප සහ ශ්‍රීලනිප ආණ්ඩු ධනපති ආණ්ඩු නිරතුරුවම හඳුන්වා දුන් වාමාංශික පක්ෂ කිහිපය අභිබවා යමින් අසූව දශකයේදී ජවිපෙ මෙම ප්‍රධාන පක්ෂ දෙකට ධනපති හංවඩුව එල්ල කළේය. එජාප රජයේ ඇමැතිවරුනගේ කඩ සාප්පු ගැන ව්‍යාපාර ගැන නිරතුරුවම ජනතා වෛරයක් ඇවිළවීමට අසූව දශකයේ ජවිපේ සැඟවුණු සමය තුළ උත්සාහ කළේය. එම වෛරය පුපුරා ගියේ දෙපිරිසම එකිනෙකාට එරෙහිව මරාගෙන මැරෙන මාරාන්තික සටනක් ක්‍රියාත්මක කළ 1987-1989 තෙවසර තුළය. එම පංති වෛරය නිසා ජවිපේ ඇතුළු තරුණ ජීවිත හතළිස් දහසක්ද එජාප ශ්‍රීලනිප ඇතුළු වෙනත් පක්ෂවල ජීවිත දොළොස් දහසක්ද විනාශ විය. 

ජවිපේ මුල් පෙළේ සාමාජිකයන් වන ජාතික ජනබලවේග රජයේ ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ කෝටි ගණනකට වත්කම් පිළිබඳව හෙළිදරව් වෙද්දී සමාජයේ ඇතැමුන් පුදුමයට පත්ව සිටින්නේ ඉතිහාසයේ සැඟව ගිය මෙම පංති සටන හෙවත් පංති වෛරය ගැන දන්නා නිසාය. 

ධනය නැති පංතියක පක්ෂය ලෙස හැඳින් වූ ජවිපේ මුල් පෙළේ සාමාජිකයන් මෙතරම් ධනයක් ඇති ධනවතුන් බව ඔවුන් විසින්ම හෙළිදරව් කර ඇති නිසාය. විශාල ධනයක් තබා ගැනීම මෙරට කිසිම නීතියකින් තහනම් නොමැති මුත් වත්මන් ඇමැතිවරුන්ට යම් ජනතා විරෝධයක් මතු වී ඇත්තේ ඔවුන් තමන් නිර්ධන පංතියේ බවත් ධනයක් නොමැති බවත් නිරතුරුවම කියා සිටි පිරිසක් නිසාය. 

අල්ලස් කොමිසමේ ප්‍රධානියකු මේ නොබෝදා පවසා තිබුණේ ත්‍යාගයක් ලෙස යමක් ලබාදීම මෙන්ම භාරගැනීම ද අල්ලස්මය වරදක් ලෙස ගැනෙන බවය. සුපිළිපන්න දේශපාලනයක් සහ රාජ්‍ය පාලනයක් සඳහා එවැනි ත්‍යාගවලින් පවා තොර රටක් බිහි කළ හැකිනම් දේශපාලකයා මෙන්ම ඉහළ රාජ්‍ය නිලධාරීන්ට ද එවැනි අල්ලස් සේ ගැනෙන ත්‍යාග බලාපොරොත්තු වීමෙන් ද වැළකෙනු ඇත. 

දේශපාලකයන්ගේ වත්කම් හෙළිදරව් කළ යුතු බවට විශාල මතවාදයක් පැතිර ගිය 1960 දශකයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තෑගි ලෙස ලබාදුන් බවට පැතිර ගිය කතාවක් හේතුවෙන් එවක ජාතික රාජ්‍ය සභාවේ තේරීම් කාරක සභාවක් පත්කර මේ ගැන සොයා බලන්නට සිදුවිය. එවකට විපක්ෂ නායිකාව වූ සිරිමාවෝ මැතිනියට එරෙහිව මෙම චෝදනාව නැඟුවේ 1965 රජයේ ඇමැතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන විසිනි. දේශපාලනඥයකු වූ ජස්ටින් කොතලාවල මිලදී ගත් මොරිස් ඩක්ස්පෝඩ් රථයක් ත්‍යාගයක් ලෙස විපක්ෂ නායිකාවට පිළිගන්වන ලද බවත් මෙය අයුතු ත්‍යාගයක් ලෙසත් චෝදනා නැඟුණි. මේ පිළිබඳ ප්‍රචාරය වෙද්දී ආණ්ඩුව කළේ ජේ.ආර් ජයවර්ධනගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර මේ ගැන විභාග කිරීමය. එම කාරක සභාවේදී දිගින් දිගටම පරීක්ෂා කළේ මැතිනිය එම මෝටර් රථය පිළිගැනීමෙන් අයථා වත්කමක් උපයා ගත්තේ ද යන්නය. පරීක්ෂණයේදී එම චෝදනාව ඔප්පු නොවීය. 

හැටේ දශකය එවැනි චෝදනාවලින් නිරන්තරයෙන්ම ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකිනෙකාට චෝදනා කරගත් කාලයක් විය. ශ්‍රීලනිප රජයේ හිටපු කතානායකවරයකු වූ හියූ ප්‍රනාන්දු අල්ලස් ගත් තම පක්ෂයේම ඇමැතිවරුන් ගැන මෙවැනි සඳහනක් කරයි. 

“බණ්ඩාරනායක මැතිනියද සහභාගී වූ ආණ්ඩු පක්ෂයේ මැති සභා රැස්වීම්වලදී මම උස් හඬින් හා කෙළින්ම කතා කළෙමි. පක්ෂයේ සිටි අල්ලස් ගන්නා අයට නිතරම ප්‍රසිද්ධියේ චෝදනා කළෙමි. අල්ලස් ගැනීමෙන් වරදකරුවන් වූ පක්ෂයේ සාමාජිකයන්ට විදේශ රැකියා ලබාදීමට පක්ෂයේ වෘත්තීය සංගම් ව්‍යාපාරයේ උසස් තනතුරු පැවරීමට ගත් පියවර ගැන මම මගේ විරුද්ධත්වය ප්‍රකාශ කළෙමි.” හියූ ප්‍රනාන්දු සඳහන් කරයි. 

බොහෝ පක්ෂවල අයුතු ආදායම් ඒකරාශී කරන තැනක් වන්නේ වෘත්තිය සමිති ව්‍යාපාරය. ඒ මැතිනියගේ රජය සමයේ අයථා ලෙස මුදල් ඉපැයූ පක්ෂයේ වෘත්තිය සමිති ප්‍රධානියකුට එරෙහිව තමා කතා කරද්දී මැතිනිය එම සාමාජිකයා රැකගත් බවද ඔහු සඳහන් කරයි. 

මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමනා ඉහළ නැංවූයේ 1977 එජාප රජය විසිනි. පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකටම ගෙවනු ලැබූ රුපියල් සියයක මුදල දිනකට රුපියල් දෙසීයක් දක්වා ඉහළ නංවන්නට ආණ්ඩුව පත්වූ විගසම පියවර ගත්තේය. එකල පාර්ලිමේන්තුව රැස්වූයේ මසකට දින හයකි. එයට අමතරව පාර්ලිමේන්තු කමිටු පැවැත්වෙන සෑම දිනකටම රුපියල් 1000ක මන්ත්‍රී දීමනාව, ලිපිකරුවා සඳහා මසකට රුපියල් 567ක දීමනාව යතුරු ලේඛකයා සඳහා රුපියල් 495 ක දීමනාව කාර්යාල කාර්ය සහායකයා සඳහා රුපියල් 442ක දීමනාව රියැදුරු සඳහා රුපියල් 400 සහ සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 250ක මුදලක්ද මන්ත්‍රීවරයාගේ මාසික වැටුපට එකතු විය. මේ සියල්ලේම එකතුව මසකට රුපියල් 2000 ඉක්ම වීය. 1978 වන විට සෑම මන්ත්‍රීවරයකුටම ඔවුන්ගේ ගමන් බිමන් සඳහා විශේෂ සහන මිලකට ඩීසල් ජීප් රථයක් ද රජයෙන් සැපයිණි. 

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මෙම තීන්දුවලට එළඹුණේ ඒ වනවිට මන්ත්‍රීවරුන් විවිධ ධනවතුන්ගෙන් යැපෙන පිරිසක් බවට පත්ව සිටි නිසාය. මන්ත්‍රීවරුන් අල්ලස් ගන්නා බවට නිතර කියැවිණි. බොහෝ දෙනා පාර්ලිමේන්තුවට පැමිණියේ අනුන්ගේ වාහනයකය. මේ නිසා ක්ෂය වීමේ පදනම මත රජයෙන් ජීප් රථයක් මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නට ජනාධිපතිවරයා පියවර ගත්තේය. 

1970 සමඟි පෙරමුණ රජයෙත් අල්ලස් ගත් මැති ඇමැතිවරුන් සිටි මුත් හෙක්ටර් කොබ්බෑකඩුව වැනි ඇමැතිවරුන් දේශපාලනය කළේ තමනගේ ඉඩකඩම් පවා රජයට පවරා දෙන නීති ගෙන එමිනි. මහනුවර ප්‍රදේශයෙන් රදල පවුලකින් පැවත ආ හෙක්ටර් කොබ්බෑකඩුව තම රජයේ නියමය පරිදි නොපැකිළිව ඉඩම් අත්පත් කර ගැනීමේ පනත සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේය. එම පනත නිසා ඔහුට අයත්ව තිබූ අක්කර සිය ගණනක ඉඩම් ද රාජ්‍යසන්තක විය. ඔහුගේ ඥාතීන්ගේ ඉඩම්ද රාජ්‍යසන්තක විය. එනිසාම ඔහුගේ ඥාතීහු හෙක්ටර් කොබ්බෑකඩුව සමඟ පැවැති ඥාති සබඳතා ද අතහැර දැමූහ. 1982 ජනපතිවරණයට ඉදිරිපත් වන්නැයි ඔහුට ආරාධනා කිරීමට විජය කුමාරතුංග චන්ද්‍රිකා කුමාරතුංග ෆීලික්ස් පෙරේරා ඇතුළු කණ්ඩායම ඔහුගේ නිවසට යද්දී කොබ්බෑකඩුව සිටියේ සියලු ඥාතීන්ගෙන් කොන්ව ඔහුගේ නිවසේ හුදකලාවය. රට වෙනුවෙන් ගත් තීන්දු තීරණ නිසා ඥාති පරම්පරාවෙනුත් දොස් ඇසූ ප්‍රභූ දේශපාලකයන් එදා අපට හමුවුවද අද අපට එවැන්නන් හමුවේ ද? අද අපට හමුවන්නේ රාජ්‍ය දේපොළ අයථා පාවිච්චිය හේතු කරගෙන තම හත්මුතු ඥාති පරම්පරාවම සුඛිත මුදිත කරවූ දේශපාලන නායකයන්ය. මැති ඇමැතිවරුන්ය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ය. සල්ලිකාර දේශපාලන රංඩුව චෞර රණ්ඩුවක් මිස මහත්මා දේශපාලනයේ නියුතු වූයේ නැති බව අලුතෙන් කියන්නට අවශ්‍ය නැත. 

1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බලයට පත්වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝමයකට පෞද්ගලික වාහනයක් තිබුණේ නැත. මන්ත්‍රීවරුන් ඒ වනතුරුත් ජාවාරම්වලම පෙලඹී තිබුණේ ද නැත. ඈත දුර බැහැර ආසනවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීමට පැමිණියේ ගමේ මුදලාලිගේ වාහනයෙනි. මුදලාලි කට පුරා සිනාසෙමින් මන්ත්‍රීවරයා තම වාහනයේ නංවාගෙන ආවේ ප්‍රවාහන හිලව්වට ආණ්ඩුවේ කොන්ත්‍රාත් ටිකත් තමාට ලැබෙන සන්තෝෂයෙනි. එකල මන්ත්‍රීවරුන් මුදලාලිලාගෙන් උදව් ලැබ ඔහුගේ වාහනයේ මැතිසබා රැස්වීමට එන එක සිරිතක්ව පැවතුණේය. ජේ.ආර්. රජය මෝටර් රථයක් මන්ත්‍රීවරුන්ට රජයෙන් ලබා දුන්නේ මන්ත්‍රීවරුන් මුදලාලිලාගේ අතකොලු වීම වළක් වන්නය. එහෙත් මන්ත්‍රීවරුන් වාහනයෙන් දිව්ව දිවිල්ල හැටියට. 

එසේ දුන් මෝටර් රියෙන් ආපසු රජයට භාරගන්න සිදුවූණේ යකඩ ගොඩක් පමණය. ජේ.ආර්. ඒ ප්‍රශ්නයෙන් ගැලවෙන්න මන්ත්‍රීවරුන්ටම අයිතිවන පරිදි මෝටර් රියක් ආනයනය කර ගැනීමේ බලපත්‍රයක් ලබා දුන්නේය. වැඩිකල් යන්නට කලින් ඒ බලපත්‍රය බොහෝ මන්ත්‍රීවරුන්ට අල්ලලා ගියේ එය මුදල් කරගත හැකි නිසාය. ඉන් පසුව තීරු බදු රහිත වාහනයක් ගෙන්වා ගැනීමේ බලපත්‍රය මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්විය. වාහන බලපත්‍රය ඇතුළු මන්ත්‍රී වරප්‍රසාද නිසා කළු සල්ලි සුදු කරන සහ හොර මැර ජාවාරම් වලින් මුදල් උපයා ගන්නා චෞර කණ්ඩායම්වලට දේශපාලනය සින්න වූයේය. 

වත්කම් පනතක් ගෙන ඒමට මුලින්ම උත්සාහ කළේ 1965 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවය. එම රජය බලයට ඒමට පෙර සිටම මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළි කරන පනතක් ගෙන එන බවට පොරොන්දු විය. 1969 ඔක්තෝබරයෙන් මෙවැනි පනතක් සකස් කිරීමට ඩඩ්ලිගේ එජාප රජයට හැකි වුවත් එවකට රාජ්‍ය ඇමැති ජේ.ආර්. ජයවර්ධන මෙම පනත ප්‍රසිද්ධියේ විවේචනය කළේය. ජේ.ආර්. කීවේ මෙම පනත තනිකරම මහජනයා රවටන ප්‍රෝඩාවක් බවය. ජේ.ආර්. මේ පනත ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදීද එහි අඩුපාඩු පෙන්වාදී ඇත. 

ජේ.ආර්ගේ තර්කය වූයේ මෙම පනතින් වත්කම් හෙළි කිරීමට බල කෙරෙන්නේ සෙනෙට් මන්ත්‍රීවරුන්ටත් මහජන මන්ත්‍රීවරුන්ටත් පමණක් බවය. සංයුක්ත මණ්ඩලවල අධ්‍යක්ෂවරුන් රජයේ උසස් නිලධාරින් ආදී සෙසු අයට මේ පනත බලපාන්නේ නැති බවත් ඒ නිසා ඩඩ්ලි හැදූ පනත ප්‍රොඩාවක් බවය. නිලධාරීන් සියලු දෙනාගේද වත්කම් හෙළි කිරීමට බල කෙරෙන අයුරින් පනත පිළියෙල කළ යුතු බව ජේ.ආර්ගේ තර්කය විය. 

ජේ.ආර්ගේ මීළඟ තර්කය වූයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන වත්කම් ප්‍රකාශය ජනතාවට දැක බලාගැනීමට හැකියාවක් එම පනත අනුව නොමැති බවය. එකල ආදායම් බදු කොමසාරිස්ට ඉදිරිපත් කරන වත්කම් ප්‍රකාශයක් තිබූ අතර එය රහසිගත ලියැවිල්ලකි. ප්‍රසිද්ධ කෙරෙන්නේ නැත. ඩඩ්ලි හැදූ වත්කම් පනතෙන් ද මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳව ඔවුන් ඉදිරිපත් කරන ප්‍රකාශය ප්‍රසිද්ධ කිරීමේ නීතියක් නොතිබිණි. මේ නිසා එම ලියැවිල්ල සඟවාගෙන සිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ජේ.ආර් ජයවර්ධන එවකට රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දී තිබිණි. කෙසේ හෝ මෙම විරෝධය හේතුවෙන් අගමැති ඩඩ්ලිට සිදුවූයේ වත්කම් හෙළි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්හිටුවීමටය. 

ඉන්පසුව බලයට ආ සමඟි පෙරමුණු රජය 1974 දී මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළිකිරීමේ පනත ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේය. මෙරට දේශපාලකයන්ට හා ඉහළ රජයේ නිලධාරීන්ට තමන්ගේ වත්කම් හෙළි කරන ලෙස නියම කළ මුල්ම නීතිය මෙම පනතය. ඒ යටතේ මැති ඇමැතිවරුනට පළාත් පාලන ආයතන නියෝජිතයන්ට රාජ්‍ය සංස්ථා අධ්‍යක්ෂවරුන්ට සහ සියලුම රාජ්‍ය හා සංස්ථා සේවකයන්ට සිය වත්කම් හෙළි කිරීමට මෙම පනත යටතේ නියම කෙරිණි. පනත ගෙන ආවේ එවකට අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාය.

මේ පිළිබඳ නීති තවදුරටත් ශක්තිමත් කරමින් වත්කම් හෙළිකිරීමේ ලිපි අල්ලස් කොමිසම යටතට භාර කිරීමට 2023 සම්මත කළ දූෂණ විරෝධී පනතෙන් විධිවිධාන සැලසිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත මෙම පනත ඉදිරිපත් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය විසිනි. අද වන විට සියලුම මැති ඇමැතිවරුන් හා ඉහළ නිලධාරීන්ගේ වත්කම් වසරින් වසර හෙළිදරව් කිරීමට එම නීතියෙන් නියම කර ඇත. එමගින්වත් ජාතික ධනය සූරා කෑම නතර කර ගත හැකි වුවහොත් එය ජාතියේම වාසනාවකි. 

ප්‍රේමකීර්ති රණතුංග