
දශක ගණනාවක් තිස්සේ ලැයින් කාමරවල අතිශය දුෂ්කර හා අභියෝගාත්මක ජීවිතයක් ගත කළ ශ්‍රී ලංකාවේ වතුකරයේ ජනතාවට ස්ථිර හිසට සෙවණක් සහ භූමියේ අයිතිය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක ඉන්දීය ආධාර නිවාස ව්‍යාපෘතියේ (Indian Grant Housing Programme ), අදාළ නිවාස ලාභීන්ට ඉඩම් අයිතිය ලබාදීම වත්මන වන විට බරපතළ නීතිමය සහ පරිපාලනමය අර්බුදයකට මුහුණ දී සිටී. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රකාරව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් ලබාගත් නිල තොරතුරුවලට අනුව, ඉන්දීය ආධාර යටතේ ඉදිකර අවසන් කරන ලද නිවාසවල පදිංචි පවුල් 920කට නීතිමය ගැටලු හේතුවෙන් මෙතෙක් හිමිකම් ඔප්පු ලබාදීමට නොහැකි වී තිබෙන බව අනාවරණය වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්, මස්කෙළියේ පදිංචි පෙරුමාල් පොල්රාජ් (70) ද ඒ ආකාරයෙන්ම තම නිවසට හිමි කිසිදු අයිතිමය ලියවිල්ලක් හිමිව නැති වතු කම්කරුවෙකි. වසර ගණනාවක් ලැයිම් කාමර තුළ ජීවත් වූ ඔහුගේ ලයිම ගිනිගැනීමට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස තමන්ට ලැබුණු නිවසට නිසි අයිතියක් තවමත් නොලැබීම ගැන ඔහු අදහස් දැක්වූයේ ඉතා කනගාටුවෙනි. “අපි හිටපු ලයිම ගිනි ගත්තා. පස්සේ වසර කිහිපයකට පසු දැන් අපි මේ නිවාස අපිට ලැබුණා. අපිට ලබාදුන්නෙත් නිසි අයුරින් අවසන් කර නොතිබූ, නිසි මාර්ග පහසුකම්වත් නැති නිවාස. තාමත් එහෙමයි. ඒ වගේම දැන් මෙහෙට ඇවිල්ලා අවුරුදු 09කට ආසන්නයි. අද වන තුරු මා ඇතුළු කිහිපදෙනෙකුට තවම කිසිදු අයිතිවාසිකම් ලියවිල්ලක් මේ ගෙදරට දීලා නෑ.’’
ඔප්පු සැකසීමේ සහ බෙදාහැරීමේ මන්දගාමී පියවර
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ලබාදී ඇති RTI /2026/16 දරන නිල ලේඛනයට අනුව, ඉන්දීය ආධාර නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර (නිවාස 4,000) සහ දෙවන අදියර (නිවාස 10,000) යටතේ ඉදිකළ නිවාස අතුරින් නිවාස 4,151ක් සඳහා ඔප්පු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කෙසේ වෙතත්, එම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ක්‍රියාත්මක කිරීමේ ක්ෂේත්‍ර ප්‍රගතිය පවතින්නේ අතිශය මන්දගාමී මට්ටමක බව මෙම තොරතුරු මගින් අනාවරණය වන්නකි.
ඒ ආකාරයෙන් ලබාදී ඇති නිල තොරතුරු හා දත්ත සාරාංශයට අනුව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් නිවාස 4,151 අතුරින් නීතිමය ගැටලු නොමැතිව දැනට හිමිකම් ඔප්පු සකස් කර ඇත්තේ නිවාස 1,021ක් සඳහා පමණි. එයින් නිල වශයෙන් ප්‍රතිලාභීන් වෙත ප්රදානය කර ඇති හිමිකම් ඔප්පු සංඛ්‍යාව 747ක් වන අතර, සකස් කර අවසන්ව ලබාදීමට නියමිත ඉතිරි ඔප්පු සංඛ්‍යාව 274කි. මීට අමතරව දැනට ප්‍රතිලාභීන් 178 දෙනෙකු සඳහා ඔප්පු සකස් කරමින් පවතින අතර, ඔප්පු සැකසීමට අවශ්‍ය මානක පිඹුරු පත් (Survey Maps ) සකස් කර අවසන් කර ඇත්තේ නිවාස 147ක් සඳහා පමණි. මේ දක්වා සින්නක්කර පදනම මත ඔප්පු ලබා දී ඇති සමස්ත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,542ක් වන අතර, විවිධ නීතිමය ගැටලු හේතුවෙන් ඔප්පු ලබා දීමට නොහැකි වී ඇති පවුල් සංඛ්‍යාව 920ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉඩම් අයිතිය නීතිමය පැටලැවිල්ලක වැටුණේ කෙසේ ද?
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) සතුව පවතින රාජ්‍ය වතු ඉඩම් අවුරුදු 53 සහ 99 දීර්ඝකාලීන බදු පදනම මත පාලනය වේ. නිවාස ව්‍යාපෘතිය යටතේ එක් නිවසක් සඳහා පර්චස් 10 බැගින් ඉඩම් වෙන්කිරීමේදී, එම ඉඩම් කැබලි නිල වශයෙන් රජය වෙත නැවත පවරාදීම සහ අදාළ සමාගම්වල නීතිමය එකඟතාව ලබාගැනීම අතිශය ප්රමාදකාරී ක්‍රියාවලියක් බවට පත්ව තිබේ.
අමාත්‍යාංශය තොරතුරු පනත යටතේ ලබාදුන් තොරතුරු අනුව නිල වශයෙන් පිළිගෙන ඇත්තේ, එක් නිවසක් සඳහා පර්චස් 10 බැගින් ඉඩම් වෙන් කළද වැවිලි සමාගම් (RPC) මගින් එම ඉඩම් නිදහස් කිරීම ප්‍රමාද වන බවයි. මෙලෙස ඉඩම් නිදහස් නොකිරීම සහ නීතිමය හිමිකම් පැවරීම් අඩාළ වීම හේතුවෙන් පවුල් 920ක් තමන්ගේම නිවස තුළ “අනියම් පදිංචිකරුවන්” බවට පත්වීමේ බරපතළ අවදානමකට මුහුණ දී සිටිති.
වහලක් තිබුණද අයිතියක් නැතිවීම
![]() |
| පෝල් රාජ් |
වතු ජනතාවට සින්නක්කර ඉඩම් හිමිකමක් නොමැති වීම හුදෙක් ලියවිල්ලක අඩුවක් පමණක් නොව, ඔවුන්ගේ පරම්පරාගත අයිතිවාසිකම් සහ සාමාජීය සාධාරණත්වය පිළිබඳ බරපතළ ගැටලුවකි. හිමිකම් ඔප්පුවක් නොමැති වීම නිසා මෙම පවුල්වලට ප්‍රධාන ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදුවේ.
පළමුවෙන්ම, වාණිජ බැංකුවකින් ණයක් ලබාගැනීමට හෝ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය ඇපකරයක් ලෙස ඉඩම් ඔප්පුව තැබීමට නොහැකි වීම නිසා ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමට නොහැකි වී ඇත. දෙවනුව, දෙමාපියන්ගෙන් පසුව දරුවන්ට නිවසේ නීත්‍යනුකූල හිමිකම පැවරීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ පරම්පරාගත උරුමය අහිමි වීමේ අවදානමක් මතු වේ. තවද, වතුකරයේ බිහිවන නව ගම්මාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශ යටතට නිල වශයෙන් ඈඳාගැනීමේදී ඔප්පු නොමැතිකම බාධාවක් වන බැවින් ප්‍රාදේශීය පාලන ලියාපදිංචි අර්බුදයකටද මුහුණ දීමට සිදු වේ.
යටිතල පහසුකම් අර්බුදය සහ රාජ්‍ය ප්‍රතිපාදන ඌන භාවිතය
හිමිකම් ඔප්පු අර්බුදයට අමතරව, ඉදිකර අවසන් කළ නිවාසවල මූලික යටිතල පහසුකම් සැපයීමට අපොහොසත් වීම නිසා නිවාස 21ක් භාවිතයට ගැනීමට නොහැකිව වසා දමා ඇති බව තොරතුරු පනත යටතේ ලබාදුන් වාර්තාවේ හෙළි වේ. විශේෂයෙන්ම ගාල්ල කලාපයේ වලහන්දූව වත්තේ ඉදිකළ නිවාස 12ක් සඳහා පානීය ජල පහසුකම් නොමැති අතර, බෙන්තොට වත්තේ ඉදිකළ නිවාස 09ක් සඳහා පානීය ජලය සහ විදුලිය පහසුකම් සැපයීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව එම තොරතුරු මගින් අනාවරණය වන්නකි.
එසේම, ශ්‍රී ලංකා රජය මගින් දෙවන අදියරේ නිවාස 10,000 සඳහා යටිතල පහසුකම් සැපයීමට 2022 සිට 2026 දක්වා වෙන්කළ රුපියල් මිලියන 2,270ක (රුපියල් බිලියන 2.27) සමස්ත ප්‍රතිපාදනවලින් 2026 ජූනි වන විට වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 324.47ක් පමණි. මෙය සියයට 8 සිට සියයට 34 දක්වා වූ අතිශය මන්දගාමී ප්‍රගතියක් වන අතර, මුදල් වෙන්කර තිබියදීත් වැඩ අවසන් නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මෙය සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන්ගේ අවධානයද ලක්විය යුත්තකි.
මෙය තොරතුරු පනත යටතේ අදාළ පොදු අධිකාරිය මගින් ලබාදුන් ප්‍රමාණයක් වුවත්, මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී අනාවරණය වූයේ යටිතල පහසුකම් නොමැතිවීමෙන් ජනතාවට ලබා නොදුන් මෙන්ම ලබාදෙනු ලැබූ නිවාස තුළද පදිංචියට නොයා සිටින සංඛ්‍යාව මීට වඩා වැඩි බවයි. ඒ සම්බන්ධයෙන් ඉදිරි ලිපියකින් අනාවරණය කරනු ලැබේ.
ව්‍යාපෘති ප්‍රගතිය සහ ඉදිරි මග
විශේෂයෙන්ම මෙම තොරතුරු අනුව ඉන්දීය රජයේ ආධාර යටතේ නිවාස 14,000ක් ඉදිකිරීමට නියමිත අතර, පළමු අදියරේ නිවාස 4,000 සම්පූර්ණයෙන්ම නිම කර ඇත. කෙසේ වෙතත්, දෙවන අදියරේ නිවාස 10,000න් දැනට සම්පූර්ණ කර ඇත්තේ නිවාස 522ක් පමණි. දැනට ක්‍රියාත්මක 1,300ක අදියරෙන් 2026 ජූනි 30 වන විට අවසන් කර ඇත්තේ නිවාස 280කි. ඒ අනුව සමස්ත භෞතික ප්‍රගතිය සියයට 22කි.
වතු ජනතාව ලැයිම් කාමර සංස්කෘතියෙන් මුදවා සැබෑ ඉඩම් හිමියන් බවට පත්කිරීමට නම් රජය විසින් හදිසි පියවර කිහිපයක් ගත යුතුව තිබේ. ප්‍රථමයෙන්, වැවිලි සමාගම් (RPCs ) මගින් පර්චස් 10 ඉඩම් කඩිනමින් නිදහස් කරගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ නීතිමය බලකායක් ලෙස විශේෂ ඉඩම් පවරාගැනීමේ කාර්ය සාධක බළකායක් පිහිටුවිය යුතුය. දෙවනුව, නීතිමය ගැටලු සහිත නිවාස 920 සහ ඉතිරි නිවාස සඳහා මිනුම් දෙපාර්තමේන්තුව හරහා මානක පිඹුරු පත් කඩිනමින් සැකසීමට මිනුම් කටයුතු ඉක්මන් කළ යුතුය. තෙවනුව, ජලසම්පාදන මණ්ඩලය සහ විදුලිබල මණ්ඩලය සමඟ එක්ව ඉදිකර ඇති සියලුම නිවාස සඳහා වහාම ජලය සහ විදුලිය ලබාදෙමින් යටිතල පහසුකම් පද්ධතිය නිසි ලෙස සම්බන්ධීකරණය කළ යුතුය. එමෙන්ම ලංකාවේ ජනතාව වෙනුවෙන් විදේශ ආධාර ලබාදෙමින් සිදුකරන මෙම ව්‍යාපෘති නිසි අයුරින් ක්‍රියාත්මක කරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් හා නීතිමය සහයෝගය ලබාදීම පවතින රජයක මෙන්ම එම රජයට වගකියනු ලබන රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි; යුතුකමකි.
(තොරතුරු මූලාශ්‍රය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ නිළලේඛන අංක RTI /2026/16 යටතේ ලබාගන්නා ලදී. )
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි


