ලංවිම කඩා අලුතෙන් බිහිකළ විදුලි සමාගම් හයේ හෙට දවස


ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු ඵලදායිතා ආයතනය සහ ලෝක කම්කරු සංවිධානය, ජ්‍යෙෂ්ඨ උපදේශක, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය එම්. තිලකසිරි
ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය දශක ගණනාවක් පුරා මධ්‍යගත ආයතනික ආකෘතියක් යටතේ ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රධාන ආයතනය වූයේ 1969 අංක 17 දරන පනත යටතේ ස්ථාපිත කළ ලංකා විදුලිබල මණ්ඩලයයි. මෙම ආයතනය විසින් විදුලිබල නිෂ්පාදනය, ජාතික විදුලි ජාලය හරහා ප්‍රවාහනය, ප්‍රාදේශීය මට්ටමින් බෙදා හැරීම සහ සමස්ත විදුලි පද්ධතිය මෙහෙයවීම යන සියලු‍ම කාර්යයන් එකම ආයතනයක් යටතේ පවත්වාගෙන යාම සිදු කරන ලදි.
 
මෙම ආකෘතිය මුල් අවධියේ දී රටේ විදුලිබල පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දුන්න ද කාලයත් සමඟ ආයතනික හා ආර්ථික ගැටලු‍ ගණනාවක් මතුවිය. විශේෂයෙන් විදුලිබල නිෂ්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාද, විශාල ණය බරක් සහිත මූල්‍ය තත්ත්වය, විදුලි ගාස්තු ප්‍රතිපත්තිය සම්බන්ධ ගැටලු‍ සහ විශාල ආයතනයක් ලෙස කළමනාකරණය කිරීමේ සංකීර්ණතා වැනි කරුණු විදුලිබල කර්මාන්තයේ කාර්යක්ෂමතාව අඩු කිරීමට හේතු විය.
 
එමෙන්ම රටේ විදුලි ඉල්ලු‍ම ඉහළ යාම, බලශක්ති ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතා වර්ධනය වීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරුවීම සහ විශාල ආයෝජන අවශ්‍යතා මතුවීම හේතුවෙන් විදුලිබල කර්මාන්තයේ සංවිධාන ව්‍යුහය නවීකරණය කිරීමේ අවශ්‍යතාව ප්‍රතිපත්ති මට්ටමින් වර්ධනය විය.
 
නව විදුලිබල නීතිමය සංශෝධන (2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත) හඳුන්වා දෙමින් විදුලිබල කර්මාන්තයේ ආයතනික ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය පියවර ගෙන ඇත. මෙම ප්‍රතිසංස්කරණය යටතේ විදුලිබල කර්මාන්තයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යන් වෙන් කරමින් සම්පූර්ණයෙන්ම රජයට අයත් නව සමාගම් හයක් ස්ථාපිත කර තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ විදුලිබල කර්මාන්තයේ දශක ගණනාවකට පසු සිදු වූ විශාලතම ආයතනික ප්‍රතිසංස්කරණයයි.
 
ප්‍රතිව්‍යුහගතකරණයේ මූලික සංකල්පය
 
මෙම නව ව්‍යුහයේ මූලික සංකල්පය වන්නේ විදුලිබල කර්මාන්තයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යයන් වෙන වෙනම ආයතන මගින් කළමනාකරණය කිරීමයි. මෙම ක්‍රමවේදය ලෝකයේ බොහෝ රටවල් විසින් භාවිත කරන බලශක්ති කර්මාන්ත ප්‍රතිසංස්කරණ ආකෘතියක් වන අතර එහි ප්‍රධාන අරමුණ වන්නේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, ආයතනික වගවීම ශක්තිමත් කිරීම සහ නව ආයෝජන ආකර්ෂණය කිරීමයි.                                                                    
 
මෙම ආකෘතිය යටතේ විදුලිබල කර්මාන්තය, විදුලිබල උත්පාදනය (නිෂ්පාදනය), විදුලිබල සම්ප්‍රේෂණය, විදුලිබල බෙදාහැරීම සහ ජාතික විදුලි පද්ධතිය මෙහෙයවීම යන ප්‍රධාන ක්ෂේත්‍රවලට වෙන් කරනු ලැබේ. මෙම ක්ෂේත්‍ර වෙන් කිරීම මගින් සෑම ආයතනයක්ම තමන්ගේ කාර්යන් පිළිබඳ වඩාත් විශේෂීකරණය වී ක්‍රියාත්මක වීමට හැකි වේ.                                                              
 
මෙයට අමතරව මෙම නව ව්‍යුහය තුළ පොදු සේවා සහ සහායක සේවා සපයන ආයතනයක් සහ පැරණි වත්කම් හා සේවක විශ්‍රාම වගකීම් කළමනාකරණය කිරීම සඳහා වෙනම ආයතනයක් ද ස්ථාපිත කර ඇත.
 
CEB හි ප්‍රධාන මෙහෙයුම් කොටස් වෙන වෙනම රාජ්‍ය සමාගම් ලෙස ස්ථාපිත කිරීම මෙහි අරමුණ වේ. එහිදී සමාගම් 6ක මූලික ආයතනික ව්‍යුහය මෙසේ සකස් කර ඇත.
 
නව ව්‍යුහය යටතේ විදුලිබල නිෂ්පාදන සමාගම රට තුළ විදුලිබල නිෂ්පාදනය කරන සියලු‍ම බලශක්ති ව්‍යාපෘති කළමනාකරණය කිරීම සඳහා වගකිව යුතුය. ජල විදුලිබල ව්‍යාපෘති, ගල්අඟු‍රු සහ තාප විදුලිබල බලාගාර මෙන්ම සූර්ය හා සුළං බලශක්ති වැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ද මෙම සමාගම යටතේ ක්‍රියාත්මක වේ.
 
ජාතික විදුලි සම්ප්‍රේෂණ සමාගම රටේ උච්ච වෝල්ටීයතා විදුලි ජාලය පවත්වාගෙන යාම සහ විදුලිබල ප්‍රවාහනය කිරීම සඳහා වගකිව යුතුය. ජාතික විදුලි ජාලයේ ස්ථාවරතාවය පවත්වා ගැනීම, නව සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම සහ ජාල පුළුල් කිරීම මෙහි ප්‍රධාන කාර්යයන් වේ.
 
ජාතික විදුලි පද්ධති මෙහෙයුම් සමාගම රටේ සමස්ත විදුලි පද්ධතිය සම්බන්ධීකරණය කිරීම සඳහා වගකිව යුතුය. විදුලි ඉල්ලු‍ම සහ සැපයුම සම්බන්ධීකරණය කිරීම, පද්ධති ස්ථාවරතාව පවත්වාගැනීම සහ ජාතික විදුලි පද්ධතිය සැලසුම් කිරීම මෙහි ප්‍රධාන වගකීම් වේ.
 
විදුලිබල බෙදාහැරීමේ සමාගම පාරිභෝගිකයන් වෙත විදුලිබල සැපයීම සඳහා වගකිව යුතුය. ප්‍රාදේශීය විදුලි ජාල පවත්වාගෙන යාම, පාරිභෝගික සම්බන්ධතා ලබාදීම, විදුලි භාවිතය මැනීම සහ ගාස්තු අයකිරීම මෙහි ප්‍රධාන කාර්යයන් වේ.
 
පොදු සේවා සහ සහායක සේවා සමාගම අනෙකුත් විදුලි සමාගම් සඳහා මානව සම්පත් කළමනාකරණය, තොරතුරු පද්ධති සේවා, මිලදී ගැනීම් කළමනාකරණය සහ ඉංජිනේරු සහාය යනා දී සේවා සපයයි.
 
විදුලිබල වත්කම් සහ විශ්‍රාම වගකීම් කළමනාකරණ සමාගම මගින් පැරණි වත්කම් පාලනය කිරීම, සේවක විශ්‍රාම අරමුදල් කළමනාකරණය කිරීම සහ පැරණි මූල්‍ය වගකීම් පාලනය කිරීම සිදු කරයි.
 
ආයතනික පාලනය සහ නියාමන පද්ධතිය
 
නව සමාගම් හය සාර්ථකව ක්‍රියාත්මක වීමට ශක්තිමත් ආයතනික පාලන පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. විදුලිබල කර්මාන්තය රටේ ආර්ථිකයට මූලික වශයෙන් වැදගත් යටිතල පහසුකම් ක්ෂේත්‍රයක් බැවින් එහි පාලනය වගවීම, විනිවිදභාවය සහ වෘත්තීයමය කළමනාකරණය මත පදනම් විය යුතුය.
සෑම සමාගමකම අධ්‍යක්ෂ මණ්ඩලයක් ස්ථාපිත කර එම මණ්ඩලය විසින් දිගු කාලීන සංවර්ධන උපාය මාර්ග සැලසුම් කිරීම, ආයතනික කාර්ය සාධනය අධීක්ෂණය කිරීම, අවදානම් කළමනාකරණය සහ මූල්‍ය පාලනය යනාදී කාර්ය ඉටු කරයි.
 
විදුලිබල කර්මාන්තයේ නියාමන වගකීම මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඉටු කරනු ලබයි. මෙම ආයතනය විදුලි ගාස්තු නියාමනය, සේවා ගුණාත්මකභාවය අධීක්ෂණය, විදුලි වෙළෙඳපොළ පාලනය සහ ආයෝජන ව්‍යාපෘති අනුමත කිරීම සඳහා වගකිව යුතුය. 
 
විදුලිබල පද්ධතියේ ආදායම් ප්‍රවාහය පහත ආකාරයෙන් ගමන් කරයි:
 
පාරිභෝගිකයන්
විදුලිබල බෙදාහැරීමේ සමාගම
ජාතික සම්ප්‍රේෂණ සමාගම
විදුලිබල උත්පාදන සමාගම
 
මෙම ආදායම් බෙදාහැරීම විදුලි ගාස්තු ව්‍යුහය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL)  නියාමනය මගින් තීරණය කරනු ලැබේ.
 
නව විදුලි සමාගම් හයම විදුලිබල පද්ධතියේ වෙන වෙනම කාර්යන් ඉටු කරන නමුත්, ඔවුන්ගේ ආදායම් සහ වියදම් පද්ධතිය එකිනෙකට සම්බන්ධ වී ඇත. විදුලිබල පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ආදායම් නිසි ලෙස බෙදා හැරීම සහ කාර්යක්ෂම වියදම් කළමනාකරණය මගින් විදුලිබල කර්මාන්තය ආර්ථිකමය වශයෙන් තිරසාර පද්ධතියක් බවට පත් කළ හැක.
 
නව ප්‍රතිසංස්කරණය සාර්ථක වන්නේ ශක්තිමත් සාමූහික ආණ්ඩුකරණ රාමුවක් සහ ස්වාධීන නියාමන පද්ධතියක් පවත්වාගෙන යාම මතය.
 
ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රතිලාභ
 
මෙම ප්‍රතිසංස්කරණය හරහා විදුලිබල කර්මාන්තයේ කාර්යක්ෂමතාව වැඩි වීම, නව ආයෝජන ආකර්ෂණය වීම, තාක්ෂණික නවීකරණය හඳුන්වා දීමට අවස්ථා වැඩිවීම සහ පාරිභෝගික සේවා වැඩිදියුණු වීම අපේක්ෂා කෙරේ. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා මෙම නව ව්‍යුහය වැදගත් පදනමක් සපයයි. 
 
නව සමාගම් ව්‍යුහය සාර්ථක වීම සඳහා පිරිවැයට අනුව නිර්ණය කරන විදුලි ගාස්තු, කාර්යක්ෂම මෙහෙයුම් කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති ආයෝජන, විදුලි පද්ධති අලාභ අවම කිරීම යන කරුණු වැදගත් වේ.
 
ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රධාන අරමුණු හා වාසි
 
1. විදුලිබල කර්මාන්තයේ විවිධ කාර්යයන් එකම ආයතනයක් යටතේ පවත්වාගැනීම හේතුවෙන් ඇති වූ කළමනාකරණ සංකීර්ණතා අඩුවී කාර්යක්ෂමතාව වැඩිවේ.  
 
2. වෙන් වෙන් ආයතන ඇතිවීම හරහා ආයතනික වගවීම පැහැදිලිව සටහන් වන අතර, නියාමන ආයතන සඳහා කාර්ය සාධනය අධීක්ෂණය පහසු වේ.                                                                           
 
3. විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි වසරවල විශාල ආයෝජන අවශ්‍ය හෙයින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන ආකර්ෂණය කිරීම සඳහා විදුලි වෙළෙඳපොළ ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම වැදගත් වේ.
 
4. බෙදාහැරීමේ ආයතන වෙන් වීම හරහා පාරිභෝගික සේවා සහ විදුලි සැපයුමේ ගුණාත්මකභාවය වැඩි දියුණු කළ හැක.
 
5. ශ්‍රී ලංකාවේ බලශක්ති ප්‍රතිපත්තිය අනුව අනාගතයේදී සූර්ය, වායු සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීම අරමුණක් වේ. 
ජාතික විදුලි පද්ධති මෙහෙයුම් සමාගම රටේ සමස්ත විදුලි පද්ධතිය සම්බන්ධීකරණය කිරීම සඳහා වගකිව යුතුය. විදුලි ඉල්ලු‍ම සහ සැපයුම සම්බන්ධීකරණය කිරීම, පද්ධති ස්ථාවරතාව පවත්වාගැනීම සහ ජාතික විදුලි පද්ධතිය සැලසුම් කිරීම මෙහි ප්‍රධාන වගකීම් වේ.
ප්‍රතිලාභ
 
මෙම නව ව්‍යුහය හරහා විදුලිබල කර්මාන්තයේ පහත ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැක.
 
විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය වේ. වෙන් වෙන් ආයතන මඟින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි විය හැක. Smart grid  සහdigital monitoring systems  වැනි තාක්ෂණ හඳුන්වා දීමේ අවස්ථාව ලැබේ. මෙහි වැදගත් අංගයක් වන්නේ සේවක පරිවර්තනයයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගෙන් බහුතරයක් නව සමාගම් වෙත අනුයුක්ත කර ඇති අතර, ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය (VRS)  හරහා ඉවත්වීමට කැමති සේවකයන් සඳහා විශේෂ වැඩසටහනක් හඳුන්වා දී ඇත.
 
මෙම ක්‍රියාවලිය සාර්ථක වීමට සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පුහුණු වැඩසටහන්, නව ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීම වැදගත් වේ. 
 
අවාසි සහ අභියෝග
 
ලංකා විදුලිබල මණ්ඩලය විසුරුවා හැර විශාල ආයතනික පරිවර්තනයක් කිරීමේ දී ප්‍රතිලාභ සමඟම ආර්ථික, සමාජීය සහ ආයතනික අවදානම් ද පවතින බව විශේෂඥයෝ පෙන්වා දෙති.
 
පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ සහ වෘත්තීය සමිති විසින් ද ඉදිරිපත් කරන ප්‍රධාන විවේචනයක් වන්නේ විදුලි ගාස්තු වැඩිවීමේ අවදානමයි.                                       
 
නව සමාගම් ව්‍යුහය අනුව උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන ක්ෂේත්‍ර වෙන වෙනම ආයතන ලෙස ක්‍රියා කරන බැවින්, සෑම ආයතනයක්ම තමන්ගේ පිරිවැය සහ ලාභය ගණනය කරනු ඇත.එම හේතුවෙන් පාරිභෝගික විදුලි ගාස්තු වැඩි විය හැකි බවට විවේචන පවතී.
 
මෙය එකම ආයතනයක් යටතේ පැවති කල විවිධ සේවා එකම පද්ධතියකින් කළමනාකරණය කළ හැකි වුවද සමාගම් හයක් පිහිටුවීමෙන් වියදම් වැඩි විය හැක. විදුලිබලය ස්වභාවයෙන්ම එකම ආයතනයක් මගින් කළමනාකරණය වූ තනි පද්ධතියකි. නව ව්‍යුහය හේතුවෙන් මෙහෙයුම් සම්බන්ධීකරණය සංකීර්ණ විය හැක.
 
තවත් විවේචනයක් වන්නේ මෙම ප්‍රතිව්‍යුහගතකරණය අනාගතයේදී විදුලිබල පද්ධතිය පෞද්ගලිකකරණයට මඟ පාදන බව හා මේ ක්‍රියාවලිය අවසානයේ විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය පාලනය අඩු විය හැකි බවය.
 
CEB  යටතේ සේවය කරන සේවකයන්ට මේ සම්බන්ධයෙන් විශාල ගැටලු පවතී. සේවක මාරැ කිරීම,VRS  වැඩසටහන් හා සේවා කොන්දේසි වෙනස් වීම මේ අතර ප්‍රධාන ය.
 
විදුලිබල කර්මාන්තයේ ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු නියාමන ආයතන මත වැඩි වගකීම් පැවරේ. ඒවා දුර්වල නම්, විදුලි වෙළෙඳපොළ කාර්යක්ෂම ලෙස ක්‍රියා නොකරනු ඇත.
 
CEB  පසුගිය වසරවලදී විශාල මූල්‍ය පාඩු සහ ණය බරකට මුහුණ දී තිබුණි.ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු මේවා විසඳා නොගතහොත් නව සමාගම් මූල්‍ය අභියෝගවලට මුහුණ දිය හැක.                                                                                
 
විදුලිබල කර්මාන්තය රටේ ප්‍රධාන යටිතල පහසුකම් ක්ෂේත්‍රයක් වන බැවින්, එහි ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන සංවේදීතාව ඉතා ඉහළ ය. මෙහිදී සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල වෘත්තීයමය නායකත්වය අත්‍යවශ්‍ය වේ.
 
නව විදුලි සමාගම් ව්‍යුහය සාර්ථකව ක්‍රියාත්මක වීමට නම් සමාගම්වල වෘත්තීයමය නායකත්වය සහ වගවීම ඇති කිරීම අත්‍යවශ්‍ය වේ. විදුලිබල නියාමන කොමිෂන් සභාව (PUCSL)  වැනි ආයතන සක්‍රීයව ක්‍රියාත්මක විය යුතුය. විදුලිබල ගාස්තු ප්‍රතිපත්තිය ආර්ථිකමය වශයෙන් තිරසාර විය යුතුය. Smart grid, digital monitoring systems  වැනි නව තාක්ෂණ හඳුන්වාදීම වැදගත් වේ. 
 
නව සමාගම් ව්‍යුහය නිසි ලෙස ක්‍රියාත්මක කළහොත්, ශ්‍රී ලංකාවේ විදුලිබල කර්මාන්තය කාර්යක්ෂම, ආර්ථිකමය වශයෙන් තිරසාර සහ තාක්ෂණිකව නවීන බලශක්ති පද්ධතියක් බවට පරිවර්තනය වීමේ හැකියාව ඇත.
 
රජයේ වගකීම
 
මෙවැනි ආයතනික ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති, සේවකයන් සහ මහජනතාව අතර ඇති සැලකිලි සහ විවේචන සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තිමය විසඳුම් ලබා දීම අත්‍යවශ්‍ය වේ.විදුලිබල කර්මාන්තය සාමාන්‍ය වාණිජ කර්මාන්තයක් නොව, මහජන ජීවිතයට සෘජුවම සම්බන්ධ වන අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සේවාවකි. එබැවින් නව සමාගම් ව්‍යුහය තුළ පහත ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා දිය යුතුය.                                                                
ප්‍රධාන විදුලි යටිතල පහසුකම් (grid, transmission network)  රජයේ අයිතියෙන් ඉවත් නොකිරීම,strategic assets privatisation  කිරීමෙන් වැළකීම,
 
විදුලි පද්ධතියේ මූලික පාලනය රාජ්‍යය සතු බව නීතිමය වශයෙන් තහවුරු කිරීම, මෙය විරෝධ පක්ෂ විසින් ඉදිරිපත් කරන පෞද්ගලිකකරණ භය අඩු කිරීමට උපකාරී වේ.
 
CEB  සේවකයන් ප්‍රතිසංස්කරණයට විරුද්ධ වීමට ප්‍රධාන හේතුවක් වන්නේ රැකියා අනාරක්ෂිත බවය. එබැවින් සේවකයන්ගේ සේවා කොන්දේසි නීතිමය වශයෙන් ආරක්ෂා කළ යුතුය. විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂික අයිතිවාසිකම් තහවුරු කළ යුතුය. ධාරිතාව ගොඩනැංවීමේ පුහුණුව දිය යුතුය.
 
විදුලිබල කර්මාන්තයේ ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු නියාමන පද්ධතිය ශක්තිමත් වීම ඉතා වැදගත් වේ. නව සමාගම් හයක මෙහෙයුම් සාර්ථක වීමට විනිවිදභාවය සහ වගවීම අත්‍යවශ්‍ය වේ.
 
ප්‍රතිසංස්කරණයට ඇති විරෝධයට හේතුව තොරතුරු අඩුවයි. එබැවින් රජය මනා සන්නිවේදන ක්‍රියාවලියන් හඳුන්වා දිය යුතුය.
 
විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගතකරණය ශ්‍රී ලංකාවේ බලශක්ති ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් අවස්ථාවක් වුවද, පාර්ලිමේන්තු පක්ෂ, සේවකයන් සහ මහජනතාව අතර විශ්වාසය ගොඩනගමින් මෙම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමකි.                                     
 
ජාත්‍යන්තරයෙන් පාඩම්
 
බොහෝ රටවල් විදුලිබල කර්මාන්තයේ මෙවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ඇත. එක්සත් රාජධානිය, ඉන්දියාව, සිංගප්පූරුව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල අත්දැකීම් අනුව ශක්තිමත් නියාමන පද්ධතියක්, ස්ථාවර ප්‍රතිපත්ති පරිසරයක් සහ දිගුකාලීන ආයෝජන සැලසුම් ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට අත්‍යවශ්‍ය බව පැහැදිලි වේ. ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ වන්නේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, ආයෝජන ආකර්ෂණය, විදුලි සැපයුමේ විශ්වාසනීයතාව ශක්තිමත් කිරීම සහ නව බලශක්ති තාක්ෂණ හඳුන්වා දීමයි.
 
නියාමන ආයතනයේ ස්වාධීනතාව අත්‍යවශ්‍ය වේ. විදුලි ගාස්තු සංශෝධන ක්‍රමානුකූලව සිදු කළ යුතුය. විදුලිබල වෙළෙඳපොළ ව්‍යුහය කාර්යක්ෂමව සැලසුම් කළ යුතුය. තරඟකාරී උත්පාදන වෙළෙඳපොළක් සහ විනිවිදභාවයෙන් යුතු මිල පද්ධතියක් මෙයට අත්‍යවශ්‍ය වේ.
 
බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසාරභාවය ශක්තිමත් කළ යුතුය.
 
පුනර්ජනනීය බලශක්ති ආයෝජන ප්‍රවර්ධනය කළ යුතුය. 
 
පුනර්ජනනීය බලශක්ති පද්ධති විදුලි පද්ධතියට ඒකාබද්ධ කිරීම වැදගත් වේ. සූර්ය සහ වායු බලශක්ති ව්‍යාපෘති පුළුල් කිරීම සහ බලශක්ති ගබඩා තාක්ෂණ හඳුන්වා දීම මෙයට ඇතුළත් වේ.
 
දිගුකාලීන ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට ප්‍රතිපත්ති ස්ථාවරතාව ඉතා වැදගත් වේ. පාරිභෝගික ආරක්ෂාව වැදගත් වේ. විදුලි ගාස්තු ජනතාවට හැකි පරිදි පවත්වා ගැනීම සහ අඩු ආදායම් පවුල් සඳහා සහන ක්‍රමවේද හඳුන්වා දීම මෙහි අරමුණ වේ. මෙම ප්‍රතිසංස්කරණ සාර්ථක වීම රටේ නියාමන පද්ධතිය, ආයතනික පාලනය සහ ප්‍රතිපත්ති ස්ථාවරතාව මත බොහෝ දුරට රඳා පවතී.
 
පරිවර්තනය 
 
මෙය ශ්‍රී ලංකාවේ විදුලිබල කර්මාන්තයේ දශක ගණනාවකට පසු සිදු වූ විශාලතම ප්‍රතිපත්තිමය සංශෝධනයකි. නව ආයතනික ව්‍යුහය නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් රටේ විදුලිබල කර්මාන්තය කාර්යක්ෂම, ආර්ථිකමය වශයෙන් තිරසාර සහ තාක්ෂණිකව නවීන බලශක්ති පද්ධතියක් බවට පරිවර්තනය වීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිව්‍යුහගතකරණය යනු එක් ලිපියකින් සම්පූර්ණයෙන් ආවරණය කළ හැකි සරල කරුණක් නොව, රටේ ආර්ථිකය, බලශක්ති ආරක්ෂාව සහ දිගුකාලීන සංවර්ධනය සමඟ ගැඹුරින් සම්බන්ධ වූ විශාල ප්‍රතිපත්තිමය පරිවර්තනයකි.
 
ෂෙහානි දිල්රුක්ෂිකා