රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය ගිලිහෙමින් පවතියි එහෙත් එය තාවකාලිකයි -නාමල් රාජපක්ෂ-


ජමිලා හුසේන් විසිනි

ඩේලි මිරර් පුවත්පත අනුග්‍රහයෙනි

සංචාරක ක්ෂේත්‍රය යළි පණ ගන්වා තවදුරටත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රජය අපේක්ෂා කරන බැවින් ශ්‍රී ලංකාව මෙම වසරේ දී සියලු‍ අර්බුද සමථයකට පත්කොටගෙන පවත්නා ගැටලු‍කාරී තත්ත්වයන්ගෙන් අත්මිදෙනු ඇති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත. රසායනික පොහොර තහනම් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය නිවැරදි ශක්තිමත් තීරණයක් වුව ද, රාජ්‍ය අමාත්‍යවරයා සහ සෙසු වගකිව යුතු නිලධාරීන් විසින් එය නිසියාකාරව ක්‍රියාවට නංවා නොමැති බව ඔහු පැවසුවේ ය. එසේ ම, පවතින අර්බුද හමුවේ රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය පහත වැටී ඇති බව පිළිගත් අමාත්‍යවරයා එය තාවකාලික තත්ත්වයක් පමණක් බව ද පැවසුවේ ය.  

 

 

ප්‍ර මෙම සාකච්ඡාව සිදුවන මොහොත අතිශය තීරණාත්මකයි. ඇත්ත වශයෙන් ම, ඉහළ යන ජීවන වියදම, ආර්ථික අර්බුදයෙන් රට දැවෙන අවස්ථාවක, මහජනතාවට තම ජීවන රටාව පවත්වාගෙන යාමට නොහැකි ව ඇති, ඒ වගේ ම වත්මන් රජය පිළිබඳ මහජන ප්‍රසාදය උග්‍ර ලෙස පහත වැටී ඇති අවස්ථාවකයි අප මේ කතා කරන්නේ. ඉතින් 2022 වසර සඳහා ඇති සැලසුම් මොනවා ද? අප තවදුරටත් මේ ප්‍රශ්නවලින් පීඩා විඳින්න සිදුවෙයි ද, නැත්නම් මේ ගැටලු‍ සමථයකට පත් කරන්න රජය යම් ක්‍රියාමාර්ග වෙත යොමුවීමට අපේක්ෂා කරනවා ද?   


මෙය ඉතාමත් අභියෝගාත්මක කාලයක්, විශේෂයෙන් ම කොවිඩ් 19 වසංගතය සමඟ එය තවත් අභියෝගාත්මකයි. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොවේ සමස්ත ලෝකයට ම බලපාන ගෝලීය අර්බුදයකි. අපගේ ජීවිත කාලය තුළ, අපේ දෙමව්පියන් සහ වැඩිහිටියන් පමණක් නොව සමස්ත ලෝක පාලක පද්ධතිය ඇතුළු අපි සියලු‍ දෙනා මෙවැනි ගෝලීය අර්බුදයකට මුහුණ දෙන ප්‍රථම අවස්ථාව මෙයයි. බොහෝ විට ලෝක යුද්ධවලට පසු අප දැක ඇති දුක්ඛිත ම විනාශය මෙය විය හැකියි. ඒ කෙසේ වුණත්, අපි ඇතැම් දේ සඳහා මුහුණ දෙන සහ ප්‍රවේශ වන ආකාරය පෙරට වඩා වෙනස් වෙලා තියෙනවා. 

 
ඔබ බලන්න, 1983 කෝලාහල, 2004 සුනාමි ව්‍යසනය, එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධය සහ පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි අවස්ථා ගත්තොත් මේ හැම අවස්ථාවක ම දක්නට ලැබෙන්නේ දේශීය අර්බුදයක්. නමුත් සියලු‍ රටවල් මේ වසංගත‍යෙන් මිදෙන්න උත්සාහ දරන්නේ පළමු වරටයි. දේශීය අර්බුදයකට මුහුණ පෑ සෑම අවස්ථාවක ම අපගේ හිත මිතුරන්, විදේශීය හවුල්කරුවන්, විවිධ සංවිධාන ආදී සියලු‍ දෙනා අපට සහයෝගය ලබා දුන්නා. නමුත් සියලු‍ රටවල් සෞඛ්‍යය, සමාජීය සහ ආර්ථික අර්බුදයකට එකවර මුහුණ දෙන ප්‍රථම අවස්ථාව මෙයයි.   


ගෝලීය වශයෙන් ජීවන වියදම ඉහළ යාම මෙන් ම ගෝලීය ආහාර අර්බුදයක් ද මේ වන විට ඇති වෙලා තියෙනවා. රටක් වශයෙන් අපිත් ඒ සඳහා දැන් මුහුණ පාලයි ඉන්නේ. අප විශ්වාස කරන අන්දමට දැන් අපේ දේශීය කර්මාන්ත සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කළ යුතු ය. එසේ ම, ඉතාමත් ඉක්මනින් අවශ්‍ය ව ඇති විදේශ මුදල් ද සත්‍ය වශයෙන් ම මේ මොහොතේ අත්‍යවශ්‍ය වේ.   


ඒ සඳහා වැඩි වශයෙන් අපනයන කටයුතු සිදු කිරීමටත්, හැකිතාක් ආනයන අඩු කිරීමටත්, හැකි තරම් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමටත් අවශ්‍ය වේ. පසුගිය මාස කිහිපය ඇතුළත සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයක් දකින්න පුලු‍වන්. මම ඔබත් සමඟ මේ කතා කරන මොහොතේ දී ත් ශ්‍රී ලංකාව තුළ සංචාරකයන් 30000ක් පමණ සිටිනවා.   


අපගේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ද රට වෙත ප්‍රේෂණ මුදල් හිමි වෙනවා. ඇත්ත වශයෙන් ම, ගෙවීම් කපාහැරීම් වගේ ම රැකියා කප්පාදු කිරීම් ද ගෝලීය වශයෙන් සිදු වී තියෙනවා. මේ තත්ත්වය ලංකාව තුළ දී ද දකින්නට ලැබෙනවා. නමුත් මේ තත්ත්වයට පිළියමක් වශයෙන් අපි පෞද්ගලික අංශය ධෛර්යමත් කළ යුතුයි. ලෝකයේ රැකියා කප්පාදු කිරීම් වෙත යොමු නොවෙන පෞද්ගලික අංශ සහිත රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාවත් මේ වන විට ඉන්නවා. 

 
මෙය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය විය හැකි තත්ත්ව‍යක් වුව ද, ඇඟලු‍ම් සහ නිෂ්පාදක ක්ෂේත්‍ර වැනි මහා පරිමාණ කර්මාන්තශාලා දෙස බැලු‍වහොත්, ඒවා වෙනත් රටවල මෙන් රැකියා කප්පාදු කිරීම් සඳහා යොමු නොවන බව ඔබට පැහැදිලි වේවි. ධනවත් රටවල පවා පෞද්ගලික අංශ තම කාර්ය මණ්ඩල කප්පාදු කරන වාතාවරණයක අපේ පෞද්ගලික අංශය වෙත අපේ ගෞරවය හිමි විය යුතුමය.   
අනෙක් අතට, අපගේ දෛනික ශ්‍රමිකයන්ගේ ආදායම සැලකිය යුතු මට්ටමින් පහත වැටීම මෙන් ම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හටගෙන ඇති අරගල ද මේ වන විට අපිට දකින්නට ලැබෙනවා.   
මේ හේතුවෙන් රජයට සෑම කුටුම්භයකට ම රු. 5000ක දීමනාවක් ලබාදීමට පියවර ගැනීමට සිද්ධ වුණා. මේ සියලු‍ කාරණා සැලකිල්ලට ගෙන මෙම වසරේ දී අපට අනිවාර්යෙන් ම යම් සාධනීය තත්ත්වයක් දකින්නට හැකියාවක් ලැබෙයි කියා මං විශ්වාස කරනවා.   


ප්‍ර නමුත් ශ්‍රී ලංකාව දැන් මැදි වී සිටින මේ සෑම වියවුලකට ම එකම හේතුව කොවිඩ් 19 වසංගතය ද?   


හොඳයි, දැන් අපි මේ මුහුණ පාලා තියෙන ණය ගැටලු‍ව හෝ විදේශ විනිමය ගැටලු‍ව දෙස බැලු‍වොත්, ඒවා මාස දෙකකට හෝ අවුරුදු දෙකකට කලින් හරි ඇති වුණු ගැටලු‍ නෙවෙයි. ඒවා කාලයක් පුරා ඇති වී තිබුණු ගැටලු‍යි.   


ප්‍ර ඔබ කියන්නේ යහපාලන රජය කාලයේත් මේ ගැටලු‍ තිබුණු බව ද?   


මම කියන්න උත්සාහ කළේ ඒ ගැටලු‍ නිදහස ලැබූ දිනයේ පටන් ම තිබුණු බවයි. විවිධ රජයන් විවිධ හේතූ මත ණය ලබාගත්තා. චන්ද්‍රිකා මැතිනියගේ පාලන සමයේ අපි තිරිඟු‍ සහ සහල් මිලට ගන්න ණය ලබාගත්තා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දී වරාය, අධිවේගී මාර්ග ඉදි කිරීම ආදී සංවර්ධන කටයුතු සඳහා ණය ලබාගත්තා. පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේ දී මහ බැංකු බැඳුම්කර ගැටලු‍ව නිසා ණය ආපසු ගෙවීම සඳහා අපි ණය මුදල් ලබාගත්තා. බැඳුම්කර වංචාව හේතුවෙන් විශ්වාසය බිඳ වැටීම වගේ ම ශ්‍රී ලංකාවේ උද්ධමනය දශම දෙකකින් ඉහළ ගියා.   


ඒ කාලයේ පටන් ජීවන වියදම ඉහළ යාම ආරම්භ වුණා වගේ ම විරැකියාවත් ඉහළ ගියා. මේ නිසා විවිධ රජයන්, විවිධ නායකයන් රටට ඒ ඒ අවස්ථාවේ දී ගැළපේ යැයි හැඟු‍ණු තීරණ ගෙන තියෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතා සුබ සිද්ධිය උදෙසා රසායනික පොහොර භාවිතය නැවැත්වීමට තීරණය කර තිබෙනවා.   


ප්‍ර මෙය ජනපති රාජපක්ෂ මහතාගේ දුර්වල ම තීරණයක් නොවෙයි ද? වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ දුන් අඛණ්ඩ රට වසා දැමීම් වලින් ශ්‍රී ලංකාව ඉවත්වෙමින් සිටින අවස්ථාවක සමස්ත ජනගහණයට ම බලපාන මෙම නීතිය ජනාධිපතිවරයා විසින් පනවනවා. මෙම ගැටලු‍වට මුහුණ දෙන විදේශ සමාගම්වල පවා අදහස වූයේ මෙවැනි තීරණයක් එක් ‍රැයකින් ක්‍රියාවට නැංවිය නොහැකි බවයි. මේ නිසා ඔබ හිතන්නේ නැද්ද මෙය වැරදි තීරණයක් බව?   


එය රඳා පවතින්නේ ඔබ ආමන්ත්‍රණය කරනු ලබන පුද්ගලයා මතයි. රසායනික පොහොර භාවිතයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියක් තිබෙන බව වගේ ම එය වසර 10කට සැලසුම් කළ යුතු ව තිබූ බව සත්‍යයක්. නමුත් අප දන්නා ආකාරයට, ජනාධිපතිතුමාගේ අදහසට අනුව මේ සඳහා රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කොට වසර එක හමාරක් පමණ බලාගෙන සිටියා. නමුත් විෂයභාර අමාත්‍යවරයා සහ අදාළ නිලධාරීන් ක්‍රියාත්මක නොවූ බැවින් අවසානයේ ජනපතිතුමාට දැඩි තීරණයක් ගැනීමට සිදු වුණා. තම ජාතියේ යහපත උදෙසා නායකයන්ට මෙවැනි තීරණ ගැනීමට සිදු වෙනවා.   


ප්‍ර නමුත් එවැනි තීරණයක් ගත්තේ නිවැරදි කාලයක දී ද?   


රටක පාලකයෙකුට තම ජනතාවගේ යහපත උදෙසා තීරණ ගැනීමට අයිතියක් තිබෙනවා වගේ ම මෙය එතුමා එක් රැයකින් ගත් තීරණයක් නොවේ. එතුමා ජනපති බවට පත් වූ වහා ම මේ සඳහා සූදානම් වන ලෙස සියලු‍ නිලධාරීන් දැනුවත් කළ ද, අවංකව ම මෙම නිළධාරීන් එයට සූදානම් වූයේ නැහැ. අද වුණත් ඔබ මේ නිලධාරීන්ගෙන් කාබනික පොහොර සංයුතිය කුමක් ද කියා විමසුවොත් ඔවුන් බොහෝ විට ඒ පිළිබඳ නොදැනුවත් වෙන්න පුලු‍වන්.   


මගේ පෞද්ගලික අදහස නම්, මෙය ඇතැම් රටවල සාර්ථක ව සිදු කළාක් මෙන් වසර 10කින් සිදු කිරීමට තිබුණා. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා එම තීරණය ගෙන තියෙනවා. නමුත් අපි වගකිව යුතු රජයක් වශයෙන්, එක් පියවරක් ආපස්සට ගෙන රසායනික පොහොර ආනයනයට පෞද්ගලික අංශයට ඉඩ ලබා දී තියෙනවා.


ප්‍ර මෙය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයෙකු ලෙස අසමත් බව පෙන්වන සලකුණක් නොවෙයි ද? 

 
නැහැ, කිසිසේත් ම නැහැ. මහජනතාවගේ වුවමනා වෙනුවෙන් පියවරක් පසුපසට ගැනීමට සිදුවීම පිළිබඳ ව නායකයන් පසුතැවිලි නොවිය යුතු ය. ඒ කෙසේ වුවත්, ඔහුව තෝරා පත්කරගනු ලැබුවේ ද මහජනතාව විසින් ම ය. 

 
ප්‍ර ඒ කියන්නේ ඔබ පිළිගන්නවා ද මහජනතාවට රසායනික පොහොර තහනම අවශ්‍ය නොවන බව? 

 
මිනිසුන්ට හැම මොහොතක ම අවශ්‍ය වන්නේ පහසු ක්‍රමයක්. කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ ඔබ නොදන්නා විට සහ අදාළ නිලධාරීන් පොහොර නිෂ්පාදනය කරන ආකාරය හෝ භාවිත කරන ආකාරය පිළිබඳ ව දැනුවත් කරන්නේ නැතිනම් හෝ අවශ්‍ය සැපයුම නොලැබේ නම්, එවිට මිනිසුන්ට නැවතත් ඔවුන් භාවිත කිරීමට හුරු වූ දේ භාවිත කිරීමට අවශ්‍ය වෙනවා. ඕනෑම රටක සාමාන්‍ය‍යෙන් සිදු වන්නේ මෙයයි. නමුත් ඔබ තේරුම්ගත යුත්තේ තීරණයක් ගත් පසුවත් මහජනතාවට එය වහාම ක්‍රියාවට නැංවීම අවශ්‍ය නොවනවා නම් පියවරක් පසුපසට ගන්නේ වගකිව යුතු නායකයෙකු සහ රජයක් පමණක් බවයි. නායකත්වය යනු එයයි. තම ජනතාව වෙනුවෙන් නිවැරදි තෝරාගැනීම සිදු කළ නිසා කිසිවකුටත් ජනාධිපතිවරයා වෙත අභියෝග කිරීමට හැකියාවක් නැහැ.   


ප්‍ර 2019 වසරේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත්තා. ඒ වගේ ම 2020 වසරේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ම ඔබත් ඔබේ ඡන්ද කොට්ඨාසවල මෙතෙක් ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යව හිමි කරගනිමින් ඡන්ද වාර්තා බිඳ දැමුවා. ඔබ රාජපක්ෂ නාමය තරමක් ප්‍රසිද්ධියටත් පත් කළා. නමුත් අද 2022 වසරේ දී, ඔබ සිතනවා ද පවුල් දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස අප අද මුහුණ පා සිටින අර්බුද හේතුවෙන් මේ නාමය ඔබේ ජනප්‍රියත්වය පහත දමා ඇති බව?   


ඔබ බලන්න, ඕනෑම දේශපාලඥයෙකුගේ ජනප්‍රියත්වය සෑම විට ම හිණිපෙත්තේ රැඳී පවතින්නේ නැහැ. නායකයන්ගේ ජනප්‍රියත්වය හැමවිට ම උච්චාවචනය වෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතා ඉතා ප්‍රබල ව වෙනස් වෙනවා. මේ නිසා දේශපාලඥයන්ටත් සිදු වෙනවා නිරන්තරයෙන් තම ඡන්දදායකයන් සමඟ අන්තර් සබඳතා පවත්වා ගනිමින් ජනතාවගේ ඉල්ලු‍ම සපුරාලන අයුරින් තම ප්‍රතිපත්ති යාවත්කාලීන කරන්නේ කෙසේද යන්න වගේ ම ජනතාවට ගැළපෙන දේ පිළිබඳ ව සොයා බැලීමට. රාජපක්ෂවරුන් හැම විට ම ගොවි හිතවාදී, ග්‍රාමීය පවුලකි. අපේ පරම්පරාවත් ගොවිතැන මුල් කරගෙන බිහි වූවකි. එම නිසා අපි එකවරම රසායනික පොහොර වෙනුවට රසායනික නොවන පොහොර භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල තීරණයක් ගන්නා විට, ඔව්, අපේ ජනප්‍රියත්වයට එය බලපානවා. මං ඔබ එක්ක එකඟයි එම කරුණ පිළිබඳව. 

 

ප්‍ර මම පොහොර ගැටලු‍ව ගැන පමණක් එයින් අදහස් කළේ නෑ අමාත්‍යතුමනි, මම කතා කරන්නේ ඩොලර් හිඟය, ආර්ථික අර්බුදය, ඉහළ යන ජීවන වියදම වැනි රටේ අනෙකුත් ගැටලු‍ සම්බන්ධව යි. මහජනතාව රජයට දෝෂාරෝපණය කරන්නේ මේ අසමත්වීම් නිසායි.   


එතැනදීත් ඔබ දන්නවා අප බලයට පත්වීමත් සමඟ අපට ගෝලීය වසංගතයකට මුහුණ පෑමට සිද්ධ වුණා. වසර 10 - 12 ක කාලයක් අඛණ්ඩව ම කිසිදු දේශපාලඥයෙක් හෝ දේශපාලන පවුලක් ඉහළ ජනප්‍රියත්වයක් අත් කරගෙන නැහැ. රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය පහත වැටෙමින් තිබුණත් එය තාවකාලික පහත වැටීමක් බවයි මගේ විශ්වාසය නම්. සෑම විට ම තෘප්තිමත් මෙන් ම අතෘප්තිමත් මිනිසුන් රාශියක් දකින්න ලැබෙනවා. නමුත් අවසානයේ, මිනිසුන්ට වඩාත් ම ගැළපෙන තීරණය ගත යුතුයි. පරම්පරාගත දේශපාලනය තවදුරටත් වලංගු වන්නේ නැහැ. අද වන විට දේශපාලනයත් නවීකරණය වෙමින් පවතිනවා. එසේ ම, ඔබ සිදු කළ යුත්තේ, නිවැරදි දෙයයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, විශේෂයෙන් ම හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට එල්ටීටීඊය තැත් කිරීමෙන් අනතුරුව යුද්ධය අවසන් කිරීමට තීරණය කළ විට අපි ඒ තීරණය වෙනුවෙන් සිටගත්තා. අප පසු කළේ ඉතාමත් අසීරු කාලයකි. අපට ණය ලබාගැනීමට සිදු වූ අවස්ථා ද තිබෙනවා. නමුත් අපි අද ඒ ලේ වැගිරීම් අවසන් කිරීමේ ඵල නෙළාගනිමින් ඉන්නවා. ඒ නිසා දේශපාලඥයන් ජනප්‍රියත්වය පිළිබඳ පසුතැවිලි නොවිය යුතු වුණත් ඔවුන් ජනතාවට සලකන ආකාරය පිළිබඳ ආපසු සිතා බැලිය යුතු ය.   


ප්‍ර අමාත්‍යතුමනි ඔබතුමා ඥාතිවාදය පිළිබඳ විශ්වාස කරනවා ද? ඔබ එන්නේ ජනපති, අගමැති සහ අමාත්‍යවරු සියලු‍ දෙනා රාජපක්ෂවරුන් වන පවුලකින්. මීළඟ ජනපති වීමට ඔබ සැලසුම් කරනවා ද?   


තම නායකයා වීමට සුදුසු තැනැත්තා පිළිබඳ ජනතාව තීරණය කරයි. එය කළ යුත්තේ මම හෝ වෙනත් අයෙකු නෙවෙයි. ඒ වගේ ම සජිත් ප්‍රේමදාස මහතාත් පැවැත එන්නේ දේශපාලන පවුලකිනි. ඔහුගේ පියා රටේ නායකයා සේ ම, දකුණේ තරුණ නැඟී සිටීමට වගකිව යුතු වෙනවා. මේ වගේ ම පාර්ලිමේන්තුවේ ද දිසානායක මහතා වගේ ම, පසුගිය අමාත්‍ය මණ්ඩලයේ ස්වාමියා සහ භාර්යාවක ද සිටියා. නමුත් අවාසනාව නම් රාජපක්ෂවරුන් පමණක් සෑම විට ම ඉස්මතු වී පෙනීමයි.   


ප්‍ර එලෙස ඉස්මතු වී පෙනීමට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක් ද?   


අපි සැම විට ම මහජනයා සමඟ ගත කිරීමයි.   


ප්‍ර ඒ ඔබ නිර්මාණය කර ඇති මතභේද නිසා නෙවෙයිද?   


ඔබ මිනිසුන් සමඟ සිටින විට ස්වභාවයෙන් ම ඔබ තර්ජනයකි. එවිට ඔබ ඉබේ ම දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවට පත්වෙනවා. ඔබ හැංගිලා නම් හෝ නිතර නොදකින්නේ නම් එවිට ඔබ පිළිබඳ කිසිවෙකුත් වද වෙන්නේ නැත. තවමත් අපට දේශපාලන පවුල් ඇත. මේ ක්‍රමය මෙරට පමණක් නෙවෙයි එක්සත් රාජධානිය, එක්සත් ජනපදය හෝ කලාපයේ රටක් වුව ද, සෑම තැන ම පවතිනවා. යම් සංවිධානයක්, සමාගමක් හෝ පක්ෂයක් මිනිසුන්ට සේවය කිරීමට ඉදිරියට පැමිණීමත් සමඟ ඔබ ඉබේ ම කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු බවට පත්වෙනවා.   


ප්‍ර ඔබත් තරුණයෙක්. අපේ දේශපාලන පිටිය තුළ අලු‍ත් මුහුණු දැකීමට ඔබ කැමති නැද්ද? අපි හැමදාමත් දකින්නේ එකම මුහුණු ටික පමණයිනේ. 

 
අනිවාර්යෙන්ම, මට දේශපාලනයේ දී පමණක් නොවෙයි අලු‍ත් මුහුණු දකින්නට අවශ්‍ය. පරිපාලන ක්ෂේත්‍රයේ ද මේ වෙනස සිදුවිය යුතුයි. නමුත් අවාසනාවකට අපි කතා කරන්නේ දේශපාලනය ගැන පමණයි. අපි කිසිදා පරිපාලකයන් පිළිබඳ කතා කරන්නේ නැහැ. පහසු ම ඉලක්කය දේශපාලඥයෙකු නිසායි මේ රට වසර ගණනාවක් පුරා වැරදි මාර්ගයේ ගමන් කර ඇත්තේ. නමුත් ඇයි අපි ඇත්ත වශයෙන් ම රට ගෙනයන පරිපාලනය පිළිබඳ කතා නොකරන්නේ?   


නිදහස ලැබූ දා පටන් අපේ ප්‍රකාශන සියල්ල එක හා සමාන බව ඔබට පෙනේවි. විවිධ රජයන්, විවිධ නායකයන් සතු ව තම ප්‍රමුඛතා තිබී තියෙනවා. ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රමුඛතාව වූයේ යුද්ධය අවසන් කිරීමටත් දෙවනුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් ය. පසුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතා වී ඇත්තේ ඩිජිටල්කරණය සහ හරිත ආර්ථිකයකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාව වූයේ යහපාලනයයි. මේ අනුව සියලු‍ නායකයන් සතු ව ඔවුන්ට ආවේණික වූ ප්‍රමුඛතා තියෙනවා. ඒවා ඉදිරියට ක්‍රියාත්මක කළ යුත්තේ රාජ්‍ය සේවය විසිනි. ජවසම්පන්න රාජ්‍ය සේවාවක් අපිට තිබුණත්, මේ ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යාමට හැකි නව පරම්පරාවක් රාජ්‍ය සේවයට එක්වීමයි දැන් සිදුවිය යුත්තේ.   


ප්‍ර අමාත්‍යතුමනි, ඔබේ විෂය වන ඩිජිටල්කරණය දෙස අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාව තම මූලික අවශ්‍යතාවල පවා හිඟයකින් පෙළෙන අවස්ථාවක ඔබතුමා ඩිජිටල්කරණය පිළිබඳ කතා කරනවා. PayPal වැනි මූලික අංගයක් පවා දේශීය වෙළෙඳපොළ තුළ හිඟතාවක් දක්වනවා. ඇයි ඔබ මේ ගැටලු‍ පිළිබඳ පළමුව සොයා නොබලන්නේ?   


paypal යනු පෞද්ගලික සමාගමකි. ඒ නිසා මං හිතන්නේ නෑ කුමන හෝ රජයකට හැකියාවක් ඇතැයි කියා ඔවුන් ප්‍රවේශ විය යුතු ස්ථාන පිළිබඳ නියමයන් ඉදිරිපත් කරන්න. නමුත් මෙය තමයි මා කතා කරන ක්‍රමය වෙනස් කිරීම. තාක්ෂණය භාවිතයෙන් මිනිසුන්ට තම කටයුතු ඔවුන් විසින් ම සිදු කරගැනීමට හැකිවන පරිදි ක්‍රමය වෙනස් නොකළහොත්, රටක් වශයෙන් අපට ඉස්සරහට යන්න හැකියාවක් නොමැති වේවි.   


ප්‍ර ඔබ දැන් ඉන්නේ වර්තමාන ආණ්ඩුවේ. ඉතින් ඔබට පුළුවන් වෙයි මේ ක්‍රමය වෙනස් කිරීමට?   


අපි දැනටමත් වෙනස් කරමින් ඉන්නේ. ඒ වගේ ම අමතක කරන්න එපා මේ ක්‍රමය වෙනස් කිරීමට නම් අපිට සිද්ධ වෙනවා වසර 40 - 50ක් පුරා පැවති ඇතැම් නීති වෙනස් කිරීමට අවශ්‍ය බව. මේ වන තෙක් පැවති ඇතැම් පුරුදු සහ පරිචයන් වෙනස් කිරීමට ද සිදු වෙනවා. 

 
ප්‍ර තමන්ගේ ම ව්‍යපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයෙකුට දැනට ඔවුන්ගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට ලිපි 10ක් පමණ ලබාගත යුතුයි. නමුත් ඇත්ත වශයෙන් ම, මේ වන විට සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය වී ඇති අතර, එය ඉතාමත් සාර්ථකව සිදුකෙරීගෙන යනවා. නමුත් ඔබේ දරුවෙකු පාසලට ඇතුළත් කිරීමට පමණක් ලියකියවිලි කීයක් අවශ්‍ය වෙනවා ද?   


මේ ලියවිලි අවශ්‍ය වූයේ වසර 20-30කට පමණ ඉහත දී යි. දැන් පුරුද්දක් විදියට ඔබ තවමත් එකම ලියවිල්ල ඉල්ලනවා. ඔබ පිළිබඳ පොලිස් වාර්තාවක් ගැනීමටත් ඔබට අවම වශයෙන් මිනිත්තු 30ක් හෝ බලා සිටීමට සිදුවෙනවා. බදු ගෙවීමට වුවත් ඔබට මේ අයුරින් කාලය ගත කිරීමට සිදු වෙනවා. ලෝකයේ කිසිම තැනක මෙවැනි දෙයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඇත්ත වශයෙන් ම, ඔබ බදු මුදල් ගෙවීමට පැමිණෙන විට රජය ඉතා සාදරයෙන් ඔබව පිළිගත යුතුයි. මේවා තමයි අපි වෙනස් කළ යුතු වන්නේ. අපි දැනටමත් මෙම වෙනස්කම් සිදු කිරීමට කැපවී සිටිනවා.   


උදාහරණයක් වශයෙන්, දැන් උපත්, මරණ පමණක් නොව විවාහ සහතිකය පවා මාර්ගගත ව ලබාගැනීමට හැකියාව තියෙනවා. දඩ ගෙවීම සඳහා දඩය නියම කළ ස්ථානයට යෑම අවශ්‍ය නොවන පරිදි ස්ථානීය දඩ ගෙවීම් ක්‍රමයක් ඉක්මනින් හඳුන්වා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ඩොලර් බිලියන ගණනක් වටිනා තාක්ෂණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සියලු‍ දේ දැනටමත් ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ තිබෙනවා. ඔබට අවශ්‍ය වන්නේ සරල QR පද්ධතියක් පමණයි. යහපාලනය පැමිණෙන්නේ විනිවිදභාවයත් සමඟයි.   


ප්‍ර මෙමඟින් රතු පටි නීතිය අවම වේවි ද?   


මෙය රතු පටි නීතිය ප්‍රබල ව අවම කර ජන ජීවිතය වඩා පහසු කරනු ඇත. ඇත්ත වශයෙන් ම, අපි මාර්ගගත ව සකස් කළ හැකි ලේඛන පිළිබඳව අධ්‍ය‍යනයක් ද සිදු කරමින් සිටිනවා. උදාහරණයක් වශයෙන්, වර්තමානයේ පොලිස් වාර්තා ලබාගත හැක්කේ පොලිස් මූලස්ථානයෙන් පමණයි. අපට අවශ්‍ය මෙය වෙනස් කර සියලු‍ පොලිස් ස්ථාන වෙත මෙම පහසුකම ලබාදීමටයි. ඒ වගේ ම, ග්‍රාම නිලධාරි සහතිකය ලබාගැනීම ද මාර්ගගත ක්‍රමයට සකස් වෙනු ඇත. මේ ආකාරයෙන් ජන ජීවිතය වඩා පහසු කරවීමට හැකි බොහෝමයක් සැලසුම් සකස් වෙමින් පවතිනවා.   


ප්‍ර මෙය ක්‍රියාත්මක කිරීමට කෙතරම් කලක් ගත වෙයි ද?   


මේ වසර තුළ මෙය සම්පූර්ණ කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි පළාත් පාලන අමාත්‍යංශය සමඟත් ඉතා සමීප ව කටයුතු කරනවා. ඒ වගේ ම, අපි සම්පූර්ණ අධිකරණ පද්ධතිය, අධ්‍යාපන පද්ධතිය සහ විශ්වවිද්‍යල පද්ධතිය ඩිජිටල්කරණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.   


ග්‍රාමීය ප්‍රදේශවල දී ඊ-ග්‍රාමසේවක (E-Gramasevaka) ද බොහෝම ප්‍රයෝජනවත් වෙනු ඇත. අවම වශයෙන් එළඹෙන වසර පහ තුළ දී කඩදාසිවලින් තොර වීමට ද අපි අපේක්ෂා කරනවා. 

 
ප්‍ර මගේ අවසන් ප්‍රශ්නය අමාත්‍යතුමනි, ඔබව වර්තමානයේ හඳුන්වන්නේ ‘සෑම දෙයක් පිළිබඳවම අමාත්‍යවරයා’ කියලයි. අනවශ්‍ය තරමට රාජකාරී භාරගෙන ඇති බව දැනෙන්නේ නැද්ද ඔබතුමාට?   


මේකට පිළිතුර තමයි ඩිජිටල්කරණය. මගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගත වෙන්නේ තරුණ සහ ක්‍රීඩා කටයුතු සඳහායි. නමුත් මේ වසරේ දී මම ඩිජිටල්කරණය සඳහා වැඩි කාල වේලාවක් ආයෝජනය කිරීමට සූදානම් ව සිටිනවා. ඒ වගේ ම, නියාමන අමාත්‍යංශය නාමමාත්‍ර අමාත්‍යංශයක් නෙවෙයි. එය මට පැවරී ඇති සෙසු අමාත්‍යංශ සමඟ එක්ව කටයුතු සිදු කිරීම සඳහා වන අමාත්‍යංශයකි. ඒ සඳහා, මම ඩිජිටල් වේදිකා යොදාගන්නවා. එනිසා මට පැවරෙන ඕනෑම කාර්යයක් මම ඉතා හොඳින් සිදු කරනවා.  

 

 

සිංහලට සකස් කළේ
ඉෂානි උපේක්ෂා ධර්මපාල