රනිල්ගේ ආණ්ඩුවට අපි නෑ


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

තිලංග සුමතිපාල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරවුල් පසුගිය දින කිහිපය මුළුල්ලේම එළිපිටට පැමිනුණි. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරන විට නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු තවත් පිරිසක් ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය ධුර දැරීමත් සමග ඔඩු දුවා තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන්  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය.


?ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් දැන් තියෙනවද?


දේශපාලනය පැත්තෙන් ගත්තොත් මිනිස්සු කතාවට කියන්නෙ ශ්‍රී ලංකා යූඇන්පී කියලනෙ. ඊට පස්සෙ බිහිවුණු පක්ෂවලට ඒ විදිහෙ පිළිගැනීමක් නෑ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තියෙනවා. අපේ පක්ෂයට කොච්චර දුරට වත්මන් දේශපාලනයට බලපෑමක් කරන්න පුළුවන් ද, කොච්චර දුරට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙනවද, ජනතා ප්‍රසාදය කොච්චර තියෙනවද කියන දේවල් තමයි අහපු ප්‍රශ්නයේ ගැබ් වෙලා තියෙන්නෙ. ශ්‍රීලනිපය කියන්නෙ රට පුරා විහිදෙච්ච මතවාදාත්මක පක්ෂයක්.


?නමුත් පක්ෂයේ නායක හිටපු ජනපති මෛත්‍රී ඇතුළු කණ්ඩායමක් ඉන්නෙ විපක්ෂයේ. තව කණ්ඩායමක් ආණ්ඩුවේ තනතුරු දරමින් ඉන්නවා. පාක්ෂිකයන් අහන්න ඔනැ කවුරු කියන ඒවද?


ඇත්තටම මේක කරුමයක්. මොකද, අපේ පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ ඉඳිද්දිම තීන්දුවක් ගත්තා අපි විපක්ෂයට යනවා කියලා. ඒ තීරණයෙ තමයි පක්ෂෙ අදටත් ඉන්නෙ. නමුත් පක්ෂයේ තීරණයට එපිටින් ගිහින්, අපේ කණ්ඩායමක් මේ ආණ්ඩුවට එකතු වීම නිසා පක්ෂයේ ස්ථාවරය, ගෞරවය, කීර්තිනාමය සහ ජනතා විශ්වාසයට හානි වෙලා තියෙනවා.


?ඒත් ඒ කණ්ඩායම සම්බන්ධයෙන් පක්ෂය නිසි ක්‍රියාමාර්ග ගන්න බවක් පහුගිය කාලේ අපි දැක්කෙ නෑ. ඒ ඇයි?


විනය පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වුණා. ඒ අවස්ථාවේ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා උසාවියට ගිහින් පක්ෂයට විරුද්ධව වාරණ නියෝගයක් ගත්තා. ඒ වාරණයට හේතුව තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් උසාවියේ පෙනී හිටපු නීතිඥවරු එතුමාගේම අදහසකට විරුද්ධව උසාවියට කරුණු ඉදිරිපත් කරපු නිසා. ඒ නීතිඥ මහත්වරු කරපු ඒ වරද නිසා පක්ෂයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ අධිකරණ තීන්දුවත් සමග අපට නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාව පක්ෂයේ තනතුරුත් සමගම භාර ගන්න සිදු වුණා. එහෙම වුණත් පක්ෂයේ ස්ථාවරය වෙනස් කරලා නෑ. එනම් ආණ්ඩුවට විරුද්ධවීම සහ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විය යුතුය යන ස්ථාවරවල කිසිම වෙනසක් වෙලා නෑ.


?තමන්ගේ පක්ෂයේම පිරිසක් ආණ්ඩුවේ ඇමති ධූර දැරීම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රශ්නයක් නැද්ද?


මේක එතුමාව ඉලක්ක කරගෙන අපිට කතා කරන්න අමාරුයි. හේතුව තමයි, එතුමා කිසිම අවස්ථාවක මේ ආණ්ඩුවට සහයෝගය ලබා දීලා නෑ.


?එතුමට නඩු වැටිලා තියෙනවා. වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආණ්ඩුවත් එක්ක ඩීල් එකකට යෑමේ අරමුණින් මේ අයව ආණ්ඩුව පැත්තෙ තියන් ඉන්නවද කියලා?


එහෙම මතවාදයක් තියෙනවා. එහෙම හිතන එක ඒ මිනිස්සුන්ගෙ පැත්තෙන් වෙනස් කරන්න බෑ. නමුත් පාර්ලිමේන්තුවේ කිසිම ඡන්දයකදි, අයවැයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආණ්ඩුවට සහයෝගය දක්වමින් කිසි අවස්ථාවක ඡන්දය ප්‍රකාශ කරලා නෑ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට තෝරා ගනිද්දි පාර්ලිමේන්තුවේදි එතුමට පක්ෂව ඡන්දය දුන්නෙත් නෑ. ඒ අවස්ථාවේ පක්ෂය තීන්දුවක් ගත්තා ඩලස් අලහප්පෙරුම මැතිතුමාට ඡන්දය දෙනවා කියලා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක දේශපාලන ඩීල් එකක් තියෙනවා කියලා කියන්න අමාරුයි. මොකද, එතුමා රනිල් වික්‍රමසිංහගේ වාසියට හෝ සුබසිද්ධියට තීන්දු තීරණ අරන් නැති නිසා.


?පක්ෂයේ විධායක කමිටුව තීරණයක් ගත්තා නේද ආණ්ඩුවේ ඇමැති ධුර ගත්ත අයව පක්ෂෙන් ඉවත් කළ යුතුයි කියලා?


එහෙම තීරණයක් අරගෙන ඒ බව දන්වමින් ඒ අයට ලියුම් යවලා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළාට පස්සෙ තමයි නිමල් සිරිපාල මැතිතුමා උසාවි ගියේ. ඒ උසාවි තීන්දුවෙන් පස්සෙ තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ. එතකොට ආණ්ඩුවේ ඇමතිකම් ගත් අනිත් අයව ගත්තෙ ඇයි කියලා අහනවා. ඒක පක්ෂය ඇතුළෙ විශාල ප්‍රශ්නයක්. මොකද අනිත් අට දෙනා උසාවි ගිහින් වාරණ අරගෙන නෑනෙ. ඒ නිසා මේ ඇති වෙච්ච තත්ත්වය පක්ෂෙට වැඩකුත් නෑ, පාක්ෂිකයන්ට වැඩකුත් නෑ. මේ අය තවදුරටත් ආණ්ඩුවේ ඇමති ධුර දරමින් ශ්‍රීලනිපයට පැමිණීම සියලු දෙනාට හානිකරයි. විශේෂයෙන්ම ඒක පක්ෂයේ කීර්තිනාමයට විශාල හානියක්.


?අද මේ පක්ෂයට ජනතා ප්‍රසාදයක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. ආරම්භයේ පටන්ම රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්. ඒත් අද ආසන 14ට වැටිලා. මොකද හිතෙන්නෙ?


මේ සියලු දේට හේතු වෙන මූලික සිද්ධාන්තය තේරුම් ගන්න ඕනැ. ශ්‍රීලනිපය බිහිවෙන්නෙම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වශයෙන් කටයුත් කරද්දි ඒක මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවක් නිසා එජාපයත් එක්ක ජාතික ආණ්ඩුවක් හදන්න එකතු වුණා. ඒ වේලාවේ අපේ පාක්ෂිකයෝ ඒකත් ප්‍රතික්ෂේප කරපු නිසා ඒ සියලු දෙනා අපිව දාලා ගිහින් පොහොට්ටුවත් (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ)  එක්ක එකතු වුණා. ශ්‍රී ලංකාකාරයන්ට යන්න ගෙදරක් නැති වුණ නිසා තමයි පොහොට්ටුවක් බිහි වුණේ. ඒකෙ දෙවැනි ඉනිම තමයි දැන් වෙන්නෙ. අපි ආයෙත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වුණොත් ශ්‍රීලනිපය සුන්නත්දූලි වෙනවා. අපිට යූඇන්පී එකත් එක්ක කිසිම දීගයක යන්න බෑ. 


?නමුත් ශ්‍රීලනිපයෙ හිටපු බාගෙට බාගයක්ම අද ජනාධිපති රනිල් එක්ක වැඩ කරනවා


එතන ඇති වෙච්ච විකෘතිය තමයි අපි හැමෝටම ඇති වෙලා තියෙන ප්‍රශ්නය. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොහොට්ටුවේ කෙනෙක්ව අගමැති කළා නම් මේ තත්ත්වය උදා වෙන්නෙ නෑ. නමුත් පොහොට්ටුවෙන් ආපු නැති කෙනෙක්ව (රනිල් වික්‍රමසිංහ) අගමැති කරලා එතුමා රටින් පලා ගියට පස්සෙ නැවතත් පොහොට්ටුව පොහොට්ටුවේ නොවෙන කෙනෙක්ව ජනාධිපති කරන්න ඡන්දය දුන්නා. ඒ ගත්ත වැරදි දේශපාලන තීන්දුව නිසා විකෘතියක් ඇති වුණා. ඒ විකෘතියෙ ප්‍රතිඵලයක් හැටියට පොහොට්ටු පක්ෂය කොටස් පහකට විතර කැඩිලා තියෙනවා.


?ඔබයි දයාසිරි ජයසේකරයි වෙනම එකතු වෙලා පක්ෂය මෙහෙයවන බවටත් චෝදනාවක් තියෙනවා. ඒක ඇත්තද?


අපි තමයි ඉස්සරහින්ම වැඩ කරන්නෙ. මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්. එතුමා පක්ෂයේ මහ ලේකම්. ආණ්ඩුවට ගිය අයට පක්ෂය වෙනුවෙන් වැඩ කරන්න බෑනෙ. ඒ අයට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුව වෙනුවෙන්. අපි තමයි විපක්ෂයේ භූමිකාව කරන් පක්ෂය රැකගෙන යන්නෙ.


?ඔබ කිව්වා ශ්‍රීලනිපයට එජාප නායකත්වයක් යටතේ වැඩ කරන්න බෑ කියලා. රනිල්ගෙ පාලනයට විරුද්ධව වැඩ කරන්න නිදහස ජනතා සභාව හැදුණා. ඒත් ශ්‍රීලනිපය ගියපයින්ම ඒ සන්ධානයෙන් අයින් වුණා. ඒ ඇයි?


ශ්‍රීලනිපය අයින් වුණේ නෑ. අදටත් අයින් වෙලා නෑ. ශ්‍රීලනිපයේ සභාපතිවරයාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ගෙවන්න කියලා. ඒ වෙලාවේ කතෝලික ප්‍රජාවත් එක්ක වැඩ කරන නිදහස ජනතා සන්ධානයේ දේශපාලනඥයන් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලීමක් කළා මේ වේලාවේ ජනතාව ඉදිරියට එන එක හොඳ නැති බවට. එතුමා මේ සන්ධානයට සම්බන්ධවීම පිළිබඳව කතෝලික ප්‍රජාව අතර අසතුටක් ඇති වුණා. ඒ නිසා ඒ අය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලීමක් කළා මේ වෙලාවෙ ටිකක් පස්සට වෙලා ඉන්න කියලා. ඒ ගැන ශ්‍රීලනිපයවත් සන්ධානයවත් තීරණයක් ගත්තෙ නෑ. කීපදෙනෙක් තමයි ඒ ගැන එතුමත් එක්ක සාකච්ඡා කළේ. 


?ආණ්ඩුවට ගිය පිරිස ආපහු පක්ෂයට ආවොත් මහින්ද අමරවීරට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුර දෙන්න යන බවට කතා යනවා. එහෙම වුණොත් ඔබ මොකද කරන්නෙ?


ඒක පක්ෂය ගන්න තීන්දුවක්නෙ. අමරවීර මහත්තයට ආණ්ඩුවේ ඉඳන් සන්ධානයේ ලේකම් කම කරන්න පුළුවන් නම් මේක ආණ්ඩුවේ සන්ධානයක් වෙනවනෙ. අපේ සන්ධානය ආණ්ඩුවේ සන්ධානයක් නෙවෙයිනෙ. අපි විපක්ෂයේ සන්ධානයක්. යූඇන්පී ආණ්ඩුවේ ඉන්න කිසි කෙනෙක්ට සන්ධානයේ මහ ලේකම්කම කරන්න බෑ.


?මේ බෙදීම් එක්ක ශ්‍රීලනිපයට ඉස්සරහට යන්න පුළුවන්ද?


 එක ප්‍රතිපත්තියක ඉඳන් වැඩ කරනවා නම් පක්ෂයක් බෙදෙන්නෙ නෑ. පක්ෂයෙ ප්‍රතිපත්තිය බෙදුණම කණ්ඩායම් බෙදෙනවා.


?ඒ කියන්නෙ පක්ෂයෙ සභාපතිවරයාට බැරි වෙලා තියෙනවා තනි ප්‍රතිපත්තියක ඉඳන් පක්ෂය මෙහෙයවන්න?


පක්ෂය බෙදෙනවා නම් එතුමා වගකියන්න ඕනැ. පක්ෂය එකට තියා ගන්න එක එතුමගෙ වගකීම. ඒ අය කෙටි කාලයක් ආණ්ඩුවේ හිටියා කියන එක පක්ෂයට ආපහු එන්න ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.


?ආකර්ෂණීය නායකයෙක් නැතුව මේ පක්ෂයට ඉස්සරහට යන්න පුළුවන්ද? ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් තියෙනවද?


ශ්‍රීලනිපයෙ අභිලාෂය වෙන්නෙ පක්ෂයේ ප්‍රතිපත්ති සමග වැඩ කිරීම. ප්‍රතිපත්තිත් එක්ක වැඩ කරනවා නම් පාක්ෂිකයො අපිත් එක්ක ඉන්නවා. පාක්ෂිකයො අපෙන් ඉවත් වෙන්නෙ අපේ මූලධර්ම හා ක්‍රියාත්මකභාවය අතර එකඟත්වයක් නැතිනම්. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආණ්ඩුවට එකතු නොවී සිටීම අපේ මූලික ප්‍රතිපත්තියක්. එජාපයට විරුද්ධව හදපු ශ්‍රීලනිපයට එජාපයේ නායකත්වය යටතේ වැඩ කරන්න බෑ. එහෙම වුණොත් වෙන්නෙ පක්ෂය විනාශ වෙන එක.


?ලබන වසරේ ජනාධිපතිවරණයක් නැත්නම් මහා මැතිවරණයක් එනවා. ඒවට ශ්‍රීලනිපය තනිවමද තරග කරන්නෙ?


අපිට ශක්තිමත් ඉදිරි දේශපාලන ගමනක් තියෙනවා. සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරලා ශ්‍රීලනිපය ඉදිරිපත් කරන අපේක්ෂකයා ජනාධිපති අපේක්ෂකයා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. ඒ සඳහා තියෙන ප්‍රධාන බාධාව තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආණ්ඩුවේ ඉන්න එක.

 

 

■ උපුල් වික්‍රමසිංහ