රනිල් කියන්නේ පට්ට කපටියෙක්


ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී

විමල් වීරවංශ 

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ‘නවය, සැඟවුණු කතාව’ නමින් කෘතියක් එළිදැක්වීය. ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිරික්සමින් රචනා කර ඇති මෙම කෘතිය මේ වන විටත් දැඩි ආන්දෝලනයකට ලක්වී තිබේ. මේ එම කෘතියෙන් අනාවරණය කරන කරුණු සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි.


?කොහොමද පොතට ලැබෙන ප්‍රතිචාර ?


ගල් වගේම මල් ලැබෙනවා. වැඩිපුර නම් ලැබෙන්නේ මල්.


?ඔබේ මුළු දේශපාලන ශරීරය පුරාම තියෙන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, බටහිර වටලෑම්, මේ පොතේ තියෙන්නෙත් ඒකමයි. එයින් මිදුණ ගමනක් ඔබට නෑ.


මම අහන්නේ ලෝකයේ එහෙම දේවල් වෙලා නැද්ද? යුක්රේනයේ මයිදාන් උද්‍යානය මුල් කරගෙන 2013 – 2014 කාලය තුළ වුණේ මොකක්ද? පසුකාලීනව වික්ටෝරියා නූලන්ඩ් ප්‍රසිද්ධියේ පිළිගන්නවා. 1991 ඉඳලා ඔය කියන මයිද‌ාන් අරගලය දක්වා කාලය තුළ ඩොලර් බිලියන 5 ක් යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීම සඳහා යෙදෙව්වා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීම කියන්නේ මොකක්ද? යුක්රේනය, රුසියානු විරෝධි ආස්ථානයකට අරගෙන එනවා කියන එක. යුක්රේනය නේටෝවේ සාමජිකයෙක් වීම දක්වා ගේනවා කියන එක.


?නමුත් ලංකාවේ එහෙම තත්ත්වයක් නෑ.


ඇමෙරිකානු ඒ මැදිහත්වීම නිසා නොවේද රුසියානු - යුක්රේන් යුද්ධයක් ඇති වුණේ. මේ පීඩාවට  කවුද වග කියන්නේ? ඒක දකින එක කුමන්ත්‍රණ පිළිබඳ හීනයක් දකින එකක්ද? අපි තේරුම් ගන්න ඕනැ ලිබියාවට මොකද වුණේ කියන එක. ඉරාකයට මොකද වුණේ කියන එක. ලංකාවේ තියෙන්නේ ඉන්දියානු සාගරයේ පිහිටීම අතින් හරි මැද. ඒක මම නොවෙයි කියන්නේ. 15 වැනි සියවසේ පෘතුගීසි රජාත් කියනවා. 2015 දී ලංකාවට ආපු ජෝන් කෙලිත් ඇමෙරිකාවේ ඒ වෙලාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයා, ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී කරපු කතාවෙදිත් කියනවා ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දීය සාගරයේ හරි මැද කියා. ඒක හරිම වටිනවා කියලා.


?ඔබ කියන්නේ ඒ නිසා මේ වටලෑම වෙනවා කියන එක ද?


ඔබ දන්නවා අද ලෝකයේ බල කේන්ද්‍ර ගණනාවක් බිහිවෙලා තියෙනවා. ඒක තුළ අපට නොපෙනන ආකාරයේ ගැටුමක් තීව්‍ර වෙමින් තියෙනවා. ‘බ්‍රිෂ්’ කියලා රටවල් එකතු වෙලා තියෙනවා. චීනය, රුසියාව, ඉන්දියාව දකුණු අප්‍රිකාව ඒගොල්ලෝ ඩොලරය අතහැරලා වෙනම මුදල් ඒකකයක් නිර්මාණය කරන්න යනවා. අද ඉන්දියාවයි, රුසියාවයි ඩොලරය මග ඇරලා ඒගොල්ලන්ගේ මුදල් ඒකකයෙන් ගනුදෙනු කරනවා. චීනයයි, ඉන්දියාවයි එහෙමම කරනවා. එතකොට ඩොලරයේ අගය පහත වැටෙනවා. ඩොලරය වැටෙනකොට තමයි ඇමෙරිකාවේ මූල්‍ය ආධිපත්‍ය බිඳ වැටෙන්නේ. අද ඇමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් කියනවා ‘අලුතෙන් ණය ගන්න සීමාව වැඩි නොකළොත් භාණ්ඩාගාරය බිඳ වැටෙනවා’ කියලා. ඒවා නොදන්න ‘ලපයි සිපයි’ අපට කියයි ‘මේ කුමන්ත්‍රණ මේනියාවක්’ කියලා. නමුත් මේවා දන්න අය දන්නවා මේවායේ ගැඹුර. මේ  බලවේග අතර ගැටුම තීව්‍රවෙන තරමට ලංකාව කෙරෙහි තියෙන උනන්දුව වැඩි වෙනවා. ඒ නිසා ගෝල්ෆේස් අරගලය සමානයි මයිද‌ාන් අරගලය. මයිද‌ාන් අරගලයෙන් පස්සේ එහි වැඩබලන ජනාධිපති හැටියට ආවේ  ඒ රටේ කතානායකවරයා. එයා ආපු ගමන් කළේ මාසයක් ඇතුළත යුක්රේනය යුරෝපා හවුලේ සාමාජිකයකු කරීමයි. වික්ටෝරියා නූලන්ඩ්ට ඕනෑ පළමු වැඩේ එයා කළා. ඊට පස්සේ තමයි ඒ අන්තර්වාර පාලනයෙන් මහ මැතිවරණයක් තිබ්බේ. ඒකෙන් තමයි ඔය දැන් ඉන්න විකට නළුවා යුක්රේනයේ ජනාධිපති වුණේ. ඒ නිසා ලංකාවේ ඔය බලපෙරැළි පීඩනය නිසා ඒකරාශි වෙච්ච මිනිස්සු සවිඥනිකව කරපු දෙයක්ද? එහෙම නැත්නම් තැටිය රත්වෙලා තියෙන වෙලාවේ වෙන කට්ටියක් රොටිය පුච්ච ගත්ත නිසාද?


?කොහොම වුණත් තැටිය රත්වෙලා තිබුණේ?


ඔව් ඒක හරි. මිනිස්සු ස්වාභාවිකවම ආණ්ඩු විරෝධී ක්‍රියාකාරිත්වයට  ආවා. ඒකත් හරි ස්වාභාවිකවත් ආවා. අස්වාභාවිකවත් ආවා. තැටිය රත්වෙලා තිබුණේ. ගෝඨාභයට අවබෝධයක් තිබුණේ නෑ තැටිය රත්වෙන්න නොදී බේරාගන්නේ කියලා. විකටෝරියා නූලන්ඩ් ගේ මෙහෙ නියෝජිතවරිය ජුලියා චෑන්ග් එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ පාලනය කළා. තවත් පැත්තකින් අරගලයත් පාලනය කළා. ඔවුන්ගේ අරමුණුවලට යන්න  බැරි වුණත් අද ඒ වෙනුවෙන් ‘ප්ලෑන් බී’ ක්‍රියාත්මක කරනවා.


?ඔබ කියන විදියට ගෝල්ෆේස් අරගලය මුළුමනින්නම ඇමෙරිකානු උවමනාව මත සිද්ධ වෙච්ච දෙයක්’


ඒකට කෙළින්ම ඔව් කියලා කියන්න පුළුවන්. නමුත් ඔව් කියලා විතරක් කිව්වොත් තව කට්ටියකට මේක තේරුම් ගන්න බැරිවෙයි. ගෝල්ෆේස් අරගලය එන්නේ සාධාරණ පීඩනයක් සමාජය තුළ මතුවෙච්ච වෙලාවක තැටිය රත්වෙච්ච වෙලාවක. ඉන්ධන නෑ, ගෑස් නෑ, විදුලිය කප්පාදුවක් තිබුණා. මේ පීඩනය තුළ ගෝල්ෆේස් එකට මුලින්ම ආවේ මධ්‍යම පාන්තික ජනතාව. ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගත්ත දරුවන්. මේක මුලින් පටන් ගන්නේ මිරිහානෙන්නේ. එතැනටත් මුලින්ම ආවේ මධ්‍යම පාංතික මිනිස්සු. ඒ අවට හිටපු මිනිස්සු. ඊට පස්සේ සමහර නාලිකා හා සමාජ මාධ්‍ය හරහා දීපු ප්‍රචාරයත් එක්ක ආපු පිරිසත් සමග තමයි මේක ප්‍රචණ්ඩ වෙන්නේ. 


මැයි 9 ටත් කලින් ගෙවල්වලට පහරදීම් සිද්ධ වුණා. ඔය අතර පොහොට්ටුවේ ගොන්නු ටික අරලියගහ මන්දිරයට කට්ටිය ගෙන්නුවා. ඒ අතරේ ගෝල්ෆේස් එකට පහර දුන්නා. මිරිහානේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පිරිස්වලට උසාවියෙන් ඇප ලැබිලා. එළියට එනකොට  නීතිඥ සංගමයෙ සමහරුන් ගිහින් අත්පොළසන් දීලා පිළිගත්තා. රඹුක්කන ඉන්ධන බවුසරයක් ගිනි තියන්න ගියා කියලා පොලිසිය වෙඩි තියල එක්කෙනෙක් මැරුණා. ඒකට සම්බන්ධ යැයි කියපු පොලිස් නිලධාරීන්ට ඇප ලැබුණෙත් නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න ගිහින් ‘අපි මොකටද පරිප්පු කන්නේ’ කියලා පොලිසියට හිතුණා. 


ඒ අතරේ ආමි එකේ ප්‍රධානියා බුද්ධි අංශ ප්‍රධානියා පොලිසියේ ප්‍රධානියා වෙන වෙනම ජූලියා චෑන්ග් හමුවුණා. ඒගොල්ලන්ට මානසික බැරියර් දැම්මා. ගෝල්ෆේස් එකට  සමාජ මාධ්‍යකරුවන්, බ්ලොග්කරුවන් ආවා. ඒගොල්ලේ බුදිය ගත්තේ තරු පන්තියේ හෝටල්වල, දවල්ට සටනේ ඉන්නවා. 


රෑට හෝටල්වල ඉන්නවා. එතකොට මේ අභ්‍යන්තර තිර පිටපත කාගෙද? ඒක තමයි මම මේ  පොතෙන් එළිකරන්නේ. මම ඔය කූඩාරම් අස්සේ වෙච්ච දේවල් ලියලා නෑ. මම මේ පොත ලියලා තියෙන්නේ මේ නාටකයේ තිර පිටපත ගැනයි. කවුරු හරි චැලෙන්ජ් කරනවා නම් මේ කරුණුවලට චැලේන්ජ් කරන්න.


?ඔබ කියන්නේ තිර පිටපත ඇමෙරිකාවේ කියලනේ. ගෝඨාභය කියන්නෙත් ද්විත්ව පුරවැසියෙකුව හිටපු කෙනෙක්. බැසිල් කොහොමත් ද්විත්ව පුරවැසියෙක්. ඉතින් ඇයි ඇමෙරිකාව ඔවුන්ට එරෙහිව යන්නේ?


ගෝඨාභය ඔය ඔබ කියන ‘කැටගරියට’ වැටෙන්නේ නෑ. බැසිල් රාජපක්ෂ නම් ඔය කැටගරියට වැටෙනවා. අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් වෙච්ච වෙලාවේ ඉන්දියාව යෝජනා කළේ ඒ පුටුවට බැසිල්ව ගේන්න කියලයි. ගෝඨාභයට ප්‍රශ්නය තියෙන්නේ ඔහු ආරක්ෂක ලේකම් හැටියට ඉන්න කාලේ සමන්තා පවර් ආවා. සමන්තා පවර් සමග කරපු සාකච්ඡාවේදී සමන්තා පවර්ගේ මතයට එදිරිව ගෝඨාභය කතා කළා. ඒකත් එක්ක ගෝඨාභය ගැන ඔවුන්ගේ මැනීම වෙන එකක්.  


මට තවත් මන්ත්‍රීවරයෙක් කිව්වා ඔහු පක්ෂයක ලේකම්වරයෙක්. ඔහු සමන්තා පවර් හමුවෙච්ච වෙලාවක ඇය කියලා තියෙනවා ‘ගෝඨාභය තමන්ට කතා කළේ ඉතාම අවමන් විදියට. කියලා. ගෝඨාභය ද්විත්ව පුරවැසිකම ඉවත්කර ගත්තා. ඒ නිසා ඔවුන්ට ගෝඨාභය ගැන තිබුණේ ප්‍රසාදයක් නොවෙයි. නමුත් ජුලියා චෑන්ග් හොඳට ගෝඨාභයව ඇන්දුවා. ඒ විස්තර මගේ පොතේ තියෙනවා. ගෝඨාභය හිතුවේ ‘මෙයා හොඳ තානාපතිනියක්’ කියලයි. ගෝඨාභයටත් ලොකු ඕනෑකමක් තිබුණා විශ්‍රාම දිවිය දරු මුණුබුරන් සමග ඇමෙරිකාවේ ගත කරන්න. ඒ නිසා ඔහු වඩා වැඩියෙන් ඇමෙරිකානු තානාපතිනියගේ මතවලට අනුගත වුණා. 


කොහොමද කාටද සල්ලි ආවේ කියලා මම පොතේ ලියලා තියෙනවා. මේවා ගැන හරි කියැවීමක් නොකළොත් ඒක ලොකු වැරදීමක් වෙනවා. මීටත් වඩා භයානක තැනකට අපි වැටෙන්න පුළුවන්. අපි ලබාගත් අත්දැකීම්වලින් රටේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉහළ නංවන්නත් ඕනෑ. අන්තර්ජාතික ප්‍රජාවගේ දේශපාලන සාක්ෂරතාව ඉහළ නංවන්නත් ඕනෑ. දැන් මට ඉරානයේ ආරාධනාවක් ලැබිලා තියෙනවා. මේ දවස්වල එහෙ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් තියෙනවා. ඒ අය ඉල්ලලා තියෙනවා සූම් තාක්ෂණය ඔස්සේ ඇවිත් මේ පොත ගැන විස්තරයක් කරන්න කියලා. එහෙම ආරාධනාවක් එන්නෙම ඉරානයත් දන්නවා ඇමෙරිකානු තානාපතිනිය මේ පොත ප්‍රබන්ධයක් කියලා කිවවට එහෙම නෑ කියලා.


?ඇමෙරිකානු තානාපතිනිය බොහොම පැහැදිලිව කිව්වා ‘මේ පොත ප්‍රබන්ධයක්’ කියලා.


එහෙම නම් ගණන් නොගෙන ඉන්නනේ තිබුණේ. පැය 24 ක් යන්න මත්තෙන් පොත පරිවර්තනය කරගෙන කියවලා ප්‍රතිචාර දක්වන්නේ ඇයි? ඇමෙරිකානු තානාපතිනිය

?කතානායකවරයා හමුවෙලා බලපෑම් කළේ නැද්ද? ‘ව්‍යවස්ථාව වැඩක් නෑ. ඔයා වැඩබලන ජනාධිපතිවෙන්න’ කියලා තානාපතිනිය කතානායකවරයට කිව්වේ නැද්ද?


කතානායකවරයා නම් තාම ඒ ගැන මුකුත් කියලා නෑ.


ඔව් තාම නෑ. දැන් මොනවා හරි කියයි ද දන්නේ නෑ. මෙතැන ගියෙ මේ රට ලිබියාවක් කරන්න. කතානායකවරයා වැඩබලන ජනාධිපති කළානම් එහෙම එකක් ව්‍යවස්ථාවට අනුව බෑ. ඒ නිසා ඒගොල්ලෝ බලනවා ශවේන්ද්‍ර සිල්වා, සරත් ෆොන්සේකා, සුමන්තිරන් ඇතුළු තව තවත් අයයි විදේශිකයන්ද ඇතුළත් අන්තර්වාර පාලනයක් හදන්න. ඒ අන්තර්වාර පාලනයෙන් අරාජිකත්වය තුරන් වෙන්නේ නෑ. රට එතකොට පිස්සන් කොටුවක් වෙනවා. එතකොට රාජ්‍ය බිඳ වැටෙනවා. රාජ්‍ය බිඳ වැටුණාම ඇමෙරිකානු යුද උපාය මාර්ගයට අනුව ඕනෑම ගේමක් ගහන්න පුළුවන්. ඒකට තමයි යන්න ගියේ. ඒක බැරිවුණා. දැන් යන්නේ ‘ප්ලෑන් බී’ එක. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගෙන ඔවුන්ගේ උපාය මාර්ගික අවශ්‍යතාවයට තමයි මේ යන්නේ.


?ඔබ කියනවා ගෝල්ෆේස් අරගලයේ පළමු කූඩාරම ගහන්නෙත් රනිල් වික්‍රමසිංහගේ ගෝලයෙක් කියලා. එහෙම කරන්නෙත් ඇමෙරිකාවේ  අවශ්‍යතාවයට?


මෙහෙමනේ නොදැනුවත්ව ඒ උගුලට අහුවෙච්ච අයත් ඉන්නවා. තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්චගන්න ආපු අයත් ඉන්නවා. පැතුම් කර්නල් දැන් ඉන්නේ රනිල් ගාව. දමිතා ඉන්නේ සජිත් ගාව. අරගලයේ දුටුගැමුණුලා, විහාර මහා දේවියලා දැන් ඉන්න තැන්වලින් පේනවනේ.  ඒ අය කවුද කියලා. පෙරටුගාමින් එතැන හිටියා. අනුර කුමාර ප්‍රසිද්ධියේ කිව්වනේ ‘අපේ තරුණ සංගමය. කාන්තා සංගමය එතැන හිටියා කියලා. එක එක්කෙනාට එක එක අරමුණ තියෙනවා.


?නමුත් ලාල්කාන්ත කියනවනේ ගෝල්​ෆේස් අරගලය මෙහෙව්වේ ඇමෙරිකාව කියලා?


ඉතින් ඒකනේ, ඉතින් ඒකනේ ජවිපෙ ලේකම් ටින්ටින් කියනවා මේ පොත ප්‍රබන්ධයක් කියලා. ටින්ටින් හා ඇමෙරිකානු තානාපතිනියයි කියන්නේ එකම කතාවක්. ලාල් කාන්ත කියනවා ‘මේක පිටිපස්සේ ඉන්නේ ඇමෙරිකානු තානාපතිනියයි කියලා. ඇමෙරිකානු තානාපතිනිය මෙහෙයවපු අරගලයකටනේ මේ ගොල්ලෝ අහුවෙලා තියෙන්නේ. එහෙම නම් ලාල් කාන්තටත් පිස්සු වෙන්න එපැයි. එතකොට පැහැදිලි වෙනවා මේ ගැන මොකක්ද වුණේ කියලා.


?අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමේ ලිපිය ගෝඨාභයට යැව්ව. ඒ ඇමෙරිකාවේ හා ඉන්දියාවේ අවශ්‍යතාවයට. ඒත් ගෝඨාභය ඒක අත්සන් කළේ නෑ කියලා පොතේ තියෙනවා. ඔබම කියන විදියට රනිල් වික්‍රමසිංහ කටයුතු කළේ ඇමෙරිකානු උවමනාවට. එහෙම නම් ඇයි ඔහු ඉවත් කරන්න ඇමෙරිකාව ඉල්ලන්නේ.


ඒ ඉල්ලීම කළේ කතානායකවරයා මූලික කරගත් අන්තර්වාර පාලනය පිහිටුවන්න. ඒක කළා නම් අරාජිකත්වය තිව්‍ර වෙනවා. එහෙම වුණා නම් ඇමෙරිකානු හමුදාව ත්‍රිකුණාමලයෙන් මේ රටට ගොඩ බහිනවා. ඒකට පොට පාද ගන්න තමයි රනිල් ඉවත් කරන්න කිව්වේ. රනිල් අයින් වෙන්න බලපෑම් කරන්න තමයි ඔහුගේ ගේ ගිනි තිබ්බේ.


?ඇයි ගෝඨාභය ඒ ලියුමට අත්සන් නොකළේ ?


මම හිතන්නේ රාජපක්ෂ පවුලෙන් කිව්වා මේක නම් කරන්න එපා කියලා. ඒක නිසා ඔහු ඒක කළේ නෑ. නමුත් එහෙමයි කියලා ඇමෙරිකාව පසු බැස්සේ නෑ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හරහා ‘ප්ලෑන් බී’ එක ක්‍රියාත්මක කරවා ගන්නවා.


?ඔබ හැමදාමත් කිව්වේ රනිල් වික්‍රමසිංහ කියන්නේ ඇමෙරිකානු රූකඩයක් කියලා. ඔබ දැන් කියනවා රනිල්ව අයින් කරන්න කියලා ඇමෙරිකාව බලපෑම් කළා කියලා. මේක පරස්පරයිනේ.


ඇමෙරිකාවයි, ඉන්දියාවයි බලාපොරොත්තු වුණා. රනිල් වික්‍රමසිංහ 2015 දී අගමැති වුණාම ඔහු හරහා පෝට් සිටිය වහන්න. ඔහු ටික කාලයක් වහලා ඊට පස්සේ තිබුණටත් වඩා අක්කර ප්‍රමාණයක් වැඩි කරලා අලුතෙන් පටන් ගත්තා. ඒ වගේම හම්බන්තොට වරාය චීනයටම දුන්නා. මෙයා බලයට එන්න ඇමෙරිකාවයි, චීනයයි එක්ක ඇතිකරගෙන තිබුණ එකඟතාවන්ට ඒ තීරණ පටහැනියි. ඒ නිසා රනිල් ගැන ඔවුන්ට තිබුණ විශ්වාසය බිඳ වැටුණා. ඒ වගේම රනිල් කියන්නේ ජාතික ලැයිස්තුවෙන් ආපු තනි මන්ත්‍රී. ඒකත් එක හේතුවක් වෙන්නැති.


?ඔබ කියන කාරණාවලින් පේන්නේ ගෝල්ෆේස් අරගලය ඇමෙරිකානු ඉන්දියා ඔත්තු සේවාවල ඒකාබද්ධ මෙහෙයුමක්?


ඒකට මම දැන් උත්තර දෙන්නේ නෑ.


?ඇයි ඒ?


ඔක්කොම එකපාරටම කියලා ඉවර කරන්න ඕන නෑ.


?සරත් ෆොන්සේකා මෙන්ම ශවේන්ද්‍ර සිල්වාත් මේ මෙහෙයුමේ කොටස්කරුවන් කියලා ඔබ කියනවා. නමුත් ඔවුන් දෙදෙනාටම ඇමෙරිකාව තහනම්?


ශවේන්ද්‍රට තියෙනවා යුද අපරාධ චෝදනා. ඒ නිසා ශවේන්ද්‍ර හිතනවා ඇමෙරිකාව ෂේප් එකේ තියා ගත්තොත් අනාගතයට හොඳයි කියලා. හැබැයි සරත් ෆොන්සේකාට යුද අපරාධ චෝදනා නෑනේ. තියෙනවා නම් වැඩිපුරම චෝදනා තියෙන්න ඕනෑ එයාටනේ. නමුත් එයා පූර්ණ දැනුවත් භාවයකින් අරගලයේ හිටියේ. එයාට ෆීල්ඩ් මාර්ෂල් පට්ටම තියෙනවා. ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ සක්‍රීය සේවයේ ඉන්න කෙනෙක්. හමුදාපති ඔහුට සර් කිව යුතුයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානින් සර් කිව යුතුයි. මගේ පොතේ තියෙන තොරතුරුවලට කවුරුවත් චැලේන්ජ් කරන්නේ නෑ.


?ඔබ ඉෂ්ඨ කරන්නේ චීනයේ කොන්ත්‍රාත් එකක්. ඔබේ පොත එළිදක්වන උත්සවයේත් ප්‍රධාන ආරාධිතයන් අතර චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් හිටියා.


මම මේ රටේ ජනතාවගේ කොන්ත්‍රාත් ඉෂ්ඨ කරන්නේ. මේ රටේ අභිලාෂයන් විතරයි මගේ අභිලාෂය. චීනයට විතරක් නොවෙයි අපි ආරාධනා කළේ. තානාපති කාර්යාල 12 කට විතර අපි ආරාධනා කළා. අවාසනාවකට ආවේ චීන තානාපති කාර්යාලයෙන් විතරයි. රුසියානු, කියුබානු, ඉරාන තානාපති කාර්යාලවලට ආරාධනා කළා. සමහර අය කලින්ම දැනුම් දුන්නා. නොවැළැක්විය හැකි හේතු නිසා එන්න වෙන්නේ නෑ කියලා. ආවේ චීන තානාපති කාර්යාලයෙන් පමණයි.


?ඔබ කියන විදියට රට ලිබියාවක් වෙන්නයි තිබුණේ. ඒක වැළැක්වුවා අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ. එතකොට ඒ සහතිකය ඔබ දෙන්නේ රනිල් වික්‍රමසිංහට?


රනිල් හරහා තමයි ප්ලෑන් බී එක ක්‍රියාත්මක කරගන්නේ. ඒක රනිල්ගේ  පරම්පරාගත උරුමයක්.


?කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙක් කියලා ඔබ හිතන්නේ නැද්ද?


නෑ... නෑ... රනිල් වැඩ්ඩෙකුට වඩා ඔහු කට්ට කාගෙන අවස්ථාව එනකම් බලාගෙන ඉන්න කෙනෙක්. පට්ට කට්ටයෙක්.  ඒකෙන් කියැවෙන්නේ නෑ ඔහු වැඩ්ඩෙක් කියලා.

 

 

■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්