රට සුද්දට ආපහු දුන්නා නම් හොඳයි කියන අයත් ඉන්නවා


සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින් බණ්ඩාර ජයමහ

රටේ දේශපාලනය දිනෙන් දින ගිනියම්ය. මේ ඒ ගිනියම් දේශපාලනය ගැන සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- රටේ අලුත් දේශපාලන තත්ත්වයක් තියෙන්නේ. ඔබ කොහොමද මේ තත්ත්වය විග්‍රහ කර ගන්නේ?   
පිළිතුර:- මං හිතන්නේ 1948 න් පස්සේ හා එයට පෙර මේ රටේ මේ වගේ අසාර්ථක අසමත් රජයක් හෝ රජෙක් ඉඳලා නෑ. ඇත්තටම අද මිනිසුන්ට විශාල කලකිරීමක් තියෙනවා. මේ වගේ තත්ත්වයකට රට ඇදලා ද‌ාන්න ද‌ායක වුණා කියලා. ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තියල ඔහු බලයට පත් කරන්න දායක වුණු අයට තමයි විශාලම වේදනාව තියෙන්නේ. අපි ඡන්දෙ නුදුන්නත් අපිත් විශ්වාස කළා ඔහු යම් දෙයක් කරයි කියලා. නමුත් අද වෙනකොට ඔහු ඉතාම අසාර්ථක කිසිම විධිමත් වැඩපිළිවෙළක් නැති රට නන්නත්තාර වෙන්න ඉඩ ඇරපු නායකයෙක් කියන එක ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා මිනිසුන් අද බරපතළ විදියට ඉච්ඡා භංගත්වයට පත්වෙලා ඉන්නවා. රටකට පාලනයක් අවශ්‍ය නෑ කියනවා වගේ මතයකට ජනතාව ඇවිත් ඉන්නවා. රට සුද්දට ආපහු දුන්නා නම් හොඳයි කියලා කියන අයත් ඉන්නවා. සමස්ත දේශපාලනඥයන්ව ප්‍රතික්ෂේප කරන තත්ත්වයට රටේ ජනතාව පත්වෙලා. මේක හොඳ දෙයක් නොවෙයි. අපේ රටේ ඕනෑතරම් හොඳ දේශපාලනඥයන් ඉඳලා තියෙනවා. හොඳ ආණ්ඩු තිබිලා තියෙනවා. නමුත් මේ ඇතිවුණ තත්ත්වයත් එක්ක මිනිස්සු විශාල බලාපොරොත්තු සහිතව ගෝඨාභය ආණ්ඩුව ගෙනාව මිනිස්සු, මේ අසාර්ථක බව නිසා සියලු දෙනාම ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේක රටකට හොඳ දෙයක් නොවෙයි.   


ප්‍රශ්නය:- ගෝලීය වසංගතයත් සමග තනි රටකට පමණක් විමුක්තිය උද‌ා කරගන්න බෑ. ඔබ මොකද ඒ ගැන කියන්නේ?   


පිළිතුර:- මේක ගෝලීය වසංගතය නිසාම ඇතිවුණ තත්ත්වයක් නොවෙයි. ගෝලීය වසංගතය ජයගත්ත රටවල් තියෙනවා. හරි විදියට කළමනාකරණය කරගත්ත රටවල් තියෙනවා. මේක මේ ගෝලීය වසංගතයෙන් එහා ගිහිල්ලා මොවුන් ගත්තු වැරැදි තීන්දු තීරණ නිසා ඇතිවෙච්ච තත්ත්වයක්. ගෝලීය වසංගතයට කිසිම විදියකට සමපාත වෙන්නේ නෑ පොහොර ප්‍රශ්නය. ගොවියාගේ ප්‍රශ්නය. ලෝකයේ වසංගතයක් තිබියදී ආහාර නිෂ්පාදනය ගැන ආහාර සුරක්ෂිත තාවය ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු මොහොතක ගෝඨාභය රාජපක්ෂ ඊට හාත්පසින්ම වෙනස් තීන්දුවක් ගන්නවා අපේ රටේ වගාබිම් සීයට සීයක්ම කාබනික පොහොරට යා යුතුයි කියලා. මේ තීරණය ගන්නේ එක දවසෙන්. ගොවි පවුල් ලක්ෂ 18 ක් ඉන්නවා. මේ ගොවියෝ කරන වගාවෙන් තමයි මේ රටේ ජනතාව ආනයනය කරන ආහාර හැර අන් සියල්ලම පරිභෝජනයට ගන්නේ. 2010 වෙනකොට අපි වී වලින් ස්වයංපෝෂිත වෙලා තියෙනවා. අපේ එළවළු ටික අපිම හද‌ා ගන්නවා. ඒ ආහාර සුරක්ෂිත භාවය නැතිවෙන තීන්දුවක් ගත්තේ ගෝලීය වසංගතයට කිසිම සම්බන්ධයක් නැතිව. ගෝලීය වසංගතයක් තියෙන කොට තියෙන ආහාර වර්ධනය කරගන්නත් ආහාර සුරක්ෂිත කරගන්නත් වෙන රටවල් කටයුතු කරනකොට ආහාර සුරක්ෂිත බව අඩාළ වන අස්වැන්න අඩු කරන ගොවියාව විශාල පීඩාවකට ලක් කරන තීන්දුවක් ගන්නවා. මේ හද‌ාගත්ත ප්‍රශ්න හා ගෝලීය වසංගතය අතර කිසිම සම්බන්ධයක් නෑ.   


ප්‍රශ්නය:- අවශ්‍ය පොහොර දෙනවා. වහාම වගාව ආරම්භ කරන්න කියලා ආණ්ඩුව කියනවා.   


පිළිතුර:- මේ පොහොර ප්‍රශ්නය නිසා අලුතෙන් තව ප්‍රශ්න කීයක් ඇතිවෙලා තියෙනවද? දැන් බලන්න චීනෙන් ඇණවුම් කරපු කාබනික පොහොර. මේ තීන්දුව හින්ද‌ා අද එක පැත්තකින් අපේ රටේ බැංකුවක් අද අසාදු ලේඛන ගත කරලා. අනික් පැත්තෙන් විදේශ රටක් හැටියට චීනය බලපෑම් කරනවා මේ බැක්ටීරියා වර්ග තියෙන අපේ පොළවට නොගැළපෙන කාබනික පොහොර ටික බාගන්න කියලා.   


ප්‍රශ්නය:-ආයතනයකට බැංකුවක් එහෙම අසාදු ලේඛනයට ද‌ාන්න බෑ කියලත් කියනවා?   


පිළිතුර:- ඒ ගොල්ලෝ කරලා තියෙනවානේ. ඒක නැහැයි කියන්න බෑනේ. අපේ රටේ කර්මාන්ත ගණනාවකට මේක බලපානවා. ඒ වගේම ආපු අතුරු ප්‍රශ්නයක් තමයි නැනෝ නයිට්‍රජන් ගෙනල්ලා තියෙනවා. ඉන්දියාවේ තියෙන මිලට වඩා දෙගුණයකට වඩා වැඩියි මේක. ඒ අනුව මේක අස්සේ හොරකමක් වෙලා තියෙනවා. ගොවියෝ අද ඉන්නේ වගා කරනවද? නැද්ද? වගා කළොත් අස්වැන්න ලැබෙයි ද කියන දෙගිඩියාවෙන්.   


ප්‍රශ්නය:- ආණ්ඩුව කියනවා වගා හානිවලට වන්දි ගෙවනවා කියලා?   


පිළිතුර:- වන්දි ගෙවන්න පුළුවන් කියලා කියමුකෝ. නමුත් ආහාර හිඟයක් රටේ ඇතිවෙනවා. එළවළු ගොවියට මොකද වෙන්නේ.   


ප්‍රශ්නය:-විපක්ෂය නගන චෝදනා ගැන ආණ්ඩුවෙන් ඇහුවම ඔවුන් කියන්නේ මොන විපක්ෂය ද ආණ්ඩුවේ හොඳ කියන්නේ කියලයි?   


පිළිතුර:- මේ වෙලාවේ මේවා කියන්නේ විපක්ෂය විතරක් නොවෙයි. විපක්ෂයේ අපි දේශපාලන කටයුතු කරනවා. හැබැයි රටේ සමස්ත ජනතාවමයි මෙහෙම කියන්නේ. සමස්ත ගොවියම පාරට බැහැලා තියෙනවා. ප්‍රශ්නයක් නැත්නම් ගොවියා පාරට බහින්නේ නෑ. මේ යල කන්නයෙ ආරම්භක මාසයේ. ගොවියා වෙනද‌ා මොන දේ තිබුණත් ගොවිබිමේ ඉන්නේ. අද මොකද වෙලා තියෙන්නේ. තමන්ගේ ගොවිබිම රැක ගැනීම වෙනුවෙන් පාරට බහින්න වෙලා තියෙනවා. විපක්ෂයෙ වුවමනාවට නොවෙයි ගොවියා පාරට බැහැලා තියෙන්නේ.   


ප්‍රශ්නය:-විපක්ෂයේ කාර්ය භාරය ඉටුකරන හවුල්කාර පක්ෂ 11 ක් ආණ්ඩුව ඇතුළෙම ඉන්නවා. ඔවුන් උඩට මතුවෙලා ඔබලා යට ගිහින් කියලා දැනෙන්නේ නැද්ද?   


පිළිතුර:- මම හිතන්නේ අපට සැකයක් තියෙනවා. මේ ගොල්ලෝ මුල ඉඳලම හොරා පොලිස් සෙල්ලම කළා. ප්‍රශ්නයක් වුණාම ආණ්ඩුවේම කට්ටියක් හොරු වෙලා ආණ්ඩුවේම කට්ටියක් පොලිසිය වෙලා ඒ විදියට හොරා පොලිස් සෙල්ලම කරලා ජවනිකාව අවසන් කරනවා. අපි දැක්කා නැගෙනහිර ජැටිය වෙලාවෙත් එහෙම කළා. 20 වැනි සංශෝධනය ගෙනාව වෙලාවෙත් ඒකම කළා. අදත් කරන්නේ ඒකම ද කියන ප්‍රශ්නය තියෙනවා. කොහොම වුණත් ප්‍රශ්නයක් නෑ. ආණ්ඩුවේ ඉන්න පිරිස් සත්‍ය වශයෙන්ම රටට එරෙහිව කටයුතුවල දී එළියට බැහැලා කටයුතු කරනවා නම් හොඳයි. හැබැයි ඒක සද්භාවයෙන් කරන්න ඕනෑ. ඇමැතිකම් දරමින් කැමරා ඉස්සරහා විතරක් ඒ විරෝධය පළ කිරීම ප්‍රමාණවත් නෑ. ඒ නිසා අපි ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගැන පූර්ව නිගමනවලට එන්න හදිසි වෙන්නේ නෑ. විපක්ෂය හැටියට අපේ කාර්ය භාරය අපි ඉෂ්ට කරගෙන යනවා.

   
ප්‍රශ්නය:- ඇමැති විමල් වීරවංශ කිව්වා යහපාලන ආණ්ඩුව ආපු ගමන් කළේ මහ බැංකුව අගමැතිවරයා යටතට ගැනීමයි. එද‌ා ඒකට ආණ්ඩුව ඇතුළෙන් විරෝධය ආවානම් බැඳුම්කර වංචාවව සිදුවෙන්නේ නෑ කියලා.   


 පිළිතුර:- අපි යහපාලන ආණ්ඩුවේ හිටියත් සමගි ජනබලවේගය කියලා අලුත් පක්ෂයක් නිර්මාණය කරන්න හේතුවුණ එක් කාරණයක් තමයි ඒ යහපාලන ආණ්ඩුවේ තිබුණ යම් යම් දුර්වලතා. ඒකෙන් අපි කියන්නේ නෑ යහපාලන ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් කියලා. යහපාලන ආණ්ඩුවෙන් ගොඩක් හොඳ දේවල් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වුණා. ආර්ථික කළමනාකරණයත් හොඳින් කළා. තිබුණ තත්ත්වයෙන් රට ඉදිරියට ගේන්න දිගුකාලීන වැඩසටහන් තිබුණා. නමුත් යම් යම් පුද්ගලයන්ට දීපු ප්‍රමුඛතාව නිසා. ඒ වගේම මෛත්‍රිපාල - රනිල් ගැටුම නිසා යහපාලන ආණ්ඩුවෙන් ගන්න පුළුවන් හොඳම සේවය ගන්න බැරිවුණා. දවස් 52 කුමන්ත්‍රණය... පාස්කු ප්‍රහාරය... මේවා ඔක්කොම එකට බද්ධ වෙච්ච ඒවා. ඒ නිසා යහපාලන ආණ්ඩුව ගැන අපට යම් විවේචනයක් තියෙනවා. ඒ ආණ්ඩුවේ යම් යම් දූෂණ කරපු අයත් හිටියා. ඒ විවේචන නිසා තමයි අපි අලුත් පක්ෂයක් නිර්මාණය කළේ. බැඳුම්කර ප්‍රශ්නය ගත්තොත් අපි කියන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සෘජු මැදිහත්වීමෙන් ඒක වුණා කියලා. නමුත් අර්ජුන් මහේන්ද්‍රන් හෙළිදරව් වුණාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වහාම ක්‍රියාත්මක වෙන්න තිබුණා. ඒක ලොකු අඩුපාඩුවක් වුණා. ඒ වගේම ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලනයටත් වැඩි බලපෑමක් වුණා.  


ප්‍රශ්නය:-චමින්ද විජේසිරි හා හේෂා විතානගේ මේ හඬ නගන්නේ සමගි ජන බලවේගය හරි පීල්ලට ගන්න කියලා ඔබ හිතන්නේ නැද්ද?  


පිළිතුර:- එතැන තිබුණේ ප්‍රධාන වශයෙන් නායකයාගේ ප්‍රශ්න නොවෙයි. ඔවුන්ට තිබුණේ දිස්ත්‍රික්කවල තිබුණ යම් යම් දේශපාලන මත ගැටුම් හා තනතුරු සම්බන්ධ ගැටලු. ඒවා අපට බරපතළ ප්‍රශ්න නොවෙයි. ඒවා පක්ෂ අභ්‍යන්තරය තුළ සාකච්ඡා කරලා විසඳ‌ා ගන්න පුළුවන් දේවල්. දැනටමත් ඒ ප්‍රශ්න විසඳිලා තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හැටියට වගේම සජිත් ප්‍රේමද‌ාස මැතිතුමා හැම දෙනාටම ඇහුම්කන් දෙන නායකයෙක් විදියට මේවාට සංවේදීව සෘජුව මැදිහත් වෙලා කඩිනමින් ඒවා විසඳන්න කටයුතු කරනවා. පක්ෂයක් විදියට අපි ඉදිරියේදී කොහොමද අපි ආණ්ඩුවක් කරන්නේ කියන සැලසුම දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරන පක්ෂයක්. අපිට එක පාරටම කියන්න බෑ. ‘රට හදන්නේ මෙහෙමයි’ කියලා. ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විද්වත් කමිටු ගණනාවකින් ඒ අධ්‍යයනය කරනවා. අපිත් ලොකු අභියෝගයක් හැටියට දකිනවා ඊළඟ ආණ්ඩුව කරන පක්ෂය හැටියට මේ වැටුණු තැනින් රට ගොඩගැනීම කියලා. ඒකට හොඳ කණ්ඩායමක් අවශ්‍යයි. ඒ හොඳ කණ්ඩායම අපි ගාව ඉන්නවා.  


ප්‍රශ්නය:- මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රසිද්ධියේ කිව්වා සමගි ජන බලවේගය ආණ්ඩුව විවේචනය කර කර ඉන්නවා මිසක් ආණ්ඩුවක් අරගෙන රට හදන්නේ කොහොමද කියලා සැලසුම් හදන්නේ නෑ කියලා?   


පිළිතුර:- ඒක ඇත්තටම අපි එළිදක්වන්න අවශ්‍ය අවස්ථාවක් තියෙනවා. පක්ෂයක් හැටියට අපට තවම කල්වැඩියි. ඉක්මන් වැඩියි. ඒ නිසා ඒ සැලැස්ම අදියර කිහිපයකින් අපි එළිදක්වනවා. කෘෂිකර්මාන්තය සම්බන්ධ අපේ ඉදිරි සැලසුම් ඉදිරි මාසය ඇතුළත සමගි ගොවි ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හැටියට ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කරගෙන යනවා. විද්වත් කමිටුව අපේ ඒ වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා. ඒ විදියට ඒ ඒ අවස්ථාවලදී අපේ ඉදිරි සැලසුම් අපි එළිදක්වනවා. ඒවා සකස් කිරීමේ කටයුතු දැනට කරගෙන යනවා.  


ප්‍රශ්නය:-පළාත් සභා මැතිවරණය පැවැත් වුණොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති ධුරයට ඔබ ඉදිරිපත් වෙනවා කියලා වාර්තා වුණා. ඒක ඇත්තක්ද?  


පිළිතුර:- ඔව්. ඇත්තටම මම පළාත් සභාව නියෝජනය කරපු කෙනෙක් නොවෙයි. ප්‍රාදේශීය සභාවක් නියෝජනය කරපු කෙනෙක් නොවෙයි. 2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට ආවේ. නමුත් මම දකිනවා පළාත් සභාවක් තුළ විශාල කාර්ය භාරයක් ඉෂ්ට කරන්න පුළුවන්. නමුත් අපි දන්න ඉතිහාසය තුළ පළාත් සභාවල සිදුවුණේ මහ ඇමැතිවරයා විවෘත කිරීම්වලට යනවා උත්සවවලට යනවා විතරයි. එතැනින් එහාට ගිහින් පළාත සංවර්ධනය කරන්න විශේෂ වැඩපිළිවෙලක් යෙදුවේ නෑ. ඒ නිසා මට හිතෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එහා ගිය සේවයක් මහ ඇමැති හැටියට පළාතට කරන්න පුළුවන්. විපක්ෂයේ සිට මහ ඇමැති ධුරයට ඉදිරිපත් වීමත් අභියෝගයක්. මම කොහොමත් උඩුගම් බලා පිහිනන කෙනෙක්. අභියෝගවලට කැමැති කෙනෙක්. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ අභියෝගය බාරගෙන ඒ අභියෝගය ජය ගන්න.  

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්