රාජ්‍ය සේවය හදන්න ජනපතිට පුළුවන්ද?


මේ දිනවල ජනාධිපතිවරයා ද ඇමැතිවරුන්ද දිගින් දිගටම රාජ්‍ය සේවයේ ඇති දුර්වලතා ගැන දෝෂාරෝපණය කරමින් සිටින ආකාරය පෙනෙන්නට තිබේ. මාස අටක් රට පාලනය කළ පසු රට හැදීමට ප්‍රධානම බාධාව ඇති තැන ආණ්ඩුවේ ප්‍රධානීන්ට හමුවී ඇති සෙයක් එම ප්‍රකාශවලින් ගම්‍ය වෙයි.

‘මේ රටේ පෙනෙන සාමකාමි පද්ධතියට යටින් කළු පද්ධතියක් ඇති බවත් ජාවාරම්කාර කල්ලියක් එය මෙහෙයවන බවත් ජනාධිපතිවරයා පැවසීය. මාතර බන්ධනාගාර සිරකරුවන් ළඟ තිබී මාංචු කුට්ටම් හතක් සහ යතුරු විසිහතක් හමුවූ බව ද මේවා නිලධාරීන් නොදැන සිදුවිය නොහැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් අතළොස්සක් ඉන්නවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලනන අධිකාරිය ඉන්නවා. එහි නීතිවිරෝධී සන්නද්ධ අවිගත් අය ඉන්නවා. අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා.’ ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය සේවයේ බලගතු කල්ලියකින් නිරතුරුවම අල්ලස් ගැනීම සිදුවන බවත් දේශපාලන අධිකාරිය, පාතාල කණ්ඩායම් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් යම් පිරිසක් රට තුළ කෙරෙන විවිධ අපරාධවල ප්‍රධානීන් බවත් ජනතාව දැන සිටියේ බොහෝ කලක සිටය.

රට තුළ පෙනෙන සාමකාමී පද්ධතියට යටින් කළු පද්ධතියක් ඇති වෙන්නට පටන් ගත්තේ 1977 එජාප ආණ්ඩුව බලයට පත් වූ පසු ඇති කළ ආර්ථික හා සමාජ ක්‍රමය අනුවය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රට තුළට ආ ඒ සමයේ ඇමැතිවරුන්ට මෙන්ම අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන්ට ආර්ථික වාසි සැලසුණි. නිලධාරීන්ට නිරතුරුව විදේශ සංචාර හා විදේශීය පුහුණු සැසි හිමි විය. කොළඹ සිටි අමාත්‍යාංශ නිලධාරීන්ටය. ප්‍රේමදාස යුගයේ අමාත්‍යාංශ ලේකම්වරයා ජනාධිපතිවරයාට සෘජුව වග කියන ක්‍රමයක් බිහි කළ අතර ඒ යටතේ ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරු මහා පරිමාණයේ ධනවතුන් බවට පත් වූහ. 2005 රාජපක්ෂ පාලනය යටතේ පළාත් සභා ආශ්‍රිත ඉහළ නිලධාරීන්ට ද ප්‍රාදේශීය මට්ටමේ වෙනත් ඉහළ නිලධාරීන්ට ද ඒ සමයේම රාජ්‍ය යාන්ත්‍රණයේ කුඩා නිලධාරීන්ට ද අමතර වාසි සැලසුණි.

රාජ්‍යය තුළ නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම්වල තිඹිරි ගෙය වූයේ 1971 සහ 1987 ජවිපෙ සන්නද්ධ අරගල දෙකය. එතෙක් සාමකාමීව සිටි රටවැසියන් පොලිසියට හමුදාවට පහර දෙන්නට පෙලඹුණේ 1971 කැරැල්ලේදීය. එහි ප්‍රතිඵලයක් ලෙස පොලිසිය කෙරෙහි පැවැති බිය ජනතාවගෙන් තුරන් විය. 1987 – 89 භීෂණ සමයේ එජාප රජය එය මැඩලූ කුරිරු මර්දනයට සමාන භීෂණයක් ජවිපෙ කැරලිකරුවන්ගෙන් ද දියත් විය. ජවිපෙ නායකයන් තිරස්චීන ලෙස ඝාතනය කර කැරැල්ල මැඩලූ එජාප රජය ජයග්‍රහණයේ ජයපැන් බීවා මිස සන්නද්ධ කැරලිකරුවන් සතුව තිබූ අවි ආයුධ සියල්ල සොයා ගැනීමට උත්සුක වූයේ නැත. ආයුධ ටිකක් සොයා ගත්ත ද තවත් ටිකක් තැනින් තැන ඉතිරිව තිබිණ. නීති විරෝධී කල්ලි අතට පත් වූයේ මෙම ආයුධය. පණ බේරාගෙන සැඟවුණු ඇතැම්හු සන්නද්ධ කල්ලි බිහිකර ගෙන අලුත් ජීවිතයක් ආරම්භ කළහ. එජාප රජයට හිතවත් සොත්ති උපාලිලා වැනි අයගේ පාතාල ලෝකයක් ඒ වන විටත් තිබුණ ද ජවිපෙ කැරැල්ලෙන් ඉතිරි වූ සමහර සන්නද්ධ අංශ සාමාජිකයෝ උපාලිලාට එරෙහිව සන්නද්ධ කල්ලි ක්‍රියාත්මක කළහ. අද වැඩී වර්ධනය වී ඇති පාතාල ලෝකය පෝෂණය වීමට එම ජවිපෙ කැරැලිකරුවන් ද යම් දායකත්වයක් දුන් බව පසු කාලීනව හෙළිදරව් විය. මරණය සුලබ කරමින් රට අමු සොහොනක් බවට පත් කළ 1987 භීෂණ සමය නිසා කළු දේශපාලනයක් ද කළු සමාජයක් ද බිහිවූවත් එය සමනය කරන්නට කිසිවකුත් උනන්දු වූයේ නැත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ ‘කළු යාන්ත්‍රණයේ එක් බිත්තියක් වන්නේ මෙරට විදුලිය සැපයුම සඳහා ක්‍රියාත්මක වන සැපයුම් ජාලයය. මෙම සැපසුම් ජාලය රාජ්‍ය අංශයෙන්  සහ පෞද්ගලික අංශයෙන් සමන්විත වෙයි. රාජ්‍ය අංශයේ විදුලිය සැපයුමෙන් විශාල පිරිවැයකින් තොරව විදුලිය නිපදවෙන්නේ ජල විදුලියෙනි. එහෙත් වර්තමානය වන විට විදුලිය සඳහා ජලය ගබඩාකර ඇති ජලාශවලින් ගොවිජනපද සඳහා මෙන්ම පානීය ජල අවශ්‍යතා සඳහා ද ජලය මුදාහැරෙන බැවින් තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවෙයි. ගල්අඟුරු සහ ඉන්ධන තාප බලාගාරවල ප්‍රධාන මූලාශ්‍ර වන හෙයින් එම මූලාශ්‍ර බාහිරින් මිලදී ගැනීමට රජයට විශාල වැය බරක් දැරීමට සිදුවේ. එහෙත් රජය මිලදී ගනියි.

ජනාධිපතිවරයා පවසන රාජ්‍ය සේවයේ කළු යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ මෙහිදීය. අධික ලෙස හිරු රශ්මිය වැටෙන කාලවල දී සූර්ය විදුලිය අඩකින් කපාහැර  පොසිල ඉන්ධනවලින් දුවන බලාගාර ක්‍රියාත්මක කිරීමට බලධාරීහු පියවරව ගත්හ. පොසිල ඉන්ධනවලට අධික වැය බරක් වැය කළ යුතු මුත් සූර්ය තාපය වැනි හරිත බලශක්තියට ඉන්ධන ගාස්තුවක් වැය නොවේ.

රජයට වැය බරක් නොවන හරිත බලශක්තිය අඩපණ කර වැයබරක් වන පොසිල ඉන්ධනවලින් ක්‍රියාත්මක වන බලාගාර ක්‍රියාත්මක වන්නේ කළු යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය නිසාය. කතාවට සීමා නොවී ක්‍රියාකාරීත්වයෙන් විදුලි සැපයුමේ ‘කළු යාන්ත්‍රණය බිඳ දැමීම ජනාධිපතිවරයාගේ වගකීමකි.

අද රාජ්‍ය සේවයේ ඇතැම් අංශවලින් එහි සේවය කරන ඇතැම් නිලධාරීන්ට අසීමිත ධනෝපායන මාර්ග සොයා ගැනීමට අවස්ථාව ලැබී තිබේ. පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය එවැනි ආයතන කිහිපයකි. ජනාධිපතිවරයාම පවසන ‘කළු යාන්ත්‍රණය තදින් ක්‍රියාත්මක වන ස්ථාන අතරට මෙම ආයතන ඇතුළත් වෙයි. පොල් ගෙඩියක් සොරකම් කර සිරභාරයට පත්වූවන් සිටි අතීතයේ බන්ධනාගාර නිලධාරීන්ට නොමැති වූ අමතර ධනෝපායන මාර්ග ඩොලර් බිලියන ගණනින් මත්ද්‍රව්‍ය ජාවාරම් කෙරෙන මෙකල බන්ධනාගාර සේවයේ ඇතැමුන්ට විවර වී ඇත.

රාජ්‍යයක් පවත්වාගෙන යාම සඳහා දියුණු හා ශක්තිමත් රාජ්‍ය සේවයක් මෙන්ම දියුණු හා ශක්තිමත් සන්නද්ධ හමුදාවක් ද අවශ්‍යය. එහෙත් ශ්‍රී ලංකාවේ දියුණු හා ශක්තිමත් රාජ්‍ය සේවයක් නැත. එවැනි රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා ආණ්ඩු කිහිපයක් පියවර ගත් සෑම විටම නොනවතින වැඩ වර්ජන හරහා එම රාජ්‍ය සේවය විනාශ කර දැම්මේ මෙරට වාමාංශිකයන් විසිනි.

ඉන් වැඩිදායකත්වයක් ජනතා විමුක්ති පෙරමුණට හිමි වේ. ​ රාජ්‍ය සේවය තුළ විවිධ වෘත්තීය සමිති අටවමින් රජයේ වැඩපිළිවෙළ කරගෙන යා නොහැකි තැනට නිරන්තර වැඩවර්ජනවලට පෙළඹවූ  ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය සේවයේ තමන්ට කීකරු සේවක   පන්තියක්   හදා ගත්තේය. රාජ්‍ය ආයතනවල වැඩ කරගෙන යා නොහැකි තරමට මෙම වෘත්තීය සමිති ආශ්‍රිත කණ්ඩායම් නිරතුරුවම ජවිපෙ මතය වෙනුවෙන් රාජකාරි වේලාවේ දී පෙනී සිටියේයය. රජය වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළහ. සුළු සේවකයන් පවා හැසිරුණේ ආයතන ප්‍රධානීන් ගණන් නොගනිමිනි. ඉකුත් ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළ මොහොත වන විට රාජ්‍ය සේවයේ පැවැතියේ එවැනි තත්ත්වයකි. රාජ්‍ය සේවයේ මෙම කල්ලිවාදය යහපත් රාජ්‍ය සේවයක් සඳහා ප්‍රතිඵල දායක වන්නේ නැත. අද ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමැතිවරුන් රාජ්‍ය සේවයේ නෙලා ගනිමින් සිටින්නේ තම පක්ෂය විසින්ම මුදා හරින ලද ක්‍රියාමාර්ගයක අස්වැන්න බව අපට මෙහිදී නොලියා සිටිය නොහැකිය.

මෑත කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයට තරම් රාජ්‍ය සේවකයන්ගේ සහායක් අන් කිසිම රජයකට තිබුණේ නැත. ඉකුත් ජනාධිපතිවරණ සමයේ ජාතික ජනබලවේගයට රාජ්‍ය සේවකයන් සහාය  දුන්නේ රාජ්‍ය සේවකයන්ට ඇති සියලු නීති කඩකරමිනි. මාලිමාවේ අපේක්ෂකයාට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටින ප්‍රචාරයන්ගෙන් මුහුණු පොත වැසී තිබුණි. පහළ නිලධාරීන්ගේ සිට ඉහළ නිලධාරියා දක්වාම ප්‍රසිද්ධියේ වැඩ කළේ මාලිමාවේ අපේක්ෂකයා දිනවීම සඳහාය. අද මාලිමාවේ ජනාධිපතිවරයාටම රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම අභියෝගයක් වී ඇති බව පැහැදිලිය.

අතීතයේ රාජ්‍ය සේවය තිබුණේ දේශපාලන තන්ත්‍රයට වඩා ඉහළිනි. යම් අමාත්‍යාංශයක පාලන බලතල තිබුණේ ඇමැතිවරයාට නොව අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්වරයාටය. එකල අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කෙරුණේ ‘සිවිල් සේවය’ නමැති කීර්තිමත් රාජ්‍ය පරිපාලන අංශයෙනි. ඇමැතිවරයාට තමන්ට කීකරු ලේකම්වරුන් ඉල්ලා සිටීමට නොහැකි අතර සංචිතයේ සිටින ජ්‍යෙෂ්ඨත්වය මත ඒ ඒ අමාත්‍යාංශවල වැදගත්කම අනුව ස්ථීර ලේකම්වරුන් පත් කෙරෙයි. මෙම අමාත්‍යාංශ ස්ථීර ලේකම්වරු මහජන මුදල් ගැන අන්තිම සතයටම වගකියන ගරු කටයුතු මහත්වරු වූහ. මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති සමයේ ලංකාවේ සිවිල් සේවයට පත් කිරීම් සිදු කළේ බ්‍රිතාන්‍යයේ යටත් විජිත භාර මහ ලේකම්වරයාය. එකල බ්‍රිතාන්‍ය යටත් විජිතයේ කීර්තිමත්ම ආයතන දෙකක් ලෙස ලංකාවේ සිවිල් සේවය සහ ඉන්දියාවේ සිවිල් සේවය සැලකුණු බව බ්‍රැඩ්මන් වීරකෝන් මහතා සඳහන් කර ඇත. නිදහසෙන් පසු ක්‍රමයෙන් ලංකාවේ සිවිල් සේවය රාජ්‍ය පරිපාලන සේවය බවට පත්ව දේශපාලන පක්ෂවල අතවැස්සන්ගෙන් පිරී ගියද ඉන්දියාවේ සිවිල් සේවය සිය කීර්තිමත් භාවය අදත් රැකගෙන සිටී. අද ද ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක වැනි රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු සඳහා තම හිතවතුන් පත් කිරීමට ඉන්දීය. අගමැතිවරයාටත් නොහැකිය. ඉන්දීය විදේශ ලේකම් තනතුර රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පත්වන තනතුරක් මිස එය අගමැති නරේන්ද්‍ර මෝදිගේ කීකරු මිතුරකුට හෝ සරසවි මිතුරකුට පිදෙන තනතුරක් නොවේ. ලංකාවේ රාජ්‍ය සේවයේ එවැනි ඉහළ ස්වාධීන තනතුරක් ගැන අපට අසන්නටවත් ලැබී තිබේ ද?

ජාතික ජනබලවේගයට ආණ්ඩු බලය ලැබුණු පසු බොහෝ ඉහළ නිලධාරීන් ඉවත් කෙරිණි. තමන්ගේ සගයන්ට තනතුරු ලැබිණි. එහෙත් එහෙත් එසේ රටක් පාලනය කළ නොහැකිය.

මෙය ජාතික ජනබලවේග ආණ්ඩුවට පමණක් නොව මෙරට බොහෝ ආණ්ඩුවලට තිබූ ප්‍රශ්නයකි. බණ්ඩාරනායක මැතිනියට ද ජේ.ආර්ට ද ප්‍රේමදාසට ද චන්ද්‍රිකාටද, මහින්දටද, ගෝඨාභයටද එතෙක් සිටි ඉහළ රාජ්‍ය නිලධාරීන් ඉවත්කර තමන්ට වුවමනා කීකරු ඉහළ රාජ්‍ය සේවකයන් පත්කර ගැනීමේ වුවමනාව තිබුණි. ඇතැම් පාලකයෝ මෙය රටටම පෙනෙන්නට අනාගෙන අවුල්කර ගත්හ. ඇතැම් පාලකයෝ හීන් සීරුවේම එම අප්‍රිය ජනක නිලධාරීන් තමන්ගේ පාර්ශ්වයට නම්මාගෙන පසුව ඔවුන් තමන්ගේ සුවච කීකරු සේවකයන් කර ගත්හ.

රාජ්‍ය සේවය ලොව කිසිම රටක ස්වාධීනව කටයුතු කරන්නේ නැත. රාජ්‍ය සේවය යනුවෙන් හැඳින්වෙන්නේ පාලක පක්ෂයේ නිලධාරී හස්තයයි. යම් රාජ්‍යයක පාලකයන් ගන්නා තීන්දු හා තීරණ ක්‍රියාවේ යොදවන්නේ රාජ්‍ය නිලධාරීන් විසිනි. ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොල ලෙස සැලකෙනු ලබන ඇමෙරිකාවේ ජනාධිපතිවරයා බලයට පත්වන විට එරට නීතිපති, පොලිස්පති ඇතුළු ප්‍රධාන දණ්ඩන හස්තයට අයත් නිලධාරීහු නව ජනාධිපතිවරයා විසින් අලුතෙන්ම පත් කරනු ලැබේ. එසේ පත් කෙරෙන ඉහළ පුටු ගණන පන්දහසකට අධිකය. අභිනව පාලක පක්ෂයේ තීන්දු හා තීරණ ක්‍රියාත්මක කිරීමට තමන්ගේම නිලධාරීන් වඩා කාර්යක්ෂම වන බව ඇමරිකානු රාජ්‍යය තේරුම් ගෙන සිටීම එයට හේතුවය.

එහෙත් ලංකාවේ එවැනි තත්ත්වයක් නැත. නව රජයක් තමන්ට හිතවත් නිලධාරියකු ඉහළ පුටුවකට ගෙන ඒමට උත්සාහ කරන විට එය දේශපාලන පත්වීමක් බවට ලේබල් ඇළවෙයි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට විපක්ෂයෙන් විපක්ෂයට එල්ල වූ මෙම චෝදනාව කාර්යක්ෂම නිලධාරීන් අකාර්යක්ෂම කිරීමට ප්‍රධානම හේතුවකි. රාජ්‍ය සේවයට මනා ප්‍රතිසංවිධානයක් අවශ්‍ය වන්නේ එවැනි චෝදනා නැතිකර දැමීම සඳහාය. පැවැති ආණ්ඩුවේ නියෝග ක්‍රියාත්මක කළ නිලධාරීන්ට අභිනව ආණ්ඩුවක් යටතේ සිරගත වන්නට සිදුවේ නම් කිසිදු නිලධාරියකු වැඩ කරනු ඇති දැයි සැක සහිතය.

මේවන විට ඉහළ රාජ්‍ය රාජ්‍ය සේවය ඇත්තේ ‘ගල් වූ’ ස්වභාවයකය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම තනතුරට පත් වූ පසු කළ පත්වීම් ගණනාවක් නිසා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් කලකිරී සිටීම එම ගල්වීමට හේතු වී තිබේ. රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් හෙබවිය යුතු ඇතැම් තනතුරක අද සිටින්නේ එක්කෝ ජනාධිපතිවරයාගේ සමීපතම සගයෙකි. නැතිනම් සරසවි මිතුරෙකි. මෑත කාලීනව ලබාදුන් ඇතැම් දිසාපති තනතුරු හිමි වූයේ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව නොව ජාතික ජනබලවේගයට ඇති පක්ෂපාතීත්වය අනුවය.

මෙම නිසා කලකිරුණු ඉහළ රාජ්‍ය නිලධාරීහු ‘ගල් වී’ සිටිති. එදිනෙදා කටයුතු මිස සැලසුම් ගත සංවර්ධනයක් පෙනෙන තෙක් මානයක නැත. ‘වෙනස් වෙන්න..... නැතිනම් අපි වෙනස් කරනවා.....’ යැයි ජනාධිපතිවරයා පවසන්නේ රාජ්‍ය සේවයේ ඇති උදාසීනත්වය ඔහුට අවබෝධ වී ඇති නිසාය. එහෙත් ජනාධිපතිවරයා එසේ කී පමණින් රාජ්‍ය සේවය ගල්වීම අතහැර දිග හැරෙන්නේ නැත. ඒ සඳහා වැඩ බැරි රාජ්‍ය නිලධාරීන් නොව වැඩ දන්නා පළපුරුදු ඉහළ නිලධාරීන් එම පුටුවලට ගෙන ආ යුතුය. පැවැති ආණ්ඩුවල සගයන් ලෙස වර්ග කර තැන තැන විසුරුවා හැර ඇති නිලධාරීන් යළිත් පරණ පුටුවලට වාඩි කළ හොත් මිස දැනට පත්කර සිටින ඇතැම් ඉහළ නිලධාරීන්ගෙන් ජනාධිපතිවරයා බලාපොරොත්තු වන සේවය ඉටුකර ගත හැකි වන්නේ නැත. ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතාට රාජ්‍ය සේවයක් රටත් නඟා සිටුවීමට අවංක වුවමනාවක් ඇතත් ඔහුගේ ආණ්ඩුව විසින් ගත් ඇතැම් තීරණම අද ඔහුගේ රාජ්‍ය අකාර්යක්ෂම රජයක් බවට පත් වෙමින් තිබීමට හේතු වී තිබේ. බලයට පත්වී මාස අටක් ගත වුවත් ජාතික ජනබලවේග රජය නොසන්සුන් ජනතාවගේ සිතැඟි ඉටුකර දීමට සමත් වී ඇති බවක් පෙනෙන්නට නැත. කතාව නවතා වැඩ කළ යුතු හෝරාව එළඹ ඇතත් එම හෝරාව එළඹුණු බව ආණ්ඩුව දැන සිටීදැයි සැක සහිතය.

ප්‍රේමකීර්ති රණතුංග