රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම


මෙරට රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීන් කිහිප දෙනකුගේ තනතුරු සම්බන්ධ ආන්දෝලනාත්මක තත්ත්වයක් මේ දිනවල දැකගහ හැකිය. නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහයන් සම්බන්ධ ආන්දෝලනය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න ගේ වැඩ තහනම් කිරීම සම්බන්ධ ආන්දෝලනය ඒ අතර වෙයි. මෙරට රාජ්‍ය සේවයේ ඉහළ පුටු නිරතුරුව සෙලවෙන නිසා සහ එම පුටුවලට පැමිණීමට තවත් අය බලා සිටින නිසා මෙරට රාජ්‍ය සේවය නිරතුරුව ම ආන්දෝලනාත්මක වෙයි. 

අද ද බොහෝ දෙනා අගය කරන බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ රාජ්‍ය සේවය බොහෝ දුරට ස්වාධීන සහ ඍජු විය. බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවා නිලධාරීහු වෘත්තීය ස්වාධීනත්වයක් පවත්වා ගත්හ. 

යටත් විජිත වියගසෙන් මිදීමෙන් ඉක්බිතිව මෙරට රාජ්‍ය සේවය ක්‍රමානුකූල පක්ෂග්‍රාහී තත්ත්වයක් කරා සෙමින් මාරු වූයේ ය. ඉහළ නිලධාරීන් නිරතුරුවම තමාගේ පුටුව සුරක්ෂිත කර ගැනීම සඳහා දේශපාලන ව්‍යුහයේ කීකරු අතවැසියන් බවට පත්වූ යුගයක් 1950 දශකයෙන් පසු දැකගත හැකි විය. පාලකයන්ට රාජ්‍යයේ ඉහළම ස්වාධීන තනතුරුවලින් ද දේශපාලන පක්ෂ ජාතීත්වයක් අවශ්‍ය වූ අතර, ඒ සඳහා නිලධාරීහු පෙළගැසෙමින් සිටියහ. 

අගමැති බණ්ඩාරනායකගේ පාලන සමය තරම් දුරාතීතයෙන් ද අපට එවැනි උදාහරණ හමුවෙයි. හිටපු අගමැති ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එවැනි සටහනක් තබා ඇත. 

“අගමැති වශයෙන් බණ්ඩාරනායකට මුලින්ම කරන්නට තිබුණේ තම පරිපාලන නිලධාරීන් එහා මෙහා කිරීම ය. එහෙත් දේශපාලන වශයෙන් කැපවී සිටි සුළුතරයක් හැර පොදුවේ අනෙක් නිලධාරීන් තම තමන්ගේ දක්ෂතාව මත නව දේශපාලන නායකත්වයේ අවශ්‍යතා පරිදි කටයුතු කරන බව ඔහු දැන සිටියේ ය. එහෙයින් ඔහු තම අනුගාමිකයන් අපේක්ෂා කළ තරම් ඉක්මනින් නිලධාරීන් එහා මෙහා කළේ නැත. අනුගාමිකයන් මේ නිසා සිටියේ කලකිරීමෙනි”. 

ඒ 1956 දී ය. මේ 2026දී ය. එදා සිට අද දක්වා ම පාලකයන්ට රට කරන්නට සිදුවී ඇත්තේ තම පක්ෂ මූලස්ථානයේ හෝ අනුගාමිකයන්ගේ හෝ මනදොළ ඉටුවන අන්දමිනි. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ස්වාධීන රාජ්‍ය සේවයක් ගැන කොතරම් පොරොන්දු දුන්නත් එය පවත්වාගෙන යාමට වඩා පාලකයන්ට සිතන්නට සිදුවන්නේ පක්ෂ මූලස්ථානයේ සහ පාක්ෂිකයන් සතුටු කිරීම ගැන ය. පූර්ව නිගමනවල සිට දෝෂාරෝපණය කරන ඉහළ නිලධාරීන් ඉවත් කිරීමට තැත් කරන ආණ්ඩුවල සියලු ඉදිරිගමන රාජ්‍ය සේවකයන් විසින් අක්‍රිය කරන බව එම ආණ්ඩුවලට තේරුම් යන්නේ බලයෙන් ඇදවැටුණු පසුව ය. පාක්ෂිකයන් නොව මැතිවරණයට උදව් කළ ඉහළම බලවතුන් සතුටු කිරීමට බැරි වූ නිසා අගමැති බණ්ඩාරනායකට දිවි හැර යාමට සිදුවිය. 

බණ්ඩාරනායක අගමැති වනවිට අගමැති ලේකම් ධුරයේ කටයුතු කළේ පාර්ක් නඩේසන් නමැති ජ්‍යෙෂ්ඨ සිවිල් සේවා නිලධාරියෙකි. තමන්ට ඔහු සමග අගමැතිකම් කිරීමට නො හැකි නිසා බණ්ඩාරනායක ආණ්ඩුව කළේ රජයේ විශේෂ වරප්‍රසාද කිහිපයක් අනුමත කර දී විශ්‍රාම යාමට නියමිත කාලයට පෙර පාර්ක් නඩේසන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කිරීම ය. අලුත් ආණ්ඩුවක් බලයට පැමිණි පසු ඉහළ ම නිලධාරීන් ඉවත් කරන ක්‍රමය ආරම්භ වූයේ එතැනිනි. 

සිරිමාවෝගේ ආණ්ඩුවෙන් 1962දී ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණ චෝදනා මත හමුදාවේ හා පොලිසියේ ඉහළ ම නිලධාරීන් විශාල පිරිසක් අනිවාර්ය නිවාඩු යවනු ලැබූහ. ඉන්පසු 1977 දී බලයට ආ ජේ.ආර්. තමා විසින් ම පත් කරන ලද අගවිනිසුරු එම ධුරයෙන් ඉවත් කරන්නට කටයුතු කර අපවාදයක් වින්දේ ය. සේවයේ නිරතව සිටින විනිසුරුවන්ට වඩා පිටතින් ගෙන එන නෙවිල් සමරකෝන් තමාට කීකරුව අගවිනිසුරු ධුරයේ කටයුතු  කරනු ඇතැයි ජනාධිපතිවරයා බලාපොරොත්තු වුව ද සමරකෝන් ස්වාධීනව අධිකරණයේ කටයුතු මෙහෙයවී ය. එජාප රජය ගත් තීන්දු තීරණ රැසක් ම අගවිනිසුරු සමරකෝන්ගේ විවේචනයට ලක්වූයේ නීතියේ හිල්වලින් රිංගා එජා රජය කටයුතු කිරීමට උත්සාහ දැරූ නිසා ය. මෙම තත්ත්වය වඩාත් උද්ගත වන්නේ කාන්තා දින රැස්වීමක් පැවැත් වූ විවියන් ගුණවර්ධන මහත්මිය ඇතුළු කාන්තාවන්ට එජාප මැරයන් කණ්ඩායමක් පහරදීමත් සමග ය. මෙම පහරදීමට සම්බන්ධ මැරයන් අධිකරණයේ දී සිරගත කෙරුණු අතර එම තීන්දුව දුන් විනිශ්චයකාරවරුන්ගේ නිවාසවලට ගල් ගැසීමට රජයේ බලවත්තු පෙලඹුණාහ. 

රජයට සුදුසු අවස්ථාව එළඹුණේ අගනිවිසුරු සමරකෝන් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක උත්සව සභාවක් අමතා ඒ දිනවල කළ කතාවක් නිසා ය. එම කතාව රජයට එරෙහිව එල්ල කළ දැඩි විවේචනයක් විය. 

එම කතාවෙන් අගවිනිසුරුවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ආර්ථික හා දේශපාලන සිදුවීම් එල්ල කර බරපතළ විවේචනයක් සිදුකළේ ය. අගවිනිසුරුවරයාගේ කතාවේ දී රජයේ කටයුතු මෙලෙස විවේචනය කළේ ය. “පසුගිය වසර තුළ සිංහල සහ දෙමළ ඉංග්‍රීසි ලිපිකරු, ලඝු ලේඛක, යතුරු ලේඛක හා පොත් බඳින්නන්ගේ තනතුර පුරප්පාඩු 492ක් පිරැවීමට අපි හැකි සෑම ප්‍රයත්නයක් ම දැරුවා. සේවකයන් බඳවාගත යුත්තේ රැකියා බැංකුව නමින් හැඳින්වෙන තැනකින් යැයි නියෝගයක් පසුගිය වසරේ දෙසැම්බර් මාසය දක්වා අපට පනවා තිබුණා. එහෙත් ඔවුන්ගෙන් අඩක් පමණ ලියන්නට හෝ ටයිප් කරන්නට හෝ නොදත් තමන් ඉල්ලුම් කළ තනතුරුවලට නුසුදුස්සෝයි. ඔවුන්ගෙන් සමහරු මන්ත්‍රීවරුන්ගෙන් ලියුම් රැගෙන ආවා. එම ලියුම් කුණු කූඩයට ගියා. මේ ක්‍රමය අධිකරණයට නුසුදුසු බවත් සුදුස්සන් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිසමට අවසර තිබිය යුතු බවත් ආණ්ඩුවට කියන්නට මට සිදුවුණා. රැකියා බැංකුව මේ රටේ තරුණයන්ට කළ ප්‍රෝඩාවකි. එය ලේ බැංකුව වැනි විය. පරිත්‍යාගශීලීන් එනතුරු අප බලා සිටිය යුතු ය.

පඩි අඩු නිසා සුදුස්සන් මෙවැනි රැකියාවලට එන්නේ නැත. රටේ ජීවන වියදම ඉහළ යමින් තිබෙනවා. ඔක්තෝබර් මාසයේ මා ඕස්ට්‍රේයාවට යනවිට පොල් ගෙඩියක මිල රුපියල් එකයි විස්සක් වුණා. ජනවාරි මාසයේ මා ආපසු පැමිණෙන විට පොල් ගෙඩියක් රුපියල් හයකි. 1977 ශත 60ක් වූ පාන් රාත්තලක මිල අද රුපියල් තුනයි ශත විසිපහකි. රුපියල් දෙකට තිබූ හාල් සේරුව රුපියල් අට හෝ නවය දක්වා නැග තිබේ. අද පිළිවෙළකට ජීවත් විය හැක්කේ පොහොසතුන්ට හා මන්ත්‍රීවරුන්ට පමණයි. තමාට ලැබෙන්නේ හිඟන වැටුපකැයි ජනාධිපති පැවසූ බවක් මම පුවත්පතක දුටුවා. ජනාධිපති මහජන ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයෙකි. ඔහුට කාර් සහ මන්දිර ආදිය ද ඇත. ඔහු එම හිඟන වැටුප මත නඩත්තු කිරීම සඳහා රටට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබේ” යැයි ද අගනිවිසුරු නෙවිල් සමරකෝන් කීවේ ය. 

දින කිහිපයකට පසු පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මන්ත්‍රීවරුන් කියා සිටියේ අගවිනිසුරුට එරෙහිව තද පියවරක් ගත යුතු බව ය. ඔහුගේ කතාව දේශපාලන කතාවක් බවත් විශේෂයෙන් ම අගවිනිසුරුවරයා ජනාධිපතිවරයාගේ වැටුප සම්බන්ධයෙන් කර ඇති සඳහන ආණ්ඩුවට එල්ල කළ බරපතළ පහරක් බවත් මන්ත්‍රීවරු කියා සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කිරීම ය. දිගු හැලහැප්පීමකින් පසු සේවයෙන් විශ්‍රාම ගැනීමට අගවිනිසුරු තීන්දු කිරීමත් සමග අර්බුදය අවසන් වූයේ රජයට කළු පැල්ලමක් එක් කරමිනි. එහෙත් විනිසුරුවරුන්ට රජයෙන් එල්ල වන පීඩනය ගැනත් ජනතාවගේ ජීවන වියදම් බර ගැනත් එදා අගවිනිසුරු කළ ප්‍රකාශය ඉන්පසුව නව ආණ්ඩුවලින් ද විසඳුණේ නැත. 

එස්. ශර්වානන්ද ගේ විශ්‍රාමයාමෙන් 1988දී එජාප රජය සමයේ අගවිනිසුරු පදවියට පත් කරන ලද පාරින්ද රණසිංහ ගේ පත්වීම ගැන ද දේශපාලන කරළියේත් ජනමාධ්‍යයේත් විවිධ කතා පළවිය. අධිකරණ ක්ෂේත්‍රයේත් ප්‍රකට කතාවක්ව තිබුණේ පාරින්ද රණසිංහ එම පදවිය භාර ගත්තේ අකමැත්තෙන් බව ය. තමාට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආර්.ඇස්. වනසුන්දර ට අගවිනිසුරු ධුරය නොදී තමාට එම පදවිය ලබාදීම ගැන පාරින්ද රණසිංහ අකමැත්තෙන් සිටි බව කියැවිණි. සිංහල දේශප්‍රේමී මතවාදයට බරව සිටි රාජා වනසුන්දර ට එජාප බලවතුන් කැමැති වූයේ නැත. ඒ මහතා ප්‍රකටව සිටියේ ඉහළ බලපෑම්වලට යටනොවී හෘද සාක්ෂියට එකඟව තීන්දු දෙන විනිශ්චයකාරවරයකු වශයෙනි. පාරින්ද රණසිංහ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සියලු දෙනාම අගවිනිසුරු පදවියට රාජා වනසුන්දර පත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තුව සිටිය ද රජය එම පත්වීම ලබා දුන්නේ පාරින්ද රණසිංහ ට ය. ඒ නිසා එම පදවිය ලබාගැනීමට පාරින්ද රණසිංහ අකමැත්ත පළ කළ බවත් එතුමා එම පදවිය භාර නොගන්නේ නම් කිසිසේත් ම රාජා වනසුන්දර අගනිවිසුරු ලෙස පත් නො කරන බවට රජය දැනුම් දුන් පසු පාරින්ද රණසිංහ එම ධුරය භාරගත්තේ ය. මේ වනවිට නීතිපති ධුරය සම්බන්ධයෙන් ආන්දෝලනයකට ලක්ව සිටින පාරින්ද රණසිංහ හිටපු අගනිවිසුරු පාරින්ද රණසිංහ ගේ පුත්‍රයා ය. 

ලංකාවේ බොහොමයක් ආණ්ඩුවලට ඇති උත්පත්ති රෝගයක් වන්නේ රාජ්‍ය සේවයේ ඉහළ ම පුටුව හොබවන නිලධාරීන් සමග රාජකාරී කිරීමට අපහසු රෝගයයි. කලින් ආණ්ඩුවෙන් පත් කළ හෝ උගත්කමින් එම පුටුවට නිරායාසයෙන් ම පත්වූ හෝ නිලධාරීන් ඉවත් කර තමන්ට හිතැති නිලධාරීන් එම පුටුවලට පත්කර ගැනීමේ වුවමනාව මෑතකාලීන සෑම ආණ්ඩුවකින්ම පාහේ අපට දකින්නට ලැබිණි. පොලිස්පති, අගවිනිසුරු, විගණකාධිපති, මැතිවරණ කොමසාරිස්, නීතිපති වැනි තනතුරුවලට කුමක් හෝ දෝෂාරෝපණයක් එල්ල කර එම නිලධාරියා ඉවත් කිරීම, ඉල්ලා අස්වීමට බල කිරීමට හෝ වැඩ තහනම් කිරීම දැකගත හැකි විය. 

ස්වාධීන රාජ්‍ය සේවයක් යනු එය නොවේ. බලයේ සිටින ජනාධිපතිවරයකුට අවශ්‍ය ලෙස නීතිපතිවරයා නඩු මෙහෙයවන්නේ නම් එතැන නීතියේ ආධිපත්‍යයක් නැත. බලයේ සිටින ජනාධිපතිවරයකුට වුවමනා ලෙස විගණකාධිපතිවරයා රජයේ විගණන කටයුතු කරන්නේ නම් එතැන නිවැරදි මූල්‍ය පාලනයක් නැත. බලයේ සිටින ජනාධිපතිවරයකුට වුවමනා ලෙස පොලිස්පති නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් එතැන ඇත්තේ පොලිස් රාජ්‍යයකි. නීතියේ ආධිපත්‍යය රැකගැනීම සඳහා රටකට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාට කීකරු අගවිනිසුරුවරයකු නොවේ. රාජ්‍යයේ වෙනත් අංශ කොතරම් පවතින රජයකට ගැති වුවත් අප ඉහත කී ඉහළ ම පුටු ටික සකස් කර ඇත්තේ ස්වාධීනව පාලනයවීමේ බලය සහිතව ය. පවතින රජයකට වුවමනා ආකාරයට මැතිවරණ කොමසාරිස්වරයා හෝ අධිකරණය හැසිරෙන්නේ නම් එවැනි රටක ස්වාධීන රාජ්‍ය සේවය මිථ්‍යාවකි. 

එකල අගවිනිසුරු නෙවිල් සමරකෝන් තමන්ට රාජකාරී කිරීමේ දී ඇති වූ දුෂ්කරතා සහ පාලකයන්ගෙන් එල්ල වූ පීඩනය විස්තර කළ ද ඉන්පසුව ඉල්ලා අස්වීමට බලකළ හෝ නෙරපා හරින ලද නිලධාරීන් ගෙදර ගියේ මුනිවත රකිමිනි. එම මුනිවත කැඩීමට හැකිවී නම් නෙවිල් සමරකෝන්ටත් වඩා දැඩි රාජකාරී පීඩනයක් ගැන ගැන ඔවුන් හෙළිදරව් කරනු ඇත. පොලිස්පතිවරුන්, අගවිනිසුරුවරුන්, නීතිපතිවරුන් කරන රාජකාරිය අපක්ෂපාත විය යුතුව තිබිය දී එය පක්ෂපාතව කටයුතු කළ යුතු බවට නියෝග දෙන බලවතුන් පාලනයේ රැඳී එම අවංක නිලධාරීන් විශ්‍රාම යාම පාලකයන්ට ජයග්‍රහණය වුවද සුපිළිපන්න සමාජයකට එය මහත් හානියකි. ලංකා සමාජයේ බහුතරයක් එවැනි අවංක නිලධාරීන් ගැන මුනිවත රැකීම රටේම අභාග්‍යයකි. 

ප්‍රේමකීර්ති රණතුංග