යහපාලන ආණ්ඩු කාලේ අපි කාලා බීලා හිටියා කියලා ජනතාව අද කියනවා


සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න 

  • රාජ්‍ය අනුග්‍රහය ඇතිව පාර්ලිමේන්තුව ඇතුළේ කාන්තාවන් හිංසනයට ලක් කරනවා නම් අපි කොහොම ද පාර්ලිමේන්තුව ඇතුළේ කාන්තා නියෝජනය වැඩි කර ගන්නේ. කොහොම ද කාන්තාවන්ට එන්න කියන්නේ.
  • අද බඩු මිල අඩු වෙලා තියෙනව ද? තුන්වේල කාපු මිනිසුන්ට අද එක වේලක්වත් කන්න පුළුවන් ද? ලෙඩෙකුට සුප් එකක් බොන්න එළවළු ටික තියෙනව ද?

 

අයවැය සම්බන්ධයෙන් හා පාර්ලිමේන්තුවේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න මහත්මිය සමග කළ සාකච්ඡාවකි. 

 

ප්‍රශ්නය- අයවැයෙන් කාන්තාවන් ගැන කිසිම අවධානයක් යොමු කරලා නෑ කියලා සමගි ජනබලවේගය කියනවා. ඔබත් එය අනුමත කරනව ද?   
 
පිළිතුර- අනිවාර්යයෙන්ම ඔව්, යෝජනා 52ක් තියෙනවා. ඒ යෝජනා 52 ඇතුළේ කාන්තාවන්ට කිට්ටු වෙන්න තියෙන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. මේ බජට් එක හදන්න කලින් ඒ කමිටුවට පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය හැටියට අපි යෝජනා මාලාවක් දුන්නා. ඇත්තටම කිව්වොත් ඒ ගැන අවධානය යොමු කරලා නෑ.   
 
ප්‍රශ්නය- මොනව ද ඔබලා ඉදිරිපත් කරපු යෝජනා?   
 
පිළිතුර - අපි යෝජනා කළේ විශේෂයෙන්ම රටේ ආර්ථික ප්‍රවාහයට කාන්තාවන් එකතු කර ගන්න කියලයි. ඒ වගේම කාන්තාවන්ගේ පෝෂණය මෙන්ම දරුවන්ගේ පෝෂණය ගැන අපි යෝජනා ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී අයවැයක් දෙන්න කියලා අපි ඉල්ලුවා. අද ලෝකයේ තියෙන්නේ එහෙම අයවැයවල්. අපට වඩා පහළින් ඉන්න රටවලුත් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් සංවේදී අයවැය තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් අපට තාම එතැනට කිට්ටු වෙන්න බැරි වෙලා තියෙන්නේ.
   
ප්‍රශ්නය- මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කිව්වා ලෝක තත්ත්වයත් රටේ තත්ත්වයත් එක්ක ගත්තාම හොඳ අයවැයක් ඉදිරිපත් කළේ කියලා.   
 
පිළිතුර - නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියනවනේ.   
 
ප්‍රශ්නය- කොවිඩ් වසංගතයත් සමග ජනතාවට සහන දෙන්න පුළුවන් කියලා ඔබ හිතනව ද?   
 
පිළිතුර - දැන් මෙහෙම කියමුකෝ. මේ කොවිඩ් වසංගතය අපේ රටට පමණක් බලපාපු එකක් නෙවෙයිනේ. මේක ලෝක වසංගතයක්. දකුණු ආසියාවෙම බොහෝ රටවල් මේ අර්බුදය හමුවේ ආර්ථිකය ගොඩ නගා ගෙන තියෙනවා. එතකොට මේ ආර්ථිකය කඩා වැටුණේ කොවිඩ් වසංගතය නිසා කියලා මේ අය ගේන තර්කයත් එක්ක මම එකඟ නෑ. මොක ද මේක කඩා වැටුණේ මේ අයගේ ආර්ථික කළමනාකරණයේ තියෙන වැරැදි නිසයි. ඒකට කොව්ඩ් වසංගතයට බැනලා වැඩක් නෑ. මේ අය ආපු ගමන්ම ජනාධිපතිතුමා පළමු කැබිනට් රැස්වීමේදීම මොකක්ද කළේ. ඍජු බදු අඩු කරලා වක්‍ර බදු ටික ඉතිරි කළා. ඒක තුළ රජයට අයිති වෙන්න තිබුණු බදු විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඒවත් බලපෑවා.   
 
ප්‍රශ්නය- ජනාධිපතිවරයා කියනවා ‘විපක්ෂ හරියට කතා කරන්නේ ආණ්ඩු නොකළා වගෙයි’ කියලයි. යහපාලන ආණ්ඩුවේ ඔබත් හිටියා?   
 
පිළිතුර - පහුගිය කාලේ බලන්න අපි රජයේ සේවකයන්ට සියයට 107 කින් වැටුප් වැඩි කළා. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කළා. ඉන්ධන මිල අඩු කළා. ජනතාවම අද කියනවා. යහපාලන ආණ්ඩුව කාලේ අපි කාලා බීලා හිටියා කියලා.   
 
ප්‍රශ්නය- ඒ අතරේ බෝම්බත් කෑවා.?   
 
පිළිතුර - ඒ බෝම්බ කෑම ගැන සමාජය තුළ විවිධ කියැවීම් තියෙනවනේ. පාස්කු ප්‍රහාරය කොහොම ද වුණේ කියලා විවිධ කියැවීම් අද තියෙනවා. බෝම්බ ගැහුවේ ආණ්ඩුවෙන් නොවෙයිනේ. ඒක බාහිර බලවේගයන්ගේ ප්‍රහාරයක්. එතෙක් වෙනකම් මේ ගොල්ලෝ අපට වට්ටලා දීපු ආර්ථිකය අපි වර්ධනය කළා. පාස්කු ප්‍රහාරයත් එක්ක තමයි අපේ රටේ ආර්ථිකය කඩා වැටුණේ. ඒක කළේ කවු ද කියන එක පිළිබඳව විවිධ කියැවීම් තියෙනවා. ඒවා එළියට ආපු දවසට තේරෙයි කොහොම ද වුණේ කියලා. අද තත්ත්වය ගත්තොත් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවෙලා තියෙනව ද? අද බඩු මිල අඩු වෙලා තියෙනව ද? තුන්වේල කාපු මිනිසුන්ට අද එක වේලක්වත් කන්න පුළුවන් ද? ලෙඩෙකුට සුප් එකක් බොන්න එළවළු ටික තියෙනව ද? අද ගෑස් ටැංකි තැන තැන පුපුරනවා. අද පුපුරන්නේ ගෑස් බෝම්බ. මේවා ආණ්ඩුවම කරන දේවල්. ඇන්ටිජන්වලින් ගසා කනවා. එන්නත්වලින් ගසා කනවා. නැනෝ දියරෙනුත් ගසා කනවා. හොඳයි ද එදාට වඩා අද?   
 
ප්‍රශ්නය- ගුරු වැටුප් ප්‍රශ්නය විසඳුවා. ඒ නිසා ගුරු සටන් නෑ. පොහොර ප්‍රශ්නය - පොහොර ප්‍රශ්නය විසඳපු නිසා ගොවි සටන් නෑ. දැන් ඔබලාට අලුත් සටන් පාඨයක් හොයා ගන්න වෙයි.   
 
පිළිතුර - අපි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී ඉන්නවා මිසක් ප්‍රශ්න ඉණිමං කරගෙන උඩට යන්න හදන්නේ නැහැ. ඒක පළමුව කිව යුතුයි. ගුරුවරුන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් කෑ ගැහුවේ අපි ගුරුවරයා කියන කෙනා මේ සමාජයට විශාල සේවයක් කරන කෙනෙක්. ගුරුවරයා අතෘප්තිමත් නම් දරුවාට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ. ඒ වගේම මේ ගොල්ලෝ දෙනවා කිව්වට මට නම් දෙන කම් ෂුවර් නෑ. පසුගිය වසරේ අයවැයේදිත් කිව්ව දේවල් සහ වෙච්ච දේවල් අපට මතකයි. මේ අයවැයෙන් ගුරු වැටුප් විෂමතාව තුරන් කරන්න මුදල් වෙන් කළා කියල කිව්වට ඒක ලැබෙනකම් යම් ප්‍රශ්නයක් තියෙනවා. කෘෂි කර්මාන්තය අරගත්තොත් මේ ගොල්ලෝ මුලින්ම මොක ද කළේ ? එක රැයින් කාබනික පොහොරට ගියා. එතකොට මොකක්ද වුණේ? දැන් මහ කන්නයට මොකක්ද වෙලා තියෙන්නේ. කුඹුරු ටික වපුරපු මිනිසුන්ට පොහොර ටික නෑ. අර අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලය වහනවා වගේ වැඩක් තියෙන්නේ. අද කෘෂිකර්මාන්තයේ යෙදෙන භූමියෙන් තුනෙන් එකක් පමණයි වගා කරලා තියෙන්නේ. තුනෙන් දෙකක වගාව අත් හැරලා තියෙන්නේ. මේ අස්වැන්න කඩා වැටීම සාගතයකට හේතුවක් වෙන්න පුළුවන්. මේ අය පොහොර නැවැත්තුවේ වකුගඩු රෝගය හැදෙනවා කියලනේ. පොහොරවල තියෙන බැර ලෝහ නිසා වකුගඩු රෝගය හැදෙනවා කියලා කිව්වා. රජයේ පර්‌යේෂණ ආයතනයේ වෛද්‍ය වසන්ත දොඩම්පහළ මහත්තයා වාර්තාවක් දුන්නා කියලා මම දැක්කා වකුගඩු රෝගයට හේතුව බැර ලෝහ නොවෙයි ජලයේ තියෙන වෙනත් හේතුවක් නිසා කියලා. අපි හිතමු වකුගඩු රෝගය හැදෙන්නේ බැර ලෝහ නිසාම තමයි කියලා. එතකොට මේ පොහොර ආණ්ඩුව ගෙන්වන්නේ නැතිව පෞද්ගලික සමාගමකට ගෙන්වීමට දීම තුළ මේ සමාජය ඇතුළේ දැන් සැකයක් තියෙනවා. එතැනත් මොකක් හරි යටිමගඩියක් තියෙනව ද කියලා.   
 
ප්‍රශ්නය- ඇත්තටම පාර්ලිමේන්තුව තුළ ඉන්න භය නැද්ද?   
 
පිළිතුර - මේ විදියට නම් ඉතින් භය තමයි. අපි දැන් කාන්තා නියෝජනය වැඩි කරන්න කියලා කෑ ගහනවා. දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ කාන්තාවන් දොළොස් දෙනායි. අපි එහෙම කෑ ගහනකොට එළියේ ඉන්න කාන්තාවන් අහන්න පුළුවන් ’උඹලා අපිට එන්න කියන්නේ උඹලටත් බේරිලා ඉන්න බැහැනේ කියලා. එහෙම අහන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න ඒ විනය පවත්වාගෙන යා යුතු මිනිස්සු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල තියෙනවා එවැනි අවස්ථාවක හැසිරෙන්න ඕනෑ කොහොම ද කියලා. ඒත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පාර්ලිමේන්තුව ඇතුළේ කාන්තාවන් හිංසනයට ලක් කරනවා නම් අපි කොහොම ද පාර්ලිමේන්තුව ඇතුළේ කාන්තා නියෝජනය වැඩි කර ගන්නේ. කොහොම ද කාන්තාවන්ට එන්න කියන්නේ. මේ රටේ කාන්තාවන්ට ආදරය කරන ගරු කරන පිරිමි තමන්ගේ බිරින්ඳෑවරු, මව්වරු, දියණිවරු එවයි ද දේශපාලනයට. මොක ද මේ ජාතියේ බාප්පලා, අප්පච්චිලා, මහප්පලා ඉන්න ආණ්ඩුවක්නේ මේ. එතකොට කාන්තාවන්ට සලකන හැටි ගැන බලවත් අප්‍රසාදයක් තියෙනවා.   
 
ප්‍රශ්නය- ‘වම්බටු’ කතාව කියපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කියනවා. ‘මම වල් නෑ. අහගෙන හිටපු අයයි වල්’ කියලා.   
 
පිළිතුර - එයාගේ හැටියට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඒ ප්‍රකාශයට එරෙහිව සටන් කරනවනේ. එතකොට තිස්ස කුට්ටි ආරච්චි හැර අනෙක් සියලුම දෙනා වල් කියල ද එතුමා කියන්නේ. මට විතරක් නොවෙයි සමස්ත කාන්තා පරපුරටම එතුමා නැවත වතාවක් අපහාස කරනවා. මම දකිනවා එතුමගේ පක්ෂය නියෝජනය කරන මේ රටේ කාන්තාවන් බොහෝ ලෙස ආදරය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා. තිස්ස කුට්ටිආරච්චි මහත්තයාට කියනවා බොහොම සංයමයකින් මම මෙහෙම කියන්නේ ඔය කිව්ව කතාව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නෝනා, ලේලිලා ටික, ඊළඟට ජනාධිපතිතුමාගේ බිරිඳ, එතුමාගේ ලේලිය, බැසිල් රාජපක්ෂ මහත්තයාගේ බිරිඳ, එතුමගේ දියණිය මේ සේරම අය ගෙනල්ලා තාත්තලා, පුතාලා, ඔක්කොම එකට තියලා මේ කතාව ආපහු අහන්න කියන්න. ඒ අය කිව්වොත් ඒ කතාව ශිෂ්ටයි කියලා එහෙමනම් අපිත් ඒක ශිෂ්ටයි කියලා පිළිගනිමු. වෙන කරන්න දෙයක් නෑනේ. 
 
ප්‍රශ්නය- කතානායකවරයා අවවාද කළා නේද ඒ මන්ත්‍රීවරයට. 
 
පිළිතුර - ඒ මන්ත්‍රීතුමා ඒ අවවාදය පිළිගන්න සූදානම් නැහැනේ. එතකොට කතානායකතුමාවත් ඉක්මවා ගිහින් තියෙනවනේ. ඒකට කතානායකතුමා ගන්න පියවර කුමක් ද? මෙයින් පස්සේ පාර්ලිමේන්තුව ඇතුළෙ වාචිකව නොවෙයි ශාරීරික ලිංගික හිංසනයක් කළත් මං හිතන්නේ නෑ කතානායකතුමාට පියවරක් ගන්න පුළුවන් වෙයි කියලා.  මීට කලිනුත් තලතා අතුකෝරාළ මැතිනිය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කළා යම්කිසි පැමිණිල්ලක්. එතැන දී කතානායකතුමා මට අවවාද කරලා ලිපියක් යොමු කළාද? සමාජය නොමග යවන්න එපා කියලා. එදා හරි දඬුවමක් ලැබුණා නම් අද තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීතුමා මේ විදියට හැසිරෙන්නේ නෑ. මේක සිද්ධ වුණේ අපේ පාර්ශ්වයෙන් නම් මම ඒත් එළියට බහිනවා. 
 
 
සාකච්ඡා කළේ
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්