මොළය තියෙන මිනිස්සු ඔය බොරු ගිලින්න සූදානම් නෑ


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
ආචාර්ය හර්ෂ ද සිල්වා

 

  • දොළොස් දාහකට වැඩියෙන් අපේ රටේ මිනිස්සු මැරිලා. මේ මරණවලට කවුද වගකියන්නේ? මුට්ටි ගඟට දාලා, පැණි බීලා මිනිස්සු දොළොස් දාහක් මැරුණාට පස්සේ එනවා නම් කියන්න ‘හොඳටම කළේ අපි’ කියලා ඒගොල්ලෝ ඉන්නේ වෙන ලෝකයක.

 

 

​රටේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය - ලෝකයේ සාර්ථකම එන්නත්කරණය කළ රටවල් 10 අතරට අපේ රට ආවා. ඔබ මේ ගැන කියන්නේ මොකක්ද?


පිළිතුර - ඒක අපිට පිළිගන්න බෑ. මොකද අපි මෙතැනදී බලන්න ඕනැ කොච්චර මිනිස්සු මැරිලද කියලයි. අපේ මිනිස්සු දොළොස් දාහක් මාරුණා. ඒ මිනිස්සු දොළොස්දාහ මැරුණේ රජය හරි වෙලාවට කළ යුතුදේ නොකරපු නිසා.


ප්‍රශ්නය -  මොනවද ඒ නොකරපු දේවල්?


පිළිතුර - ඉන්දියන් වයිරස් එක එනකොට විශේෂඥ වෛද්‍යවරු කියන කොට වහාම ක්‍රියාත්මක වෙන්න කියලා ඒක කළේ නෑ. අවුරුද්දට රට අරින්න ඕනෑ කියලා රට ඇරියා. ඒකෙන් තුන්වැනි රැල්ල ආවා. ඊට කලින් ආචාර්ය ජෙහාන් ගුණතිලක දත්ත සමග පෙන්නලා කිව්වා ජනවාරි 28 වැනිදා එම්.එම්.ආර්. එකෙන් අනුමැතිය ලැබුණ ඇස්ට්‍රා සෙනිකා එන්නත ඕඩර් කරන්න කියලා. නමුත් මාසෙකට වඩා ඒක පරක්කු කළා. ඒ මාසෙක පරක්කුව නිසා මිනිස්සු දහස් ගාණක් මැරුණා. ඊට පස්සේ මහාචාර්ය රවි රංගම්පිටිය කියලා තිබුණා මේක අපරාධයක් මේ අය කරන්නේ කියලා. දැන් ඇවිත් කියනවා නම් එන්නත් ගහලා ලෝකයේ හොඳම රටවල් දහයට ඇවිත් තියෙනවා කියලා ඒවා හොඳයි වහලුන්ට කියන්න. මොළය තියෙන මිනිස්සු ඔය බොරු ගිලින්න තවදුරටත් සූදානම් නෑ. දොළොස් දාහකට වැඩියෙන් අපේ රටේ මිනිස්සු මැරිලා. මේ මරණවලට කවුද වගකියන්නේ. මුට්ටි ගඟට දාලා, පැණි බීලා මිනිස්සු දොළොස් දාහක් මැරුණාට පස්සේ එනවා නම් කියන්න ‘හොඳටම කළේ අපි’ කියලා ඒගොල්ලෝ ඉන්නේ වෙන ලෝකයක.


ප්‍රශ්නය -  ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධයෙන් විපක්ෂය විවිධ කතා කියනවා. ඔබ මොකද හිතන්නේ ඒ ගැන?


පිළිතුර - නීතිපති දෙපාර්තමේන්තුවෙන් කියලා තිබුණේ ඕක ඇතුළේ මාෆියා එකක් තියෙනවා කියලා. දත්ත මකන එකයි වසංගතයට සම්බන්ධ ඖෂධ හා උපකරණ ආනයනය කරන එකයි මේ සියලු දේ අතර ලොකු මාෆියාවක් තියෙනවා කියලා නීතිපතිවරයා කියනවා උසාවියට. ඒක මම කියන්න අවශ්‍ය නෑනේ. නීතිපතිවරයාම කියනවනේ. අනිත් එක තමයි ඔය චීන එන්නත අපි මිලියන 15 ක් 16 ක් ගත්තා. ඒක ගත්තේ ඩොලර් 15 ගානේ. ඒ කියන්නේ සියයට පනහක් අපි වැඩිපුර ගෙව්වා. ඇස්ට්‍රා සෙනිකා එක ඩොලර් 5 ද කොහෙද. ෆයිසර් එක ඩොලර් හතයි ගානක්. ෆයිසර් එක ගහන්න ඕනැ කියලා ගොඩක් දෙනෙක් සයිනොෆාම් එක ගහන්නේ නැතිව ඉන්නවා. අද වෛද්‍යවරු කියනවා මේක ලොකු ප්‍රශ්නයක් කියලා.


ප්‍රශ්නය -  එන්නත්කරණ වැඩේ අවුල් කරන්න විවිධ අය එක එක බිල්ලෝ මවනවා.


පිළිතුර - බිල්ලෝ නොවෙයි. ගිය ඉරිදා මම කෝට්ටේ මගෙ ආසනයේ ගංගොඩවිල එම්.ඕ.එච්. කාර්යාලයට ගියා. මම විනාඩි 30 ක් එතැන හිටියා. එක දරුවයි ආවේ වැක්සීන් එක ගහන්න. එතැන එම්.ඕ.එච්. දොස්තර මහත්තයයි මමයි නර්ස්ලා අපි ඔක්කොම වාඩිවෙලා බලාගෙන හිටියා. එක අම්මා කෙනෙක් එක දුවෙක්ව එක්කගෙන ආවා. තරුණ පරපුර අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා.


ප්‍රශ්නය - ඔබලත් ඔය මතවාද පතුරවනවා. සෞඛ්‍ය විශේෂඥයන් කියන්නේ ‘ලැබෙන එන්නත හොඳම එන්නත’ කියලයි?


පිළිතුර - සෞඛ්‍ය බලධාරීන් කියන කතාව ඇත්ත වෙන්නැති. ඒ වුණාට මිනිස් හැසිරීමේ ස්වභාවයක් තියෙනවනේ. යොහානිගේ සින්දුව ඇයි මෙච්චර ලෝකය පුරා පැති​රුණේ. අමිතාබ්බච්චන් කිව්වම මේක හොඳයි කියලා ඊට පස්සේ හැමෝම හොඳයි කියන්න පටන් ගත්තා. ඒක රැල්ලට ගියා. හොඳ දේත් රැල්ලට යනවා. නරක දේත් රැල්ලට යනවා. මෙතැන තරුණ අය කියනවා අපට ෆයිසර් එක ඕනෑ කියලා. ඒක රැල්ලට ගිහින්.


ප්‍රශ්නය - ඒක තමයි මම කිව්වේ ඔබලා මේ මතවාද ප්‍රවර්ධනය කරනවා කියලා.


පිළිතුර - ප්‍රවර්ධනය කරනවා නොවෙයි. රාජපක්ෂලාගේ හම්බන්තොටට ගැහුවෙ ෆයිසර් එකනේ. එහේ තරුණ අයට සයිනොෆාම් එක ගැහුවේ නැත්තේ හම්බන්තොට, වීරකැටිය, මැදමුලනේ... ඊට පස්සේ මාතර ඒගොල්ලන්ගේ නෑයෝ ඉන්න පළාත්වල ෆයිසර් එක ගැහුවා.


ප්‍රශ්නය -  ඒ පළාත්වල ජීවත් වෙන්නෙත් රටේ ජනතාව?


පිළිතුර - නෑයෝ ඉන්න නිසා තමයි ෆසියර් එක ගැහුවේ. අඩුගානේ ජනාධිපතිතුමා අගමැතිතුමා ගහපු එන්නත මොකක්ද කියලා අපි දන්නේ නැහැනේ. හැම රටේම වගේ පෙන්වනවා අපේ ගැහුවේ මේකයි කියලා. මෙහෙ කියන්නේ නෑ රාජපක්ෂලා ගැහුවේ මොන එන්නතද කියලා කියන්නේ නෑනේ. ෆයිසර් එන්නත ගෙන්නුවා බර ගානක් ඩොලර් 19 ගානේ. නේපාලයට, බංගලාදේශයට පවා දුන්නේ ඩොලර් 10 ට. නමුත් අපි සියයට 50 ක් වැඩිපුර ගෙව්වා. ඇමෙරිකාවේ ෆයිසර් එක ගෙන්නුවේ ඩොලර් හතයි ගානට. එතකොට සියයට සීයක් වැඩියි. ඊට පස්සේ කිව්වා ඉනෝවැක්ස් ගේනවා කියලා. ඒකේ ගාන ඇසීමත් තහනම් කිව්වා. ගාන පේන්නේ නෑ කිව්වා. මතකනේ ඕවා පිටිපස්සේ විශාල අක්‍රමිකතා තියෙන බව තමයි බැලූ බැල්මට පේන්නේ.


ප්‍රශ්නය - ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකුණේ යහපාලන ආණ්ඩුව කාලේ කරපු කෝටි ප්‍රකෝටි ගණන් වංචා හොයන්න ගත්තම කියලා රාජ්‍ය ඇමැති චන්න ජයසුමන කිව්වා.


පිළිතුර - ඔය රාජ්‍ය ඇමැතිවරයා කියන කිසි දෙයක් අපි නම් පිළිගන්න සූදානම් නැහැ?


ප්‍රශ්නය -  මහ බැංකු අධිපති ධුරයට අජිත් නිවාඩ් කබ්රාල් පත් කළාට ඔබලා බොහෝම කලබල වුණා.


පිළිතුර - මේ ලෝකයේ වැදගත් කියන රටවල් සහ ඇත්තටම දියුණු වන රටවල් දේශපාලනය සහ මහ බැංකුව අතර විශාල වෙන් කිරීමක් තියෙනවා. මහ බැංකුව කියන්නේ නියාමක අධිකාරියක්. මහ බැංකුව හරහා තමයි සියලු බැංකු ඒ වගේම බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය වෙන්නේ. අනික් පැත්තෙන් මහ බැංකුව තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මහ බැංකුවයි දේශපාලනඥයයි අතර ලොකු වෙන් කිරීමක් තියෙනවා. ඒක කණ්ඩායම් දෙකක්.


ප්‍රශ්නය -  අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමැතිවරයෙක් වුණාට හිටපු මහ බැංකු අධිපතිවරයෙක්.


පිළිතුර - මම එතැනට එන්නම්. දැන් සල්ලි අච්චු ගහනවා කියන්නේ මම අහගෙන කවුද කියනවා සිංගප්පූරුවේ මුදල් මණ්ඩලයේ දේශපාලනඥයෙක්ලු ඉන්නේ කියලා. සිංගප්පූරුව, හොංකොං වාගේ රටවල්වල මහ බැංකුවට මුදල් අච්චු ගහන්න බෑ. ඒක නීතියේ තියෙනවා. මුදල් අච්චු ගහන එක කියන්නේ ආණ්ඩුවකට සල්ලි නැති වුණාම. ඉතාම අමනෝඥ විදියට ලැබෙමින් තිබුණු බදු මුදලුත් එපා කියලා ජාවාරම්කාර කණ්ඩායමකට බදු සහන දීලා. ඊට පස්සේ මුදල් පනත හරහා කළු සල්ලි සුදු කර ගන්න ඉඩ දෙන ආණ්ඩුව පස්සේ කියනවා දැන් සල්ලි නෑ අපිට. ඒ නිසා සල්ලි අච්චු ගහලා දෙන්න කියලා. එතකොට මහ බැංකුව කියනවා නම් ‘හරි හරි අපි ඒක කරලා දෙන්නම්, කිසි ප්‍රශ්නයක් නෑ, සල්ලි අච්චු ගැහුවම උද්ධමනය වැඩි වෙන්නේ නෑ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැටෙන්නේ නෑ’ කියලා. එහෙම කියන දේශපාලනඥයෙක් මහ බැංකුවේ මහ පුටුවට ගෙනැල්ලා කියනවා නම් ‘ස්වාධීනව වැඩ කරනවා’ කියලා මේ රටේ ජනතාවට විශාල කරුමයකට ඉදිරියේදී මුහුණ පාන්න වෙනවා. ඒ නිසා යහපත් පාලනයක් තියෙන රටවල්වල මෙහෙම දෙයක් වෙන්නේ නෑ.


ප්‍රශ්නය - දේශපාලනඥයෙක් ආපු එක ගැන විවේචනය කරන ඔබලා ඔබලාගේ ආණ්ඩුව කාලේ මහ බැංකු අධිපති කළේ සිංගප්පූරු ජාතිකයෙක්?


පිළිතුර - එහෙනම් මුදල් ඇමැති ඇමෙරිකානු පුරවැසියෙක්නේ. දැන් ඉන්න ජනාධිපති එයාගේ ඇමෙරිකානු පාස්පෝට් එක බාර දුන්නේ ජනාධිපතිවරණයට ඉදිපත්වීමට පමණයි. මුදල් ඇමැති ඇමෙරිකන් පුරවැසියෙක් නම් තවත් මොනවද කතා කරන්නේ.


ප්‍රශ්නය -  අලුත් ව්‍යවස්ථාවට අනුව ඇමැති ධුරයක් දරන්න ඒක බාධාවක් නොවෙයි.


පිළිතුර - කොහොමත් නීතිය අනුව ප්‍රශ්නයක් නෑ. අපට මතකනේ පෝර්ට් සිටි එකේ නඩුවේදී රජය වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥයා කිව්වා’ ආණ්ඩුව ඕනෑ නම් පිරටර පුරවැසියෙක් ගෙනල්ලා පෝර්ට් සිටි එකේ සභාපති හැටියට විතරක් නොවෙයි අගවිනිසුරු ධුරයටත් පත් කරන්න පුළුවන්’ කියලා. මතකනේ. මේවා මේ කබරගොයා තලගොයා කරගන්න වැඩ. ඒගොල්ලන්ට ඕනෑ වෙලාවට ඒවා හොඳයි. ඕන් නැති වෙලාවට නරකයි. මෙතැන තියෙන්නේ මහ බැංකුව දේශපාලනීකරණය වීම පිළිබඳව ප්‍රශ්නයක්. ලංකාවේ පළමු වැනි බැංකු අධිපති ශ්‍රී ලාංකිකයෙක් නොවෙයි. පුරවැසි භාවය පිළිබඳව නොවෙයි මෙතැන තියෙන සාකච්ඡාව. මේක ප්‍රතිපත්තිමය කාරණාවකටත් වඩා සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. හරි හැබැයි අනික් එක මුදල් මණ්‍ඩලයෙ මුදල් පනතේ තියෙනවා මන්ත්‍රීවරයකුට කිසිසේත්ම මුදල් මණ්ඩලයේ අධිපති වෙන්න බෑ කියලා. එයා කියනවා එයා පැය හයකට මන්ත්‍රීවරයෙක් වෙලා හිටියේ නෑලු. එහෙම ආණ්ඩුව කියනවා. එතකොට ඒක හරිද? මෙයා පොහොට්ටුවේ සංවිධායකවරයෙක්.


ප්‍රශ්නය - හම්බන්තොට වරාය චීනයට විකුණපු යහපාලන ආණ්ඩුවේ හිටපු අයට කෙරවලපිටිය බලාගාරයේ සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට දීම වැරැදියි කියන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවාද?


පිළිතුර - උදාහරණයක් හැටියට අන්තිමට සින්නක්කරව වික්කේ වරාය නගරයේ අක්කර පනහක්. ඊට කලින් වික්කේ යුද හමුදා මූලස්ථානය. 2015 ඡන්දෙදී අපි දීපු පොරොන්දුවක් තමයි මේ පෝර්ස් සිටි එකේ විකුණපු ඉඩම් කොටස නැවත ගන්නවා කියලා. ඒ නිසා අවුරුද්දක් ඒ ඉදිකිරීම් ප්‍රමාද වුණා. හැබැයි ඒක නැවත ගත්තා. එහෙම අරගෙන අවුරුදු අනූ නවයේ බද්දට ඒක දෙන්න වුණා. ඒ ආණ්ඩුව අත්සන් කරලා තිබුණ එකඟතා නිසා. ඊට පස්සේ කිසිම ආණ්ඩුවක් සින්නක්කරයට කිසිම ආයතනයක් විකුණලා නෑ. දශක ගණනාවකට පස්සේ සින්නක්කරයට වික්කේ යුගදනවි බලාගාරයෙන් සියයට 40 ක්.


ප්‍රශ්නය - මේ මොහොතේ රටේ ආර්ථික තත්ත්වයේ දිහා බැලුවම වෙන විකල්පයකුත් නෑ.


පිළිතුර - විකල්පයක් නෑ කියලා රටේ සම්පත් විකුණන්න දෙන්න බෑ. සින්නක්කරයට විකුණනවා කියනවා පෞද්ගලිකරණය කිරීමක්. මේකෙ හොඳ නරක ගැන කතා කරනවාට වඩා බලන්න කාරණා තියෙනවා. 1994-1995 දී විතර මංගල සමරවීර ඇමැතිතුමා ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් සියයට 40 ක් ජපන් සමාගමකට වික්කා. ඒ සමගම එතුමා කරපු ඒ වැඩ පිළිවෙලත් අවුරුදු දහයක් විතර අකර්මන්‍ය වෙලා තිබුණා. දුරකථන වෙළෙඳ පොළට තරඟකාරිත්වය ගෙනල්ලා සන්නිවේදන ක්ෂේත්‍රයේ විශාල විප්ලවයක් කළා. තරඟකාරීත්වය මත සන්නිවේදන වෙළෙඳපොළ ගොඩ නැගුවා. එදා මංගල කළේ සියයට 40 ක් පෞද්ගලිකකරණය සමග වෙළෙඳපොළ විවෘත කිරීමයි. යුගදනවි බලාගාරයේ ප්‍රශ්නය තියෙන්නේ ඒක අැමෙරිකාවද චීනයද ඉන්දියාවද කියන කාරණය නොවෙයි. මෙතැන කරලා තියෙන්නේ කිසිම සංවාදයක් නැතිව කැබිනට් මණ්ඩලයේදීවත් සාකච්ඡා කරන්නේ නැතිව කෙළින්ම රෑ 12 යි 6 ට අත්සන් කරලා. විකුණලා. විකිණීම පමණක් නොවෙයි ඒකාධිකාරියක් දීලා. ඒ ආයතනයට මේ සමාගම මුලින්ම ආවේ එල්.එන්.ජී. සපයන්න විතරයි. ඊට පස්සේ කිව්වා ඒක මදි දිගින් දිගටම කාලය දික් කරන්න කියලා. සොබා දනව් කියලා තව එකක් හදනවා කිව්වා. ඒක දූෂිත පොකුරක්. ආණ්ඩුව මේ යන්නේ එහෙම ගමනක්. රටේ සම්පත් කුණුකොල්ලයට විකුණලා ඔවුන්ගේ මඩිය තර කර ගන්නවා. අපි බලමු ඊළඟට වෙන්නේ මොකක්ද කියලා.

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්