මේක දේශපාලන වාසි ගන්න වෙලාවක් නොවෙයි


ගෑස් සපයන සමාගම්වලට අපි ගෙවන්න තියෙනවා. අපේ ඉන්ධනවලට තියෙන්නෙත් ඒ ප්‍රශ්නයමයි. අවුරුදු ගානක් තිස්සේ ලංකාවට ඉන්ධන සපයලා තියෙන ආයතනවලට ඩොලර් මිලියන 700ක් ගෙවන්නවෙලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මෙතැන හොරකමක් වෙලා තියෙනව කියලා කියන්න බෑ.

 

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. රට මේ අර්බුදයෙන් ගොඩගන්න ඔහු සමත්වේද? ඔහු ඉදිරියේ ඇති අභියෝග මොනවාද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධයෙනි.

 

?ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් රනිල් වික්‍රමසිංහ අගමැති වුණාම විසඳෙයි කියලා කිව්වා. දැන් සාධාරණ කාලයක් ගතවෙලා. මිනිස්සු තාම පෝලිම්වල.   


මේ රටේ ආර්ථික අර්බුදය මාසෙකින් දෙකකින් විසඳන්න බෑ. අද රට බංකොලොත් වෙලානේ තියෙන්නේ. බංකොලොත් රටක් තමයි අග්‍රාමාත්‍යතුමා බාර ගත්තේ. ඒ බංකොලොත් බවින් රට බේරා ගන්න මාසෙකින් දෙකකින් බෑ. එහෙම වෙන්නේ නෑ. මේ අවස්ථාවේ එතුමා පුළුවන් තරම් බලනවා ප්‍රශ්නය ඉක්මනින් විසඳන්න. මේ සතිය වෙනකොට ගෑස් ප්‍රශ්නය නම් විසඳෙයි. ඉන්ධන ප්‍රශ්නයටත් විසඳුම් හොයාගෙන යනවා. ඒකට මූලික ප්‍රශ්නය තමයි ඩොලර් ප්‍රශ්නය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එතුමා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා බොහෝ දුරට සාර්ථකයි. ජපානය, ඉන්දියාව ඇතුළු යුරෝපයේ රටවල් ගණනාවක් අපට උදව් කරන්න ඉදිරිපත් වෙයි. ඒ හරහා ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලැබේවි.   


?රටේ මෙච්චර ප්‍රශ්න තිබියදීත් ගසා කෑම් නතර වෙලා නෑ කියන එක ලිට්‍රෝ ගෑස් සමාගමට අදාළව කෝප් කමිටුවේදී හෙළි වුණා?   


ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රශ්නය ගැන තවම සොයාගෙන යනවා. ගෑස්වලට ක්ෂණික විසඳුමක් අවශ්‍ය නිසා තමයි ඒ ඕඩර් එක දාන්න වුණේ. එතැන මූල්‍ය සොරකමක් වෙලා තියෙනවා නම් ඒක කෝප් කමිටුවේදී හෙළි වෙයි. එහෙම හොරකමක් වෙලා තියෙනවා කියලා තවම අනාවරණය වෙලා නෑ.   


?ලිට්‍රෝ සමාගම තියෙන්නේ අගමැතිවරයා යටතේ?   


ගෑස් සපයන සමාගම්වලට අපි ගෙවන්න තියෙනවා. අපේ ඉන්ධනවලට තියෙන්නෙත් ඒ ප්‍රශ්නයමයි. අවුරුදු ගානක් තිස්සේ ලංකාවට ඉන්ධන සපයලා තියෙන ආයතනවලට ඩොලර් මිලියන 700ක් ගෙවන්නවෙලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මෙතැන හොරකමක් වෙලා තියෙනව කියලා කියන්න බෑ. ආයතන සමග ගනුදෙනු කරනකොට අපට අවශ්‍ය ප්‍රමාණය ගන්න අවශ්‍යයි. 

 
අඩු මිලට ගෑස් සපයන සමාගමට අපේ අවශ්‍ය ප්‍රමාණය දෙන්න බෑ. මුදල අඩු වුණාම අවශ්‍ය ප්‍රමාණය දෙන්න බෑ. ඒ නිසා තමයි වෙනත් සමාගමක් තෝරා ගන්න වුණේ. කෝප් කමිටුවේදී මේවා අනාවරණය වෙයි.   

 

ධම්මික පෙරේරා ඇමැතිතුමාට එහෙම කියන්න අයිතියක් නෑ. කැබිනට් ඇමති කෙනෙක් වෙලා සති දෙකක්වත් නෑ. එතුමා කවදාවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා ඉඳලත් නෑ.


?ජනාධිපති සහ අගමැතිවරයා අතර යහපත් සම්බන්ධතාවක් නෑ. රටේ ප්‍රශ්න උග්‍රවෙන්න ඒකත් එක හේතුවක්.   


අගමැතිතුමාගේ එකම ඉලක්කය තමයි මේ ආර්ථිකය කොහොම හරි ගොඩදාන එක. එතුමා එතුමාගේ ඒ කාර්යභාරය හරියට කරගෙන යනවා. ජනාධිපතිතුමත් එක එක රැස්වීම් පවත්වමින් ඒවා ගැන හොයලා බලනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තේ රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න. එතුමාලා දෙන්නා අතර ප්‍රශ්නයක් තියෙනවා කියල නම් කියන්න බෑ.   


?ජපන් සමාගමකින් අල්ලස් ගත් බවට එල්ල වූ චෝදනාවට නිමල් සිරිපාල ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වුණා. රට මේ කොතැනටද යන්නේ?   


නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා ඒ අවස්ථාවේදී ඉල්ලා අස්වෙලා කිව්වේ විධිමත් පරීක්ෂණයක් කරන්න කියලයි. ඒ වගේම එතුමා අතින් වරදක් වෙලා තියෙනවා නම් දේශපාලනයෙන්ම ඉවත් වෙන්නම් කියලත් එතුමා කිව්වා. මම වැරැදි කරලා නෑ. නමුත් විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා එතුමා කියනවා. එතුමා වරදක් කරලා තියෙනවානම් අනිවාර්‌යයෙන්ම ක්‍රියා මාර්ගයක් ගත යුතුයි.   


?ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා කියනවා රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැති ධුරයෙන් ඉවත්විය යුතුයි කියලා?   


ඇත්තෙන්ම ධම්මික පෙරේරා ඇමැතිතුමාට එහෙම කියන්න අයිතියක් නෑ. කැබිනට් ඇමති කෙනෙක් වෙලා සති දෙකක්වත් නෑ. එතුමා කවදාවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා ඉඳලත් නෑ. පළමු සැරේම ඇමැති කෙනෙක් වෙලා අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා කියනවා. එතුමාට එහෙම කියන්න කිසිම අයිතියක් නෑ. ප්‍රශ්නයක් තියෙනවානම් කැබිනට් එකේදී අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැතුව එළියෙ මාධ්‍ය ඉදිරිපිට අගමැතිතුමාට යන්න කියන්න එතුමාට කිසිම අයිතියක් නෑ.   


?ඇමැති ධම්මික පෙරේරා කියන්නේ ඔහුගේ ඩොලර් ගේන ව්‍යාපෘතිවලට මුදල් ඇමැති හැටියට රනිල් වික්‍රමසිංහ ඉඩදෙන්නේ නෑ කියලයි. 

 
එතුමා ඇත්තටම දන්නේ නෑ ආණ්ඩුවක් කොහොමද වැඩ කරන්නේ කියලා. එතුමා තමන්ගේ ව්‍යාපාර පාලනය කරන විදියට නොවෙයි ආණ්ඩුවක් වැඩ කරන්නේ. ඒක පළමුව එතුමා දැනගත යුතුයි. රටකට ආයෝජන ගේනකොට නීති පද්ධතියක් තියෙනවා. රෙගුලාසි තියෙනවා. ක්‍රමයක් තියෙනවා. ඒවට අනුව තමයි වැඩ කරන්න ඕනෑ. හිතුමනාපේ ඩොලර් ගේන්නත් බෑ. මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරන්න ඕනැ. මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරන්න ඕනෑ. ඒ ක්‍රියාදාමයට යන්න ඕනෑ. එතුමාට මේ ගැන අවබෝධයක් නෑ. ඇත්තෙන්ම එතුමා සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නැති. නමුත් එතුමා දේශපාලනයට ළදරුවෙක්. එතුමාට තියෙන ගැටලු‍ කැබිනට් එකේදී හරි මුදල් අමාත්‍යාංශයට ඇවිත් අගමැතිතුමත් එක්ක කතා කළා නම් ඔය ප්‍රශ්න විසඳගන්න තිබුණා. දේශපාලන ළදරුවෙක් නිසා එතුමා ඒවා දන්නේ නෑ.   


?එක පැත්තකින් කියනවා ​ෙම් රටේ ප්‍රශ්නවලට තියෙන විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා. එජාපයේ ස්ථාවරය?   


මේ අවස්ථාවේදී සියලු‍ දෙනා එකතු වෙන්න ඕනෑ. රට තියෙන්නේ බරපතළ අර්බුදයක බව කුඩා දරුවකුට වුණත් තේරෙනවා. අගමැතිතුමා ඒ ධුරය බාර ගන්නත් පෙරම කිව්වේ සියලු‍ දෙනා එකතු වෙන්න ඕනැ කියලා. එතුමා දැනුත් විවිධ කමිටු හරහා සියලු‍ පක්ෂ එකතු කරගෙන වැඩ කරනවා. 


මේ ප්‍රශ්නවලට වෙන විසඳුම් නෑ. දැනට ඇත්තටම ප්‍රායෝගික නෑ මැතිවරණයකට යෑම. සමහරු එහෙම යෝජනා කරනවා. නමුත් රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ වෙලාවේ මැතිවරණයකට යන්න බෑ.

අගමැතිතුමාගේ උත්සාහය වගේම ස්ථාවරය තමයි රටේ ආර්ථිකය හදලා මේ බිහිසුණු තත්ත්වය තුරන් කරලා රටේ යහපත් පරිසරයක් නිර්මාණය වුණාම මැතිවරණයකට යාම. ඒක තමයි හරි ඉස්සෙල්ලාම ජනතාව ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් ටික හදලා තමයි අපි මැතිවරණයකට යනවානම් යන්න ඕනෑ.   


?ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව ඇතුළේ බහුතර බලය අල්ලලා පෙරැළියක් කරන්න සූදානම් වෙනවා.   


ඒක අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. මේ දේශපාලන වාසි ගන්න හදන වෙලාවක් නොවෙයි. රටේ ජනතාව විශාල අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ජීවත් වෙන්න අමාරුයි. රස්සා නැති වෙනවා. ජීවන වියදම දවසෙන් දවස වැඩි වෙනවා. මේ වෙලාවේ දේශපාලන වාසි ගන්න වෙලාවක් නොවෙයි. සියලු‍ දෙනාම එකතු වෙලා මේ අර්බුදයෙන් ගොඩ එන මාර්ගයක් ගැන සාකච්ඡා කළ යුතුයි.   

 

විපක්ෂයේ ඉන්නකොට හරි ලේසයි එහෙම කියන්න. මාස දෙක තුනකින් හදනවා. 
මාස හයෙන් හදනවා. හැබැයි රට තිබෙන මේ අර්බුදයෙන් ගොඩගන්න මාස හයක් මදියි. මාස හයකින් ඒ වැඩේ කරන්න බෑ.


?සමගි ජන බලවේගයත් ඒ හවුලට එකතු වෙන ලකුණු පේනවා?   


ආණ්ඩුවක් හදන්න බහුතර බලය තිබිය යුතුයිනේ. ව්‍යවස්ථාවට අනුවනේ හැමදේම වෙන්න ඕනෑ. ඒ විදියට බහුතර බලය තියෙනවා නම් ආණ්ඩුවක් හදා ගන්න පුළුවන්. හැබැයි කවුරු ආණ්ඩු හැදුවත් මේ දැවැන්ත ආර්ථික කුණාටුවට මුහුණ දෙන්න වෙනවා. හැබැයි මේ මොහොත වනවිට සමගි ජන බලවේගයවත්. වෙනත් පක්ෂයක්වත් ආර්ථික අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරලා නෑ. මෙන්න අපේ විසඳුම. අපි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ වෙන්නේ මෙහෙමයි කියලා මාර්ග සිතියමක් ඉදිරිපත් කළ යුතුයිනේ. නමුත් කවුරුවත් එහෙම එකක් ඉදිරිපත් කරලා නෑ. මම කියන්නේ අපි මේ වෙලාවේ දේශපාලනය කිරීම නතර කළ යුතුයි. මම මුලින්ම කිව්වා වගේම අගමැතිතුමා බාර ගත්තේ ආර්ථික වශයෙන් මුළුමනින්ම විනාශ වෙච්ච රටක්. අපි මේ රට හදන වගකීම බාරගෙන තියෙනවා. හැබැයි මාසෙන් දෙකෙන් ප්‍රතිඵල පෙන්වන්න බෑ.   


?සජිත් ප්‍රේමදාස වගේම අනුර කුමාර දිසානායකත් කියනවා මාස හයෙන් රට හදලා පෙන්වන්නම් කියලා. ඇයි ආණ්ඩුවට බැරි එහෙම කියන්න.   


විපක්ෂයේ ඉන්නකොට හරි ලේසයි එහෙම කියන්න. මාස දෙක තුනකින් හදනවා. මාස හයෙන් හදනවා. හැබැයි රට තිබෙන මේ අර්බුදයෙන් ගොඩගන්න මාස හයක් මදියි. මාස හයකින් ඒ වැඩේ කරන්න බෑ. ඒකට සැලකිය යුතු කාලයක් යනවා. අපට ජාත්‍යන්තර විශ්වාසය හදා ගන්න අවශ්‍යයි. ජාත්‍යන්තරය සමග සාකච්ඡා කළ යුතුයි. මේවා ඔක්කොම වුණාට පස්සේ තමයි රටට අවශ්‍ය තරමට ඩොලර් එන්නේ. අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා මාස හයකින් හදනවා නම් අගමැතිකම දෙන්නම්’ කියලා. මාස හයකින් හදන්නම් කිව්වට එහෙම හදන්නේ කොහොමද කියලා කිසිම සැලැස්මක් අපි දැකල නෑනේ.   


?ආණ්ඩුවෙනුත් එහෙම සැලැස්මක් කියලා නෑනේ?   


නෑ ආණ්ඩුවට සැලැස්මක් තියෙනවා. අගමැතිතුමා මුලින්ම බලන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කරන සාකච්ඡා සාර්ථක කර ගන්නයි. ගොඩාක් දුරට සාකච්ඡා සාර්ථක වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි අපිට ක්‍රියාකාරී සැලැස්මක් රටට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. එතුමා නිශ්චිත වැඩ කොටස ඉටු කරන්නේ නැතිව රට හදන වැඩපිළිවෙළ මෙන්න කියලා දැන් කිව්වොත් පසුව ඒක වෙනස් කරගන්න වුණොත් රට ඉදිරියේ එතුමා බොරුකාරයෙක් වෙනවා. එතුමා කියන්නේ ටිකක් ඉවසන්න. සාකච්ඡා සාර්ථකවෙලා සැලැස්ම මම රටට කියන්නම් කියලනේ.   


?අගමැති රනිල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේ අනාවැකි කියනවා කියලයි කියන්නේ.   


එතුමා පැය විසි හතරම වැය කරලා තියෙන්නේ ජනතාවගේ මේ ප්‍රශ්න විසඳන්නයි. අපි දැක්ක පසුගිය කාලයේ රටේ ජනතාවට බොරුනේ කිව්වේ. ආර්ථිකයේ කිසිම ප්‍රශ්නයක් නෑ. විදෙස් සංචිත තියෙනවා. එහෙමනේ කිව්වේ. ජනතාවට ඇත්ත කිව්වේ නෑ. බොරු කියලා ජනතාව රැවට්ටුවා. රට බංකොලොත් කළේ එහෙමයි. අගමැතිතුමා තමයි රටේ ඇත්ත තත්ත්වය ගැන ජනතාවට කිව්වේ. ජනතාව බලවත් විශ්වාසයකින් ඉන්නේ අගමැතිතුමා මේ ප්‍රශ්න ටික ඉක්මනින්ම විසඳයි කියලා. ඇත්තටම අගමැතිතුමා ඒ විශ්වාසය රකිනවා. හැබැයි රැයෙන් දෙකෙන් හාස්කම් පාන්න බෑ. ඒ නිසාම තමයි අගමැතිතුමා කිව්වේ ටිකක් ඉවසන්න’ කියලා. එතුමා සංවේදී නායකයෙක්. මේ ප්‍රශ්න ටික ඉක්මනින් විසඳන්න එතුමාට ශක්තිය තියෙනවා.   


?රටම අරගල බිමක් වෙලා. අරගලකරුවන් මර්දනය කරලා නම් ප්‍රශ්නය විසඳන්න යන්නේ මේ පාර එහෙම බෑ කියලා අරගලකරුවන් කියනවා?   


ඔව්. එහෙම බෑ තමයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න. ප්‍රශ්නවලට එරෙහිව අරගල කරන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒ අරගලය සීමාවෙන් එළියට ගිහිල්ල ප්‍රචණ්ඩ වෙලා. ගෙවල් පුච්චන එක අපි අනුමත කරන්නේ නෑ. නමුත් අරගල කරන එක ජනතාවගේ අයිතියක්. ඒ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයි. මං හිතනවා තව ටිකක් ඉවසුවොත් මේ ප්‍රශ්න ටික විසඳා ගන්න පුළුවන් කියලා. ඒකට ජනතාවගේ සහයෝගයත් අවශ්‍යයි.   


?ඔබ කිව්වා ධම්මික පෙරේරා දේශපාලන ළදරුවෙක් කියලා. මේ ළදරුවා පිටිපස්සේ දේශපාලන වැඩිහිටියෙක් ඉන්නවා කියලා ඔබ හිතනවද?   


මං හිතන්නේ ඔව්. එහෙම වැඩිහිටියො කීප දෙනෙක් ඉන්නවා. පසුගිය ආණ්ඩුවේ ලොකු තනතුරක් දරපු කෙනෙක් මේ පිටිපස්සේ ඉන්නවා කියලා කියනවා. නමුත් රටේ අර්බුදයෙන් දේශපාලන වාසි ගන්න යන එක වැරැදියි. රට ගැන හිතලා ජනතාව ගැන හිතලා කටයුතු කරනවා නම් ඉතාම ඉක්මනට ඉතාම හොඳ තැනකට අපිට යන්න පුළුවන්.

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්