මේ කොවිඩ් මර්දන තීන්දු කිසිවක් දේශපාලන තීන්දු නොවෙයි


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු 
මන්ත්‍රී ගාමිණී වලේබොඩ  

කොරෝනාව සම්බන්ධයෙන් ගත්තාම පළමු හා දෙවැනි අවස්ථාවල දී ආණ්ඩුව ඒ අදාළ වෘත්තීය විශේෂඥයන්ගේ උපදේශකත්වය මත නිවැරැදිව ක්‍රියාත්මක වුණා කියන එක අපි කවුරුත් පිළිගන්නවා. තුන්වැනි අවස්ථාව වෙනකොට මගේ පෞද්ගලික වටහා ගැනීම් විධායකයට හා ව්‍යවස්ථාදායකයට නිවැරැදි තීන්දු තීරණ ගැනීම සඳහා ඕනෑ කරන වෘත්තීය මඟ පෙන්වීම නිවැරැදිව සිදු නොවීම මත තමයි ඇතැම් තීන්දු තීරණ ගැනීම සිද්ධ නොවුණේ හෝ පරක්කු වුණේ.   

රටම තවමත් අගුළු දෑ ගමන්ය. රට මේ තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් වගකීම බාරගත යුත්තේ කවුද? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය - අද මුළු රටම වහලා. ඒ තත්ත්වයට රට පත් වුණේ ආණ්ඩුව නියම වෙලාවේ නිවැරැදි තීරණ නොගත් නිසයි?   


පිළිතුර - කොරෝනාව සම්බන්ධයෙන් ගත්තාම පළමු හා දෙවැනි අවස්ථාවල දී ආණ්ඩුව ඒ අදාළ වෘත්තීය විශේෂඥයන්ගේ උපදේශකත්වය මත නිවැරැදිව ක්‍රියාත්මක වුණා කියන එක අපි කවුරුත් පිළිගන්නවා. තුන්වැනි අවස්ථාව වෙනකොට මගේ පෞද්ගලික වටහා ගැනීම් විධායකයට හා ව්‍යවස්ථාදායකයට නිවැරැදි තීන්දු තීරණ ගැනීම සඳහා ඕනෑ කරන වෘත්තීය මඟ පෙන්වීම නිවැරැදිව සිදු නොවීම මත තමයි ඇතැම් තීන්දු තීරණ ගැනීම සිද්ධ නොවුණේ හෝ පරක්කු වුණේ.   


ප්‍රශ්නය -ඒකට වග කියන්න ඕනෑ කවුද?   


පිළිතුර - උදාහරණයක් විදියට ගත්තොත් කොවිඩ් කියන්නේ වසංගතයක්. වසංගතයක ව්‍යාප්තිය පිළිබඳ වසංගත රෝග නිවාරණ අංශය සංඛ්‍යා ලේඛන තොරතුරු ඒකරාශි කිරීම, ව්‍යාප්තිය හා එහි අවදානම පිළිබඳව නිශ්චිතව හා නිරවුල්ව තීරණ ගනු ලබන අධිකාරීන්ට ඉදිරිපත් කළ යුතුයි. පසුගිය කාලේ අපි දැකපු දෙයක් තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ඒ පිළිබඳ අදහස් දක්වන විද්වතුන් කවුරුත් කියපු දේ තමයි වසංගත රෝග නිවාරණ අංශය ඒ සම්බන්ධ දත්ත නොමැතිව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් තමයි මේ කියලා.   


ප්‍රශ්නය - කාට හරි චෝදනා කළා කියලා මේ ප්‍රශ්නයෙන් මිදෙන්න පුළුවන් ද?   


පිළිතුර - ඇපි ඇත්ත කතා කළ යුතුයි. මේ කොවිඩ් මර්දන ක්‍රියාමාර්ග කිසිවක් දේශපාලන තීන්දු නොවෙයි. තීන්දු ගන්නේ දේශපාලන අධිකාරිය වුණාට ඒ තීන්දුවේ සමස්තයට වෘත්තීමය සෞඛ්‍ය අංශ දෙනු ලබන නිර්දේශවලට අනුවයි ඒවා ගන්නේ. ඒක සෞඛ්‍යමය කාර්යයක්. එතකොට ඒ සෞඛ්‍ය අංශවල වගකීම වෙන්නේ කල්වේලා ඇතිව ඒ නිවේදන නිකුත් කරලා අවශ්‍ය තීන්දු තීරණ ගන්න අයට ඒ තොරතුරු ලබාදීලා මෙන්න මේ තීන්දුවයි ගත යුත්තේ කියලා නිර්දේශ ඉදිරිපත් කිරීමයි. 

 
ප්‍රශ්නය -ඔබ කියන්නේ දැන් එහෙම වෙන්නේ නෑ කියලා ද?   


පිළිතුර - මෙහෙමනේ, සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා රජයට එහෙම කිසිම ආකාරයක අනතුරු ඇඟවීමක් මේ රෝග නිවාරණ අංශ මගින් කරලා තිබුණේ නැහැ. එහෙම වුණා නම් ඔය සිංහල අවුරුද්ද සමයේ මුළු ලංකාව පුරාම පැතිරුණු පැතිරිල්ල නතර කරගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රජයට ගන්න තිබුණා. ඒකට කිසිම පැකිලීමක් නෑ. රජය ජන ජීවිතය සාමාන්‍ය ආකාරයක පවත්වාගෙන යමින් ආර්ථිකයත් ඒ හා සමාන්තරව පවත්වාගෙන යමින් ජනතාවට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්න ඉඩ නොතියන්න ගත යුතු ඕනෑම තීන්දුවක් ගන්නවා. රට සමස්තයක් විදිහට වහලා දානවට වැඩිය, ප්‍රතිකාර කරනවාට වඩා වළක්වා ගැනීම යහපත් කියන මතයේ තමයි රජය ඉන්නේ. එතකොට මේකේ වගකීම ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, කැබිනට් මණ්ඩලයට හා රජයට පමණක් පැවැරෙන එකක් නොවෙයි. මේකට සම්බන්ධ ඒ ඒ ක්ෂේත්‍රවලටත් පැවැරෙනවා.   


ප්‍රශ්නය -‘පුළුවන් නම් බේරියල්ලා’ කියන තැන තමයි ආණ්ඩුව ඉන්නේ?   


පිළිතුර - ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. මේ තත්ත්වයට එක හේතුවක් තමයි මම ඔය කියපු කාරණාව. තීරණ ගත යුත්තේ පවතින වාස්තවික තත්ත්වය සමා​ෙලා්චනය කරමින්. ඒ වගේම ලෝක ව්‍යාප්ත තත්ත්වයක් තුළ හා අලුතෙන් මේ වයිරසයේ සිදුවන වෙනස්කම් සමග එය පුරෝකථනය කරගැනීමට නොහැකි වීම මත සිද්ධ වන බලාපොරොත්තු රහිත තත්ත්වයන්ට මුහුණ දීමට රජයට සිද්ධ වීම. ඒක තුළ සමහරුන්ට පේන්න පුළුවන් ‘ඔව් උඹලට පුළුවන් විදියකට ජීවිතය බේරා ගනිල්ලා, අපට කරන්න දෙයක් නෑ’ කියලා. සමහරු එහෙම කියනවා තමයි. ඒ කියන දේ සාධාරණයි කියලා කියන්න හේතු තියෙනවා නම්, ඒ හේතු තුරන් කිරීම වසංගතය මැඩලන මෙහෙයුම් කණ්ඩායම් ගත යුතුයි. ඒ වගේම තමයි ඒ කළමනාකරණය කරන කණ්ඩායම් ඉතාම කැපවීමෙන් කටයුතු කරනවා. ඒ වගේම ජනතාව කියන අඩුපාඩු එහෙම නිවැරැදි කරගත යුතුයි.   


ප්‍රශ්නය -එන්නත් දීම ඇයි මේ අවුල් ජාලයක් වෙලා තියෙන්නේ. කෝ ප්‍රමුඛතා ලයිස්තුව?   


පිළිතුර - ඇත්තටම එන්නත් දීම ගැන ගත්තාම ඔය කියන කාරණාවත් සමග මම සියයට සියයක් එකඟයි. මොකද මේ ප්‍රමුඛතා ලයිස්තු පිළියෙල කළා වුණාට ඒ ප්‍රමුඛතා ලයිස්තුවලට ප්‍රමාණවත් පරිදි එන්නත් ලබාදීම සිද්ධ වුණේ නෑ. ඒ වගේම ලැබුණු එන්නත් පිළිවෙළට ලබාදීමක් සිද්ධ වෙලා නෑ. ඒ කටයුත්තත් රජය පැත්තෙන් ගත්තාම තීරණ ගැනීමනෙ රජයට කරන්න පුළුවන්. ඒ තීරණ ක්‍රියාත්මක කිරීමේදී තීරණ ක්‍රියාත්මක කරන අධිකාරියෙන් සිද්ධ කරන අඩුපාඩු වැරැදි එහෙම නැත්නම් නොමනා ක්‍රියා සමස්තය එකට එකතු වෙලා තමයි මේ අපවාදය නැගෙන්නේ. ඒ නිසා දැනට ඇත්තටම එන්නත් දීමේ ක්‍රියාවලිය විශාල අවුල් ජාලයක් බවට පත්වෙලා කියන එක පැහැදිලියි. ඒක අපිට පිළිගන්න වෙනවා. මින් ඉදිරියටවත් එවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමේ අවශ්‍යතාවය රජයේ මන්ත්‍රීවරුන් හැටියට අපිත් දකිනවා. මොකද එහෙම නැත්නම් රජය වෙතත් සෞඛ්‍ය අංශ වෙතත් විශාල අපකීර්තියක් ඇති වේවි. අපට හිතා ගන්න බැරි බොහොම සරලව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවලුත් සමහර තැන්වල අවුල් ජාලා බවට පත්වෙලා තියෙනවා. මේවා කරන්නේ කවුද, කොහොම ද වෙන්නේ, කවුද මේවා පිටිපස්සේ ඉන්නේ කියලා අපි දන්නෙත් නෑ. ඇත්තටම අපි රජයේ මන්ත්‍රීවරු වුණාට ඇත්තම කියනවා නම් අපිත් අසරණ වෙලා ඉන්නේ මේ කාරණාවේදී.   


ප්‍රශ්නය -සෞඛ්‍යයට ඇමැතිවරියන් දෙන්නෙකුත් ඇමැතිවරයෙකුත් ඉන්නවා. එහෙම තිබියදීත් ඇයි මෙහෙම?   


පිළිතුර - සාමූහිකව තීරණ ගැනීමේ ක්‍රියාවලියක් තාම අපට පේන්නේ නැහැ. සාම්ප්‍රදායික දේශපාලන ව්‍යුහය තුළ සිද්ධ වෙමින් පවතින දේ තමයි තමන්ගේ දේශපාලන අභිලාෂයන් ඉටු කරගැනීම, තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම අරමුණු කරගෙන තමයි මේ තීරණ ගනු ලබන්නේ. වෘත්තිකයෙක් විදියට අවුරුදු 20ක් 25ක් ඉඳලා මේ දේශපාලනයට ආපු අපි වගේ වෘත්තිකයෝ, රාජ්‍ය සේවකයෝ අත්විඳින දේ ඒක. අපේ වපසරිය තුළ අපි එහෙම දේවල් දැකලා නෑ. ඒ නිසා අපට මේ ක්‍රමයට හුරු වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නොවෙයි සමහර තීන්දු එහෙම ගන්නේ ඇයි කියලා අපිට හිතාගන්නවත් බෑ. ඔය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළත් ඕක තමයි තියෙන්නේ. රජය වෙනස් වුණාට මේ යාන්ත්‍රණය මේ කොල්ලකෑම් විවෘත ආර්ථික ක්‍රමයනේ ක්‍රියාත්මක වෙන්නේ මේ හැම තීරණයක් පිටිපස්සේම. ඕනෑම මූල්‍යමය වටිනාකමක් සහිත ගනුදෙනුවක් පිටිපස්සේම බෙහෙත් ජාවාරම්කාරයෝ, ඒකට සම්බන්ධ ආනයනකරුවෝ, බෙදාහරින්නෝ, නිෂ්පාදන සමාගම් මේවා ඔක්කෝම ජාවාරම් දැලක පැටලිලා ඉන්නේ. මට නම් මේ ගැන තියෙන්නේ වෙනම කියවීමක්. මේ කොවිඩ් තත්ත්වය වළක්වා ගන්න ඉඩ නොදුන්නාද කියලා සැකයක් තියෙනවා ඔය බහු ජාතික ඖෂධ මාෆියාව විසින්. ​කොවිඩ් පළමු රැල්ල, දෙවැනි රැල්ල අපි පාලනය කරපු ආකාරයටම ගියා නම් මේ රටට එච්චර එන්නත් ඕනෑ වෙන්නේ නෑ. ජාතික ආර්ථිකයෙන් රුපියල් බිලියන ගණන් විදයම් කරන්න වෙන්නේ නෑ. මේක ව්‍යසනයක් වෙච්ච නිසා තමයි රජයට මෙච්චර වියදමක් දරන්න වෙන්නේ. මේක එක පැත්තකින් ජාත්‍යන්තර කොල්ලකාරී ආර්ථිකයේ ස්වභාවය සැලකිල්ලට ගත්තාම මෙය සැලසුම් සහගත විදියට රජය මේ වළට තල්ලු කළා ද කියලා හිතෙන මට්ටමේ ස්වභාවයක් තමයි මට පෞද්ගලිකවම තියෙන්නේ. 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්