මේ ආණ්ඩුව දැන් කරන්නේ කබ්බෝ කබ්බෝ ෆෝම්කරන එකයි


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

රටේ උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ සමග කළ සාකච්ඡාවකි.

පෙරටුගාමී සමාජවා දී පක්ෂය හැටියට ඔබලා නියෝජනය කරන්නේ විපක්ෂය ද ආණ්ඩු පක්ෂය ද?

පිළිතුර:- පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙකම අපි නියෝජනය කරන්නේ නෑ. එහෙම නියෝජනය නොකරන්නේ ඒ දෙකේම වෙනසක් නැති නිසයි. ඒ දෙකම එකම ප්‍රතිපත්ති මත රඳාපවතින්නේ සහ ඒ දෙකම පවතින්නේ රටේ බහුතරය වෙච්ච සාමාන්‍ය පොදු ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවෙමින්. අන්න ඒ  ජනතාව සමග පදනම් වෙමින් පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් ගොඩනගන්න තමයි අපි මූලිකත්වය අරගෙන තියෙන්නේ.

අනික් පැත්තෙන් ඔබ ආණ්ඩුවට සහතිකයක් දෙනවා ‘අපි ආණ්ඩුව පෙරළන්නේ නෑ’ කියලා. එහෙම ආණ්ඩුවට සහතික දෙන්නේ ඇයි ?

පිළිතුර:- මීට කලිනුත් ආණ්ඩු පෙරළුවේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න විපක්ෂයම නොවෙයිනේ. 2022 අරගලයෙන් ජනතාව තමයි ගෝඨාභය ජනාධිපතිවරයා පලවා හැරියේ. අපි ගත්තොත් මීට කලින් තිබුණ මැතිවරණ සමහර ජනාධිපතිවරණ පවත්වන්න ඒ හිටපු පාලකයන්ට බලපෑම් ආවෙත් පාර්ලිමේන්තුවේ එළියෙන් ආපු ජනතාවගේ බලයකින්. පාර්ලිමේන්තුව ඇතුළේ හුදු පුටු හුවමාරුවකින් එළියට ගිහිල්ලා මේ ගැන ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීම තමයි අපේ අරමුණ.

2022 අරගලය පාර්ලිමේන්තුවෙන් පිටත හට ගත්තේ. හැබැයි, කප් එක ගියේ මාලිමාවට ?

පිළිතුර:- ඒක හරිම සාපේක්ෂයි. අරගලයෙන් පස්සේ දේශපාලනය අවසන් කියලා හිතුවොත් තමයි අවසන් නිගමනවලට එන්න පුළුවන් වෙන්නේ. අරගලය මුල් දිනවල ඇහුවේ ‘කෝ පොහොට්ටුවමනේ ඉන්නේ වෙනසක් වුණේ නෑනේ’’ කියලා. ගෝඨාභය පැනල ගියාට පස්සේ ආවා. ‘අන්න රනිල් වික්‍රමසිංහ ආවා’ කියලා. දැන් කියනවා අරගලය නිසා ‘මාලිමාව අවනේ’ කියලා. අපිට කියන්න තියෙන්නේ ඇත්තටම මේ අර්බුදය අවසන් නෑ. ඒ නිසා දේශපාලන පෙරමුණ අවසන් වෙලත් නෑ.’ කියලයි. ඒක අවසන් වුණාට පස්සේ තමයි, අපට නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම කියලා ඔබේ පක්ෂයත් විපක්ෂයත් කිව්වා. නමුත් දැන් ඔබ සියලු දෙනාම ආණ්ඩුව ඉදිරිපිට දණ ගහලා?

පිළිතුර:- 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපි දණ නැමීමක් කළේ නෑ. අපි මුලින්ම පැති කිහිපයකින් අපි අපේ අරගලය ගෙන ගියා. පළමු වැනි එක තමයි අපි නෛතික ක්ෂේත්‍රයේ අරගලයක් කළා අපි සහ අපිට අදාළ සංවිධාන අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළා. මේ සම්මුඛ සාකච්ඡාව කරන අතරතුර වාර්තා වුණා ලබන 24-25 මේ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. ඊට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීන්දු ලැබෙන්න ඕනෑ අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ  ඒ අර්ථ නිරූපණයට පමණක් සීමා නොවී මේ කරුණට අදාළ දේශපාලන අරගලයක්, මතවාදී අරගලයක් සහ උද්ඝෝෂණික අරගලයක් දියත් කරමින් ඉන්නේ. නිදසුනක් විදියට අපි දැනටමත් නීතිඥ කණ්ඩායම් සමග එකතු වෙලා රට පුරාම සම්මන්ත්‍රණ පවත්වමින් යනවා. මේ 15 වැනිදාත් කොළඹ ජාතික පුස්තකාලයේ සම්මන්ත්‍රණයක් කරනවා. ඊට අමතරව 30 වැනිදා රෑ රට පුරාම පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කළා. ඊට අමතරව අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාර සහ අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාර දියත් කළා. ඊට අමතරව අත්සන් ලබාගැනීමේ ව්‍යාපාර සහ අත් පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාර දියත් කළා. ජනතාව ක්‍රමානුකූලව මේකට එරෙහිව සංවිධානය කරමින් යන ගමනක් අපට  තියෙන්නේ

නමුත් බලය තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළෙයි ?

පිළිතුර:- පාර්ලිමේන්තුවේ මේවා සම්මත වෙන්න පුළුවන්. විවිධාකාර ජයග්‍රහණ ආණ්ඩුවට තාවකාලිකව ගන්න පුළුවන්. නමුත් ඉතිහාසයෙ පෙන්වලා දීලා තියෙනවා. මේ වගේ දේවල් තාවකාලිකව ජය ගත්තා වුණත්, දිගු කාලීනව දේශපාලන පරාජයන්ට ඒවා හේතු වුණා කියලා. මේ ආණ්ඩුවටත් ඒකමයි කියන්න වෙන්නේ. තාවකාලික ජයග්‍රහණ ලබලා සතුටු වෙන්න පුළුවන් වෙයි. නමුත් ආණ්ඩුවට දිගු කාලීන දේශපාලන පරාජයක් ආණ්ඩුවට මේ නිසා හිමි වෙනවා.

ආණ්ඩුව කියන්නේ අපරාධකාරී රාජ්‍යය ශුද්ධ පවිත්‍ර කිරීම තමයි 22 සංශෝධනයේ අරමුණ කියලා. සපෝර්ට් එකක් දුන්නොත් හොඳ නැද්ද?

පිළිතුර:- ඇත්තටම අපරාධ කියලා කියද්දී ආර්ථික අපරාධ තියෙනවා. මිනීමැරුම්, අතුරුදන් කිරීම් ඇතුළු අපරාධ තියෙනවා.  මිනිමැරුම් ඇතුළු අපරාධවලට මේ ආණ්ඩුව මේ දක්වා පියවරක් අරගෙන නෑ. ඒවට ව්‍යවස්ථා සංශෝධන අවශ්‍යයි කියලා අපි හිතන්නෙත් නෑ. දැනට තියෙන නීතියෙන් සැලකිය යුතු දෙයක් කරන්න පුළුවන්.  බටලන්ද සම්බන්ධ කොමිසන් වාර්තාව පදනම් කරගෙන විමර්ශනයක් කරන්න කිව්වට ආණ්ඩුව අවම වශයෙන් ඒකවත් කරලා නෑ. තාජුදීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැළිගොඩ අතුරුදන් කිරීම මේ කිසිවක් ගැන විමර්ශන නෑ. හොරකම් ගැන කිව්වොත් එහෙම හොරකම්වලට අදාළ නඩු අහන්නේ මහාධිකරණ, දිස්ත්‍රික් අධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණවල. වැඩිම නඩු ප්‍රමාණයක් තියෙන්නේ මහාධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණවල. ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාම යාමේ වයස පිළිබඳ ප්‍රශ්නය ඔය නඩුවලට කිසිසේත්ම බලපාන්නේ නෑ. 

පාර්ලිමේන්තුවේ විපක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රශ්න කියලා දකින්නේ තමන්ට එන ප්‍රශ්න. ඒ ගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ට එන ප්‍රශ්නවලටයි. 

22 සංශෝධනයට එරෙහි ඔබලාගේ සටනේ අනාගතය?

පිළිතුර:- අපි දකින විදියට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එන්නේ නිකම්ම සරල අර්ථයකින් නොවෙයි. මේක එන්නේ මේ ආණ්ඩුවට අවශ්‍යයි. 1977 පටන් ගත්ත රනිල් වික්‍රමසිංහ වේගවත් කරන්න සැලසුම් කරපු නව ලිබරල් මතවාදයේ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න. ඒක ඉස්සරහට ගෙනියනකොට රටේ ජනතාව ඒකට එරෙහිව නැගිටිනවා. එතැනදී නෛතික ක්‍රියාමාර්ග ගන්නවා. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය පවා උල්ලංඝනය කරනවා හැරෙන්න ආණ්ඩුවට වෙන පාරක් නෑ. ඒ නිසා තමයි ඒ ගොල්ලෝ උත්සහ කරන්නේ අධිකරණයේ නීතියේ බලයක් තමන් අතට ගන්න. ඒක එතැනින් නතර වෙන එකක් නොවෙයි. කම්කරු නීතිය එතකොට ඊටීෆ් එක. හාම්පුතුන්ට පවරන නීතිය, එතකොට ගොවියන්ගේ ඉඩම් එකතු කරලා සමාගම් හදලා ඒවා සමාගම්වලට විකුණන නීතිය එතකොට, දැනට කෙටුම්පත් කරලා තියෙන ධීවර පනත, එතකොට උසස් අධ්‍යාපනයට හානි කරවන නව උසස් අධ්‍යාපන පනතයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා දත්ත සහතික කිරීමේ හා ප්‍රතීහත සභා පනතයි මෙන්න මේ වගේ මර්දන අන පනත් එද්දී ඒවාට විරුද්ධව නැගිටින ජනතාවට මේකේ ඇතුළේ කිසිම ඉඩක් නොතියන්න ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරනකොට ඒවාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි තත්ත්වයක් හදන එක තමයි ආණ්ඩු​වේ අරමුණ. අපි දන්නවා මේක මීට වඩා බලසම්පන්න ආණ්ඩු මේවට උත්සාහ කළා. නමුත් ජනතාවගේ බලය ඉදිරියේ ඒවා ව්‍යර්ථ වුණා. දැන් ඉන්න ජනාධිපතිවරයාගේ මාමා ඒ කියන්නේ ජීව විද්‍යාත්මක මාමා නෙවෙයි. දේශපාලනික මාමා ජේ.ආර්. ජයවර්ධන, එයත් මේවට උත්සහ කළා. නමුත් කරගන්න බැරි වුණා. ඒ නිසා අපි හිතන්නේ නෑ. ජේ.ආර්ට කරගන්න බැරිවෙච්ච එක, ජේ.ආර්ගේ ජීව විද්‍යාත්මක බෑනා වෙච්ච රනිල් වික්‍රමසිංහට බැරි වෙච්ච, එක, ජේ.ආර්ගේ දේශපාලනික බෑනා වෙච්ච අනුර දිසානායකට කරන්න පුළුවන් වෙයි කියලා.

අපි මේ සාකච්ඡාව කරනකොටත් නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නේ. විපක්ෂය කියන්නේ මේක විපක්ෂය මර්දනය කිරීමක් කියලයි. හැබැයි ඔබලා නිහඬයි.

පිළිතුර:- පාර්ලිමේන්තුවේ විපක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රශ්න කියලා දකින්නේ තමන්ට එන ප්‍රශ්න. ඒ ගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ට එන ප්‍රශ්නවලටයි. නමුත් අපි පෙනී සිටින්නේ පුළුල්ව ජනතාවගේ ප්‍රශ්න හා අයිතිවාසිකම් වෙනුවෙන්. ඔය කියන විපක්ෂය මාර්ගගත ආරක්ෂාව වගේ මර්දනකාරී පනතක්, එතකොට අයි.සී.පී. ආර්. වගේ මර්දනකාරී පනතක්, එතකොට ඒවා අහෝසි කරන්න හෝ වෙනස් කරන්න හෝ කියලා ආණ්ඩුවට බලපෑම් කරයි ද? එහෙම කරන්න බෑ. මොකද ඒ ගොල්ලෝ තමයි ඒවා ගෙනත් තියෙන්නේ. මේ තැන්වල දී මේ විපක්ෂය මුනිවත රකිනවා. තමන්ගේ කෙනෙක්ව අත්අඩංගුවට ගන්න ගමන් මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි’’ කියලා කෑ ගහනවා. අපි සටන් කරන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න එක්ක. විපක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රශ්නය ලෙස ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නය පෙන්නනකොට ඒකේ එල්ලෙන්න අපිට උවමනාවක් නෑ. ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් එහෙම ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ පාරේ යන  ගමන් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට අරගෙන ටික දවසක් රිමාන්ඩ් කරලා තිබ්බට පස්සේ ඒකෙන් රනිල් වික්‍රමසිංහට දේශපාලන වාසියක් වුණේ. නාමල් රාජපක්ෂව අත්අඩංගුවට අරගෙන දින කිහිපයක් රිමාන්ඩ් එකේ තියා ගත්තම ආණ්ඩුව යන්නේ රාජපක්ෂවාදී පාරේනම් නාමල් රාජපක්ෂට දේශපාලන වශයෙන් වාසි ලැබෙනවා. ආණ්ඩුව වෙනත් පාරකනම් යන්නේ එහෙමනම් තමයි ආණ්ඩුවට වාසි වෙන්නේ. දැන් මහින්ද රාජපක්ෂ කරපු දේවල් ටිකම වෙන වෙන වචන දාලා කරමින්නේ ඉන්නේ.  එහෙම කරන ගමන් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තාම නාමල් රාජපක්ෂට වාසියක් වෙනවා. ගම්වල මිනිස්සු මේවට කියන්නෙ’’ කබ්බෝ ෆෝම්’’ කරනවා කියලා. ඒක තමයි ආණ්ඩුව දැන් කරමින් ඉන්නේ. 

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්.