මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ අපි ඒකේ සැකයක් නෑ


සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා 

  • ගියපාර අයවැයේදී කියපු ගොඩක් දේ කළේ නෑ.   
  • අපේ පක්ෂයේ ජනපති අපේක්ෂකයා අපේ නායකයා
  • අපේ ලාබ ලබන ආයතනයක් කාට හරි කුණු කොල්ලයට විකුණන එක ආයෝජනයක් නොවෙයි. 

 රටේ උණුසුම් දේශපාලන පරිසරය ගැන සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- අද රටේ තියෙන දේශපාලන වාතාවරණය ඔබට දැනෙන්නේ කොහොමද? 

 
පිළිතුර:- අපේ රටේ දේශපාලන වාතාවරණය මම විශ්වාස කරන්නේ නෑ හරියට තිබුණා කියලා. ඒකනේ රට කඩන් වැටිලා තියෙන්නේ. හැම ආණ්ඩුවක් කාලෙම රට කඩන් වැටුණානේ. දැන් සිද්ධ වෙන්නෙත් ඒකමයි.   


ප්‍රශ්නය:-දේශපාලනඥයකු නොවන කෙනෙක් ජනාධිපති ලෙස ජනතාව පත්කර ගත්තෙත් ඒ නිසාමයි.   


පිළිතුර:- ඔව්. නමුත් පැරැණි ගමනම තමයි රට යන්නේ. ඒ වගේම කවද‌ාවත් නැති විදියට ජනතාව අසරණ වෙලා තියෙනවා. ජනතාව මත බර පැටවෙනවා වැඩියි. කන්න බොන්න නැහැ. ජීවන වියදම වැඩියි. ගෑස්, සේවා ගාස්තු වැඩිවෙලා.   


ප්‍රශ්නය:-ඔබ ආණ්ඩුවේ හොඳක් දකින්නෙම නැද්ද?   


පිළිතුර:- හොඳක්ද? පොහොර නැවේ ප්‍රශ්නය ගන්න. යුගදනවි බලාගාරයේ සිද්ධි ගත්තාම අපට හිතෙනවා රජය 2010 - 2015 කාලයේදී වගේ පරණ පුරුදු විදියටම ජාවාරම් හරහා මුදල් ගැහිලි කරගෙන යනවා කියලා. අද සංවර්ධනයක් නෑ. ඔය පාරවල් හැදුවට ඒවායින් සංවර්ධනය මනින්න බෑ. ඔය පාරවල් හැදුව කියන්නේ ඔබතුමයි මමයි අපේ ඉතුරු පරම්පරා දෙක තුනක් ලෝකයට ණය වෙනවා කියන එක විතරයි. ඒක තමයි අද තියෙන තත්ත්වය. මේ ගමන ජනතාවාදී ගමනක් නොවෙයි.   


ප්‍රශ්නය:-ලෝක වසංගතයක් එක්ක තමයි ආණ්ඩුවට මේ ගමන යන්න වුණේ. ඒ නිසා ඒ දිහා මැදිහත්ව බලන්න ඕනැ කියලා ඔබ හිතන්නේ නැද්ද?   


පිළිතුර:- කොවිඩ් වසංගතය අනාගත්තෙත් මේ රජයම නේ. වෙලාවට තීන්දු තීරණ ගත්තේ නෑ. මුල ඉඳලම පළමු රැල්ල එනකොට ජනතාව භය වෙලා හොඳට ආරක්ෂා වුණා. ඒ නිසා ඒක මතු නොවී එහෙමම යට ගියා. ඊට පස්සේ මේක ජනතාවගේ ඇඟට හුරු වුණාම අලුත් දෙයක් වුණෙත් නෑ. අනික් පැත්තෙන් ජනතාවට රැකියාවලට යන්න සිද්ධ වුණා. ජීවත් වෙන්නත් එපැයි. ඒ නිසා මේක වැඩිවුණා.   


ප්‍රශ්නය:- නමුත් එන්නත්කරණය සාර්ථක වුණා.   


පිළිතුර:- දහදාහක් මැරුණට පස්සෙනේ රජය තීන්දු ගත්තේ. ඒ ලොක්ඩවුන් එක ඊට මාස දෙකකට කලින් කළා නම් ඔය විපත්තිය සිද්ධ වෙන්නේ නෑ. කොවිඩ් එකට ගිය මුදල ගත්තත් ඒ මුදලට වඩා විශාල වංචා මේ රටේ සිද්ධ වෙනවා. දැන් බලන්න යුගදනවි එකෙන් අපට වෙන්න යන පාඩුව. වරායේ නැගෙනහිර ජැටිය දෙන්න ගියා. යම්තම් ඒක බේරාගත්තා. හෙලන්දිවා කියලා එකක් හදලා ජාතික සම්පත් විකුණන්න යනවා. ඒවා කොවිඩ් පිටින් දාන්න බෑ. 

ප්‍රශ්නය:-අපට ශක්තිමත් ආර්ථිකයක් නෑ.   


පිළිතුර:- ඒ වුණාට තියෙන ආර්ථිකයත් කඩා වැටෙන වැඩනේ කරන්නේ. ඔබතුමාටයි මටයි කන්න බොන්න නැතිවෙන තැනට රට ගිහින් තියෙනවනේ. කාබනික පොහොර වැඩේ හොඳ වුණත් කාබනික වගාවෙන් අක්කරයකින් දැන් ගන්න ප්‍රමාණයෙන් තුනෙන් එකක් තමයි ගන්න වෙන්නේ. එතකොට මිල ඉහළ යනවා. අස්වැන්න තුන් ගුණයකින් අඩුවෙන කොට ඒ ගොල්ලෝ මිල තුන් ගුණයකින් වැඩි කරනවා. ජනාධිපතිතුමත් කිව්වනේ වී කිලෝවක් අද පනහට විකුණන්න පුළුවන් නම් හාල් 150 ක් වෙනවා කියලා. එතකොට පාරිභෝගිකයට මොකද වෙන්නේ. මේවා මේ ආණ්ඩුව ඉල්ලලා දාගත්ත ලෙඩනේ.   


ප්‍රශ්නය:- විදෙස් ආයෝජකයෝ එනකොට ජාතික සම්පත් විකුණනවා කියලා ජනතා විරෝධයක් හදනවා. විපක්ෂයේ පක්ෂ හැමද‌ාමත් කළේ ඒක. ඉතින් කොහොමද රට දියුණු කරන්නේ?   


පිළිතුර:- යහපාලන ආණ්ඩුවේ මම ඇමැති කෙනෙක්. අපි හරිම දේ කළා කියලා මම කියන්නේ නෑ. ඒකෙත් හොරු හිටියා. ඒකේ හිටපු අගමැතිවරයා, පාස්කරලිංගම්ලා, දැන් පැන්ඩෝරා පත්‍රිකාවල පාස්කරලිංගම්ගේ නම තියෙනවා කියලා හෙළිවුණානේ. ඒ ගොල්ලොත් හරි දේවල් කළේ නෑ. අර්ජුන් මහේන්ද්‍රන්ලා සල්ලි හම්බ කළා.   


ප්‍රශ්නය:- ඔබ ඒ ආණ්ඩුවේ ඇමැතිවරයෙක්.   


පිළිතුර:- මම ඇමැතිවරයෙක් වුණා කියලා ඒ වැරැදි දේවල් නතර කරන්න ශක්තියක් තිබුණේ නෑ. ඒක තමයි යථාර්ථය. ඕනැ නම් කෑගහලා නැගිටලා එළියට යන්න පුළුවන්. ඒත් ඒ වැඩේ දිගටම කෙරෙනවා. ඒ අයගෙන් මේ අයට බලය ආවා කියලා රටට ප්‍රගතියක් වුණේ නෑ.   


ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නය වුණේ ආයෝජකයන්ට එරෙහි වීම ගැනයි?   


පිළිතුර:- ආයෝජන කියන එකෙන් අදහස් කරන්නේ කවුරු හරි සල්ලි තියෙන මිනිස්සු හරි රටවල් ඇවිත් මෙහෙ ආයෝජනය කරන්න ඕනැ. උදාහරණයක් හැටියට අපි හිතමු ෆැක්ටරියක් දානවා. ඒකෙන් ලාභයක් එනවා. රැකියා අවස්ථා මතු වෙනවා. ඒ අය රටට බදු ගෙවනවා. ඒවා තමයි ආයෝජන කියලා කියන්නේ. අපේ ලාභ ලබන ආයතනයක් කාට හරි කුණු කොල්ලයට විකුණන ඒක ආයෝජනයක් නොවෙයි. හැමදේම විදේශිකයන්ට විකුණලා හරියන්නේ නෑ.   


ප්‍රශ්නය:-කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අද‌ානි සමාගමටම දෙන්න ගියා. කට්ටිය විරුද්ධ වුණා. වැඩේ නතර වුණා. තවමත් ඒකට අතවත් තියලා නෑ.   


පිළිතුර:- අපි මේ සාකච්ඡාව කරන කාර්යාලයේදීම වරායේ ඉංජිනේරු මහත්වරුන් සමග මම පැය දෙකක සාකච්ඡාවක් කළා. ඒ අනුව මම පාර්ලිමේන්තුවේදී වරායෙ සිතුවමකුත් පෙන්වමින් කතාවක් කළා. ඒ ඉංජිනේරුවන් කියන විදියට ඒ ජැටියෙ දැනට මීටර 700 හදලා තියෙනවා. ඒ ගොල්ලන්ට සිහිනයක් තියෙනවා මේක පිටිපස්සේ තියෙන ජැටියත් ඒ සමාගම අරගෙන මීටර් 3000 ක ජැටියක් හදන්න. ඒ අය කියනවා එහෙම කළොත් කොළඹ වරාය ලෝකයේ පස්වැනි තැනට එනව කියලා. හැබැයි එතකොට ඒක අපට අයිති නෑ. ඉංජිනේරුවන් කිව්වේ ඩොලර් මිලියන 200 ක් විතර මේක හදන්න යනවා. දැනටමත් වරායෙන් ඩොලර් මිලියන 70 ක් විතර යනවා කියලා. ඒගොල්ලෝ ගනන් හදලා කිව්වේ අපට මේ වරාය දියුණු කරන්න පුළුවන් කියලා. ව්‍යාපාරයක් කළත් පොඩ්ඩ පොඩ්ඩ තමයි ඉස්සරහට යන්නේ. රටට ණය වෙලා ව්‍යාපාර කරලා හරියන්නේ නෑනේ. දියුණු වෙච්ච ව්‍යාපාරිකයෝ ඒ ගමන ආවේ කොහොමද? මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ ගත්තත් නවලෝක, ද‌ාසලා, ඥ‌ානම්ලා කොහොමද දියුණු වුණේ. සමහර අය පටන් අරගෙන තියෙන්නේ බෙලෙක් විකුණලා. එහෙම නැතිව රටේ සම්පත් විදේශිකයන්ට විකුණලා හරියන්නේ නෑනේ. අමාරුවෙන් අවුරුදු දහයකින් හරි අපි හද‌ාගත්තොත් එතකොට එනවා ඩොලර් මිලියන 400 ක 500 ක ආද‌ායමක්. එහෙම තමයි ලෝකයේ රටවල් දියුණු වෙලා තියෙන්නේ. දැන් ඔය කියන විදියට මේක හැදිලා නැත්තේ ඇයි. මේ හම්බවෙන සල්ලි පාලනය කරන්නේ මේ පාලකයන්නේ. ඒ අය මේක දියුණු කරන වැඩේට අත ගහන්නේ නෑ. ඒකට මේ පාලකයන් වගකියන්න ඕනැ. වරායේ අය කිව්වා මේක කරන්න පුළුවන් කියලා. නමුත් රජය ඒක කරන්නේ නැහැ. 

 
ප්‍රශ්නය:-තමන් ඉන්න බව රටට පේන්න විපක්ෂය ලොකු ලොකු උද්ඝෝෂණ කරන බව තමයි පේන්නේ?   


පිළිතුර:- විපක්ෂයෙ වගකීමක් තමයි රජය කරන වැරැදි දේවල් ගැන ජනතාව දැනුවත් කිරීම. ඒ වැරැදි සටන් පාඨ වෙනවා තමයි අනිවාර්යයෙන්ම. අපි කතා කරන්නේ ඉතාම භාරදූර ප්‍රශ්න. ඒවා කතා කරනකොට සටන් පාඨ ඉබේ මතු වෙනවා. ගුරුවරුන්ගේ ප්‍රශ්නය ඔහොම විසඳුණේ ගුරුවරුන් අඛණ්ඩව උද්ඝෝෂණය කළ නිසයි. අපිත් ඒ සටනට ආශිර්වාද කළා. ඒ අය දිගටම සටන් කළ නිසා තමයි මේක ලැබෙන්නේ. අයවැයෙනුත් මේක අනුමත වෙයි. නමුත් මේ පාලකයින් මේක ක්‍රියාත්මක කරයිද කියන එකනම් මට ප්‍රශ්නයක්. ගියපාර අයවැයේදී කියපුවා ගොඩක් දේවල් කළේ නෑ. යහපාලන ආණ්ඩුවේදිත් එහෙම තමයි වුණේ. විපක්ෂයක් වුණාම කට පියාගෙන ඉන්න බැහැනේ. එහෙම හිටියොත් ජනතාව අහයි විපක්ෂය බුදිද කියලා. ජනතාවට බලපාන ප්‍රශ්නවලදී ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න තමයි අපි ඉන්නේ. 

 
ප්‍රශ්නය:-රට තුළ යම් ආණ්ඩු විරෝධයක් පළවුණත් විකල්පය ලෙස සමගි ජන බලවේගය තෝරාගෙන නෑ කියලා මම කිව්වොත්?   


පිළිතුර:- ඩේලි මිරර් පත්තරයේ මම කිව්වා කියලා ද‌ාලා තිබුණ නිවුස් එක අල්ලාගෙන වෙන්න ඇති ඔබ ඔය ප්‍රශ්නය අහන්නේ. සමගි ජන බලවේගය තමයි මේ රටේ ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේ. ඒකේ සැකයක් නෑ. ඡන්ද ලක්ෂ 27 ක් අපි ගත්තා. ඒ නිසා විපක්ෂයේ වැඩිම මන්ත්‍රී පිරිස ඉන්නේ අපට. රජයක් පිහිටුවන්නේ අනිවාර්යයෙන්ම අපි. නමුත් එදත් අපේ පාක්ෂිකයන්ට කතා කරන කොට මම කිව්වේ පොහොට්ටුවට ඡන්දෙ දීපු ලක්ෂ 69 න් සියයට 50 ක් විතර ඉන්නවා දැන් පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන. පාවෙන ඡන්දත් ඇතුළුව. ඒ අය තවම විකල්ප ආණ්ඩුව අපි කියලා තීරණය කරලා නෑ. ඒක සාමාන්‍ය යථාර්ථය. ආණ්ඩුව ඇවිත් තවම අවුරුදු එක හමාරයි. එතකොට ගැලවෙන කට්ටිය එකපාරටම ඇවිත් අපේ ඔඩොක්කුවේ වාඩි වෙන්නේ නෑ. අපිත් එක්ක යම් සාකච්ඡාවක් යන්න ඕනැ. එතකොට තමයි ඒ අය අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අපි ඒ අවස්ථාව එනකම් ඉන්නවා. විකල්ප රජය පිහිටුවන්නෙත් අපි. අපි ඇරෙන්න විකල්පයක් නෑ.   


ප්‍රශ්නය:-ඒ මෙහෙයුමට සජිත් ප්‍රේමද‌ාස විපක්ෂනායකවරයා ප්‍රමාණවත් කියලා ඔබ හිතනවද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම. එතුමා අපේ පක්ෂය ගොඩ නැගුවා. එතුමා අපේ පක්ෂයේ නායකයා. රටේ විපක්ෂනායකතුමා. එතුමාගේ නායකත්වය අපි පිළිගන්නවා.   


ප්‍රශ්නය:-නමුත් පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා රැකගන්න ඔහු අසමත් වෙලා තියෙනවා.?   


පිළිතුර:- ඕනෑම දේශපාලන පක්ෂයක පොඩි පොඩි ගැටලු එනවා. දැන් බලයේ ඉන්න ආණ්ඩුව ඇතුළේ හැටි පේනවනේ. කලකිරීමෙන් විශාල පිරිසක් ඉන්න බව පේනවා. ඒ ගොල්ලෝ කතා කරන පලියටම එළියට එයි කියලා අපි හිතන්නේ නෑ. ඒගොල්ලෝ කුඩා පක්ෂ. සමහරක් ඒවා ත්‍රීවීල් පක්ෂ. ඒ නිසා එළියට එයි කියලා විශ්වාස කරන්නේ නෑ.   


ප්‍රශ්නය:- එළියට ආවොත්?   


පිළිතුර:- එහෙම ආවොත් කොහොමද පිළිගන්නේ කියලා හිතන්න වෙනවා. මොකද ඒ ගොල්ලෝ කරන ඒවා අපි පිළිගන්නේ නෑ. රට පිළිගන්නෙත් නෑ. රජය වෙලත් ඇතුළේ එහෙම ප්‍රශ්න තියෙනවා නම් විපක්ෂයේ පක්ෂවල තත්ත්වය ඊට වඩා සංකීර්ණයි. බලය නැතිවෙලා ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ දීලා ඉන්න වෙලාවක්නේ. එතකොට පොඩි පොඩි ගැටලු එන එක නවත්වන්න බෑ. නමුත් අපට ඒවා විසඳ‌ාගෙන යන්න පුළුවන්.   


ප්‍රශ්නය:-සමගි ජන බලවේගය තුනට හතරට කැඩිලා කියලත් කියනවා?   


පිළිතුර:- නෑ එහෙම කැඩෙන්නේ නෑ. යම් යම් අවස්ථාවලදී මන්ත්‍රීවරයකුගේ දෙන්නෙකුගේ මත ගැටුම් එන්න පුළුවන්. ඒක බලාපොරොත්තු වෙන්න ඕනැ. එහෙම නැතිව වෙන ප්‍රශ්නයක් නෑ.


ප්‍රශ්නය:- මන්ත්‍රී චම්පික රණවක 43 සේනාංකය හද‌ාගෙන ඔහු වෙනම ගමනක් යනවා?   


පිළිතුර:- ඒක එතුමගෙ පෞද්ගලික න්‍යාය පත්‍රයක්. ඒකට අපේ පක්ෂයේ කිසිම සම්බන්ධයක් නෑ. එයාගෙ ඉදිරි දේශපාලනයට අද‌ාළ දෙයක් එයා කරන්නේ. අපි එයාට යෝජනා කරලා තියෙනවා අපේ පක්ෂයට එකතු වෙනවා නම් ඒක පක්ෂයේ වැඩක් හැටියට යන්න ඕනැ කියලා. පක්ෂ මූලස්ථානයේ පක්ෂ නායකත්වයේ අනුමැතිය ඇතිව ඒ විදියට යන්න ඕනැ කියලා.   


ප්‍රශ්නය:- නමුත් තවම යහපත් ප්‍රතිචාරයක් නෑ?   


පිළිතුර:- ඔව්. ඔහු පක්ෂයට එකතුවෙලා නෑ තවම. අපිත් එක්ක ඉන්නවා. අපෙන් ඡන්දෙ ඉල්ලුවට. එයා හිටපු පක්ෂයෙන් අයින් වුණා. නමුත් තවම එයා පාවෙවී ඉන්නේ. අපේ ස්ථාවරය අපි එයාට කියලා තියෙනවා.   


ප්‍රශ්නය:-සමගි ජන බලවේගය තුළ ජනාධිපති අපේක්ෂකයෝ ගොඩාක් ඉන්නවා. ඒකත් බරපතළ ප්‍රශ්නයක්.   


පිළිතුර:- එක එක්කෙනා ළඟ හීන ඇති. මට නම් එහෙම හීන නෑ. මගේ ස්ථාවරය තමයි මගේ නායකයා තමයි ජනාධිපති අපේක්ෂකයා කියලා. නායකයාගේ දේශපාලනය අනුව එයා යම්කිසි තීරණයක් ගත්තොත් වෙන විකල්පයක් ගැන හිතන්න ඒක වෙනම දෙයක්. ඒක එයාගේ වැඩක්. නමුත් අපි පක්ෂයක් හැටියට අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අපි තෝරා ගන්නේ අපේ පක්ෂයේ නායකයා. ඒකේ ගැටලුවක් නෑ.  


ප්‍රශ්නය:-ඔබ ඔබේ සුදුසුකම් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද?  


පිළිතුර:- මම ඉස්සෙල්ලා කිව්වා වගේ එහෙම අවස්ථාවක් මට එනවා නම් ඒක ජනතාවගෙන් ඇවිල්ලා ඊට පස්සේ ජනතාව හරහා ගොඩනැගිලා පක්ෂය හරහා ඇවිල්ලා පක්ෂ නායකයාගේ ආශිර්වාදයෙන් වෙන්න ඕනැ. එහෙම නැතිව පක්ෂ නායකයාගේ කකුලෙන් ඇදලා හරි, පක්ෂය කඩාගෙන ගිහිල්ලා හරි එහෙම කරන්න මම ලෑස්ති නෑ. ඒක නිසා මම හිතනවා ඒක තමයි හරිම ක්‍රමය කියලා. 

පක්ෂ නායකයා තීරණය කළොත් වෙන කෙනෙක් ඉල්ලන්න ඕනැ කියලා. ඒක මට එනවා නම් අර විදියට තමයි එන්න ඕනැ.  


ප්‍රශ්නය:-ඔබ 2010 දී ජනාධිපති අපේක්ෂකයා. ඒක වුණේ අහම්බයෙන්ද? එහෙම නැත්නම් දිගුකාලීන ප්ලෑන් එකක්ද?  


පිළිතුර:- මම හමුද‌ාවෙන් අස්වුණේ ඒ රාජ්‍ය නායකයා ගැන තිබුණ කලකිරීමත් එක්ක. ඒ වගේම මත ගැටුමකුත් තිබුණා. ඔය අතරෙදි මට ආරාධනා කළා ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය. අපේ ගෙදරටම ඇවිත් සාකච්ඡා කරලා මට ආරාධනා කළා. එතකොට මම හිතුවා ඒ වෙලාවේ ඒක බාරගන්න ඕනෑ කියලා. මොකද ඒ රජයේ වැඩ ගැන කලකිරිලා හිටියේ. මම අදත් විශ්වාස කරනවා ඒ පාලකයන් හරි දේ කළේ නෑ කියලා. ඒ වගේම ඒ කාලේ එක්සත් ජාතික පක්ෂය යුද්ධයට විරුද්ධව විශාල හඬක් නැගුවා. සමහරු කිව්වා මම යුද හමුද‌ාපතිකමට නොවෙයි ගැලවීමේ හමුද‌ාවටවත් ගැලපෙන්නේ නෑ කියලා. එහෙම මටත් අපහාස කළා. යුද්ධයට විරුද්ධව කතා කළා. ඒ අයට වුණේ විශ්‍රාම ගිය හමුද‌ා නිලධාරීන්ගෙන් තමයි උපදෙස් ගත්තේ. ඒ අය වැරැදි උපදෙස් දුන්නේ. ඒ නිසා යුද්ධය ඉවර වුණාම එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයට යන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නෑ. අන්ත පරාජයක් හිමිවෙන්නේ කියලා ඒ ගොල්ලන්ට තේරුණා. ඇත්තටම එක්සත් ජාතික පක්ෂය පීචං වෙලා හිටියේ. ඒ වාතාවරණය තුළ තමයි මට කතා කළේ. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයෙක්වත් හොයා ගන්න බැරිව හිටියේ. මම ඉල්ලුවේ නැත්නම් ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ යන්නේ නිතරගයෙන්. ඒ ගොල්ලෝ කවුරුවත් ඒ වෙලාවේ බෙල්ල දෙන්නේ නෑ. මම යුද්ධයට ද‌ායක වුණු කෙනෙක්නේ. ඒ නිසා තමයි යම්කිසි ඡන්ද ප්‍රමාණයක් හරි මට ලැබුණේ. එක්සත් ජාතික පක්ෂය පස්සෙන් මම ගියේ නෑ. මම ඒගොල්ලන්ගේ ගැලවුම්කාරයා වුණා. එච්චරයි වුණේ.  


ප්‍රශ්නය:-ඔබ අද මේ දේශපාලනය ගැන තෘප්තිමත්ද?  


පිළිතුර:- අපේ රජයක් ගොඩනගලා මේ රට නිවැරදි මාවතට අරගන්නකම් දේශපාලන ජීවිතයේදී මට ඔය තෘප්තිය ලැබෙන්නේ නෑ.

 

 

 සාකච්ඡා කළේ   
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්