මිතුරන්ටත් සතුරන්ටත් සමසේ බෙදන ට්‍රම්ප්ගේ බදු හැන්ද


තරගකාරී රටවල් සම බිමකට

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ලෝකය කරකවා අතහැර තිබේ. අප්‍රේල් දෙවැනිදා “ලිබරේෂන් ඩේ ” හෙවත් අමෙරිකාවේ විමුක්තියේ දිනය ප්‍රකාශයට පත් කරමින් ඔහු දිගට හරහට ලෝකයේ විවිධ රටවලට බදු ගැසීය. බරපතළ ගණන්වලින් බදු ගැසුවේය. දැන් ඔහු එම බදු අඩුකර සියලු වෙළෙඳ හවුල් කරුවන්ට තරගය සඳහා සමබිමක් නිර්මාණය කරමින් සිටී. 2025 අගෝස්තු පළමුවැනිදා යනු ඓතිහාසික දිනයකි. ඒ රටවල් රුසක ආණ්ඩු, රාජ්‍ය නායකයන්, ආර්ථික හා වෙළෙඳ ඇමතිවරු,මහබැංකු අධිපතිවරු, වෙළෙද ආයතන ප්‍රධානීන් හා අපනයන කරුවන් මෙන්ම අපනයන කර්මාන්ත සේවකයන්ද මහත් විපිළිසර බවකින් බලා සිටි දිනයකි. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 අප්‍රේල් දෙවැනිදා එනම් මෝඩයාගේ දිනයට පසුදින, පැනවූ බදු, ප්‍රකාශිත සහන කාලය අවසන්ව අමෙරිකානු ජනාධිපති නියෝගයක් ලෙස ක්‍රියාවට නැංවෙන දිනය වීම නිසයි. 

මේ නිසා ජූලි 31 වෙනිදා රාත්‍රිය ඉහත සඳහන් කළ බොහෝ දෙනාට නිදි වර්ජිත රැයක් වූ බවට විවාදයක් නැත. කලින් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹුණු රටවල බදු හා විශේෂිත තත්ත්වයන් පැවති රටවල බදු ගැන ට්‍රම්ප් වරින් වර නිවේදනය කළද ලොව රටවල් 92ක් පිළිබඳ බදු ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීම අගෝස්තු 1 වැනිදාට නියමව තිබිණ. වික්ෂිප්ත බවක් තිබුණේ බදු ලැයිස්තුවේ ස්වභාවය කුමක් වේද යන්න ගැනය. කියූ පරිදිම අමෙරිකාවේ වොෂිංටන් ඩීසී හෙවත් අගනුවර වේලාවෙන් මධ්‍යම රාත්‍රිය උදාවීමට දෙපැයක් පමණ තිබියදී ධවල මන්දිරයේ එනම් අමෙරිකානු ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ රටවල් 92ක බදු ලැයිස්තුව පළවිය. කියු තරම් යකා කළු නැත. ලොකු ලොකු ගණන්වලින් බදු ගසන බව කියූ ට්‍රම්ප් ඇත්තටම බදු ගසා ඇත්තේ මධ්‍යස්ථ මට්ටමකිනි. ඇතැම් රටවලට තර්ජනය කර තිබූ තරම් ඉහළ බද්දක් ලැබුණේ නැත. ට්‍රම්ප්ගේ ඉලක්කය පැහැදිලිය. අමෙරිකාවේ මඩිය තරකිරීම මුඛ්‍ය අරමුණයි. 

අගෝස්තු 1 බදු පැනවීමෙන් පසු ඔහු අමෙරිකානු භාණ්ඩාගාරයට එක් රැස් කළ දී ඇති මුදල ඩොලර් බිලියන 125 ඉක්මවයි. එය මින් පෙර ඇමෙරිකාව නොලැබූ  ආදායමකි.  ඒ අනුව ට්‍රම්ප් ජනාධිපති පදවියට පත්ව මාස 7ක් ගතවෙද්දි අමෙරිකාවේ ආදායම් තරකරගැනීමේ ඉලක්ක සපුරා ලීම අරඹා තිබේ. &MAKE AMERICA GREAT AGAIN* යනුවෙන් ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණයේදී හඳුන්වා දී ඇත්තේ එයයි. ඒ අනුව ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති මාලාවෙහිද අමෙරිකාවට අවාසිදායක වෙළෙඳාම හා අමෙරිකාවෙන් අධික ලාබ ලබන වෙළෙඳ හවුල් කරුවන් මට්ටු කිරිම ගැන විවෘතව නැතත් විවිධ ස්වරූපයන්ගෙන් ක්‍රමවේද හඳුන්වාදීමක් ගැන සඳහන් වේ. එය යථාර්ථයක් බවට පත්කර ගැනීමට ට්‍රම්ප් සමත්ව ඇත්තේ ලොව සියලු දළකාරයන් අවසානයේදී තමා ඉදිරියේ දණ ගස්වා තමාට රිසි ආකාරයේ වෙළෙඳ ගිවිසුම්වලට පොලඹවාගැනීමෙනි. මේ අනුව 2016 ට්‍රම්ප්ට වඩා 2025 ට්‍රම්ප් සෑම අතින්ම බලවත් බවක් 
පෙන්වා ඇත.

ට්‍රම්ප්ගේ අරමුණ - ලෝක බලපෑම

බදු පනවා ලොව කළඹා ට්‍රම්ප් අමෙරිකාව සිය අරමුණ වෙත රුගෙන යන බවක් පෙනේ. ඔහුගේ මුඛ්‍ය අරමුණ අමෙරිකාවට අවාසිදායක වෙළෙඳාම වාසි දායක මට්ටමකට ගෙනඒමයි. ඒ සඳහා ඔහු හඳුන්වාදුන් ප්‍රබලතම උප්පරවැට්ටිය තීරු බදු ගැසීමයි. කොතරම් පුළුල් ලෙස තීරු බදු ප්‍රකාශයට පත් කළ දැයි කිවහොත් කිසිදු මිනිස් වාසයක් නැති පෙන්ග්වින් පක්ෂීන් හා සීල් මසුන් පමණක් වෙසෙන දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිත මැක්ඩොනල්ඩ්ස් හා හර්ඩ්ස් දූපත්වලටද සීයට10ක බදු පනවා තිබිණ. එය වෙළෙඳ ලෝකයේ හාස්‍යයට ලක්වෙද්දී ට්‍රම්ප් පාලනය ප්‍රකාශ කළේ ඒ ආශ්‍රිතව සිදු කෙරෙන නාවික ගමනාගමනය බදුවල ඉලක්කය කරගත් බවයි. ඒ කෙසේ වෙතත් ට්‍රම්ප් හතුරන්ට මෙන්ම මිතුරන්ටත් එකසේ බදු පැනවීය. කාටත් සහනයක් නොවීය. ඉවසන්නට බැරි කරුණ වූයේ මිතුරන්ට හිස අතගා පොල්ටොක්කක් අනින ගමන් රිදෙන ආකාරයේ බදු පැනවීමයි. ඉන්දියාව එවැනි තත්ත්වයට පත්වූ රටකි. ට්‍රම්ප් ඉන්දියාවට පනවා ඇති බදු ප්‍රතිශතය සීයට25කි. අප්‍රේල් 2 දා සිට දින 90ක සහන කාලයකදී සාකච්ඡා සඳහා ලෝකයට අමෙරිකාව විවෘත කළ ට්‍රම්ප් ලෝක නායකයන්ට තරමක් නරක වචනයෙන් සරදම්ද කළේ දැන් තමාගේ “පශ්චාත් භාගය සිඹීමට පෝලිමක් “ ඇති බව පවසමිනි. කෙසේ වෙතත් “ට්‍රම්ප් බදු” මෑත කාලීන ලෝකය ආර්ථිකමය වශයෙන් විශාල කැළඹීමකට පත් කළ සංසිද්ධියකි. 

ට්‍රම්ප්ගේ අංගම් පහර

ට්‍රම්ප් බදු නිසා බලපෑමට ලක්වුයේ සමස්ත ගෝලිය ආර්ථිකයයි.  ඒ නිදහස් වෙළෙඳ රටාව අනුව සංචරණය වෙමින් පැවති ගෝලීය ආර්ථිකය හදිසියේ මහා කුණාටු සහිත සාගරයකට යොමු කළේ එහි වර්ධන වේගය අඩාළ කරමින් හා ගමන්මග අවිනිශ්චිත අඩියකට යොමු කරමිනි. ඊට ප්‍රධාන හේතුව නිදහස් වෙළෙඳාමේ සතුරෙකු බඳු තීරු බදු ට්‍රම්ප් නිදහස් වෙළෙඳ රටාවට එරෙහි අවියක් ලෙස යොදා ගැනීමයි. ට්‍රම්ප් නිදහස් ආර්ථික සංකල්ප සියල්ලට පයින් ගසා තමාගේම ආර්ථික මොඩලයක් ලෝකයට ආරෝපණය කිරීමට උත්සුක විය. දැන් කැමති වුවත් අකමැති වුවත් ලෝකයට අනුගත වීමට සිදුව ඇත්තේ “ට්‍රම්පීය ආර්ථික රටාවකට”යි. එය අමෙරිකාව මූලික කරගත් ආර්ථික රටාවකි. මුල්තැන අමෙරිකාවය. අමෙරිකාවට අභියෝගයක් ව ඉදිරියට එමින් සිටි චීනය හා ඉන්දියාව වැනි රටවලට ට්‍රම්ප්ගෙන් එල්ල වී ඇත්තේ නිලය බලා ගසනු ලැබූ අංගම් පොර පහරකි. බදු ඔස්සේ පහර එල්ල කොට අවසන්ය. එහෙත් විනාශකාරී ප්‍රතිඵලය පැමිණෙන්නේ පසුවටය. ලෝකයේ වඩාත් ඉහළ වේගයක් අත්කරගෙන සිටි ඉන්දීය ආර්ථිකය දැන් මුහුණ දී ඇත්තේ එම අභියෝගයටයි. 2016 ට්‍රම්ප් පාලන සමයේ වෙළෙඳ යුද්ධයකට මුහුණ දුන් චීනය දෙවැනි ට්‍රම්ප් පාලන සමය සඳහා යම් කාත් දුරකට සූදානම් වී ඇති බවක් පෙනේ. එහෙත් ඉන්දියාව එසේ නොවේ. අමෙරිකාව තම මිතුරකු නිසා අමෙරිකාවෙන් තමන්ට අහිතකර යමක් සිදුවනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා නොකරන්නට ඇත.

ගෝලිය ආර්ථික අභියෝග

ඩොනල්ඩ් ට්‍රම්ප් අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා සෙසු ගෝලිය මූල්‍ය ආයතනවලට 2025 වසර අපායක් කළේය. ඒ ඔවුන්ගේ පුරෝකථනයන් වෙනස් කිරීමට තරම් ප්‍රබල බදු හඳුන්වාදීමෙනි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2025සහ 2026 වසර සදහා ප්‍රකාශිත ආර්ථික වර්ධන වේගය සීයට3.3කි. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් දෙවැනිදා තීරු බදු හඳුන්වාදීමත් සමග එම අගය 2025 දී සීයට 3 දක්වා අඩු කිරීමට සිදුවිය. ඒ ට්‍රම්ප් බද්දෙන් ගෝලීය වෙළෙඳාමට හා ආර්ථිකයට සිදුවෙන හානිය සැලකිල්ලට ගනිමිනි. මේ නිසා  අයි එම් එෆ් ආයතනය ලොව පුරා ක්‍රියාත්මක කරන මූල්‍ය වැඩසටහන්වල ස්වභාවය ගැන ද යළි සලකා බැලීමට සිදුවන තත්ත්වයක් උදාවී තිබේ. ඉකුත් සතියේ පැවති මාධ්‍ය හමු දෙකකදී ශ්‍රී ලංකාවේ මූල්‍ය වැඩසටහන ගැන මෙහෙයුම් ප්‍රධානී එවන්ස් පපාජෝර්ජියෝ හා මාධ්‍ය ප්‍රකාශිකා ජුලී කොසැක් සඳහන් කළේ අමෙරිකානු තීරු බදුවල බලපෑම සැලකිල්ලට ගැනීමෙන් පසු ඉදිරි සමාලෝචනයන්හි ස්වභාවය සැකසෙන බවයි. කෙසේ වෙතත් අමෙරිකානු තීරුබදු ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ආර්ථිකයන්ට අහිතකර බලපෑම් එල්ල කරන බවත් ඉන් මිදීම සඳහා විවිධ රටවල් ඒ ඒ තත්ත්වයන්ට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු වන බවත් සඳහන් කළේය. දැන් යළිත් වතාවක් ට්‍රම්ප් තීරැබදු ප්‍රතිශත සංශෝධනය කර තිබේ.

ඒ අනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මේ වසර තුළ තෙවැනි වරටත් සිය ආර්ථික පුරෝකථන වෙනස් කිරිමට සිදුවනු ඇත. ඉකුත් සතියේ නිකුත් කෙරැණු නව පුරෝකථනයට අනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල මේ වසරෙහි සීයට 3.1ක ආර්ථික වර්ධනයක් හා ලබන වසරෙහි සීයට3.2  ක වර්ධනයක් පුරෝකථනය කර ඇත. ඒ බදු ප්‍රතිශතය බහුල වශයෙන් සීයට15-හා සීයට25 අතර පවතින තත්ත්වයක් සැලකිල්ලට ගනිමිනි. ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නව බදු සංශෝධනද ඉහත සීමාවේ පවතින නිසා බොහෝ විට නව පුරෝකථනයක් ඉදිරිපත් නොවීමට ඉඩ ඇත. කෙසේ වෙතත් ට්‍රම්ප් බදු නිසා අන්තර්ජාතික වෙළෙඳාමේ ඇතිවූ විවිධ විෂමතා නොවෙනස්ව පවතිනු ඇත. ඉතාම නරක තත්ත්වයක් යටතේ ට්‍රම්ප් බදු බලපෑමෙන් ගෝලීය වෙළෙඳාම වර්තමාන අගයට වඩා සීයට1.5ක අඩුවීමක් පෙන්නුම් කරනු ඇති බවට ලෝක වෙළෙඳ සංවිධානය පුරෝකථනය කර තිබේ. කෙසේ වෙතත් දැනට ප්‍රකාශිත අඩු බදු ප්‍රතිශත යටතේ වුවද ලෝක වෙළෙඳාමේ පසුබෑම සීයට0.2-සීයට0.8 අතර අගයක පවතිනු ඇතැයි විශ්වාස කෙරේ. 

ට්‍රම්ප් ලෝක වෙළෙඳ සංවිධානයට දුන් පහර

ගෝලිය වෙළෙඳ “ බොක්සිං වළල්ලේ“සුපිරි වීරයා දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ය. මේ වනවිට ඔහු ගෝලීය දැවැන්තයෙකු KNOCKOUT පහරක් මගින් බිම හෙළා ඇත. ඒ අන් කවරෙකුවත් නොව ලෝක වෙළෙඳ සංවිධානයයි.  ගෝලිය නිදහස් වෙළෙඳාම ප්‍රවර්ධනය පදනම් කරගත් ලෝක වෙළෙඳ සංවිධානය එක්සක් ජාතීන්ගේ යාන්ත්‍රණය යටතේ 1995 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන්නකි. ඊට පෙර එම කාර්යභාරය ඉටු කළේ 1948 වසරේ ස්ථාපනය කෙරුණු වෙළෙඳ හා තීරුගාස්තු පිළිබඳ පොදු සම්මුතිය හෙවත් ගැට් (GATT). සම්මුතිය පිළිබඳ කාර්යාලයයි. ලෝකයේ නිදහස් වෙළෙඳාමට ඇති බදු බාධක අවසන් කිරීම ලෝක වෙළෙඳ සංවිධානයේ මූලික අපේක්ෂා අතර වේ. ඒ අනුව ගෝලීය වෙළෙඳ නියාමන කාර්ය භාරය ඒ යටතේ සලකා බැලේ. එහි වාර්ෂික අයවැය ඩොලර් මිලියන 200ක් වෙන අතර එම ආයතනය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යටතේ සෘජුව ක්‍රියාත්මක වන ආයතනයකි. බිහිවූ දා සිට එම ආයතනය ලොව පුරා නිදහස් වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය හා බදු බාධක එමෙන්ම බදු නොවන බාධක ඉවත් කිරිම සඳහා වෙන යාන්ත්‍රණයන් හඳුන්වාදීමේ නිරත විය. එමෙන්ම ලෝක වෙළෙඳ ආරවුල් සමථයකට පත් කිරීමද එහි එක් කාර්යභාරයකි. කෙසේ වෙතත් ට්‍රම්ප් හදුන්වා දුන් බදු ගෝලීය වෙළෙඳාම උඩු යටිකුරැ කරද්දී ලෝක වෙළෙඳ සංවිධානයටද උන්හිටිතැන් අහිමි වන තත්ත්වයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවට වන බලපෑම

කලින් ට්‍රම්ප් ශ්‍රීලංකාවට පනවා තිබු බද්ද සීයට44ක් තරම් ඉහළ අගයක් ගෙන තිබිණ. රජය වහා ක්‍රියාත්මක වෙමින් අමෙරිකානු වෙළෙඳ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා ආරම්භ කළේය. ඒ අනුව ලොව බොහෝ රටවල් සමග ශ්‍රී ලංකාවද එක්වෙමින් අමෙරිකාව සමග සාකච්ඡා ඇරඹීය. ඒ අනුව දෙවැනි වර ට්‍රම්ප් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ ලිපියකින් දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකාව සඳහා වන බද්ද සීයට30 දක්වා අඩුකළ බවයි. ඒ අනුව අගෝස්තු 1 වැනිදා අවසන් කාලසීමාව පදනම් කරගනිමින් දෙවැනි සාකච්ඡා වටය ආරම්භ වූ අතර එහි උච්චතම අවස්ථාවේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ අමෙරිකානු වෙළෙඳ දෙපාර්තමේන්තු ප්‍රධානියා සමග සාකච්ඡා පැවැත්වීය. එහි ප්‍රතිඵලය දක්නට ලැබුණේ ට්‍රම්ප් ජනාධිපතිවරයා නිකුත් කළ අවසන් බදු ලැයිස්තුවේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ තීරු  බදු සීයට20 දක්වා අඩුකර තිබිණ. එය වඩාත් ප්‍රශස්ත අගයකි. ශ්‍රී ලංකාව අපේක්ෂා කළ තවත් තත්ත්වයක් උදාවී තිබේ. ඒ තමන්ගේ වෙළෙඳ තරගකරුවන් සමග යළි සම තත්ත්වයක් උදාවි තිබීමයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳ තරගකරුවන්ද සිටින්නේ සමාන බදු මට්ටමකයි. ඒ නිසා දැන් වඩාත් තරගකාරී හා ක්‍රමෝපායික වෙළෙඳ රටාවක් ගොඩනගාගැනීමට ශ්‍රී ලංකාවට නව අවස්ථාවක් හිමිවී තිබේ.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ