
ජාත්‍යන්තර තේ දිනය ඉකුත් මැයි 21 වැනිදාට යෙදී තිබුණු අතර ඒ නිමිති කරගෙන ශ්‍රී ලංකාවේ ද සැමරුම් උත්සව කිහිපයක් පවත්වන ලදි. රටට විදේශ විනිමය ජනනය කරන ප්‍රධාන ප්‍රභවයක් වන තේ, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනගිය ප්‍රකට සන්නාමයක් ද වේ. තේ ගැන කරන කතාවක දී අපගේ සිහියට එන ජන කොට්ඨාසයක් වන්නේ ඉන්දියානු සම්භවයක් සහිත දමිළ ප්රජාවයි. ගත වූ වසර 200කට අධික කාලය මුළුල්ලේ ම තේ හා කෝපි වගාව ආශ්‍රිතව ජීවත් වූයෙන් ඔවුන් වතුකර හෝ කඳුකර දෙමළ ජනතාව වශයෙන් ද හඳුන්වනු ලබයි.
එහෙත් වර්තමානය වෙනවිට එම ප්‍රජාව වඩාත් විධිමත්ව හැඳින්වීම සඳහා “මලයහම්” ප්‍රජාව යන යෙදුම ව්‍යවහාරයට පැමිණ තිබේ. අදින් වසර 200 කට පමණ ඉහත කාලයක දී දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණ ශ්‍රී ලංකා ආර්ථිකයට ශක්තියක් වෙමින් ජීවත් වෙන මේ ප්‍රජාව අධ්‍යාපන, සෞඛ්‍ය, සනීපාරක්ෂක, ආහාර, වැටුප් මේ ආදී ප්‍රශ්න අර්බුද ගණනාවකට මුහුණ දෙන බව ප්‍රකට කරුණකි. එබැවින් ම ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ගොඩනැගී තිබෙන ආඛ්‍යානයක් ද ලංකා දේශපාලනයේ කේන්ද්‍රයෙන් ඉතා ඈතට විහිදුණු පරිධියක ස්ථානගතව තිබේ.
ජාත්‍යන්තර තේ දිනය සැමරීම නිමිත්තෙන් සමාජ සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන ලද සංවාද මණ්ඩපයක් ඉකුත් 21 වැනිදා කොළඹ දී පැවැත්වුණු අතර, එහිදී මෙරට වැවිලි කර්මාන්තය හා එහි අභියෝග ගැනත් මලයහම් ප්‍රජාව මුහුණ දෙන සමාජ ආර්ථික අර්බුද ගැනත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මලයහම් ප්‍රජාව හා ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කාලයක සිට නොයෙක් අධ්‍යයන සිදුකරන හා නිරීක්ෂණ ඉදිරිපත් කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ආචාර්ය රමේෂ් රාමසාමි එහි දී ඒ සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් කළ අතර, ඒ සඳහා එම ප්‍රජාව ගැන කරනු ලැබ ඇති විවිධ අධ්‍යයන හා රජයේ මූලාශ්‍ර වලින් එක්රැස් කරගත් තොරතුරු හා දත්ත ඔහු යොදා ගෙන තිබිණි. අප මෙම ලිපිය සකස් කරන්නේ කථිකාචාර්යවරයා විසින් ඔහුගේ දේශනය සඳහා සකස් කරගන්නා ලද New Developments and Emerging Issues in the Plantation Sector: Possible Policy Options නමැති දත්ත වාර්තාවේ අන්තර්ගත තොරතුරු ආශ්‍රය කරගෙන ය.
වතුකරයේ දරුවන්ගෙන් සියයට 3.3 ක් පමණක් උසස් පෙළ හැදෑරීම, වර්තමානය වන විට මලයහම් ප්‍රජාව නියෝජනය කරන තිදෙනකු පමණක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සිටීම, සියයට 42 ක් දිගුකාලීන මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළීම සහ උප්පැන්න සහතිකයෙහි අනන්‍යතාව පිළිබඳ අර්බුදය ආදී ඉතා වැදගත් හා එම ප්‍රජාව මුහුණ පා සිටින සමාජ ආර්ථික අර්බුද මනාව හෙළි කරනු ලබන සංරචක ගණනාවක් මෙම අධ්‍යයනයෙහි අන්තර්ගත ය. ඒවා ද ඇතුළු ව ආචාර්ය රාමසාමි ඔහුගේ අධ්‍යයනයෙන් සහ නිරීක්ෂණ වලින් මතු කරන අති මූලික ප්‍රශ්න කිහිපයක් ගෙනහැර දක්වමින් මේ සටහන අපි මෙසේ ආරම්භ කරමු.
අලුතින් මතු වී ඇති වතුකරයේ ප්‍රශ්න
- උපත් අනුපාතිකය පහළ යෑම සහ එයින් අනාගතයේ දී මෙම ප්‍රජාවේ දේශපාලන නියෝජනයට හා ඉල්ලීම්වලට අහිතකර ලෙස බලපෑම
- වයස්ගත ජනගහනයේ ඉහළ යෑම (සියයට 18 කි)
- දේශගුණික විපර්යාස සහ නාය යෑම්, ගංවතුර වැනි ස්වාභාවික ආපදාවලින් පීඩාවට පත්වීම
- තරුණ විරැකියා අනුපාතය ඉහළ අගයක් ගැනීම.
මේ යටතේ තරුණයන් වතුකරයේ රැකියාවලට යොමු වීමට අකැමැත්තක් දක්වන බව පවසන ආචාර්යවරයා අවම අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ තරුණියන් රැකියා සඳහා නාගරික ප්‍රදේශ වෙත වැඩි වශයෙන් සංක්‍රමණය වන බව ද කියයි.
- වතුකරයේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් සියයට 3.3 ක් පමණක් උසස් පෙළ හැදෑරීම (මූලාශ්‍රය අධ්‍යාපන අමාත්‍යාංශය)
වර්තමානය වන විට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මලයහම් ප්‍රජාව නියෝජනය කරන 03 දෙනකු පමණක් සිටින අතර, ගත වූ වසර 200 ක කාලය ගත්විට එම ප්‍රජාවෙන් මෙරට පරිපාලන සේවයට එක්ව ඇති පිරිස 10කටත් වඩා අඩු බව කථිකාචාර්යවරයා කියයි.
- වතු ආශ්රිත ප්‍රදේශවල නිසි පරිදි කර්මාන්තශාලා ස්ථාපිත නොවීම
- ස්වයං රැකියා සහ කුඩා ව්‍යාපාරවල නිරත අයට රජයෙන් අඩු සහයෝගයක් ලැබීම
උප්පැන්න සහතිකයේ අර්බුදය
අනන්‍යතාව පිළිබඳ ප්රශ්නය ඉන්දියානු දමිළ ප්‍රජාව මෙරටට සංක්‍රමණය වූ දා සිට මුහුණ දෙන ප්‍රශ්නයක් වන අතර, කථිකාචාර්යවරයා ඔහුගේ ඉදිරිපත් කිරීමෙහි ද ඒ ගැන අවධානය යොමු කරයි. ඒ අනුව, ලංකාවේ සිටින ඉන්දියානු සම්භවයක් සහිත දමිළ ජනතාව 865,679 ක් වන අතර, එයින් ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් තමන් ඉන්දියානු දෙමළ යන අනන්‍යතාවෙන් හැඳින්වීමට කැමැත්ත ප්‍රකාශ කරන බවත්, ඉතිරි පිරිස ශ්‍රී ලාංකේය දෙමළ නැතිනම් මලයහම් දෙමළ යනුවෙන් හැඳින්වීමට කැමැත්ත ප්‍රකාශ කරන බවත් අවසන් ජන හා නිවාස සංගණන වාර්තාවෙන් හෙළි වූ බව ඔහු කියයි.
මේ අනන්‍යතා අර්බුදය සම්බන්ධයෙන් උද්ගතව ඇති අති මූලික ගැටලුවක් ගැන ද ආචාර්ය රාමසාමි අවධානය යොමු කරයි. ලක්ෂ දෙකකට ආසන්න ඉන්දියානු දෙමළ පිරිසක් ඔවුන්ට රජයෙන් ලැබෙන උප්පැන්න සහතිකයෙහි ජාතිය යන්නට ඉන්දියානු දෙමළ වෙනුවට ලාංකික දෙමළ යන්න ඇතුළත් කිරීමට කැමැත්තක් දැක්වුවත්, උතුරු නැගෙනහිර පළාත්වල දීර්ඝ ඉතිහාසයක් සහිත දෙමළ ප්‍රජාවක් ජීවත්ව සිටින බැවින් ඔවුන් එයට කැමති නොවීමට ඉඩ ඇති බව ඔහු කියයි.
“අනන්‍යතා අර්බුදය සම්බන්ධයෙන් කාලයක ඉඳලා විශාල සංවාදයක් ඇති වුණා. ඒකෙන් සාකච්ඡා කළේ වතු ප්‍රජාවගේ අනන්‍යතාව කුමක් විය යුතු ද කියලා. එක පිරිසක් කියන්නෙ ඔවුන්ට ඉන්දියානු දෙමළ කියන අනන්‍යතාව අවශ්‍යයි කියලා. ඉන්දියානු අනන්‍යතාව අවශ්‍යයි කියන දේශපාලනඥයනුත් ඉන්නවා. දීර්ඝ ඉතිහාසයක් තියෙන දෙමළ ප්‍රජාවක් ලංකාවෙ ඉන්නවා. ඒ නිසා මලයහම් ප්‍රජාව ශ්‍රී ලාංකික දෙමළ කියලා හැඳින්වුවොත් ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල ඉන්න දෙමළ ප්‍රජාව ඒක පිළිගන්නෙ නෑ. ඒ වගේම උතුරෙ දෙමළ ජනතාවට වෙනම තේසවලාමේ කියලා නීතියකුත් තියෙනවා. ඒත් මලයහම් ප්‍රජාවට එහෙම නීති මොකුත් නෑ.”

“අනන්‍යතා අර්බුදය සම්බන්ධයෙන් තව මතයක් තියෙනවා. ඒ මතය වැඩි වශයෙන් නියෝජනය කරන්නෙ දැන් ඉන්න තරුණ පරම්පරාව හා සිවිල් සංවිධානවල ඉන්න අය. ඒ අය කියන්නෙ තමන්ට වෙනම අනන්‍යතාවක් අවශ්‍ය බවත්, අවුරුදු 200 ක් තිස්සෙ මලයහම් ප්‍රදේශවල ජීවත් වෙන නිසා මලයහම් දෙමළ කියන අනන්‍යතාව අවශ්‍ය බවත්. ඒක ගැන විශාල කැම්පේන් එකකුත් ගියා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට අවසන් සංගණන වාර්තාවෙන් මලයහම් ප්‍රජාව හැඳින්වූයෙ ඉන්දියානු දෙමළ - මලයහම් කියලා.
මේ අනුව පැහැදිලි වෙන්නෙ ඉන්දියානු දෙමළ සමාජයේ අනන්‍යතා අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. මගේ පෞද්ගලික මතය වෙන්නෙ ඉන්දියානු දෙමළ කියලා උප්පැන්න සහතිකයෙ දානවට වඩා මලයහම් දෙමළ කියලා දානවා නම් හොඳයි කියන එක. ලංකාවේ අනිත් ප්‍රජාවන් සමග සංසන්දනය කරද්දි මලයහම් ප්‍රජාව කියන්නෙ අධ්‍යාපනය, සෞඛ්‍ය මේ ආදී අංශ ගණනාවකින් පසුපසින් ඉන්නෙ. ඒ පරතරය අවම කරන්න නම් මේ අයට රජයෙන් විශේෂ වරප්‍රසාද ලබාදෙන්න ඕන. වෙනම රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්න ඕන.”
ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම අඩු කුලවල ජනතාව ඉහළට ඔසොවා තැබීම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දී තියෙනවා. ඒ අයට අදාළ වෙනම රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා. නේපාලයේත් එවැනි රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ මලයහම් ප්‍රජාව අවුරුදු 200 ක් තිස්සෙ ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් ප්‍රජාවක් නිසා ඒ අයට විශේෂ වරප්‍රසාද ලබාදීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කියන්නෙ මේ ප්‍රජාවට මලයහම් දෙමළ යනුවෙන් වෙනම අනන්‍යතාවක් අවශ්‍යයි කියලා. ඉදිරියේ දී ජාතික තලයේ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවෙන විට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන කොට මේ ප්‍රජාවගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද තහවුරු කරගැනීමට මේ අනන්‍යතාව ඉතාම වැදගත්”.
මෙහි ඇති වගුව මගින් ඒ ඒ අංශවල දරිද්‍රතාවට හා අනාරක්ෂිතභාවයට අදාළ දත්ත දක්වා ඇති අතර සෑම අංශයකදී ම වතුකරයේ අවදානම වැඩි වී ඇති ආකාරය අවබෝධ කර ගත හැකිය.
වතුකරයේ පවුල් සියයට 55 කට මන්දපෝෂණය
සිය අධ්‍යයනයේ දී වතුකරයේ ජනතාව උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකින් පෙළෙන බවට හෙළි වූ බව ද ඔහු කියයි. ඒ අනුව, ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය IFPRI සහ ජාත්‍යන්තර ජල සම්පත් කළමනාකරණ ආයතනයේ දත්ත උපුටා දක්වමින් කථිකාචාර්යවරයා පවසන්නේ වතුකරයේ පවුල් ඒකකවලින් සියයට 55 ක් උග්‍ර හෝ මධ්‍යම ප්‍රමාණයේ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවය. මන්දපෝෂණය ගැන කතා කිරීමේ දී ද වතුකරයේ ජනතාව පිළිබඳ නිතරම සඳහන් වේ. එම ප්‍රජාවෙන් සියයට 42 ක් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ දිගු කාලයක් තිස්සේ නොලැබීමෙන් ඇති වන Chronic Undernutrition නමැති දීර්ඝකාලීන මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව ය. අස්වැසුම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභය ලබන වතුකරයේ ප්‍රජාව සියයට 56 ක් වන අතර ඒ සා ඉහළ අගයෙන් පැහැදිලි වෙන්නේ ද එම ප්‍රජාව මුහුණ දෙන ආර්ථික අර්බුදයේ තරම ය.
“2022 ආර්ථික අර්බුදය වෙලාවේ සහ දිට්වා සුළිකුණාටුව පසුව ඇති වූ ආහාර අනාරක්ෂිතභාවයට වැඩි වශයෙන් ම ගොදුරු වුණේ වතුකරයේ ජනතාව. වතුකරයේ බොහෝ දෙනෙක් තුන් වේලටම කෑම ගන්නෙ නෑ. බහුතරයක් දෙනා වේල් දෙකක් විතරයි ගන්නෙ. ඒ අය ගන්න කෑම පරීක්ෂා කරලා බැලුවොත් තේරෙනවා ඒ අය කෑමට ගන්නෙ පෝෂ්‍ය පදාර්ථ නැති ආහාර කියලා. ඒකට හේතුව තමයි ඒ අයට සුළු ආදායමක් ලැබීම. බඩු මිල ඉහළ යෑම, ජීවන වියදම මේ ඔක්කොම බලද්දි එයාලට වත්තෙන් ලැබෙන දවසෙ ආදායම ජීවත් වෙන්න ප්‍රමාණවත් වෙන්නෙ නෑ. එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන ලංකාවට අදාළව නිකුත් කළ වාර්තාවෙන්ම කියනවා ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය වැඩිපුරම තියෙන්නෙ වතුකරයෙ ජනතාව අතර කියලා. ඒකට ප්‍රධාන හේතුව දුප්පත්කම. ආහාර අනාරක්ෂිතභාවය ඒ අයගේ සෞඛ්‍යයට ළමයින්ගේ අධ්‍යාපනයට මේ ආදී සෑම දෙයකටම අහිතකර විදියට බලපානවා” කථිකාචාර්යවරයා පැහැදිලි කළේය.
සිය අධ්‍යයන හා නිරීක්ෂණ මත පදනම්ව වතුකරයේ ජනතාව මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්න විසඳීම සඳහා කටයුතු කළ හැකි ආකාරය ගැන ද ඔහු සිය ඉදිරිපත් කිරීමෙන් කරුණු දක්වයි. ඒවා අතර එම ප්‍රජාවගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා බලපෑම් කණ්ඩායම් හා දේශපාලන ක්‍රියාකාරීන් අතර එකඟත්වයක් ඇති කරගැනීම සහ දේශපාලන සහ නිලධර තන්ත්රයේ කැමැත්ත, සමාජ යුක්තිය, සමාන අයිතිවාසිකම්, සාධාරණත්වය සහ සිවිල් ජාතිකවාදය සඳහා වන ඉල්ලීම් විධිමත්ම ගොඩනැංවීම, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආණ්ඩුකරණ ක්‍රියාවලියට සක්‍රීයව මැදිහත්වීම, පරිපාලන සේවයේ මලයහම් ප්‍රජාවගේ නියෝජනය ඉහළ නැංවීම, සුහුරු කෘෂිකර්මාන්තය හඳුන්වා දීම සහ දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යාපනය ලබා දීම, මලයහම් ප්‍රජාව මුහුණ දී සිටින අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න හා වෙනස් කොට සැලකීම් සම්බන්ධ ප්‍රශ්න ගැන සොයා බලා නිසි ප්‍රතිකර්ම ඉදිරිපත් කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීම සහ වතුකරයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීම සඳහා විස්තීර්ණ සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කිරීම යනාදිය ඒ අතර වේ.
මලයහම් ප්‍රජාව සම්බන්ධ කථිකාචාර්යවරයාගේ නිරීක්ෂණ හා අධ්‍යයන ඔස්සේ මතු කරනු ලබන හා සත්‍ය වශයෙන් ම විද්‍යමාන ප්‍රශ්න බොහෝමයක් මානවයාගේ මූලික අවශ්‍යතා හා අයිතිවාසිකම්වලට සම්බන්ධ බව පැහැදිලි ය. එනම්, ආහාර, සෞඛ්‍ය සනීපාරක්ෂාව අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර රැසක ප්‍රශ්නවලින් ඔවුහු පීඩා විඳිති. ආණ්ඩුව ජනගත කළ හැටන් ප්රකාශනයෙන් මෙම ප්‍රජාවගේ අනන්‍යතා ප්රශ්නය විසඳන බවට ප්‍රතිඥා දුන්න ද එය මෙතෙක් යථාර්ථයක් බවට පත්ව නැත.
ආචාර්ය රාමසාමි අවසන් වශයෙන් ප්‍රකාශ කළේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වැදගත් බවත්, එහි සුළුතර ප්‍රජාවගේ අතියිවාසිකම් ඇතුළු කණ්ඩායම් අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කළ යුතු බවත්, බොහෝ රටවල කුල පීඩිත හෝ පසුගාමී සමාජ කණ්ඩායම් සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියෙන් ම ලබා දෙන ආකාරයේ වරප්‍රසාද මලයහම් ප්‍රජාවටත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජයත් කටයුතු කළ යුතු බවත් ය.
උපුල් වික්‍රමසිංහ

