මාලිමාවේ ජනවරමට එරෙහි කුඩු අභියෝග


මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් බන්ධනාගාර ගත කිරීමෙන් පමණක් මත් උවදුර වළක්වා ගැනීමට හැකියාවක් නැත. ශ්‍රී ලංකාව කලාපයේ මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වී ඇති අතර එය සංවිධානාත්මක අපරාධ වර්ධනය වීමට බලපා ඇත. 

එබැවින් ජාතික ජන බලවේගය මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙනු ලැබේ. - ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය (2024 අගෝස්තු) “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” පිටු අංක210 යටතේ “මතින් තොර රටක් - නීරෝගී පුරවැසි දිවියක්” තේමාකොට ගෙන ඉදිරිපත් කර ඇත.

මීට වසරකට පෙර ජාතික ජන බලවේගයේ දේශපාලන පොරොන්දුවක් වූ මත් විරෝධයට අද වෙන විට ජාතික ජන බලවේගය කොතෙක් සාධාරණය  ඉටුකර ඇත්ද යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණ වේ. මා නිතරම අවධාරණය කරන ආකාරයට මාලිමාවේ ජනතා අභිලාෂයට අප කෙතරම් අවංක වී ඇත් ද යන්න මැන බැලෙන පරීක්ෂාවක් වශයෙන් ද මෙම විවරණය භාවිත කළ හැකිය. 

එදා අප දේශපාලනයේ අතිශය අඩු නියෝජනයක සිටියා වුව ද, අප දේශපාලන අවබෝධයේත් රට පිළිබඳ කියවීමේත් වඩාත් නිවැරදි ස්ථානයක සිටි බව ඉහත උපුටා දැක්වීම අද සමග සන්සන්දනය කිරීමෙන් සරලව වටහා ගත හැකිය. එදා අප දුර සිට දුටු ඒ අනතුර අද අප හමුවේ ඇති සමීප අභියෝගයක් බවට පත්ව තිබේ. එදා අප දුර සිට දුටුවාට වඩා අද අපට මත් රකුසාගේ සැබෑ ස්වරූපය ළඟ සිටම නිරීක්ෂණය කිරීමට හැකිව තිබේ.  

1977දී අප මත පටවන ලද කොල්ලකාරී සහ අමානුෂික ආර්ථික ප්‍රතිපත්තිය යටතේ දේශපාලකයන්, ඔවුන්ගේ හෙංචයියන් සහ ඇම්බැට්ටයන් සමග දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ දූෂිත ව්‍යාපාරිකයන් එක්ව ගොඩ නගන ලද රාජ්‍ය පාලන ව්‍යුහයට සංවිධානාත්මක අපරාධ කල්ලි නැතුවම බැරි අංගයක් බවට පත් වූ අයුරු අපට  අමතක නැත. මුලින් දේශපාලකයන්, ඔවුන්ගේ හෙංචයියන් සහ ඇම්බැට්ටයන් සමග දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ දූෂිත ව්‍යාපාරිකයන් එක්ව ගොඩ නගන ලද ඉහත කී රාජ්‍ය පාලන ව්‍යුහයට පිටින් පැවති උපකරණයක් ලෙස ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධ කල්ලි පසුව එම යාන්ත්‍රණයේම කොටසක් බවට පත් වූ සැටිත්, කුලී මිනීමරුවන් සුදු පිරුවට ඇඳ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළටම පැමිණ එය ආක්‍රමණය කළ හැටිත්, පසුව එක්නෙකා වෙන්කර හඳුනාගත නොහැකි තරමට එම යාන්ත්‍රණය මිශ්‍රව ගිය සැටිත්, අපට අමුතුවෙන් සිහිපත් කර දිය යුතු නැත. යම් කලෙක මිනීමරුවා පාතාල සාමාජිකයා ද නැත්නම් දේශපාලකයාද යන්න වෙන්කර හඳුනාගත නොහැකි තරමටම මේ මිශ්‍රවීම දුර දිග ගිය ආකාරය ඛේදජනකය. කුඩු මුදලාලි - පාතාල සාමාජිකයා ද නැත්නම් දේශපාලකයා ද යන්න වෙන්කර හඳුනාගත නොහැකි තරමට ද මේ මිශ්‍රවීම දුරදිග ගොස් ඇත. 

දේශපාලකයාගේ ගෝලයා පාතාල සාමාජිකයා ද නැතහොත් පාතාල සාමාජිකයාගේ ගෝලයා දේශපාලකයා ද යන්න හඳුනාගත නොහැකි තරමට තත්ත්වය සංකීර්ණ විය. විවිධ කණ්ඩායම් ලෙස වැඩි දියුණු වූ මේ චෞර සහ ලේ වැකි යාන්ත්‍රණය තම ගොදුරු බිම් සඳහා ගැටෙන අවස්ථා ද වැඩි කල් නොයාම උදා වූ අතර, පවතින රජයක් පත්වීම යනු එක් පාතාල කණ්ඩායමකට රැකවරණයත් අනෙක් කණ්ඩායමට මරණයත් උදාකර දෙන අවස්ථාවක් බවට පත්විය. එනිසා ප්‍රබලත්වයට පත්වීම අත්‍යාවශ්‍ය වූ අතර, වැඩි වැඩියෙන් ගිනිඅවි එක්රැස් කරගැනීම, වැඩි වැඩියෙන් මුදල් එක්රැස්කර ගැනීම, ඒ සඳහා වැඩි වැඩියෙන් මිනීමැරීම මෙන්ම වැඩි වැඩියෙන් මත්කුඩු වෙ​ෙළඳාමේ නිරතවීම ද අත්‍යවශ්‍ය විය. හමුදාවෙන් පැන ගිය පුහුණුවලත් ඝාතකයාගේ සිට යන්තම් පාසල හැරගිය ළමා සොල්දාදුවා දක්වා වෙන සාමාජිකයන්, මේ අපරාධ කල්ලි යටතේ ගොනුවන්නට විය. සැබෑම ගලඋඩ සටනක වින්දිතයන් වූ ජව සම්පන්න තරුණ ජීවිත සමූහයක් අකාලයේ මිලිනව ගිය අතර තම පන්තියටම එරෙහිව අවි ඔසවමින් තම පන්ති සතුරා රැකගැනීම වෙනුවෙන් තම ජීවිත පූජා කරන තැනට පීඩිත පන්තිය පත්කර තිබිණ. 

එකී අපරාධමය පරිසරය එලෙස වර්ධනය වන විට එහි වැඩි වාසිය දේශපාලඥයන් සතු වූ අතර, ජනතාව දුප්පත්කමෙන් තබා ගැනීමට දේශපාලකයා කැමති විය. ජනතාව යනු කුඩු පැකට්ටුව මිලදී ගැනීමට පමණක් සරිලන ආදායමක් ලබන පුද්ගලයකු වූයේ නම්, දේශපාලකයා වඩාත් කැමති විය. පිං පඩිය, ජන සවිය, සමෘද්ධි දීමනාව ලබා ගැනීමට දේශපාලනඥයා වෙත යාමට සිදු වූ  නිසා ඔවුන්ට එරෙහි වීමට ජනතාව පසුබට විය. 

වත්මන් රජය බලයට පත්වන තුරු පැවති මේ තත්ත්වය අනුව සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සහ මත් උවදුර තුරන් කිරීම ද හුදෙක් සටන් පාඨ පමණක් වූ අතර, ඊට නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් හෝ තිබුණේ නැත. ඊට අදාළ අවංක වුවමනාව තිබූ පොලිස් නිලධාරීන් පවා පෙර කී ත්‍රාඩ යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්ව තිබුණි. 

පැවති තත්ත්වයේ දිගුවක් ලෙස රටේ මොනයම් ප්‍රදේශයක හෝ වෙඩි තබා පුද්ගලයන් ඝාතනය කිරීම් නිරන්තරයෙන් වාර්තා වූ අතර, 2025.01.01 දින සිට 2025.10.02 වන දින තෙක් රට පුරා සිදුව ඇති සමස්ත වෙඩි තැබීම් සංඛ්‍යාව 100 ක් පමණ වන අතර, ඉන්  සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කරන ලද වෙඩි තැබීම් සංඛ්‍යාව74 ක් පමණ වී ඇත. විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සිදුවීම්වලට අදාළ වැලිගම, අහුන්ගල්ල, කොස්ගොඩ, මිද්දෙනිය, ගන්දර යන දකුණු පළාතේ පොලිස් බල ප්‍රදේශවලත් ගල්කිස්ස, කොටහේන, කෙසෙල්වත්ත, ගම්පහ, වැලිවේරිය, සීදූව, කටුනායක, දෙහිවල යන බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශවලත් මෙවැනි සිදුවීම් වී ඇති බව නිරීක්ෂණය වේ. මේ සම්බන්ධයෙන් වූ ආසන්නතම සිදුවීම ලෙස 2025.09.22 වන දින තංගල්ල සීනි මෝදර ප්‍රදේශයේදී මෙතෙක් ගොඩබිමේ දී සොයා ගන්නා ලද විශාලතම මත්ද්‍රවය තොගය ලෙස අයිස් 420kg  - 760g ක් සහ හෙරොයින්  284kg – 414g  ක ප්‍රමාණයක් ද සමග T56 ගිනි අවි එකක් හා රිවෝල්වර් පහක් සමග ලොරි රථ 03 ක් ද අත්අඩංගුවට ගන්නා ලදි. සාමාන්‍ය ජනයා අතර මතය වී ඇත්තේ තංගල්ල අයිස්ලන්තයක් වී ඇති බවය. සමස්තයක් වශයෙන් රටේ අනෙකුත් ප්‍රදේශවලින් එවැනි ගිනි අවි භාවිතයෙන් සිදුවන මරණ සම්බන්ධයෙන් වාර්තාවීම අල්ප බව සඳහන් කළ යුතුය. මේ අනුව මත්ද්‍රව්‍ය අපරාධ සහ එකී වෙඩි තබා ගැනීම් අතර පවතින සම්බන්ධතාව අනුමාන කළ හැකිය. 

නව රජය යටතේ සිදු කෙරෙන කාර්යක්ෂම සහ දේශපාලන බලපෑමෙන් තොර මත්ද්‍රව්‍ය වැටලීම්, පාතාල මර්දනය සහ දේශපාලකයන්ගේ සබඳතා හෙළිදරව්කර ගැනීම් හේතුවෙන් මෙම තත්ත්වය වටහා ගත යුත්තේ, නිවෙන්නට ආසන්න පහනක දැකිය හැකි විශාල දැල්ල ලෙස බව මම විශ්වාස කරමි. එය හුදු විශ්වාසයක් පමණක් නොව කරුණු සහිතව එළඹෙන ලද නිගමනයක් බව ද ප්‍රකාශ කළ යුතුය. 

එසේම බන්ධනාගාරවල රඳවා සිටින විවිධාකාරයේ අපරාධකරුවන් හා විදේශගතව අපරාධ මෙහෙයවන පුද්ගලයන්  විසින් සිදු කරන ලද අපරාධ පාලනය කර ගැනීම සඳහා ද මේ වන විට රජය ඉක්මන් පියවර ගෙන ඇත. ඒ අනුව බන්ධනාගාරගතව සිට අපරාධ මෙහෙයවන තැනැත්තන් සහ රට තුළ සැරිසරන අපරාධකරුවන් අතර සබඳතා බිඳ හෙළීමට විවිධ පියවර ගෙන ඇත. එසේම විදේශගතව සිට මේ රටට  මත්ද්‍රව්‍ය එවීමට කටයුතු කරන සහ වෙනත් අපරාධ සිදුකිරීම මෙහෙයවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට අපරාධකරුවන් ලෙස නම් දැරූ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් සහ නිලංග යන අන්වර්ථ නාමවලින් හඳුන්වනු ලබන තැනැත්තන් විදේශ රටවලදී අත්අඩංගුවට ගෙන ඇත. එයින් මහජනතාවට පණිවිඩයක් දී ඇත්තේ සංවිධානාත්මක අපරාධ ජාලය ඉතා ඉක්මනින් පාලනය කිරීමට වත්මන් රජය විසින් ඉක්මන් පියවර ගෙන ඇති බවය.

පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා හමුදාව එක්ව සිදුකරන මත්ද්‍රව්‍ය අපරාධ මර්දනය මගින් යහපත් ප්‍රතිඵල ලැබෙමින් පවතී. පොලිසියට පමණක් හුදකලාව මෙම අපරාධ රැල්ල පාලනය කිරීම ප්‍රායෝගිකව නොහැකි හෙයින් හමුදා නීතිරීති සංශෝධනය සහ නවීකරණයෙන් හමුදාවල සහය ඒ සඳහා ලබා ගැනීමට ද රජය පියවර ගෙන ඇත. “මහජන ආරක්ෂක කමිටු” පිහිටුවීම ආදී ප්‍රජා මූලික ක්‍රියාකාරකම් ද මේ සඳහා උපයෝගී කරගෙන ඇත.  

එසේම දැනට පොලිස් සේවයේ යෙදී සිටින නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන හෙයින්, 2025 වසරේ දී පොලිස් බළකායට තවත් නිලධාරීන් 5,000ක් පමණ බඳවා ගැනීම සඳහා අවසර ලබා දී ඇති බව රජයෙන් පෙන්වා දී ඇත. එසේම  සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්  25,000ක් පමණ පොලිස් සේවයට බඳවා ගැනීමේ යෝජනාව මේ වනවිට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. මෙම පියවර මගින් පවතින නිලධාරි හිඟය පුරවා ගැනීමට, විශේෂයෙන් පුද්ගල සංඛ්‍යාව අඩු ප්‍රදේශවල, ස්ථානීය පොලිස් ඒකක පරිපාලනය වැඩිදියුණු කිරීමට ඉලක්ක කර ඇති අතර, කාලීන ලෙස පොලිස් නිලධාරින් හරහා තවත් සංවිධානාත්මක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. එසේම පොලිසිය ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගැනීම සඳහා රාජ්‍යය මැදිහත් වන අතර පොලිස් නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා අවධානය යොමු කර ඇත.
එසේම මෑතක ආරම්භ කරන ලද ජාතික මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම මගින් ද යහපත් ප්‍රතිඵල ලැබෙමින් පවතී. මේ වනවිට ඉතා සීමිත කාලසීමාවක් තුළ 38,000කට අධික සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර, මේ වනවිට නඩු 51,140 පමණ ගොනු කර ඇත. 

එසේම ශ්‍රී ලංකා පොලිසිය විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා කටයුතු සිදු කෙරේ. මෙම පද්ධතිය මගින් මාර්ගයේ ගමනාගමන තොරතුරු, නැවතුම් පහසුකම්, මාර්ගාවලි, නිරීක්ෂණ අවස්ථා, ප්‍රාථමික ප්‍රතිකාර සේවා ස්ථාන, ක්ෂුද්‍ර පිරිසුදු තොරතුරු වැනි යථා තත්ත්ව දත්ත සැපයීම ඒ මගින් සිදු කෙරේ. ඒ හැර අන්තර්ජාලය හරහා දුරකථන අයිතිවාසිකම්, පැහැදිලි සේවා www.police.lk  ආරම්භ කිරීම නවතම හඳුන්වාදීමකි. ඒ අනුව 2024 නොවැම්බර් අග භාගයේ දී පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිය නිල වෙබ් අඩවිය නවීකරණය කර, පොලිස් නිත්‍යාවලිය, විශේෂ ප්‍රවෘත්ති, ඡායාරූප, වීඩියෝ, පැමිණිලි ඉදිරිපත් කිරීම සහ පොලිස් පැහැදිලි සේවා ඇතුළත් කිරීමට හැකි පරිදි වැඩි දියුණු කර ඇත. 

විශේෂයෙන් මේ දිනවල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය( NDDCB ) සම්බන්ධ කර ගනිමින් දිවයිනේ විශේෂ ස්ථානවල ස්වේච්ඡා පුනරුත්ථාපනයට අදාළව ක්ෂණික මෙහෙයුම් සිදු කරන අතර එසේ ස්වේච්ඡා පුනරුත්ථාපනයට ඉදිරිපත් වූ ප්‍රමාණය ද ඉහළ සංඛ්‍යාවක් ගෙන ඇත. ඒ අනුව බොරුල්ල වනාතමුල්ල ප්‍රදේශයේත්, ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශවලත් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුම්වල දී සාර්ථක ප්‍රතිඵල ගෙන දී ඇත. එසේම පුත්තලම් දිස්ත්‍රික්කයේ විශේෂයෙන් කල්පිටිය වැනි මුහුදු ප්‍රදේශවල නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒ පිළිබඳව දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්, සියලු‍ම පොලිස් නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වූ විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී දැඩි අවධානයට ලක් කරන ලදි.

මෙම පියවර මගින් පොලිසියෙන් මහජන ආරක්ෂාව සම්බන්ධ අවධානය, අධ්‍යාපනය හා සම්බන්ධතා වැඩිදියුණු කිරීම, නවීන තාක්ෂණය සහ ප්‍රජා සම්බන්ධ පුහුණු ක්‍රියාදාම හරහා ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමට උත්සාහයක යෙදෙන බවට අවධාරණය කළ හැක. තවද සංවිධානාත්මක අපරාධ වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශ රජය විසින් හඳුනාගෙන ඇති අතර එවැනි ප්‍රදේශ ලෙස හඳුනාගත් වත්තල, රාගම, ගම්පහ සහ කඳාන වැනි ප්‍රදේශවල විශේෂ ආරක්ෂක මෙහෙයුම් නිරන්තරයෙන් සිදු කිරීමට පොලිසිය හා හමුදාව එක්ව ප්‍රදේශයේ සන්නද්ධ මෙහෙයුම් සිදු කරනු ලැබේ.

එසේම මුහුදේ සිදුවන අපරාධ ලෙස හඳුනාගෙන ඇති යාත්‍රා හරහා මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පාලනය සඳහා ”‍106”‍ හදිසි දුරකථන අංකය  ජනතාව වෙත ලබා දී ඇත.  එවැනි තොරතුරු දන්වන තැනැත්තන් හට එකී අංකය හරහා තොරතුරු ලබා ගැනීමටත් - ඔවුන් ගේ අනන්‍යතාව අනාවරණය නොයෙක් ආකාරයෙන් සුරක්ෂිත කිරීමටත් රජය කටයුතු කර ඇත. එසේම නාවික හදිසි අවස්ථා සඳහා 24/7 ක්‍රියාත්මක වන දුරකථන සේවාව භාවිත කරමින් නාවික බළකාය විසින් ක්‍රියාත්මක වේ.

කරුණු මෙසේ සිදුවෙද්දී විදේශගතව මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවූ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ප්‍රධාන සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමත්, ඊට සමාන්තරව කන්ටේනර් දෙකක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සොයාගැනීමත්, එම සිද්ධි පිටුපස සිටින දේශපාලකයන් හෙළිදරව් වීමත් සමගම මා ඇතුළු මේ රජයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුටම අසත්‍ය ප්‍රචාරයන් ගෙන් පිරුණු ප්‍රහාර මාලාවකට මුහුණ දෙන්නට සිදුව තිබේ. ඒවාට අදාළ නීතිමය පියවර අප විසින් ගන්නේ වී නමුදු , ඒ අපට එරෙහි ප්‍රහාර සහ පෙර කී අපරාධ/මත්කුඩු සිද්ධි දාමයන් අතර ඇති සම්බන්ධය නිසි පරිදි වටහා ගැනීමට පොදු ජනතාව කටයුතු කළ යුතු බව ද අවධාරණය කර සිටිමි. සිඟමන් ලයිෆ් එකෙන් සිනමන් ලයිෆ් එකට යන ආකර්ෂණීය සමාජ මාධ්‍ය ටැග්ලයින් එක මගින් ඔබේ දෙනෙත් වසා මේ උත්සාහ කරන්නේ - ඔබේ දරුවා මත්කුඩුවලට ඇබ්බැහි කිරීමටත්, ඒ දරුවා පාතාල කල්ලි සාමාජිකයෙකු බවට පත් කිරීමටත් බව පොදුජනයා විසින් මනාව වටහාගත යුතු බැවිනි. 

නීතිඥ සුනිල් වටගල,
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය.