මම ජනාධිපති අපේක්ෂක ඇඳුම මහගෙන නෑ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 

 නාමල් රාජපක්ෂ

චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. ඒ රාජපක්ෂවරුන්ට බලයට ඒම සඳහා පාස්කු ප්‍රහාරය සැලසුම් කළ බවය. මේ ඒ ගැනත් උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි. 


ප්‍ර: ඔබම කී පරිදි ඔබට කිව්වේ ‘පොඩි මයිනා’ කියලා. දැන් ‘පොඩි සිංහයා’ කියලා කියනවා. මොකක්ද මේ වෙනස?


පිළිතුර:- දේශපාලනයෙදී විවිධ හේතුමත විවිධ විදියට ආමන්ත්‍රණය කරනවා. එක කාලයක් ‘නාමල් බබා’ ‘නාමල් බේබි’ කියලා කිව්වා. ඊට පස්සෙ ‘පොඩි මයිනා’ කිව්වා පොඩි මහින් ද කියලත් කිව්වා. දැන් ‘පොඩි සිංහයා’ කියලත් කියනවා.


ප්‍ර:‘පොඩි සිංහයා’ වුණේ ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන?


අපි පක්ෂයක් විදියට ප්‍රතිසංවිධානය වෙනකොට මැතිවරණ ඉලක්ක කරගෙනම නොවෙයි. ඒක කරන්නේ. අපේ වැඩ පිළිවෙළක් තියෙනවා. ඒකත් එක්කයි අපි ඉස්සරහට යන්න ඕනෑ. පක්ෂයක් විදියට අපි වැටිල ඉන්න වෙලාවක පක්ෂය ප්‍රතිසංවිධානය කරගෙන සාර්ථකව ඉදිරියට යනකොට පාක්ෂිකයන් තුළ උද්ෙ‌යා්ගයක් ඇති වෙනවා. ඒ උද්ෙ‌යා්ගය මත නොයෙකුත් විදියට අපිව ආමන්ත්‍රණය කරනවා. 


ප්‍ර:පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද?


අපේ අපේක්ෂකයා කවුද කියලා තීරණය කරන්න ඕනෑ ජනාධිපතිවරණය ළං වුණාම. දැන් ප්‍රාදේශීය සභා විසුරුවලා තියෙනවා. ඒක පවත්වන දිනයක් නෑ. ජනාධිපතිතුමත් කියනවා 2048 දී තමයි දියුණු රටක් හදන්නේ කියලා. දියුණු රට හැදුනම ද දන්නේ නෑනේ ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ. ඒ වෙනකම් ඡන්ද නොතියා ඉඳියි ද දන්නෙත් නෑනේ. හැබැයි, වගකීමක් තියෙන දේශපාලන පක්ෂයක් හැටියට අපේ දේශපාලන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ලංකාවේ ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය බවට අපි අපේ පක්ෂය පත් කරනවා.


ප්‍ර:පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ගිහින් ඇමැතිකම් ගත්ත අය අද ඉන්නේ ජනාධිපති රනිල් එක්ක?


ඇත්තටම ඒ අයට ඒ ගැන චෝදනා කරන්න බෑ. අපි පැහැදිලිවම තීන්දුවක් ගත්තා පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයකු පත් කරගන්න කොට ඒකට හොඳම සුදුස්සු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. ඒ අනුව අපි එතුමට සහයෝගය දුන්නා. ඊට පස්සේ අපි පක්ෂයක් හැටියට තීන්දුවක් ගත්තා කැමැති අයට ඇමැතිකම් ගන්න කියලා. මොකද ආණ්ඩුව වැටෙන්න දෙන්න බෑ. ආණ්ඩුව වැටුණොත් නැවත වතාවක් මේ රට අරාජික වෙනවා. 


එහෙම වුණොත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට ආණ්ඩු හදන්න බලන් ඉන්න අයට අප විසින් ආධාර අනුබලයක් දුන්නා වෙනවා. ඒ අනුව අප අතර අභ්‍යන්තර ගැටුමක් තිබුණත් ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබුණත් දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් අපි ඒ තීන්දුව ගත්තා. ඒ අනුව ආණ්ඩුව රැකගෙන අපේ ප්‍රතිපත්තිත් කරගෙන අපි ඉදිරියට යා යුතුයි.


ප්‍ර:ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ මොන කාලයේදී ද?


පළමුව පක්ෂය ප්‍රතිසංවිධානය වෙන්න ඕනෑ. ඒ වගේම පක්ෂයක් හැටියට අපි තීන්දු කරන්න ඕනෑ කාලයට ගැළපෙන හොඳම අපේක්ෂකයා කවුද කියලා. ඒක පක්ෂය හා පාක්ෂිකයා විසින් තීන්දු කළ යුතුයි. එහෙම නැතුව කාටවත් කියන්න බෑ ‘මම අහවල් කාලයේ එනවා’ කියලා.


ප්‍ර:නමුත් ඔබ ජනාධිපති අපේක්ෂක සූට් එක මහගෙන වගෙයි ඉන්නේ?


එහෙම ඇඳුම් මහගත්ත අය ඉන්නවනේ. නමුත් ඒ කාටවත් ඇඳගන්න බැරි වුණානේ. මම එහෙම ඇඳුම් මහගෙන ඉන්නේ නෑ. අපේ පවුල අවුරුදු සියයකට වැඩියෙන් මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නියැළෙනවා. ඒ නිසා මට දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා. ඒ වගේම මම බොහොම ආශාවෙන් දේශපාලනය කරන්නේ. මම දේශපාලනය කරනවා. එතැනදී තනතුරු තීරණය වන්නේ පක්ෂය. පාක්ෂිකයා හා සංවිධායකවරුන් මත. 


ප්‍ර:සමහරුන්ගේ ගණන් බැලීමට අනුව ඔබේ මීළඟ ඉලක්කය විපක්ෂ නායකවීමයි.


පිළිතුර:- අපි දේශපාලනය කරනවා නම් විපක්ෂ නායක වෙන්න දේශපාලනය කරලා වැඩක් නෑ. මොකද අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ජයග්‍රහණය වෙනුවෙන්නේ
යම්කිසි කෙනෙක් විපක්ෂයට යන්න දේශපාලනය කරනවා නම් එහෙම කෙනෙක් ඉදිරිපත් නොවී ඉන්න එක හොඳයි. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ආණ්ඩු බලය තිබිය යුතුයි. කෙනෙක් හිතනවා නම් විපක්ෂයට ගිහින් රටේ ප්‍රශ්න ඔක්කොම විසඳුනාට පස්සේ ආණ්ඩු බලය හරි ජනාධිපතිකම හරි එහෙම කෙනෙක් දේශපාලනය නොකර සිටිය යුතුයි. අපි මැතිවරණවලට ඉදිරිපත් වෙන්නේ ජයග්‍රහණය කරන්න.


ප්‍ර:විමල්, ඩලස් ඇතුළු කණ්ඩායම් නැවත එකතු කරගන්න ඔබේ අදහසක් නැද්ද?


අපි දෙගොල්ලොම එකම දේශපාලන ධාරාවක් නියෝජනය කරන්නේ. ඒ වගේම අපි එකම දේශපාලන පරපුරක ඉන්නේ. යම් දුරස්වීමක් තියෙනවා. ප්‍රතිපත්තිමය කාරණා මෙන්ම පෞද්ගලික කාරණාත් ඒකට බලපෑවා. මං හිතනවා රටට අවශ්‍ය වූ අවස්ථාවක අපට ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වෙන්න පුළුවන්.


ප්‍ර:ඔබ එහෙම කිව්වත් රාජපක්ෂලාගේ දේශපාලනය නිසා මාලිමාවට යම් පදනමක් වැටුණා ?


මං ඒක විශ්වාස කරන්නේ නෑ. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ගැනම ඉස්සෙල්ලත් කිව්වා. එය අවුරුදු සියයකටත් වැඩියි. මගේ තාත්තා අවුරුදු 55ක් දේශපානය කරනවා. අපි හැමදාමත් ප්‍රතිපත්තිමය දේශපාලනයක් කළේ. ඒ ප්‍රතිපත්ති නවීකරණය විය යුතු තැන් තියෙනවා. මම හිතනවා මම නියෝජනය කරන්නේ අලුත් පරම්පරාව කියලා. රාජපක්ෂවරුන්ගේ අලුත් පරම්පරාව. අලුත් පරම්පරාව කියලා මම විශ්වාස කරන්නේ නවීකරණය වූ දේශපාලන බලවේගයක් තුළ තමයි මම හැදෙන්නේ වැඩෙන්නේ. 
රාජපක්ෂවරු අවුරුදු සීයක් තිස්සේ ආරක්ෂා කරපු ප්‍රතිපත්තිවල නවීකරණය විය යුතු තැන් නවීකරණය කළ යුතුයි.


ප්‍ර:ඔය ඔබ කියන අලුත් පරම්පරාවම තමයි ඔබට ‘නිවන් සුව’ පතන්නේ?


පිළිතුර:- ඒ අන්තවාදී සුළු පිරිසක්. ඒ වගේම තරුණ තරුණියන් කියන්නේ එක් පුද්ගලයකුට ආකර්ෂණය වෙන පිරිසක් නොවෙයි. ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්. රැල්ලක් වෙන්න පුළුවන්. බලවේගයක් වෙන්න පුළුවන්. කාලීන අවශ්‍යතාවක් වෙන්න පුළුවන්. ඒ කාරණා ඔස්සේ තමයි ආකර්ෂණය හැදෙන්නේ. ලංකාවෙත් ඉන්දියාවෙත් ඇමෙරිකාවෙත් එහෙමයි. ඇමෙරිකාවේ මැතිවරණ ව්‍යාපාරය ගත්තොත් ඒක තනිකරම ජාතිවාදියි.


ප්‍ර:රාජපක්ෂ කඳවුර වුණත් යන්නේ ජාතිවාදී මාවතේ?


ඒක දේශපාලන ප්‍රකාශයක් විතරයි. අපි නියෝජනය කරන්නේ ජාතිකවාදය. අපි මේ රටේ ඉතිහාසයට උරුමයට ගරු කරන කඳවුරක්. අපි සිංහල බෞද්ධ කියලා කියන්න ලජ්ජා වෙන්නේ නෑ,


අපි ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්න ලජ්ජා වෙන්නේ නෑ. එහෙමයි කියලා අපි වෙනත් ආගමකට, ජාතියකට ගරහන්නෙත් නෑ. හොඳ සිංහලයෙක් නම් හොඳ බෞද්ධයෙක් නම් ඔහු කවදාවත් ජාතිවාදියෙක් වෙන්නේ නෑ. ඉතින් තරුණ පරම්පරාව ප්‍රතිපත්තිමත හා අවස්ථානුකූලව තමයි ආකර්ශනය වෙන්නේ.


අපි නිවැරැදි ප්‍රතිපත්තියක ඉඳගෙන තීන්දු තීරණ ගන්න ඕනෑ, සමහර තීන්දු ජනප්‍රිය නොවෙන්නත් පුළුවන්. නමුත් නිවැරැදි තීන්දුවක් නම් ඒක ගත යුතුමයි.


ප්‍ර:පළාත් සභාවලට ඉඩම් බලතල, පොලිස් බලතල ලබාදිය යුතුයි කියලා ජනාධිපති රනිල් කියනවා. ඔබේ ස්ථාවරය?


මං හිතන්නේ මේ වෙලාවේ ඒක අනවශ්‍ය කාරණයක්. මේ වෙලාවේ 13 ගැන රටේ සංවාදයක් නෑ. මේ වෙලාවේ ඇත්තටම තියෙන්නේ ආර්ථික ප්‍රශ්න. ගම්වලට යනකොට ඒක හොඳට පේනවා. කුලී වැඩ කරන මනුස්සයාගේ ඉඳන් කිසි කෙනෙකුට වැඩ නෑ. මේ තෙල් මිලත් එක්ක ධීවරයට මාළු විකුණන්න බෑ. හැමෝගෙම ආදායම් මාර්ග බිඳ වැටිලා. මේවට උත්තර හොයන්නේ නැතිව වෙන මුකුත් කරලා හරියන්නේ නෑ.


අපි හිතනවා නම් දේශපාලන කාරණා මත පදනම් වෙලා ඊළඟ මැතිවරණයට යන්න පුළුවන් කියලා. ඒ තුළ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඒක වැරැදියි. දැනට තියෙන දැවෙන ප්‍රශ්නයට අපි ඉක්මනින් විසඳුම් දෙන්න ඕනෑ. ඒක ප්‍රායෝගික විය යුතුයි.


දිගු කාලීන මෙන්ම කෙටි කාලීන විසඳුම් මගින් ජනතාව මේ පීඩනයෙන් මුදාගත යුතුයි. මේ රටට ආයෝජකයෝ ආකර්ෂණය කරගන්න නම් දේශීය ව්‍යාපාරිකයෝ රකින්න නම් ව්‍යවසායකයා ආරක්ෂා කරගන්න නම් අපි නිවැරදි ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතුයි.


චැනල් 4 නාලිකාව ඇඟ කිළිපොළා යන අනාවරණයක් කළා. රාජපක්ෂලට බලයට එන්න මේ පාස්කු ප්‍රහාර කළා කියලයි කියන්නේ. මේක බරපතළ චෝදනාවක්.


පළමුවෙන්ම ඒ නාලිකාව කරන චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඒ නාලිකාව අපේ පවුල ගැන හදපු පළමු චිත්‍රපටයත් මේක නොවෙයි. යුද්ධය අවසන් කරපු දවසේ ඉඳලා චැනල් 4 නාළිකාව චිත්‍රපට හැදුවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එක්ක චැනල් 4 එකට විශේෂ ප්‍රශ්නයක් තියෙනවා.


ප්‍ර:එහෙම ප්‍රශ්න ඇතිවෙන්න හේතුව ?


පිළිතුර:- එකම හේතුව යුද්ධය ජයග්‍රාහී විදියට අවසන් කිරීම. චැනල් 4 නාලිකාව මුලින්ම චෝදනා කළේ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා ලංකාවට ආපු වෙලාවේ වෙච්ච සිදුවීමක් පදනම් කරගෙන. ඒ වගේම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට ආපු සහ කරපු මාධ්‍ය සාකච්ඡාවේදී ඒ බව තහවුරු වුණා. ඒ වෛරය තියෙනවා.
විශේෂයෙන්ම රටේ හිටපු හැම නායකයෙක්ම ඔවුන් කියපු දේ ඇහුවා. නමුත් මහින්ද රාජපක්ෂ ඇහුවේ නෑ. අපි කාලයක් ඉතින් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්නෙ. ඉතින් ඒ අය කියන දේ ඇහුවනේ නැති වුණාම ඒ අයට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වෛරය තමයි මේ එළියට එන්නේ. ඒක නැහැයි කියලා අපට කියන්න බෑ. මේකේ තවත් පැත්තක් තියෙනවා.

ඔය සහරාන් කියන පුද්ගලයාට 2015 දී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවේ නොවෙයි හිටියෙ. සිරිසේන මහත්මයාගේ වේදිකාවේ හිටියේ.


ප්‍ර:ඔබට ඔප්පු කරන්න පුළුවන් ද?


අනිවාර්යයෙන්ම. ඒකට සාක්ෂි තියෙනවා. ඒ එක්කම ඊබ්‍රාහිම්ට හජ්ජියාර්ගේ පුතා එක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්. ඊබ්‍රාහිම් හජ්ජියාර් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක්.


විජයදාස රාජපක්ෂ මහත්තයා මේ අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන කොට එක්සත් ජාතික පක්ෂය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් කෙනෙකුට උපකල්පනය කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණයට මේ පාර්ශ්ව තුනම දායක වුණා කියලා.


ප්‍ර:ඒ පාර්ශ්ව තුන මොකක්ද?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ වේදිකාවේ හිටපු එක්කෙනා. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂයා හරහා ඔවුන්, මුජිබර් රහුමාන් හරහා ඒ පක්ෂය එදා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ළඟින්ම හිටපු එක්කෙනෙක්. සජිත් ප්‍රේමදාසගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ හා සිරිසේන මහත්තය වෙනුවෙන් ක්‍රියාකාරීව දේශපාලනය කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඕනෑ නැහැනේ.


එහෙමනම් අපේ වේදිකාවට නැගලා අපිට ඒ ඡන්ද ටික අරන් දුන්නනම් ඉවරනේ. මේක තනිකරම මඩ ගැසීමක්.


ප්‍ර:චැනල් 4 හරහා පාස්කු ප්‍රහාරයේ අලගිය මුලගිය තැන් අනාවරණය කරන අසාද් මවුලානා පිල්ලෙයාන්ගේ ලේකම් කෙනෙක්. ඒ කියන්නේ ඔබේම කඳවුරේ කෙනෙක්. ඉතින් ඒවා බොරු වෙන්නේ කොහොමද?


ඔහුට එංගලන්තයේ මහා බ්‍රිතාන්‍යයේ පුරවැසි භාවය දුන්නා නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඔහුට සහ ඩයස්පෝරාවේ බොහෝ අයට ඒ රටවල් පුරවැසිභාවය දෙනකම් ඒ අය ලංකාවට විරුද්ධව සාක්ෂි දෙනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩුව අපට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ඒ අයට පුරවැසි භාවය දෙන එක. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරනකොට.


අපි දැක්කා යහපාලන ආණ්ඩුව කාලේද බුද්ධි අංශවලට බොරු චෝදනා දාල බුද්ධි අංශය කඩා වැට්ටුවා. ඒකෙ ප්‍රතිඵලය තමයි පාස්කු ප්‍රහාරය. ඒ දක්ෂ බුද්ධි අංශයේ ශම්මි කරුණාරත්න ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. බුද්ධි අංශවලට විවිධ චෝදනා එල්ල කළා. අදත් කරන්නේ ඒ දෙයමයි. බුද්ධි අංශවලට මෙහෙම ප්‍රහාර එල්ල කිරීමේ අවසාන ප්‍රතිඵලය ත්‍රස්තවාදීන්ට අවස්ථාව නිර්මාණය වීමයි.


ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනෑ රාජපක්ෂ පවුලෙන් පළිගන්න ඒන අය ඒක කරගන්න. නමුත් ජාතික ආරක්ෂාව, බුද්ධි අංශ සහ රණවිරුවන් ඒකේ ගොදුරු බවට පත් කරගන්න එපා කියලයි අපට කියන්න තියෙන්නේ.


ප්‍ර:කොහොම වුණත් පාස්කු ප්‍රහාරයේ වාසිය හිමි වුණේ පොහොට්ටුවට. ඒ බව දැන දැනම එවැනි ප්‍රහාරයක් එල්ල කළා කියලා කිව්වොත් ?


ඒ වගේම පාස්කු ප්‍රහාරයේ වාසිය වෙනත් රටවලුත් …........ ගත්තා. නමුත් පොහොට්ටුව පළාත් පාලන මැතිවරණයේදී වාර්තාගත ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ පාස්කු ප්‍රහාරයට පෙර 2018 දී. පාස්කු ප්‍රහාරයෙන් පසුව තිබ්බ හැම මැතිවරණයකදීම අපි කතෝලික ප්‍රදේශ පරාදයි. අපට මුස්ලිම් ඡන්දත් නෑ. මොකද ගෝඨාභය මහත්තයා අන්ත  බෞද්ධ අන්ත සිංහල ජාතිවාදියෙක් හැටියටනේ හඳුන්වලා දුන්නේ.


ඉතින් අන්ත බෞද්ධ බලවේගය නියෝජනය කරන ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මෙහෙම මුස්ලිම් අන්තවාදීන් මරාගෙන මැරෙයි කියලා හිතන්න බෑනේ. පාස්කු ප්‍රහාරයේ ඇත්ත යට ගහන්න කරන උත්සාහයක් මේක.


ඒ නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරලා සත්‍ය සොයාගෙන නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත යුතුයි කියලා මම කියනවා.


ප්‍ර:රාජපක්ෂ පවුල සතුව ඇති මහා මුදල් කන්දරාව හරහා ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා කියන අයත් ඉන්නවා?


අප උගන්ඩාවේ තියෙන බිලියන 18, ලැම්බෝ ගිනි වගේ නාමල් රාජපක්ෂගේ එංගලන්තයේ තියෙන බකිංහැම් මාලිගාව වගේ චෝදනා එදා ඉඳන් තිබුණනේ. මෝල්ටාව ගැන මම කතා කරන්නේ නෑ.


ප්‍ර:ඇයි ඒ?


මම හිතනවා ඒක මම කියන එක වැරැදියි කියලා. ජනතා විමුක්ති පෙරමුණ මෝල්ටාවේ මුදල් ආයෝජනය කරලා තියනවා කියලා කිව්වේ ජවිපෙම හිටපු කෙනෙක්නේ. මම අභියෝග කළානේ උගන්ඩාවේ මගේ සල්ලි තියෙනවා නම් අරගෙන එන්න කියලා. ඒ වගේම මෝල්ටාව සම්බන්ධයෙන් චෝදනා තියෙන අයට පුළුවන් දැන් කියන්න ‘‘එහෙම දේපළ තියෙනවානම් පෙන්වන්න’’ කියලා.


අභියෝග කරන්න කියලා මම ගාව සාක්ෂි නැති නිසා මම ඒ චෝදනාව කරන්නේ නෑ.


ප්‍ර:මහින්ද රාජපක්ෂ දැන් මොකද කරන්නේ?


එතුමා හොඳින් ඉන්නවා. එතුමාගෙන් පක්ෂයෙ වැඩවලට අපි උපදෙස් ගන්නවා. එතුමා ඍජුවම තාම වේදිකාවට ආවේ  නෑ. තාම ඒකට වෙලාව නොවෙයි. එතුමා තරුණ පරම්පරාව දේශපාලනයට එන දිහා බලාගෙන ඔවුන්ට උපදෙස් දෙනවා.


ප්‍ර:එතකොට බැසිල් රාජපක්ෂ ඔහු පේන්න නෑ?


එතුමා පේන්න නැති වුණාට යාන්ත්‍රණය වැඩ. හැමදාම වුණේ ඒක.


ප්‍ර:ගෝඨාභය රාජපක්ෂට යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන්?


ඒක එතුමාගෙන් තමයි අහන්න වෙන්නේ. මම දන්න විදියට එහෙම කිසිම අදහසක් නෑ.

 

 

සාකච්ඡා කළේ
■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්