මනම්පේරිගේ නාඩිය සහ අයිස් පාඩම්


අයිස් සෑදීම සඳහා යොදාගත් බව කියන අමුද්‍රව්‍ය තොගයක් වළ දමා තිබිය දී සොයාගැනීමේ සිද්ධියට අත්‍යවශ්‍යව සිටි සැකකරුවෙකු වූ සම්පත් මනම්පේරී පසුගියදා නීතිඥවරුන් මාර්ගයෙන් වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් වුණේය. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කෙතරම් තර්ක කර සැකකරු රිමාන්ඩ් කිරීම සඳහා උත්සාහ ගත්ත ද මහේස්ත්‍රාත්වරියගේ නියෝගය වුණේ සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කිරීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පැවරීම ය. ඒ වනවිටත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ඉල්ලා තිබිණි. අවසානයේ සැකකරු දවස් හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි විය.

පෑලියගොඩින් මනම්පේරි සොයා

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය හෙවත් පෑලියගොඩ ඒකකය පසුගිය බ්‍රහස්පතින්දාම සම්පත් මන්ම්පේරිගෙන් ප්‍රශ්න කිරීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ගියේය. ඒ පොලිස්පතිවරයා විසින් දුන් නියෝගයකට අනුවය. ඒ අනුව අදාළ නිලධාරීහු ගොස් මනම්පේරිගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළහ.

ඔවුන්ගේ පළමු ප්‍රශ්නය වුණේ මෙතෙක් දවස් සැඟවී සිටියේ ද ඒ කොහේ ද යන්නය  එවිට සම්පත්ගේ පිළිතුර වූයේ දේශබන්දු තෙන්නකෝන් පන්නයේ (තමන් නිවසේ  සිටියත් පොලිසියට සොයා ගන්න බැරි වුණා කියන ප්‍රකාශය) වැනි කතාවකි. . 

සම්පත් මනම්පේරිගේ උත්තර ප්‍රශ්න කළ කණ්ඩායම හොඳටම අන්දවනසුලු ප්‍රකාශයන් බව බැලූ බැල්මට පෙනී ගිය පසුව ඔහුගෙන් මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය කන්ටේනර් සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ සැකකරු පවසා සිටියේ තමන් ඒ කන්ටේනර් ලබාගත්තේ අයිස් හදන අදහසින් නොවන බවත්, ඒවා ටයිල් සෑදීම සඳහා ගෙන්වා ගත් අමුද්‍රව්‍ය ලෙස සඳහන් කිරීම නිසා භාර ගත් බවය. එහෙත් අදාළ මලු පො​ෙළාව යට වළ දැමුවේ ඇයිද යන්න විමසූ විට එම ගල් වලින් දුහුවිල්ලක් ප්‍රදේශය පුරා පැතිරෙන බවට පැමිණිලි ලැබුණු බවත් ඒ නිසා වළ දැමූ බවත් සැකකරු තවදුරටත් කියාසිටියේ ය.  මේ අතර පොලිස් නිලධාරීන්ගේ රැඳවුම් බාරයේ සිටින බැකෝ සමන් වීඩියෝ ඇමතුමක් හරහා මනම්පේරි ප්‍රශ්න කරන ස්ථානයට සම්බන්ධ කළේය. බැකෝ සමන් සියල්ල වමාරමින්,

“අයියේ හැම දේම සර්ලා හොයාගෙන ඉවරයි. දැන් ඇත්ත කියන්න” යැයි ඔහු පවසා ඇත. 

ඒ මොහොතේ සමන් විසින් හෙළිදරව් කිහිපයක් මනම්පේරිගේ මුහුණටම සිදුකර ඇත. එහෙත් මනම්පේරි, “පිස්සුද මල්ලි මම දන්නවද ඕවා”, යැයි පවසා මග හැර ඇත. 

කෙසේ වෙතත් බැකෝ සමන් පවසා ඇත්තේ ගංජා කිලෝ තුනක් විකිණීම සඳහා සම්පත්ගේ සහෝදරයා වන පියල් මනම්පේරි හට ලබා දුන් බවයි. කෙසේ වෙතත් මේ මොහොතේ සම්පත් සිය අතීතය පවසා ඇත. එනම් රවිරාජ් ඝාතනයට මාස 22කුත් හාල් කොල්ලයකට මාස 11කුත් කංසා කිලෝ 106ක් සඳහා මාස 10ක හිර දඬුවම් සහ රුපියල් 50000ක දඩයකුත් නියම වූ බව සැකකරු පවසා තිබේ. අධිකරණයකින් මත්ද්‍රව්‍ය චෝදනාවකට දඩ ගැසූ පසුව මැතිවරණයකට නාමයෝජනා බාරදුන්නේ කෙසේද යන්න විමසූ විට සැකකරු පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ සහයෙන් නම දාගත් බවය.

සම්පත් මනම්පේරි ලෝක නාඩියකු බව තේරුම් ගත් පොලිස් නිලධාරීන් සැකකරුගෙන් ප්‍රකාශ ගැනීම කල් තැබූහ.

රටේ වටේ ගිය කන්ටේනර් සහ වළ දැමූ හේතුව

පොලිස් පරීක්ෂණවලට අනුව අනාවරණය වූයේ අදාළ කන්ටේනර් දෙක පානදුර නිලංග විසින් ලංකාවට දැමූ විට එය බාරගැනීමටත් ආරක්ෂා කිරීමටත් කෙනෙකු සොයමින් සිටි බවය. ඒ සම්බන්ධයෙන් බැකෝ සමන්ගෙන් විමසූ විට සමන් හඳුන්වා දී ඇත්තේ තම මිත්‍රයා හෙවත් සම්පත් මනම්පේරිය. ඒ අනුව අදාළ සියලු ලියකියවිලි වට්සැප් හරහා මනම්පේරි වෙත සමන් විසින් යොමු කර ඇති අතර මනම්පේරි විසින් අයකු යොදවා ජනවාරි 27 අදාළ කන්ටේනර් වරායෙන් මුදවාගෙන ජනවාරි 29 දා මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් ඇත.

එසේ රැගෙන ගිය මලුවලින් කිහිපයක් දමා ඇත්තේ මනම්පේරිගේ සහෝදරයාගේ නිවසේය. ඒ අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1200 මලු හතකි.  මීට අමතර නිලංග විසින් තවත් අයකු යොදවා ඇත්තේ ඉන් කොටසක් ලබාගන්නා ලෙසය. ඒ සඳහා නිලංගගේ හොඳම ගෝලයෙකු වූ ඇඹිලිපිටියේ සුරංග යෙදවීය. සුරංග විසින් තවත් අයකු හරහා ටිපර් එකක් යවා අදාළ අමුද්‍රව්‍ය ගෙන්වන්නට උත්සාහ කළත් ඊට එකඟ නොවූ මනම්පේරිලා ඔවුන්ගේ අයකු යොදවා මඟට ගොස් ටිපර් රථය ගෙනැවිත් එයට අමුද්‍රව්‍ය දමා නැවත ඇඹිලිපිටියට ගොස් ලබාදී ඇත.

එලෙස රැගෙන ආ අමුද්‍රව්‍ය සහිත ටිපර් රථය එදිනම නුවරඑළිය ප්‍රදේශයේ කුලියට ගත් නිවසකට රැගෙන යාම සිදුකර ඇත. එසේ රැගෙන යාමේදී අදාළ නිවසෙට යන පටු පාරක වාහනයේ රෝද සිරවීම නිසා විශාල අපහසුතාවක් සිදුවී ඇති අතර කුලී නිවසේ හිමිකරු බැණ වැදී ඇත්තේ කුලී නිවාස ගිවිසුමෙන් පිට කිසිදු භාණ්ඩයක් රැගෙන නොඑන ලෙසය. ඒ අනුව නැවතත් අදාළ කන්ටේනර් රථය හම්බන්තොටට පැමිණ ඇත. 

ඉන් පසුව හම්බන්තොට ප්‍රදේශයේ කුලියට ලබාගත් ලැගුම් හලකට ඉන් කොටසක් ලබා දී ඉතිරිය කඳාන ප්‍රදේශයට රැගෙන ගොස් ඇත. මේ සියල්ල සිදුකර ඇත්තේ පානදුර නිලංගගේ උපදෙස් මතය.
සුදු ගල් අයිස් වුණ හැටි 

බොහෝ දෙනාට ප්‍රශ්නය වූයේ මෙම සුදු පැහැති ගල්වලින් කෙසේ අයිස් නිෂ්පාදනය කරන්නේ ද යන්නය. කෙසේ වෙතත් ඊට පිළිතුර කළුතර අපරාධ කොට්ඨාසය විසින් සොයා ගැනිණ. ඒ පසුගිය දවසක අත්අඩංගුවට ගත් පානදුර නිලංගගේ හොඳම ගෝලයා වූ ඇඹිලිපිටියේ සුරංග හරහාය. එහිදී සුරංග අවුරුදු 21 තරුණයෙක් ගැන කීවේය.  ඒ අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය. එසේ අත්අඩංගුවට ගත් සැකකරු සියල්ල වමාරන්න ගත්තේ මෙතෙක් මේ සුදු පැහැති ගල්වලින් අයිස් හදන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුර ලබාදෙමිනි. 

එම තරුණයා විසින් පොලිසියට හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් පෙන්වූයේ ඒ එම ස්ථානයේ අයිස් සෑදුව බව දන්වමිනි. පොලිසිය එම ස්ථානය පරීක්ෂා කළ අතර එහිදී එක් කාමරයක් රසායනාගාරයක් ලෙස සකසා තිබුණි. එසේම එම කාමරයේ විශාල කල්දේරම්, ගෑස්ලිප්, පෙරන වැනි භාණ්ඩ රැසක්ද තිබුණේය. පොලිසිය පසුව සැකකරුගෙන් ප්‍රශ්න කරන විට කීවේ තමන් එම අයිස් නිෂ්පාදනය කරන මොහොතේ එම ස්ථානයේ සිටිය බවය.

සැකකරුගේ ප්‍රකාශ මත ඔහු සඳහන් කර ඇත්තේ අදාළ රසායනාගාරයේ වැඩ සඳහා ඉරාන ජාතිකයෝ තිදනෙකු සහ ලාංකිකයන් දෙදෙනකු සිටි බවයි. එසේම ඔවුන් කියූ පරිදි රසායනික දියර කෑන් තොගයක් ගෙන්වාගෙන ඇත. ඊට පසුව සුදු පැහැති ගල් වතුරේ දිය කර ඊට රසායනික දියර දමා ඇත. 

ඉන් පසුව එය පෙරා ළිපේ තබා රත්කළ පසුව අයිස් සෑදෙන බව දන්වා ඇත. ඉන් ලබාගත් අයිස් කිලෝ 14න් 10 ක් පද්මේටත් ඉතිරිය නිලංගගේ කීමට පානදුරට දුන් බව පවසා තිබේ. එසේම මෙම නිෂ්පාදනයේදී කුඩක් ඉතුරු වන බවත් ඒ කුඩු කිලෝ තුනක් මට්ටක්කුලියට දුන් බවත් සැකකරු පවසා තිබේ. මේ සියල්ල අප්‍රේල් මාසයට පෙර සිදුවූ බව සැකකරු දන්වා තිබේ. පසුව මෑතක නැවත සිදුකිරීමට ඉරාන ජාතිකයෙක් පැමිණියත් එය සිදුකරගැනීමට නොහැකි වූ බව සැකකරු දන්වා ඇත. 
ඒ අනුව කල්දේරම්වල තිබූ රසායන ද්‍රව්‍ය සියල්ල පොලිසියට සොයාගැනීමට හැකි විය. එපමණක් නොව සැකකාර ඉරාන ජාතිකයන්ගේ ගුවන් ගමන් බලපත්‍රද පොලිසිය විසින් සොයාගැනිණ. ඒ අනුව පැහැදිලි වුණේ සැබවින්ම මොවුන් විසින් රසායනාගාර මෙහෙයුමක් යටතේ අයිස් නිෂ්පාදනය කර ඇති බවයි.

අයිස් වාර්තාව

මේ අතර පසුගිය සිකුරාදා අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය විසින් මිද්දෙණියෙන් ලබාගත් සාම්පලවල පරීක්ෂණ වාර්තාව බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසයට බාරදෙනු ලැබිණ. එහි සඳහන්ව තිබුණේ ලබාගත් සාම්පල 20න් 17 ක්ම මෙත්ඇම්පිටමින් හෙවත් ක්‍රිස්ටල් මෙත් අඩංගු බවය.

එහෙත් පුදුමය නම් තවම රජයේ රසපරීක්ෂක වාර්තාව ආවේ නැති වීමය. එය ඉදිරි දින කිහිපයකදී ලැබෙනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණවලට අනුව විශාල තොරතුරු ප්‍රමාණයක් පැමිණිය යුතු වුවත් තවම ඇතැම් විමර්ශන කණ්ඩායම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත. ඒ මන්දගාමී කියාය. ඕනෑම දෙයකට හදිසි නොවිය යුතු වුවත් පරීක්ෂණවලදී හදිසි නොවුණහොත් සැකකරුවන් පැනයනු ඇත. ඒ නිසා මේ සම්බන්ධයෙන් මීට වඩා පොලිසිය මැදිහත් වී කාර්යක්ෂම විය යුතු බව බොහෝ දෙනාගේ මතයයි.

ගයාන් ගාල්ලගේ