
රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සමග කළ සාකච්ඡාවකි.
'සර් ෆේල්’ කියලා ගෝඨාභය ජනාධිපතිවරයා එළවන සටන පටන් ගත්ත ඔබ අද සෑහෙන නිශ්ශබ්දයි. විශේෂ හේතුවක් තියෙනව ද?
පිළිතුර – මම නිශ්ශබ්ද නෑ. අපි ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඉඳන් වැඩ කරන්න පටන් ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය සජබය, ශ්‍රීලනිපය, පොහොට්ටුව වැනි සියලුම පක්ෂ එකතු කරගෙන එක වේදිකාවක් හදන වැඩේට මුල පිරුවා. රනිල් වික්‍රමසිංහ නායකතුමා මාව පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්කමට පත් කළාට පස්සේ මට මතකයි දෙසැම්බර් මාසයේ මම රටට කිව්වා මෙහෙම තත්ත්වයක් රටට උදාවෙනවා කියලා. මම එදා කිව්වේ ‘‘&සර් ෆේල්’’ කියලා. අද කියන්න තියෙන්නේ ‘‘&අනුර ෆේල්’’ කියලා තමයි.
අද රට මුහුණ දීලා තියෙන්නේ ගෝලීය අර්බුදයකට. යුද්ධය ආවේ මේ ආණ්ඩුවේ වරදින් නොවෙයි. කොහොම වුණත් ආණ්ඩුව මේ අර්බුදයට මුහුණ දිය යුත්තේ කොහොම ද කියලා පැහැදිලි කළොත්?
පිළිතුර – කොවිඩ් වසංගතය කියන්නෙත් ලෝකයමට මුහුණ දෙන්න වෙච්ච දෙයක් මිසක් අපේ රටට පමණක් මුහුණ දෙන්න වෙච්ච එකක් නොවෙයි. මම හැමදාම කියනවා කොවිඩ් එක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හමුදාවත් එක්ක හරියට පාලනය කළාට ඇතිවිය හැකි ආර්ථික අවපාතය ගැන ඔහුට කිසිම අවබෝධයක් තිබුණේ නෑ. අත්දැකීම් කියන එක දේශපාලනයේදි හරිම වැදගත් වෙනවා. සමහර දේශපාලනඥයන් ඉන්නවා අර්බුදයකදී ඒ අර්බුදය හඳුනාගෙන ක්‍රියා මාර්ග තෝරන විදිය වෙනස්. අපි ගත්තොත් හොඳම උදාහරණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හමුදාව හොඳට පරිපාලනය කරන්න පුළුවන් වුණා. ඒත් ආර්ථිකය පරිපාලනයේදි එතුමා අසමත් වුණා. ඒක වෙනම විෂයක්. අදත් අපි දැනගෙන හිටියා මෙහෙම ගෝලීය තත්ත්වයක් ඇතිවෙනවා කියලා. මේ යුද්ධය එක පාරටම ආව එකක් නොවෙයි. ඉරානයයි ඇමෙරිකාවයි අතර ගොඩාක් කාලයක් තිස්සේ මේ පටලැවිල්ල තිබුණා. ඒක කල් ඇතිව හඳුනාගෙන එයට මුහුණ දිය යුතුව තිබුණ. නමුත් කිසිම අත්දැකීමක් නැති කණ්ඩායමක් තමයි අද රට කරන්නේ. ඒ අයගෙන් සීයට 90කටම අත්දැකීම් නෑ. ජනාධිපතිවරයා වුණත් ජනාධිපති වෙන්න කලින් කැබිනට් මණ්ඩලයක හරි හිටියෙ අවුරුද්දයි මාස හතරක් වගේ සුළු කාලයක්. අගමැතිවරිය, ප්‍රධාන අමාත්‍ය ධුර දරන ඇමැතිවරුන් සියලු දනොටම අත්දැකීම් නැතිකම නිසා ප්‍රශ්නය උග්‍රවෙලා තියෙන්නේ. දෙසැම්බර් මාසයෙදි මේ තත්ත්වය ගැන මම කියනකොට හිනා වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගැන අපට කිව්වේ නොවැම්බර් මාසයේදි. මම තමයි දෙසැම්බර් මාසයේදී ඒක එළියට ඇවිත් කිව්වේ. අප්‍රේල් මාසය වෙනකොට ඩොලරය 340ට ගියොත් අපට නැගිටීමක් නෑ කියලා මම කිව්වා. අද වෙනකොට ඩොලරය 32-ට ගිහින් තියෙනවා. මේක අපි විසින්ම නිර්මාණය කරගත්ත තත්ත්වයක් හැටියටයි මම නම් දකින්නේ.
කොහොම වුණත් ආණ්ඩුව බොහොම ආඩම්බරයෙන් කියනවා ‘‘“අපි හොරකම, දූෂණය, නාස්තිය නැති කළා’’ කියලා. ඔබට ඒ ගැන අදහසක් ඇති?
පිළිතුර – හොඳම උදාහරණය තමයි ඔවුන් තාම වැඩ කරන්න පටන් අරගෙන නෑ. පටන් අරගෙන තිබුණ වැඩ තමයි තාම මේ ගොල්ලෝ කරගෙන යන්නේ. ගල් අඟුරු වංචාවවත් නාපු නෑමෙන් පේනවා අද ලයිට් කපන්න වෙන තත්ත්වයක් තියෙන්නේ. අද ගල් අඟුරු නොමැති තත්ත්වය තුළ සාමාන්‍ය භාවිතයට තියෙන ඩීසල් විදුලිය නිපදවීමට භාවිත කිරීම තුළ විශාල අර්බුදයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඊට අමතරව කල්පනා කරලා බැලුවොත් අපේ ආනයන ගත්තොත්, මේ ආණ්ඩුව ආපු ගමන් ජපන් බයිසිකලයක් ගේන්න ඕනැ කියලා අනුර කුමාර ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්නකොට වේදිකාවේ මොර දුන්නා. එහෙම කියලා එයා ආපු ගමන් ඩියුටිය වැඩි කරලා වාහන විශාල ප්‍රමාණයක් ගෙන්වන්න ඉඩ දුන්නා. මිලියන සිය ගණනක් එයින් නාස්ති වුණා. ඒකෙන්ම පේනවා මේ ආණ්ඩුවම තමයි අර්බුදවලට පාර කපා ගත්තේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ කියන්නේ විවෘත ආර්ථිකයට කැමති, වාහන ගෙන්වන්න අවශ්‍යතාව තියෙන පුද්ගලයකු වුණත් කොහොම හරි තත්ත්වය පාලනය කරගෙන මේ ආර්ථිකය ගොඩනැගීමේ පැත්තට ගෙනාවා. ඒ නිසා තමයි එතුමා පැහැදිලිව කිව්වේ ‘‘“මම ළමයව වැල් පාලමෙන් මෙගොඩට ගෙනාවා. ළමයව නිරුපද්‍රිතව රැගෙන යාම ඔබට බාරයි’’ කියලා. එතුමා එතුමාගේ අත්දැකීමත් එක්ක කිව්වා. ඒ නිසා මම හිතනවා අත්දැකීම් නැති කණ්ඩායමක් විසින් රට පාලනය කරනකොට අර්බුද තවත් උග්‍රවෙයි කියලා.
නමුත් ජනතාවගේ පැත්තෙන් තවම බරපතළ විරෝධ්‍යක් පේන්න නෑ. අනුර ෆේල් කියලා ඔබ කිව්වට මිනිස්සු අරගලයකට සූදානම් නෑ.
පිළිතුර – තමන් විසින් අඛණ්ඩව දෙවැනි වතාවටත් කරපු වැරැද්ද තවම ඔවුන් පිළිගන්න සූදානම් නෑ. ගෝඨාභය ගෙනාව ජනතාවම ‘‘“හොරු පන්නමු’’ කියලා අත්දැකීම් නැති කණ්ඩායමකට රට බාර දුන්නා. ඒ නිසා දැන්ම ඒ මිනිසුන්ට කියන්න බෑ ‘‘අපි අතින් වුණේ වරදක්’’ කියලා. තව ටිකක් කල් යයි. තව ටිකක් කල් යනකොට තේරෙනකොට ජනතාව පාරට ඒවි. අපි කැමති නෑ රට වැටෙනවට. හැබැයි මේ යන විදියට රට වැටෙන එක වළක්වන්න නම් බැරිවෙනවා. අපි අපේ දේශපාලනය ඉතාම නිවැරදිව කරගෙන යනවා. මිනිසුන්ට තමන් කරපු වැරැද්ද තේරිලා ඒක ඔවුන් විසින්ම නිවැරැදි කර ගනීවි කියලා අපි හිතනවා. එතකන් අපි බලාගෙන ඉන්නවා.
එදා ඔබලා කිව්වේ මාලිමාව බලයට පත් වුණොත් අයි.එම්.එෆ්. එකත් එක්ක ගැටුම් හදාගෙන රට ආර්ථිකමය වශයෙන් ප්‍රපාතයකට තල්ලු කරයි කියලා. ඔබලාගේ මේ සිහිනයත් බිඳ වැටුණා?
පිළිතුර – ආර්ථිකය කොහේ ද ස්ථාවර වෙලා තියෙන්නේ? අයි.එම්.එෆ්. එකේ ණය දීම එකක්. අයි.එම්.එෆ්. එකත් සහයෝගයන් යනවා හැර වෙන යන්න පාරක් නැතිව ඔවුන් ඉන්නේ. අයි.එම්.එෆ්. එකේ සහයෝගය නොලැබුණා නම් ආර්ථිකය මෙහෙමවත් ගෙනියන්න බැරි වෙනවා. අපි එදා කිව්වෙත් මෙතැනින් එළියට යන්න එපා කියලා. හැබැයි ගෝලීය තත්ත්වයකට, අර්බුදයකට මුහුණ දෙනකොට අපි ඒකට බුද්ධිමත්ව මුහුණ දිය යුතුයි. මේක තනිකරම ‘%බොරු කෙළින’ ආණ්ඩුවක්. ගල් අඟුරු වංචාව හෝදන්න හදන එකත් අමු අමුම ගොන් පාට් එකක්. රටේ මේ තත්ත්වයට වග කියන්න ඕනැ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජනබලවේගය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික වැඩිදියුණු කරලා ගන්න හදනකොට ඒවාටත් සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණේ මේ අය. එදා අනුර කුමාර දිසානායක නලින්ද ජයතිස්ස කරපු කතා අහලා බලන්න. ඒක එක උදාහරණයක් විතරයි. ගල් අඟුරු ගේන්න දෙන්න ඉන්නේ කාට ද? ලෝකයේම ‘‘“බ්ලැක් ලිස්ට්’’ වෙච්ච සමාගමක් ඒක. මම හැබැයි මෙහෙම එකකුත් පිළිගන්නවා. විපක්ෂය ඒකට හඬ නගන්නේ නැති නිසා විපක්ෂයේ හඬ හරියට එළියට එන පාටක් පේන්නේ නෑ. ඒක විපක්ෂයේ තියෙන වරදක් හැටියට මම දකිනවා. මොකද එදා අපි ගෝඨාභය ජනාධිපතිවරයාට එරෙහිව හඬ නඟද්දී ඒ හඬ සැරට එළියට ආවා. ඒ නිසා විපක්ෂය මීට වඩා එකමුතු විය යුතුයි. දේශපාලන මතවාදවල වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් විපක්ෂයේ භූමිකාව පණ පොවද්දී, විපක්ෂයේ කාර්ය භාරය කරද්දී විපක්ෂය එක මිටට එකතු විය යුතුයි. ඒකට හඬ නඟන්න ඕනැ. ඒක කරගන්න බැරිකම තමයි මෙතැන හිඩැසයක් වශයෙන් පේන්න තියෙන්නේ.
සාකච්ඡා බොහොම දුරට සාධනීයයි. මම හිතනවා. ඕනෑම සන්ධානයක් ඕනෑවට වඩා ඉක්මනින් හදන්න හොඳ නෑ. අන්තිම මොහොතේ තමයි සන්ධානය ගොඩනැගෙන්න ඕනේ. ඡන්දයක් පේන තෙක් මානයකවත් නැතිව සන්ධානයක් හදන එකත් එක එක අර්බුද එන්නත් ඉඩ තියෙනවා.
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතුවීමේ සාකච්ඡාවල තත්ත්වය කොහොම ද?
පිළිතුර – ඒ සම්බන්ධ පැහැදිළි අවසන් තීන්දුවක් රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට ආවට පස්සේ ගනී. නමුත් සාකච්ඡා බොහොම දුරට සාධනීයයි. මම හිතනවා. ඕනෑම සන්ධානයක් ඕනෑවට වඩා ඉක්මනින් හදන්න හොඳ නෑ. අන්තිම මොහොතේ තමයි සන්ධානය ගොඩනැගෙන්න ඕනේ. ඡන්දයක් පේන තෙක් මානයකවත් නැතිව සන්ධානයක් හදන එකත් එක එක අර්බුද එන්නත් ඉඩ තියෙනවා. පළාත් සභා ඡන්දය ආවොත් අපි තීරණයකට එනවා කොහොම ද ඉදිරිපත් වෙන්නේ කියලා. ජනාධිපතිවරණයකට තව කල් තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයකට තව කල් තියෙනකොට සන්ධාන හදන්න දැන්ම අවශ්‍ය වෙන්නේ නෑ.
එක්සත් ජාතික පක්ෂය බිම් මට්ටමේ ලොකු වැඩ කොටසක් මාර්තු 29 ඉඳලා ආරම්භ කරන්නයි හිටියේ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ හදිසි අසනීප තත්ත්වය නිසා අපි වෙනත් වැඩපිළිවෙළකට ගියා. අලුත් සංවිධායකවරුන් විශාල ප්‍රමාණයක් පත් කිරීමේ වැඩපිළිවෙළක් යනවා. අපේ පක්ෂයේ කොඳු නාරටිය තමයි දක්ෂිණාංශික මුහුණුවර. සජබෙ ඉන්නෙත් අපේම කට්ටිය. අපි හැමෝම එකම පාසලකින් ඉගෙන ගන්න කණ්ඩායමක්. එක මතයක් දරණ කණ්ඩායමක්. ඒ නිසා අපිට සමගි වෙන්න විශේෂ බාධාවක් නෑ.
දැන් ඔය සාකච්ඡා කරන්නේ සජබය එජාපයට එන්න ද? එජාපය සජබයට යන්න ද?
පිළිතුර – මුලින්ම අපේ සාකච්ඡාවල දැනට තියෙන ප්‍රශ්නය අනුව මේ පක්ෂ දෙක සන්ධානගතවීම තමයි අරමුණ. මැතිවරණයක් ආවොත් අපේක්ෂකයන් දොළහක් දාන්න ඕනෑ තැනට අපට අපේක්ෂකයන් පස් දෙනෙක් ඔවුන්ට අපේක්ෂකයන් හත් දෙනෙක් විදටය බෙදල යයි. පක්ෂ දෙකේම නායකයන් දෙදෙනාගේ නායකත්වයෙන් යුතුව මේ කටයුතු ඉදිරියට යයි.
පක්ෂ දෙකේ සමගිය ගැන මොනවා කිව්වත් ජනාධිපතිවරණයේදී ඔය සමගිය බිඳෙනවා. මොකද එක අපේක්ෂකයකුටයි ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්නේ.
පිළිතුර – අතීතයෙන් පාඩම් ඉගෙන ගත්තොත් ඒක වර්තමානයට සෑහෙන්න වටිනවා. බලයට ඒම පිණිස කැපකිරීම් කරන්න වෙනවා. කවුරු වුණත් ගත යුත්තේ කාලෝචිත තීරණයක්. ජනතාව ඉන්නේ දේශපාලනය ගැන බොහොම කලකිරිලා. දේශපාලනය තීරණය වෙන්නේ බොරු, මඩ හා සමාජ මාධ්‍ය හරහා කරගෙන යන ප්‍රචාර අනුවයි. මිනිස්සු ප්‍රායෝගික වෙලා නැති නිසා මේ අර්බුදය ඇවිත් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක තමයි අද වෙලා තියෙන්නේ.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

