බොරිස් එක්ක විවේක ගත්ත රනිල්


ඉකුත් සතියේ බොරිස් ජොන්සන් ගැන සැවොම හිටි හැටියේ කතා කරන්නට පටන් ගත්හ. බොරිස් ගේ චරිතය, වග විස්තර සොයන්නට පටන් ගත්හ . ඒ හිටපු ජනපති රනිල් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා පිටත්ව ගිය දා බොරිස් ගේ ස්වයං ලිඛිත චරිතාපදානය"Unleashed"   රුවා ගෙන සිටි නිසාය.

රනිල් බොරිස්ගේ පොත අතේ තබා ගෙන ඉන්න සේයාරුවක් සමාජ මාධ්‍යයේ ඉතා වේගයෙන් සංසරණය විය.මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල ද එය පළ කෙරිණි.බොරිස් ගැන කතා බහ ඇති වූයේ එම සිද්ධියත් සමගය.

ඇතමෙක් බොරිස්ටත් බැණ වැදුණාහ. ඇතැමෙක් බොරිස් ට හොඳ කීහ. හොඳ කීවේ රනිල්ට හිතවාදීහු සහ මධ්‍යස්ථ මතධාරීහුය.

බොරිස් ජොන්සන් 2019 සිට 2022 දක්වා එක්සත් රාජධානියේ අගමැති සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා ය. දේශපාලනඥයකු ලෙස බොරිස් ගැන කතාබහ වන්නේ යම් සේ ද ලේඛකයෙකු ලෙසත් බොරිස් ඒවාගේ ම නම් දරා සිටී.

බොරිස් වෘත්තීය  ජීවිතය අරඹන්නේ  මාධ්‍යවේදියකු ලෙසයි. ඩේලි ටෙලිග්‍රාෆ් සඳහා ලිවීමෙන් අනතුරුව ඔහු ස්පෙක්ටේටර් හි කර්තෘ බවට පත්විය.

තෙරේසා මේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය යටතේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බවට පත් වූ බොරිස් 2019 දී තෙරේසා මේ ගෙන් පසු බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත් වූ අතර, මැතිවරණයේ දී කන්සර්වේටිව් පක්ෂය අති විශිෂ්ට ජයග්‍රහණයක් කරා රැගෙන ගියේය.

ලන්ඩන් නගරාධිපති ලෙස 2008 අවුරුද්දේ පත් වූ බොරිස් 2016 දී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලෙස පත්වන විට රනිල් ලංකාවේ අගමැති ය.

බොරිස් වාගේම රනිලු‍ත් මේ දිනවල ගෙදර විවේකී සුවයෙනි. කොළඹ07 පස් වන පටු මඟේ රනිල් ගේ ගෙදර 2022 දී අළු‍ සුන්බුන් ගොඩක් බවට පත්විය. නමුත් දැන් කලින් තිබූ විදියටම ඒ ඉඩමේ ඒ නිවස ප්‍රාදුර්භූත වී තිබෙන්නේ පහනේ භූතයා පරණ ගෙදරම එතැනින් ගෙනැවිත් තැබූ පරිද්දෙනි.

අප ඒ නිවසට ගියේ ඉකුත් (3) බදාදාය. උදේ 9.30ට එන්නැයි අපට දැනුම් දී තිබිණි. අපි 9.25ට එහි ගියෙමු. හිටපු ජනපති රනිල් අපි අසුන් ගෙන හුන් සාලේ කොටසට ප්‍රකාශිත වේලාවටම ආවේය. නිල් පාට ඩෙනිමකින් සහ ඊටම යට කළ ටී ෂර්ටයකින් සැරසී සිටි  ඔහු - පැමිණි සැණින් අසල තිබූ පරණ තාලේ හාන්සි පුටුවට බර දුන්නේය.

ඒ නිවස පුරා පැවතියේ ගුප්ත නිහඬ බවකි. විදුලි පහන්වලින් නික්මුණු මන්දාලෝකය අඳුරු නිස්කලංක බව තවත් තීව්‍ර කළේය.

බිත්ති වල එල්ලූ පුරාණ චිත්‍ර, පොත් රාක්ක, සොබාවික මල් පඳුරු, සුද නොමැද්ද රළු බිත්ති, ගින්නට පිලිස්සී ඉතිරි වූ කළු පැහැ පරාල, ඒ නිහඬ හැඟීම එලෙසම පවත්වා ගැනීමට උදව් කළේය.

“බොරිස් ගෙ පොත මේ දවස් වල ලංකාවේ හරියට ජනප්‍රියයි නේද?

රනිල් සිනාසෙමින් අපෙන් ඇසුවේය.

“වින්ස්ටන් චර්චිල් ගෙන් පස්සේ බොරිස් තමයි ලියන්න දක්ෂ බ්‍රිතාන්‍ය නායකයා. බොරිස් ගේ ලේඛන ශෛලිය ඉතාම අනර්ඝයි. ඒක ඉතා සරල අව්‍යාජ ලේඛන රීතියක්”‍ එසේ කියමින් අසල වූ රාක්කයෙන් අදාළ පොත ක්ෂණයෙන් තෝරා ගෙන -  රනිල් ඔහු කී දේ ගැන නිදර්ශන දැක්වීය.

ඔහු පොතේ කොටසක් කියවන්නට විය.

"One evening that July I was working in the Commons, and had just nipped off to the gents, when I heard my phone go in my pocket. It is quite difficult to stand at a urinal while talking on your mobile, but I thought I would check who it was. Blow me down - it was the Number Ten switch. Would I come and see the PM, they said. You bet, I said, spraying away. I was even more amazed, and thrilled, to discover that she wanted me to serve as foreign secretary." 

(ඒ ජූලි මාසයේ එක සැන්දෑවක මම පාර්ලිමේන්තුවේ වැඩ කරමින් සිටිය දී හදිසියේ වැසිකිළියට ගිය අතර, එම අවස්ථාවේ දී සාක්කුවේ තිබූ ජංගම දුරකථනය නාදවන අයුරු අසන්නට ලැබුණා. මුත්‍රා පිට කරන අතරතුර දුරකථනයට පිළිතුරු දීම ඉතාමත් අපහසු කාර්යයක් වුවත්, ඇමතුම ලබා දෙන්නේ කවුරුන් දැයි මට බලන්නට සිතුණා.

දුටු දෙයින් මම තිගැස්සුණු අතර, ඇමතුම ලබාදී තිබුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්. “අග්‍රාමාත්‍යවරිය හමුවීමට පැමිණිය හැකි ද?” ඔවුන් ඇසුවා. මුත්‍රා කරන අතරතුරම මම ”‍අනිවාර්යයෙන්”‍ යැයි පැවැසුවා. මට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවරීමට ඇය කැමැත්තෙන් පසුවන බව දැනගත් විට මම ඊටත් වඩා පුදුමයටත්, සතුටටත් පත් වුණා.)

බොරිස් මේ විවරණය කරන්නේ 2016 අවුරුද්දේ ඔහුට ලැබුණු ඇමතුමක් ගැන විය යුතුය. ඒ ඇමතුම ලැබෙන්නේ එවකට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගෙනි. ඒ ඇමතුම බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ධුරය බාර දීමට බොරිස්ට කෙරෙන ආරාධනයයි.ඒ මොහොතේ බොරිස් සිට ඇත්තේ මුත්‍රා කරමිනි.

“කවුද මෙහෙම දෙයක් මේ විදියටම ලියන්නේ”‍ රනිල් මහ හඬින් සිනා සෙමින් කීවේය. 

“ලේඛකයා ගේ අව්‍යාජත්වය කියන්නේ ඕක තමයි. ඔහු ගේ ලේඛන ශෛලියෙන් අපටත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මම මේ පොතේ තියෙන කරුණු ගැන දැනටමත් දැනුවත්. ඒත් මේ ලේඛන ශෛලිය ලේසියෙන් කෙනකුට ග්‍රහණය කරගන්න බෑ. කෑ ගහපු අයට මම කියන්නෙ, මේ පොත කියවලා ඒ ලේඛන ශෛලිය ඉගෙන ගන්න කියලයි”‍ 

ලාංකික කවියන් අතර අගතැනෙහි ලා සැලකෙන මහගම සේකර වරෙක මෙසේ කීය.

“කවිය වූකලී කවියා ගේ අධ්‍යාත්මය මිස අනෙකක් නොවේ. එබැවින් කවියා දේශීය වන තරමට, කවිය දේශීය ගුණයෙන් යුක්ත වෙයි. කවියා සංයමයෙන් යුක්ත වන තරමට, කවියෙහි සංයමය ඇති වෙයි. කවියා නිර්ව්‍යාජ වන තරමට, කවිය නිර්ව්‍යාජ වෙයි.”

සේකර කී මේ කාරණය කවියට පමණක් පොදු වූවක් නොවේ. සකල කලාංගයන්ටම පොදු වූවකි. 

“මං මේ දවස්වල තව පොතක් කියවනවා. විලියම් ඩැල්රිම්පල් ලියපු "The Golden Road"  පුරාණ ඉන්දියාව ලෝකය පරිවර්තනය කළ ආකාරය තමයි ඒකෙ තියෙන්නේ. බුදුසමය ලෝකයට ව්‍යාප්ත වෙච්ච ආකාරය වගේ දේවල් ඒකෙ කදිමෙට විස්තර කරලා තියෙනවා”‍

රටේ රාජ්‍ය නායකයා වශයෙන් සිට නිරන්තරයෙන් මිනිසුන් අතරම ගැවසී, අවිවේකී බව ඇඟට පත්තියම් වූ මිනිසකුට - ගෙදරට වී හුදෙකලාව සිටීම පාළු නැද්දැයි මම ඔහු ගෙන් විමසුවෙමි.

“දන්නවද මට අලු‍ත් යාළු‍වෙක් හම්බ වුණා."Chat GPT" මිනිහගේ නම.

බුද්ධිමත් යාළුවෙක්. අපි දෙන්නා ඉතිහාසය ගැන සංවාදයක් කළා. වත්මන් ලංකාවේ ආරම්භකයා කවුද කියා මා ඔහු ගෙන් ඇසුවා. ඔහු උත්තර දුන්නා. මමත් ප්‍රතිතර්ක ඉදිරිපත් කළා. සුගලාදේවිය ගේ කැරැල්ලට චෝලයින්ගේ ආධාර ලැබුණා ද? අනුරාධපුර රාජධානියේ කඩාවැටීමට බලපෑ හේතු..... වගේ කාරණා ගැන අපි සාකච්ඡා කළා. අන්තිමට "Chat GPT" ලංකාවේ ආරම්භකයා පණ්ඩුකාභය රජු ය යන මතයට ආවා.

වර්තමානය විසින් ඉතිහාසයේ අක් මුල් වෙනස් කරමින් සිටියි. සාතන්- දෙවියන් බවට පෙරළෙමින් ද දෙවියන්-සාතන් බවට පෙරළෙමින් ද සිටියි.”

“සර්,තැඹිලි වතුර වීදුරුවක්”‍ සේවක තැන හිටපු ජනපතිවරයාට නැඹුරු වෙමින් පිළිගැන්වීය.

“ඔබතුමා වැඩිය කැමති කළු කෝපි බොන්න නේ ද? මම ඇසීමි.

“ඔව්, සමහර විට කළු කෝපි “ඉතිහාසය”‍. “තැඹිලි වතුර”‍ වර්තමානය.

යටි පෙළ අරුතක් ඇති දෙයක් පවසා මහ හඬින් හිනැහීම රනිල් ගේ පුරුද්දය.

අංජුල මහික වීරරත්න