බැසිල් ඇමැතිතුමා බොරුවට උපන් කෙනෙක්


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමය 
නායක නීතිඥ උදය ගම්මන්පිල 

  • ඉවත් කළ පසු ජනපති හමුවුණා. ඒත් අපි දෙන්නම ඒ ගැන කතා කළේ‍ නෑ   
  • මුදල් ඇමැතිතුමා මට මුණ ගැසීමට අවස්ථාවක් දුන්නෙ නෑ   
  • ආර්ථිකය ගොඩගන්න අප අවුරුද්දක් පමණ කියා සිටි​ දේවල් අපව ඉවත් කිරීමෙන් පසු ආණ්ඩුව ආරම්භ කරලා   
  • මම ආණ්ඩු පක්ෂයේ වරප්‍රසාද අහිමි මන්ත්‍රීවරයෙක්   
  • අපි ආණ්ඩු පක්ෂයේ සිටියත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ විධානයට අනුව කටයුතු කරන්නේ නෑ  

 

 අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු පසු කරන්නේ කුමක්ද? යළිත් ඇමති ධුර බාර ගන්නවද? නැතහොත් විපක්ෂයට යනවද? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය - ඔබට මොකද වුණේ?   


පිළිතුර - අපි ඇත්ත කිව්වා. ඇත්ත දැනුණු අය, රිදුණු අය අපව එළවා දැමුවා.   


ප්‍රශ්නය - අගමැති මහින්ද රාජපක්ෂත් කිව්වා ‘රටේ ඉන්ධන අර්බුදයක් තිබුණේ නෑ. ඔබගේ ප්‍රකාශ නිසා ඉන්ධන අර්බුදයක් ඇතිවුණා කියලා?   


පිළිතුර - මේ ප්‍රශ්නයට ඔබ උත්තර දෙන්න. ඒ කතාව ඇත්ත නම් ගෑස් හිඟයක් ඇතිවෙලා තියෙන්නේ මුදල් ඇමතිතුමාගෙ ප්‍රකාශ නිසාද? ඔෟෂධ හිඟයක් ඇතිවී තිබෙන්නේ සෞඛ්‍ය ඇමැතිගේ ප්‍රකාශ නිසාද? යකඩ, සිමෙන්ති හිඟයක් ඇතිවී තිබෙන්නේ අගමැතිතුමාගේ ප්‍රකාශ නිසාද? තිරිඟු පිටි හිඟයක් ඇතිවී තිබෙන්නේ වෙළෙඳ ඇමැතිගේ ප්‍රකාශ නිසාද? මේ භාණ්ඩ සියල්ලම හිඟවීමට මූලික හේතුව විදේශවිනිමය හිඟකමයි. ඒ නිසා ඩොලර් හිඟයට වගකිව යුත්තේ මුදල් ඇමති මිස බලශක්ති ඇමැති නොවන බව පුංචි දරුවන්ටත් තේරෙනවා.   


ප්‍රශ්නය - කැබිනට් සාමූහික වගකීමක් තියෙනවා. පුංචි ළමයි රණ්ඩු කරනවා වගේ ඇමතිවරුන්ට හැසිරෙන්න බෑ?   


පිළිතුර - එකඟ නෑ. ගාමිණී දිසානායක එදිරිව මොහොමඩ් ඛලීල් නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු ඉතා වැදගත් ප්‍රකාශයක් කළා. ඒ තමයි ඇමති මණ්ඩලය තුළ කතා කිරීමේ අයිතිය ඇමතිවරුන්ට අහිමි වෙනවා නම් ඒ කාරණය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමට ඇමතිවරුන්ට ශුද්ධ වූ අයිතියක් ඇත කියලා. අප මේ භාවිතා කළේ ඒ ශුද්ධ වූ අයිතියයි. විදේශ විනිමය අර්බුදයක්, බලශක්ති අර්බුදයක් ඇතිවන බවට මම වසර එකහමාරක් පුරාවට ඇමති මණ්ඩලයට කිව්වා. 2021 පෙබරවාරි 15 වැනිදා ප්‍රථම වතාවට ලිඛිතව කිව්වා. නමුත් ඇමති මණ්ඩලයත් විශේෂයෙන්ම මුදල් ඇමතිවරයත් කිසිම පියවරක් නොගෙන බලශක්ති අර්බුදයත් ආර්ථික අර්බුදයත් ඇතිවීමට මග සලස්වමින් ඔහේ බලා සිටි නිසා මේ අර්බුදය රටට කීම හැර වෙනත් විකල්පයක් මට තිබුණේ නෑ.   


ප්‍රශ්නය - ඉන්ධන අර්බුදය ගැන සාකච්ඡා කරන්න ජනාධිපතිවරයා රැස්වීමක් කැඳෙව්වා. පක්ෂ 11 රැස්වීමට යන්න තියෙන නිසා මම යනවා කියලා අතරමගදී ඔබ නැගිට ගිය බව ජනාධිපතිවරයා කියා තිබුණා?   


පිළිතුර - ඒක පට්ටපල් බොරුවක්. බලශක්ති අර්බුදය පිළිබඳව කරවටක් ගිලෙනතුරු කිසිම සාකච්ඡාවක් පැවැත්වූවේ නෑ. දිගින් දිගටම ඉන්ධන පෝලිම් ඇතිවන විට 2 වැනිදා දවල් 12ට ජනාධිපතිතුමා රැස්වීමක් කැඳවලා තිබුණා. දවල් 2 වනවිට රැස්වීමේ සාකච්ඡා කර තීන්දු අරගෙන අවසන්. නමුත් එකිනෙකා තමන් දන්නා ඕපාදූප කියමින් ජනාධිපතිතුමාව, අගමැතිතුමාව, මුදල් ඇමතිතුමාව වර්ණනා කරමින් ද කාලය නාස්ති කරමින් හිටියා.   


ප්‍රශ්නය - මේ රාජ්‍ය නිලධාරීන්?   


පිළිතුර - ඔව්! තවත් විනාඩි 40ක් ඒ කයිවාරු අහගෙන ඉඳලා දෙකයි හතළිහට මම එතැනින් නැගිට ගියේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ සීසීටීවී දර්ශන බැලුවොත් පෙනෙයි මම කියන කාරණය.   


ප්‍රශ්නය - ආණ්ඩු පක්ෂයෙ පසුපෙළ මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කිරීමේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කිව්වේ ‘‘අපට කිසිම දෙයක් උදය ඇමතිතුමා කිව්වේ නෑ. අපි වාර්තා ඉල්ලුවා. කිසිම වාර්තාවක් දුන්නේ නෑ. දැන දැනම මේ අර්බුදය උත්සන්න කළා කියලයි? 

 
පිළිතුර - බැසිල් ඇමතිතුමා බොරුවට උපන් කෙනෙක්. ඒ බව ඔප්පු කිරීමට මා ළඟ ලිඛිත සාක්ෂි තිබෙනවා. 2021 පෙබරවාරි 15 සිට 2022 ජනවාරි 21 දක්වා කාල පරාසය තුළ බලශක්ති අර්බුදය පිළිබඳව මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 11ක් ඉදිරිපත් කළා. ඒ වගේම මුදල් ඇමතිවරයාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා.   


ප්‍රශ්නය - ඇමැති බැසිල්ගේ ප්‍රතිචාරය වුණේ?   


පිළිතුර - මුදල් ඇමතිවරයා මට මුණ ගැසීමට අවස්ථාවක් දුන්නේ නෑ. මෙතරම් දරුණු අර්බුදයක් තිබියදීත් ඒ ගැන කතා කරන්න අවස්ථාව දුන්නේ නෑ. ඇමති මණ්ඩලයේදි බලශක්ති අර්බුදය ගැන කතා කරපු අවස්ථාවල ඒ හැම අවස්ථාවකදීම මුදල් ඇමැතිතුමා හැසිරුණේ කෝපවිෂ්ටව මා වෙත බුරා පැන්නා කියලා. ඒ නිසාම ගම්මන්පිල බැසිල් ද්වේශයෙන් වචන හුවමාරුවක් - බැසිල් සමග ගම්මන්පිල ගැටෙයි වැනි පුවත්පත් සිරස්තල පළවුණා. ඕපා දූප තීරුවල ලියැවුණා. ඔබට මතක ඇති ඒ නිසා පසුගිය මාස හයේ ඉරිදා පත්තර බැලුවොත් බැසිල් කියන්නේ පට්ටපල් බොරු බව මේ රටේ ජනතාවට තීන්දු කරන්න පුළුවන්.   


ප්‍රශ්නය - ඇමතිකමින් එළියට දැම්මට පස්සෙ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඔබට කතා කළාද?   


පිළිතුර - දෙදෙනාම කතා කළා. අගමැතිතුමා මට කතා කරලා සිදුවීම ගැන කනගාටුව ප්‍රකාශ කර ඉවසීමෙන් කටයුතු කරන මෙන් ඉල්ලුවා. ජනාධිපතිතුමා උත්සවයකදි මුණ ගැසුණා. ඉතා සුහදව කතා කළත් මේ පිපිරීම ගැන කතා නොකිරීමට අපි දෙන්නම වග බලා ගත්තා.   


ප්‍රශ්නය - ජනාධිපතිවරයා හා ඔබ අතර හමුවීම අහම්බයක් වගේ කිව්වට ඒක ප්ලෑන් එකක්? 

 
පිළිතුර - නෑ. නියත වශයෙන්ම අහම්බයක් පමණයි.   


ප්‍රශ්නය - මොනවද ඉදිරි ක්‍රියා මාර්ග?   


පිළිතුර - අපි මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වසරකට අධික කාලයක් කියා සිටි දේවල් අපිව ඉවත් කිරීමෙන් පසුව ආණ්ඩුව ආරම්භ කර තිබෙනවා. රුපියල දැන් අවප්‍රමාණය කරලා. පාවෙන්නත් හැරලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නත් සූදානම්. අපි කිව්ව ආකාරයට ආනයන භාණ්ඩ සීමා කිරීම සිදු කළා. වීදි ලාම්පු පහන් නිවා දැමීමට කටයුතු කළා. රජයේ නිලධාරීන් අනවශ්‍ය ලෙස කොළඹට ගෙන්වීම වෙනුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීම් පැවැත්වීමට චක්‍රලේඛ නිකුත් කළා. අපිව ඉවත් කළත් අද අනුගමනය කරන්නේ අප යෝජනා කළ දේවල්මයි. මේවා වසරකට කළින් ක්‍රියාත්මක කළා නම් මේ අර්බුදය පුපුරලා ගිහින් ජනතාවට දුක් විඳින්න වෙන්නේ නෑ. අපිව ඉවත් කරලා හෝ අප කී දේ කිරීම සතුටක්.   


ප්‍රශ්නය - ආණ්ඩු පක්ෂයෙ රැස්වීමට ඔබත් විමල් වීරවංශත් සහභාගි වුණේ නෑ. දිගටම එහෙමද?   


පිළිතුර - මේ ආණ්ඩුවේ සමහර නායකයන් මර්දනයට බියේ රටින් පැනලා ඇමෙරිකාවේ පදිංචියට ගොස් සිටියදී තවත් ඇමතිවරු නිහඬව සැඟව සිටියදී තවත් ඇමතිවරු සතුරන් සමග නිදි වදිද්දී අපි තමයි මේ ආණ්ඩුව ගෙන ඒමට අවශ්‍ය ව්‍යාපාරය ආරම්භ කළේ. ඒවැනි අපි ආණ්ඩුවේ යහපත උදෙසා විවේචනාත්මකව අදහස් පළ කළාම එය සතුටු සිතින් බාරගන්නවා වෙනුවට ඉදිරිපත් කරපු අපිව ඉවත් කරනවානම් අපි තවදුරටත් ආණ්ඩු පක්ෂයේ රැස්වීම්වලට සහභාගි විය යුත්තේ ඇයි? අපේ හඬට ඇහුම්කන් දීමට ආණ්ඩු පක්ෂය සුදානම් නැත්නම් ඒ රැස්වීම්වලට සභාගිවීමෙන් අපටත් ඔවුන්ටත් ඇති ප්‍රයෝජනය කුමක්ද?   


ප්‍රශ්නය - ඔබව හැඳින්විය යුත්තේ ආණ්ඩු පක්ෂයෙ මන්ත්‍රීවරයෙකු හැටියටද විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු හැටියටද?   


පිළිතුර - අනිවාර්යයෙන්ම මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ආණ්ඩු පක්ෂයේ වරප්‍රසාද අහිමි මන්ත්‍රීවරයෙක්. මම කතා කතානායකුමාටත් දැනුම් දී ආණ්ඩු පක්ෂයෙ ප්‍රධාන සංවිධායකතුමාටත් දැනුම් දී බලශක්ති අර්බුදය ගැන මාර්තු මස 10 වැනිදා කතාවක් කිරීමට අවස්ථාවක් ඉල්ලුවා. නමුත් ලැබුණේ නෑ.   


ප්‍රශ්නය - බලශක්තිය ගැන තිබුණු විවාදයේදී ඔබට කතාවක් නෑ?   


පිළිතුර - ඔව්! මට කතාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දුන්නේ නෑ. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ සිටින වරප්‍රසාද අහිමි මන්ත්‍රීවරුන් ලෙස අපව හැඳින්වීම සුදුසුයි.   


ප්‍රශ්නය - විමල් හා ඔහුගේ මන්ත්‍රීවරුන් කටයුතු කරන්නේ ඔය විදියටමද?  


පිළිතුර - අපි පක්ෂ 10ක් එකට එකතුවී ආණ්ඩු පක්ෂය තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළා. එයින් අදහස් වන්නේ ආණ්ඩු පක්ෂය තුළ සිටියත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ විධානයට අනුව කටයුතු නොකරන බවයි.   


ප්‍රශ්නය - ඔබලාව හැඳින්වූවේ පක්ෂ 11 කියලයි. හැබැයි දැන් ඔබ කිව්වේ පක්ෂ 10යි කියලයි. කවුද හැලුණේ.   


පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ තීන්දුව ගන්නා සාකච්ඡාවට සහභාගි වුණේ නෑ.  


ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා කැඳවපු සාකච්ඡාවට ගියා. ඔවුන් ඔබලාගේ සටන පාවා දුන්නා?  


පිළිතුර - කිසිසේ්ත්ම නෑ. අපේ පක්ෂ නායක රැස්වීමට ඔවුන්ට සහභාගිවීමට නොහැකි වුනේ ඒ රැස්වීම පැවැත්වෙන වෙලාවට සමාන්තරව ජනාධිපතිතුමාගේ සාකච්ඡාව යොදා තිබූ නිසයි. දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිතුමා සහෝදර පක්ෂ නායකයන් හමුවෙලා අපෙත් එකඟතාව ඇතිව තමයි ඒ රැස්වීමට ගියේ.  


ප්‍රශ්නය - ජනාධිපතිවරයා කිව්වොත් ‘උදය එන්න - ආපසු ඇමතිකමක් ගන්න’ කියලා?  


පිළිතුර - ඇමතිධුරය මට අහිමි කළේ මම කරගෙන ගිය වැඩ පිළිවෙළ නුසුදුසුයි කියලනේ. මගේ වැඩපිළිවෙළ නුසුදුසුයි කියන අයත් සමග ඇමැතිකම් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ.  


ප්‍රශ්නය - මේ සිදුවීම්වලින් පස්සේ ඇමති බැසිල් ඔබට කතා කළාද?  


පිළිතුර - මම ඇමති ධුරයේ සිටියදීත් මට කතා නොකරපු බැසිල් මාව ඇමති ධුරයෙන් ඉවත් කළාම කතා කළොත් ඒක අටවැනි පුදුමය විය යුතුයි.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්