පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහකිරීම, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු කමිටුවෙන් ඔහුට එල්ල කරන ලද සියලු චෝදනාවලට ඔහු වරදකරු කිරීම, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම ආදී වශයෙන් ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලයන්ට අදාළ ආන්දෝලනාත්මක සිදුවීම් පෙළක් පසුගිය දිනවල වාර්තා විය.
මීට පෙරත් පොලිසියේ නොයෙක් ඉහළ නිලයන් හෙබ වූ නිලධාරීන් සම්බන්ධයෙන් බලය අයුතු ලෙස යෙදවීම, බලහත්කාරය පෑම ආදී වශයෙන් විවිධ චෝදනා එල්ල විය. මෙපරිදි පොලිසියේ ඉහළ තනතුරු හොබවන නිලධාරීන්ට එරෙහිව නිරන්තරයෙන් චෝදනා එල්ල වීම සහ ඇතැමුන් සිරභාරයට පත්වීම, රටේ නීතිය හා සාමය සහතික කිරීම වෙනුවෙන් කැපවී සිටින පොලිසියේ ප්‍රතිරූපයටත් පොලිසිය කෙරෙහි වෙන මහජන විශ්වාසයටත් අහිතකර බව අපි විශ්වාස කරමු.
පොලිසිය ස්වාධීන සහ පිරිසිදු ආයතනයක් බවට පත් කළ යුතු ය. ඒ අරබයා කළ යුතු දෑ සහ පොලිසියේ පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ හිටපු ලේකම් ආරියදාස කුරේ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියක් මෙසේ ය.
අඩුපාඩු නිවැරදි කළ යුතුය
සෑම කාලයක ම පොලිසියේ ක්‍රියාකාරීත්වය ඉහළ පහළ යෑම සිදු වේ. එහෙත් මෑතකදී එහි ක්‍රියාකාරීත්වය දරුණු ලෙස සංවාදයට ලක්ව තිබේ. පොලිස් සේවයේ ඉහළ නිලයන්ට අදාළ මෙවැනි පුවත් වාර්තා රටේ මහජන සාමය පිළිබඳ ජනතාවගේ විශ්වාසයට අහිතකර ලෙස බලපානු ලබයි. මගේ තේරුම්ගැනීමේ හැටියට මේ තත්ත්වය උදාවී තිබෙන්නේ කළමනාකාරීත්වය සහ විනය සම්බන්ධ ගැටලු නිසා ය. පොලිස් සේවයේ ඉහළ තනතුරු සම්බන්ධයෙන් මෙයාකාරයේ ප්‍රශ්නසහගත තත්ත්ව මතුවූයේ අද ඊයෙක නොවේ. විශේෂත්වය වන්නේ වර්තමාන රජය යටතේ එවැනි නිලධාරීන් සම්බන්ධ සිදුවීම් වැඩියෙන් අනාවරණය වීම ය. පෙර කාලවල දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වැරද්දක් කළහොත් අදාළ නිලධාරියාට ආරක්ෂාව ලබා දීමට දේශපාලනඥයෝ විශාල පිරිසක් සිටියහ. එහෙත් දැන් එවැනි තත්ත්වයක් නොමැත. තමන් රජකාරිය නිවැරදිව ඉටු කරන්නේ නම් දේශපාලන රැකවරණ අවශ්‍ය වන්නේ නැත. ඉදිරියේ දී පොලිස් සේවයේ ඉහළ තනතුරුවලට පත් වෙන අයට මෙය මනා ආදර්ශයකි.
වර්තමානය වන විට පොලිසියේ විශාල අඩුපාඩු ප්‍රමාණයක් ඇත. එම අඩුපාඩු නිවැරදි නොකරන තාක් වඩාත් යහපත් පොලිස් සේවයක් අපේක්ෂා කළ නොහැකි ය. එකී අඩුපාඩු අතර, බඳවා ගැනීමේ පටිපාටියේ තිබෙන දුර්වලතා ප්‍රමුඛ වේ. යුද කාලයෙන් පසු පැවති පුරප්පාඩුවලට නිසි ක්‍රමවේදයකින් තොරව විශාල පිරිසක් බඳවා ගනු ලැබිණි.
බඳවා ගැනීම් ක්‍රියාවලිය නිවැරදි කිරීම
පොලිස් සේවයට බඳවාගැනීමේදී දසක ගණනාවක සිට සලකා බලන ලද සුදුසුකම් කිහිපයක් තිබිණි. ඒ යටතේ අයහපත් පවුල් පසුබිමකින් පැවත එන්නන්, සිරභාරයට පත්වූවන්, අපරාධ චෝදනා ලැබූවන් යනාදීන් පොලිසියට බඳවා නොගත්තේ ය. මෙම නිර්ණායක සලකා බලමින් පොලිස් සේවයට නිලධාරීන් බඳවා ගන්නා ක්‍රමයක් යළි ඇති කරන්නේ නම් එය යහපත් ය. සියයට සියයක් යහපත් චරිතයෙන් යුතු තැනැත්තන් බඳවා ගත නොහැකි බව මම පිළිගනිමි. හේතුව සමස්ත සමාජයම පිරිහී ඇති තත්ත්වයක එවැනි සමාජයකින් පොලිස් සේවයට එකතු වෙන අයගෙන් පරපූර්ණ පිරිසිදුභාවයක් අපේක්ෂා කළ නොහැකි හෙයිනි. එහෙත් බඳවාගැනීමේ පටිපාටියේ දී ඉහත සඳහන් කළ ආකාරයේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් මෙම ප්‍රශ්නය යම් ආකාරයකට විසඳා ගත හැකි බව මගේ විශ්වාසය යි. විශේෂයෙන් ම පොලිස් කොස්තාපල් සහ එස්.අයි. තනතුරුවලට බඳවා ගැනීම් සිදු කිරීමේ දී ඔවුන්ගේ පවුල් පසුබිම පිළිබඳ තොරතුරු සොයා බලන්නේ නම් වඩාත් හොඳ පිරිසක් පොලිස් සේවයට ඇතුළත් කර ගත හැකි ය.
පුරප්පාඩු වැඩිවීම
පොලිස් සේවයෙහි 85,000 ක පිරිසක් සිටිය යුතු වුවත් වාර්තා වෙන තොරතුරුවලට අනුව දැන් සිටින්නේ 65,000 ක පමණ පිරිසකි. මා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාව සිටියදීත් පුරප්පාඩු පිරවීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. හේතුව වූයේ බඳවා ගෙන පුහුණුකිරීමට වසරක කාලයක් ගත වීමත් පැවති සම්පත් ප්‍රමාණය අනුව පුහුණුව සඳහා බඳවා ගත හැකිව තිබුණේ දහසක පමණ පිරිසක් වීමත් ය. එසේ බලන විට පොලිස් සේවයට අලුතින් 5,000 ක් ගැනීමට වසර පහක කාලයක් ගත වේ. පවතින පුරප්පාඩු විසිදහස සම්පූර්ණ කිරීමට දසක දෙකක පමණ කාලයක් ගත වනු ඇත. සිවිල් ආරක්ෂක බළකායේ විශ්‍රාම වැටුප් සහිත තනතුරුවල 30,000 ක පමණ පිරිසක් සිටිය ද මාහට නිරීක්ෂණය වූයේ ඔවුන්ගෙන් බොහෝ අය සුළු රාජකාරිවල අනුයුක්ත කර ඇති බව ය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වයස අවුරුදු 45 ට අඩු පිරිස පොලිස් සේවයේ කොස්තාපල් මට්ටමේ රාජකාරිවලට අනුයුක්ත කළ හැකි ය. පොලිස් සේවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත මා විසින් යොමු කරනු ලැබූ යෝජනාවලියට ද මේ කාරණය ඇතුළත් ය. මෙය අලුත් දෙයක් නොවන අතර පොලිස් සේවා සහායකයන් යනුවෙන් හඳුන්වන ලද පිරිසක් කලිනුත් සිටියහ. මුර රාජකාරි, මහමග අනතුරු සිදු වන විට ඒවාට සහාය වීම යනාදී කටයුතුවලදී ඔවුහු සහාය වූහ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින බොහෝ සාමාජිකයන් එවැනි කටයුතුවලට යෙදවිය හැකි නම් එය ප්‍රයෝජනවත් ය.
විනය කටයුතු භාර ඒකකයක්
පොලිස් නිලධාරීන්ගේ විනය පිළිබඳ කටයුතු කිරීමට ඇති යාන්ත්‍රණය සාර්ථක එකක් නොවේ. ඉහළ නිලධාරියෙකුට විරුද්ධව සාක්කි දීමට පහළ නිලධාරීහු බියක් දක්වති. එසේ කළ හොත් අදාළ ඉහළ නිලධාරියා යටතේ තමන්ට සේවය කිරීමට සිදු වෙතියි ඔවුහු බිය වෙති. එබැවින් යුද හමුදාවේ ඇති මිලිටරි පොලිසියට සමාන විනයාරක්ෂක අංශයක් පොලිසියේ ද ඇති කළ යුතු ය. මම පොලිස් කොමිෂන් සභාවේ සේවය කරන කාලයේ සිට මේ අදහස ඉදිරිපත් කළෙමි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ඍජුවම පොලිස්පතිවරයාට වග කියන ඕනෑම තරාතිරමක පොලිස් නිලධාරියෙකු පරීක්ෂා කළ හැකි ආකාරයේ බලතල ඊට හිමි විය යුතු ය. එක්තරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු එකල ඔහුගේ කාර්යාලයට පැමිණියේ ගෙදර ඇති කරන බල්ලා ද රැගෙන ය. එවැනි ක්‍රියාවන් සැලකිය හැක්කේ තනතුරට නුසුදුසු වැඩ හැටියට ය. අදාළ නිලධාරියා නිල ඇඳුම වෙනුවට සාමාන්‍ය ටී ෂර්ට් එකක් ඇඳ පොලිසියට පැමිණි බවට ද එවක පැමිණිලි ලැබුණි.
එවැනි කටයුතු පොලිසියේ විනයට පටහැණි බව ඔහු යටතේ සේවය කළ නිලධාරීන් දැන සිටිය ද බිය නිසා විනය භාර නිලධාරීන්ට ඔවුහු පැමිණිලි නොකළහ. එහෙත් විනය කටයුතු භාර ඒකකයක් තිබේ නම් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ඍජුවම ඊට දැනුම් දීමට පිළිවන. එබැවින් එවැනි ඒකකයක් පොලිසියට හඳුන්වා දිය යුතු ය.
නිසිලෙස තනතුරු දීම
කාලයකට ඉහතදී පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරනු ලැබුවේ ඒ ඒ ප්‍රදේශවල මැති ඇමතිවරුන්ගේ ආශීර්වාදය ඇතිවය. එහෙත් අප පොලිස් කොමිෂන් සභාවේ සිටිය දී ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ඇති කළ අතර එයට අනුව අයැදුම්පත් කැඳවා ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුස්සන් තෝරා ගැනීමට යෝජනා කෙරිණි. එහෙත් එය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නැත. ස්වාධීන කමිටුවක් මගින් පොලිස් ස්ථානාධිපතිවරුන් වශයෙන් වඩාත් සුදුසු අය පත් කිරීමට නම් ඒ සඳහා ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමත් එය ප්‍රසිද්ධ කිරීමත් වැදගත් ය. සහකාර පොලිස් අධිකාරි නිලයන් සඳහා විභාග පවත්වා සුදුස්සන් පත් කරන හෙයින් එහි ගැටලුවක් නොමැත.
යම් නිලධාරියකු ආරක්ෂා කිරීමට ඉහළ දේශපාලන රැකවරණයක් පවතින්නේ නම් අදාළ නිලධාරියා ස්වභාවයෙන් ම දූෂණයට නැඹුරු වේ. තමන් කරන රාජකාරිය වෙනුවෙන් තමන් ම වග කිව යුතු නම් යම් දෙයක් කිරීමට පෙර දෙවරක් සිතා බැලීමට යොමු වෙනු ඇත. නීතියට අනුව රාජකාරී කිරීමත් සිදු වෙනු ඇත. මෙය හොඳ ප්‍රවණතාවකි. පොලිස් සේවය ස්වාධීන කිරීමේ දී ජාතික පොලිස් කොමිෂන් සභාවට විශේෂ කාර්යභාරයක් පැවරේ. පොලිස් සේවයේ ඉහළ පත් කිරීම්වල දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒ කෙරෙහි පුළුල් ලෙස බැලිය යුතු බව මගේ අදහස යි. වයස්ගත නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරුවලට පත් කිරීම සුදුසු ද යන්නත් සලකා බැලිය යුතු ය. පොලිස් සේවයෙන් ඉවත්ව වසර පහක කාලයක් සම්පූර්ණ කළ නිලධාරීන් ඉහළ තනතුරුවලට පත්කිරීම යෝග්‍ය බව මගේ අදහස යි. දෙවරක් පත් කිරීම් සිදු නොකිරීමෙන් ද පොලිස් සේවයේ ස්වාධීන බව ආරක්ෂා කළ හැකි ය.
ආකල්ප වෙනස
පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරීන් පක්ෂපාතීව කටයුතු කරන බවට ද කාලයක සිට චෝදනා නැගේ. ඊට බලපෑවේ නිදහසින් පසු රටේ වර්ධනය වූ දේශපාලන වාතාවරණය යැයි කිව හැකි ය. මගේ වැටහීම අනුව ඉදිරියේ දී එම තත්ත්වයෙහි යම් අඩුවීමක් අපේක්ෂා කළ හැකි ය. ඊට හේතුව, දේශපාලන සංස්කෘතියෙහි ඇති වී තිබෙන වෙනස යි. තමන්ගේ රජකාරි කටයුතු වෙනුවෙන් තමන් ම වග කිව යුතු සංස්කෘතියක් ගොඩනැගෙමින් තිබෙන හෙයින් පොලිස් නිලධාරීන් පක්ෂපාතී වීම, බලය අයුතු ලෙස භාවිත කිරීම ආදී වශයෙන් වෙන චෝදනාවල අඩුවීමක් අපේක්ෂා කළ හැකි ය.
පොලිස් නිලධාරීන්ගේ ආකල්පවල වෙනසක් ඇති කිරීම ද වැදගත් ය. විධිමත් පුහුණුවක් මගින් එය කළ හැකි අතර ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වේ. එමෙන් ම ඉහළ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය ද විධිමත් කළ යුතු ය. ඉහළ නිලයන් දරන අය පහළ මට්ටමේ අය අධීක්ෂණය කිරීම නිසි ලෙස සිදු නොවන බව මගේ විශ්වාසය යි. එබැවින් ධුරාවලිගත අධීක්ෂණය නිසි ලෙස සිදු විය යුතු ය. එහිදී තමන් කළ කී දෑ සම්බන්ධයෙන් අර්ධ වාර්ෂික වාර්තාවක් ලබා ගත හැකි නම් එය වැදගත් ය. එහෙත් දැනට එවැන්නක් ක්‍රියාත්මක නොවේ.
ස්වාධීන ශක්තිමත් පොලිස් සේවයක් ප්‍රතිස්ථාපිත කිරීමේ දී සියලු මට්ටමින් කාර්යසාධනයක් කිරීම ද වැදගත් ය. මා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාව සිටිය දී එවක එහි සභාපති මහාචාර්ය සිරි හෙට්ටිගේ සමග එක්ව කාර්යසාධන වැඩසටහනක් සකස් කළ අතර පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ කාර්යසාධන වාර්තා ලබා ගැනීමට ද සූදානම් ව තිබිණි. දැනගැනීමට ලැබුණු තොරතුරු අනුව මේ වනවිට එම වැඩපිළිවෙළ ද අභාවයට ගොස් ඇත. ඒ අනුව නිලධාරීන් කළේ මොනවා ද අරමුණු කරා ළඟා වීමේ ප්‍රගතිය මේ ආදිය පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැත. මෙම සන්දර්භයේ පොලිස් ස්ථානාධිපතිගේ සිට නියෝජ්‍ය පොලිස්පති දක්වා කාර්යසාධන ඇගයීමක් සිදු කළ යුතු ය.
දේශපාලන අධිකාරියේ කාර්යයභාරය
පොලිස් සේවය ස්වාධීන කිරීමේ දී දේශපාලන අධිකාරියේ කාර්යභාරය ද සැලකිල්ලට ලක් කළ යුතු ය. නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය, අධිකරණය වැනි ආයතනවලට එම කටයුතු ස්වාධීනව කරගෙන යෑම සඳහා පහසුකම් සැලසිය යුතු ය. එහිදී දේශපාලන බලපෑම බැහැර කළ යුතු දෙයක් වුවත් දේශපාලන මැදිහත්වීම පිළිගත හැකි දෙයකි. දේශපාලන බලපෑම්කරණයේ දී සිදු වෙන්නේ දේශපාලන අධිකාරියට අවශ්‍ය දේවල් පොලිසිය ලවා කර ගැනීම යි. දේශපාලන මැදිහත්වීමේදී සිදු වෙන්නේ පොලිසියේ කටයුතු ගැන සොයාබැලීමකි. මා දකින හැටියට වත්මන් රජය දේශපාලන බලපෑම් වෙනුවට ඵලදායී දේශපාලන මැදිහත්කරණයක් සිදු කරන අතර එය තවදුරටත් වැඩි කළ යුතු ය.
පොලිස් නිලධාරීන් නියමිත දිනට ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදෙන්නේ නම් එය විනය කඩ කිරීමක් හැටියට සලකන භාවිතයක් ඉදිරියට ගෙනෙන්නේ නම් එය ද වැදගත් ය. එසේම එපරිදි භාර දෙන වාර්තා ඉහළ නිලධාරීන් විසින් අහඹු ලෙස පරීක්ෂා කරනු ලබන ක්‍රමවේදයක් හඳුන්වා දිය හැකි නම් පොලිස් නිලධාරීන් අයථා ලෙස දේපොළ අත්පත් කර ගැනීම අඩුවීමට එය හේතුවක් වෙනු ඇතැයි ද මම විශ්වාස කරමි.
සැරයන් කොස්තාපල් වශයෙන් හඳුන්වනු ලබන පොලිස් සේවයේ පහළ නිලධාරීන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන අතර ඔවුන්ට තමන්ගේ දුක්ගැනවිලි ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට නිසි ක්‍රමවේදයක් ද නැත. පොලිස් ඔම්බුඩ්ස්මන් නමින් හඳුන්වන තනතුරක් තිබුණ ද එයට පත් කරනු ලබන තැනැත්තා පොලිස් සේවයේ පහළ නිලධාරීන්ගේ දුක්ගැනවිලි ගැන උනන්දුවෙන් කටයුතු කරන්නේ නැත. එබැවින් මෙම තනතුරට පත් කළ යුත්තේ මනා ජවයක් සහිත පහළ පොලිස් නිලධාරීන්ට සේවය කිරීමට කැමති කෙනකි.
සාකච්ඡා සටහන
උපුල් වික්‍රමසිංහ