පොදු විපක්ෂය හීනයක්


කොළඹ ඡන්දය “වෙන්දේසි ලන්තයක්’’

කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්නේ ආණ්ඩුව ද නැතිනම් විපක්ෂය ද යන්න නිශ්චිතව කිවහැකි ජගතකු තවමත් නැත. එයට හේතුව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් තවමත් බහුතර බලය ලබා ගැනීම සඳහා විපක්ෂයේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා පවත්වමින් සිටීමය.

නගර සභාවේ බලය පිහිටුවීම සඳහා විශාල වෙහෙසක් දරමින් සිටින්නේ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සජබයේ මුජිබර් රහුමාන්ය. ඉකුත් සතිය වෙද්දී මුජිබර් අතරමැදි මන්ත්‍රීවරුන් හා එම පක්ෂවල නායකයන් සමග කිහිප වතාවක්ම සාකච්ඡා පවත්වා තිබුණේ මේ මස 16 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී සහාය ලබා ගැනීම පිණිසය.

ඉකුත් සතිය පුරාම පාර්ලිමේන්තුවේදී මුණ ගැසුණු විපක්ෂ මන්ත්‍රීවරුන් ද මුජිබර්ගෙන් විමසුවේ ‘‘​කොළඹ මොකද වෙන්නෙ’’ කියාය. ‘‘අපිට ප්‍රතිචාරය හොඳයි. පක්ෂ නායකයොත් මන්ත්‍රීවරුන්   සජබ නගරාධිපති කෙනෙක් පත්   කරන්න උනන්දුවක් දක්වනවා. ඒ වගේම තවම උත්තරයක් දීපු නැති පක්ෂවල අයත් ඉන්නවා. ස්වාධීන අයත් ඉන්නවා. ඒ වගේම සහාය දෙනව කියපු අයත් ඉන්නවා. අපි තවත් උත්සාහ කරනවා...’’ මුජිබර් රහුමාන් කියා සිටියේය.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉකුත් සතියේ පක්ෂ කාර්යාලයට නොපැමිණි නිසා දේශපාලන උපදෙස් ලබාදීම සහ ආසන සංවිධායකවරුන් සමග සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ‘‘“සූම්’’ තාක්ෂණය මගිනි. එවැනි ‘‘“සූම්’’ කතාබහ කිහිපයක්ම ඉකුත් සතියේ පැවැත්විණි. ඉකුත් අඟහරුවාදා පැවැති ආසන සංවිධායකවරුන්ගේ සාකච්ඡාවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද සහභාගී වූහ. ‘‘පළාත් පාලන ආයතන එකසිය හයක් විපක්ෂයේ පක්ෂ හතර එක්වීමෙන් පිහිටු විය හැකි බව විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය. එම තීරණය මේ වන විට විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාවයෙන් ලබාගෙන ඇති නිසා එයට අනුකූලව සියලු දෙනාම වැඩ කරන්නැයි විපක්ෂ නායකවරයා ද ජාතික සංවිධායක තිස්ස ද එහිදී සජබෙ ආසන සංවිධායකවරුන්ට දැනුම් දුන්නේය. මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක්ම විපක්ෂයේ පක්ෂ හතර අතර ඉකුත් සතිය පුරාම පැවැත් විණි. ඒ ඒ පක්ෂයට ලබාදෙන ආයතන මුල් පුටු ගැන එකඟතාවක් ඇති කර ගැනීම එම සාකච්ඡා පැවැත්වීමේ අරමුණ විය. ඒ අතරම ලැයිස්තු මන්ත්‍රීධුර සඳහා පක්ෂයේ නිර්ණායකයට පිටින් තම හිතවතුන් පත් කරන්නැයි ගෙවුණු සතිය තුළ ද සජබ නායකයන්ට ඉල්ලීම් ඉදිරිපත් විය.

මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ තොරතුරු හුවමාරු වන අන්දමට ස්වාධීනව පත් වූ මන්ත්‍රීවරුන් ගණනාවක් සමග ජාතික ජන බලවේගය යම් එකඟතාවකට පැමිණ සිටින බව දැනගන්නට තිබේ. ඒ සමගම ඇතැම් පක්ෂයක නවක මන්ත්‍රීවරයකු හෝ දෙදෙනකු එදින ඡන්ද විමසීම සඳහා නොපැමිණීමේ එකඟතාවකට පැමිණ සිටින බව ද දැනගන්නට ඇත.  තීරණාත්මක අවස්ථාවක විපක්ෂයේ යම් මන්ත්‍රීවරයකුගේ නොපැමිණීමේ වාසිය ද ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයටය. මේ වන විට කොළඹ බොහෝ මන්ත්‍රීවරුන් පක්ෂය මාරු කිරීම සඳහා මුදල් ඉල්ලා සිටින අතර බලය පිහිටුවීමේ ඡන්ද විමසීම සඳහා කොළඹ ‘‘වෙන්දේසි ලන්තයක්වි ඇතැයි ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත.

ඡන්දය තියන හැටිතෝරන්නත් ඡන්දයක්

පළාත් පාලන පනත අනුව මැතිවරණයේ දී යම් පක්ෂයකට බහුතරයක් නොලැබුණු විට සභාව රැස්වන පළමු දිනයේ එදින පැමිණි සිටින මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් නගරාධිපති හෝ සභාපතිවරයා තෝරා ගැනෙයි. එම කටයුතු භාරව ඇත්තේ පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාටය. කොමසාරිස්වරයාම ඡන්ද විමසීම අධීක්ෂණය කළ යුතු නිසා ඔහුගේ නියෝජිතයකු එවිය නොහැකිය. ඒ නිසා එක් දිනක දී පළාත තුළ තැබිය හැක්කේ එක් සභාවක ඡන්ද විමසීම පමණය. මැතිවරණ නීතියේ දෝෂ සහගත භාවය නිසා හරි ජයග්‍රාහකයකු නැති සභා එකසිය හැත්තෑ අටක් රට පුරාම පවතියි. මේ නිසා පළාත් පාලන කොමසාරිස්වරුන් නව දෙනාට කාර්ය බහුල සති කිහිපයක් උදාවී තිබේ.

කොළඹ නගර සභා​වේ නගරාධිපති හා නියෝජ්‍ය නගරාධිපති තෝරා ගන්නා ඡන්ද විමසීම නියම කර ඇත්තේ මේ මස 16 වැනි සඳු දිනටය. එම ඡන්ද විමසීම ද උණුසුමින් පිරී ඇත්තේ විපක්ෂය විවෘත ඡන්ද විමසීමකුත් ආණ්ඩු පක්ෂය රහස් ඡන්ද විමසීමකුත් ඉල්ලා සිටින නිසාය. විපක්ෂය විවෘත ඡන්දයක් ඉල්ලා සිටින්නේ මන්ත්‍රීවරුන් අත උස්සන්නේ විපක්ෂයේ සහායට ද නැතිනම් ආණ්ඩුවේ සහායටදැයි පැහැදිලිව බලා ගත හැකි නිසාය. ජාතික ජනබලවේගය රහස් ඡන්දයක් ඉල්ලා සිටින්නේ තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් ගැන විශ්වාස නිසා සහ විපක්ෂයෙන් හා ස්වාධීන කණ්ඩායම්වලින් සහාය දීමට පොරොන්දු දී සිටින මන්ත්‍රීවරුන්ට රහසේ  තම ඡන්දය පාවිච්චි කළ හැකි නිසාය. එසේ වුවත් පළාත් පාලන කොමසාරිස්වරයා එදින පැමිණ සිටින සියලු මන්ත්‍රීවරුන්ගෙන් අවශ්‍ය කුමන වර්ගයේ ඡන්ද විමසීමක් දැයි විමසා බලන අතර රහස් ඡන්දයක් ​හෝ විවෘත ඡන්දයක් හෝ ඉල්ලා සිටින අයගේ බහුතර කැමැත්තට ඡන්දය තීරණය කිරීමට පළාත් පාලන කොමසාරිස්වරයාට සිදුවේ. මෙහි විශේෂත්වය වන්නේ රහස් හෝ විවෘත ඡන්ද විමසීමක් දැයි තෝරා ගැනීමට පවත්වන්නේ ද ඡන්ද විමසීමක් වීමය. විපක්ෂය කියන්නේ ‘‘ඡන්දය සඳහා පවත්වන මෙම ඡන්දයේ දී විපක්ෂයෙන් ආණ්ඩුවට යන අය සිටී නම් ඒ බව පැහැදිලිව බලා ගත හැකි බවය.

සජබෙන් මන්ත්‍රීන්ට අනතුරු අඟවා ලිපියක්

මෙම හේතුව නිසා සමගිජන බලවේගය රට පුරාම පත්වී සිටින තම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ ආයතන ප්‍රධානීන් පත් කරන ඡන්ද විමසීමේ දී සියලු දෙනාම විවෘත ඡන්දයක් ඉල්ලා අත එසවිය යතු බවය. ආණ්ඩුව රහස් ඡන්දයක් ලබා ගැනීම සඳහා උත්සාහ දරන අතර එම යෝජනාවට සහාය පළ නොකළ යුතු බවත් විවෘත ඡන්ද විමසීමක් සඳහා සියලු මන්ත්‍රීවරුන් කැපවිය යුතු බවත් සජබය දැනුම් දී ඇත. කොළඹ නගර සභාවේ ඡන්දය 16 වැනිදා ද, කොළොන්නාව නගර සභාවේ ඡන්දය 18 වැනිදා ද පැවැත්වීමට දින නියම කර ඇති හෙයින් ඉකුත් සතියේ එම ලිපිය යැවුණි. එලෙසම පක්ෂය යම් සභාවකට නම් කරන සභාපති හෝ නගරාධිපති අපේක්ෂකයාට ඡන්දය ලබාදිය යුතු බවද එසේ නොකළහොත් විනය පරීක්ෂණයක් පවත්වන බවද දැනුම් දී ඇත.

විපක්ෂය චෝදනා කරන්නේ දේශපාලනය කිරීමට අයිතියක් නැති ආණ්ඩුකාරවරුන් පවා මේ වනවිට මන්ත්‍රීවරුන් බා ගැනීම සඳහා සටනට බැස ඇති බවය. එක්තරා ආණ්ඩුකාරවරයකු රෑට තම නිවසට පැමිණෙන්නැයි පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවත් තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් එසේ ආරාධනා කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේය. මෙසේ ආරාධනා කරන්නේ මන්ත්‍රීවරුන් බා ගැනීම සඳහා බවත් ආණ්ඩුකාරවරයා ජනාධිපතිගේ නියෝජිතයකු හෙයින් ඔහුට දේශපාලනය කළ නොහැකි බවත් මරික්කාර් කීවේය.

කොලොන්නාවේ බලය ගන්න මරික්කාර් සැලසුම් කරයි

කොලොන්නාව සජබ සංවිධායක එස්.එම්. මරික්කාර් නිරතව සිටින්නේ කෙසේ හෝ කොලොන්නාව නගර සභාවේ බලය විපක්ෂයට ලබා ගැනීමේ උත්සාහයකය. එජාපය පොහොට්ටුව හා සර්වජන බලයේ නායකයන් හා මන්ත්‍රීවරුන් සමග මරික්කාර් සාකච්ඡා කර තිබේ. ඔවුන් සියලු දෙනාම ඔහුට පොරොන්දු වී ඇත්තේ බලය පිහිටුවීම සඳහා සහයෝගය ලබාදෙන බවටය. මන්ත්‍රීවරුන් දෙදෙනකු සිටින එජාපයට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලබාදීමට ද තීන්දු වී ඇත. ආසනයක් ඇති පොහොට්ටුවේ සහ ආසනයක් ඇති සර්ව ජනබලයේ ද සහාය මේ වන විට සජබයට පළවී තිබේ.

සභා 20ක් පොහොට්ටුවට 4 ක් එජාපයට

මේ වන විට බහුතරය නොමැති ආයතනවල විපක්ෂය එකතු වී බලය ලබා ගැනීමේ වෑයම යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආයතන විස්සක බලය ලබා දීමටත් එක්සත් ජාතික පක්ෂයට ආයතන හතරක බලය ලබා දීමටත් සජබය එකඟ වී ඇත. පුටුව ලකුණින් යුතු සන්ධානයටත් ආයතන කිහිපයක බලය ලබාදීමට සාකච්ඡා පැවැත් වෙයි. මේ යටතේ  සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීමට එකඟතාවට පැමිණ ඇත.

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය ස්වාධීන කණ්ඩායමට හිමිවන්නේ ඔවුන්ට ඇති ආසන හයේ බලය අනුවය. සජබයට ආසන හයක් ද ජාතික ජනබලවේගයට ආසන තුනක්ද හිමිව ඇත. කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහඅටෙන් පහ​ළොවකට බහුතර බලය කිසිවකුටත් ලැබී නැති හෙයින් එම සභා පහළොවේ බලය පිහිටුවීම සඳහා විපක්ෂය දැඩි සටනක යෙදී සිටියි. කොළඹ දිස්ත්‍රික්කයේ ආයතන හතරක ද ගම්පහ දිස්ත්‍රික්කයේ ආයතන දෙකක ද බහුතර බලය කිසිම පක්ෂයකට ලැබී නොමැත.

පොදු විපක්ෂයක් බිහිවන්නේ නෑ

පළාත් පාලන මැතිවරණයෙන් පසු විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ ගෙන ගිය මතයක් වූයේ ආණ්ඩුවට එරෙහිව ​පොදු විපක්ෂයක් ලෙස එකතුවීමේ සාකච්ඡා පැවැත්වෙන බව ය. එහෙත්  විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක්ම එකට එකතු වී දේශපාලනය කිරීමේ අදහසක් පළකර නැත. සමගි ජන බලවේගය පවසන්නේ ආණ්ඩුවට බහුතරය නැති ආයතනවල දී විපක්ෂයේ සියලු පක්ෂවල සහාය ලබාගෙන එම සභාවේ බලය ගැනීමේ සාකච්ඡා පැවැත්වෙන බව මිස    සෙසු  කටයුතුවල දී එකට එක්ව දේශපාලනය කිරීම සිදු නොවන බවය. සමගි ජන බලවේගයේ එසේ කියද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම් කියා   සිටියේ ද    ඒ ඒ සභාවල දී අවස්ථාවට අනුව තීන්දු ගන්නවා මිස සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී දේශපාලනය කිරීමත් සිදු නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණ 2029 වසරේ දී රටේ රාජ්‍ය බලය ලබා ගැනීම බවත්ය. සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර ද පවසා සිටින්නේ රටේ ජනතාව තම පක්ෂයට වෙනම දේශපාලන ගමනක් සඳහා කැමැත්ත පළකර තිබෙන බැවින් පක්ෂය ස්වාධීන දේශපාලන කටයුතු සිදු කරන බවය. ඒ අනුව මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසු විපක්ෂයේ සියලු පක්ෂ එකට එක්ව පොදු විපක්ෂයක් ලෙස දේශපාලනය කරන බවට පැතිර ගිය කතා එලෙස සිදු නොවන බව ඉතා පැහැදිලිය. විපක්ෂයේ දේශපාලන පක්ෂවල බෙදීම නිසා ජනාධිපතිවරණය සහ මහා මැතිවරණයෙන් පරාජය වීමට ප්‍රධාන හේතුව වූයේ එක් දේශපාලන පක්ෂයක අණසක යටතට අනෙකුත් පක්ෂ එකතු වීමට ඇති අකමැත්තය. පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසුව ද අනාගතයේ තම පක්ෂයේ ආණ්ඩුවක් බිහි කරන අදහසින් කටයුතු කරන බව මිස එක පොදු පක්ෂයක් යටතට ඒමට ප්‍රධාන දේශපාලන පක්ෂ අකමැති බව මේ වන විට ඉතා පැහැදිලිව තහවුරු වී ඇත. 

ආණ්ඩුවට බහුතර බලය නැති ආයතනවල දී විපක්ෂය එකතු වී බලය ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වෙන අතරතුර විපක්ෂයේම තවත් පිරිසකගේ මතය වන්නේ මේ මොහොතේ රජයට එම සභා පාලනය කරන්නට ඉඩ දී පසුව තීරණාත්මක අවස්ථාවක එම සභා පරාජය කිරීමට කටයුතු කළ  බවය. තමන්ගෙන් ගිලිහෙන ආයතනවලට ආණ්ඩුව සියලු කෙනෙහිලි කරන බවත් එවැනි තත්ත්වයක් විපක්ෂයට වාසිදායක නොවන බවත් එම පිරිසේ මතයවේ.

මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට ජනපති කී කතාව

මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් සතියේ සාකච්ඡාවක් පැවැත් වූයේ රටේ ආර්ථිකය පිළිබඳ විමසා බැලීම සඳහා ය. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ආර්ථික සංවර්ධන නි​යෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත   ප්‍රනාන්දු       මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අයවලුන් ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. එක දිනකින් රටවල් ගොඩනැගී නොමැති බව මෙහිදී කියා සිටි ජනාධිපතිවරයා චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල් විශාල ආර්ථික පරිවර්ථනයක් සිදු ක​ළේ පොදු ජනතාව සමග එක්ව යුග ගණනක් පුරා නිරත වූ සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බව ද කීවේය. ආර්ථික සංවර්ධන මෙන්ම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුලුනු තුනට එකවර     ඉහළට   එසවිය යුතු බව ද ජනාධිපතිවරයා   සඳහන් ක ළේය. දේශපාලන අධිකාරිය ලෙස තම මතය පමණක් නිලධාරීන් මත පැටවීමක් තමා සිදු නොකරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

රාජ දූත