පාතාලයට සම්බන්ධ දේශපාලනඥයන් දැන් කලබල වෙලා


• අපි කියන්නෙ අපේ වත්කම් බැරකම් ප්‍රකාශවල ප්‍රශ්න තියෙනවා නම් පැමිණිලි කරන්න කියලා
• අපේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු 51 දෙනා පඩිත් ගන්නෙ නැතුව වැඩකරන්නෙ

 

මත්ද්‍රව්‍ය හා පාතාල මර්දනය, ආණ්ඩුවේ වසරක කාර්යසාධනය, ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් කෙරෙන විවේචන මේ ආදී කාලීන දේශපාලන ආර්ථික තේමා රැසක් සංවාදයට ලක්කරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සමග කළ සාකච්ඡාවක සටහන මෙසේ ය.

Q මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටුපස දේශපාලනඥයන් ඉන්න බව ජනාධිපතිවරයා කිව්වා. දකුණෙ ඇතැම් දේශපාලනඥයන් මේ අය පසුපස ඉන්නවා කියලා තවත් වරෙක ඔබ කිව්වා. මේ නම් ලැයිස්තුව කවද්ද එළියට දාන්නෙ?

පාතාලයට සම්බන්ධතා පැවැත්වීමයි පාතාල ක්‍රියාකාරකමුයි කියන්නෙ දෙකක්. දේශපාලනඥයො පාතාලයත් එක්ක සම්බන්ධතා පවත්වනවා කියලා අපි දිගින් දිගටම කිව්වා. ඒකට ඕනතරම් උදාහරණ මේ සමාජයේ තියෙනවා. බන්ධනාගාරයක කැරැල්ලක් ඇති වුණු වෙලාවෙ එක්තරා දේශපාලනඥයෙක් එතනට ගිහින් කිව්වා අමරෙ මම ඇවිත් ඉන්නෙ එළියට එන්න කියලා. තව එක අවස්ථාවකදී මීගමුවෙ දේශපාලනඥයෙකුගෙ මත්ද්‍රව්‍ය අල්ලන්න විශේෂ කාර්ය බළකායෙ සෙබළු ගිය වෙලාවෙ ඒ දේශපාලනඥයාම ගිහින් ඔහුව බදා ගත්තා. මෑතකදි සම්පත් මනම්පේරි අල්ලා ගත්තා. ඔහුගේ වත්තෙ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වළ දාලා තිබුණා. ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) සාමාජිකයෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්. තවත් මොනවද සම්බන්ධතා ගැන කියන්නෙ.

Q ලිස්ට්වල ඉන්නවා කියන මේ දේශපාලනඥයො කවුද කියලා දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා නේද?

ජනතාව දන්නවා. ඒක අලුතින් කියන්න දෙයක් නෑ. දැන් ඒ දේශපාලනඥයන් කලබල වෙලා ඉන්නෙ. ඒ නිසා ඔවුන්ට දැන් ජනතාව ළඟට යන්න බෑ. පාර්ලිමේන්තුව ඇතුළෙ කෑ ගහනවා. මාධ්‍ය සංදර්ශන තියනවා

Q විපක්ෂය කියන්නෙ නම් ලිස්ට් තියෙනවා නම් ඒවා දාන්න ඕන කියලා. ආණ්ඩුව මේ වැඩවලින් දේශපාලන වාසිගන්න හදනවා කියලා

ඒක තමයි දැන් මම කිව්වෙ නම් ලිස්ට් එක. සම්පත් මනම්පේරි කියන්නෙ ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙ සම්බන්ධීකරණ ලේකම්වරයා. ඒ වගේම එයාට ප්‍රාදේශීය සභා ඡන්දෙට තරග කරන්න නාමයෝජනා දීලා තියෙන්නෙ පොහොට්ටු පක්ෂයෙන්. සම්පත් මනම්පේරිගෙ ආයුධත් හොයා ගත්තා. හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඇත්තටම කෙහෙල්බද්දර පද්මෙට දුරකථනයෙන් කතා කරලා තියෙනවා. ප්‍රියන්ත ජයකොඩි සමගි ජන බලවේගයට සම්බන්ධ දේශපාලනඥයෙක්නෙ. ඊළඟට අනුර විදානගමගේ හෙවත් කජ්ජාගේ ඝාතනය. එයාගෙ බිරිඳගෙ කටඋත්තරවල තියෙනවානෙ දකුණෙ පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් සම්බන්ධයි කියලා.

Q කවුද ඒ දේශපාලනඥයා?

කජ්ජා එක්තරා දකුණේ දේශපාලනඥයෙක් සමග එකට ආශ්‍රය කළා කියලත් හුඟක් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙලා කටයුතු කළා කියලත් එයාගෙ බිරිඳගේ කටඋත්තරයෙ තියෙනවා. කජ්ජාව ඝාතනය කරලා තියෙන්නෙ බැකෝ සමන්. එයාව ඝාතනය කළේ කවුද කියලා මම කියන්න ඕන නෑනෙ. එක්තරා යූ ටියුබ් නාළිකාවක් සමග කරපු සම්මුඛ සාකච්ඡාවකදි කජ්ජාම කියනවානෙ මාව ඝාතනය කළොත් මේ මේ අය ඒකට වගකියන්න ඕන කියලා. කජ්ජාව ඝාතනය වුණාට පස්සෙ එයාගෙ බිරිඳ සී.අයි.ඩී.යට කියලා තියෙනවා අහවල් අය සම්බන්ධයි කියලා. ඒවා ගැන තවදුරටත් විමර්ශන සිදුවිය යුතුයි.

Q කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පාතාල කණ්ඩායමෙන් කරගෙන යන ප්‍රශ්න කිරීම්වලින් විශේෂ තොරතුරු මොනවාද අනාවරණය කරගෙන තියෙන්නෙ?

ඒ අයගෙ ආයුධ තැන තැන හංගලා තියෙනවා. මේ වෙනකොට  ආයුධ ප්‍රමාණයක් හොයා ගෙන තියෙනවා. තව මත්ද්‍රව්‍ය හොයා ගෙන තියෙනවා. ආරක්ෂක අංශ සහ දේශපාලනඥයන් සමග තියෙන සබඳතාත් හොයා ගන්නවා. 

Q අයිස් ෆැක්ටරි හදන තැනට මේ පාතාල සාමාජිකයන් කටයුතු කරන තුරු පොලිස් බුද්ධි අංශ මේ දේවල් ගැන තොරතුරු දැනන් ඉඳලා නැද්ද?

කාලයක් තිස්සෙ මේ රටේ වෙච්ච දේ මම කියන්නම්. අවුරුද්දකින් දෙකකින් මේක කණපිට හරවන්න බෑ. කාලයක් තිස්සෙ ගොඩනැගුණු දේශපාලන සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය පෝෂණය වුණේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අවශ්‍ය වටාපිටාව හදමින් මිසක් නීතියට යුක්තියට අවශ්‍ය වටාපිටාව හදමින් නොවෙයි. නීතිවිරෝධී ක්‍රියා, පාතාලය, මත්ද්‍රව්‍ය, දේශපාලනය මේවා එකට බද්ධ වෙලා. කාලයක් තිස්සෙ කවුරුවත් ඒවා හොයන්න ගියේ නෑ. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදි මේ සම්බන්ධතා ගැන ඇතිතරම් තොරතුරු හෙළි වෙලා තියෙනවා. පොලිස්පතිවරයා ඒ තැනට පත්වෙනවා නම් ආයෙ පොලිස් බුද්ධි සේවා ගැන අලුතින් කියන්න දෙයක් නෑ. ඒ නිසා ඒ සියලු තත්ත්වයන් අවසන් කරලා පොලිසියේ අයට අභිමානයක් ඇතිව කටයුතු කිරීමේ වටාපිටාව අපි හදලා දීලා තියෙනවා.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල

 

Q කෙහෙල්බද්දර පද්මෙගෙන් මේ දක්වා කරපු ප්‍රශ්න කිරීම්වලදි ඔහුට සහාය දුන්නු දේශපාලනඥයො ගැන තොරතුරු හෙළි වෙලා තියෙනවා ද?

කෙටි කාලයකදි ඔය සියලු විස්තර ගන්න බෑ. ජංගම දුරකථන 32 ක් තියෙනවා. ලැප්ටොප් එකක් තියෙනවා. ඒවායෙ තියෙන සමහර තොරතුරු මකා දාලා. ඒ තොරතුරු නැවත ලබා ගන්න ඕන. ඒ අය එකපාරටම තමන් පිටුපස ඉන්න දේශපාලනඥයො ගැන තොරතුරු දෙන්නෙත් නෑ. ඒ තොරතුරු අපි විමර්ශනවලදි හොයා ගන්න ඕන.

Q තවත් පාතාල සාමාජිකයන් පිරිසක් පිටරටකදි අත්අඩංගුවට ගත්ත පුවත් මාධ්‍යයේ පළවුණා. ඒ අය කවද්ද ලංකාවට ගේන්නෙ? සහ කවුද ඒ අතර ඉන්න ප්‍රසිද්ධ අය?

මට මේ වේලාවෙ ඒ අයගෙ නම් කියන්න බෑ. එතන පහළොවක් විතර ඉන්නවා. ඉන්දියාව, ඕමානය‌, ඩුබායිවලින් අත්අඩංගුවට ගත්ත අය ඒ අතර ඉන්නවා.

Q කංජිපානි ඉම්රානුත් ඒ අතර ඉන්නවා ද?

මම හිතන්නෙ නෑ. අත්අඩංගුවට ගත්ත මේ අයව අපට භාර දෙන්නෙ ඒ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුවයි. ඒ සම්බන්ධයෙන් අපි ඒ ඒ රටවල් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. පුළුවන් තරම් ඉක්මනින් ඒ අයව රටට ගෙන්වනවා. තව රතු නිවේදන නිකුත් කරපු පාතාල සාමාජිකයන් 65 ක් විතර විවිධ රටවල ඉන්නවා. ඒ අය ගෙන්වන්න අවශ්‍ය පියවරත් ගනිමින් ඉන්නෙ.

Q මේ පාතාල සාමාජිකයන්ට තොරතුරුවල ඉඳන් අවි ආයුධ පවා ආරක්ෂක අංශවලින් ලැබෙන බව ප්‍රකට කාරණයක්. මෙවැනි අයට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගන්නවාද?

අනිවාර්යයෙන්. දැනටත් හමුදාවෙ හා පොලිසියේ ඉන්න මේ සම්බන්ධයෙන් නම් කියැවුණු අය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ කටයුතු කරමින් ඉන්නවා. මේ වෙද්දි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව හෙළි වූ පොලිස් නිලධාරීන් 60කගෙ පමණ වැඩතහනම් කරලා තියෙනවා. 2025 ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 24 දක්වා විවිධ වැරදිවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 369කගෙ වැඩතහනම් කරලා තියෙනවා. සමස්ත පද්ධතියම පරිහානියට යනකොට පොලිසිය, හමුදාව විතරක් ඒකෙන් බේරෙන්නෙ නෑ. කෙටි කාලයක් ඇතුළත මේවා නිවැරදි කරන එක අමාරුයි. නමුත් අපි ක්‍රමයෙන් ඒක කරනවා.

Q අත්අඩංගුවට පත්වෙන පාතාල සාමාජිකයන්ගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් දෙන්න පුළුවන් ද? හරක්කටා ඝාතන තැතක් ගැනත් තොරතුරු වාර්තා වුණා.

අපි උපරිම අයුරින් ආරක්ෂාව සලසලා තියෙනවා. අපි හැම කෙනකුගෙම ජීවිතයෙ වටිනාකම ආරක්ෂා කරනවා. කිසි කෙනෙකුගෙ ජීවිතය නැතිකරන්න අයිතියක් නෑ. ඔවුන් මොන තත්ත්වයේ හිටියත් වරදකරුද නිවැරදිකරුද කියා තීරණය කරන්න වෙන්නෙ අධිකරණයෙන්.

Q ආණ්ඩුවට තව අවුරුදු හතරයි තියෙන්නෙ. මත්ද්‍රව්‍ය, පාතාලය මර්දනය කරන්න පුළුවන් ද?

අනිවාර්යයෙන්ම. මේ අවුරුදු හතර ඇතුළත මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩපිළිවෙළ ජාතික වැඩසටහනක් බවට පත්කරලා ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. රටට එන මත්ද්‍රව්‍ය සැපයුම අඩාළ කිරීම ඒකෙ එක් කොටසක්. කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පිරිසගෙන් කරගෙන යන ප්‍රශ්න කිරීම්වලදි මේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් 23 දෙනෙක් හඳුනාගෙන තියෙනවා. ඔවුන් දැනට මේ රටේ නෑ. ඒ අය ගැනත් ගැඹුරු විමර්ශන සිදු කරනවා. මේ වැඩසටහනේ දෙවැනි පැත්ත තමයි මත්ද්‍රව්‍ය සඳහා වෙන ඉල්ලුම අඩුකිරීම. පුනරුත්ථාපන, දැනුවත් කිරීම් මේ ආදී වැඩසටහන් මගින් ජනතාවත් සහභාගී කරවාගෙන ඒ සඳහා කටයුතු කරනවා. මේ වෙද්දි මහජන ආරක්ෂක කමිටු 14,000 ක් හදලා තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ජනතා පෙලඹවීම මේ කමිටු ඔස්සේ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

Q ගෙවුණු අවුරුද්දෙදි රටට දැනෙන වැඩකොටසක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවා ද?

ඉතාම සාර්ථක වැඩකොටසක් කරන්න පුළුවන් වුණා කියලා අපි හිතනවා. ආර්ථිකය ගත්තොත් ස්ථාවරත්වයක් ඇති කරන්න ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. ආදායම් ඉලක්කත් සම්පූර්ණ කරගෙන තියෙනවා. විදේශ සංචිත වැඩිවෙලා තියෙනවා. ආර්ථික වර්ධන වේගය වැඩිවෙලා තියෙනවා. ඉතිරි කරගත් මුදල් දුප්පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් යොදවලා තියෙනවා.

Q නමුත් මැතිවරණ වේදිකාවෙදි කියපු සමහර පොරොන්දු ගැන අතවත් තියන්න ආණ්ඩුව කටයුතු කරලා නෑ.

මොනවාද?

Q විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම,

අනීතිකව අත්පත් කරගත් වත්කම් නැවත අත්පත් කරගන්නා බවට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපි කියලා තියෙනවා. අපි ඒවා ක්‍රියාත්මක කරනවා. ඇමැතිවරු විස්සකගෙ වත්කම් විමර්ශන සී.අයි.ඩී. එකෙන් ක්‍රියාත්මක වෙනවා. ඇමැතිවරුන් විස්සක් සම්බන්ධයෙන් මහජන පැමිණිලි ඉදිරිපත් වෙලා තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය ගැනත් අපි කියලා තියෙනවා.

Q ඒක අහෝසි කරනවාද?

පළමු මාස තුනේ ඒක අහෝසි කරනවා කියලා අපි කියලා නෑ. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් කරලා ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ සඳහන් විදියට කටයුතු කරනවා.

Q මේ ළඟදි පනතකුත් සම්මත කළා. විදේශ රටවල සඟවලා තියෙන වත්කම් රටට ගෙන ඒමට අදාළ විමර්ශනත් මේ වෙනකොට සිදු වෙනවා ද?

එක් එක් සිදුවීම් අරගෙන වෙන වෙනම උත්තර දෙන්න අමාරුයි. ඒ සඳහා මුලින්ම නීති පද්ධතියක් හදාගන්න ඕන. ඒ අනුව අපරාධයකින් උත්පාදිත දේපොළ පනත සම්මත කළා. යම් කෙනෙක් අපරාධයකින් දේපොළ අත්කරගෙන තියෙනවා නම් මේ පනත මගින් කටයුතු කිරීමෙන් ඒවා නැවත රටට ගෙන්වා ගන්න පුළුවන්. මේ අවුරුද්දෙ විතරක් අනීතිකව රැස් කරපු රුපියල් කෝටි 500 ක පමණ දේපොළ අත්හිටුවලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ සඳහන් කළ විදියටම ඕනෑවටත් වඩා අල්ලස දූෂණයට අදාළ සිදුවීම් ගැන නීති කටයුතු ආරම්භ කරලා තියෙනවා. අත්අඩංගුවට ගැනීම් කරලා තියෙනවා. විමර්ශන දහස් ගණනින් සිදුවෙමින් පවතිනවා. මහින්දගෙ රනිල්ගෙ කාලෙ මේවා යටගැහුවා. ඒත් අපේ ආණ්ඩුවෙන් මේ කිසි එකක් යටගහන්නෙ නෑ. තරාතිරම අපිට අදාළ නෑ. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිය අමතමින් ප්‍රධාන කාරණා තුනක් අවධාරණය කළා. එයින් එකක් තමයි දුප්පත්කම තුරන් කිරීම. අපි ඒ වෙනුවෙන් ශක්තිමත් පදනමක් ඇති කරලා තියෙනවා.

Q ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් රුපියල් කෝටි ගණනක වත්කම් හිමියන් බව ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවලින් හෙළිවෙලා තියෙනවා. මේවා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ විවේචනත් ඉදිරිපත් වෙනවා. මේක ආණ්ඩුවට ප්‍රශ්නයක් නොවෙයි ද?

අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. කොහොමද ඉපයුවෙ කියලා විපක්ෂයේ කවුරුවත් ප්‍රශ්න ඇති කරගන්න ඕන නෑ. විපක්ෂයේ බංකොලොත් කණ්ඩායමක් හා ඔවුන්ට සම්බන්ධ සමාජ මාධ්‍ය කණ්ඩායමක් ඒ විදියට ප්‍රශ්න කරනවා. ඒ අයට කරන්න තියෙන්නෙ විවේචනය කරන එක නෙවෙයිනෙ. වත්කම් උපයා ගෙන තියෙන විදිය වැරදියි කියලා අල්ලස් කොමිසමට පැමිණිලි කරන එක. නීතියට අනුව තමන්ගෙ වත්කම් බැරකම් ප්‍රකාශ භාර දුන්නට පසසෙ ඒක අරගෙන සමාජ මාධ්‍යවල දාලා විවේචනය කළාට හරියන්නෙ නෑ. වත්කම් තියෙනවා කියන එකේ කිසිදු වැරැද්දක් නෑ. වැරැද්ද තියෙන්නෙ ඒ වත්කම් අනීතිකව උපයලා තියෙනවා නම් විතරයි. ඒ ගැන තමයි හොයන්න ඕන. 

සාකච්ඡා කළේ 
උපුල් වික්‍රමසිංහ

Q ඒ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් වුණොත් ආණ්ඩුව ඒවට මුහුණ දෙන්න සූදානම් ද?

ආණ්ඩුවේ අය ආණ්ඩුවේ නොවෙන අය කියලා අපි කාටවත් වෙනස් කොට සලකලා නෑ. අපි කියන්නෙ අපේ වත්කම් බැරකම් ප්‍රකාශවල ප්‍රශ්න තියෙනවා නම් පැමිණිලි කරන්න කියලා. අපි කිසිදු බියක් සැකක් නැතුව අපට තියෙන වත්කම් ගැන ප්‍රකාශ භාර දීලා තියෙනවා. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද? වත්කම් දෙනවා කියන එකේ වැරැද්දක් නෑ. ඒක දූෂණ විරෝධී පනතේ අවශ්‍යතාවක්. අපි ඒවා සම්පූර්ණ කරලා තියෙනවා.

Q ඔබේ වත්කම් බැරකම් ප්‍රකාශ භාර දුන්නා ද?

මම දීලා තියෙනවා. මැතිවරණයට තරග කරන්නත් කලින් මම ඒවා දුන්නා. මම රජයේ නිලධාරියෙක් හැටියටත් වත්කම් බැරකම් ප්‍රකාශ දීලා තියෙනවා. අපි අනීතිකව රුපියලක්වත් උපයා ගෙන නෑ. ඒ නිසා අපට ඕනෑම වෙලාවක වත්කම් ප්‍රකාශ දෙන්න පුළුවන්. ඕන විමර්ශනයකට අපට මුහුණ දෙන්නත් පුළුවන්.

Q යහපාලන ආණ්ඩුව කාලයේ ක්‍රියාත්මක වූ දූෂණ ලේකම් කාර්යාලයේ සේවය කරද්දි වැටුප් ගත් බවට ඔබට චෝදනා එල්ල වුණා. ඒවා ඇත්තද?

මම වැටුප් ගත්තෙ නෑ. ඉන්ධන දීමනාවත් සහිතව රුපියල් 26,000 ක දීමනාවක් ගත්තා. ඒ වෙද්දි මම වෙන ආයතනයක අධ්‍යක්ෂවරයෙක් විදියටත් කටයුතු කළා. මට ඒ තනතුරට වැටුප් ගෙව්වා. ජනාධිපති අගමැති කාර්යාල හෝ වෙනත් විශේෂ කාර්යාලවල සේවය කරන කොට යම් දීමනාවක් ගෙවනවා. මම ඒක ගත්තා. ඒක මූලික වැටුපක් නෙවෙයි. අවදානමක් සහිතව අපි ඒ කාර්යාලයේ රාජකාරි කළා.

Q ඒ කාර්යාලයට ලැබිලා යටගිය වංචා දූෂණ පැමිණිලි සම්බන්ධ විමර්ශන නැවත පටන් ගන්නවාද?

ඒ කාලේ යටගියෙ නෑ, යටගැස්සුවා. ඒක කළේ මෛත්‍රීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහයි. ඒවා ගැනත් දැන් විමර්ශන සිදුවෙනවා. එෆ්.සී.අයි.ඩී. ආයතනය නැවත ස්ථාපිත කරලා තියෙනවා. අපට පැමිණිලි අලුත් ද පරණ ද අදාළ නෑ. විමර්ශන කරනවා. රටේ ජනතාව මේ දේශපාලන පෙරළිය කළේ මේ රට වෙනස් කරන්න ඕන කියන වුවමනාවෙන්.

Q විපක්ෂයේ අය පොදු සන්ධානයක් හදන්න යනවා. ඒක ආණ්ඩුවට අභියෝගයක් නොවෙයි ද?

කිසිදු අභියෝගයක් නෑ. අපි කියන්නෙ ඒක හොරුන්ගෙ සන්ධානයක්. එයාලම කියනවානෙ එකට එකතු වුණේ නැතිනම් අපි දංගෙඩියට යනවා කියලා. තමන්ට තියෙන බියට නයි මුගටි ඔක්කොම එකට එකතු වෙලා තියෙනවා මිසක් ඒකෙන් ආණ්ඩුවට කිසිම අභියෝගයක් නෑ. අපි දශමෙක වරදක්වත් ජනතාවට කරන්නෙ නෑ. අපේ ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු 51 දෙනා පඩිත් ගන්නෙ නැතුව වැඩකරන්නෙ.

Q පළාත් සභා ඡන්දය තියන්නෙ කවද්ද?

පළාත් සභා ඡන්දය තියන්න තව විසඳගන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවා විසඳා ගත්ත වහාම ඡන්දය තියනවා. එක්කො පරණ පනත යටතෙ ඡන්දය තියන්න ඕන, අලුත් පනත අහෝසි කරලා. මේ නීතිමය ප්‍රශ්න අවසන් කළ වහාම ඡන්දය තියනවා. අපටත් ඒ ඡන්දය අවශ්‍යයි.