නිවැරදි වෙලාවට අපි නිවැරදි තීන්දුව ගන්නවා


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර

විමල්ලා ගැලවෙද්දී ශ්‍රීලනිපය  ආණ්ඩුවට දන ගැසුවාද ?

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර  කතා කරයි

 

ශ්‍රී     ලංකාවේ දේශපාලනය ගිනියම්ය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් වෙනම ක්‍රියාන්විතයකය. ඒ අතරවාරයේදී විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති ධුරවලින් නෙරපා හැරිණි. ඉනික්බිති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. එය පාවාදීමක්ද? ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, නීතිඥ දයාසිරි ජයසේකර මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධවය.

 

 

  • විමල් - ගම්මන්පිල ගැන තමන්ට එල්ල වූ බලපෑම් ගැන ජනාධිපතිතුමා කීවා
  • ආණ්ඩුව ආරක්ෂා කරනවා කියලා රෙදි ගලවා ගෙන ඒක කරන්න අපි සූද‌ානම් නෑ.
  • යම් යම් ප්‍රතිවිරෝධතා තිබුණත් අපි ද‌ාහතර දෙනාම එක මතයක ඉන්නවා.
  • අපි නිකම් කඩේ යන්න සූද‌ානම් නෑ. කියන කියන දේට එහෙයි සර් කියන්නෙත් නෑ.

 

ප්‍රශ්නය:-ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා ළඟටම ගිහින් දණ ගැහුවා කීවම හරිද?   


දණ ගැහුවේ නෑ. අපි මීට සති කිහිපයකට කලින් අපේ පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ රජයට අපි ඉදිරිපත් කළේ රටේ තියෙන මේ ආර්ථිකමය ප්‍රශ්න. ඉන්ධන හිඟය, ගෑස් හිඟය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟය, පොහොර සම්බන්ධව ඇතිවෙලා තියෙන මේ දැවැන්ත අර්බුදය මේ විදිහේ ප්‍රශ්නවලට විසඳුම් සඳහා වහාම ආණ්ඩුව යා යුතුයි කියන කාරණය අපි අවධාරණය කළා.   


ප්‍රශ්නය:-ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය?   


ජනාධිපතිතුමා සාවධානව ඇහුම්කන් දුන්නා. අපේ විශේෂ ඉල්ලීමක් වුණේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න කියලා. ඒ වගේම විද්වතුන්ගේ සමුළුවක් කැඳවන්න කියලා. ඊට අමතරව සර්ව ආගමික නායකයන්ගේ සමුළුවක් කැඳවන්න කියලත් ඉල්ලීමක් කළා. රට වෙනුවෙන් අපි ඒ ක්‍රියාවලියට අත තිබ්බේ. එහෙම නැතුව කා ළඟටවත් ගිහින් දණ ගහන්න නොවෙයි.   


ප්‍රශ්නය:-සර්ව පාක්ෂික සමුළුව කැඳවලා ඒ තියන්නේ මාර්තු අග. මේ මාර්තු මුල. වැඩේ නොකෙරෙන වෙදකමක් වගෙයි.   


නෑ ඒක කෙරෙන වැඩක්. ජනාධිපතිතුමා ඒකට දිනය ලෑස්ති කරගන්නවා කිව්වා. එතුමා විශේෂයෙන්ම කිව්වා ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා. අපේ ඉල්ලීම අනුව ඒ වැඩපිළිවෙළ යයි.   


ප්‍රශ්නය:-හැමෝම හිතුවේ ඔබලාත් සමඟ එකම වේදිකාවට ගොඩවෙලා ඇමැතිකම් අහිමි කර ගත්ත විමල් හා ගම්මන්පිල ගැන කතා කරන්න ගියා කියලා. නමුත් එහෙම කතාවක් වෙලා නෑ?   


අපි ඒ ගැනත් සාකච්ඡා කළා. අපි පළමුව අපේ කනගාටුව ප්‍රකාශ කළා ජනාධිපතිතුමා ඉදිරියේ. ඒ වගේම අපි බොහොම පැහැදිලිව කිව්වා මේ සමුළුව තියන බව ආණ්ඩුව කලින් දැනගෙන හිටියා. එහෙම දැනගෙන සාකච්ඡාවකට කැඳෙව්වා නම් මේ ප්‍රශ්නය මේ විදියට උද්ගත වෙන්නේ නෑ කියලා. විමල් හා උදය ඇමැතිවරුන් ඉවත් කිරීම පිළිබඳව අපගේ අදහස අපි බොහොම පැහැදිලිව ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා.   


ප්‍රශ්නය:-විමල් හා ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිව්වේ මොකක්ද?   


නෑ ඉතින් එතුමා ප්‍රශ්න ගණනාවක් ගැන කතා කළා. එතුමාට එල්ල වුණ බලපෑම් ගැනත් එතුමා කතා කළා. ඒ අනුව තමයි එතුමාට ඒ තීරණය ගන්න වුණේ කියලා එතුමා කිව්වා.   


ප්‍රශ්නය:-විමල් වීරවංශ නම් කිව්වේ ඇමති බැසිල්ගේ බලපෑම නිසයි ඔවුන් දෙදෙනා ඉවත් කළේ කියලා. ජනාධිපතිවරයා ඒ ගැනත් කියන්න ඇති? 

 
එහෙම කාරණාවක් එතැන කතා වුණේ නෑ. නමුත් ඇමැතිවරු මන්ත්‍රීවරු සියයට 95 ක්ම එතුමාට කියලා තියෙන්නේ තීන්දුවක් ගන්න කියලා එතුමා කිව්වා.   


ප්‍රශ්නය:- ඇමැති වාසුදේව ඇමැති ධුරයෙන් යන්නේ නෑ. නමුත් අමාත්‍යාංශයට යන්නේ නෑ. මේ මොකක් ද වෙන්නේ?   


 ඒක ඉතින් එතුමාගෙන් තමයි අහන්න ඕනෑ. එතුමා විරෝධාකල්පයක ඉන්නවා විමල් හා උදය ඇමැතිවරුන් ඉවත් කිරීම සම්බන්ධව.   


ප්‍රශ්නය:-එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම විරෝධාකල්ප නැද්ද?   


අපි ක්‍රියාමාර්ග තීරණය කරන්නේ පක්ෂයක් විදියට මධ්‍යම කාරක සභාවත් එක්ක සාකච්ඡා කරලා. අපට මන්ත්‍රීවරු 14 ක් ඉන්නවා. ඒ වගේම ලංකාව පුරාම සංවිධායකවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයගේ අදහස් උදහස් හැම විටම සමාන වෙන්නේ නෑ. ඒ නිසා තනි තීන්දුවක් අරගෙන වැඩකරන්න තත්ත්වයක් අපට නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ දැවැන්ත බලවේගයක්. ඒ නිසා හදිසි තීන්දු අපට ගන්න බෑ. තීන්දුවක් ගන්නකොට සියලුම දෙනා සමග සාකච්ඡා කරලා තමයි ගන්නේ. ඒ නිසා යම් ප්‍රමාදයක් වෙන්න පුළුවන්. නමුත් නිවැරදි වෙලාවටව අපි නිවැරදි තීන්දුව ගන්නවා.   


පොහොට්ටුවේ මැති ඇමැතිවරු ඔබලාගැන කියන කතා ඇහුවම රෙදි ඇඳගෙන ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද?   
ඒ ගොල්ලන්ට රෙදි ඇඳගෙන ඉන්න බැරි වුණාට අපට ප්‍රශ්නයක් නෑ. අපි වැරැදි ආරක්ෂා කරන්නේ නෑනේ. ඒගොල්ලෝ රෙදි ඇඳගෙන ද ඒවා ආරක්ෂා කරන්නේ කියලා අපට අහන්න වෙනවා. සියල්ලම හරියට සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා අපි වැරැදි ගැන සංවේදීව කතා කරනවා. හොඳ දේවල්වලට අපි අපේ ශක්තියත් සහයෝගයත් ලබා දෙනවා. රෙදි ඇඳගෙනද? නැද්ද? ඉන්නේ කියලා ඔය කියන අයගෙන් තමයි අහන්න ඕනෑ.   
ප්‍රශ්නය:-ඔබත් අහනවා ඒ අය රෙදි ඇඳගෙන ද ආණ්ඩුවේ ඉන්නේ කියලා. මමත් ඔබෙන් අහන්නේ ඒකමයි?   


අපට ප්‍රශ්නයක් නෑ. මොකද අපි නිකම් කඩේ යන්න සූද‌ානම් නැහැනේ. අපි කියන කියන දේට ‘එහෙයි සර්’ කියලා කියන්න යන්නේ නෑ. අපි ​බොහොම පැහැදිලිව අපේ අදහස් ටික ජනාධිපතිතුමා ඉදිරියේ වුණත් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේ වුණත් කියනවා. නැතිව ආණ්ඩුව ආරක්ෂා කරනවා කියලා රෙදි ගලවාගෙන ඒක කරන්න අපි සූද‌ානම් නෑ.   


ප්‍රශ්නය:-ආණ්ඩුවේ ඉන්න ගමන්, ඇමැතිධුර දරමින් පොඩ්ඩක් කොනිත්ත කොනිත්ත ඉන්න තමයි බලන්නේ?   


එහෙම නොවෙයි. වැරැදි දේ ගැන කතා කරන්න බයවෙන්න ඕනැ නෑ. අනිත් එක මේක මේ අපි හදපු ආණ්ඩුව. අපි නිකම් ඇවිත් ඇමැතිකම් අරන් ඉන්නවා නෙවෙයිනේ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරන කාලෙ නම් ඔහොම කිව්වත් කමක් නෑ. නමුත් මෙතැනදී අපි ශක්තිය දුන්නේ ජනාධිපතිතුමා දිනවන්න. ඒකට මහන්සි වෙලා ඊට පස්සේ ආණ්ඩුව හදන්න මහන්සි වෙලා ඒ සියල්ල කරලා ආණ්ඩුව නිවැරැදි මාර්ගයේ අරන් යන්න අනිවාර්යයෙන්ම අපි කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි කැපවෙලා වැඩ කරනවා.   


ප්‍රශ්නය:-පොහොට්ටුවේ අය නම් කියන්නේ ඔබලා පොහොට්ටුවෙන් ඉල්ලුවේ නැත්නම් ඇපත් නෑ කියලයි?   


පොහොට්ටුවේ ඡන්ද විතරක් අරගෙන අපට මන්ත්‍රීවරු වෙන්න බෑ. පොහොට්ටුවේ පාක්ෂිකයන්ට ඒ අය කිව්වේ මොකක්ද? ‘මෛත්‍රීට ගෑවුණ එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා’ කියලනේ කිව්වේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම පොහොට්ටුවේ බුද්ධිමත් හා වැදගත් මිනිසුන්ගේ ඡන්ද තමයි අපට ලැබුණේ. ඒ නිසා අපට ඒ වගකීම තියෙනවා ආණ්ඩුවේ නිවැරැදි වැඩපිළිවෙළකට සහයෝගය දෙන්න. 

 
ප්‍රශ්නය:-ආණ්ඩුවෙන් එළියට යන්න බෑ කියන ස්ථාවරයේ තදින්ම ඉන්නේ කවුද?   


මට ඒක ඒ විදියට කියන්න බෑ. නමුත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු තීරණ අපි ගන්නවා.   


ප්‍රශ්නය:-ඔබේ ස්ථාවරය මොකක්ද? ආණ්ඩුවෙන් යා යුතුද? ආණ්ඩුව සමග යා යුතුද?   


ඒක අපි පක්ෂයක් විදියට ගන්න ඕනෑ තීන්දුවක්. ඒ නිසා පක්ෂයේ මහලේකම්වරයා හැටියට මට මගේ පෞද්ගලික මතය කියන්න බෑ. අපේ මන්ත්‍රී කණ්ඩායමේ ද‌ාහතර දෙනාම එකම මතයක ඉන්නවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තොත් ඒකත් එක්ක තීන්දු කරන්න පුළුවන් මොකක්ද කරන්නේ කියලා.   
ප්‍රශ්නය:-ශ්‍රී ලංකා එක ආණ්ඩුවෙන් එළියට යන්න තීන්දුවක් ගත්තොත් පක්ෂය දෙකට කැඩෙන එක නවත්තන්න බෑ?   


නෑ එහෙම තත්ත්වයක් නෑ. පක්ෂයේ අපි හැමෝම එකට එකතුවෙලා ඉන්නවා එකා වගේ. අපි ද‌ාහතර දෙනාම එක මතයක ඉන්නවා. යම් යම් ප්‍රතිවිරෝධතා තිබුණත් ඒ විරෝධතා මකා ගන්න අවශ්‍ය සාකච්ඡාව අභ්‍යන්තරයේ අපි සිදු කරනවා.   


ප්‍රශ්නය:-ආණ්ඩුවක ඉන්න ගමන් ඔබලා කරන දේ හරි ද? එහෙම ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් ද?   


නෑ ඒක සාධාරණයි. අපි සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවලිය තුළ ඉඳගෙන වැඩ කරනකොට ප්‍රතිවිරෝධතා විශාල සංඛ්‍යාවක් මතුවුණා. විශේෂයෙන්ම යුගදනවි ගිවිසුම, ඒ වගේම 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දැවැන්ත මතවාදී අරගලයක් සිදුවුණා. නැගෙනහිර ජැටිය අද‌ානි සමාගමට දීම සම්බන්ධයෙන් ගැටුමක් ඇතිවුණා. මේ විදියට යම් යම් කාරණා සම්බන්ධයෙන් අභ්‍යන්තරයේ මතවාදී ගැටුමක් තිබුණා. ඒක තමයි මේ පුපුරලා ගියේ.   


ප්‍රශ්නය:- මම අහන්නේ ආණ්ඩුවක් ඇතුළේ ඔහොම ඉන්න පුළුවන්ද? රණ්ඩු කරනවා මිසක් වැඩක් කරන්න වෙලාවක් නෑනේ?

   
ඔව් එළියට ඇවිත් කතා කරන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි සමහර කාරණා ගැන කතා කරනවා වගේම, සමහර කාරණා ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන කතා කළාට ඇහුම්කන් දෙන්නේ නැත්නම් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඔක්කොම එකතුවෙලා සාකච්ඡාවක් කරන්නේ නැත්නම් ප්‍රශ්න කියන ඒවා එළියට යන එක වළක්වන්න බෑ. ඒක කොයිතරම් ප්‍රමාණයකින් කියනවද කියන එකයි අපි කල්පනා කළ යුත්තේ. එහෙම කතා කිරීම තුළ ආණ්ඩුවෙ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒකට වගකිවයුත්තෙක් සිටිය යුතුයි. හවුල්කාර පක්ෂවලට සවන් දෙන්නේ නැති නායකයොත් ඒවට වගකියන්න ඕනෑ. ඒ වගේම සවන් නොදීම නිසාම එළියට ඇවිත් ඉතාම දරුණු විදියට ආණ්ඩුවට ගහන්න ගියාම ඒක අනික් පැත්තට බලපාන්නේ කොහොමද කියලත් බලන්න ඕනෑ.


ප්‍රශ්නය:-ජනාධිපතිවරයා හමුවීමට යෑමෙන් ඔබලා අනෙක් පක්ෂ දහය පාවා දුන්නා කියලා මම කිව්වොත්?   


එහෙම කිසිම දෙයක් වුණේ නෑ. අපේ පක්ෂ 11 අතර සම්බන්ධය එලෙසින්ම තියෙනවා. අපි ජනාධිපතිතුමාට ඉතාම පැහැදිලිව කිව්වා අපේ එකමුතුභාවය හා ඒකාබද්ධව දේශපාලන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන එක ඉදිරියටත් කරනවා කියලා.   


ප්‍රශ්නය:-අගමැති මහින්ද රාජපක්ෂ කිව්වෙත් ‘තෙල් අර්බුදයක් තිබුණේ නෑ. ඇමැති ගම්මන්පිල කළ ප්‍රකාශ නිසයි තෙල් අර්බුදය මතුවුණේ’ කියලා. ඔබත් ඒක පිළිගන්නවද?   


අන්තිමට සියලු බර ගම්මන්පිල ඇමැතිතුමාගේ කරට ද‌ානවානම් එතුමාට කියන්න දෙයකුත් තියෙනවනේ. ඒකත් එතුමා කිව්වේ ‘මෙච්චරයි තෙල් තියෙන්නේ. ඒක තුළ අපට තෙල් ගෙන්වීමේ අර්බුදයක් තියෙනවා’ කියලා එතුමා කිව්වා. එතුමා මේ සම්බන්ධයෙන් කැබිනට් එකේදී ඕනෑ තරම් කතා කරලා ඇති. ඒකට අවශ්‍ය කරන පත්‍රිකාත් ඉදිරිපත් කරන්න ඇති. ඉතින් ඒකට සහයෝගයක් නුදුන්නාම අවසාන වශයෙන් ඔහුගේ ප්‍රශ්නයක් නිසා නොවෙයිනේ තෙල් නැතිව යන්නේ.   


ප්‍රශ්නය:-ඉතින් ආණ්ඩුව කියන්නේ එහෙමනේ?   


නෑ ඒක වැරැදියි. ඒ ප්‍රශ්නයේ වගකීම ආණ්ඩුවේ සමස්ත වගකීමක් හැටියට බාරගත යුතුයි. එහෙම කරන්නේ නැතුව ප්‍රශ්න මතුවෙන කොට ඒවා විසඳ‌ා ගන්න ආණ්ඩුවෙන්ම සහාය නොලැබෙන කොට පෞද්ගලිකව ඔහුගේ ගැලවීම සඳහා ඔහු ප්‍රකාශයක් කළා. උදය ඇමැතිතුමාට වෙන කරන්න දෙයක් නෑ. එතුමාට ඒ ප්‍රශ්නය විසඳගන්න සහයෝගය දීලා ශක්තිය ලබාදුන්න නම් ඔය ප්‍රශ්නය මතුවෙන්නේ නෑ.   


ප්‍රශ්නය:-ඇයි මේ රට මේ විදියට අර්බුද සුළියකට ​ගොදුරු වුණේ. කොතැනද වැරැද්ද වුණේ?


මේ අර්බුදය තව අවුරුදු පහකින් විතර එන්න තිබුණ අර්බුදයක්. මේ කොවිඩ් වසංගතයත් එක්ක දැන් මේ අර්බුදය එළියට ආවා. කොවිඩ් වසංගතයත් එක්ක රට අවුරුද්දක් වහලා තිබ්බා. සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ඩොලර් බිලියන 84 ක විතර ආර්ථිකයක් තමයි අපට තියෙන්නේ. ඒ තුළ තමයි මේ සියල්ල සිදුවුණේ. කොවිඩ් වසංගතය මේකට යම්කිසි විදියකින් බලපාලා තියෙනවා. හැබැයි කොවිඩ් නැත්නම් තව අවුරුදු පහකින් මේක මතුවෙනවා.   


ප්‍රශ්නය:-මේ අර්බුදයට මුහුණ දෙන්න තමයි මොළ හතක් තියෙනවා කියන ඇමැති බැසිල් ගෙනාවේ. ප්‍රයෝජනයක් වුණාද?   


මම දන්නෑ මොළ හතක් ද දහයක් ද පහළොවක් ද කියලා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ කවුරු ගෙනාවත් කවුරු ආවත් මේ අර්බුදයට මුහුණ දෙන්න වෙනවා. මේක කාලාන්තරයක් තිස්සේ වර්ධනය වුණු අර්බුදයක්. මේකට ක්ෂණික විසඳුම් කාටවත් නෑ. මුදල් ඇමැතිගේ කර උඩින් පමණක් මේක තියලා හරියන්නේ නෑ. මේක සමස්ත රටක් හැටියට ප්‍රතිපත්ති මාලාවක් මත ආර්ථික ක්‍රියාවලියක් මත මුහුණ දිය යුතු තත්ත්වයක්. 

 
ප්‍රශ්නය:-ඔබේ පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා ඔබ කිව්වා. ඒ කුමන්ත්‍රණය එන්නේ ආණ්ඩුව ඇතුළෙන්මද?   


ඔව් ඉතින් ප්‍රසන්න රණතුංග...... ඒ වගේම තව කීප දෙනෙක්ම සනත් නිශාන්ත වැනි ඇමැතිවරු කිව්වනේ හිටපු ජනාධිපතිතුමාව අත්අඩංගුවට ගන්න කියලා. ඒක තනිකරම දේශපාලන හේතු මත තමයි අත්අඩංගුවට ගන්නවා නම් ගන්නේ.   


ප්‍රශ්නය:-ඔබ එහෙම කියන්නේ?   


පොලිසිය කටඋත්තර අරගෙන. එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු ද‌ාන්නේ නැත්නම් කොහොමද අත්අඩංගුවට ගන්නේ. එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ බොහොම පැහැදිලිව දේශපාලනඥයන් විසින් බලපෑම් කිරීමෙන්. ඒක බොහොම සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් ඔවුන්ගේ ප්‍රකාශවලින්. වැරැද්දක් නැතිව කොහෙත්ම අත්අඩංගුවට අර​ගෙන හිරේ ද‌ානවා නම්... එහෙම ද‌ාන්න කියලා කියනවා නම් ඒ පුද්ගලයාව හිරබාරයට ගන්නවා නම් ඒක දේශපාලන බලපෑමක් මත සිද්ධ වෙන දෙයක්. ඒක තනිකරම දේශපාලන පලිගැනීමක්.   


ප්‍රශ්නය:-එහෙම දෙයක් වුණොත්?   


බලමු ඉතින්. ඒකට ඒ වෙලාවේ මුහුණ දෙන්න වෙනවා. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් වැඩ කරන මිනිස්සු නිකම් ඉන්නේ නැති වෙයි.   


ඉදිරියේ එන මැතිවරණය කුමක් වුවත් ඔබලා ඉදිරිපත් වෙන්නේ පොදුජන පෙරමුණෙන්ද ශ්‍රී ලංකා එකෙන්ද?   
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ රැස්වීමේදී අදහස් ගණනාවක් ආවා. තනියෙන් තරග කළ යුතුයි කියලත් අදහසක් ආවා. ඒ අදහස තුළ ඉඳගෙන යම් ආකාරයකින් අපට වැඩ කරන්න වෙයි. අපි ජනාධිපතිතුමාටත් එහෙම තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තමයි අපට යන්න වෙන්නේ.   


ප්‍රශ්නය:-පක්ෂ 11 වෙනම සන්ධානයක් හද‌ාගෙන මැතිවරණවලට යන්න බලාපොරොත්තු වෙනවද?   


තාම එච්චර දුර සාකච්ඡා කරලා නෑ. අපේ එකමුතුව තිබුණා. අපේ අන්‍යොන්‍ය අවබෝධය තියෙනවා. එකට තරග කරනව ද කියන එක ඉදිරියේදී ගන්න තියෙන තීන්දුවක්. අපි එකට වැඩ කරනවා.

 

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්