ලංකාවේ සාක්ෂරතාව කොතරම් ඉහළ බවට උදම් ඇනුවත්. මෙරට පවතින විභාග ක්‍රමය අනුව රැකියා වෙළෙඳ පොළේ ඉල්ලුමක් පවතින විෂයන්හි ප්‍රතිඵල ඉතා අවමය. හදාරන බොහෝ විෂයයන්වලට රැකියා වෙළෙඳපොළේ ඉල්ලුමක් නැත. රජය උගන්වන අධ්‍යාපන විෂය මාලා කාලානුරූපීව ගත් විට යල් පීනූ බව ඔප්පු වේ. මේ නිසා වසර කිහිපයකට වරක් සෑම රජයක්ම විෂය මාලා වෙනස් කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන එන මුත් ඒ මුල් වෑයමේදීම එම වෑයම දැඩි ප්‍රහාරයකට ගොදුරු වෙයි. එයට හේතුව මෙරට දේශපාලන උපක්‍රමවලට අධ්‍යාපනය ද ඈඳීගෙන තිබීමය. වර්තමාන රජය ගෙනැවිත් ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ද එම ප්‍රහාරය මේ වන විට එල්ල වී තිබේ. මෙහි හාස්‍යජනක කාරණය වී ඇත්තේ මෙතෙක් පැවැති වෙනත් ආණ්ඩු ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට නිර්දය ලෙස විරෝධය පෑ ජනතා විමුක්ති පෙරමුණට ඔවුන් රටේ පාලන බලය උසුලද්දී එවැනිම විරෝධතාවලට මුහුණ පාන්නට සිදුවී තිබීමය.
මෙරට ආණ්ඩුවක් මාරු වූ විගසම අධ්‍යාපන ප්‍රතිපත්තිය ද වෙනස් කිරීම සැමදාම රටට තිබූ පිළිලයකි. මේ නිසා ප්‍රතිපත්තිමය වෙනස්කම් සංකීර්ණ හා සුලබ විය. එකම ආණ්ඩුවක් තුළ වරින් වර බලයට එන අධ්‍යාපන ඇමැතිවරුන් තුළ පවා අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අඛණ්ඩතාවක් නොමැත.
1982 දී ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාවට දැඩි විරෝධයක් එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණය. රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුතු එවක ජවිපෙය. පාසල් සිසුන් පවා විරෝධතාවලට යොදා ගනිමින් පංති වර්ජනය කර පෙළපාළි යාමට ද ඔවුන් යොදාගත්තේය. 1997 චන්ද්‍රිකා කුමාරතුංග රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලට ද 2000 වසරේදී ඇගේ රජය ගෙන ආ ප්‍රතිසංස්කරණවලට සහ 2007 විෂය මාලා ප්‍රතිසංස්කරණවලට ද ජවිපෙ හා ඔවුන් යටතේ තිබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය උද්ඝෝෂණ පවත්වමින් දැඩි ලෙස විරෝධය පෑහ. අද පාලන බලය හොබවන ජවිපෙට ද විවිධ අංශවලින් විරෝධතා එල්ල වේ.
බ්‍රිතාන්‍යයන් පිරිනැමූ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර මෙරටට සුදුසු ජාතික අධ්‍යාපන ක්‍රමයක් සකස්කිරීමට පුරෝගාමී වූ අයකු හැටියට නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලි ලත් ආචාර්ය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර හැඳින්වේ. එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමට පෙර මෙරට ඉංග්‍රීසි සිංහල හා දෙමළ වශයෙන් පාසල් තුන් වර්ගයක් පැවතුණි. උසස් අධ්‍යාපනයට දොර ඇරුණේ ගාස්තු අය කර පවත්වාගෙන ගිය ඉංග්‍රීසි පාසල්වලින් පමණකි. ‘‘කන්නන්ගර අධ්‍යාපන කොමිසම’’ පත් කරන ලද්දේ ඉහත කී තත්ත්වය වෙනස්කිරීම සඳහාය.
එම කොමිසමට සාමාජිකයෝ විසිතුන් දෙනෙක් අයත් වූහ.
වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ දුර්වලකම් සොයා බලා වෙනස් වූ තත්ත්වයට සරිලන පරිදි අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා යන තේමාවෙන් මෙම කොමිසම පත් කෙරිණි. එවකට අධ්‍යාපන ඇමැති වූයේ කන්නන්ගරයන්ය. එම කාරක සභාව වසර තුනක කාලයක් සාකච්ඡා පවත්වා, අදහසක්වලට සවන් දී නිකුත් කළ වාර්තාවෙන් පාසල් ක්‍රම දෙකක් එනම් ගාස්තු අය කරන පාසල් සහ ගාස්තු අය නොකෙරෙන පාසල් ලෙස වර්ග දෙකක් තිබීම නිසා සෑම දරුවකුටම එක හා සමාන අධ්‍යාපන ක්‍රමයක් නොලැබෙන බව පෙන්වා දුන්නේය. ගාස්තු ගෙවීමට හැකි වූයේ පොහොසත් මවුපියන්ට පමණය. විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගත්තේ ගාස්තු ගෙවන පාසල්වල දරුවන් පමණය. මේ නිසා සෑම දරුවකුටම ‘‘නිදහස් අධ්‍යාපනය’’ ලැබිය යුතු බව කන්නන්ගර කොමිසමෙන් නිර්දේශ කෙරිණි. මෙරට නිදහස් අධ්‍යාපනයේ පදනම එයයි.
එහෙත් එම නිදහස් අධ්‍යාපන යෝජනාවට දේශපාලන අංශවලින් සහ සමාජයේ බලවත් තැන් වලින් දැඩි විවේචන එල්ල විය. නිදහස් අධ්‍යාපනය අඩංගු පනත සම්මත කිරීමට නියමිතව තිබුණේ. 1947 මාර්තුවේ දීය. ආචාර්ය කන්නන්ගරම පවසා ඇත්තේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී නිදහස් අධ්‍යාපන පනත තරම් වාද විවාදවලට ලක්වුණු වෙනත් පනතක් නොතිබූ බවය. 1947 මාර්තු 6 සිට 15 දක්වා දින කීපය තුළ නිදහස් අධ්‍යාපන පනතට පක්ෂව හා විපක්ෂවත් රට පුරාම උද්ඝෝෂණ පැවැත්විණි. ජී.පී. මලලසේකර හා ආචාර්ය ඊ.ඩබ්. අධිකාරම් වැනි උගතුන්ට පවා පාරට බැස නිදහස් අධ්‍යාපනයේ වැදගත්කම ගැන අදහස් පළ කරන්නට සිදුවිය.
මැතිනියගේ රජයේ ජා.පො.ස ට ආ විරෝධය
1972 හා 1977 අතර කාලයේ ක්‍රියාත්මක වූ සමඟි පෙරමුණ රජය එවක අධ්‍යාපන ලේකම් ප්‍රේමදාස උඩගමගේ ප්‍රධානත්වයෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වෙනුවට ජාතික පොදු සහතික පත්‍ර විභාග ක්‍රමය (ජාපොස) හඳුන්වා දුන්නත් එයටද දැඩි විරෝධයක් එල්ල විය. එම ක්‍රමය යටතේ. සාමාන්‍ය පෙළ සිසුන් නිරතුරුවම අමාරුවේ වැටෙන, විද්‍යාව හා ගණිතය යන විෂයයන් සමත්වීම අනිවාර්ය නොකෙරිණි. එහෙත් එම විභාග ක්‍රමය ගැන සරසවි ආචාර්යවරුන්ගෙන් දැඩි විවේචන එකල එල්ල විය.
ජාතික පොදු සහතික පත්‍ර විභාගයේ වැරදි පිළිබඳව ප්‍රධානම චෝදනාව ඇති වූයේ ඒ ඒ පංතියට හිමි විෂය මාලාව සිසුන්ට දරා ගත නොහැකි තරම් පුළුල් බවටය.
නවවැනි ශ්‍රේණියේ දී ප්‍රධාන විභාගයක් පවත්වන්නට නියමිතව තිබුණ ද එම ශ්‍රේණිය සඳහා විෂය මාලාව සම්පූර්ණයෙන්ම උගන්වා අවසාන කිරීමට කිසිම පාසලකට නොහැකි බවට ගුරුවරුන්ගෙන් පැමිණිලි ගලා ආවේය. ඒ නිසා හත සහ අට ශ්‍රේණි වලින් ද නවවැනි ශ්‍රේණියේ විභාගයට ප්‍රශ්න එකතු කිරීමට තීරණය වූයේ දරුවන්ට සහනයක් ලබාදීම සඳහාය. කෙසේ හෝ විභාගයට මුහුණ දී උසස් පෙළ හදාරා රැකියාවලට ගිය බොහෝ දෙනාට පසුකාලීන ආණ්ඩු යටතේ ගණිතය සහ විද්‍යාව නොමැතිවීම මත සේවයේ ස්ථීර කිරීමේ දී විවිධ ප්‍රශ්න මතු විය. ජා.පො.ස විභාග ක්‍රමයට වඩාත්ම පහර දුන්නේ එකල මධ්‍යම පංතියයි.
එහෙත් බණ්ඩාරනායක රජය එම විරෝධතා නොසලකා අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ ද 1977 බලයට ආ ජයවර්ධන රජය යළිත් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ක්‍රමය නැවත ඇති කළේය. එය අද දක්වාම පවතී.
ජේ.ආර්. රජයේ ධවල පත්‍රිකාව
ජේ.ආර්. ජයවර්ධන රජයේ අධ්‍යාපන ඇමැතිව සිටි රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රකට වූයේ “අධ්‍යාපන ධවල පත්‍රිකාව” යනුවෙනි. 1982 ජනවාරියේ ගෙන එන ලද එම ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ ජනවාරි 6 වැනිදා වුවත් රට වටෙන්ම ආ විරෝධය නිසා ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට එදින ඉදිරිපත් නොකෙරිණි. ධවල පත්‍රිකාවට එරෙහිව සරසවි සිසුන් පමණක් නොව පාසල් සිසුහු ද පංති වර්ජනය කර පෙළපාළි ගියහ. බහුජන සංවිධාන ද විරෝධය පෑවේය.
ධවල පත්‍රිකාවෙන් ගෙන ආ යෝජනා කිහිපයක් මෙසේය.
පෙර පාසල් සඳහා රජයේ දායකත්වය ඉවත් කෙරේ. පවත්වාගෙන යාම පෞද්ගලික අංශයට පැවරේ.
රජයේ පාසල්වල බාලාංශ පන්තිය අහෝසි කෙරේ.
පහේ ශිෂ්‍යත්වය අහෝසිකර ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ දී විභාගයක් පැවැත්වේ. මීළඟ පංතියට යොමු කරන්නේ ඉන් සමත්වන පිරිස පමණකි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය හැක්කේද 8 වැනි ශ්‍රේණි විභාගය සමත්වන අයට පමණකි.
‘‘අගෝස්තු සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වේ.
ඒකීය හා පර්ෂද වශයෙන් පාසල් වර්ග කෙරේ. ඒකීය පාසල් සඳහා රජයේ ආධාර නොලැබේ. එහි ගුරුවරුන්ට පමණක් රජයෙන් වැටුප් ගෙවනු ලැබේ. ඉතිරි වියදම් පරිත්‍යාගශීලීන් ලබා ගත යුතුය.
- පර්ෂද පාසල් පිහිටුවන්නේ ප්‍රධාන පාසලක් වටා සිසුන් 3000ක් එකතුවන වන පරිදි කුඩා පාසල් දහයක් එකතු කිරීමෙනි.
- පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර ලැබේ.
- පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට අවසර ලැබේ.
එම යෝජනා අතරින් කිහිපයකි.
මෙම උද්ඝෝෂණ නිසා පාසල් දින නියමයක් නොමැතිව වසා දමන්නට සිදුවූයේ සිසු විරෝධාත උත්සන්න වීම නිසාය.
කොමියුනිස්ට් පක්ෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මෙසේ අදහස් දක්වා තිබිණි. අප මෙම යෝජනා වලට විරුද්ධ වන්නේ එජාප රජය විසින් ගෙන එන නිසා නොවේ. එමඟින් අධ්‍යාපන අයිතිය දුප්පත් දරුවන්ගෙන් ගිලිහෙන නිසාය. යෝජිත ප්‍රතිසංස්කරණය මඟින් සමස්ත අධ්‍යාපනයට මුදල් මත පදනම් වෙයි. පූර්ව පාසල්වලද පෞද්ගලික පාසල්වලද විවෘත පාසලේද හා අධ්‍යාපන ක්‍රියාවලියේ තවත් අවස්ථා ගණනාවකත් මුදල් අය කිරීමට නීතියෙන් අවසර ඇත.
නවීන තාක්ෂණයත් සමග රැකියා වෙළෙඳපොළ වෙනස් වෙද්දී යල් පැන ගිය ඉතිහාස කරුණු, පාලි, සංස්කෘත වැනි විෂයයන් උගන්වා ප්‍රතිඵලයක් නැත. එවැනි විෂයයන් අවශ්‍ය අයට හදාරන්නට ඉඩ දී පොදු විෂයයන් බවට පත්විය යුත්තේ රැකියා වෙළෙඳපොළේ නිරතුරුව ඉල්ලුමක් ඇති විෂයයන් ය.
එකොළොස් වැනි ශ්‍රේණියේ හා විශ්වවිද්‍යාල ප්‍රවේශයේ පවා ඉංග්‍රීසි අනිවාර්ය කිරීමෙන් තම දරුවන් සඳහා ඉංග්‍රීසි පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට මව්පියන්ට සිදුවේ. දෙමව්පියන්ගෙන් සම්පත් පියවා ගැනීමට පාසල්වලට ධවල පත්‍රිකාවෙන්ම බලතල පවරා ඇති බවට කොමියුනිස්ට් පක්ෂය සඳහන් කර තිබිණ.
මෙම විරෝධතා නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඩංගු ධවල පත්‍රිකාව ක්‍රමානුකූල මරණයකට ලක්විය. එහෙත් රජය ක්‍රමානුකූලව එහි තිබූ යෝජනා සිල්ලර හැටියට කාන්දු කළේය. 1981 වන විට පෙර පාසල් ගම්බදව බහුලව ක්‍රියාත්මක නොවුණත් අද වන විට ළදරු අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම වාණිජ ව්‍යාපාරයක් බවට පත්වී ඇති අතර මව්පියන් මුදල් ගෙවා දරුවන් ළදරු පාසලට යැවිය යුතුය. එතෙක් පාසල්වල ක්‍රියාත්මක වූ බාලාංශය පන්තිය ද මේ සමගම අහෝසි කළ අතර එහි රාජකාරිය ළදරු පාසල්වලට පැවරිණි. අද වන විට පාසල්වල විවිධ අංශ සඳහා මව්පියන්ගේ මුදල් එකතු කිරීම සිදුවෙයි. ටියුෂන් ව්‍යාපාරය යටතේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබන ක්‍රමයක් රට පුරාම ස්ථාපිතව පවතී. මේ වන විට නිදහස් අධ්‍යාපනය යනු මුදල් මත රැඳී පවතින ක්‍රමයක් බවට පත්ව ඇත.
ප්‍රේමදාස රජයේ ප්‍රතිසංස්කරණ
1991 දී රජය ඉදිරිපත් කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවල මෙවැනි හැඳින්වීමක් අඩංගු විය. මේ දක්වා විවිධ ආණ්ඩු විවිධ අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළත් තරුණයන් අවි ආයුධ අතට ගැනීමට තරම් තුඩු දුන්නේ ප්‍රධාන කඩඉම් විභාග තුනෙන් අසමත් වීම හා වෙනත් දියුණු වන මාර්ගයකට අවතීර්ණ වීමට මඟක් නොමැති වූ අසහනකාරී තත්ත්වයක් ඔවුන් තුළ උදා වීමය....
ප්‍රේමදාස රජය කැරැල්ලෙන් පසුව පත් කළ තරුණ අසහන කොමිසමේදී ද මේ බව හෙළිදරව් විය. එනිසා එවක රජය ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ආවද එයට ද සැලකිය යුතු විරෝධතා එල්ල විය.
1997 චන්ද්‍රිකා රජයේ ප්‍රතිසංස්කරණ
චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ 1997 වසරේදී ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ඉදිරිපත් විය.
උසස් පෙළ විභාගය සඳහා එතෙක් පැවැති විෂයන් හතර තුනක් දක්වා අඩු කිරීම ද අමතර සුදුසුකමක් ලෙස අභියෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට ද සිසුන්ට සිදුවිය. මෙම ක්‍රමය ක්‍රියාත්මක වූ 1999 වසරේ සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් විෂයයන් තුනෙන් ඉහළින්ම සමත් වූවත් අභියෝග්‍යතා විෂයය අසමත් වුවහොත් ඔහුට සරසවියට ඇතුළත් වීමට නොහැකි වේ.
මෙහිදී වඩාත්ම විරෝධතා මතු වූයේ අභියෝග්‍යතා පරීක්ෂණයටය. මෙය බාහිර දැනුම මගින් පරීක්ෂණයක් සේ පෙන්නුම් කළත් උසස් පෙළ විෂය ධාරාවට මහන්සි වන දරුවන්ට මෙය අමතර පීඩනයක් බවට විවේචන එල්ල විය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය උද්ඝෝෂණ ගණනාවක් සිදු කළේය. එම උද්ගෝෂණවලට කඳුළු ගෑස් සහ පොලිස් පහර දීම් සිදුවිය. කෙසේ වෙතත් විරෝධතා කොපමණ තිබුණත් 1999 වසරේ සිට උසස් පෙළට විෂයයන් තුනක් පමණක් ඇතුළත් විය. බාහිර දැනුම මනින අභියෝග්‍යතා පරීක්ෂණය ද ක්‍රියාත්මක විය.
වෙනස් නොවන අධ්‍යාපන ප්‍රතිපත්තියක් කිසිම රටක නැත. කාලානුරූපව විෂයමාලා වෙනස් විය යුතුය. නවීන තාක්ෂණයත් සමඟ රැකියා වෙළෙඳ පොළ වෙනස් වෙද්දී යල් පැන ගිය ඉතිහාසය කරුණු පාලි සංස්කෘති වැනි විෂයයන් උගන්වා ප්‍රතිඵලයක් නැත. එවැනි විෂයයන් අවශ්‍ය අයට හදාරන්නට ඉඩ දී පොදු විෂයයන් බවට පත්විය යුත්තේ රැකියා වෙළෙඳපොළේ නිරතුරුව ඉල්ලුමක් ඇති විෂයයන්ය. 1982 දී එජාප රජය ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන් ඉංග්‍රීසි අධ්‍යාපනයට වැඩි තැනක් දෙන්නට හැදුවේ විවෘත ආර්ථිකයත් සමඟ ඇතිවෙමින් තිබූ ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කරගෙන වුවත් විරෝධතා නිසා එම වැඩපිළිවෙළ ඉවත් කර ගන්නට සිදුවිය.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අද වන විට රජයට අති විශාල වැය බරක් දරන්නට සිදුවේ. 1947 දී කන්නන්ගරගේ අධ්‍යාපන යෝජනාවලිය සම්මත වූ අවස්ථාවේ අද තරම් පාසල් ප්‍රමාණයක් රජය සතුව තිබුණේ නැත. විවිධ ආගමික ආයතනවලින් සහ පෞද්ගලික අංශයෙන් පාලනය වූ පාසල් විශාල ප්‍රමාණයක් තිබූ අතර රජය සිදු කළේ එම පාසල්වල ගුරුවරුන්ට වැටුප් ගෙවීම පමණය. එහෙත් 1961 දී බණ්ඩාරනායක මැතිනිය පාසල් දෙදහසක් රජයට පවරා ගැනීමෙන් දරන්නට වූ මුදල විශාල ලෙස වැඩි විය.
මේවන විට රටේ මූල්‍ය තත්ත්වයන් අනුව පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, ගුරුවරුන්ට වැටුප් ගෙවීම, පාසල්වලට භෞතික සම්පත් ලබාදීම විභාග උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා යන වියදම් ඇතුළුව රජයට දරා ගත නොහැකි වැය බරක් සෑම වසරකම එකතු වේ. සැබැවින්ම මෙම අතිවිශාල වියදම පාලනය කිරීම අවශ්‍යය. 1982 දී ධවල පත්‍රිකාව ගෙන ආවේ ද පාසල් සඳහා යන රජයේ වියදම් අඩු කිරීමේ අරමුණිනි. එහෙත් විරෝධතා නිසා එවර ප්‍රතිසංස්කරණ ඇන සිටියේය. අද වනවිට භෞතික සම්පත් සඳහා රජයට දරන්නට වී ඇති වියදම් පාලනය සඳහා වැඩ පිළිවෙළක් ස්ථීර ලෙසම අවශ්‍යවේ.
ප්‍රේමකීර්ති රණතුංග