නාමල්ට තරුණියන්ගෙන් ප්‍රශ්න වැලක්


මත්ද්‍රව්‍යවලින් තොර රටක් හැදීම පිණිස ආණ්ඩුව ක්‍රියාත්මක කරන ‘රටම එකට’ මෙහෙයුම මෙම තිස්වැනිදා ආරම්භ විය. ජාතික මට්ටමෙන් එම වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු දිස්ත්‍රික් කමිටු පිහිටුවීම රජයේ අරමුණය. එම කමිටුව පිහිටු වන්නේ දැනට පවතින දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා රජයේ ඉහළ නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ ප්‍රජාව යන කොටස් තුනම එකට එකතු වේ. පූජ්‍ය පක්ෂයද එකතු කරගෙන මත්ද්‍රවය ජාවාරම්කරුවන්ට එරෙහිව සමාජ ව්‍යාපාරයක් ලෙස මෙම බලවේගය මගින් සමාජ විරෝධයක් ඇතිකර මත්ද්‍රව්‍ය මර්දනය කිරීම රජයේ අපේක්ෂාවය.

අනාරක්ෂිත දරුවන් දාහත්දහසක්

රටම එකට’ මත්ද්‍රව්‍ය මෙහෙයුමේ ආරම්භක උත්සවය පැවැත්වුණේ ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීය. 

පොලිසියේ ඉතා සොච්චමක් පාතාලයට උදව් කරනවා. හමුදාවේත් ඉතා සුළු පිරිසක්...... හමුදා කර්නල්වරයෙක් පාතාලයට ආයුධ සපයලා... ඔහුගේ ගිණුමට පාතාලයෙන් මුදල් ඇවිත්. රජය සතු ගිනි අවි පොලිසියේ මහත්තයෙක් විකුණලා පලා යනවා. අතළොස්සක පිරිසක් කරන මේ කටයුතු නිසා කළු රාජ්‍යයක් නිර්මාණය වෙලා... නිල රාජ්‍ය යාන්ත්‍රණය තරම් නොවුවත් ඒ හා සමාන රාජ්‍ය යාන්ත්‍රණයක් පාතාලය විසින් සපුරාගෙන’ යැයි ද එම උත්සවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

පාතාලය ගොඩනැගීමට හේතු කාරක වූ සිදුවීම් ගැනද රජය අධ්‍යයනයක නියැලී තිබේ. ඒ අනුව අනාරක්ෂිතව සිටින දරුවන් වැඩි වූ රට පාතාලයට ගොදුරු වන බව නිරීක්ෂණය වී ඇත. මව හා පියා ළඟ නොමැති දරුවන් දාහත්දහසක් සිටින බව රජය සඳහන් කරයි. ඒ අනුව එම දරවන් පාතාලය හා මත්ද්‍රව්‍ය වෙත යාම වැළැක්වීමේ වැඩපිළිවෙලක්ද මේ වන විට ආරම්භ කර ඇත.

විපක්ෂනායක වැලිගමට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සජබ මන්ත්‍රීවරු ගණනාවක් ඉකුත් ඉරිදා වැලිගම හිටපු ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරට අවසන් ගෞරව දැක්වීම සඳහා වැලිගමට ගියහ. මුජිබර් රහුමාන්, ජගත් විතාන, එරාන් වික්‍රමරත්න, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් එම නිවසට යද්දී නිවැසියන්ගේ ළතෝනියෙන් මන්ත්‍රී පිරිස කම්පාවට පත්වූහ. බිරිඳ, මව ඇතුළු නෑසියන් හඬා වැටුණේ සභාපතිවරයාගේ දරුවන් ගැන කියමිනි.

‘ආරක්ෂාව ඉල්ලල තියෙද්දිත් මගෙ දරුවට ආරක්ෂාව දුන්නෙ නෑ.....’ හිටපු සභාපතිවරයාගේ මව විපක්ෂනායක සජිත් සමග කියා සිටියාය.

‘ලසන්ත මෑත කාලෙ පරණ සිදුවීම් ඔක්කොම අත ඇරල හොඳ මිනිහෙක් වෙන්නයි හැදුවෙ... ප්‍රාදේශීය සභාවේ සභාපති වුණාට පස්සේ සභාවේ වාහන පවා අතින් වියදම් කරලා හැදුවා....’ එහි සිටි පිරිස සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සමග කියා සිටියහ.

‘ඔව් ඉතින් ආණ්ඩුවෙන් කීදෙනෙක් ඉන්නවද එහෙම හැදුණු අය. අසූනවය කාලෙ බරපතළ චෝදනා තිබූ අය අද ඇමැතිවරු වෙලා ඉන්නේ. ඒ විදිහට මිනිහෙකුට හැදෙන්න අවස්ථාව ලැබෙන්න එපායැ.. ලසන්තට ඒ අවස්ථාව නොදී මරල දැම්මා....’ මහලේකම් රංජිත් කියා සිටියේය.

‘එයාට අපේක්ෂකත්වය දුන්න ආකාරය ගැනත් ආණ්ඩුව ප්‍රශ්න නඟනවා නේද?’ එහිදී අයෙක් විමසීය.

‘ලසන්ත දෙදාස් දහඅටේ ඡන්දෙදි එජාපයෙන් තරග කරල දිනපු කෙනෙක්... අපේ මව් පක්ෂය. ඉතින් අපි හිටපු මන්ත්‍රීවරු හැමෝටම තරග කරන්න අපේක්ෂකත්වය දුන්නා. හැම පක්ෂයම එහෙම තමයි කරන්නෙ... මේ පාරත් ලසන්ත තමන්ගෙ කොට්ඨාසයෙන් සියයට හැටහතක් ඡන්ද අරගෙනයි ජයග්‍රහණය කළේ.‘ සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර තවදුරටත් කියා සිටියේය.

21 වැනිදා ජනරැලිය

ඒකාබද්ධ විපක්ෂය ලෙස සජබ හැර සෙසු පක්ෂ නුගේගොඩදී ‘%මහා ජන හඬ’ නමින් රැලියක් නොවැම්බර් 21 වැනිදා සවස 2.00 ට පැවැත්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රීලනිපය, පොදුජන එක්සත් පෙරමුණු ඇතුළු පක්ෂ හා සංවිධාන තිහකට ආසන්න ප්‍රමාණයක් මෙම රැලියට පැමිණෙන බව දැනුම් දී ඇතැයි එහි සංවිධායකයෝ සඳහන් කරති.

මෙවැනි පොදු ජනරැලියක් පැවැත්විය යුතු බවට තීරණය වූයේ මෙයට මාස ගණනකට පෙරය. විදුලි ගාස්තු ඉහළ නැංවීමට රජය මෙයට පෙර තීන්දු කළ අවස්ථාවේ මෙවැනි රැස්වීමක් පැවැත්වීමට සාකච්ඡා වුවත් ඉන්පසු විවිධ හේතු මත එම රැස්වීම කල් ගියේය.

මෙයට පෙර මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ අනුනායක හිමිවරුන් බැහැ දැක වත්මන් රජය යටතේ රටේ උද්ගතව ඇති තත්ත්වය උන්වහන්සේලාට පැහැදිලි කිරීමට විපක්ෂ කණ්ඩායම කටයුතු කර තිබිණ. රජය විපක්ෂය මර්දනය කරන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයක් ලෙස මෙවැනි රැස්වීමක් පැවැත්විය යුතු බව ඉකුත් කාලය පුරාම සාකච්ඡාවට ලක්විය. ඒ අනුව ඉකුත් සතියේ නුගේගොඩ රැස්වීමක් පැවැත්විය යුතු බවට තීරණයක් ගත් අතර ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූයේ ඉන්පසුවය.

මහින්ද අමරවීර, අනුර යාපා, සාගර කාරියවසම්, තලතා අතුකෝරාල, උදය ගම්මන්පිල, අසංක නවරත්න, ප්‍රසන්න රණතුංග, සාගල රත්නායක, සංජීව එදිරිමාන්න ඇතුළු විපක්ෂයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වා නොවැම්බර් 21 වැනිදා රැස්වීම පිළිබඳව සමාජය දැනුවත් කෙරිණි.

ඊට පසු දින යළිත් එම පක්ෂ ප්‍රධානීන් ඒකරාශි වූයේ රැලිය සංවිධානය කරන ආකාරය ගැන තවදුරටත් සාකච්ඡා කිරීමටය. එම රැලිය සඳහා එක් වේදිකාවක් පමණක් ඉදිකෙරෙන අතර ඒ මොහොතේ කතා කරන කථිකයාට පමණක් වේදිකාවේ සිටිය හැකි පරිදි සංවිධානය කිරීමට තීරණය විය.

සියලුම පක්ෂ නායකයන්ට අසුන් පැනවෙන්නේ වේදිකාවෙන් පහළය. එමෙන්ම කිසිම දේශපාලකයකුගේ නම අලවා ආසන වෙන් නොකිරීමට තීරණය කෙරුණේ  එවැන්නකින් සෙසු පිරිසගේ සිත් රිදීමට ඉඩ ඇත යන මතය නිසාය. ආසන දහසක් පමණ පැනවීමටද සාකච්ඡා කෙරිණි. හිටපු ජනාධිපතිවරුන් කිසිවකුටවත් රැස්වීමට ආරාධනා නොකරන අතර දෙවැනි පෙළ නායකයන්ගෙන් පමණක් රැස්වීමට පැවැත්වීමට ද තීරණය විය. පැමිණ සිටි සියලු දෙනාම කියා සිටියේ මෙය සන්ධානයක් නොවන බවය. එමෙන්ම ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන රැස්වීමක් නොවන බවත් මෙම වැඩපිළිවෙළ සඳහා නායකයකු නොමැති බවත් පිරිස කියා සිටියහ.

සජබය පිළිබඳවද මෙහිදී යම් යම් මත පළවිය. එම පක්ෂයේ ප්‍රධානීන්ට යම් ප්‍රශ්න රජයෙන් මතු වී ඇති නිසා සජබය එම ප්‍රශ්න නිරාකරණය කරගන්නා තුරු මෙවැනි වැඩ පිළිවෙලකට එක් නොවන බවද සජබය නොපැමිණියා කියා සජබය විවේචනය නොකළ යුතු බවද මෙම රැස්වීමට ආ පක්ෂ නායකයෝ සාකච්ඡා කළහ.

රැස්වීමට පැමිණෙන මහා සංඝරත්නය වෙනුවෙන් වෙනම වේදිකාවක්ද සැකසේ. 21 වැනිදා රැලිය පැවැත්වෙන තුරු සෑම සතියකම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙම පක්ෂවල ප්‍රධානීන් මාධ්‍ය සමග අදහස් පළකරන සෑම විටම මෙම රැලිය ගැනත් සඳහන් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීන්දු විය. මෙම රැස්වීමෙන් පසු, යහපාලන රජයට එරෙහිව පැවැත්වූ ‘%මහින්ද සුළඟ’ මෙන් රැස්වීම් මාලාවක් දිස්ත්‍රික්ක මට්ටමෙන් පැවැත්විය යුතු බවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීමට තමන් සහභාගී නොවන බව සජබයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම මාධ්‍යයට සඳහන් කළහ. පසුව නිල වශයෙන්ම සජබය නිවේදනය කළේ මෙම රැස්වීමට නොයන බවය.

ජගත් විතාන සහ පොලිස්පති හබය

සජබයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන පිළිබඳව පොලිස්පති නිකුත් කළ ලිපියක් සහ කතානායකවරයාගේ නියෝගය පරිදි ජගත්ට ආරක්ෂාව සැපයීමත් ඉකුත් දිනවල දැඩි කතාබහට ලක්විය. මේ පිළිබඳව පොලිස්පතිවරයා කළ ප්‍රකාශයක් සහ ජගත් විතාන මන්ත්‍රීවරයා පොලිස්පතිගේ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමත් සමග එම කතා බහ උණුසුම් විය. මේ කතා බහ පැතිරෙද්දී සජබ රැස්වීමකදී මුණගැසුණු සජබ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ජගත් විතානගෙන් මේ ගැන විමසුවේ වැඩේ දුරදිග යනවා නේද යනුවෙනි.

‘මේ ළඟදී ත්‍රීවීල් එකක් ඇවිත් අපේ ගෙදර ළඟ කැරකිලා ගිහින්... ගේ ඇතුළටත් යන්න හදලා. මේ ගැන මම පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මා මැර කල්ලියක් ආවා කියලා.

‍පැමිණිල්ල දාල පැය බාගයයි  පොලිසියෙන් කියල මට කතා කළා සමාවෙන්න ජගත් මහත්තයා අපි ගෙදර ගියා... අපි පොලිසියෙන් කියල... ගෙදර මිනිස්සු හොඳටම බයවෙලා ඉන්නේ. මේ කට්ටිය මේ නඩුව අනික් පැත්ත හරවන්න යන්නේ...’ ජගත් කීවේය.

ඉන්පසුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද ජගත් විතාන මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව ගැන විශේෂ ප්‍රකාශයක් කළේය. විපක්ෂනායකවරයා පැවසුවේ පොලිස්පතිවරයාගේ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුරවැසි වරප්‍රසාද මෙන්ම මන්ත්‍රී වරප්‍රසාද ද උල්ලංඝනය වී ඇති බවය.

මහින්ද සහ ජවිපෙ එකම උළෙලක බේරුවල 

බේරුවල, මොරගොල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයෙහි අභිනවයෙන් ඉදිකළ සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ මහා විහාර මන්දිරය විවෘත කිරීමේ උත්සවය ඉකුත් සතියට යෙදී තිබිණි. එම උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන ආරාධිතයෙක් ලෙස සහභාගි විය. මහින්දට ආරාධනා කර තිබුණේ හිටපු මන්ත්‍රී පියල් නිශාන්ත විසිනි. කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන සජබයේ ජගත් විතාන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ චන්දිම හෙට්ටිආරච්චි හා පියල් නිශාන්ත යන අයද උත්සවයේ සෙසු ආරාධිතියන් අතර වූහ. ජගත් විතාන සහ රෝහිත අබේගුණවර්ධන යන දෙදෙනා වාඩි වී සිටියේ මහින්ද රාජපක්ෂ දෙපස අසුන්වලය.

‘ජගත් මොකක්ද ඔයාගෙ ආරක්ෂාව ගැන ප්‍රශ්නෙ. ඔයා හොඳට කතා කරනවා මම දැක්කා...’ මහින්ද රාජපක්ෂ ජගත් විතානගෙන් විමසීය. තමාට ආරක්ෂාව ගැන ඇති ප්‍රශ්නය සහ කතානායක නියමයෙන් පොලිසියේ දෙදෙනකුගේ ආරක්ෂාව තමාට ලැබී ඇති බවද ජගත් විතාන මන්ත්‍රීවරයා පැවසුවේය.

‘පරිස්සමින් වැඩ කටයුතු කරගෙන යන්න... ඔයා යන විදිහ හොඳයි. ආරක්ෂාව ගැන තියෙන ප්‍රශ්න ඔක්කොම හැන්සාඩ් ගත වෙන්න අරින්න... ඔයා හොඳට ඉවසීමෙන් වැඩකරනවා...’ රාජපක්ෂ මහතා පැවසීය.

ස්තූතියි සර්....’ ජගත් විතාන සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ ඊළඟට හැරුණේ රෝහිත අබේගුණවර්ධන දෙසටය. ‘රෝහිත බොහොම ලස්සන විහාර මන්දිරයක්...’ මහින්ද කීවේය.

ඔව් සර්... අපේ හාමුදුරුවෝ ලොකු කැපකිරීමක් කරලා මේ විහාර මන්දිරය හැදුවේ...’ රෝහිත කීවේය.

මාලිමා මන්ත්‍රී චන්දිම  හෙට්ටිආරච්චි මහතා සමගද රාජපක්ෂ මහතා සුහදව කතා කළේය. ‘සර් තංගල්ලෙ ඉඳලද ආවේ.’ මහින්ද ළඟින් වාඩිගත් මාලිමා මන්ත්‍රී චන්දිම විමසූ අතර ‘%ඔව් එහෙ ඉඳලා...’ හිටපු ජනාධිපතිවරයා සිනාමුසුව පිළිතුරු දුන්නේය. දෙදෙනා ටික වෙලාවක් කතාබහේ යෙදී සිටියහ.

එදින සෑහෙන වේලාවක් විහාරස්ථානයේ ගත කළ මහින්ද රාජපක්ෂ මහතා දිවා ආහාරය ගත්තේ ද රෝහිතගේ  මිතුරකු වන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකුගේ නිවසෙනි. 

වතු කම්කරු වැටුපට තවත් සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා නැංවීමේ ආණ්ඩුවේ සැලසුම ඉකුත් වසරේ අයවැය යෝජනාවලියෙන් ජනාධිපතිවරයා රටට හෙළි කළ ද මේ වනතුරුත් වැටුප ඉහළ දැමීමට රජයට හැකි වූයේ නැත. වතු කම්කරු වැටුප් ඉහළ නැංවීමේ පූර්ණ අයිතිය ඇත්තේ වතු සමාගම්වලටය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ජනාධිපතිවරයාද අවස්ථා කිහිපයකදීම වැවිලි සමාගම් සමග සාකච්ඡා කළ ද වැටුප් වැඩිකිරීමට වැවිලි සමාගම් කැමැති වූයේ නැත. ඉකුත් සතියේද ඒ පිළිබඳ තවත් සාකච්ඡා වටයක් පැවැත්විණි. එහිදී සාකච්ඡා වූයේ මෙයට පෙර වැවිලි සමාගම් පවසා තිබූ මේ පිළිබඳව ඔවුන්ගේ යෝජනා සාකච්ඡා කිරීමය. එම යෝජනා පිළිබඳව ඉකුත් සඳුදා ජනාධිපතිවරයා සහ අමාත්‍යාංශ නිලධාරීන් අතර තවත් සාකච්ඡා වටයක් පැවැත්විණි. එහිදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා වුවත් ස්ථීර තීන්දුවකට එළඹුණේ නැත.

නෙළුම් මාවතට තරුණියන් ඇවිත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය වන නෙළුම් මාවත කාර්යාලයට තරුණියන් විශාල පිරිසක් ඉකුත් සතියේ පැමිණ සිටියේ නායකත්ව පුහුණු වැඩමුළුවක් සඳහාය. පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් එම වැඩමුළුවේ ආරම්භක දේශනය සිදුකළේය.

බොහොම සුන්දර ගෑනු ළමයි අපේ පක්ෂය එක්ක මෙහෙම ළඟින් වැඩ කරන එක ගැන බොහොම සතුටුයි. මම කැමැතියි කට්ටිය හඳුනාගන්න....’ සාගර කාරියවසම් කීවේය.

ඉන්පසු පිරිස තම තමන්ව හඳුන්වා දුන්හ. මෙරට සරසවිවල මෙන්ම විදේශීය සරසවිවල ඉගෙන ගන්නා අය ද රැකියා කරන පිරිසක් සහ ඉදිරියේදී දේශපාලනය කිරීමට කැමැති පිරිසක් ද එහි වූහ.

ඉන්පසුව දේශනය පැවැත්වීමට නියමිතව තිබුණේ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂය. ‘මම දේශනයක් කරන්නේ නෑ. මම කැමැතියි ඔයාලගෙ අදහස් දැනගන්න.’

නාමල් කියා සිටියේය. ඉන්පසු තරුණියෝ පිරිස නාමල්ගෙන් ප්‍රශ්න ගණනාවක් විමසා සිටියහ. කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් විමසුවේ ආර්ථිකය දියුණු කරන මාර්ගය ගැනය.
‘රටේ ආර්ථිකය වේගයෙන් ඉස්සරහට ගෙනියන්න නම් මුලින්ම කරන්න තියෙන්නේ ආයෝජකයන් සහ ව්‍යවසායකයන් අධෛර්යමත් කරන අනවශ්‍ය රෙගියුලේෂන් වෙනස් කරන එක...’ නාමල් කියා සිටියේය.

‘ඔයාලා කවද හරි අහල තියෙනවද සිංහයා කොහොමද කැලේ නායකයා වුණේ කියල....’ එහෙම ඇසුවේ සංජීව එදිරිමාන්නය.’ කැලේ ලොකුම සතා අලිය වෙද්දි රයිනෝ සිංහයාට වඩා ශක්තිමත් වෙද්දී උසම සතා ජිරාෆ් වෙද්දී සිංහයා නායකයා වුණේ කිසිම අභියෝගයකට බිය නැති නිසා... කාව දැක්කත් මට එයාව පරාජය කරන්න පුළුවන් කියල සිංහයා විශ්වාස කරන නිසා...’සංජීව එදිරිමාන්න ඒ කතාව අවසන් කළේ පාර්ලිමේන්තුවෙ ආසන තුනක් විතරක් තියාගෙන අභියෝග ගණනාවකට මුහුණ දෙමින් වැඩ කරන නාමල් උපමා කරමිනි.

අටුව කඩා පුටුව හැදීම රනිල් කියයි

ඩොලර් සීයක දෙසීයක සංචිතයත් තිබෙන මොහොතක රට භාරගෙන ඩොලර් බිලියන 6 කටත් වඩා වැඩි සංචිතයක් රටට ඉතිරි කර ගෙදර ගිය රනිල් රටට පාඩුවක් කළැයි පැවරුණු නඩුව කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී යළි ඇසුණේ ඉකුත් බදාදාය.

නඩුවට වෙලාව නියම කර තිබුණේ දහවල් එකයි තිහට පමණය. රනිල් දහවල් 12.40ට පමණ උසාවි භූමියට ගියේය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද රනිල් සමග එහි පැමිණියාය.

රනිල්ගේ නඩුව ඇසුණේ දහවල් වුණත් එදින උදෑසන සිටම නීතිඥයෝ, දේශපාලනඥයෝ, මෙන්ම පාක්ෂිකයෝ බොහෝ පිරිසක් අධිකරණ පරිශ්‍රයේ රොද බැඳ සිටියහ. රනිල් අධිකරණ පරිශ්‍රයට එන විට ඔවුහු ඔල්වරසන් දෙමින් රනිල් පිළිගත්හ. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කළහ.

නීති කෘත්‍ය සිදු කෙරුණේ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර ඉදිරියේය. රනිල් කලින් අත්අඩංගුවට පත් අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් ලෙස සිටි නිලු‍පුලී ලංකාපුර මෙණෙවිය මහාධිකරණයට උසස් වීමක් ලැබ ගොස් තිබිණ.

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කෙරෙන බවයි.

මෙහිදී අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් රනිල් පෙරදී ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා ගැන සැක පළ කළේය.වෛද්‍ය වාර්තා ගැන පැමිණිල්ලට ප්‍රශ්න තිබෙනවා යැයි ඔහු කීය.

රනිල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන කීවේ නඩුවේ පදනම රනිල්ට මහා බ්‍රිතාන්‍ය සරසවියෙන් නිල ආරාධනයක් කළාද නැද්ද යන කාරණය බවයි. ඒ ගැන පරීක්ෂණ ඉවරයක් කරගන්නට අසමත් වීම නිසා දැන් ඒක වසාගැනීමට වෛද්‍ය වාර්තා ඇදගන්නා බව තිලක් මාරපන සඳහන් කළේය.

විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව යළි ජනවාරි 28 කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.අනතුරුව රනිල් අධිකරණ පරිශ්‍රයෙන් ඉවත්ව ගියේ රැස්ව සිටි ජනකායකගේ ආචාර සමාචාර මධ්‍යයේය.

කෙසේ වුවද වෙනදා ක්‍රියාකාරීවන මාලිමාවේ සමාජ මාධ්‍ය මෙවර රනිල්ගේ නඩුව ගැන මුනිවත රැකීම බොහෝ දෙනකුගේ කුකුසට හේතු වී තිබේ.

ආයෝජනවලට දෙනවා කියූ ඇමතිවරුන් හිටපු කොළඹ ගෙවල්වල දැන් මහාධිකරණ පිහිටුවන්නට යාම ගැන ද සමාජයේ කතා කතාබහට ලක්ව පවතී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ මන්ත්‍රීවරුන් කීවේ ආණ්ඩුව කටින් බතල කොළ හිටවීමේ තවත් අවස්ථාවක් ලෙස මෙය නම් කළ හැකි බවයි. “කියන කොට කිව්වේ මේ ගෙවල් කෝටි ගණන් ආයෝජනවලට දෙනවා කියලා. දැන් ඒවා උසාවි හතරකට දීලා.”

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු රනිල්ට පෙන්වා දුන්නේ විජේරාමේ ගෙදර උසාවි දැමීමෙන් එහි විශාල මාර්ග තදබදයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවයි. පාසල් කිහිපයක්ම එහි පවතින බැවින් ඒ තදබදය තවත් තීව්‍ර වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“අටුව කඩලා පුටුව හදනවා කියලා කියන්නේ ඔය වගේ දේවල් වලට තමයි”‍ රනිල් සැහැල්ලු‍වෙන් කීය.

රනිල් ඉකුත් සතියේ රඹුක්කන මළ ගෙදරකට ගියේය. එහිදී ප්‍රාදේශීය සභා විපක්ෂ නියෝජිත පිරිසක් ඔහු හමුවට පැමිණ පැවසූයේ ගම් මට්ටමේ තත්ත්වය බෙහෙවින් සුබවාදී වෙමින් පවතින බවයි. 

“අපි දැන් ගොඩක් උද්‌යෝගයෙන් ඉන්නේ, ආපහු ගෙන් ගෙට යන්න පටන් අරගෙන තියෙන්නේ”‍ ඔවුහු රනිල් හමුවේ කීහ. ටිකෙන් ටික නැවතත් ජනතාව එක්සත් ජාතික පක්ෂය වටා රොද බඳිමින් සිටින බව හැම පැත්තකින්ම ලැබුණු ආරංචිවල සඳහන් විය.

සභාපති වජිර මේ සතියේ ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූයේ කාලයකට පසුවය. රනිල් ආපහු පාර්ලිමේන්තුවට එනවාදැයි එහිදී මාධ්‍යවේදියා විමසීය.

“අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ. ඔබතුමාගේ සීයා හෝ ආච්චි සල්ලි පොට්ටනියක් ගෙදර පොදි ගහගෙන ඉන්නවා. නමුත් ඒ පොට්ටනියේ තිබෙන සල්ලි පැටව් ගහන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ සල්ලි පොට්ටනියක් රනිල් රටට ඉතිරි කරලා ගියා. ඉතින් ඒ සල්ලි පොට්ටනියේ සල්ලි ඉවර වෙනකන් වියදම් කරන්න පුළුවන්. නමුත් ඒ සල්ලි පැටව් ගහන්නේ නෑ කියලා අපි මතක තියාගන්න ඕන. 

ඒ නිසා තමයි අපි කියන්නේ අපේ රටේ ආර්ථිකය දිනෙන් දින වැටෙමින් තිබෙනවා. එහෙම වෙලාවක රනිල් ජාතියේ අවශ්‍යතාව වෙනුවෙන් භාවිත කිරීමට අවශ්‍ය වුණොත් ඕනෑම අවස්ථාවක එය කිරීම හරිම සරල කාරණයක් හැටියටයි මම නම් දකින්නේ.”

වජිර ගැඹුරු යමක් හිතන්නට ඇති පිළිතුරක් සරලව කීය.

“එදා ගෝඨාභයගෙ කාලේ මම රටේ ආර්ථිකය ගැන අනාවැකි කිව්ව වගේ දැනුත් මම අනාවැකියක් කියන්නම්.රනිල් ගිය පාර වෙනස් කරන්න එපා. ඒ පාර වෙනස් කළොත් මේ රටේ ජනතාව නැවත මහා ව්‍යසනයකට ගොදුර වෙනවා.”

වජිරගේ ඒ පිළිතුරට තවත් ඌණ පූරණයක් එකතු විය. වජිර සහභාගී වූ ඒ වැඩසටහන ගැන අදහස් දක්වමින් බොහෝ පාක්ෂිකයන් පවසා තිබුණේ “නිදාගෙන හිටපු යූ.එන්.පී කාරයෝ ඇහැරවන්න හොඳම අවස්ථාවක් ඔබතුමා භාවිත කර තිබෙනවා” යනුවෙනි.

රාජ දූත