දොස්තර සිහිනය බොඳ වී පාතාලයට වැටුණු කෙහෙල්බද්දර පද්මෙ


පාතාල ලෝකයේ ප්‍රබලයකු ලෙස සැලකෙන කෝරල ගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සහ ඔහුගේ ප්‍රධානතම ගෝලයෙක් බවට සැලකෙන කමාන්ඩෝ සලින්ත මෙන්ම බත්තරමුල්ලේ සංජීව නමැත්තා ද දිසානායකගේ දේවන් ජිත් හෙවත් දේවා මැලේසියාවේ ක්වාලාලම්පුර් හෝටලයකදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසෙන්නේ සාදයකට සහභාගී වෙමින් සිටිය දීය.

පාතාල ලෝකයේ නායකයකු ලෙස සැලකෙන මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායකයෙකුගේ බිරිඳ ද ඇයගේ කුඩා දරුවා ද සමග එම සාදයට සහභාගී වෙමින් සිටිය දී මැලේසියා පොලිස් අත්අඩංගුවට පත් වී ඇතැයි මෙරට බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වී ඇත.

කොළඹ අලු‍ත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ දී ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කෙරුණු අතර, එම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක වී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නමැත්තා ගේ වුවමනාවට බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබිණි.

කෙහෙල්බද්දර පද්මෙ නමැත්තා දුන් නියෝගයක් අනුව ගනේමුල්ලේ සංජීව නමැත්තාගේ ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර තිබුණු බව පැවසෙන්නේ කමාන්ඩෝ සලින්ත නමැත්තා විසින් යැයි කියති.

නීතිඥ වෙස්ගත් පාතාල වෙඩික්කරුවකු යොදවා ගනේමුල්ලේ සංජීව නමැත්තාව ඝාතනය කිරීමට නීති පොතක් අස්සේ ගිනි අවියක් සඟවා ගෙන නීතීඥ වෙසින් පැමිණි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය යොදවනු ලැබුවේ ද කෙහෙල්බද්දර පද්මෙ නමැත්තා විසින් යැයි කියති.

ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව තවමත් සිටින්නේ පොලිසියට වසන් වෙමිනි.

ගනේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව  තවදුරටත් ඩුබායි හි සැඟව සිටීම අනාරක්ෂිත බව ඒත්තු ගිය නිසා කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බත්තරමුල්ලේ සංජීව, දිසානායකගේ දේවන් ජිත් හෙවත් දේවා සහ තවත් කාන්තාවක් දරුවෙකු ද සමග මැලේසියාවට පලා ගොස් තිබුණි.

ක්වාලාලාම්පූර් ප්‍රදේශයෙන් සුපිරි නිවසක් මිලදී ගෙන මොවුන් එම නිවසේ පදිංචිව සිට ඇතැයි කියති. මැලේසියාවේ රැඳීසිටීම ද ඇඟට එතරම් ගුණදායක නොවන බව තේරුම් ගත් කණ්ඩායමේ නායක කෙහෙල්බද්දර පද්මෙ වෙනත් රටකට පලා යාමට තීරණය කර ඇත.

ඒ අනුව සියලු‍ දෙනා වෙනත් නම් යොදා විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇති අතර, කෙහෙල්බද්දර පද්මෙ නමැත්තා ආදිත්‍යය අභිමාන නමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ගෙන තිබේ.

මෙසේ මැලේසියාවෙන් හොර රහසේ පිට මං වීමට කලින් ඔවුන්ගේ හිතවතුන් පිරිසක් සුපිරි හෝටලයකට කැඳවා සාදයක් පවත්වමින් සිටින අතර වාරයේ, එරට පොලීසියට කොටුවී තිබෙන බව මෙරට බුද්ධි අංශවලට දැනගැනීමට ලැබී ඇත.

මැලේසියාව සහ තායිලන්ත බෝඩරය හරහා දුම්රියෙන් තායිලන්තයට හෝ එහි සිට මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවකින් මියන්මාරයට පලා යාමට මොවුන් සැලසුම් කර තිබී ඇතැයි ද වැඩිදුරටත් දැනගැනීමට ඇත.

විත්තිකූඩුවක් තුළ දී තම ප්‍රතිවාදී ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු ඝාතනය කිරීම මෙහෙයවීමට තරම් හයියක් තිබූ කෙහෙල්බද්දර පද්මෙ  නමැත්තා වෛද්‍යවරයකුවීමේ අපේක්ෂාවෙන් උසස් පෙළ ජීවවිද්‍යාව හැදෑරූ අයෙකි.

උසස් පෙළට ජීවවිද්‍යාව ඔහු හදාරා ඇත්තේ උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ විද්‍යාලයකිනි. ලකුණු මදිවීම නිසා දොස්තර සිහිනය බිඳ වැටුණු ඔහු ඉංග්‍රීසි භාෂාව හැසිරවීම පිළිබඳව පාඨමාලා හදාරා පසුව පියාගේ ව්‍යාපාර කටයුතුවලට එක් වී ඇත. පියා නෙවිල් පෙරේරා වන අතර ඔහු රජයේ කොන්ත්‍රාත් ලබාගෙන පාරවල් තැනීමේ ව්‍යාපාරයක් ද කරගෙන ගිය ප්‍රසිද්ධ කොන්ත්‍රාත්කරුවෙකි.

පාරවල් සැකසීමේ කොන්ත්‍රාත් ව්‍යාපාරයට ද පියා සමග එක් වූ කෙහෙල්බද්දර පත්මේ - පසුව මහා පරිමාණ ලී මෝල් ව්‍යාපාරයක් ද ආරම්භ කර පවත්වාගෙන ගොස් ඇත. කෙහෙල් බද්දර පද්මෙ එක්තරා ප්‍රබල දේශපාලන පක්ෂයක ප්‍රබල ආධාරකරුවකු විය.

ඒ නිසාම ඔහුට දේශපාලන හයියක් ද තිබී ඇතැයි පැවසේ.

ප්‍රේම සම්බන්ධතාවයකින් පසු තරුණ වියේ දී විවාහ දිවියට ඇතුළත් වූ ඔහුට දරුවන් දෙදෙනකු සිටිති. ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන අතර වාරයේ ඔහුගේ හොඳම මිතුරා වූ ගනේමුල්ලේ සංජීව සමග පසු කලෙක විරසකයක් ඇති වී - දෙදෙනාම පසුවී ඇතැයි කියන්නේ නයි මුගටි වෛරයකිනි. ඒ වෛරය කෙතරම් දුර දිග ගියේ දැයි කියන්නේ නම් අවසානයේ පද්මෙ නමැත්තාගේ ව්‍යාපාරික පියා ඝාතනය විය. ඒ 2021වසරේ දීය.

සිය පියා ඝාතනය කළේ ගනේමුල්ලේ සංජීව බවට ඔහු තරයේ විශ්වාස කර ඇත. පියාගේ ඝාතනයත් සමග ගනේමුල්ලේ සංජීව ගේ ඊළඟ ඉලක්කය  නිසැකවම තමා යැයි අනුමාන කළ කෙහෙල්බද්දර පත්මේ එම වසරේදීම ඩුබායි රටට පලා ගියේ ජීවිත ආරක්ෂාව තකා ය.

ඩුබායි රටට පලා ගිය කෙහෙල්බද්දර පද්මේ එරටෙහි වෙසෙමින් මෙරටෙහි සිටින සිය ගෝල බාලයන් මෙහෙයවමින් ගනේමුල්ලේ සංජීව  ඝාතනය කිරීමට උත්සාහ කළේ යැයි කියැවේ. මේ බව දැනගත් ගනේමුල්ලේ සංජීව ද වරක් ජීවිතාරක්ෂාව පතා හොර රහසේ පලා ගියේ යැයි කියනුයේ ඉන්දියාවට ය.
ඉන්දියාවේ වසර ගණනාවක් සැඟව සිටි සංජීව - නේපාලයේ කත්මන්දු නුවර සිට වෙස් වළාගෙන ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට පත් විය.

තම පියා ඝාතනය කිරීමේ පළිය ගැනීමට කෙහෙල්බද්දර පද්මෙ කල්යල් බලමින් සිට අවසානයේ ඒ පළිය ගත්තේ - කොළඹ මහාධිකරණයේ විත්ති කූඩුවක් තුළ දීය. දෙදෙනාම යට දැක් වූ රටවල සැඟව සිටිමින් එකිනෙකාගේ ගෝල බාලයින් ඝාතනය කිරීම මෙහෙයවීමට පටන්ගෙන ඇත.

මේ නිසා එම ප්‍රදේශවල දැඩි භීෂණකාරී තත්ත්වයක් ද උද්ගත වී තිබුණු බව කියති.

2018 වසරේ පෙබරවාරි මාසයේ දී උඩුගම්පල ප්‍රදේශයේ දී ප්‍රසාද් නිරෝෂන් හෙවත් වැලි චමින්ද 2022 වසරේ ජූලි මාසයේ දිනක පස් පොඩ්ඩා නමැත්තා ගම්පහ අධිකරණය ආසන්නයේ දී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද කෙහෙල්බද්දර පද්මෙ නමැත්තාට එරෙහිව අධිකරණවල නඩු විභාග වෙමින් පවතී.

කෙහෙල්බද්දර පද්මෙ - උඩුගම්පල ප්‍රදේශයේ කෝටි දෙකක් පමණ වටිනා බවට පැවසෙන හෝටලයක හිමිකරුවෙකැයි ප්‍රදේශවාසීහු කියති.

කෝටි ගණනක් වටිනා නිශ්චල සහ චංචල දේපළ මොහුට අයත්ව තිබෙන බවත්, ඒවා නීති විරෝධී වත්කම් වලින් උපයාගෙන මිලදී ගත් ඒවා දැයි යන්න සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මේ වන විටත් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් කියැවේ.

ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ ගෝල බාලයන් කෙහෙල්බද්දර පද්මෙගේ ගෝල බාලයින් ගණනාවක් හඹා යමින් ඔවුනට වෙඩි තැබූ අතර ප්‍රතිප්‍රහාර ලෙස අනුයාත වෙඩි තැබීම් ගණනාවක්ම පසුගිය කාලයේ වරින් වර සිදු කරනු ලැබුවේ - පාතාලයේ  ලෙයට ලෙයින් පළි ගැනීමේ න්‍යායට අනුව විය යුතුය.

මැලේසියාවේ දී අත්අඩංගුවට පත්වන විටත් ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහු අත්අඩංගුවට ගැනීමට රතු  වරෙන්තු නිවේදන නිකුත් කර තිබූ අයෙකි. පාතාල ලෝකයේ නායකයන් අතරින් කෙහෙල්බද්දර පද්මෙ ඉතා දරුණු ගනයේ අයෙකැයි ඇතැම්හු කියති.

ශ්‍රීනාත් ප්‍රසන්න
ජයසූරිය.