දුෂණ විරෝධී පනතේ වගන්ති සොයා නොබලා දක්වන මත අසම්පූර්ණයි


ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක පවතින බව දැන දැනම එරට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් ‘රජයට රුපියල් මිලියන 1845 කට අධික මුදලක් පාඩු කළේ’ යැයි අධි චෝදනා ලැබ සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉකුත් දා නියෝග කළේය.

එකී නීති කෘත්‍යය සම්බන්ධයෙන් හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ කරනු ලබන පැහැදිලි කිරීමකි මේ.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට කොළඹ මහාධිකරණයන් දුන් තීන්දුව සම්බන්ධයෙන් විවිධ අර්ථ කථන එළි දක්වෙනවා. ඔබ ජනාධිපති නීතිඥයෙක්. ඔබ මෙම තත්ත්වය පැහැදිළි කරන්නේ කොහොම ද?

අපි ඉස්සෙල්ලාම බලන්න ඕනෑ මෙම වරද සන්ථාපනය වන්නේ මොන නීතිය යටතේද කියලා. මේකට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. අපේ රටේ ක්‍රියාත්මක වුණේ අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව. ඒ අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව කරුණු දෙකක් යටතේ විවේචනයට ලක් වුණා. එකක් තමයි ඒක ස්වාධීන නෑ කියන එක. දෙවැනි එක තමයි ඒකට දේශපාලන බලපෑම් තිබුණා කියන එක. එහෙම වෙන්න හොඳටම ඉඩකඩ තිබුණා. ඒකට හේතුව තමයි, 1972 පළමු වැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය සේවා කොමිසන් සභාව අහෝසි කළ නිසා රාජ්‍ය ආයතන පහ නිලධාරීන් දේශපාලනීකරණය වීම. ඒකෙන් රටට ඇති වෙච්ච ප්‍රතිඵලය නිසා තමයි එදා සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව 77 දී විශාල පරාජයක් ලැබුවේ. ඒ තත්ත්වය රටට පිළිබිඹු කරලා. පෙන්වන්න තමයි ගාමිණී ෆොන්සේකා විසින්  ‘සාගරයක් මැද’ චිත්‍රපටය හැදුවේ. ඒ චිත්‍රපටය හැදුවේ මේ රටේ මේ අල්ලස් පනත මේ රටේ අවභාවිත කළ රැළිය පෙන්වන්නයි.

එදා තිබුණ අල්ලස් නීතිය මොකක් ද කියලා අද ඉන්න කෙනෙකුට අවබෝධයක් ලබාගන්න නීති පොත් කියවන්නේ නැතිව සාගරයක් මැද චිත්‍රපටය බැලුව නම් පෙනෙනවා ඇති.

1994 ආණ්ඩු පෙරළියටත් ඔය අල්ලස දූෂණය කියන තේමාවන් ඉවහල් වුණා?

ඔව්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට සියයට 62 ක විශාල ජනවරමක් ලැබුණේ අනෙකුත් කාරණාවලට අමතරව දූෂණය, භීෂණය වළක්වනවා යැයි කියන කාරණය මතයි. ඒ අනුව ඒ ආණ්ඩුවේ පළමු වැනි පනත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනතයි. ජනතාවට හුඟාක් බලාපොරොත්තු තිබුණා ඒ පනත ක්‍රියාත්මක කළා. මේ රටේ අල්ලස සහ  දූෂණය නතර කිරී කෙසේ වෙතත් අවම හෝ වෙයි කියලා. හැබැයි, එහෙම වුණේ නෑ.

ඒ අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ පළමුවැනි අවුරුදු පහේදී පැමිණිලි කළේ එක නඩුවක් විතරයි?

ගුරුවරයෙක් ළමයෙක්ව පාසලට ඇතුළත් කරන්න පීරිසි කුට්ටමක් පගාවට ගත්තා කියලා තමයි නඩු දැම්මේ. නමුත් ඒකත් ගරු අධිකරණය නිෂ්ප්‍රභා කළා. එහෙම නම් ඒ අවුරුදු පහටම අපි අල්ලස් කොමිසම නඩත්තු කිරීම සඳහා ජනතා මුදල් කාබාසිනියා කිරීමක් විතරයි කරලා තියෙන්නේ.

එදා තිබුණ අල්ලස් කොමිසම මහලු මඩමක් කියලා චෝදනාවකුත් ආවා.

විශ්‍රාම ගිය අයට වැඩි ආදායමක් ලබාගන්න හදපු තැනක් කියලා තමයි කිව්වේ. මම මේක පාර්ලිමේන්තුවේදීත් කියලා ඇති සිය වතාවකට වැඩිය. එහෙම කියන්න හේතුව මේකයි. මගේ 2007 කෝප් වාර්තාව තුළ ආයතන 16 ක වංචා, දූෂණ තොගයක් ගැන කරුණු සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරලා ඒ ආයතන දහසයේ වංචා, දූෂණ හොයන්න අල්ලස් කොමිසමට යැව්වා. ඒත් කොමිසමටත් ඒක කරගන්න බැරි වුණා.

ඒකට හේතුව?

අපි දන්නවා කොමිසමත් අසරණයි. විධායක බලයේ ග්‍රහණයට නතුවෙලා මිරිකිලා හිටියේ. ඒ නිසා කිසිම ඵලක් වුණේ නෑ. ඒක නිසා තමයි අපි 2015 මැතිවරණයේ දී කිව්වේ ‘මේ රටේ යහපාලනයක් ඇති කරනවා’ කියලා.
යහපාලනය කියන සංකල්පය සමාජගත වුණේ 2007 දී මම ඉදිරිපත් කරපු කෝප් වාර්තාවත් එක්ක. ඒ සංකල්පය කොච්චර ජනප්‍රිය වුණා ද කියනවා නම් අපි කෝප් කමිටුවේ කරපු ක්‍රියාදාමය අගයලා අපේ රටේ මූල්‍ය අධීක්ෂණය ශක්තිමත් කරන්න ලෝක බැංකුවෙන් රුපියල් මිලියන සියයක ආධාරයකුත් දුන්නා.

ඒ සල්ලිවලට මොකද වුණේ?

මම යෝජනා කරලා තිබුණා, කෝප් හා කෝපා කමිටුවේ කටයුතු මාධ්‍යයට  විවෘත කරන්න කියලා. ඒකට තමයි ඒ සල්ලි ලැබුණේ. නමුත් පී.බී. ජයසුන්දර ඒ සල්ලි මහා භාණ්ඩාගාරයට ගත්තා. නමුත් පසුව අවස්ථාවක අපි ඒක කළා. 2015 දී අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලැබුණු ජනවරමක් එක්ක තමයි. මේ රටේ වෙන්න තියෙන විශාලතම ව්‍යවස්ථා පරිවර්තනය කළේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා තොරතුරු දැන ගැනීමේ පනත, සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත මේ අධිකාරිය හදපු එක ඖෂධ මිල පාලනය කිරීමේ පනත දින 100 ආණ්ඩුව තුළ සම්මත කළා. ඒ දින 100 ආණ්ඩුව තුළ අපි  පටන් ගත්ත එක තමයි දූෂණ වළක්වන්න. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළේ. සියලු කොමිෂන්වලට දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කරන්න දෙන ගමන් මූල්‍ය පාලනය සම්බන්ධව ඉතිහාසයේ පළමු වතාවට ස්වාධීන කොමිෂන් සභා දෙකක් පිහිටෙව්වා. ඒ ප්‍රසම්පාදන කොමිෂන් සභාව හා ජාතික විගණන කොමිසම.

විගණකාධිපතිට බලයක් තිබුණාට ඒක ප්‍රමාණවත් නෑ. ඒ නිසයි ඒ කොමිසම ස්ථාපිත කළේ. 2004 දී චන්ද්‍රිකා මැතිනියගේ කාලේ තමයි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධි ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවකු හැටියට අපේ රට එකතු වුණේ. ඒ අනුව මම ජනාධිපති නීතිඥ සරත් ජයමාන්නගේ සභාපතිත්වයෙන් පනත් කෙටුම්පත හැදුවා. ඒ කටයුතු 2017 අගෝස්තු මාසය වෙනකොට අවසන් වෙද්දි මාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමක් කළා. හම්බන්තොට වරාය නැවත රජයට පවරා ගත යුතුයි කියලා මම කරපු ප්‍රකාශය පදනම් කරගෙන ඒ ප්‍රකාශය ලංකාදීප පත්තරයේ ප්‍රධාන ප්‍රවෘත්තිය වශයෙන් වාර්තා කළා. 

ඊට පස්සේ දෙවැනුව මම කොළඹ දිස්ත්‍රික්කයේ එක්ලක්ෂ විසි එක් දහක් අරගෙන හතර වැනියට පාර්ලිමේන්තුවට ගියා. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී. මම කිව්වා ‘%මම ඇමැතිකම් ගන්නේ නෑ’ කියලා.

ඇමැතිකමක් ගත්තෙ නැද්ද? ජනාධිපති ගෝඨාභය දුන්නෙ නැද්ද?

නෑ මම ගත්තේ නෑ. මොකද මගේ ඇමැතිකම තීන්දු කරන්න කලින් ගෝඨාභය ජනාධිපතිවරයා කැබිනට් එකක් පත් කරලා තිබුණනේ. ජනාධිපතිවරණයෙන් පසුව හා මහ මැතිවරණය අතර කාලයේදී එතකොට ඔය කබ්රාල්වමයි පත් කළේ. ජනාධිපති ලේකම් විදියට පී.බී. ජයසුන්දරමයි පත්කළේ. මහින්ද මහත්තයාගේ කැබිනට් එකේ හිටපු අයගේ නම් එච්චර හොඳ නෑ. පස්සේ මට කැබිනට් ඇමැතිකම්. රාජ්‍ය ඇමැතිකම් යෝජනා කළා. නමුත් මගේ ස්ථාවරයේ මම හිටියා.

ඊළඟට රට බංකොළොත් වෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආරාධනයෙන් තමයි මම කැබිනට් එකට ගියේ.

ඒ වෙලාවේ මම පනත් කෙටුම්පත් අරගෙන අලුතෙන් සරත් ජයමාන්නගේ සහභාගිත්වයෙන් යුතුව අලුත් කමිටුවක් පත් කරගෙන අවුරුද්දක් විතර පස්සේ කළා. ලෝකයේ හැම රටකම පාහේ දූෂණ විරෝධී අණ පනත් අධ්‍යයනය කරලා  මේ දූෂණ විරෝධි පනත හැදුවේ. ඒක තමයි මේ පනතේ ඉතිහාසය.

ග්‍රීක බැඳුම්කරය ගැන කතා කළොත්?

ග්‍රීක බැඳුම්කරයේ දෙපැත්තක් තියෙනවා. ඇත්තටම ග්‍රීසිය බංකොලොත් කියලා දන්නවා. රටක සල්ලි හිඟවෙනකොට ඒ අයට මූල්‍ය අවශ්‍යතා වැඩි වෙනවා. එහෙම වුණාම ආයෝජකයෝ එහෙම රටක ආයෝජනය කරන්නේ නෑ. ඒ නිසා එහෙම රටක් කියනවා. ‘අපි සියයට පහ දහය නොවෙයි විස්ස තිහ හතළිහ දෙන්නම් කියලා. එතකොට ආයෝජනය කරන රට හෝ සමාගම් හිතනවා ලාභය වැඩියි කියලා. හැබැයි, අවදානමක් තියෙන නිසා පාඩුවත් වෙන්නත් පුළුවන්. හැබැයි, අනික් පැත්තට තර්ක කරන්න පුළුවන් අවදානම වැඩි නිසා වැඩිපුර පොලිය ගෙවන නිසා අපි හිතුවා ඒ රට ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත්වෙනවකොට අපට ඒ පෙලිය ගෙන්න ඒ රටට පුළුවන් වේවි කියලා නමුත් ග්‍රීසියේ එහෙම වුණේ නැහැ. අපේ අවුරුදු දෙකෙන් බංකොලොත්  භාවයෙන් ගොඩ ආවා. නමුත් ග්‍රීසියට තවමත් ගොඩ එන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඒ පාඩුව වුණා.

රටේ ජනතාවගේ මුදල් එහෙම අවදානම් වැඩකට යොදවන්න පුළුවන් ද?

මුදල් සම්බන්ධ බලය තියෙන්නේ මහ බැංකුවේ අධිපතිට නොවෙයිනේ. ඒක තියෙන්නේ මුදල් මණ්ඩලයට. ඒ නිසා ඒ මුදල් මණ්ඩලයම ඒ වගකීම ගන්න ඕනෑ. ඒ අය කියන විදියට මට ඒක සාධාරණීය කරන්න බෑ. ඒ අවුරුද්දෙ සමස්තයක් විදියට ආයෝජනය කළ මුදල්වලින් ඩොලර් මිලියන හාරසිය ගණනක් ලාභ ලැබුවා කියලා කියල තියෙනවා.

එහෙම නම් මෙතැන දූෂණයක් වෙලා තියෙනවා කියන තර්කය  ගොඩනැගෙන්නේ කොහොම ද?

ඒක දූෂණ විරෝධි පනතත් එක්ක බලන්න ඕනෑ. ඒක ඒ අයගේ චේතනාව, ඒ චේතනාව නඩු විභාගයකින් තමයි ඔප්පු කරන්න ඕනෑ. ඒ අය සාක්ෂිස මෙහෙයැව්වා නම් අධිකරණයට තීරණයට කරන්න පුළුවන් රටට හානියක් වෙන බව දැන දැන ඒගොල්ලන්ගේ යම් පෞද්ගලික ලාභයක් උදෙසා මෙහෙම ආයෝජනය කළ නිසා රටට අලාභයක් වුණා කියලා. අල්ලස වගේ  නොවෙයිනේ දූෂණය? තමන්ගේ නිල බලය තමන්ගේ පෞද්ගලික වාසියක් වෙනුවෙන් හෝ වෙනත් කෙනෙකුගේ වාසියක් වෙනුවෙන් යොදවා එමගින් රජයට හෝ වෙනත් අයකුට පාඩුවක් වෙනවා නම් ඒක තමයි ‘දූෂණය’ කියන්නේ. ඒ නිසා ඇත්තටම එහෙම චේතනාවක් තිබුණද ඒක බලය අනිසි ලෙස යෙදවීමක් ද කියන එක මහාධිකරණයට විවෘත වෙලා තිබුණ ප්‍රශ්නයක්.

එම චෝදනාව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ඉල්ලා අස්කර ගත්තා?

මහාධිකරණය නඩු අහන්නත් පෙර චෝදනා ඉල්ලා අස්කර ගත්තා. එතකොට ඒ නඩුවේ තීන්දුවේ තියෙන විදියට ඒ ඉල්ලා අස්කර ගැනීම කරලා තියෙන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ 67-3 වගන්තිය යටතේ කරුණු දක්වලා. ඊට සමගාමීව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194-3 යටතේ කරුණු දක්වලා. එතකොට මේ වගන්ති දෙක විග්‍රහ කරගන්න නැතිව මේ ගැන කවුරු හරි මතයක් කියනවා නම් ඒක අසම්පූර්ණයි.

දූෂණ විරෝධි පනතේ 67-3 වගන්තිය අපි අලුතෙන්ම හඳුන්වල දුන්න වගන්තියක්. මීට පෙර මේ වගන්තිය කිසිම නීතියක තිබ්බේ නෑ. මීට පෙර තිබුණේ ‘චෝදනා පත්‍රයක් දෝෂ සහිත නම් ඒක ඉල්ලා අස්කර ගැනීමේ හැකියාව තිබුණා.’ කියලා. මේ වගන්තිය අපි හැදුවේ නිකම් නෙවෙයි හේතුවක් ඇතිව ඉල්ලා අස්කර ගන්න.

හේතුවක් කියන්නේ?

හේතු හතරක් තියෙනවා. පළමු වැනි එක තමයි 67-3 (I) ප්‍රසිද්ධියේ කනගාටුව පළකරලා සමාව අයදිනවා අධිකරණය අනුමැතිය දෙනු ලබන කොමිසන් සභා දෙන ප්‍රකාශනයක් ප්‍රකාශයට පත් කරලා.

දෙවැනි එක තමයි ඒ අල්ලසෙන් හෝ දූෂණයෙන් වින්දිත පාර්ශ්වයක් ඉන්නව නම් ඔහුට වන්දියක් ගෙවන්න එකඟ වෙන්න ඕනෑ. තුන්වැනි එක තමයි ප්‍රසිද්ධියේ අධිකරණයේ වාර්තාගත කරලා අධිකරණයට ප්‍රතිඥාවක් දෙන්න ඕනෑ. මින් මතුවට එවැනි දෙයක් කරන්නේ නෑ කියලා හතර වැනි එක තමයි එකඟතාවකට ඇවිත් වාර්තාගත කරන්න ඕනෑ මින් ඉදිරියට කවදාවත් ඡන්දයකින් තේරී පත්වන තනතුරක් දරන්න මට අයිතියක් නෑ. රජයේ කිසිදු තනතුරක් වගකීමක් දරන්න මට අයිතියක් නෑ කියලා. මෙන්න මේ හතරෙන් එකක් හෝ වැඩි ගණනක් වෙනුවෙන් අල්ලස් කොමිසමට බලය දුන්නා පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගන්න.

නඩු තීන්දුවේ තියෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194-3 වගන්තියේ සහ දූෂණ විරෝධි පනතේ 67 වගන්තියට අනුව ඉල්ලා අස්කර ගත්තා කියලා?

ඔව්. 194-3 වගන්තියේ සෘජුවම තියෙනවා එහෙම අපරාධ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරපු එම නීතිඥවරයාට නඩු තීන්දුවට පෙර ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්කර ගැනීමට ඉල්ලීමක් කරන්න පුළුවන්. එම ඉල්ලීම මහාධිකරණයේ විනිසුරුතුමා අවසර දෙනවා නම් පමණක් ඒ ඉල්ලා අස්කර ගැනීමට ඉඩ දෙනවා කියලා. ඉල්ලා අස්කර ගැනීමට මහාධිකරණ විනිසුරුතුමාගෙන් අවසර තියෙන්නම ඕනේ. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී අපි දකින වෙනසක් තියෙනවා. පහුගිය දශක කිහිපය තුළ සාකච්ඡාවට බඳුන්වෙන ගැටලුවක් තියෙනවා.

සමහර අධිකරණවල නීතිඥයන් අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නවා කිව්වම ඒකට අවසර දෙනවා. ඉස්සර නම් එහෙම දුන්නේ නෑ. අධි චේදනාවක් ගොනු කළ මොහොතේ පටන් නඩුව නීතිපතිගේ හෝ අල්ලස් කොමිසමේ නොවෙයි. ඒක විනිසුරුතුමාගෙයි. පැමිණිල්ල ඉල්ලා ඇති පරිදිම මහාධිකරණ විනිසුරුවරුන් ඒකට අවසර දෙන්නේ නෑ. ඒකට හේතු දක්වන්න ඕනෑ. මේ වගේ ප්‍රතිපාදනයක් ඇයි මේ පනත් දෙකට ඇතුළත් කළේ. අපරාධ නඩු විධාන සංග්‍රහයට මේක ඇතුල් කළේ සමහර නඩු තියෙනවා චෝදනා පත්‍රය දෝෂ සහගතයි. ඒ නිසා ඒක ඉල්ලා අස්කර ගන්නවා නිවැරදි එකක් ඉදිරිපත් කරන්න බලාගෙන.

එහෙම නැත්නම් සමහර විට නීතිපතිවරයා බලනවා නඩුවට සාක්ෂියක් මෙහෙයවන්න බෑ.  සාක්ෂිකරුවන් මැරිලා වෙන්න පුළුවන්. සාක්ෂි විනාශ වෙලා වෙන්න පුළුවන්. එහෙම සුවිශේෂි හේතු තියෙන්න ඕනැ. 67 ට අපි දැම්මේ ඒ අරමුණෙන් නොවෙයි. සමහර නඩු අනිවාර්යයෙන්ම විභාගයක් කරලා තීන්දුවක් දෙන්න අවුරුදු ගණනාවක් ගත වෙන්න පුළුවන්. සමහර නඩුවල සාක්ෂි හොයාගන්න බෑ. එහෙම නැත්නම් සාක්ෂා දුර්වලයි. ඇතැම් විට ලොකු නඩු විභාගයක් කරන්න කරන්න තරම් ලොකු චෝදනාවක් නොවෙයි.

අජිත් නිවාඩ් ඇතුළු පිරිසට පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගෙන ඇති බව පැහැදිළියි. චූදිතයන් කියලා තියෙනවා අපි වගකීම ප්‍රතික්ෂේප කරනවා. අපි මුදල් ගෙවන්නේ නෑ’ කියලා.

නමුත් අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කළා. ‘නඩුව ඉල්ලා අස්කර ගත්තේ මාස 3කදී රුපියල් කෝටි 184 ගෙවන කොන්දේසියට’ කියලා.

ඒ නිවේදනයේ තියෙනවා ඒ මුදල ගෙව්වේ නැත්නම් නඩු පවරනවා කියලා. ඇයි එහෙම කියන්නේ? චූදිතයා පොරොන්දු වුණාද? අධිකරණයට එහෙම එකඟතාවක් වාර්තා කළා ද? එහෙම කිසි දෙයක් නෑ. අපි තාම කවුරුවත් දන්නේ නෑ අල්ලස් කොමිසම එහෙම කියන්නේ මොන පදනමින්ද කියලා. දෙවැනි කාරණය මාස 3 කට පස්සෙත් අල්ලස් කොමිසමට ඕනෑ නම් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නඩුවක් පවරන්න පුළුවන්. එතැනදී විත්තියෙන් විරෝධතා නඟනකොට අල්ලස් කොමිසම පැහැදිලි කරන්න ඕනෑ.

ඇයි ආපහු නඩුවක් පවරන්නේ කියලා? හැබැයි මේක අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194-3 වගන්තිය යටතේ පමණක් නොවෙයි ඉල්ලා අස්කර ගත්තේ දූෂණ විරෝධී පනතේ 67-3 සම්බන්ධ කරලයි. 67-3 වගන්තියට අනුව නම් ඒක වාර්තා කළ කොන්දේසියක් උල්ලංඝණය නොකළා කියන පදනම ඔප්පු කරන්න ඕනෑ. ඒ අර්ථයෙන් ගත්තොත් නඩු පැවරීමේ අයිතියක් නෑ. මම එහෙම කිව්වම ඒකෙන් අඟවෙන්නේ නෑ නඩු පවරන්න බෑ කියලා. නඩුවක් පැවරුවොත් ඒක උසාවිය බාර ගන්න ඕනෑ. එතැන දී විරෝධතා ඉදිරිපත් කළාම තමයි අධිකරණයට ඒක වලංගු නැද්ද නීත්‍යානුකූල ද නැද්ද කියලා තීන්දු කරන්නේ.