
ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය පිළිබඳ මේ දිනවල ආර්ථික විග්‍රහ සහ කථන වැඩි වශයෙන් ඉදිරිපත් වේ. අයවැය සහ එයින් මතු වන දේශපාලන යථාර්ථ ගැන දේශපාලන කියවීමකට ඉඩහසර විවර කරමින් අපි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සම්මුඛ වූයෙමු. වාමංශික මූලයක් සහිත ජවිපෙ ප්‍රමුඛ වූ ආණ්ඩුවට නව ලිබරල් පන්නයේ ආර්ථික පිළිවෙතක් සමග ඉදිරියට යෑමේදී මතුවන අභියෝග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන හා ආණ්ඩුවේ අාර්ථික දර්ශනය අතර පවතින නොගැළපීම් ආදී කරුණු රැසක් සංවාදයට බදුන් කරමින් ඔහු සමග කළ සාකච්ඡාව ඇසුරින් සකස් කළ ලිපිය මෙසේ ය.
ශ්‍රී ලංකාවේ අයවැය පිළිබඳ කතිකාව එතරම් පොහොසත් එකක් නොවේ. අයවැයෙන් පසු තිබිය යුත්තේ සංවාද මිසක් විවාද නොවේ. ලංකාව වැනි රටකට අයවැය වැදගත් ලේඛනයක් වන්නේ එය වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශනයකට සමාන වන හෙයිනි. රාජ්‍ය ප්‍රතිපත්තිමය දෘෂ්ටිකෝණයකින් අයවැය විමසීමේදී පැහැදිලි වන්නේ එහි අඩුපාඩු දකිමින් ඒවා සංශෝධනය කරමින් ඉදිරියට යන ජාතික වැදගත්කමක් පාර්ලිමේන්තුවට තිබිය යුතු බව ය. එහෙත් අපට පෙනෙන දෙයක් නම්, අයවැය ඉදිරිපත් කිරීම දේශපාලනික කාරණයක් වී ඇති බව ය. එනයින් අයවැය සම්බන්ධයෙන් ගුණාත්මක සංවාදයක් ඇති වන්නේ නැත. අයවැය ගැන එළියේ කතා කරන අය ද එයට පක්ෂව හෝ විපක්ෂව කතා කරමින් පාර්ලිමේන්තු උගුලේ සිරවී සිටිති.
තීරණ කාගේද?
අයවැය දෙස බැලිය යුත්තේ ජාතික වැදගත්කමකිනි. හේතුව, අයවැය කුමන ආණ්ඩුවක් විසින් ඉදිරිපත් කරනු ලැබුව ද එය සමස්ත ජනතාවට බලපාන හෙයිනි. එබැවින් අයවැය පිළිබඳ කතිකාව සුසමාදර්ශීය වෙනසකට ලක් විය යුතු ය. දෙවැනි වැදගත් කාරණය වන්නේ ලෝක භූ දේශපාලන යථාර්ථය අනුව ශ්‍රී ලංකාව එහි ස්ථානගත වී ඇති ආකාරය නිවැරදිව ග්‍රහණය කර ගැනීම ය. එය ලංකාවට පමණක් අදාළ තත්ත්වයක් ද නොවේ. ලතින් ඇමෙරිකා, අප්‍රිකානු සහ ආසියානු කලාපයේ බොහෝ රටවල් සහ යුරෝපයේ ඇතැම් රටවල් ලෝක දේශපාලන ආර්ථික සිතියම ඇතුළත සමාන නැත. මේ තත්ත්වය ඇන්ඩ්‍රෙ ගුන්ඩෙර් ෆ්‍රෑන්ක්ගේ කේන්ද්‍ර-පරිවාර න්‍යායෙන් පැහැදිලි කර ගත හැකි ය. එකල ඉදිරිපත් වූ ජනප්‍රිය මතයක් වූයේ ගෝලීය උතුරට සාපේක්ෂව ගෝලීය දකුණේ රටවල් දුප්පත් බව ය. ප්‍රෑන්ක් එම අදහස සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ කේන්ද්‍රය යන්න භූගෝලීය කේන්ද්‍රයක් හැටියට තේරුම්ගැනීම නිවැරදි නොවන බවත් ධනේශ්වර ක්‍රමය ඇතුළත ද කේන්ද්‍රයක් තිබෙන බවත් ය. එම කේන්ද්‍රය විසින් පරිධිය හසුරුවනු ලබන බවත් ඔහු සිය න්‍යාය විග්‍රහ කරමින් පවසයි.
අපට පාලනය කළ නොහැකි ලෝක පිළිවෙළවල් ඇතුළෙ අප ජීවත් වෙන බව තේරුම් ගත යුතුයි
ලෝකයේ ආර්ථික පිළිවෙළ තීරණය කරනු ලබන්නේ ජාත්‍යන්තර සංවිධාන හා බහුජාතික සමාගම් විසිනි. මේ තත්ත්වය තිරිඟුපිටි සම්බන්ධ උදාහරණයකින් පැහැදිලි කළ හැකි ය. ලංකාවේ සහල් පිටි හා කුරක්කන් පිටි තිබිය දී පාන්පිටි නොහොත් තිරිඟුපිටි ප්‍රචලිත විය. අප්‍රිකාවේත් මේ තත්ත්වය ඇති විය. එපරිදි ඒ ඒ රටවලට අනන්‍ය නිෂ්පාදන තිබුණ ද ඒවා යට කරගෙන පාන්පිටි පිළිවෙළක් ලෝකයේ ඇති විය. තිරිඟුපිටි ආධිපත්‍යය පවත්වා ගෙන යනු ලබන්නේ ඇමෙරිකාව විසිනි. අපට පාලනය කළ නොහැකි ලෝක පිළිවෙළවල් ඇතුළත අප ජීවත් වන බව තේරුම් ගත යුතු ය. ඒවා පාලනය කරනු ලබන්නේ කේන්ද්‍රය විසිනි. මේ යථාර්ථය අයවැය පිළිබඳ කතිකාවට සම්බන්ධ කිරීමට මා කැමැති ය.
මා කුඩා අවධියේ දී එවක මුදල් අමාත්‍යවරයා වූ රොනී ද මෙල් අයවැය කතාව ඉදිරිපත් කළ සැටිත් ඒවා මාධ්‍යවල පළ කළ සැටිත් මතක ය. ඔහු අයවැය ලේඛනය රැගෙන පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය මාධ්‍ය පළ කර තිබුණේ “රොනී අයවැය රහස් රැගෙන පාර්ලිමේන්තුවට” වැනි ආකර්ෂණීය ශීර්ෂ පාඨවලිනි. අපට ඉගැන් වූ ගුරුවරුන් පැවසුවේ මුදල් අමාත්‍යවරයාගේ අයවැය රහස් සියල්ල ලෝක බැංකුවේ දකුණු ආසියාව භාර නියෝජිතයා දන්නා බව ය. මේ සම්ප්‍රදාය ඛණ්ඩනය නොවිණ. එනම්, අයවැය සකස් කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ආයතනවල බලපෑම් තිබිණ. වත්මන් ආණ්ඩුවට ද ඒ යථාර්ථයට මුහුණ දීමට සිදු වේ. මේ ආණ්ඩුව එහි වත්මන් ස්වරූපයට වෙනස් ව සම්පූර්ණ ජනතා විමුක්ති පෙරමුණේ රජයක් වූවා යැයි අපි සිතමු. එහෙත් එවැනි රජයකටද තමන්ගේ දේශපාලනික මූලධාර්මික පදනම් එයාකාරයෙන් ම නඩත්තු කළ නොහැකි ය.
පරණ යකා
වත්මන් ආණ්ඩුව බලය ලබා ගන්නා විටත් රට අයි.එම්.එෆ්.ට භාර දී අවසන් ය. ජවිපෙ විරුද්ධ පක්ෂයේ සිටිය දී අයි.එම්.එෆ්. ආයතනය සමග එළැඹි ගිවිසුම සම්බන්ධයෙන් කවරාකාරයේ විවේචන ඉදිරිපත් කළ ද බලයට පැමිණීමෙන් පසු ඔවුන්ට සැබෑ යථාර්ථයට මුහුණ දීමට සිදු විය. එනම්, ආණ්ඩුකරණයේ දී ඔවුන්ට නියම යකා මුණගැසිණි. පරණ කට්ටඬියන්ට මේ නියම යකා මෙල්ල කළ නොහැකි ය. පැරණි ගුරුකම් ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. ජවිපෙ මේ යථාර්ථයට මුහුණ දීමේ දී ආණ්ඩුකරණයෙන් බැහැරව සිටින ප්‍රජාව සමාජවාදී ප්‍රතිපත්ති ප්‍රශ්න කිරීම සාධාරණ ය. මේ සන්දර්භයේ ජවිපෙ මුහුණ දෙන උභතෝකෝටිය වන්නේ රට පරෙස්සම් කර ගැනීමත් දඩාවතේ යන ලෝක ආර්ථික යථාර්ථයට මුහුණ දීමත් එක විට කරන්නේ කෙසේ ද යන්න ය. අප මේ යථාර්ථය තේරුම් ගත යුතු වෙමු. සමාජවාදී කෙසේ වෙතත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අඩවියකට යෑමට ආණ්ඩුවට වුවමනාව තිබුණ ද ඊට බාධා පමුණුවන සාධක ප්‍රබල ය.
නියම යකා මෙල්ල කරන්න පරණ කට්ටඬියන්ට බැරි බව විපක්ෂයේ සිට ආණ්ඩු බලයට පැමිණි පසු අයි.එම්.එෆ්. ගිවිසුම සම්බන්ධ කටයුත්තේදී ජවිපෙට තේරුණා
වත්මන් ආණ්ඩුව මාකස්වාදයට ගරු කරන සමූහයක් වුව ද උග්‍ර මාක්ස්වාදීන් නොවන බව මම විශ්වාස කරමි. මාක්ස්වාදයෙන් ජවයක් පන්නරයක් සහ විශ්ලේෂණ හැකියාවක් ඔවුහු ලබා ගත්හ. සවිඥානකව ඔවුන් සමාජවාදයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට කැමති නැත. එහෙත් අවිඥානකව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හෝ හැසිරීමෙන් ඒ බවක් පෙනෙන්නේ නැත. එහි අර්ථය, එළියට ප්‍රකාශ කරන දේ සහ අපේ ඇත්ත ජීවිතය අතර වෙනසක් නොතිබිය යුතුය යන්න යි. විසඳාගත යුතු ප්‍රශ්නය ද එයයි. උත්සාහ කළ හොත් මේ වෙනස නැති කර ගැනීමට පිළිවන. ආර්ථික, ආරක්ෂක, භූ දේශපාලනික යථාර්ථයන් අතින් ගත්විට ශ්‍රී ලංකාව ස්ථාවර හා ශක්තිමත් රාජ්‍යයක් නොවේ. මෙය යැපෙන රාජ්‍යයකි. යැපෙන රාජ්‍යයකට තීන්දු තීරණ ගැනීමේ හැකියාව අඩු ය. මේ යථාර්ථය අපි තේරුම් ගත යුතු වෙමු. එබැවින් ලංකාවේ බලයට පත්වෙන කිසිදු ආණ්ඩුවකට තමන්ට අභිමත දේවල් ක්‍රියාත්මක කිරීමට නුපුළුවන.
රාජ්‍ය නියාමනය
මෙහිදී වැදගත් වෙන්තුනේ ලෝක නියාමකයන්ට අවශ්‍ය පරිදි අප කටයුතු කළ යුතු ද යන්න ය. එසේ කළ හොත් වෙන්නේ රට ඇතුළත විශාල දේශපාලන පරාජයක් සිදු වීම ය. ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී කී දේවල් දේශපාලනික ය. එහෙත් දැන් ඔවුන්ට ආණ්ඩුකරණය භාර වී ඇත. ආණ්ඩුකරණය ඇතුළත ඒ දේශපාලන පොරොන්දු ඉටු කිරීමට නොහැකි වනවිට අසරණ බවක් ඇති වේ. අපට එය අවබෝධ කරගත හැකි ය.

ධනේශ්වර ක්‍රමය සහ වෙළෙඳපොළ ක්‍රමය නැති කළ නොහැකි ය. පවතින ලෝක පිළිවෙළ නැති කළ නොහැකි ය. එහෙත් මේ ක්‍රමය ඇතුළත සතුටින් සිටින රාජ්‍යයන් ඇත. නෝර්ඩික් රටවල් කුඩා වුව ද ශක්තිමත් ය. ඒවායෙහි ධනේශ්වර ක්‍රමයත් වෙළෙඳපොළ ක්‍රමයත් ක්‍රියාත්මක වේ. එසේවුව ද ඒවා රාජ්‍ය නියාමනයට ලක් වේ. රාජ්‍ය නියාමනය කරන්නේ පොදු ජනතාවගේ යහපත සඳහා ය. ජාතික ජන බලවේගය වැනි රජයකින් ඉදිරිපත් කරන අයවැය ලේඛනයකින් බොහෝ දෙනා අපේක්ෂා කරන්නේ කුමන හෝ සහනයකි. කිසිවකු සමාජවාදය බලාපොරොත්තු වෙතැයි මම නොසිතමි. අයවැයකින් පොදු ජනතාව සහන අපේක්ෂා කරන විට පහළ මැද පාන්තිකයෝ බදු සහන බලාපොරොත්තු වෙති. භාණ්ඩාගාරය පිරී ඉතිරී ඇති බව අයවැය විවාදයේ දී ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් අය ප්‍රකාශ කළහ. එහෙත් සාමන්‍ය ජනයා සිඳී කිඳී හිඳී ගොසිනි. ආණ්ඩුව සාර්ව වශයෙන් සාර්ථක වුව ද ක්ෂුද්‍ර ලෙස සාර්ථක ද යන පැනය මතු වේ. එවැනි පසුබිමක මේ අයවැයෙහි ක්ෂුද්‍ර ආර්ථික ආමන්ත්‍රණය කුමක් ද යන්න විමසිය යුතු ය. මගේ තේරුම් ගැනීමේ හැටියට මෙය ආණ්ඩුව මුහුණ දෙන හුදු ආර්ථික ප්‍රශ්නයකට වඩා දේශපාලන ගැටලුවකි. ඊට හේතුව, පොදු ජනතාවගේ ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් නොදුන් විට ජනතාව කලකිරෙන්නේ ආණ්ඩුව පිළිබඳව මිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන නොවන නිසා ය.
අයි.එම්.එෆ්. හි බදු ප්‍රතිපත්තිය නිසා මැද පන්තියේ විශාල පිරිසක් නිර්ධනයන් බවට පත්වෙමින් ඉන්නවා
ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ අයි.එම්.එෆ්. ආයතනය මිස පාර්ලිමේන්තුව නොවේ. එය ආණ්ඩුවට එල්ල වෙන චෝදනාවකට වඩා යථාර්ථය ද වේ. එසේම එය ලංකාවට පමණක් අනන්‍ය වූ ප්‍රශ්නයක් ද නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ නම් පාර්ලිමේන්තුවක් කුමට ද යන මූලධාර්මික ප්‍රශ්නය මතු වේ. ආර්ථික අර්බුදයට මුහුණ දුන් පසු අයි.එම්.එෆ්. ආයතනය සමග එළැඹි ණය වැඩසටහනෙන් පීලි පැනිය නොහැකි හෙයින් තමන්ගේ ආර්ථික වැඩසටහන මෙම අයවැයෙන් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් තර්කයක් ගෙනා හැකි වුව ද එය එළියට සන්නිවේදනය කරන්නේ නැත. ආණ්ඩුව එය කිව යුතු ය.
අයි.එම්.එෆ්. ආකෘතිය ඇතුළත සිටිමින් වුව ද පොදු ජනතාව වෙනුවෙන් දෙයක් කළ නොහැකි ද යන ප්‍රශ්නය මතු වේ. කළ හැකිය යන්න මගේ පිළිතුර යි. එම ආයතනය සමග සාකච්ඡා කරමින් රට ස්ථාවරව පවත්වා ගෙන යන අතරේ ජනතාව ගැන සිතිය යුතු ය. බිඳවැටුණු රටවල් ලෝක පිළිවෙළ ඇතුළත වැඩ කරමින් සිය අනන්‍යතාව නසා නොගෙන දියුණු වූ අවස්ථා තිබේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කඩාවැටුණු ජපානය එක් උදාහරණයකි. ලෝක පිළිවෙළ ඇතුළත කටයුතු කරමින් අනන්‍යතාව රැකගෙන දියුණු වූ තවත් රටවල් බොහොමයක් උත්තර අර්ධ ගෝලයෙහි ඇත. ශ්‍රී ලංකාවද සිය ජාතික අනන්‍යතාව ආරක්ෂා කරගෙන ලෝක පිළිවෙළ මත කටයුතු කළ යුතු ය. රටේ ජනතාවට අනන්‍ය වූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට දොරටු විවර කරගැනීම අරබයා අයි.එම්.එෆ්. ආයතනය සමග සාකච්ඡා පැවැත්වීම වැදගත් ය. ආණ්ඩුව එවැනි සාකච්ඡා කළේ ද නොකළේ ද යන්න මම නොදනිමි. එහෙත් ඒ ආකාරයේ සාකච්ඡා කළ බවක් පෙනෙන්නට නැත. මැද පන්තියේ විශාල පිරිසක් නිර්ධනයන් බවට පත්වෙමින් සිටින බව අමතක නොකළ යුතු ය. ඊට එක් හේතුවක් වන්නේ අයි.එම්.එෆ්. හි බදු ප්‍රතිපත්තිය යි. මෙය රටකට හොඳ තත්ත්වයක් නොවේ.
පීඩිත ජනයාට සහනයක්
ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගත් පසු ජාත්‍යන්තරය එය හැඳින්වූයේ මාක්ස්වාදී ආණ්ඩුවක් ලෙස ය. අයි.එම්.එෆ්. සහ ලෝක බැංකුව වැනි ආයතන ඒ ආකාරයේ ආණ්ඩුවක් සමග කටයුතු කරන්නේ කලින් ආණ්ඩු සමග ගනුදෙනු කළ ආකාරයට තරමක් වෙනස්ව ය. ගෝලීය දකුණේ රාජ්‍යයක් කටයුතු කළ යුතු ආකාරයේ පරෙස්සම මේ අයවැයෙන් මම නොදකිමි. වංචා දූෂණ සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් මින් පෙර බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් නොගත් උත්සාහයක් මෙම ආණ්ඩුව ගන්නා බව අපි පිළිගත යුතු වෙමු. ඒ පිළිබඳ සතුටු විය හැකි ය. එහෙත් ප්‍රශ්නය වන්නේ අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ, වෙළෙඳපොළේ ජනයාට හිතකර යටිතල පහසුකම් ගොඩනැගීම සම්බන්ධයෙන් ගැඹුරු මැදිහත්වීමක් නොමැති වීම ය. රාජ්‍යයක් පාලනය කිරීම යනු ඉතා ගැඹුරු ව්‍යායාමයකි. දේශපාලනය පහසු වුවත් ආණ්ඩුකරණය අසීරු වන්නේ ඒ නිසා ය. ආණ්ඩුකරණ ක්‍රියාවලියේ දී ලෝක සමාජ සන්දර්භය ගැන ගැඹුරු හැදෑරීමක් අවශ්‍ය වේ. හේතුව, ලෝක යථාර්ථයට පිටුපා කටයුතු කළ නොහැකි හෙයිනි. ලෝක යථාර්ථය හොඳ වුවත් නරක වුවත් අප කළ යුත්තේ එය කළමනාකරණය කිරීම ය. එය කළ යුත්තේ රටේ ජනතාවට සහන සැලසීමට මිස එම යථාර්ථයන් සතුටු කිරීමට නොවේ.
ජාතික ජන බලවේගය වැනි රජයකින් ඉදිරිපත් කරන අයවැය ලේඛනයකින් බොහෝ දෙනා අපේක්ෂා කරන්නේ කුමන හෝ සහනයක්
බාහිර සාධක අමනාප කර නොගෙන සියලු දෙනා අන්තර්ග්‍රහණය කරගත් ජාතික ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වැඩපිළිවෙළකට දැන් යා යුතු ය. ආණ්ඩුකරණයේ සැබෑ ස්වභාවය එයයි. පරමාදර්ශී දාර්ශනික මූලයන් සහිත කිසිදු ආණ්ඩුවක් ලෝකයේ දැකිය නොහැකි ය. පීඩිත ජනයාට සහන සැලසීම සම්බන්ධයෙන් ආණ්ඩුව උපායශීලී විය යුතු ය. ඔවුන්ට සහන සැලසීම අස්වැසුමෙන් පමණක් කළ නොහැකි ය. පොදු ජනයා පීඩාවට පත් කරනු ලබන ප්‍රශ්න ගැන මේ ආණ්ඩුවට සංවේදීතාවක් නැද්ද යන ප්‍රශ්නය මතු වේ. ඇතැම් දේවල් කිරීමට අවශ්‍ය වුවත් වත්මන් ලෝක පිළිවෙළ යටතේ ඒවා කළ නොහැකි බව මම දනිමි. එහෙත් කළ හැකි දේවල් ඇති බව සිහි තබා ගත යුතු ය. ඒවා සොයන කර්තව්‍යය ආණ්ඩුවේ බුද්ධිමතුන්ට පැවරිය හැකි ය. අනෙක් ආණ්ඩු පොදු ජනයාගේ ප්‍රශ්න සම්බන්ධව සාධනීය ලෙස මැදිහත් නොවීම අපට තේරුම් ගත හැකි ය. එහෙත් මේ ආණ්ඩුව ඒ දේවල් නොකිරීම ගැන අපට ඇත්තේ දුකකි.
සාකච්ඡා සටහන
උපුල් වික්‍රමසිංහ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ නම් පාර්ලිමේන්තුවක් කුමට ද යන මූලධාර්මික ප්‍රශ්නය මතු වෙනවා

