දෙමළ - මුස්ලිම් පක්ෂ එකතුවුණේ අපට දීපු පොරොන්දු ආණ්ඩුවට මතක් කරන්න


දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  මනෝ ගනේෂන්

දෙමළ පක්ෂ කිහිපයක් හා මුස්ලිම් පක්ෂ කිහිපයක් ඉකුත්දා එකම වේදිකාවකට ගොඩවිය. මේ අලුත් එකමුතුවේ අරමුණ කුමක් ද. දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි. 

දෙමළ පක්ෂ කිහිපයක් සහ මුස්ලිම් පක්ෂ කිහිපයක් එක්ව අලුත් සන්ධානයක් පිහිටෙව්වා. මොකක්ද මෙහි අරමුණ?

පිළිතුර - ඒක සන්ධානයක් නොවෙයි. ඒක වේදිකාවක්. සන්ධානයක් කියන්නෙ මැතිවරණයක් ඉලක්ක කරගෙන ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණීම. මේක  පොදු ප්‍රශ්න හමුවේ මතවාදි වෙනස්කම් තිබුණත් එකම වේදිකාවකට පැමිණීමක්.

එක පාරටම මෙහෙම වේදිකාවක් හදාගන්න ඕන වුණේ ඇයි? මොකක් ද අරමුණ?

පිළිතුර- නෑ. එකපාරටම නොවෙයි මේකට දීර්ඝ ඉතිහාසයක්  තියෙනවා. මේ වෙනකොට රටේ ජාතිවාදය අවම වෙලා තියෙනවා. ජාතිවාදය නැති වෙලාම ගිහින් කියලා  මට කියන්න බෑ. නමුත් අවම වෙලා තියෙනවා. ‘‘ස්තුතියි අරගලයට’’ අරගලය නිසා තමයි එහෙම වුණේ. අද හොඳ වාතාවරණයක් තියෙනවා. හැබැයි  ජාතික ප්‍රශ්නය අවසන් වෙලා නෑ. යුද්ධය ඉවරවෙලා තියෙනවා. යුද්ධය ඉවර වුණත් යුද්ධයට හේතු වුණ කරුණු කාරණා අවසන් වෙලා නෑ. ඒවට උත්තර ලැබිලා නෑ. ඒවාට උත්තර ලබාගන්න පුළුවන් රත්තරන් අවස්ථාවක් දැන් උදාවෙලා තියෙනවා. වර්තමාන රජයට ඒ අවස්ථාව පාවිච්චි කරලා ව්‍යවස්ථානුකූලව  ප්‍රශ්නයට උත්තර  ලබාදෙන්න කියලා දෙමළ භාෂාව කතා කරන අපි එක හඬින් කියනවා.

ඔබලගේ ප්‍රධාන ඉල්ලීමක් තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක.?

පිළිතුර- එහෙමයි.

ඒ ඇයි කියලා පැහැදිලි කළොත්?

පිළිතුර- ඔය ව්‍යවස්ථා කටයුත්ත  යහපාලන ආණ්ඩු කාලයේ සිදුවුණා. නමුත් ඒක අවසන් කරගන්න බැරිවුණා. ඒ වුණත් ඒකට අදාළ වර්තාවක් අපි ඉදිරිපත් කළා. ඒ වාර්තාව සකස් කරපු පක්ෂ නායකයන් අතර වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයත් හිටියා. මාත් හිටියා. අපේ වේදිකාවේ ඉන්න රාවුෆ්  හකීම්, සුමන්තිරන්, රිෂාද් බදුර්දීන් ආදි පක්ෂ නායකයොත් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයත් හිටියා. ඒ අන්තර්කාලීන වාර්තාවේ  පදනම් වුණ කරුණු අනුර කුමාර දිසානායක මහත්තයාත් පිළි අරගෙන තියෙනවා. එතුමා ඡන්දයට පෙර පොරොන්දුවක් දුන්නා අපට පෞද්ගලිකවත් පොරොන්දු වුණා තමන් ආණ්ඩු බලය ගත්තම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය පටන් ගන්නවා කියලා. මුල ඉඳලම නොවෙයි අපි නවත්තපු තැනින් පටන් ගන්නවා කියලත් කිව්වා. ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න කියලා මේ මොහොතෙදී අපි එතුමට මතක් කරනවා. 

ප්‍රශ්නය- අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද?

පිළිතුර- රටේ දැන් පවතින වාතාවරණය පාවිච්චි කරගෙන ස්ථිර විසඳුමක් ජාතික ප්‍රශ්නයට ලබා දුන්නානම් අපි ඔක්කොම හොඳයි. මීට පෙර අපට එහෙම බලාපොරොත්තුවක් තිබුණට ඒකට රටේ වාතාවරණයක් තිබුණේ නෑ. අද ඒ වාතාවරණය තියෙනවා. ඒක පාවිච්චි කරන්න ඕනෑ. මොකද පුද්ගලයෝ පදනම් කරගෙන අපට මේ ගමන යන්න බෑ. පුද්ගලයෝ මැරිලා යනවා. නමුත් රට මැරෙන්නේ නෑ. රට ඉදිරියට යනවා. ඒ රටට අවශ්‍ය මූලික නීතිය ඉල්ලන්නේ.

මේ වෙනකොට රටේ ජාතිවාදය අවම වෙලා තියෙනවා. ජාතිවාදය නැති වෙලාම ගිහින් කියලා  මට කියන්න බෑ. නමුත් අවම වෙලා තියෙනවා. ‘‘ස්තුතියි අරගලයට අරගලය නිසා තමයි එහෙම වුණේ. අද හොඳ වාතාවරණයක් තියෙනවා. හැබැයි  ජාතික ප්‍රශ්නය අවසන් වෙලා නෑ. යුද්ධය ඉවරවෙලා තියෙනවා. යුද්ධය ඉවර වුණත් යුද්ධයට හේතු වුණ කරුණු කාරණා අවසන් වෙලා නෑ.

පළාත් සභා මැතිවරණය අවශ්‍යයි කියන එකත් ඔබලාගේ මූලික ඉල්ලීමක්. මේ ඉල්ලීම ඔබලාගේ  පක්ෂවල  ඉල්ලීමක්ද? එහෙම නැත්නම් ඉල්ලීම එන්නේ ඉන්දියාවෙන් ද?

පිළිතුර- 13 වැනි සංශෝධනය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම කොටසක්. ඒ කොටස ක්‍රියාත්මක කරන්න කියන  ඉල්ලීම අපට කරන්න පුළුවන්. ඒක අපට කවුරුවත් කියන්න අවශ්‍ය නෑ. ‘‘මේ පළාත සභා ඡන්දය  තමන් බලයට පැමිණ අවුරුදු  දෙකකින්  පවත්වනවා’’ කියලා මේ ආණ්ඩුව පොරොන්දු වුණා. ඉතින් ඒ පොරොන්දුවත් ඉෂ්ට කරන්න කියලා අප මේ ආණ්ඩුවට මතක් කරනවා. 

පළාත් සභාවලට එරෙහිව ගිය අරගලයෙන් රටට ජීවිත හැට දහසක් අහිමි වුණා.

පිළිතුර- නමුත් රටේ පළාත් නවයේම පළාත් සභා පිහිටෙව්වනේ. පළාත් සභාවලට එදා විරුද්ධ වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ පවා සහභාගි වුණානේ. ඒගොල්ලොත් ඡන්දෙ ඉල්ලුවා. මන්ත්‍රීකම් දැරුවා. ඒ ගොල්ලන්ගේ මතය වෙනස් වෙලානේ. බලයට පත්වෙලා අවුරුදු දෙකක් යන්න කලින් පළාත් සභා ඡන්දය පවත්වනවා කියලා ජනතා විමුක්ති පෙරමුණෙත්, ජාතික ජන බලවේගයත්, එකේ නායකයෝත් කියලා තියෙනවා. ඉතිහාසය අමතක කරලා දාමු. අනාගතය දිහා බලලා තීන්දු ගමු.

දෙමළ ජනතාවට හිමි ඉඩම් දෙමළ ජනතාවට ලබාගැනීමට ඇති බාධා ඉවත් කර ගැනීමත් ඔබේ වේදිකාවේ එක ඉල්ලීමක්?

පිළිතුර- ඔව්  අපි එහෙම කියනවා. දැන් යුද්ධයක් නෑ. ඒ නිසා මහජනයාගේ අත්පත්  කරගත් ඉඩම් නැවත ඔවුන්ට ලබාදෙන එක සාධාරණයි නේ. එහෙම නැත්නම් දෙමළ ජනතාවගේ හිත දිනාගත්තා කියලා කියන්න බෑනේ. යුද්ධයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරුන් අදියරෙන් අදියර එම ඉඩම් නැවත  ලබාදුන්නා. ඉතිරි ඉඩම් ටිකත් ලබාදෙන්න කියලයි අප ඉල්ලන්නේ. ඒ වගේම කඳුකරයේත් වගා නොකරන ඉඩම් අවුරුදු දෙසීයක් තිස්සේ මේ රටේ ආර්ථිකයට දායකවෙලා ඉන්න මලයාගම් දෙමළ ජනතාවට වගා කරන්න දෙනවා කියලා ජාතික ජල බලවේගය ‘හැටන් ප්‍රකාශනය’ කියන ලියකියවිලි හරහා  ඡන්දයට පෙර ඒ ජනතාවට පොරොන්දු වුණා. ඒ කියපු විදියටම ඒකත් ලබාදෙන්න කියලා අපි කියනවා.

උතුරේ හමුදා කඳවුරු ඉවත් කරගැනීම ඔය ඉල්ලීමේ යටි අරමුණක්?

පිළිතුර- වැරැදි අර්ථකථන එපා. රටේ උතුරේ, දකුණේ, නැගෙනහිර, බටහිර හා කඳුකරයේ ශ්‍රී ලංකා හමුදාවන්ගේ කඳවුරු තියෙන්න ඕනෑ. පොලිසිය රට වටේ තියෙන්න ඕන. ජාතික ආරක්ෂාව ගැන අපි උනන්දු වෙලා වැඩ කරන්න ඕනෑ. මේක පටලවාගන්න එපා. අපි කියන්නේ අතිරේක හමුදා කඳවුරු අවශ්‍ය නෑනේ. යුද්ධය නිසා ඇතිවෙච්ච අතිරේක කඳවුර ඉවත් කරලා ජනතාවට දෙන්න ඕනෑ. ජනතාවට අයිති ඉඩම් ජනතාවට දෙන්න ඕනෑ. ඒක සාධාරණයි.

දෙමළ හා මුස්ලිම් පක්ෂ මෙහෙම එක වේදිකාවකට ගොඩවීම දකුණේ ජාතිවාදි බලවේග කලබල කිරීමක් කියලා ඔබ හිතන්නේ නැද්ද?

පිළිතුර- අපේ මේ වේදිකාව අපි නිර්මාණය කළේ ජාතික ප්‍රශ්නය විසඳගෙන ශ්‍රී ලංකා රාජ්‍යය නමැති රාමුව තුළට යොමුවෙන්නයි. එතැන ජාතිවාදයට ඉඩක් නෑ. ඒ තේරුම් ගන්න. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ප්‍රධාන විපක්ෂයට කියනවා, අනෙකුත් පක්ෂවල නායකයන්ට කියනවා, ආගමික නායකයන්ට කියනවා, ජාත්‍යන්තරයට කියනවා ලංකාව දැන් ඉදිරිය බලා ගමන් කරනවා. ජාතිවාදය අවුස්සන අය උතුරෙත් ඉන්නවා. දකුණෙත් ඉන්නවා  ඒ අය ගණන්ගන්න ඕනෑ නෑ.

ඔබ මේ රටේ ආණ්ඩු ගණනාවක් දැකපු පක්ෂ නායකයෙක්. ඔබ කොහොම ද මේ ආණ්ඩුව දකින්නේ?

පිළිතුර- ආණ්ඩුවට දැන් අවුරුදු දෙකකට කිට්ටුයි.  ඒ නිසා මේක අලුත්ම ආණ්ඩුවකුත් පරණම ආණ්ඩුවකුත් නොවෙයි මැද තැන ඉන්නවා. ආණ්ඩුවේ කාලය අවුරුදු පහක්නම් දැන්  මැදට එමින් සිටිනවා. ඒගොල්ලෝ දීපු පොරොන්දු ටික ඉෂ්ට කරන්න සාධාරණ කාලයක් දෙන්න ඕනෑ. දැන් අපි මේ කරන්නේ දීපු පොරොන්දු මතක් කිරීමයි. පොරොන්දු ඉටු නොකළොත් අපට සටන් කරන්න වෙයි.

සමහරුනම් කියන්නෙ මේ ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාවට වෙච්ච පොරොන්දු ඉහළින්ම ඉෂ්ට කරමින් ඉන්නෙ කියලා.

පිළිතුර- ඒ ගැන මම දන්නේ නෑ. ආණ්ඩුව ඒ වගේ දෙමළ ඩයස්පෝරාව කියන කණ්ඩායමට ඇහුම්කන් දීලා ඔවුන් කියන දේ කරනවානම් මේක මෝඩ ආණ්ඩුවක් වෙන්න ඕනෑ. එච්චර මෝඩ ආණ්ඩුවක් කියලා මම හිතන්නේ නෑ මේක. කවුරුහරි දේශපාලන වාසි ගන්න එහෙම කියනවද දන්නේ නෑ. ඒවගේම දෙමළ ඩයස්පෝරාව දැන් තමන් ජීවත්වන රටවල තමන්ගේ ජීවිත බලා ගන්නවා හැර තමන්ගේ මවු රටේ සිදුවන සිදුවීම් සම්බන්ධව ඒ කාලයේ වාගේ උනන්දුවෙන් ඉන්නවා කියලා මට දැනෙන්නේ නෑ. ඒක නිසා මම ඒක 
පිළිගන්නේ නෑ.

ජනතාවට සහන සැලසීමේදී ආණ්ඩුව බොහොම දුර්වලයි. ඒ ගැන ඔබට හිතෙන්නේ?

පිළිතුර- ඔව්, ඔව්. මමත් එ්ක හිතනවා. ඒක ඇත්ත. ආණ්ඩුවක් මනින්නේ කොහොමද? මේ ආණ්ඩුව මනින ප්‍රධාන කරුණු තුනක්  තියෙනවා. ප්‍රධානම එක දූෂණය අතුගා දැමීම. දෙවැනි එක පාලන හැකියාව.  තුන්වැනි  එක නීතියේ ආධිපත්‍යය, අපරාධය අතුගා දැමීම ගත්තොත් මේ ආණ්ඩුව ඒක කරගෙන යනවා. විමර්ශන කරනවා නඩු දානවා. අධිකරණය  නඩු විභාග කරලා වැරැදිකරුවන්ට දඬුවම් නියම කරනවා. හැබැයි මේක වෙන්නෙ එක පැත්තකට පමණයි. 

අනිත් පැත්තේ ඉන්නේ ආණ්ඩුව. ආණ්ඩුවටත් විවිධ දූෂණ, චෝදනා එල්ල වෙලා තියෙනවා. නමුත් ඒවා සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් කෙරෙනවා කියලා පේන්නේ නෑ. එහෙම වුණානම් නේද හොඳ? ඒ නිසා දූෂණයට එරෙහි ක්‍රියාමාර්ගවලදී භාගයක්  කෙරෙනවා. අනික් භාගය කෙරෙන්නේ නෑ. ඒ නිසා  නීතිය ඉදිරියෙ සියල්ලෝම සමානයි කියලා කියන්න බෑ. ඒවාගේම ආණ්ඩු කිරීමේ හැකියාව ගත්තොත් විශාල දුර්වලතා අපට පේන්න තියෙනවා. ආණ්ඩු කිරීමේ හැකියාව නැති නිසා තමයි ඇමෙරිකන් ඩොලර් හිටපු ගමන් අතුරුදන් වෙනවා. දෙපාරක් ගෙවීම් කරනවා. 

මේ ආණ්ඩුව ‘‘සිස්ටම් චේන්ජ්’’ කරන්න ආවා කියලයි කිව්වේ. නමුත් ඒක වෙලා නෑ. ඉතිහාසයේ තිබුණු ආණ්ඩු තමයි සිස්ටම් චෙන්ජ් කළේ. ඒ වගේම මේ අය 70 වසරක ශාපයක් ගැන කියනවා. හැබැයි මේ අය ඒ ශාපයේ බරපතළම හවුල්කරුවෙක්. ඒ බවත් මතක තබාගත යුතුයි.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්