
දිට්වා සුළි කුණාටුව විසින් ජීවිත 900ක් පමණ බිලිගෙන ලක්‍ෂ 20 කට අධික ජනතාවකට ජීවන බලපෑමක් ඇති කළ බව ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එමෙන්ම නිවාස 17,000ක් පමණ නැවතත් වෙනත් ප්‍රදේශවල ගොඩනැගීමට සිදුවී ඇත. සිදුවී ඇති මූල්‍ය පාඩුව රුපියල් බිලියන 1400 ක් පමණ බව ද ලෝක බැංකුව වාර්තා කළේය.
මේ විනාශය කල්තබා පුරෝකථනය කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අසමත් විණි ද? සුළං හා වර්ෂාපතනයේ මේ බැරෑරුම් තත්ත්වය පිළිබඳ තමන්ට නිශ්චිත දත්ත නොතිබුණු බව ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකත්, ආණ්ඩුවේ ප්‍රකාශකයනුත් පුන පුනා ප්‍රකාශ කරති. විපක්ෂයේ ඇතැම් ප්‍රකාශයන් කියන්නේ අනතුරු ඇඟවීම තිබියදීත් ආණ්ඩුව ක්‍රියා නොකිරීම නිසා ජීවිත හා දේපළ විනාශය සිදුවූ බවයි.
කාලගුණ නිවේදන
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 23 සිට 28 දක්වා නිකුත් කළ නිල නිවේදන අනුව100 mm හෝ 150 mm ට වඩා වැඩි වැසි, පැයට කිලෝමීටර් 50 - 60 සුළං ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත. නොවැම්බර් 27 දහවල් 1.00 ට නිකුත් කළ නිවේදනයේ මුළු රටම තද රතු පැහැයෙන් අනතුරු කලාපයක් ලෙස නම් කර ඇත.
මේ ජනතාව දන්නා ප්‍රමාණයයි. නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග, මහවැලි හා විදුලිබල පිළිබඳ ආයතන සමඟ මෙයට වඩා විශේෂිත තොරතුරු බෙදාගැනීමේ ඉඩකඩක් පවතී.
සුළි කුණාටුව තත්ත්වය පිළිබඳව වැදගත් වන්නේ නොවැම්බර් 13 හෝ 18 දින ප්‍රකාශ නොව නොවැම්බර් 22 පමණ සිට දුටු විශේෂිත කාලගුණික තත්ත්වය නොවැම්බර් 26 හා 27 දිනවල උච්චස්ථානයට පත්වීමයි.
ලංවිම ජල විදුලි දත්ත
විදුලි බලාගාර ආශ්‍රිතව, මහවැලි හා කැලණි ගඟ ආශ්‍රිතව පවත්නා ජලාශ හා එකී ජලාශවල ජල පෝෂක ප්‍රදේශවල වැසි තත්ත්වය, ජලාශවල පිටාර මට්ටම, ජලාශවලට යම් නිශ්චිත කාලයකට පසු තවත් කෙතරම් ජලය පිරවිය හැකි ද යන්න ( Buffer Stock) ජලාශයට ජලය පැමිණීමේ සීග්‍රතාව (Inflow ) විදුලි බල නිපදවීම හා වෙනත් කරුණු මත ජලාශවලින් ජලය නිකුත් වීම (Out flow) පිළිබඳ නිශ්චිත දත්ත ලංවිම ජලවිදුලි බලාගාර අංශ විසින් පවත්වා ගනියි. අන් ආයතන සමඟ තොරතුරු බෙදා හදා ගනී. ජල කළමනාකරණය හා වේලි ආරක්ෂාව සඳහා නිශ්චිත මාර්ගෝපදේශ යොදා ගනී.
එම දත්තවලට අනුව ප්‍රශ්නගත කොත්මලේ ජලාශයේ නොවැම්බර් 25 වැනි දින එම කලාපයේ වර්ෂාව 46 mm වූ අතර, ජලාශයේ මුළු ධාරිතාවෙන් සීයට37.3 ක් පිරී තිබිණ. පිටාර මට්ටමට 17.95 mක් පැවතිණ. එනම් ආරක්ෂිත තත්ත්වයකි. 26 වැනිදා මේ තත්ත්වය ශීඝ්‍ර වෙනසකට භාජනය විය. 91 mmක් වැසි ඇදහැළුණු අතර ජලාශය සීයට සීයට53.5ක් පිරී ගියේය. පිටාර මට්ටම 12.5 m ක් විය. ජලාශය පිරී යාමේ ශීඝ්‍රතාව සලකන විට නොවැම්බර් 27 දින අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවෙන බව පැහැදිලි විය. 26 දින 12.00 සිට ඇදහැළුණු වර්ෂාව නිසා 253 mmක වර්ෂාවක් 27 දා ඇති විය. 27 රාත්‍රියේ ජලාශය සහමුලින්ම පිරී යන බව පැහැදිලි විය.
මේ පිළිබඳ සියුම් දත්ත විශ්ලේෂණයක නියැළුණු ජල විශේෂඥයෙකු ජනාධිපතිවරයා වෙත ලියා යැවූ ලිපියක සඳහන් වන්නේ, කොත්මලේ මුළු ධාරිතාව ඝන මීටර් මිලියන 170ක් බවය. 27 දා උදේ 6.00 am වන විට ඝන මීටර් මිලියන99.85ක් ද සවස 3.15 pm වන විට ඝන මීටර් මිලියන125 ක් ද සවස 6.00 pm වන විට ඝන මීටර් මිලියන 138.72ක්ද ලෙස අතිශීඝ්‍ර ලෙස ජල මට්ටම ඉහළ යන ඉහළ යන බවය. උදේ 6.00-හවස 2.00 අතර ආසන්න වශයෙන් තත්පරයට ඝන මීටර් 735ක් ගලා ආ අතර, ඊළඟ පැයේදී එය ඝන මීටර් 880ක් බවට පත්වූ බවය.
වේලි ආරක්ෂක මාර්ගෝපදේශ අනුව ක්‍රියා කළා නම් පැහැදිලි වන්නේ 27 දා සවස් වන විට අනතුරුදායක තත්ත්වයක් පැවති බවත් වහා ක්‍රියාමාර්ගයක් ගැනීම සිදුකළ යුතු බවත්ය.
රාත්‍රී 9.05 ට ගේට්ටු විවර කර 800 m3/ sec ක ජල කඳක් පිටකළ අතර එය ප්‍රමාණවත් නොවූ විට රාත්‍රි 10.30 සිට 1800 m3/ sec ක මහා ජල කඳක් පිට කර ඇත. 27 දා රාත්‍රියේ මිනිසුන් නිදා සිටියදී ගඟේ ජල මට්ටම මීටර් 2 - 3 කින් වැඩි කිරීමට මෙය හේතු විය. ගම්පොළ, ගෙලිඔය, පේරාදෙණිය, ගැටඹේ, ගුහාගොඩ ආදී ප්‍රදේශ පැය කිහිපයකදී රාත්‍රී අඳුරේම මහත් ව්‍යසනයක් කැඳවා ගත්තේය. කොත්මලේ ජල විදුලි බලාගාරය ද ජලයෙන් යට විය.
ජල විද්‍යාඥයන්ට අනුව නොවැම්බර් 27දා උදේ 9.00 සිට මධ්‍යස්ථ ජල පිටකිරීමක් (500-750 m3/ sec ) කළා නම් ගඟේ පහළ ප්‍රදේශවල දිවා කාලයේ දී 0.3m - 0.4m ප්‍රමාණයක් එනම් අඩියක, එකහමාරක ප්‍රමාණයේ කුඩා ජල වැඩිවීමක් සිදුවීමට ඉඩ තිබූ බවද, ජනතාවට ඉවත්වීම සඳහා අනතුරු ඇඟවීමට 27 දා දහවල් පැය 2 - 4 කාලයක් ඉතුරුව තිබූ බවද ඔවුහු පෙන්වා දෙති.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ පෙන්වා දුන්නේ නොවැම්බර් 25 උදේ 10.00 ට අනතුරු ඇඟවීමක් සිදුකළ බවත් පොලිසියට එය දැනුම් දුන් බවත්ය.
ඒ අනුව පෙනීයන්නේ අවශ්‍ය බලධාරීන් 25 - 27 දිනවල මේ තත්ත්වය පිළිබඳ දැනුම්වත්ව සිටි බවය.
වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශවල ලංවිම දත්ත අනුව පෙනී යන්නේ නොවැම්බර් 24 සිට ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට මහවැසි වැටුණු බවය. 24 දා වික්ටෝරියා ආශ්‍රිත ප්‍රදේශවලට 80.1 mm, රන්දෙනිගලට 45 mm ප්‍රමාණයෙන් වැසි ලැබිණ. 25 දා පිළිවෙළින් 103.7 mm ක් හා 141 mm ක් වැසි ලැබිණ. 26 දා 200 mm ක් හා 200 mmක් ලැබිණ. ජලාශ දෙක පිළිවෙළින් සීයට98ක් සහ සීයට95 ක් පිරී ගිය අතර 27දා උතුරා යන බව පැහැදිලි විය.
ජලාශ විවෘත කිරීම මහියංගණ ප්‍රදේශයට ප්‍රමාණවත්ව දැනුම් දුන්නා ද? මහවැලි පහළ ද්‍රෝණිවල සිදු වූ ගංවතුර හා ජීවිත විනාශ වළක්වාගැනීමේ හැකියාවක් තිබිණි ද? කොත්මලේ (ස්වීඩන්), වික්ටෝරියා (බ්‍රිතාන්‍ය) හා රන්දෙණිගල (ජර්මන්) වේළි ආරක්ෂිත මාර්ගෝපදේශ ක්‍රියාත්මක විණි ද?
මහවැලි ජලාශ
මේ සියලු ජලාශ හා මහවැලිය ආශ්‍රිත ලොකු කුඩා ජලාශ 10 ක්, එනම් කොත්මලේ, වික්ටෝරියා, පොල්ගොල්ල, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය, උල්හිටියාව, බෝවතැන්න, මිනිපේ හා යෝජිත ගැටඹේ ඔය හා සමගත් ජලාශවල ජල පාලනය හා පොල්ගොල්ලේ ස්ථාපිත කර ඇති DRCC මධ්‍යස්ථානය මගින් සෑම මිනිත්තුවකම සිදුකරයි. එමගින් ජලාශ අවට ජල පෝෂක ප්‍රදේශවල වැසි තත්ත්වය, ජලාශවල ජල ධාරිතාව ඉහළ යෑම හෝ පහළ යෑමේ ශීඝ්‍රතාව, ඉතුරුව ඇති අවකාශය ගණනය කරයි.
ජල මට්ටම් ගණනය කිරීම්
ජලය ගේට්ටු හැර නිකුත් කළහොත් පහළ නිම්නවල ජල මට්ටම් පිළිබඳ කාලයේ මෙන්ම භූමියේද තත්වය හඳුනාගැනීම නිරායාසයෙන් සිදුකෙරේ.
නොවැම්බර් 22 - 29 කාලයේදී එකී පද්ධතිය නිවැරදිව ක්‍රියා කළ බව මහවැලි අධිකාරිය ප්‍රකාශ කර ඇත. එමෙන්ම නොවැම්බර් 29 න් පසු කිසිදු අනතුරුදායක තත්ත්වයක වර්ෂාවක් මහවැලි කලාපවලට ‘දිට්වා‘ නිසා ලැබී නැති බවද පෙනී යයි.
කැලණි ගඟේ ජල මට්ටම් පාලනය සඳහා ද මහනගර අමාත්‍යාංශය මගින් මෙවැනිම මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබීය. එහි පුරෝකතන හා නිසි ලෙස පොම්පාගාර, ගේට්ටු ක්‍රියා කිරීම නිසා කැලණි ගඟේ ජල ගැලුම් ඓතිහාසික ඉහළ මට්ටමක තිබුණද ජීවිත හෝ දේපළ හානිය අවම විය.
වැරදි අර්ථකථන
දේශපාලන තීන්දුවක් ගැනීමට 27 දා රාත්‍රියේදී ආපදා කළමනාකරණ ජාතික සභාව රැස්කිරීමට කටයුතු නොකර එය 25 වැනි දා සිදු කළා නම්, බොහෝ හානි වළක්වාගැනීමට ඉඩ තිබිණ. ‘මුරවී‘ සුළි කුණාටුව එයට හොඳම උදාහරණයකි.
මේ අනුව පැමිණිය හැකි නිගමනය වන්නේ දත්ත වුවමනාවටත් වඩා තිබුණු නමුත් තීරණ ගැනීමට බලධාරීන් පමා වූ බවය. එහි වරද ඇත්තේ නිලධාරීන් අතර ද ජනාධිපති, මහවැලි ඇමැති ඇතුළු දේශපාලන අධිකාරියේ ද යන්න තීරණය කළ හැක්කේ කඩිනම්ව ඉහළින් සිදුවන විමර්ශනයකිනි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වගකීම එයයි.
මහවැලිය සිය ගං වතුර ඇති කරමින් කඳුරටට සිදු කළ විනාශය ඉතා විශාල ය. නමුත් ඇතැම් අඳබාල දේශපාලනඥයන් පවසන පරිදි මහවැලි ව්‍යාපාරය නිසා ගම්පොළ, පේරාදෙණිය ආදී ප්‍රදේශ ගං වතුරින් යට විය. එය වැරදි අර්ථකථනයකි. මහවැලි ව්‍යාපාරය නිසා කඳුකර පරිසරය භූගෝලීය ලෙසත්, පාරිසරික ලෙසත් වෙනස් වූ බව සත්‍යයකි. එය දෙවෙනි වන්නේ බ්‍රිතාන්‍යයන් විසින් පැරණි ගම් හා නගර ඉවත් කොට වැවිලි කර්මාන්තය ප්‍රචලිත කිරීමට පමණි.

මහවැලිය නිසා 1947, 63, 78, 84 වැනි ගංවතුර උවදුරුවලින් ගම්පොළ, පේරාදෙණිය ආදී ප්‍රදේශ ගැලවී ගිය බව විද්‍යාත්මක තතු දන්නෝ දනිති. ඒ නිසා මහවැලි ගංවතුර පාලනයට කොත්මලේ වේල්ල මීටර් 30 කින් එසවීම මධ්‍යකාලීන ව්‍යාපෘතියක් ලෙස සිදුකර එමගින් ජල ධාරිතාව දෙගුණ කළ යුතු බව දැනට පිළිගැනෙන මතයයි.

