කොල්ලෝ කුරුට්ටෝ සාදවල ඩිංගිත්තක් තොල කට තෙමා ගත් විට තැපෑලෙන් වදිනවාට කැමතිය. තැපෑලෙන් වදිනවා කියන්නේ පරක්කු වී වෙරි වෙන එකටය. රටේ තැපෑල ගැන ජන මනසේ ස්ථාපිත වී ඇති මතය මේ කතාවෙන්ම පැහැදිලි වන්නේය. තැපෑල යනු පරක්කු වීමට සමාන පදයක් වගේ එකක් ජන විඥානයේ පැළපැදියම් වී තිබේ. ආණ්ඩුවේ වෑයම ඒ තැපෑල ස්මාර්ට් කිරීමයි. ඒ ගමනට බාධා කරන බාහිරවයෝ කවරහු ද?
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින් ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කීවේ මෙලෙසිනි.
“තැපැල් සේවකයන්ට කලිසම, කමිසය, සපත්තු දෙක, මේස් දෙක රජයෙන් ලබා දෙනවා. එක්කෝ මහගන්න කුලිය ලබා දෙනවා. මේක දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මෙහෙයවන වැඩ වර්ජනයක්. මේ වර්ජනයේ ඉන්න කවුද? ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිතිය, එක්සත් ජාතික වෘත්තීය සමිති, සමගි තැපැල් වෘත්තීය සමිති, මේ අය එකතුවෙලා අද තැපෑලේ වැඩ කටයුතු යම් පමණකට නතර කරලා තියෙනවා. මධ්‍යම තැපැල් හුවමාරුවෙ තියෙන්නෙ ප්‍රධාන ඉල්ලීම් දෙකයි. රාජ්‍ය සේවයේ පොදුවේ පිළිගත්ත අතිකාල පිළිගන්න බෑ කියනවා. වැඩියෙන් දෙන්නලු. ඒක කරන්න බෑ. අතිකාල දෙන්න යනකොට ඇඟිලි සලකුණ ඕන. තැපෑලෙම ඉන්න සේවකයෝ පිරිසක් ඇඟිලි සලකුණු යන්ත්‍රය පාවිච්චි කරනවනේ. ඇයි මධ්‍යම තැපැල් හුවමාරුවේ කට්ටියට ඒක පාවිච්චි කරන්න බැරි. ඒ නිසා අපි මේ ඇඟිලි සලකුණු යන්ත්‍රය අනිවාර්යයෙන් එතන ක්‍රියාත්මක කරනවා.”
තැපැල් සේවකයන්ගේ අතිකාල වැඩි කළ හැටි ගැනද ඇමති එහි දී විස්තර කළේය.
“දෙවැනි පෙළ තැපැල් සේවා නිලධාරියෙකුගේ රුපියල් 168 ට තිබුණු අතිකාල පැය රුපියල් 237 දක්වා වැඩි කරලා තියෙනවා. පළමු පෙළ තැපැල් සේවා නිලධාරියෙකුගේ රුපියල් 226 ට තිබුණු අතිකාල පැය රුපියල් 324 ක් තෙක් වැඩි කර තියෙනවා. පළමු පෙළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ රුපියල් 303 කට තිබූ අතිකාල පැය රුපියල් 439ක් දක්වා වැඩි කර තිබෙනවා. එහෙම තිබිය දී ඊටත් වඩා වැඩි ඕ.ටී. ඉල්ලනවා නම් ඒක දෙන්න හැකියාවක් නෑ. ඒක විතරක් නෙමෙයි මේ වැඩි කළ ඕ.ටී. එක දෙන කොටත් අනිවාර්යයෙන්ම ඒකට වගකීමක් රජයට තියෙන්න ඕන. ඒක නිසා තමයි අප මේ ඇඟිලි සලකුණු යන්ත්‍රය මෙතෙන්ට ගේන්න උත්සාහ කරන්නේ. අපි ඒක කරනවා. මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සලකුණු තැබීමට එකඟ වෙලා මේ ඕ.ටී. එක පිළිගෙන ආවහම ඉතුරු ඉල්ලීම් දාහතේ අඩුපාඩු ප්‍රමාද තිබෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්”
ඇමති නලින්ද පාර්ලිමේන්තුවේ දී කීවේ එහෙමය.
ලෝක කම්කරු නිර්ණායකවලට ඔබ්බෙන් ගොස් ආණ්ඩුවකට සේවකයන්ගෙන් වැඩ ගන්නට හැකියාවක් නැත. ඇඟිලි සටහන් යන්ත්‍රය යනු කම්කරු නිර්ණායකවලට පටහැණි භූතයෙක් නොවේ. මෙරට බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ඇඟිලි සටහන් යන්ත්‍රය ප්‍රයෝජනයට ගැනෙයි. කලට වේලාවට වැඩ කිරීම ගණනය කෙරෙන එම යන්ත්‍රයේ කවුරුන් හෝ භූතයෙක් දකින්නේ නම් එහි කුමක් හෝ කොස්සක් ඇත. තිබෙන එකම කොස්ස සේවකයන් නියමිත පැය ගාන වැඩ නොකිරීම නොවේදැයි රාජ්‍ය පාර්ශ්වය විමසයි.
දොස්තරලා වර්ජනය කළත්, කොන්දොස්තරලා වර්ජනය කළත්, මේ තැපැල් සේවක වර්ජනයේ දීත් අවසානයේ දී තැලෙන්නේ දුගී දුප්පත් ජනතාවයි. ගමේ ගොඩේ අල බතල තම්බාගෙන කන, නගරයේ කුලියක් මලියක් කර කුස ගින්දර නිවා ගන්නට වලි කන ජනතාවයි.
“මගේ ආබාධිත පුතාගේ සල්ලි වගයක් කන්තෝරුවට දාන්න තියෙනවා. දැන් ඉතින් මේක වහලා අපි මොනවද කරන්නේ? හැම පැත්තෙන්ම තැලෙන්නේ අපි.”
බැරි බැරි ගාතේ තැපැල් කන්තෝරුවකට ඇවිදගෙන පැමිණි වයෝවෘද්ධ පියෙකු තම දුක නුරුස්නාව වචනවලට පෙරළුවේ එසේය.
“මම කරන්නෙ ස්වයං රැකියාවක්. රට පුරා අපේ කස්ටමස්ලට දවස ගානෙ තැපෑලෙන් තමයි බඩු යවන්නේ. රටට බරක් නොවී දෙපයින් නැගී සිටින්නයි අපේ මේ උත්සාහය. ඇත්තටම මේවා පෞද්ගලීකරණය කරනවා නම් හොඳයි කියලා දැන් හිතෙනවා”
එසේ කීවේ දිරිය කාන්තාවකි. බලාපොරොත්තු සුන් වී අනේ මෙහෙම රටක් වගේ හැඟීමක් ඇගේ දෑසේ ලියැවී තිබිණි.
“රජයේ ආයතන කාර්යක්ෂම වෙන්න ඕන ඒක වරදක් නෙමෙයිනේ. තැපැල් කන්තෝරුවකට ගියාම ආණ්ඩුවේ සේවකයෝ නිදිමතේ වැඩ කරන හැටි දැක්කාම අපටත් දවසම එපා වෙනවා. මේ විදිහට රටකට ඉස්සරහට යන්න බෑ. රටේ කාටත් නීතියක් තියෙන්න ඕන. වෙලාවට එනවා නම් වෙලාවට යනවා නම් ඇඟිලි සටහන් යන්ත්‍රවලට අකමැති වෙන්න තියෙන හේතුව මොකක්ද?”
ඒ බාල මහලු තරුණු ලංකාවේ මහජනතාවගේ ඒකමතික මතයයි.
තැපැල් වර්ජනය නිසා සිකුරාදා (21) දිනය වන විට මහජනතාවගේ මුදල් රුපියල් කෝටි 12ක් ගිල දමා තිබිණ. ඇදි ඇදී යන මේ ප්‍රශ්නයේ අවසාන දිනයක් ගැන කිව නොහැක. ජාතියට පාඩු වන කෝටි ගණනේ අගය දවසින් දවස වැඩි වෙමින් තිබෙයි.
ආණ්ඩුව මෙන්ම වර්ජකයන් ද අඩියක් පස්සට ගන්නා සෙයියාවක් පෙනෙන්නට නැත. ලංකාවේ සිදුවන බොහෝ වර්ජනවල දී පොදු ජනතාව වර්ජකයන්ගේ පැත්තේ සිට ගත් අවස්ථා බොහොමයක් තිබිණ. ජනතාවට වර්ජන නිසා බොහෝ අසීරුතා විඳින්නට සිදු වුවද බොහෝ වර්ජනවල දී ජනතාව දොස් කීවේ වර්ජකයන්ට නොව ආණ්ඩුවටයි. නමුත් මේ තැපැල් වර්ජනයේ දී වර්ජකයන්ගේ පැත්ත ගන්නා මහජනතාවක් අපට හමු නොවෙයි.
තැපැල්පති සත්කුමාර පවසන්නේ වර්ජනය අත්හිටුවීමට දිගින් දිගටම තැපැල් වෘත්තීය සමිති කටයුතු කරන්නේ නම් ලිපි සහ පාසල් බෙදා හැරීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාව යොදා ගැනීම වැනි වෙනත් විකල්පයක් ගැන සලකා බැලීමට සිදුවන බවයි. ඇත්තෙන්ම එවැනි පියවරකට නොගොස් මේ හිතුවක්කාර තැපැල් සේවකයන් ආණ්ඩු මට්ටු කළ නොහැකි බව ජනතාවගේ මතයයි.
අතිකාල මදි නම් හෝ ඇඟිලි සලකුණු යන්ත්‍ර පාවිච්චි කරන්නට අකමැති නම්, තැපැල් වෘත්තීය සමිති නියෝජිතයන් වෙනත් රැකියාවක් තෝරා ගත්තාට කමක් නැතැයි ඇමති නලින්ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කළ ප්‍රකාශය ජනතාව ගේ ප්‍රසාදයට හේතු වූ බව පෙනුණි.
තැපැල් සේවය නිලය අල්ලා ස්මාර්ට් නොකළොත් මළ රැකියා කාණ්ඩයට වැටෙන්නට ඔන්න මෙන්න තිබෙන රැකියාවක් බව මඳක් හෝ සිහි කල්පනාවක් ඇති තැපැල් සේවකයන් තේරුම් ගත යුතුව ඇත. තැපැල් සේවයේ ක්ෂය වීම සිදුවන්නේ ආණ්ඩුව ඔවුන් සමග තරහ වීම නිසා නොව නවීන ලෝකය සමග මුහු වීමට තැපෑලේ ඇති අකමැත්ත නිසාම බව පෙනෙන්නට තිබේ.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඇමති නලින්ද ජයතිස්ස කීවේ තැපැල් සේවයට ඇති ගැටලු විසඳා ගැනීමට තැපැල් සේවකයන්ට ඕනෑ කමක් තිබේ යැයි තමාට නොදැනෙන බවයි.
“ඉල්ලීම් දහනවයක් මුල් කරගෙන තමයි මේ වර්ජනය ආරම්භ කරලා තියෙන්නේ. තැපැල්පතිවරයා ඇතුළු බලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් ඔවුන්ට එම ගැටලු විසඳා ගැනීමට එතරම් වුවමනාවක් තියෙනවා කියලා මම දැක්කේ නැහැ. එම ඉල්ලීම් දහනවයෙන් දාහතක්ම එක්කෝ අපි විසඳලා තියෙනවා. නැත්නම් විසඳමින් ඉන්නේ. අතිකාල තවදුරටත් වැඩි කිරීමත්, ඇඟිලි සලකුණු ඉවත් කිරීමත් තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. සියලුම රාජ්‍ය සේවකයන්ට මූලික වැටුප් වැඩි කිරීමට අපි පියවර ගෙන තියෙනවා. අතිකාල සහ මූලික වැටුප් වැඩි කර තිබිය දී තමන් ආපු බව සහ පිටවී ගිය බවට තහවුරු කෙරෙන ඇඟිලි සලකුණ සටහන් කරන්න බැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒකට ඉඩ දෙන්න බැහැ. අපේ තීරණ අපි වෙනස් කරන්නේ නැහැ. ඒ තීරණයත් එක්ක යන්න පුලුවන් තැපැල් සේවකයෝ ඉතුරු වේවි.”
“අපි මේ ගැන රජය හැටියට දැඩි තීන්දුවක ඉන්නවා. අපි මේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට යට වෙන්නේ නැහැ. ඒ වෘත්තීය සමිති ලැයිස්තුව ගත්තහම මේක පිටු පස්සේ ඉන්න දේශපාලන පක්ෂ ටික බලා ගන්න පුළුවන්. තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම වැටුප් අතිකාල ගෙවන්නවත් ප්‍රමාණවත් නැහැ. එහෙම තිබිය දී මේ අසාධාරණය ඉල්ලීම් එක්ක යන්න බැහැ. සාකච්ඡා කරන්න අවශ්‍ය නම් සාකච්ඡා කළ හැක්කේ මේ අතිකාල සහ ඇඟිලි සලකුණු සටහන් කිරීම පිළිගත්තොත් විතරයි”
ඇමති නලින්ද එහෙම කිව්වත් තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ - වර්ජනය අත්හිටුවා සාකච්ඡා කිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නැති බවයි.
තැපැල් වර්ජනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය වන්නේ පාඩුව කොතෙක් වුණත් ඊට මේ මොහොතේ මුහුණ දිය යුතු බවයි.මේ මොහොතේ ඊට මුහුණ නොදුන්නොත් ඉදිරියට තවත් ප්‍රශ්නය ඔඩු දුවන්නට හැකියාව තිබෙන බව ආණ්ඩු පාර්ශ්වයේ මතය වී තිබේ.
ඉකුත් වසරේ මේ කාලයේ දී රුපියල් බිලියන හතරක් හෙවත් මිලියන 4000ක් තැපැල් දෙපාර්තමේන්තුව සඳහා භාණ්ඩාගාරයෙන් වැඩිපුර වැය කර ඇත. වැටුප් වැඩිවීම මෙන්ම අතිකාල සේවා වැඩිපුර ලබාදුන හොත් මහා භාණ්ඩාගාරයෙන් තැපෑල වෙනුවෙන් වැයකළ යුතු අමතර වැය බරේ පරතරය තවත් වැඩි වනු ඇත. ඒ අමතර මුදල රුපියල් බිලියන හත අටක් පමණ විය හැකිව තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව උපයන මුදල්වලින් සියයට හැත්තෑවක් පමණ වැය කිරීමට සිදුව ඇත්තේ වැටුප් සහ අතිකාල වෙනුවෙනි.
බොර දියේ මාළු බාන්නා සේ මේ මොහොතේ කූරියර් සේවා යම් ප්‍රයෝජන ගැනීමට හැකියාව තිබුණත් මේ ප්‍රශ්නය නිරාකරණය කර ගත හොත් තැපෑල හොඳ තැනකට රැගෙන ආ හැකි බව ආණ්ඩුවේ මතයයි.
තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් 19 සම්බන්ධයෙන් මේ වන විට තැපැල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට කිහිපයක් ද පැවැත්වී තිබේ.
බඳවා ගැනීම්, වාහන මිල දී ගැනීම, තැපෑලේ නවීකරණය ආදිය දැනටමත් සිදු කරමින් පවතින බව රජය කියයි.
ආණ්ඩු මෙන්ම වෘත්තීය සමිති ද වත්මන් ලෝකය කැරකෙන වේගය සහ දිසාව හඳුනා නොගත්තොත් තව අවුරුදු සීයකින් ඉදිරියේ ඇති දිනයක වුව අපට දැකගන්නට ලැබෙනු ඇත්තේ, සයිකලය පැදගෙන ඇවිත් ගේට්ටුව ළඟ බෙල් එක ගහන පියුන් මහත්තයා මිස ලෝකය සමග ඉදිරියට යන තැපෑලක් නොවේ.
අංජුල මහික වීරරත්න