රනිල් ගේ මෙහෙයුම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල් ය. ඊට හේතු වූයේ ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය පසුව හදිසියේම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් සිර භාරයට පත් කිරීමයි.
ඉකුත් සිකුරාදා රනිල්ට රහස් පොලිසියට එන්නැයි දැනුම්දීම ලැබුණු පසු, ගන්නා පියවර කුමක් දැයි නීතිඥයන් අතර කතාබහක් ඇති විය. නීතිඥයන් විවිධ කතා කිව්වත් රනිල් කීවේ - කැඳවීමක් කළ විට ඒ දින වෙනස් නොකළ යුතු බවත්, තමා එහි ගොස් අදාළ සිද්ධියට මුහුණ දෙන බවත්, ය.
එහෙත් ඇතැම් නීතිඥයන් කීවේ “ඔය සිකුරාද ට එන්න කියන්නේ දේශපාලන නායකත්වයක් අනුව ඇතුළට දාන්න තමයි, එතකොට අඩුම ගණනේ දින දෙකක් වත් තියා ගන්න පුළුවන්” යනුවෙනි. නීතිඥයන් කුමක් කීවත් සිය මතයට අනුව රනිල් සිකුරාදා රහස් පොලිසිය හමුවට ගියේය.
රනිල් රහස් පොලිසියට ගියේ අදාළ උත්සව කටයුත්තට සහභාගී වන්නැයි එංගලන්තයේ වුල්හැම්ටන් සරසවියෙන් තමාට ලැබුණු ආරාධනා ලිපියත් රැගෙනයි. නමුත් දිගු කාලීන ප්‍රශ්න කිරීමකින් අනතුරුව රනිල් සී.අයි.ඩී.යේ අත්අඩංගුවට පත්විය. දිගු නඩු විභාගයකින් අනතුරුව රනිල් දින හතරක් රිමාන්ඩ් කරන්නට නියම කෙරිණි.
මේ සිද්ධිය වූ සැණින් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයෝ එක මතයකට ඒකරාශී වන්නට වූහ. ඔවුන් සියලු දෙනාගේ ඒකමතික නිගමනය වූයේ රනිල්ට ගත් මේ පියවර සම්බන්ධයෙන් සියලු දෙනා පොදු අරමුණකින් ඒකරාශී විය යුතු බවයි.
විපක්ෂයේ පක්ෂවල පොදු විරෝධතාවෙහි තේමාව හැදුවේ විමල් වීරවංශයි. “ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු” එම තේමාවයි. එම තේමාව යටතේ ඉදිරි කටයුතු මෙහෙයවීමට විපක්ෂයේ පක්ෂ නායකයෝ කතිකා කර ගත්හ. ඒ අතර වාරයේ විපක්ෂ නායක සජිත් - රනිල් වෙනුවෙන් තව පැත්තකින් මෙහෙයුමක් දියත් කළේය. රනිල් රෝහල්ගතව සිටින කාලය ඇතුළත සජිත් හැම දිනකම පාහේ රනිල්ගේ සුව දුක් බලන්නට ගියේය. ඇතැම් විට දවසට දෙවරක් බැගින් ද ගියේය.
දේශපාලන පක්ෂ නායකයෝ රැසක් දිනපතා පාහේ රනිල් බලන්නට ජාතික රෝහලට ගියහ. එලෙස අමුත්තන්ගේ පැමිණීම වැඩි වූ තැන පැමිණීම් සීමා කිරීමට රෝහල් පරිපාලනයට සිදුවිය. මේ කාලයේ මල් පාර දේශපාලන කාර්යාලය ද කඩි ගුලක් සේ විය. විපක්ෂයේ දේශපාලකයන්ගෙන් හැම විටකම එම කාර්යාලය පිරී ඉතිරී ගොස් තිබිණි.
විපක්ෂයේ පක්ෂ සියල්ල ඒකරාශී වී ඒකාබද්ධ පෙරමුණක් ගොඩනැගීම සියලු නායකයන්ගේ අරමුණ විය.
මේ අතර වාරයේ හිටපු නීතිපති තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් නඩු කටයුත්තට මුහුණ දීමට තීරණය කෙරිණි. ඇප ලැබුණොත් ක්‍රියා කළ යුතු ආකාරයත්, ඇප නොලැබුණොත් කටයුතු කළ යුතු ආකාරයත්, වශයෙන් වෙන වෙනම ප්ලෑන් ඒ-බී ලෙස එම සැලසුම් සකස් වුණි. ඒ අනුව ඒ වැඩපිළිවෙළ ද අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කෙරිණි.
මේ අතර වාරයේ නියෝජ්‍ය නායක රුවන් සහ මහලේකම් තලතා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නා හිමි වරුන් බැහැ දුටුවහ. එහි දී රුවන් සහ තලතා රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මහ නා හිමිවරුන් දැනුවත් කළහ. එහි දී මහ නා හිමිවරුන් කීවේ තමන්ගේ ආශීර්වාදය හිටපු ජනපති රනිල්ට හිමිවන බවයි. ඒ අතර වාරයේ තලතා - ජී.එල් සහ අලි සබ්රි තානාපති කාර්යාලවලට ගොස් ඇති වී තිබෙන තත්ත්වය පැහැදිලි කළහ.
මේ සිද්ධියෙන් පසුව ඇතිවූ විපක්ෂයේ එකමුතුව ඉතා ශක්තිමත්ව දිනෙන් දින එකට බැඳෙන අයුරු පෙනෙමින් තිබේ. බොහෝ දෙනාගේ වැඩිපුර අවධානය යොමුව තිබෙන්නේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ එකතුව පිළිබඳවයි. වසර ගණනාවක් තිස්සේ එක්ව වැඩ කළ ඔවුහු සුළු කාලයක් බෙදී වෙන් වී සිටියහ. නමුත් රනිල්ට වූ අසාධාරණය හමුවේ සියල්ලෝම එක් වූහ. ගෙදරක වුණත් භේද බින්න වී සිටින සහෝදරයන් අනතුරක දී එකතු වන්නා සේය.
පක්ෂ නායකයන් සියලු දෙනාගේම මතය වූයේ රනිල්ගේ නඩුව ඇහෙන දා ජනතාවගේ ශක්තිය පෙන්විය යුතු බවයි. ඔවුන් සිතූ අයුරින්ම අඟහරුවාදා පෙරවරුවේ සිට මහ පිරිසක් කොළඹට එක් වූහ. මහා පිරිසක් කොළඹට එක්වන ආරංචිය ආණ්ඩුවට ද ගොස් තිබිණි. සමාජ කැලඹීම ටිකෙන් ටික වැඩි වන්නට වූ හෙයින් රනිල්ට ඇප ලැබෙනු ඇතැයි යන ආරංචිය ආණ්ඩුව දෙසින්ම කලින්ම ලැබෙන්නට විය. මේ අතරතුර රනිල් ද රෝගී තත්ත්වයේ සිට වුවද කරුණු ගැන හැකි අයුරින් සොයා බැලුවේය.
ඇප ලැබුණු වහාම රනිල් රෝහලේ සිට සජිත්ට දුරකථන ඇමතුමක් දුන්නේය.
“ඔබ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් මා වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ගවලට ගොඩක් ස්තුතියි” රනිල් සජිත්ට කීවේය.
“සර්, මේ කියා මාර්ගය මම මෙතනින් නතර කරන්නේනේ නෑ, ඉදිරියටම ගෙනියනවා” යැයි සජිත් රනිල්ට දැනුම් දුන්නේය.
“මට දවස් කීපයක් රෝහල් ප්‍රතිකාර ගන්න වෙනවා. ඊට පස්සේ මම ඇවිත් ඔක්කොම නායකයන් හමුවෙන්නම්” රනිල් කීවේය.
රනිල් සිරගත කිරීමට අදාළව ගොඩ නැඟුණු ඒකාබද්ධ සන්ධානය ඉදිරියට ගෙන යා යුතු ආකාරය ගැන එජාප නායකයන් ද සැලසුම් සකස් කරමින් සිටී. රුවන්, වජිර, තලතා, අකිල, නවීන් ඇතුළු නායකයෝ ඊට පෙරමුණ ගෙන සිටිති.
තම නායකයා මෙවැනි අවස්ථාවක කටයුතු කරන ආකාරය හොඳින් නීරීක්ෂණය කොට පළපුරුද්දක් ලබා මෙහෙයුමක් අතට ගත්හ.
විපක්ෂයේ දේශපාලන නායකයන් බොහොමයක් සමග මුහුණට මුහුණ සහ දුරකථනයෙන් සාකච්ඡා කරමින් රනිල්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් වජිර ක්‍රියා කළේ පළපුරුදු දේශපාලනඥයෙකු ගේ භූමිකාව මොනවට පිළිබිඹු කරමිනි.
රනිල්ගේ නඩුව නැවත කැඳවූ අඟහරුවාදා රනිල්ට ඇප ලැබුණහොත් ඇප අත්සන් කිරීම සඳහා වජිර තම හිතවත් වෛද්‍යවරුන් තිදෙනකුට ද කතා කර තිබුණු අතර, ඔවුන් ද එහි ආවේ ඉතා කැමැත්තෙනි. මේ අනුව රනිල්ගේ ඇප අයැදුම සම්මත වීමෙන් පසු එම වෛද්‍යවරුන් තිදෙනා විසින් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ඇපකර තුනකට අත්සන් යොදන ලද්දේ ඔවුන් වජිරට සහ රනිල්ට ඇති හිතවත්කම නිසාමය.
වැලිකඩදී සජිත් - රනිල් හමුව
සිංගප්පූරු සංචාරය නිමකර ලංකාවට පැමිණි පසු විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට සිදුවූයේ තම පැරණි නායකයා වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත යන්නටය. ඒ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපතිවරයා සජිත් දුටු විගසම විමසුවේ සිංගප්පූරු ගමන ගැනය.
තමා පෞද්ගලික සංචාරයක් ලෙස සිංගප්පූරුවට ගියත් එරට රාජ්‍ය තාන්ත්‍රිකයන් ගණනාවක්ම මුණ ගැසී සාකච්ඡා කළ බව සජිත් ප්‍රේමදාස කීවේය.
ඔබතුමාට දැන් කොහොමද? විපක්ෂනායක සජිත් විමසීය.
තමාට විවේක ගත යුතු යැයි වෛද්‍යවරුන් පවසා ඇති බව කී හිටපු ජනාධිපතිවරයා ටික වේලාවක් හෝ පොත පත බැලීමට ද කටයුතු කළ බව කීවේය.
‘මං දන්නවා සජිතුත් පොත් කියවනවා. පොත් කියවීම කවදාවත් නවත්වන්න එපා.’ හිටපු ජනාධිපතිවරයා සජිත්ට කීවේය. විපක්ෂ නායක සජිත් හිටපු ජනාධිපතිවරයා සමග සෑහෙන වේලාවක් කතාබහ කරමින් සිට සමුගත්තේ පසුදාත් එන බව පවසමිනි. එහෙත් පසුදා හිටපු ජනාධිපතිවරයා විජලන තත්ත්වය හේතුවෙන් කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර තිබූ නිසා විපක්ෂනායකවරයා ජාතික රෝහලට ගියේය. ඔහු එම දින කිහිපයේම ජාතික රෝහලට ගොස් හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසුවේය.
මහින්ද – මෛත්‍රීපාල රනිල් වෙනුවෙන් පෙරට
විපක්ෂයේ ප්‍රධානීන් සියලු දෙනාම රනිල් වෙනුවෙන් එකට එකතු වූයේ මුලින්ම සෙනසුරාදා මල් පාරේ පැවැත් වූ රැස්වීමටය. මහින්ද රාපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, සුජිත් සංජය පෙරේරා, ජේ.සී. අලවතුවල, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, රවුප් හකීම්, මනෝ ගනේෂන්, තලතා අතුකෝරල, රිෂාද් බදුර්දීන් යන ඇතුළු විපක්ෂයේ කැපී පෙනෙන විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
‘දැන් අපි මොකද කරන්නෙ....’ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙස බලා විමසුවේය.
ඔයා ඉතින් හොඳ කතිකයානෙ. ඔයා පටන් ගන්නකෝ....’ මහින්ද රාජපක්ෂ කියද්දී එහි සිටි කවුරුත් සිනහ මුසු වූහ.
‘හරි එහෙනම් එහෙම කරමු. අර ඉස්සර වගේ ඔබතුමා මේකෙ නායකත්වය දරන්න. මම ඉතිරි වැඩ ටික කරන්නම්. එහෙම කරමු නේද?...’ සිරිසේන කියද්දී එහි සිටි කවුරුත් සිනාසුනහ.
‘දැන් එතකොට චන්ද්‍රිකා මැතිනි ආවම එතුමිය එක. මහින්ද ජනාධිපතිතුමා දෙක. සිරිසේන ජනාධිපතිතුමා තුන... ඒ පිළිවෙළ හොඳයි නේද? දයාසිරි ජයසේකර විමසුවේය.
‘නෑ...නෑ... මම එයාට වඩා බොහොම සීනියර් මිනිහෙක්....’ මහින්ද රාජපක්ෂ කියද්දී පිරිස යළිත් සිනාසුණහ.
නිමල් සිරිපාල හිටපු ඇමැතිවරයා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට දුරකථන ඇමතුමක් ලබාදී මේ පිළිබඳ විස්තර කියද්දී කුමාරතුංග මහත්මිය කියා සිටියේ තමා පාදයේ අසනීපයකට ප්‍රතිකාර ගන්නා හෙයින් එවැනි රැස්වීමකට පැමිණිය නොහැකි බවය. රනිල් වික්‍රමසිංහ සිරගත කිරීම සම්බන්ධයෙන් තමා සම්පූර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් විපක්ෂය ගන්නා තීන්දු සම්බන්ධයෙන් තමාගේ එකඟතාව පළකරන බවත් කුමාරතුංග මහත්මිය කියා සිටියාය.
ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරාජය කරමු.’ යන මැයෙන් විරෝධතා පැවැත්වීමට විපක්ෂයේ සියලු නායකයෝ එහිදී එකඟතාවකට එළඹුණහ. ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරුන්ගේ මූලිකත්වයෙන් පසුදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට ද තීන්දු විය.
සජබ මූලස්ථානයේ දී ඇති කරගත් සමගිය
රනිල් වික්‍රමසිංහගේ නඩුව යළි කැඳ වූ ඉකුත් අඟහරුවාදා විපක්ෂයම එක්ව විරෝධය දැක්විය යුතු බවට පොදු එකඟතාවක් සඳුදා සමගි ජන බලවේග මූලස්ථානයේ දී ඇතිකර ගැනිණි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විපක්ෂයේ සියලුම පක්ෂවල නායකයෝ හා මන්ත්‍රීවරු සහභාගි වූහ.
මෛත්‍රීපාල සිරිසේන තලතා අතුකෝරාල, රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම්, කබීර් හෂීම්, තිස්ස අත්තනායක, ජගත් විතාන, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂවල විශාල පිරිසක් එක් වූ අවස්ථාව බවට මෙම රැස්වීම පත්විය.
“අපි හිටපු ජනාධිපතිතුමාව අත්අඩංගුවටව ගත්ත සිදුවීම බලන්න ඕනෑ. හුදකලා සිදුවීමක් හැටියට නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමක්....’ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස එහි දී කියා සිටියේය.
‘අපි හැමෝම එකතු වෙන්න ඕනෑ. විපක්ෂයේ සියලු පක්ෂ සමග කෙටිකාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා තමයි මෙම සාකච්ඡාව කැඳෙව්වේ....’ විපක්ෂනායක සජිත් තවදුරටත් කීවේය.
මේ මොහොතේ ප්‍රධාන ප්‍රශ්න දෙකකට පිළිතුරු සොයන්න ඕනෑ. එකක් හිටපු ජනාධිපතිතුමා නිදහස් කරගන්න එක. ඊළඟ ප්‍රශ්නෙ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එල්ල වී ඇති අභියෝගය ජයග්‍රහණය කිරීම. ඒ සඳහා අපි සියලු දෙනාට තම තමන්ගේ දේශපාලන මත පැත්තකට දාලා එකතු වෙන්න ඕනෑ.’ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.
හිටපු ජනාධිපතිවරයාගේ මීළඟ නඩු දිනය වූ පසුදින කොළඹට විශාල ජනතාවක් ගෙන්වා’ ඒකාධිපතිවාදය පරාජය කරමු.’ යන තේමාවෙන් උද්ඝෝෂණයක් පැවැත්වීමට ද තීරණය විය. ඒ සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් ද පත් කෙරිණි.
‘ජගත්ගෙ බස් තියෙනවනේ සෙනඟ ගේන්න. ඒ බස් ගනිමු. ජගත් බස් ටික දෙනව නේද?...’ එහි සිටි කීප දෙනෙක්ම හැරුණේ ජගත් විතාන මන්ත්‍රීවරයා වෙතටය.
‘බස් තියෙනවා. ඒත් රූඩ් පර්මිට් නැතුව දුවන්න බෑනෙ. රුපියල් තුන්සීයක් දීලා මාර්ගස්ථෙන් අපිට ටෙම්පරි පර්මිට් එකක් හදා ගන්න පුළුවන්. ඒත් ඔය වැඩේට අපිට ඒක දෙන්නෙ නෑ. පුළුවන් නම් පර්මිට් හදල දෙන්න. බස් ටික දෙන්නම්. එහෙම නැතුව සෙනඟ ගෙනාවොත් බස් ටික අල්ලයි. මගීන් මහමඟ රස්තියාදු වෙයි. නිව්ස්වල ප්‍රචාරය වෙයි. ජගත් විතාන පර්මිට් නැතුව බස් දුවලා කියලා... මම කැමති නෑ. පර්මිට් හදල දුන්නොත් වැඩේ කරන්න පුළුවන්.’ මන්ත්‍රී ජගත් විතාන කියා සිටියේය.
‘ඒක ප්‍රශ්නයක් තමයි. මාර්ගස්ථෙන් පර්මිට් ලැබෙන්නේ නෑ.’ හිටපු ප්‍රවාහන ඇමැතිවරයෙක් කීවේය.
ඒක තමයි ප්‍රශ්නෙ. මං එක කේස් එකකින් පාඩමක් ඉගෙන ගත්තනෙ. පර්මිට් නැතුව සෙනඟ ගෙනාවොත් මගෙ බස් ටිකේ රූඩ් පර්මිට් තහනම් කරයි. බස් ටික ගෙදර තියාගෙන ඉන්න වෙයි...’ ජගත් කියද්දී එම කතාවට කිසිවකුත් විරුද්ධ වූයේ නැත.
‘සජබට තමයි සෙනඟ ඉන්නේ. ඔබතුමා මැදිහත් වුණොත් තමයි සෙනඟ එන්නේ. ඔබතුමා මේ වැඩේට මැදිහත් වෙන්න...’ මහින්ද අමරවීර හිටපු ඇමැතිවරයා සජිත්ගෙන් ඉල්ලීමක් කළේය.
‘හරි. අපි හෙට ජනතාවත් එක්කම උසාවිය ළඟට යමු....’’ විපක්ෂනායකවරයා සඳහන් කළේය.
එම රැස්වීමට ආ සියලු පක්ෂ නායකයන් කියා සිටියේ ‘“අපි මර්දනයට එරෙහි දේශපාලන එකමුතුවක් හදමු” කියාය. එම අදහසට විපක්ෂ නායකවරයාගේත් එකඟතාව පළවිය.
‘මම එකඟයි. හැම තැනම රැස්වීම් තියන්න ඕනැ නෑ. ඔය රැස්වීම් විපක්ෂනායක කාර්යාලයේ තියන්න. මේ කාර්යාලය යොදාගෙන අපි පොදු එකඟතාව හදා ගනිමු....’ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කීවේය. එම අදහසට එහි සිටි පක්ෂ නායකයන්ගේ එකඟතාව පළවිය.
ඒ අදහස හොඳයි. මෙතන පොදු තැනක්නෙ... අපි මෙතන යොදා ගනිමු....’ පක්ෂ නායකයෝ කීහ.
පක්ෂ නායකයන් හා ක්‍රියාකාරීන් එම රැස්වීමෙන් නික්ම ගියේ පසුදා කොළඹ ජනතාව ගෙන්වන වැඩ පිළිවෙල සංවිධානය කිරීමේ අරමුණිනි.
රනිල් වෙනුවෙන් උසාවියට නීතිඥවරුන් පන්සීයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව පිළිබඳ දෙවැනි නඩු දිනය වූ ඉකුත් අඟහරුවාදා කිසිවකුත් නොසිතූ ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥයන් පන්සියයක පිරිසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටීම බොහෝ දෙනා පුදුමයට පත් කළේය. එම අධිකරණයට එක් පුද්ගලයකු වෙනුවෙන් එකවර පෙනී සිටීම සඳහා නීතිඥවරුන් එතරම් ප්‍රමාණයක් පැමිණි ප්‍රථම වතාව එය බව ද හෙළි විය. එයට පෙර නීතිඥයන් විශාල පිරිසක් පැමිණ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ගිනි තැබූ බවට චෝදනා කර අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මෙම නීතිඥ පිරිස පෙනී සිටියේ කිසිදු මුදලක් නොගෙන ස්වෙච්ඡාවෙනි.
එදින අධිකරණය භූමියට යාමට අවස්ථාව ලැබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ නීතිඥවරුන්ට පමණය. ලසන්ත අලගියවන්න. මහින්ද අමරවීර වැනි හිටපු මන්ත්‍රීවරුන්ට පවා අධිකරණ භූමියට යාමට අවසර නොලැබුණේ පොලිසිය මාර්ගය වසා සෙසු සියලු දෙනාටම අවහිර කළ නිසාය.
තිනියාවල හිමියන්ටත් ඇතුළුවීම තහනම්
තිනියාවල පාලිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද අධිකරණ භූමියට ඇතුළුවීමට උත්සාහ කළ ද එම අවස්ථාව ද නොලැබිණි. ඒ පිළිබඳ පොලිසිය සමග මත ගැටුමක් ද ඇතිවිය. පාලිත හිමියන් පැවසුවේ චීවරය දරන මහා සංඝරත්නයට ඕනෑම ස්ථානයකට ඇතුළු වීමේ අවසරය ඇති බවය. ‘කළු කෝට් දාපු අයට උසාවියේ ඉන්න පුළුවන් වගේම හාමුදුරුවන්ටත් ඕනෑම තැනක ඉන්න පුළුවන්....’ උන්වහන්සේ කියා සිටියහ. එහෙත් අවසර නොලැබුණු අතර පාලිත හිමියන් තමාට ගමන අවහිර කළ බවට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.
‘චන්දිම මේක ඓතිහාසික අවස්ථාවක්. රනිල් වෙනුවෙන් උසාවියම ලෝයර්ස්ලාගෙන් පිරිලා. ආණ්ඩුව මුළු විපක්ෂයම එකට එකතු කරලා දුන්නා...’ උසාවි භූමියේ සිටි මන්ත්‍රී දයාසිරි ජයසේකර නීතිඥ චන්දිම වීරක්කොඩිට කියද්දී චන්දිම හිස සැලුවේය.
තුන්වැනි සාකච්ඡාවට පොහොට්ටුව නෑ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමෙන් පසුව විපක්ෂයේ පක්ෂ නායකයෝ එයට පසුදාම විපක්ෂනායක කාර්යාලයට එක් වූයේ මීළඟ පියවර සාකච්ඡා කිරීමටය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක, රංජිත් මද්දුම බණ්ඩාර, දයාසිරි ජයසේකර, කබීර් හෂීම් අකිල විරාජ්, තලතා අතුකෝරල, තිනියාවල පාලිත හිමියන්, නිසාම් කාරියප්පර්, අර්ජුනා මන්ත්‍රීවරයා ඇතුළුව අනුර යාපා, ලසන්ත අලගියවන්න ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක නියෝජිතයෝ පැමිණ සිටියහ. එහෙත් එම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කිසිවකුත් පැමිණ සිටියේ නැත.
‘හිටපු ජනාධිපතිතුමා දැන් රෝහලේ ඉඳල එළියට ආවට පස්සෙ මේ එකමුතුව දිගටම පවත්වාගෙන යන්න වෙනම මීටිමක් කැඳවමු. කැඳවල මේ එකමුතුව පවත්වාගෙන යමු... ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය සහ අනීතික මර්දනයට විරුද්ධව මේ සටන එකතුවෙලා කරමු....’ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවේය.
දේශපාලනයට සම්බන්ධ නීතිඥවරුන්ගේ එකමුතුවක් බිහි කිරීමට ද යෝජනා විය. හිටපු ජනාධිපතිවරයා ගැන උසාවි වාර්තා ඒකරාශි කිරීම චන්දිම වීරක්කොඩිට භාර කෙරිණි. දයාසිරි ජයසේකර, නිසාම් කාරියප්පර්, දොළවත්ත ඇතුළු පිරිසක් එම කමිටුවට පත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේය. නීතිමය උපදෙස් ගැනීම සඳහා එම කමිටුවේ මුලසුනට පත් කළේ මහාචාර්ය ජී.එල්. පීරිස්ය.
‘ඔබතුමාගෙ කාලෙ හොඳයි දැන්. සියයට හැට ගානක් ඡන්ද තිබුණෙ දකුණට. ඒ ඡන්ද දෙකට තුනට කැඩිලා බෙදිල ගිහින්නෙ මේ ක්‍රමය වෙනස් වුණේ. කරුණාකර මේ සියලු දෙනාම එකතු කරගෙන ඉදිරියට යන්න. වමේ ඡන්ද කොහොම වෙතත් දකුණේ ඡන්ද ටික එකතු කරලා මේක ඉවරයක් කරල දාමු. අපේ සහාය අපි දෙන්නම්.’ චාමර සම්පත් මන්ත්‍රීවරයා කියා සිටියේය. ඒ අනුව එකඟතාව ඉදිරියට පවත්වාගෙන යාමේ අදහසින් එදින සාකච්ඡාව අවසන් කෙරිණි.
අත්අඩංගුවට ගත්තේ රහස් පොලිසිය ආණ්ඩුව කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් සිර භාරයට පත් කිරීමෙන් පසු විපක්ෂය දැඩිව කියා සිටියේ ආණ්ඩුව සැලසුම් සහගතව විපක්ෂයේ ප්‍රධානීන් මර්දනය කරගෙන යන බවය. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා බවට අනාවැකියක් පළකර තිබූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවා ජවිපෙ හිතවාදියෙක් නිසා මෙම මතය වේගයෙන් පැතිර ගියේය. හිටපු ජනාධිපතිවරයා පිළිබඳ සිදුවීම් මාලාව දිග හැරෙන අතරතුර මාධ්‍යවේදියකු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගලගෙන් විමසා සිටියේ ඇයි ආණ්ඩුව කලින් සැලසුම් කරලා විපක්ෂයේ නායකයන්ට දඩයම් කරන්නේ යනුවෙනි.
“ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවක් නෑ විපක්ෂය මර්දනය කරන්නවත් හිටපු ජනාධිපතිව අත්අඩංගුවට ගන්නවත්.... හැබැයි ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා පංගු පේරුවකින් තොරව ඔය හොරු, වංචාකාරයො මහජන මුදල් අවභාවිත කළ අයට එරෙහිව නීතිමය පියවර ගන්න. ඒ සඳහා නීතිය රකින ආයතනවලට ඉන්ඩිකේෂන් එකක් දීල තියෙනවා පරීක්ෂණ නිදහසේ කරගෙන යන්න. එතුමාව අත්අඩංගුවට ගත්තේ රහස් පොලිසිය ඔය නඩුවට අදාළව කටඋත්තර තිස්හතක් රහස් පොලිසිය ලියාගෙන තියෙනවා. ඒක උසාවියට ඉදිරිපත් කරලයි ඔය තීන්දුව ගත්තෙ....’ ඒක ආණ්ඩුවෙ වැඩක් නෙවෙයි....’ වටගල ඇමැතිවරයා කියා සිටියේය.
ඉන්පසුව වටගල ඇමැතිවරයාව දුරකථනයෙන් ඇමතූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී චන්දන සූරියාරච්චි ඇතිව තිබෙන තත්ත්වය ගැන විමසා සිටියේ ආණ්ඩුව මේ කටයුත්තෙන් විපක්ෂය එකමුතු කළ බවට මතයක් පැතිර යාම ගැනය.
‘මේකනෙ චන්දන.... ඔය විපක්ෂය කියන කණ්ඩායමට මේ වගේ චෝදනා තියෙන අය. මෙවැනි සිද්ධියක දී ඒ කණ්ඩායම් කලබල වුණා. මෙයාල බයෙන් ඉන්නෙ...
පළවෙනි වතාවට ඉහළම තැනකට අත තියල තියෙනවා. ඒකට බය වුණ අය මටත් එහෙම වෙයි කියල එකතුවෙලා ඉන්නවා. ඔය පිරිසට ජනතා සහායක් නෑ. කොළඹ නගර සභාව ගත්තත් එකට එකතුවෙලා ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බා. ඊට පහුවදාම විරසක වුණේ....’ වටගල ඇමැතිවරයා උත්තර දුන්නේය.
වැවිලි ඇමැති පොල්වලට පොහොර සහනාධාරයක් ඉල්ලයි
ලබන වසරේ අයවැය යෝජනාවලිය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙ අදහස් සහ යෝජනා ලබාදීමේ රැස්වීමක් ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු නිලධාරීහු තම යෝජනා ඉදිරිපත් කළහ.
2024 වසරේ දී තේ, කුරුඳු, පොල් සහ රබර් යන ප්‍රධාන භෝග හතරේ අපනයන ආදායම ඩොලර් බිලියන තුනට අඩුය. ඇමැති සමන්ත විද්‍යාරත්න එහිදී කියා සිටියේ නව රජය යටතේ පස් අවුරුදු සැලසුම් සෑම භෝගයක් සඳහාම සකස් කර ඇති බැවින් දෙදාහස් තිහ වර්ෂයේ දී අපනයන ආදායම ඩොලර් බිලියන හය ඉක්මවීම අරමුණ බවය. ඒ සඳහා අපට රුපියල් දෙන්න වගාව ප්‍රවර්ධනය කරන්න. අපි ඩොලර් ගෙනත් දෙන්නම්....’ විද්‍යාරත්න ඇමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ‘ජනාධිපතිතුමනි, මෙතෙක් කල් පොල්වලට පොහොර සහනාධාරයක් දීලා තිබුණේ නෑ. ලබන වසරට අපට පොල්වලට පොහොර සහනාධාරයක් ලබාදෙන්න. පහුගිය අවුරුදු පහක්ම පොල්වලට පොහොර දාල නෑ. පොල් අස්වැන්න වැඩි කරගන්න පොහොර සහනාධාරය අවශ්‍ය වෙනවා. ඒක ලබා දෙන්න. තේවලට දැනට ලබාදෙන පොහොර සහනාධාරය ලබන වසරේදීත් ලබා දෙන්න....’ සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයා ඉල්ලා සිටියේය.
සජබය මැද මාවතට යයි
සමගි ජනබලවේගය ජනතාව අතරට පුළුල්ව ගෙන යාමේ අරමුණින් ‘%මැද මාවත’ නමින් විද්වතුන් සමග සාකච්ඡාවක් ඉකුත් සතියේ පැවැත්වුණේ සජබ මූලස්ථානයේදීය. ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ විද්වත් වෘත්තිකයෝ පිරිසක්ද එම හමුවට සහභාගි වූහ. පක්ෂයේ ඇති කරගත යුතු වෙනස්කම් එම විද්වතුන් පිරිස පෙන්වා දුන්හ. සමාජයේ නායකත්වයක් ඇතිකර ගැනීම සඳහා සූදානම් විය යුතු බවත් අලුත් ප්‍රතිපත්ති සකස් කරගත යුතු බවත් එම විද්වත් පිරිසේ අදහස විය. පක්ෂ යාන්ත්‍රණය අලුත් ආකෘතියකට ගෙන යා යුතු බවත් අභියෝගයකට මුහුණ දීමට හැකි ආකාරයට පාර්ලිමේන්තුව තුළදීත් හැසිරීම සකස් කරගත යුතු බවත් රටේ සෙසු දේශපාලන බලවේගවලට ද නායකත්වය දිය හැකි ආකාරයට පක්ෂය සකස්කරගත යුතු බව මෙම විද්වත් සාකච්ඡාවේ දී අදහස් දක්වා ඇත. පක්ෂයේ මෙම වෙනස්කම් ගැන කතාබහ කරන සාකච්ඡාව නම් කර ඇත්තේ ‘මැද මාවත’ යනුවෙනි.
රාජ දූත