ඩෑන් ඝාතනයෙන් නොනවතින ඝාතන රුල්ල


1987 – 89 භීෂණ අඳුරු යුගයේ දී ප්‍රවීණ කිවියර කුමාර හෙට්ටිආරච්චි පුවත්පතකට කවියක් ලියා තිබිණි. ‘ධර්මද්වීපය’ නමින් නම්කර තිබූ එම කවිය මෙසේය.

‘ඨාං ඨාං ඨාං

ඩෝං ඩෝං ඩෝං!

කවිය එපමණකි. ධර්මද්වීපයේදී ඝණ්ටා නාදය සමග වෙඩි හඬ ද  කැලැතෙමින් ගලා යන බව ඔහු එමගින් කියා තිබිණ.

ඉන් වසර 25 කට පමණ පසුව අදත් මුළු රටම බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ කරමින් අසිරිමත් දළදා වන්දනාව උත්කර්ෂයට නැංවෙමින් තිබේ. ඒ හා සමගාමීව වෙඩි හඬ ද පැතිරෙමින් තිබේ. අලුත්ම වෙඩිල්ල ඉකුත් 22 වැනිදා රාත්‍රී 9 න් පසුව පුපුරා ගියේය. ඒ ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කරගෙනය.

ඩෑන් ප්‍රියසාද් ගැන බොහෝ දේ ලියැවී තිබේ. කපුවකු ලෙස පළමුව පෙනී සිටි එල්.ඒ. සුරේෂ් ප්‍රියසාද් හෙවත් ඩෑන් ප්‍රියසාද් දෙවැනුව සමාජ ක්‍රියාකරුවකු ලෙස මතු විය. සිංහලේ ජාතික ව්‍යාපාරය නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේ 2018 වසරේදී පමණය. සිංහල ජාතිය වෙනුවෙන් තමන් පෙනී සිටින බව ඔහු කියා සිටියේය. ජාතිවාදී ගැටුම් නිර්මාණය වූ බොහෝ තැන්වල ඔහු කැපී පෙනුණේය.

2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව මහනුවර දිගන ප්‍රදේශයේ ඇවිළී ගිය ජාතිවාදී ගැටුම්වලින් පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

ඩෑන් ප්‍රියසාද් දේශපාලනික වශයෙන් සමීප වූයේ පොදුජන පෙරමුණ දේශපාලනය සමගය. ගාලු මුවදොර පිටියේ තිබූ අරගල බිමට හෙවත් ‘ගෝඨා ගෝ  ගමට’ එල්ල වූ ප්‍රහාරයේ දී ඩෑන් ප්‍රියසාද් මුගුරක් ද රැගෙන යන වීඩියෝ පට අන්තර්ජාලයේ තවමත් ඇත. මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට ඔහු කොලොන්නාවෙන් ඉදිරිපත්ව සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ලෙසය.

සිංහලේ ජාතික ව්‍යාපාරය හරහා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ඔහු හඬ නැඟුවේය. ඔහුගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න තිබේ. ඔහු කුලියට පෙනී සිටියකු’ ලෙස ද ඇතැම්හු චෝදනා කරති. කෙසේ වෙතත් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ඔහු ක්‍රියා කළ නිසා කංජිපානි ඉම්රාන් වැන්නවුන්ගේ වෛරයට බඳුන් වූ බව උසස් පොලිස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසුවේය. මෙම වෛරය උග්‍රවන්නේ 2022 වසරේ ජූලි මස 25 වැනිදායින් පසුවය.

ප්‍රකාශ් තිලිණ ඔරුගොඩවත්ත පාලම යට දී කපා කොටා මරා දැමුණේ එදිනය. ප්‍රකාශ් යනු ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයාය. ප්‍රකාශ්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා තිබූ බව පොලිසිය කියයි.

‘ඩෑන් ප්‍රියසාද් ඒක දැනගෙන හිටියා. ඔහු මල්ලිට කිව්වා ඕවා නවත්වන්න කියලා. ඒත් මල්ලි ඒක ඇහුවේ නෑ.’ ඩෑන් ප්‍රියසාද්ගේ සමීපතමයෙක් මාධ්‍යයට එසේ කීවේය.

තවත් ආරංචි මාර්ගයකින් කියැවුණේ ඩෑන් ප්‍රියසාද්ගෙන් පළිගැනීම පිණිස ප්‍රකාශ් තිළිණ මරා දැමු බවය. එම ඝාතනය සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ ළඟම ඥාතීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාරගත  කෙරිණි. මේ වන විට එම දෙදෙනා ඇප මත නිදහස්ව සිටිති. ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියේ ඇස ඔවුන් දෙදෙනා දෙසට එල්ල වී තිබේ. එම දෙදෙනා පදිංචි නිවාසවලින් පලාගොස් සැඟවී සිටින බව පොලිසිය කියයි. පිය පුතු වන එම දෙදෙනාට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළවෙල මහතා නිකුත් කළේ ඉකුත් 23 වැනිදාය. ඒ වැල්ලම්පිටිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

සිය සහෝදරයාගේ ඝාතනයත් සමග ඩෑන් ප්‍රියසාද්ගේ අවධානය මත්ද්‍රවය ජාවාරමට හා පාතාලය දෙසට යොමුවිය. ඔහු වැඩිම ප්‍රහාරයක් එල්ල කළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කංජිපානි ඉම්රාන්ටය. එය වඩාත් තීව්‍ර වූයේ ක්ලබ් වසන්ත ඝාතනයත් සමගය.

2024 වසරේ ජූලි මස 24 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ක්ලබ් වසන්ත වෙඩි තබා මරා දැමිණි. එම ඝාතනය සිදු කළ බවට චෝදනා එල්ල වූයේ ද කංජිපානි ඉම්රාන්ටය. අහුන්ගල්ලේ ලොකු පැටී, පොඩි පැටී, රොටුඹ අමිල ආදී  පාතාල නායකයන්ගේ නම් ද එම ලැයිස්තුවේ තිබේ.

ක්ලබ් වසන්ත ඝාතනයත් සමග කංජිපානි ඉම්රාන්ට එරෙහිව ඩෑන් ප්‍රියසාද්ගේ ක්‍රියාකාරකම් වේගවත් විය.

මෙහිදී සිදුවිය හැකි දෙයක් තිබේ. කංජිපානි ඉම්රාන්ට එරෙහිව ඩෑන් ප්‍රියසාද් කටයුතු කරන විට කංජිපානිට එරෙහි අනෙකුත් පාතාල කල්ලිවල සහාය ඩෑන් ප්‍රියසාද්ට ලැබීමය. එම සබඳතා හරහා ඩෑන් ඉකුත් සමයේ ඩුබායි රටට ද ගියේය.

සාලමුල්ල ලක්සඳ දෙවන නිවාස සංකීර්ණයේ විශාල පිරිසක් ජීවත් වෙති. එබඳු ස්ථානයකට පැමිණ මිනිසකුට වෙඩි තබා ඝාතනය කර නිරුපද්‍රිතව යළිත් යා හැකිනම් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුවේ.

 

ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසුව කංජිපානි ඉම්රාන්, රොටුඹ අමිල, අහුන්ගල්ලේ ලොකු පැටී, පොඩි පැටී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන මෙන් ඉල්ලා ඩෑන් ප්‍රියසාද් සිය අනුගාමිකයන් පිරිසක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක්ද කළේය. ඊට අමතරව ප්‍රවෘත්ති සාකච්ඡාද පැවැත්වීය. ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනතුරු උද්ඝෝෂණය කරන බව ද ඔහු කීවේය.

කෙසේ වුවද ඉකුත් 22 වැනිදා ඔහු ඝාතනය කෙරිණි.

කොළොන්නාව, සාලමුල්ල ලක්සද සෙවණ නිවාස සංකීර්ණයේ හයවැනි මහලේ ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ මව ජීවත්වන්නීය. එහි අලුත් අවුරුදු සාදයකට සහභාගි වන ලෙස ඩෑන් ප්‍රියසාද්ට ආරාධනා ලැබිණි. ඔහු එහි පැමිණියේ බිරිඳ සහ දියණියන් තිදෙනා සමගිනි. ඩෑන් ප්‍රියසාද් මිතුරන් දෙදෙනෙකු සමග මත්පැන් සාදය පටන් ගත්තේය.

වැඩි වේලාවක් ගත නොවීය. බිම් මහලේ සිට තරප්පු පෙළ දිගේ පැමිණි තරුණයන් දෙදෙනෙකි. එක් තරුණයෙක් මුඛ ආවරණයක් පැලඳ සිටි අතර අනෙක් තරුණයා හිස් ආවරණයක් පැලඳ ජංගම දුරකථනයෙන් කතා කරමින් පැමිණියේය. එක් තරුණයකු අත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් විය.

ඊට පසුව සිදුවූයේ කුමක්ද යන්න අපි කවුරුත් දනිමු. ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබූ තරුණයෝ දෙදෙනා පැමිණි ආකාරයෙන්ම පියගැට පෙළ බැස ගියේය. ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය අතර දැඩි සත්කාර  ඒකකයේ දී ඔහු මිය ගියේය.

ඩෑන් ප්‍රියසාද්ගේ මරණය ඉක්මන්වීමට ඉකුත් 20 වැනිදා වූ සිද්ධියක් හේතු වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඒ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේ දීය.

ප්‍රධාන සැකකරු ත්‍රීරෝද රථ රියැදුරෙකි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ඉකුත් 20 වැනිදා පැවැති සංගීත සංදර්ශනයක දී ඩෑන් ප්‍රියසාද් හා ප්‍රධාන සැකකරු අතර මත ගැටුමක් හටගෙන ති​බේ. එහිදී ඩෑන් ප්‍රියසාද් ප්‍රධාන සැකකරුගේ ත්‍රීරෝද රියට මන්නා පහර කිහිපයක් එල්ලකර ඇත.

ඉන් පසුදින ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින වැල්ලම්පිටියේ ධනුෂ්ක ප්‍රධාන සැකකරුට කතා කර ගැටුමේ සුලමුල විමසා ඇත. ඉන් අනතුරුව කංජිපාණි ඉම්රාන් ද ප්‍රධාන සැකකරු අමතා තිබේ.

‘‘උඹ වැල්ලම්පිටිය පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාපන්. එතකොට ඩෑන්ට පොලිසියට එන්න වෙනවා. පොලිසියට ඇවිල්ලා යනකොට ඩෑන්ට අපි ගේම දෙන්නම්’’ කංජිපානි ඉම්රාන් එසේ කී බව ප්‍රධාන සැකකරු පොලිසියට පවසා තිබේ.

ඒ අනුව ප්‍රධාන සැකකරු වැල්ලම්පිටිය පොලිසියට ගොස් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව පැමිණිල්ල කර තිබේ. එම පැමිණිල්ල විභාග කිරීමට ඩෑන් ප්‍රියසාද්ට පොලිසියට එන ලෙස දන්වා තිබුණ ද ඔහු පැමිණ තිබුණේ නැත. ප්‍රධාන සැකකරු පොලිසියට පවසා තිබෙන්නේ තමන් සියලු තොරතුරු කංජිපානි ඉම්රාන්ට දන්වා යැවූ බවත් ඒ අනුව ඩෑන් ප්‍රියසාද් පොලිසියට පැමිණෙන තුරු තුවක්කුකරුවන්  මග රැක සිටි බවත්ය.

එම උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව නැන්දම්මාගේ නිවසට පැමිණි පසු ඔහු ඝාතනය කිරීමට වෙඩික්කරුවෝ සමත් වූහ. ඩෑන් එදින  ඒ මොහොතේ එම නිවසට පැමිණෙන බව  ඩෑන් ප්‍රියසාද්ගේ ළඟම ඥාතිවරියක ප්‍රධාන සැකකරුට දන්වා ඇත. ප්‍රධාන සැකකරු එය කංජිපානි ඉම්රාන්ට දැනුම් දීමෙන් පසුව ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ.

කොලොන්නාව, සාලමුල්ල ලක්සඳ දෙවන නිවාස සංකීර්ණයේ විශාල පිරිසක් ජීවත් වෙති. එබඳු ස්ථානයකට පැමිණ මිනිසකුට වෙඩි තබා ඝාතනය කර නිරුපද්‍රිතව යළිත් යා හැකිනම් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුවේ.

මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට ඉකුත් 23 වැනිදා දක්වා කාලය තුළ රට පුරා සිදුවූ වෙඩි තැබීම්  සිද්ධි 36 කින් පුද්ගලයන් 26 දෙනෙකු ඝාතනය වී තිබේ. ගනේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි බිමේදිම වෙඩි තබා ඝාතනය කිරීම පාතාලයේ අතු ඉති රිකිලි පුරවා වැඩී ඇති ආකාරය පෙන්වන්නකි.
මේ තවත් නිදසුන් කිහිපයකි.

කුරුණෑගල, බුලුවල මහා විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අඹකොටේ හැවැන්පොළ සැකරලියාවත්ත ලිපිනයේ පදිංචිව සිටි තිළිණ විරාජ් නමැති 15 හැවිරිදි දරුවා අද මළවුන් අතරය. දෙමාපියන් සමග ආගමික ස්ථානයකට ගොස් සිටිය දී එතැනට පැමිණි පිරිසක් එම දරුවා පැහැර ගෙන ගොස් පහර දී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ පහර දුන් පිරිස තිළිණ විරාජ්ගේ මිතුරන් පිරිසක් බව අනාවරණය වීමය. පහර කෑමෙන් බරපතළ අසාධය තත්ත්වයට පත්වූ තිළිණ විරාජ් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර දින හතකට පසුව ඔහු මරණයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. නගරය ගම කියා වෙනසකින් තොරව මුළු රටම එක මිටට පාතාලකරණය වී ඇති සෙයකි.

මේ තවත් උදාහරණයකි.

තිස්පස් හැවිරිදි රොෂාන් පරණවිතාන කටාන යටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය පවසන ආකාරයට ඔහුට මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා අපරාධ සම්බන්ධයෙන් නඩු කීපයක්ම තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයකු සමග රොෂාන් පරණවිතාන ගැටුමක් ඇතිකර ගෙන තිබේ. හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බවද කියන අපේක්ෂකයාට රොෂාන් පරණවිතාන පිහිපහරවල් කීපයක් එල්ල කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම අවස්ථාවේ දී අපේක්ෂකයා තමන් සතුව තිබූ පිස්තෝලයකින් රොෂාන්ට වෙඩි තබා තිබේ. එයින් බරපතළ තුවාල ලැබූ රොෂාන් මිය ගියේය. අපේක්ෂකයා ද රෝහල්ගත වී තිබේ.

පොලිසිය පවසන්නේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයා ළඟ තිබූ ගිනිඅවියට බලපත්‍රයක් ඇති බවය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සතුවත් බලපත්‍ර සහිත ගිනි අවි තිබේනම් ගිනි අවි කෙතරම් ප්‍රමාණයක් රටේ සමාජකරණය වී ඇද්ද යන්න පැහැදිළිය.

ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන හීනටියන මහේෂ්ගේ ආධාරකරුවකු බව කියන අයකු කටුනායක ආඬිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් නූලෙන් වැළකී ගියේය. වෙඩි තැබීමට පැමිණි එක් පුද්ගලයකු අල්ලා පහර දී  පොලිසියට බාර දීමට ප්‍රදේශවාසීහු කටයුතු කර තිබිණි.

‘විශේෂිතය සමස්තය නොවේ’ බවට කියමනකි. ලංකාවේ පාතාලය තවමත් විශේෂිතයක් විනා සමස්තය නොවේ. එහෙත් මෙහෙම ගියොත් පාතාලය සමස්තය වීමට ඉඩ තිබේ. එය එසේ වුවහොත් ‘ඨාං ඨාං ඨාං, ඩෝං ඩෝං ඩෝං යන කවිය ධර්මද්වීපයේ යථාර්ථය බවට පත්වන නියතය.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්